දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ ගෙන ඒමට නියමිත බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි.
ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේය.
2016 වසර අවසානයේ හිටපු ජනාධිපතිවරයා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය අවසන් වරට මුණගැසුණු අවස්ථාවේදී සඳහන් කළේ 2017 වසරේ ආණ්ඩුව පෙරළා දමන බවය.
තමන් දැන් ඒ ආසන්නයට පැමිණ ඇති බව මෙවර පැවති හමුවේදී ඔහු කීය.
අගමැති යවන්න, එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරු කටයුතු කරයි වගේ පෙන්නේ. මට කරන්න දෙයක් නැතිවෙයි
මහින්ද රාජපක්ෂ,, හිටපු ජනාධිපති
“ඒ ව්‍යාපෘතිය යනවා, අගමැතිට ළඟදීම යන්න වෙනවා” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පවසමින් කියා සිටියේය.
“අගමැති යවන්න, එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරු කටයුතු කරයි වගේ පෙන්නේ. මට කරන්න දෙයක් නැතිවෙයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
‘රහසේ කුමන්ත්‍රණ නෑ – දෙන ගේම් එළියේ’
එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාවට අත්සන් තබනු ඇති බවටත් තවත් මන්ත්‍රීවරු ජන්දයේදී ඊට සසහාය පළකරනු ඇති බවටත් හිටපු ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.
කෙසේ නමුත් විශ්වාසභංග ඡන්දයකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බව තමන්ට සිතෙන්නේ යැයි ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.
ගෝඨාභය රාජපක්ෂ

අගමැති රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරන්නේ ඔබ නේදැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් මාධ්‍යවේදියෙක් විමසු විට ඔහු ඊට සිනහවකින් පමණක් පිළිතුරු දුන්නේ ලබන සතිය වන විට විශ්වාසභංගය ගෙන එන බව පවසමිනි.

තමන් ආණ්ඩුව භාරගැනීමට සුදානම් නොමැති බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයෙකුට විපක්ෂයේ සිට සහාය දීමට සුදානම් බව පැවසුවේය. තමන් ඉල්ලන්නේ ඉක්මන් මහමැතිවරණයක් බව හිටපු ජනාධිපතිවරයා විදේශ මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.
ඉදිරි මැතිවරණවලදී සිය පාර්ශ්වය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරග කරන බව පැවසූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද එයට එක්විය හැකි බව කියා සිටියේය.

2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරනවාදැයි විදේශ මාධ්‍යවේදියෙකු විමසු විට හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තවමත් එවැනි තීරණයක් නොමැති බවය.
“ජනතා කැමැත්ත අනුව එය තීරණය වේවි. ගෝඨාභය ද නැත්නම් වෙන කවුරු හරිද කියලා”
රාජපක්ෂ කඳවුරට රට තුළ තවමත් 50% ක ඡන්ද ප්‍රතිශතයක් නොමැති බවට ආණ්ඩුව ගෙන එන තර්කය ගැන නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණු ජන්දවලින් 75% ක් ජාතික මැතිවරණයකදී තම කඳවුරට ලැබෙන බවය. ඒ හේතුවෙන් 50% ලබාගැනීම ගැටලුවක් නොවන බව ඔහු සඳහන් කළේය.

පසුගිය සතියේ මහනුවර ප්‍රදේශයේ ඇතිවූ ජාතිවාදී කෝලාහලය ගැන මෙහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මෙම කෝලාහලයට තම පොහොට්ටු පක්ෂයේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) කිසිදු සම්බන්ධතාවක් නොමැති බවය.

ඊට එම පක්ෂය සම්බන්ධ බවට ආණ්ඩුව චෝදනා කර ඇති බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එවැනි සම්බන්ධයක් එම පක්ෂයට නොමැති බව අවධාරණය කළේය.

ප්‍රහාර සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයට සම්බන්ධ අය අත්අඩංගුවට ගෙන තිබෙනවා නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ විට මෙම අවස්ථාවට එක්ව සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ රටේ 100 දෙනෙකු අත්අඩංගුවට ගතහොත් එයින් 55 දෙනකු පොහොට්ටුවේ සාමාජිකයන් වනු ඇති බවය. වර්තමානයේ රටේ ජනමතය එය බව ඔහු පැවසුවේය.

“අවාසනාවකට ඔබලා මාධ්‍යවල මේවට හාමුදුරුවරු සම්බන්ධ බවට කිව්වම, මතයක් එන්න පුළුවන් මේකට රාජපක්ෂලා සම්බන්ධයි කියලා” යනුවෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

මහනුවර ගැටුමේදී කතාබහට ලක්වූ මඩකලපුව ශ්‍රි මංගලාරාමයේ විහාරාධිපති හිමිනම මහනුවර ගැටුමට දින කීපයකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවූ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා, බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ද ජනාධිපතිවරයා හමුවී ඇතැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

තම ආණ්ඩු කාලය තුළ අලුත්ගම ගැටුම හටගත් විට එය දිනකින් පාලනය කිරීමට තමන්ට හැකිවූ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මහනුවර ගැටුම දින ගණනාවක් ඇදී යාම ආණ්ඩුවේ ආසාර්ථක පරිපාලනය පෙන්වන තවත් උදාහරණයක් බව සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More