චීනයේ ඇත්ත සහ බොරුව
අපි චීනය ගැන තොරතුරු දැන ගන්නෙත් බටහිර මාධ්‍ය හරහා. ශින්-හුවා, CCTV වගේ මාධ්‍ය හරහා චීනය ගැන තොරතුරු දැන ගන්න අයත් චීන භාෂාවෙන් ම පළ කෙරෙන තොරතුරු කියවන අයත් අපි අතර නැති තරම්. ඉතින් මුළුමනින්ම වගේ බටහිර මාධ්‍ය මත යැපිලා චීනය ගැන තොරතුරු දැන ගන්න අපිට සිද්දවෙලා තියෙනවා.
චීනය තමයි බටහිර ලිබරල් බලයට අවනත නැති ප්‍රධානතම රාජ්‍යය. නගරවල ජීවත් වෙන සුළුතරයක් සහ බටහිර අධ්‍යාපනය ලබපු යම් පිරිසක් ලිබරල් මොළ හේදිල්ලට ගොදුරු වෙලා හිටියත් චීනයේ ඉන්න අතිමහත් බහුතරයක් මිනිස්සු තවමත් තමන්ගේ ජාතික සංස්කෘතික ඇගැයීම්වලට මුල් තැනක් දෙනවා. චීන ආණ්ඩුව වුනත් බටහිර ලිබරල් සෙප්පඩ විජ්ජා සත පහකටවත් මායිම් කරන්නේ නෑ. ඉතින් චීනයට විරුද්ධ විශාල මාධ්‍ය මෙහෙයුමක් බටහිර රටවල් විසින් ක්‍රියාත්මක කරනවා.
අදටත් ලෝකයේ මාධ්‍ය බලය තියෙන්නේ බටහිර රටවල් අතේ. Associated Press (AP), Agence France-Presse (AFP), Reuters කියන ආයතන තුන තමයි ලෝක මාධ්‍ය තොවිලය නටන්නේ. මේ මාධ්‍ය තොවිලයට Agenda setting, framing, priming වගේ උපක්‍රම එක සීරුවට යොදා ගන්න බව මාධ්‍ය සාක්‍ෂරතාව (Media literacy) නැති අය දන්නේ නෑ. ඉතින් මේ මාධ්‍යවලින් කියන හැම බොරුවක් ම ඒ විදිහට ම පිළිගන්න අපේ හුඟක් අය පෙළැඹිලා ඉන්නවා.
පහුගිය දවස්වල රොයිටර්ලා කොරෝනාව ගැන තොරතුරු පතුරවද්දි අපේ අයත් හරි හරියට ඒ අය වෙනුවෙන් බැල මෙහෙවරකම් කළා. මේ අය ඒ වැඩේ කරන්නේ රොයිටර්ලා නිර්මාණය කරන බේගල් තමන් දන්න කියන අය අතර බෙදා හැරලා. තමන් දන්න තොරතුරු එක්කවත් මේ බේගල් සංසන්දනය කරලා බලන්න අපි පෙළැඹෙන්නේ නෑ.
එංගලන්තයේ ජීවත් වෙච්ච ශ්‍රී ලාංකිකයෝ විසිපස් දෙනෙක් ඊයේ වෙද්දි කොරෝනාවට ගොදුරු වෙලා මිය ගිහිල්ලා කියලා අපි දැන ගත්තා. දැන් අපි මේ තොරතුර චීනයත් එක්ක සංසන්දනය කරමු. චීනයේ ජීවිත් වෙන ශ්‍රී ලාංකිකයෝ කී දෙනෙක් කොරෝනාවට ගොදුරු වෙලා තියෙනවා ද? මම අහන්නේ මිය ගිහිල්ලා තියෙනවා ද කියන එක නෙවෙයි. මම අහන්නේ කී දෙනෙක්ට මේ ලෙඩේ හැදිලා තියෙනවා ද කියන එක. ටිකක් හිතලා බලන්න.
වූහන්වල ඉගෙන ගත්ත ළමයි තිස් තුන් දෙනෙක් අපි ඇරගෙන ආවා. ඒ ගුවන් මෙහෙයුම ගැන අපි හැමෝම දන්නවා. හැබැයි අපේ ළමයි ඉගෙන ගන්නේ වූහන් නගරයේ විතරක් නම් නෙවෙයි. ථියැං-චින් නගරයේ විතරක් අපේ් ළමයි 700 ක් විතර ඉගෙන ගන්නවා. ඊට අමතරව, පෙයි=චිං, ශං-හයි, කුවං-චෝ, ඡුං-ඡිං, කුන්-මිං, ඡං-තූ, තා-ලියැන්, චී-ලින්, චී-නන්, වගේ නගර මහ ගොඩක අපේ ළමයි විශාල ප්‍රමාණයක් ඉගෙන ගන්නවා. තමන්ව ආපහු ගේන්න කියලා මේ එක ළමයෙක්වත් ඉල්ලීම් කළේ නෑ. එහෙම වුනේ ඇයි කියලා හිතන්න පුළුවන් ද?
මෙහෙට ඇවිල්ලා හිටිය ශ්‍රී ලාංකිකයෝ සෑහෙන ප්‍රමාණයකුත් ජනවාරි සහ පෙබරවාරි මාසවල ආපහු චීනයට ගියා. ආපහු චීනයට යන්න බයක් ඒ අයට තිබුණේ නෑ. ඒ හැමෝම අපි වගේ සාමාන්‍ය මිනිස්සු. මෙහෙම වුනේ ඇයි කියලා හිතන්න පුළුවන් ද?
මේ ලෝකයේ සමහර තොරතුරු හංගන්න පුළුවන්. ඒත් හංගන්න අමාරු එක තොරතුරක් තියෙනවා. ඒ තමයි බින්දුව කියන ඉලක්කමෙන් විස්තර කෙරෙන සමහර තොරතුරු.
චියං-සු (Jiangsu) කියලා කියන්නේ චීනයේ නැගෙනහිර මායිමේ තියෙන විශාල පළාතක්. මේ පළාතේ ජනගහනය කෝටි අටකටත් වැඩියි. මේක චීනයේ තියෙන හුඟක් ම දියුණු ප්‍රදේශයක්. මේ පළාතේ 653 දෙනෙක් කොරෝනා උවදුරෙන් අසනීප වුනා. ඒ අයගෙන් දහ දෙනෙක් තවමත් ඉස්පිරිතාලවල ප්‍රතිකාර ලබනවා. ඒ දහ දෙනා පහුගිය සති දෙක තුන ඇතුළත විදේශවලින් මේ පළාතට ආපු අය. ඒ කියන්නේ චියං-සු පළාතේ මේ ලෙඩේ හැදිච්ච හැම කෙනෙක් ම සනීප වෙලා තියෙනවා. එක් කෙනෙක්වත් පරලොව ගිහිල්ලා නෑ. ඒ කියන්නේ මරණ සංඛ්‍යාව බින්දුවයි.
තිහක් මැරිච්ච තැනක විස්සක් මැරුණා කියලා බොරුවක් කියන්න පුළුවන්. ඒත් එක් කෙනෙක්වත් මැරුණේ නෑ කියලා කියන්නේ හංගන්න පුළුවන් කතාවක් නෙවෙයි. ඒක ඉතාමත් ලේසියෙන් බොරු කරන්න පුළුවන් කාරණයක්. මේ ලෙඩේ හැදිලා මැරිච්ච එක කෙනෙක්ට අදාළ තොරතුරක් එළියට ආවත් ඒ බොරුව අතේ පත්තු වෙනවා.
චීනයේ තමයි ලෝකයේ විශාලතම සයිබර් ජනගහනය ඉන්නේ. ඒ ප්‍රමාණය දශ ලක්‍ෂ 840 ක්. අපේ රටේ සයිබර් ජනගහනය දශ ලක්‍ෂ 7 යි. ඉතින් චීනයේ තියෙන මේ සන්නිවේදන පරිසරය ඇතුළේ බින්දුව වගේ ඉලක්කමක් හංගන්න බෑ. ලෙඩ වෙච්ච හැම කෙනෙක් ම සනීප වෙලා ගෙදර ගියා කියලා චියං-සු ආණ්ඩුව කියද්දි ඒකට පටහැනි කතාවක් තියෙනවා නම් ඒක ලේසියෙන් ම එළියට එනවා.
අපේ රටේ දිස්ත්‍රික්ක සෑහෙන ප්‍රමාණයකින් එක කොරෝනා ලෙඩෙක්වත් වාර්තා වෙලා නෑ. ඒ කියන්නේ ඒකත් බින්දුවත් එක්ක බැඳිච්ච තොරතුරක්.
වූහන් නගරයේ කොරෝනා මරණවලට අදාළ වාර්තාව පහුගිය සතියේ 1290 කින් ඉහළ ගියා. මේකත් අපි දැක්කේ ලොකු බොරුවක් එළියට ආපු අවස්ථාවක් විදිහට. ඇත්තෙන්ම ඒකට අදාළ තොරතුරු මේ වෙද්දි ප්‍රසිද්ධ වෙලා තියෙනවා. පෙබරවාරි 11 වැනි දා හූ-පෙයි පළාතෙන් වාර්තා වෙලා තිබුණේ ලෙඩ්ඩු 1638 දෙනෙක් විතරයි. ඒත් ඊට පහුවදා ලෙඩ්ඩු 14840 ක් වාර්තා වුනා. මෙහෙම වුනේ හදිසියේ ලෙඩ්ඩු වැඩිවීමක් හින්දා නෙවෙයි. ලෙඩ්ඩු හඳුනා ගැනීමේ ක්‍රමයේ කරපු වෙනසක් හින්දා තමයි මේ අසාමාන්‍ය වැඩිවීම සිද්ද වුනේ. ඉතින් මුල් දවස් විස්සකට වැඩි කාලයක් සඳහා නිකුත් කරපු වාර්තාවල පදනමත් ඒ එක්කම වෙනස් වෙනවා. ඒ කාලය තුළ මිය ගිය අය පිළිබඳව පසු විපරමක් කරන්න වෙනවා.
ලෙඩේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා මේ වෙන කල් හූ-පෙයි පළාතෙන් කොරෝනා ලෙඩ්ඩු 68128 දෙනෙක් වාර්තා වුනා. ඒ අයගෙන් 50333 ක් ම වාර්තා වුනේ වූහන් නගරයෙන්. වූහන් කියන්නේ හූ-පෙයි පළාතේ ප්‍රධාන නගරය. මේ ඇතිවෙච්ච මහා කලබැගෑනියට සෞඛ්‍ය අංශවල අය සම්බන්ධ වුනේ කිසිම පෙර අත්දැකීමක් නැතුව. ඒ වගේ ම ඇති වෙච්ච තදබදය හින්දා රෝහල් පහසුකම් සැපැයීමත් ගැටලුවක් බවට පත් වුනා. අලුතින් ඉස්පිරිතාල හදන්න වුනෙත් ඒ හින්දා. ඉතින් මේ කලබල මැද්දේ සමහරු ඉස්පිරිතාලවලට යන්න අදිමදි කළා. බලය පාවිච්චි කරලා ඒ විදිහේ සමහරු රෝහල්වලට ගෙනි යන එකට අදාළ වීඩියෝ අපි අතර පවා සංසරණය වුනා. ඉතින් ඉස්පිරිතාලවලට යන්නේ නැතුව පරලොව ගිය අයගේ තොරතුරු පවා ඇතුළත් කරලා තියෙන්නේ මේ පසු විපරම් වාර්තාවට.
මේ මොනවා කීවත් අපේ සෑහෙන පිරිසක් චීනය ගැන හොඳක් කියන්න කැමැති නෑ. ඒක තමයි බටහිර මාධ්‍යයේ බලය. හෝදපු මොළයකට තේරෙන්නේ ඒකට අදාළ විදිහට ගලාගෙන එන තොරතුරු විතරයි. ඊට පටහැනි කිසිම දෙයක් ඒ මොළවලට දිරවා ගන්න අමාරුයි. ඒ හින්දා මේ ලිපිය ලියපු එක සම්බන්ධයෙනුත් මට සෑහෙන සංග්‍රහයක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඒක කාටවත් වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. උදේ දවල් රෑ නැතුව රොයිටර්ලා කියන දේවල් බොරු වෙන්නේ කොහොම ද? සුදු මහත්තුරු තමයි ඇත්ත කියන්නේ!
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...