පුරවැසි කොලම

 

පශ්චාත් කොරෝනා ආර්ථික සංවර්ධන උපාය මාර්ගික සැලැස්මක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත හෙට අනිද්දා බාර දීමට ‘පාත් ෆයින්ඩර්‘ නම් රාජ්‍ය නොවන සංවිධානය සුදානම් වන බව වාර්තා වී තිබේ. බැලූ බැල්මට නම් මෙය පෙනෙන්නේ සුබවාදී පියවරක් ලෙසිනි. මෙය කොරෝනා වසංගතය පිටුදැකීමෙන් පසු ව ශ්‍රී ලංකාව නැවත ගොනැඟීම සඳහා උගතුන් විද්වතුන් ඇතුළු බුද්ධිමතුන්ගේ දායකත්වය ලබා දීම සඳහා දරන උත්සාහයක් ලෙස අගය කළ යුත්තකි. එහෙත් මේ උත්සාහය පිළිබඳ ව කුකුසක් හට ගැනීම නොවැළැක්විය හැකි ය.

ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය හේතු කර ගෙන රටක් ලෙස බරපතළ අභියෝගයකට මුහුණ දී සිටින බව සැබෑ ය. ඒ අභියෝගය ජය ගැනීම සඳහා දැවැන්ත කැප කිරීමකින් දැවැන්ත වැඩපිළිවෙළක් දියත් කළ යුතු බව ද සැබෑ ය. රට නිවැරැදි දිශානතියක් වෙත යොමු කෙරෙන ඒ වැඩපිළිවෙළ සඳහා විද්වතුන්ගේ දායකත්වය උපරිමයෙන් ලබා ගත යුතු බව ඊටත් වඩා සැබෑවකි. එහෙත් ඒ තරමට ම රටක් ලෙස ජාතියක් ලෙස අප මේ අවදානම් අවස්ථාවේ දී ‘කපටි ආරක්ෂකයන්ගෙන් පරිස්සම් විය යුතු බව‘ ඒ සියල්ලටමත් වඩා අමතක නොකළ යුතු අත්‍යවශ්‍ය කාරණයකි. මෙයින් උත්සාහ කෙරෙන්නේ ‘පාත් ෆයින්ඩර්‘ ආයතනය කපටි ආරක්ෂකයකු බව කියන්නට නොවේ. එහෙත් එවැනි සාධාරණ සැකයකට හේතු තිබේ.

‘පාත් ෆයින්ඩර්‘ යනු හිටපු අමාත්‍යවරයකු වන මිලින්ද මොරගොඩගේ මූලිකත්වයෙන් පවත්වා ගෙන යනු ලබන රාජ්‍ය නොවන සංවිධානයකි. මෙකී උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීම සඳහා දායක වී සිටින අය අතර හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු නව ලිබරල් විද්වතුන් පිරිසක් සිටින බව දක්නට ලැබේ. පසුගිය කාලයේ එම්සීසී ගිවිසුම, එට්කා ගිවිසුම, සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම ආදිය වර්ණනා කළ පිරිසක් ද ඒ අතර සිටිති. ලෝකය පුරා ම මේ වන විට බරපතළ අර්බුදයකට ලක් වී ඇති ‘නව ලිබරල් ආර්ථික න්‍යාය‘ තව දුරටත් ආර්ථික සංවර්ධන න්‍යායක් ලෙස වලංගු නොවන බව බොහෝ ආර්ථික උගතුන් විසින් පෙන්වා දෙනු ලැබ තිබේ.

නව ලිබරල් උගතුන්ගේ අවවාද, අනුසාසනා, උපදෙස් අනුදත් පසුගිය ආණ්ඩුව යටතේ අපේ රටේ ආර්ථිකය අයාලේ ගියේ ය. ඔවුන්ගේ ම ඊනියා විශ්ලේෂකයන්ට අනුව ආර්ථික වර්ධන වේගය 2%ටත් වඩා පහළට වැටුණේ ය. රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවා ගන්නට තරම් වත් ශක්තියක් නැති මට්ටමට ආණ්ඩුව අසරණ තත්වයකට පත් විය. යහපාලනයක් රටේ ඇති කරන්නට දස අතේ දිවුරුම් දී බලයට පැමිණි පසුගිය ආණ්ඩුවේ උදවිය අවසානයේ විලි වසා ගන්නට රෙද්දක් වත් නැති වී ලජ්ජාවට පත් වුණෝ ය. ඉදින් නව ලිබරල් ආර්ථික න්‍යායක් මේ රටට අවශ්‍ය වේ යැයි නැත හොත් ගැළපේ යැයි සිතිය හැක්කේ උන්මත්තකයකුට පමණි. එබැවින් ලිබරල් උගතුන්ගේ සැලසුම් ගැන සැක සංකා ඇති වීම අසාධරණ යැයි කිව හැකි ද?

එසේ වුව ද ‘පාත් ෆයින්ඩර්‘ ආයතනයේ උපාය මාර්ගික සැලැස්ම ගැන පුරෝකථන දීමට ඉක්මන් විය යුතු නැත. එවැනි සැලැස්මක් ගැන ආරංචියක් ලද පමණින් එය හෙළාදැකීම තරම් නොවන කාර්යයකි. එබැවින් ඊට ඉක්මන් විය යුතු නොවේ. ඔවුන්ගේ සැලැස්ම සැබැවින් ම රටේ අනාගතය ගැන අවංක ව සිතා සකස් කළ එකක් වේ නම් සතුටු විය යුතු ය. මේ ටික සටහන් කළේ රටේ අනාගතය ගැන අවංක වුවමනාවක් දක්වන සියලු දෙනාගේ අවධානය සඳහා ය.

රට යළි ගොඩනැඟීමේ ක්‍රියාන්විතයේ ප්‍රධාන අංශ දෙක වන්නේ කෘෂිකාර්මික සහ කාර්මික සංවර්ධනයයි. දේශීය ඤාණය සහ නූතන දැනුම නිසි පරිදි කළමනාකරණය කර ගන්නා ඒ ක්‍රියාන්විතයේ දී පදනම වනු ඇත්තේ ‘ගම‘ බවට සැකයක් නැත. ශ්‍රී ලංකාව තව මත් ‘ගම‘ මූලික කර ගත් සමාජ ව්‍යූහයක් සහිත රටකි. නූතන ලිබරල් අවජාතක සංස්කෘතික ප්‍රවාහයකට හසු වී සිටින ඇතැම් උගතුන්ගේ විග්‍රහයට හසු නොවන දේශීයත්වය තව මත් ගමේ ඉතිරි වී තිබේ. එබැවින් අපේ අනාගත සංවර්ධන සැලසුම් ක්‍රියාන්විතය ආරම්භ කරන්නට සුදුසු වන්නේ ද සිදුවන්නේ ද ගමෙනි. නිවැරැදි සැලැස්මක්, නිවැරැදි මඟපෙන්වීමක් ඔස්සේ ගමෙන් දියත් කළ හැකි රාජ්‍ය යාන්ත්‍රණයක් දැනට මත් අප සතු ව තිබේ.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් ලේකම් කොට්ඨාස 25ක් තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334ක් ද, ඒ තුළ ග්‍රාම සේවා වසම් 14022ක් ද ඇත. අපේ අනාගත සංවර්ධන මූලික පදනම විය යුත්තේ මෙකී ග්‍රාම සේවා වසම් 14022යි. මේ සෑම ග්‍රාම සේවා වසමක ම රාජ්‍ය නිලධාරීහු අවම වශයෙන් සිව් දෙනෙක් සිටිති. ග්‍රාම සේවා නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදක සහායක නිලධාරී සහ සංවර්ධන නිලධාරී ඒ සිව් දෙනා ය. මේ අතරින් සංවර්ධන නිලධාරී යනු මෑතක දී පත්වීම් ලද උපාධිධාරියා ය. මීට අමතර ව ග්‍රාම සේවා වසම් දෙකකට හෝ තුනකට එක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් බැගින් සිටී. රාජ්‍යයේ ඉහළ සංවර්ධන සැලසුම් මේ නිලධාරීන් මඟින් ගම තුළ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් සැලසුම් කරන්නේ නම් ඉතා පහසුවෙන් ඒවා සාර්ථක කර ගත හැකි වන බවට කිසි දු සැකයක් නැත.

‘මෙකී රාජ්‍ය නිලධාරීන්ට දැනට මත් නියමිත රාජකාරි තියෙනවා නේ දැ‘යි කිසිවකුට මෙහි දී ප්‍රශ්නයක් පැනනැඟෙන්නට ඉඩ තිබේ. එය සැබෑවකි. එහෙත් රටේ මූලික සංවර්ධන සැලැස්මට ඔවුන්ගේ සහාය ලබා ගැනීමට එය බාධාවක් කර ගත යුතු නොවේ. අනික් අතට ඔුවන් දැන් කරමින් සිටින රාජකාරිය ද ඒ සංවර්ධන සැලැස්මේ ම කොටසක් බවට පත් කර ගැනීමට කිසි දු බාධාවක් ඇතැයි සිතිය නොහැකි ය. මේ නිලධාරීන් අතරින් උපාධිධාරී පත්වීම් යටතේ පත් කරන ලද සංවර්ධන නිලධාරියාට මෙහි දී විශාල වැඩ කොටසකට දායකත්වය දිය හැකි වනු ඇත. ඔවුන්ට තමන් ලද විශ්වවිද්‍යාලයීය දැනුම පිළිබඳ ප්‍රායෝගික පරිචයක් ලබන්නට ද මෙය අවස්ථාවක් බවට පත් කර දිය යුතු ය.

මෙකී රාජ්‍ය නිලධාරී කණ්ඩායමට සහාය කර ගත හැකි ස්වේච්ඡා බළකායක් ද සෑම ග්‍රාම සේවා වසමක ම තිබේ. විහාරස්ථානය, දේවස්ථානය, පල්ලිය, කොවිල ආදී වශයෙන් ඇති ආගමික ස්ථාන එකක් හෝ මේ සෑම කොට්ඨාසයක ම ඇති අතර ඒවායේ ප්‍රධානීන්ගේ විශේෂ දායකත්වයක් ලබා ගත හැකි ය. මේ සෑම ආගමික සිද්ධස්ථානය ම දායක සභාවක් ද තිබේ. ඊට අමතර ව සණස සමිතිය, යෞවන සමාජය, අවමංල්‍යාධාර සමිතිය, ක්‍රීඩා සමාජය, ප්‍රජා මණ්ඩලය, ප්‍රජා සංවර්ධන සමිතිය, සර්වෝදය, ආදී වශයෙන් සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබා ගත හැකි විවිධ ස්වේච්ඡා සංවිධාන සෑම ගමක ම පාහේ හඳුනා ගත හැකි ය.

ගමේ සංවර්ධනය මේ සියලු දෙනාගේ ම දායකත්වය ලබා ගත හැකි වන පරිදි ග්‍රාමීය සංවර්ධන කමිටුවක් නිර්මාණය කර ගත හැකි ය. ඒ සියල්ල සම්බන්ධිකරණය කිරීම සඳහා ග්‍රාමීය ලේකම් කාර්යාලයක් ස්ථාපනය කළ හැකි ය. ඍජු දුරකථන මාර්ග පහසුකමක්, පරිගණකයක් ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් ප්‍රමාණයක් ඊට සැපයිය යුතු ය. මෑතක දී පත්වීම් ලබා දුන් උපාධිධාරීන් සහ උසස් පෙළ සමතුන් අතරින් සුදුස්සන් තෝරා ගෙන අවශ්‍යතාව අනුව පරිගණක දත්ත සැකසුම්කරුවකු/කාරිනියක සහ තවත් එක් සහායකයකු මේ කාර්යාලයට අනුයුක්ත කල හැකි වේ. ඉහත කී පිරිසට රැස්වීම සඳහා මෙන් ම අවශ්‍ය සේවාවන් සපයා දීම සඳහා වූ මධ්‍යස්ථානයක් වශයෙන් මෙකී ග්‍රාමීය ලේකම් කාර්යාලය යොදා ගත යුතු වේ.

මේ පිරිසට සහාය විය හැකි ක්ෂේත්‍ර නිලධාරී ගොන්නක් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ම සිටිති. මේ ඔවුන්ගෙන් කිහිප දෙනෙකි. ග්‍රාම සංවර්ධන නිලධාරී, සංස්කෘතික නිලධාරී, බෞද්ධ කටයුතු සමායෝජක, විදේශ සේවා නිලධාරී, සමාජ සේවා නිලධාරී, වනිතා කටයුතු නිලධාරී, මුල් ළමා විය සංවර්ධන නිලධාරී, තරුණ සේවා නිලධාරී, ක්‍රීඩා නිලධාරී, පරිසර නිලධාරී, දේශීය වෛද්‍ය නිලධාරී, නිවාස නිලධාරී, ඉඩම් නිලධාරී, ග්‍රාමීය කර්මාන්ත නිලධාරී, ප්‍රජා විශෝධක, බදු නිලධාරී, සංඛ්‍යා ලේඛන නිලධාරී. මීට අමතර ව ඇතැම් ප්‍රාදේශීය ලෙක්ම් කාර්යාලවල වතු යටිතල පහසුකම් නිලධාරී, සන්ධාන භාෂා නිලධාරී, පොල් සංවර්ධන නිලධාරී, කජු සංවර්ධන නිලධාරී ආදී වශයෙන් ඒ ඒ ප්‍රදේශවලට ආවේණික විෂයන් සඳහා වූ තවත් නිලධාරීහු සිටිති.

ජාතික සංවර්ධන සැලැස්මේ එක් එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අදාළ කොටස වෙනුවෙන් මේ නිලධාරී පිරිසගේ දායකත්වය ලබා ගැනීම අසීරු නොවනු ඇත. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ ඇති ග්‍රාම සේවා වසම් වෙත පෞද්ගලික ව ම ගොස් තමන්ගේ දායකත්වය ලබා දීම සඳහා වූ ක්‍රමවේදයක් ඔවුන් වෙනුවෙන් නිර්මාණය කළ යුතු ය.එසේ ම ප්‍රෙද්ශයේ ඇති ගොවි ජන සේවා මධ්‍යස්ථානය වැනි රාජ්‍ය ආයතන මේ සැලැස්මේ කොටස්කාර පාර්ශ්ව බවට පත් කර ඉහත කී නිලධාරීන් මඟින් ඒවා ගම සමඟ සම්බන්ධ කළ හැකි ය.

මේ සඳහා වූ ජාතික සැලැස්ම නිර්මාණය කිරීමේ දී ප්‍රෙද්ශයේ දේශපාලන බල අධිකාරියේ දායකත්වය මේ සඳහා ලබා ගන්නේ කෙසේ ද යන්න මෙහි දී විසඳා ගත යුතු මූලික ගැටලුවකි. මන්ද සංවර්ධනය සඳහා ඔවුන්ගේ දායකතවය ලබා ගත යුතුවා සේ ම ජාතික සැලැස්මක දී ඔවුන් බාධාවක් නොවිය යුතු බැවිනි. එසේ ම අඳබාලයන්ගේ බාල දේශපාලනය නිසා සියල්ල අවුල් විය හැකි බැවිනි. මූලික සැලැස්මේ දී ම එය නිරාකරණය කර ගත යුතු වේ.

ධර්ම ශ්‍රී කාරියවසම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More