මුහුණු පොතෙන්

කොරෝනා වයිරසය පැතිරගොස් ඇති රටවල ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් වාසය කරන අතර අධ්‍යාපනය, රැකියාව හෝ වෙනත් හේතු මත ඔවුහු එම රටවලට සංක්‍රමණය වී සිටිනවා.

ශ්‍රී ලාංකිකයන් අවම වශයෙන් ලක්ෂ 26කට අධික පිරිසක් විදෙස් රටවල වාසය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක පැවැසුවා.

කොරෝනා වයිරසයේ බලපෑම ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට වඩාත් බරපතළ ලෙස සංවේදී වන්නේ, ඔවුන් මවුබිම නොවන වෙනත් රටක සිට මෙම තත්ත්වයට මුහුණ දෙමින් සිටින නිසායි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් බොහෝදෙනකු පැවැසුවේ, කොරෝනා වයිරසය තමන් හරහා ශ්‍රී ලංකාවට යෑමට ඉඩ තිබූ හෙයින් සිය මවු රටට නොපැමිණි බවයි.

ඒ සම්බන්ධයෙන් පුවත්පතක පළවූ ලිපියක් ඇසුරින් මෙම ලිපිය සැකසෙනවා.

ඉතාලිය

ඉතාලිය තුළ කොරෝනා වයිරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 12,000 ඉක්මවා තිබේ. මේ අනුව කොරෝනා වයිරස් වසංගතය හමුවේ දැඩිව පීඩාවට පත්ව ඇති රටවල් අතර ඉතාලිය ඉදිරියෙන් සිටී.

ඉතාලියේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් හමුවූ ලොම්බාදියා කලාපයේ පවියා ප්‍රදේශයේ වෙසෙන නම හෙළි කිරීමට අකැමැති ශ්‍රී ලාංකික කාන්තාවක් සිය අත්දැකීම් විස්තර කළාය.

“මාසයක් වගේ අපි දැන් ගෙදර ඉන්නේ. සුපර් මාර්කට්වලට යන්න දෙනවා ගෙදරින් එක්කෙනකුට. එක්කෙනකුට පාස් එකක් දීල තියෙනවා. සුපර් මාර්කට්වල ඕන තරම් බඩු නම් තියෙනවා. පාසල් ඔක්කොම වහලා තියෙන නිසා අපේ දුවලාට ඔන්ලයින් පාඩම් උගන්වනවා.”

“මෙහෙ ගොඩක් මරණ සිද්ධ වෙනවා. අපි ඉන්න පැත්ත නම් ටිකක් ආරක්ෂිතයි. ඒත් වටේ ගම්වල කොරෝනා රෝගීන් ඉන්නවා. මිනිස්සු මැරෙනවා දකිනකොට ලොකු දුකක් ඇති වෙනවා. ඉතාලියේ මිනිස්සු හරිම සරල, නිහතමානී අය. ඒ සැහැල්ලුව අපෙන් ගිලිහිලා තියෙනවා මේ වසංගතය නිසා,” ශ්‍රී ලංකාවේ ගුරුවරියක වශයෙන් සේවය කර මේ වන විට ඉතාලියේ වෙසෙන ඇය සඳහන් කළාය.

මේ අතර, ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකික මාධ්‍යවේදියකු වන සකිල උදය කුමාර පැවැසුවේ, ඉතාලියේ තත්ත්වය දිනෙන් දින දරුණු අතට හැරෙමින් පවතින බවය.

“අපි දැන් ගෙදරටම වෙලා ඉන්නේ. දවසකට ගොඩක් දෙනකු මැරෙනවා වයිරසය නිසා. අපි ඉන්නෙත් ගොඩක් බයෙන්. ශ්‍රී ලංකාවේ ඉන්නවා වගේ නෙවෙයි, අපි වෙනත් රටක ඉන්නකොට ලොකු තනිකමක් වගේ හැඟීමක් හිතට දැනෙනවා.”

ස්පාඤ්ඤය

ස්පාඤ්ඤයද කොරෝනා වයිරසයෙන් බැට කන යුරෝපා මහද්වීපයේ පිහිටි රටවලින් එකකි. එහි මේ වන විට ආසාදිතයන් 95,000 ඉක්මවා ඇති අතර මරණ 8,000 ඉක්මවා තිබේ.

ස්පාඤ්ඤයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකු සම්බන්ධ කරගැනීමට අපට හැකි විය.

එරට හෙදියක වශයෙන් සේවය කරන තිලානි පෙරේරා පැවැසුවේ, තමන් ඉතා ආරක්ෂිතව ජීවත් වන බවය.

“සෞඛ්‍ය සේවකයන් වෙන අපට වැඩට යන්නම වෙනවා. අපට ගෙදර ඉන්න විධියක් නෑ. ලංකාවේ අයව නිතර මතක් වෙනවා. මේ රටේ ශ්‍රී ලංකාවේ කට්ටිය ගොඩක් අඩු නිසා අපිට හදිස්සියකට කතා කරන්නවත් කෙනෙක් නැහැ.”

තිලානි පෙරේරාගේ සැමියා වන දිලීප රණසිංහ පැවැසුවේ, ස්පාඤ්ඤයේ කොරෝනා වයිරසය පැතිර යමින් පැවැති හෙයින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මවු රටට නොපැමිණි බවය.

“මාසෙක වගේ කාලයක ඉඳන් දැන් අපි ගෙදරට වෙලා ඉන්නේ. ඒත් මගේ බිරිය හෙදියක් නිසා එයාට ගෙදර ඉන්න විධියක් නෑ. අපිට නම් මාර්තු මාසේ පඩිය දෙනවා කියල තියෙනවා. මෙහෙ ලංකාවේ කිහිපදෙනෙක් ඉන්නවා වර්ක් පර්මිට් නැතුව. ඒ අයට පඩිය ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි පුළුවන් විධියට ඒ අයට උදවු කරනවා. නැත්නම් ඒගොල්ලන්ට ජීවත් වෙන්න විධියක් නැති වෙනවා.”

ස්පාඤ්ඤයේ වෙසෙන චන්ද්‍රා ගනේවත්ත ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසයට එරෙහි වැඩපිළිවෙළ පිළිබඳව අගය කරන බවය.

“අපට එළියට යන්න තහනම්. ලොකු බයක් දැනෙනවා අපේ ජීවිත ගැන. ශ්‍රී ලංකාවේ වගේ කොරෝනා ආසාදිතයන් හොය හොයා බෙහෙත් කරන වැඩපිළිවෙළක් මෙහෙ නෑ. ඇත්තටම ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු, හමුදාව ගැන ගොඩක් සතුටුයි.”

ඇමෙරිකාව

මේ වන විට ලෝකයේ කොරෝනා වයිරස් ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් හමුවූ රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එහි වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 4000 ඉක්මවයි.

ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ වෙසෙන ගීතිකා වික්‍රමසිංහ ද සිය අත්දැකීම් විස්තර කළාය.

“අපිට එදිනෙදා අවශ්‍ය භාණ්ඩවලින් නම් අඩුවක් නෑ. ඒත් ගෙදරටම වෙලා ඉන්නවා. ශ්‍රී ලංකාවේ ක්‍රමවේදය ඉතා හොඳින් සිද්ධ වෙන නිසා හිතට සහනයක් දැනෙනවා, ශ්‍රී ලංකාවේ ඉන්න අම්මා, තාත්තා ආරක්ෂිතයි කියන එක හිතට දැනෙන නිසා.”

කැනඩාව

කොරෝනා වයිරසය ආසාදිතයන් 8,000කට අධික පිරිසක් කැනඩාවෙන් වාර්තා වන අතර මරණ 100 ඉක්මවා තිබේ.

කැනඩාවේ වෙසෙන නිමාලි අල්විස් මේ වන විට නිවෙසේ සිට සිය රාජකාරිවල නිරත වේ.

“පිටරට ජීවිතය පහසුකම් සමඟ ගෙවුණත් අද පවතින තත්ත්වය හමුවේ එය අසීරුයි. නිවෙසේ සිට රැකියාව කරන්න පහසුකම් ලැබුණත් සමාජය නිවෙසටම කොටු වී එදිනෙදා ක්‍රියාකාරකම් සීමා කරන්න සිදුවීමත් අපහසුවෙන් හෝ කළ යුතුයි. මගේ අත්දැකීම නම් වැඩ කරන ස්ථානයේ මා පමණක් මුඛ ආවරණය සහ අත්වැසුම් පාවිච්චි කළත් හුඟාක් ජනතාව ඒ ගැන වගකීමක් නැතිව කටයුතු කිරීම කනගාටුයි. දැනට නිවෙසේ සිට රැකියාවේ නියුතුවෙලා නිවෙසේම රැඳීම මේ අවස්ථාවේ කරගෙන යෑම රටට වගේම පෞද්ගලිකව මගේ ආරක්ෂාවටත් සහනයක්,” නිමාලි අල්විස් පවසන්නීය.

ඇය සඳහන් කළේ, නිවෙසට වී සිටීමට සිදුවීම නිසා යහපතක් ද සිදුවූ බවය.

“මේ වයිරසය ඡීවිතයට පාඩම් මතක් කර දුන්නා. එකිනෙකාට ආදරය කරන්න සහ ළඟින් සොයා බලන්න, පවුලේ අය සමඟ දුක සැප බෙදාගැනීමට අවස්ථාව ලබාදීම මේ වයිරසයේ හොඳ පැත්තයි. මුළු ලෝකයටම එකිනෙකාට උදවු කරගන්න පුළුවන්වීම ඒ අතර ප්‍රශංසනීයයි.”

ජර්මනිය

ජර්මනියේ කොරෝනා වයිරසය ආසාදිතයන් සංඛ්‍යාව 71,000 ඉක්මවා ඇති අතර මරණ 700 ඉක්මවා තිබේ.

නිමල් වික්‍රමසිංහ ජර්මනියේ තමන් ගෙවන ජීවිතය සහ කොරෝනා වයිරසය නිසා තමන් ලබන අත්දැකීම් විස්තර කළේ මෙසේය.

“කොරෝනා වසංගතය හේතුවෙන් යුරෝපා නිවැස සියල්ලගේම එදිනෙදා ජන ජීවිතය නිවෙස්වලට සීමා වෙලා. ඉතාලිය සහ ස්පාඤ්ඤයට සාපේක්ෂව බලනකොට අපේ රටේ තත්ත්වය ටිකක් හොඳයි. ඒක තමයි අපට මඳකට හෝ ඇති මානසික සුවය. ජර්මනිය තුළ මෙතෙක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරල නැහැ. එදිනෙදා අවශ්‍යතා, විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු පරිභෝජනය සඳහා අවශ්‍ය දේ මිලදී ගන්න වෙළෙඳසල් විවෘතව තිබෙනවා. රෝහල් සහ අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න පුළුවන් ස්ථාන විවෘතව තියෙනවා. විශේෂයෙන්ම වෙළෙඳසල් තුළ සහ මහාමාර්ගය භාවිත කරන සියලු දෙනාම පාහේ මාස්ක් පැලඳ සිටීමක් දක්නට ලැබෙන අතර, එකිනෙකා අතර පරතරය මීටරයකට වඩා රඳවා ගැනීමක් ද දක්නට හැකිය.”

ප්‍රංශය

කොරෝනා වයිරසයෙන්් පීඩාවට පත් තවත් යුරෝපා රටක් ලෙස ප්‍රංශය හැඳින්විය හැකිය. එහි ආසාදිතයන් 52,000කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර මරණ 3500ට අධික සංඛ්‍යාවක් සිදුව තිබේ.

චමිලා ගමගේ ප්‍රංශයේ වාසය කරමින් එරට දරුවන්ට ප්‍රංශ බස උගන්වන ගුරුවරියකි.

ඇයද මේ වන විට නිවෙසට වී කාලය ගත කරයි.

“අපි දැන් ගෙදරටම වෙලා ඉන්නේ. ගෙදර ඉඳන් මම මගේ විෂය පාසලේ දරුවන්ට ඔන්ලයින් මාර්ගයෙන් උගන්වනවා. මේ ගෙවන කාලය ටිකක් අසීරුයි. ඒත් මේකට මුහුණ දෙන්න වෙනවා. පුළුවන් තරම් මගේ දරුවාත් සැමියාත් සමඟ ආරක්ෂිතව ජීවත් වෙන්න උත්සාහ කරනවා,” චමිලා ගමගේ සඳහන් කළාය.

ස්විට්සර්ලන්තය

ස්විට්සර්ලන්තයේ කොරෝනා වයිරස් ආසාදිතයන් සංඛ්‍යාව 16,000 ඉක්මවන අතර මරණ සංඛ්‍යාව 400ට අධිකය.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියකු ලෙස සේවය කළ සසී සුබ්‍රමනියම් මේ වන විට ස්විට්සර්ලන්තයේ වෘත්තීය ඡායාරූප ශිල්පියකු ලෙස සේවය කරයි.

ඔහු සිය අත්දැකීම් අප සමඟ බෙදා ගත්තේ මෙසේය.

“අපි ඉන්නේ ඉතාලි දේශ සීමාවට කිට්ටුවෙන් තියෙන ගමක. ඒත් මේ ගම ටිකක් සුරක්ෂිතයි. පිටින් එන අය ගොඩක් අඩුයි. ඒ නිසා වයිරසයේ බලපෑම ගම ඇතුළට ඇවිල්ලා නැහැ. අපි පුළුවන් තරම් පරිස්සම් වෙලා ඉන්නයි උත්සාහ කරන්නේ.”

ඔහු ද සිය නිවෙසේ සිට රැකියාවේ යෙදේ.

“මම ගෙදර ඉඳන් තමයි වැඩ කරන්නේ. ඒත් ෆොටෝ එකක් ගන්න ඕන වුණොත් එළියට යනවා. මෙහෙ ඇඳිරි නීතිය දාල නෑ. ඒත් මිනිස්සු පොදු ස්ථානවල ගැවසෙන එක ගොඩක් අඩුයි.

එක්සත් රාජධානිය

එක්සත් රාජධානියේ තත්ත්වය පිළිබඳව අදහස් පළ කළේ, එංගලන්තයේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පූජ්‍ය කඹුරාවල සිරි රේවත නාහිමියන්ය.

“අධ්‍යාපනය ලබන්න මෙහෙට ඇවිත් ඉන්න අය තමයි ගොඩක් අපහසුතාවට පත්වෙලා ඉන්නේ. එහෙම ආව අය බොහෝ දෙනෙක් ඉන්නවා මෙහේ. ඒ අය ගැන සොයා බලනවා අපි පුළුවන් විදිහට.”

පූජ්‍ය කඹුරාවල සිරි රේවත නාහිමියන් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙළ පිළිබඳව සතුටු වන බවය.

“මෙහේ නිරෝධායන මධ්‍යස්ථාන නැහැ. ලෙඩේ හැදුණත් බෙහෙත් ගන්න පුළුවන්කමක් නෑ. ගෙදරටම වෙලා තමයි දවස් 7ක් ස්වයං නිරෝධායනය කරන්න වෙලා තියෙන්නේ. ඊට පස්සේ ගොඩක් අමාරු වුණොත් තමයි බෙහෙත් ගන්න යන්න පුළුවන් වෙන්නෙ. මෙහෙත් එක්ක බලනකොට ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙළ ගැන ඉතාම සතුටුයි.”

එක්සත් අරාබි එමීර් රාජ්‍යය

වසුන්දරා කාරියවසම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමිරේට්ස් පාර්ක් සත්ත්වෝද්‍යානයේ අධ්‍යාපන සහ සංරක්ෂණ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නීය.

ඇය ද මේ දිනවල සිය නිවෙසට වී කාලය ගත කරනුයේ, කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිවෙස් තුළට වී සිටින ලෙසට එරට බලධාරීන් උපදෙස් දී තිබෙන හෙයිනි.

“මිනිස්සු එක්ක කෙළින්ම ගනුදෙනු කරන ආයතන වහල තියෙන්නේ. වයිරසය පැතිරෙන එක පාලනය කරන්න ලොකු උත්සාහයක් ගන්නවා මෙහේ රජය. හැම තැනම වගේ විසබීජහරණය කිරීම් සිදුවෙනවා. පොදු ස්ථානවල ඒකරාශී වීමත් තහනම් කරලා තියෙනවා.”

ඕස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියාව යනු ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් වාසය කරන රටවල් අතරින් එකකි. මේ වන විට ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් කොරෝනා වයිරස් වසංගත තත්ත්වයට මුහුණ දී ඇති ආකාරය එහි වෙසෙන සංජය දිසානායක පැහැදිලි කළේය.

ඔහු පැවසුවේ, ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලැබීම සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බවය.

“ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ වන විට විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් විශාල ගැටලුවකට මුහුණ පාලයි ඉන්නේ. ඔවුන්ට තමන් නිරත වූ රැකියාවන් අහිමි වෙලා තියෙන්න පුළුවන්.”

නවසීලන්තය

නවසීලන්තයේ වාසය කරන මෙලිස්සා සෝමචන්ද්‍ර ද සිය අත්දැකීම් විස්තර කළාය.

ඇය ප්‍රකාශ කළේ, නවසීලන්තයේ ද නිවෙසේ රැඳී සිටිමින් රාජකාරිවල නිරත වන ලෙස දැනුම් දී ඇති බවය.

කොරෝනා වයිරසය පැතිරීම අවම කිරීම සඳහා එරට රජය ද ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර තමන් ද එම උපදෙස් අනුව ක්‍රියා කිරීමට උත්සාහ දරන බවය.

ඉන්දියාව

ඉන්දියාවේ වාසය කරන පරිසරවේදිනියක වන කාන්චනා වීරකෝන් ද සිය අත්දැකීම් විස්තර කළාය.

“ඉන්දියාව ලොක්ඩවුන් කරපු නිසා එදිනෙදා වැඩ කරල සල්ලි හම්බ කරපු අය අද අසරණ වෙලා ඉන්නේ. ඒ අයට තමන්ගේ නිවාසවලට යන්න ප්‍රවාහන පහසුකම් නෑ. ඒ නිසා ඒ අය කිලෝමීටර් 700, 800 පයින්ම තමන්ගේ ගෙවල්වලට යමින් ඉන්නවා.”

ඇය පැවැසුවේ, තමන් වාසය කරන ප්‍රදේශයේ ඇතැම් කඩසාප්පු විවෘතව ඇති බවය.

“මම ඉන්නේ රාජ්‍යතාන්ත්‍රිකයන් ඉන්න පැත්තක. අපිට කඩමණ්ඩියක් තියෙනවා. ඒවායින් දැනට බඩු ගන්න පුළුවන්. ඒත් තවත් ටික දවසක් ගත වෙනකොට නවදිල්ලියට භාණ්ඩ ප්‍රවාහනය නොවුණොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.”

–  truenews  –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More