පුරවැසි කොලම

මිනිසා තමන්ගේ ඕනෑ එපාකම් ඉටු කර ගැනීම සඳහා හිතුවක්කාර ලෙස පරිසරය විනාස කරන විට සොබා දහම ඉතා කුරිරු ලෙස මිනිසාගෙන් පළිගනු ඇත. – ෆ්‍රෙඩ්රික් එංගල්ස්

ලෝකය පුරා ම අනපේක්ෂිත ලෙස හඹා යන්නට පටන් ගත් කොරෝනා වසංගතය විසින් ඊනියා විශ්ව ගම්මානය ම කෙස් වල්ලෙන් අල්ලා මහ පොළොව මත කරකවා අත හරිනු ලැබීම එංගල්ස්ගේ ඒ ප්‍රකාශය ඇස් පනා පිට සනාථ කර පෙන්වීමක් වැනි ය. ලොකු කුඩා ආදී සියලු ආකාරයේ භේදයන් මායිම් නොකර සමස්ත ලෝක ප්‍රජාව ම අසුරු සැණකින් එක හා සමාන අසරණයන් බව සොබා දහම විසින් ඉතා ම කුරිරු ආකාරයෙන් අවබෝධ කර දෙනු ලැබ තිබේ. ඊනියා බටහිර ලෝකය ඇහැට නොපෙනෙන තරමේ ක්ෂුද්‍ර වෛරසයක් විසින් අපේ ගමේ ගොඩේ ජංගි අඳින චූ කොල්ලකුගේ තත්වයට මේ වන විට පත් කරනු ලැබ ඇත. මේ නිරනුකම්ප්‍ය වෛරසය මෙලොවින් සමු ගෙන යනු ඇත්තේ මුළු මහත් ලෝක ප්‍රජාවට ම යළිත් සියල්ල මුල සිට සිතා බලා අලුතින් සැලසුම් කරන්නට තත්වයක් ඇති කිරීමෙන් පසු ව ය.

කොරෝනා වසංගතය විසින් අපේ රට තුළ ද ඇති කරන ලද විපර්යාසය සුළු පටු නොවේ. බටහිරට වන්දනා මාන කරමින් අධි පරිභෝජනවාදී ජීවන රටාවක් වෙත තල්ලු කරනු ලැබ සිටි මෙරට ජන ප්‍රජාවට කොරෝනාව නිසා යළිත් අපේ රටේ අතීතයේ අනුගමනට කෙරුණු සරල ජීවන රටාව වෙත යන්නට සිදු වී තිබේ. කොස්, පෙළොස්, ගමේ පළා කොළ, කැලෑ කොළ වෙත යන්නට සිදු වී තිබේ. පිටරටින් ගෙනවිත් තිබෙන තවත් බොහෝ පරිභෝජන භාණ්ඩ තොග පවතින බැවින් බඩු හිඟයක් තව මත් දැනෙන්නේ නැත. එහෙත් මේ තොග අවසන් වීමෙන් පසු ව මේ තත්වය වෙනස් වන්නට බොහෝ සෙයින් ඉඩ කඩ තිබේ. තව මත් වසංගත අනතුර පහ වී ගොස් නැති තත්වයක් තුළ භාණ්ඩ අවශ්‍යතා යම් තරමකට සීමා සහිත කර ගන්නට සියලු දෙනාට ම සොබා දහම විසින් බල කරනු ලැබ තිබෙයි. එහෙත් මේ වසංගතය අවසන් වනු ඇත්තේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම පමණක් වුව ද මහා ප්‍රශ්නයක් බවට පත් කරමින් විය හැකි ය. එය එසේ ම වන්නට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකි ය.

කොරෝනා වසංගතය මුළුමනින් ම පිටුදැකීමෙන් පසු ව වුව ද ජාතියක් ලෙස ජය ගන්නට මහා විශාල අභියෝගයක් අප හමුවේ ඉතිරි වීම අනිවාර්යයෙන් ම සිදු වනු ඇත. තවත් කාලයක් යන තුරු ලෝකයේ සෑම රටකට ම පාහේ මුහුණ දෙන්නට සිදු වන විශාලතම අභියෝගය වනු ඇත්තේ තමන්ගේ නිෂ්පාදන කර්මාන්ත ප්‍රකෘති තත්වයට පත් කර ගැනීමයි. මේ වන විට සෑම රටක ම පාහේ ආර්ථිකය කඩා වැටී හමාර ය. ලෝකයේ මහ බලවතා යැයි ඔසවා තැබුණු අමෙරිකාව කොරෝනා අභියෝගය හමුවේ ලෝකයේ අනිකුත් රටවල් ඉදිරිපිට කුරුමිට්ටකු බවට පත් කරනු ලැබ තිබේ. දැවැන්ත ආර්ථික ශක්තියකින් නැඟී සිටි සෑම රටක් ම පාහේ මේ ව්‍යසනය හමුවේ අසරණ වී සිටී. මේ සෑම රටකට ම මුල සිට ගොඩනැඟෙන්නට සිදු වනු ඇත. එවැනි තත්වක් හමුවේ අප වැනි දුප්පත් රටවලට අත් විය හැකි ඉරණම ගැන අමුතුවෙන් අටුවා ටීකා සැපයීමට අවශ්‍ය නොවේ.

අපට සියල්ල මුල සිට පටන් ගැනීමට සිදු වනු ඇත. ඇත්ත වශයෙන් ම නම් කිව යුත්තේ අපට යළිත් අපේ මුල වෙත යන්නට සිදු වනු ඇත යනුවෙනි. අපට මුල සිට පටන් ගන්නට මහා වෑයමක් දැරිය යුතු නොවේ. අපට සිදු වන්නේ මඳක් අපේ අතීතයට දෙස හැරී බැලීම පමණකි. දේශීය ආර්ථිකයක් හෙවත් ජාතික ආර්ථිකයක් බිහි කර ගැනීම අපගේ යුගයේ අවශ්‍යතාව බව අප අවබෝධ කර ගත යුතු ව තිබිණි. ඒ සඳහා කොරෝනා එන තුරු සිටිය යුතු නොවී ය. ජාතියක් ලෙස අනාගතයක් ගොඩනඟා ගන්නට නම් අප දේශීය ජාතික ආර්ථිකයක් වෙත හැරීම අනිවාර්යයෙන් ම සිදු විය යුතු ව තිබුණේ ය. එහෙත් බටහිර සංවර්ධන මොඩලයන් සහ උපාය මාර්ගයන් හැර වෙනත් විකල්පයක් නොදත් අපේ උගතුන්ට එවැන්නක් පෙනුණේ හෝ දැනුණේ හෝ නැත. එහෙත් කොරෝනා වසංගතය විසින් අපේ උගතුන්ට පියවි සිහිය ආපසු කැඳවා තිබේ.

විදේශ ආධාර, විදේශ දැනුම මත පදනම් වූ සැලසුම්, විදේශ කළමනාකරණ උපාය මාර්ග සහ විදේශ සැපයුම් මත පදනම් වූ පරායක්ත දුබල ආර්ථිකයක් වෙනුවට ශක්තිමත් ජාතික ආර්ථිකයක් ඇති කර ගැනීම සඳහා වූ ජාතික සැලසුමක් වෙත අප යා යුතු ය. අපේ දේශජ බුද්ධිමතුන්ගේ දැනුම එහි ලා විශාල පරිමාණයෙන් අවශ්‍ය වනු ඇත්තේ ය. ඒ සඳහා තව දුරටත් විදේශයන්ගෙන් ආනයනය කරන ලද දැනුම අවශ්‍ය නොවේ. මේ කාරණය අපේ බුද්ධි මණ්ඩපවල වහ වහා සාකච්ඡාවට ගත යුතු බව අපේ අදහසයි. තව දුරටත් විදේශ සහතිකධාරී ඊනියා විශේෂඥයන් කෙරෙහි විස්වාසය තබා කටයුතු කළ නොහැකි ය.

අප වහ වහා නිෂ්පාදන ආර්ථිකයක් වෙත යා යුතු ව තිබේ. එය නුහුරු නුපුරුදු අමුතු දෙයක් නොවේ. 1970 දසකයේ එවැනි නිෂ්පාදන ආර්ථික මොඩලයක් අප විසින් අත්හදා බලා තිබේ. 1970 – 77 කාලය තුළ ක්‍රියාත්මක වූ ඒ ආර්ථික මොඩලය නිසා අපේ රටේ බොහෝ නිෂ්පාදන බිහි විය. ආහාර නිෂ්පාදනය ඉන් මුල් තැනක් ගත්තේ ය. කාර්මික නිෂ්පාදන ක්‍රමයෙන් දියුණු වෙමින් රට තුළ තහවුරු වන්නට පටන් ගත්තේ ය. ඇතැම් නිෂ්පාදන විදේශයන්ට අලෙවි කරන තරමට ඉහළ මට්ටමක තිබිණී. වානේ, උදලු තල, රේඩියෝ, වාහන එකලස් කිරීම,අත්යන්ත්‍ර හා බලවේග යන්ත්‍ර රෙදිපිලීකිරිපිටි, උකු කිරි, වාහන ටයර්, සීනි, කඩදාසි මෙන් ම තවත් බොහෝ කර්මාන්ත රජයේ ව්‍යවසායන් සහ රාජ්‍ය අනුග්‍රහය ලැබූ පෞද්ගලික ව්‍යවසායන් ලෙස පැවතුණේ ය. තව නොබෝ කලකින් බර වාහන නිපදවන මට්ටමට, බැර කර්මාන්ත ආරම්භ කෙරෙන මට්ටමට අපේ කර්මාන්ත සංවර්ධනය වන ලකුණු පහළ වෙමින් තිබිණි.

එහෙත් ඒ අර්ථ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී තිබූ සීමාසහිතකම් සහ දුර්වලතා විසින් ද, ඒ ක්‍රමය හඳුන්වා දුන් නායකයන් අතර ඇති වූ අවාසනාවන්ත භේදයන් විසින් ද ඒ උත්සාහය අසාර්ථක වී ගියේ ය. එපමණක් නොව ඒ අසාර්ථක වීමේ අනිටු පලයක් ලෙස 1977 දී ජේ.ආර්. ජයවර්ධනලග් නායකත්වයෙන් ඊනියා නව ලිබරල් ආර්ථික මොඩලයක් මේ රටෙහි ස්ථාපනය කරන්නට අවස්ථාව සැලසුණේ ය. 70 – 77 කාලයේ දී ආරම්භ කර ක්‍රමයෙන් දියුණු වෙමින් තිබූ සියලු කර්මාන්ත ඒ ක්‍රමය විසින් වළ පල්ලට යවන ලදී. ඉතා සෙමින් වුවත් විදේශයන්ට ණය නොවී හිස ඔසවමින් තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය මුළුමනින් ම පරාධීන දුර්වල ආර්ථිකයක් බවට පත් වූයේ 77 දී ඇති කරන ලද ඒ ආර්ථික ප්‍රතිසංස්කරණවලට පින් සිදු වන්නට ය.

1977 ජූලි 21 දා පැවැති මහ මැතිවරණයෙන් බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා වූ රොනී ද මැල් මුලින් ම කළේ භාණ්ඩ ආනායනය සඳහා පණවා තිබූ සීමාවන් ඉවත් කර පෞද්ගලික ව්‍යාපාරිකයන්ට පිටරටවලින් භාණ්ඩ ගෙන්වීම සඳහා රුපියල් මිලියන 70ක විදේශ විනිමය සංචිත නිදහස් කිරීමයි. ඔහුට එසේ කළ හැකි වූයේ කලින් ආණ්ඩුව විදේශප විනිමය සංචිතයක් රැස් කර තිබූ නිසා ය. මෙසේ නිදහස් කරන ලද විදේශ විනිමය යොදා ගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනායනය කරනු ඇතැයි ආණ්ඩුව බලාපොරොත්තු වූ නමුත් ව්‍යාපාරිකයන් බහුතරයක් විසින් ආනයනය කරන ලද්දේ අත්‍යවශ්‍ය නොවූ සුඛෝපභෝගී භාණ්ඩ ය. මෙසේ පිටරටවලින් භාණ්ඩ ආනයනය දිරිගැන්වූ අලුත් ආණ්ඩුව යටතේ දේශීය නිෂ්පාදන ආර්ථිකය විනාස වී ගියේ ය.

එහෙත් දැන් අපට අපේ ම වූ ආර්ථික ප්‍රතිපත්තියක් වෙත යන්නට බල කෙරෙමින් තිබේ. අහම්බෙන් ඇති වූ ව්‍යසනයක් විසින් අපට අපේ මුල් වෙත යන්නට අවස්ථාව සලසා දී තිබේ. ඒ අවස්ථාව අතහැර නොගත යුතු ය, අපතේ නොයැවිය යුතු ය. අපට අපේ ම වූ අලුත් ආර්ථික මොඩලයකට යා හැකි ය. දේශීය නිෂ්පාදන ආර්ථිකයකට යා හැකි ය. ඒ බව සනාථ කෙරෙන පෙරමඟ ලකුණු මේ වන විටත් පහළ වෙමින් තිබේ. දැඩි සත්කාර ඒකක ඇඳන් නිපදවීම, ශ්වසන ආධාරක යන්ත්‍ර නිපදවීම සහ රෝහල්වල භාවිත කරන්නට රොබෝ යන්ත්‍ර නිපදවීම ආදී අහඹු උදාහරණ ඒ පෙරමඟ ලකුණු ය. ඒ උදාහරණවලින් පෙනෙන්නේ දේශීය නිෂ්පාදන කෙරෙහි උනන්දුවක් සහ ශක්‍යතාවක් රට තුළ තිබෙන බව නොවේ ද? තවත් එවැනි නිෂ්පාදන කොතෙක් මේ රටේ බිහි කළ හැකි වනු ඇත් ද? තවත් එවැනි දක්ෂයන් සහ එවැනි දැනුම ඇති තරුණයන් රට තුළ සිටින බවට සැකයක් නැත.

මෙතෙක් කලක් එවැනි හපන්කම් දක්නට නොලැබුණ් ඊට සුදුසු පරිසරයක් මෙතෙක් කලක් මේ රටෙහි නොතිබීම නිසා ය. එවැනි නිපදවීම් දිරිගන්වන දේශපාලන නායකත්වයක් මේ රටට නොතිබීම නිසා ය. එහෙත් දැන් එසේ නොවේ. අලුත් යුගයකට යන්නට සිහින දකින පරිසරයක් රට තුළ නිර්මාණය වී තිබේ. අවශ්‍ය වන්නේ රටේ ප්‍රමුඛතා හඳුනා ගෙන ජාතික සැලැස්මක් සකස් කිරීම සහ නිවැරැදි නායකත්වයකින් එය ක්‍රියාවට නැංවීමයි. වර්තමාන දේශපාලන නායකත්වය යටතේ එය සිදු කළ හැකි යැයි රටේ ජනතාව විස්වාස කරති.

මෙවැනි අලුත් ගමනක් යන්නට සැරසෙද්දී ‘…අලුත් නිෂ්පාදන නෙවෙයි, තියෙන නිෂ්පාදනවලට මිලක් දීපල්ලා, බෙදා හරින ක්‍රමවේදයක් හදපල්ලා, අඩු මිලකට මිල දී ගන්න ක්‍රමයක් හදපල්ලා..’ යනාදී වශයෙන් පරණ ට්‍රම්පට් වාදනය කරන්නන් තමන්ට හුරු පුරුදු වාදනය පටන් ගන්නවා ඇත. අතීතයේ කුණු වමාරා කෑමට මහත් වූ අභිරුචියක් දක්වන එවුන්ට බාධා නොකර ඔවුන්ට රිසි සේ ඒවා වාදනය කර ගන්නට ඉඩ දී රටේ ජනතාව සමඟ ගමන ආරම්භ කළ යුතු ව තිබේ. මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ සමාජවාදී සමාජයක් තුළ දී පමණක් යැයි කියමින් සක්සෆෝන් වයන්නන් ද සිටින බව නිසැක නමුත් සමාජවාදී සමාජයක් පිළිබඳ මන්තර මතුර මතුරා හිටියාට සමාජවාදී සමාජ බිහි වන බව ඉතිහාසයේ කොතැනක දී වත් ඔප්පු වී නැති හෙයින් ඒ ගැන බලාපොරොත්තු ලබා ගත නොහැකි ය.

ධර්ම ශ්‍රී කාරියවසම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More