පුරවැසි කොලම

කොරෝනා වසංගතය මුළු ලෝකයටම විශාල විපතක් සිදු කර ඇත. මේ වසංගතය විසින් ලෝක ආර්ථිකයට මෙන්ම ලෝකයේ සෑම රටකම ආර්ථිකයන්ට අඩු වැඩි වශයෙන් බලවත් හානි සිදු කර ඇත. අපේ රටේ තත්වයත් එයයි. එහෙත් මෙයද අවසානය නොවේ.මෙහි නිමාව ගැන කිසිවෙකුටත් ස්ථිර අනාවැකි කිව නොහැකිය. විවිධ අය නොයෙකුත් කතා කියමින් සිටියත් තවමත් මේ විපත කොතනින් අවසන් වේද යන්න ගැන සිතා ගැනීමටත් අපහසුය. මුලින් ලිහිල් කිරීමට තීරණය කළ පොලිස් ඇදිරි නීතිය පවා කොළඹ ඇතුළු අවධානම් දිස්ත‍්‍රික්ක සදහා අපේ‍්‍රල් 27 දින දක්වා යළි දීර්ඝ කිරීමට රජයට සිදු විය. මේ ලිපිය ලියමින් සිටින විට අපේ රටේ කොවිඞ් 19 අසාධිතයන් ගණන 310 ද ඉක්මවා ගොස් තිබිණි. මුලින්ම මෙරටින් හමු වූ කොරෝනා ආසාධිත චීන ජාතික කාන්තාව සුව වී මෙරට සෞඛ්‍ය ඇමතිනිය විසින් මාධ්‍ය ඉදිරියේ හාදු දී පිටත් කර යවන විට අපේ රටේ මෙතරම් දුරට මේ වෛරසය ව්‍යාප්ත වනු ඇතැයි ඇය මෙන්ම මෙරට සෞඛ්‍ය බලධාරීන් ද නොසිතන්නට ඇත. මේ වෛරසය පැතිර යන ලෝකයේ වෙනත් බලවත් රටවලට සාපේක්ෂව අපේ රටේ තත්ත්වය හොද විය හැකි නමුත් හෙට දවස ගැන අපට ඒ නිසාම සර්ව සුබවාදීව බැලීමට පුළුවන්කමක් නැත.

කොරෝනා වසංගතය මගින් ඇති වූ අහිතකර බලපෑම නිසා මාර්තු මාසයේ නිෂ්පාදන ක‍්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇතැයි ශ‍‍්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2020 මාර්තු මාසයේ දී දර්ශකාංක 23.6 කින් පහළ යමින් දර්ශක අගය 30.0ක් බවට පත් වූ අතර එය මෙතෙක් වාර්තා කළ අඩුම අගය වේ. කොවිඞ් -19 වසංගතය මගින් ශ‍‍්‍රී ලංකාවේ නිෂ්පාදන අංශය කෙරෙහි ඇති බලපෑම පිළිබිඹු කරමින් නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල සිදු වූ සැලකිය යුතු පහළ යාම, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ මෙම පහළ යාම සඳහා ප‍‍්‍රධාන ලෙස හේතු වූ බවද මහ බැංකුව පවසයි. මාර්තු මස සිට ඇඳිරි නීතිය පැනවීමත් සමග නිෂ්පාදන අංශයේ සමාගම් වසා දැමීමට සිදුවීම, නිෂ්පාදනයේ සිදුවූ සැලකිය යුතු පහළ යාමට හේතු විය. එසේම , මේ සමාගම් වසා දැමීම නිසා නිෂ්පාදන ක‍්‍රියාවලිය ඇණහිටීමත් සමගම නව ඇණවුම් සහ තොග මිලදී ගැනුම්වල සැලකිය යුුතු පහළ යාමක් සිදුව තිබේ. මාර්තු මාසයේ මුල් කාලයේ ඇමරිකාවෙන් සහා යුරෝපා රටවලින්, විශේෂයෙන්ම , රෙදිපිළි හා ඇඟළුම් සඳහා ලැබුණු ඇණවුම් , එම රටවල කොරෝනා වෛරසයේ සිදුවූ ව්‍යාප්තියත් සමගම අවලංගු ර ඇත. සාමාන්‍යයෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ඉහළ යාම තුළින් , නිෂ්පාදන ක‍්‍රියාකාරකම්වල වර්ධනය සමග අමු ද්‍රවය සදහා ඇතිවන ඉල්ලූ‍ම ඉහළ යාම පිළිබිඹු වන මුත් , මාර්තු මාසයේ මෙලෙස ඇණවුම් සැපයීමට සැපයුම්කරුවන්ට වැඩි කාලයක් ගතවී ඇත්තේ ඣඪෂෘ-19 වසංගතය ව්‍යාප්තිය සමග නැව් භාණ්ඩ ප‍්‍රවාහනයේ සහ දේශීය වශයෙන් භාණ්ඩ ප‍්‍රවාහනයේ සිදුවූ ප‍්‍රමාදයන් හේතුවෙනි. මේ තත්වය මාර්තු මාසයට වඩා අපේ‍්‍රල් සහ මැයි මාසවල නිෂ්පාදන ක‍්‍රියාකාරකම් අකර්මන්‍ය වීමට බලපානු ඇත.

මේ වසංගතය පැතිර යාම අතින් විවිධ රටවල් සිටින්නේ විවිධ මට්ටමේය.අප වෙන රටවලට සාපේක්ෂව හොද මට්ටමක සිටින නමුත් අප ඕනෑවට වඩා අධිතක්සේරුවකින් කටයුතු කිරීම් ද සුදුසු නොවේ. කෙසේ වෙතත් අපට මේ කොරෝනා වසංගත තත්ත්වය සමනය වීමෙන් පසු අපේ ආර්ථිකය සහ ජන ජීවිතය ගොඩ නැගීමට සිදු වේ. එහෙත් අප ඉතා පැහැදිලිව වටහා ගත යුත්තේ එය අපේ රටේ කොරෝනා වසංගත තත්වය සම්පුර්ණයෙන් අවසන් වීමෙන් පසු ආරම්භ කළ යුතු දෙයක් නොව දැන් සිටම ආරම්භ කළ යුතු දෙයක් බවයි. මේ නිසා මේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට තුඩු නොදෙන පරිදි ආර්ථික ක‍්‍රියාකාරකම් ක‍්‍රමානුකුලව ආරම්භ කිරීමට (පියවරෙන් පියවර * පියවර ගත හැකිය. ඒ ගැන ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ ද අවධනය යොමුව තිබේ. පසුගියදා ඇදිරි නීතිය ලිහිල් කිරීමට ගත් පියවර ද ඒ අනුව ගනු ලැබුවක් මිස ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගෙන ගනු ලැබුවක් නොවන බව පැහැදිලිය. මේ නිසා සෞඛ්‍ය හා වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් ඇතිව මේ වෛරසය ව්‍යාප්ත වීම වලක්වා ගැනීමේ සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් ද නිසි පරිදි අනුගමනය කරමින් ක‍්‍රමානුකුලව ආර්ථිකය පණ ගැන්වීමේ පියවරයන්ට අපට යොමු විය හැකිය. එසේ නොකළහොත් අපට කොරෝනා වසංගතය නිසා සිදු වෙන ආර්ථික විපත තවත් දරුණු වනු ඇත. එය හැකිතාක් අවම කර ගැනීමට ආර්ථික ක‍්‍රියාකාරකම් ක‍්‍රමානුකුලව ආරම්භ කළ යුතු වේ. උදාහරණයක් ලෙස ධීවර සහ කෘෂිකර්ම කටයුතු සදහා රජය ඉඩ දී ඇති අතර එසේම අපට මේ මොහොතේ විශාල විදේශ විනිමය අර්බුදයක් ද තිබෙන නිසා අපනයන කර්මාන්ත කර්මාන්ත නැවත ආරම්භ කළ යුතු වේ. අනෙකුත් සියලූ‍ කර්මාන්ත ද කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ ක‍්‍රියාමාර්ගවලට යටත්ව පියවරෙන් පියවර ආරම්භ කිරීම් සුදුසුය. ආර්ථික ක‍්‍රියාකාරකම් වැඩි වශයෙන් කේන්ද්‍ර ගත වී තිබෙන කොළඹ නගරය වසාගෙන සිටීමට සිදු වීම විශාල පාඩුවකි. එසේ කියා වෛරසය ව්‍යාප්ත වීමට තුඩු දෙන අනාරක්ෂිත ක‍්‍රියාමාර්ග නොගත යුතුමය. එහෙත් එවැනි අවධානමක් නොමැතිව පටන් ගත හැකි ආර්ථික ක‍්‍රියාකාරකම් පියවරෙන් පියවර ආරම්භ කිරීමට නොහැකියාවක් නැත. එසේ වුවත් කිසිසේත්ම සෞඛ්‍ය ආරක්ෂණ පියවර නොසලකා කිසිවක් එකපාරටම නිදහස් කළ හැකි නොවේ. මේ ගැන ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාට ද නිවැරදි තක්සේරුවක් ඇති බව පසුගියදා ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සමග ජනාධිපතිවරයා පැවැත්වූ රූපවාහිනී සාකච්ජාවෙන් පැහැදිලි විය.එහිදී ලලිත් වීරතුංග මහතා අසන ලද ප‍්‍රශ්නයකට ජනාධිපතිවරයා දෙන ලද පිළිතුර මෙසේය.

‘විශේෂයෙන්ම ක්ෂේත‍්‍ර කිහිපයකට විශාල පහරක් වැදුණා. අපේ ආර්ථිකයෙන්. දැන් මාසෙකට පමණ කාලයකට පස්සේ අපිට හිතන්නට වෙලා තියෙනවා අපේ ආර්ථිකය පණගන්වන්නේ කොහොමද කියන කාරණය. අපිට විදේශ විනිමය, රැුකියා උත්පාදනය වූ සංචාරක ක්ෂේත‍්‍රය, ස්වයං රැුකියා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇගලූ‍ම් කර්මාන්තය හා අනෙකුත් අපනයන ක්ෂේත‍්‍රවලට විශාල පසුබෑමක් සිද්ධ වී තිබෙනවා මේ කොරෝනා වෛරසය නිසා. මේක හොඳම අවස්ථාව ආර්ථික සැලැස්මේ වෙනසක් කරලා දේශිය ආර්ථික සැලැස්මකට යොමු වීමට .

පසුගිය කාලයේ අපේ රටේ නිපදවන්න පුළුවන් දේත් පිටරටින් ගෙනාවා . අපිට කෘෂිකර්මාන්තය අතින් ස්වයං පෝෂිත වෙනවා විතරක් නොවෙයි අපේ රටේ නිපදවන දේවල් පිටරටවලට යවන්නත් අවස්ථාව උදා කරගන්න පුළුවන්.

ලෝකයේ සෑම රටකම පාහේ ආර්ථිකය කඩා වැටෙනකොට අපේ ආර්ථිකයත් කඩා වැටෙනවා. අපි බොහොම ක‍්‍රමානුකූලව අපේ ආර්ථිකය යම් තත්ත්වයකට පත් කළත් මුළු ලෝකයේම ආර්ථිකය යථා තත්ත්වයකට පත් නූනොත් අපට අනිවාර්යයෙන්ම ප‍්‍රශ්න ඇති වෙනවා. උදාහරණයක් ලෙස අපේ සංචාරක ක්ෂේත‍්‍රය ගනිමු. සංචාරකයන් විශේෂයෙන් පැමිණෙන යුරෝපයෙන් අපට හිතන්න බෑ කවදාද මේ සංචාරකයන්ට එන්නට පුළුවන් වෙන්නේ කියලා. අපිට හොද අවස්ථාවක් නැවත හිතන්නට මොන රටවල් ද මේ උවදුරෙන් ඉක්මණින්ම ගොඩ එන්නේ. ඒ ගොඩඑන රටවල් වලින් අපි මේ සංචාරකයෝ ගෙන්න ගන්නට පුළුවන් වෙන්නේ කියන කාරණයට අපි හිත යොමු කරන්නට වෙනවා. ඒ වගේම අපනයන ක්ෂේත‍්‍රය අලූ‍ත් වෙළදපොළවල් සොයා ගන්නට අපට සිදුවේවි. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අවශ්‍ය ආරක්ෂක ඇඳුම් මේවා නිෂ්පාදනය කරන්නට හොද අවස්ථාවකි’

මේ නිසා කොරෝනා වසංගතයෙන් පසුව අප විසින් ගොඩ නගාගත යුතු අලූ‍ත් ආර්ථිකය සහ එහි උපායමාර්ග ගැන අප දැන් සිටම අවධානය යොමු කර ක‍්‍රියාමාර්ග ගත යුතුය.ඒ සදහා අපේ රටින් අවසන් කොරෝනා රෝගියා සුවපත් වන තෙක් සිටිය යුතු නැත. ඇත්තවශයෙන්ම ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ පිළිතුරින් පැහැදිලි වන්නේ කොරෝනා වසංගතයෙන් පසු අප විසින් බිහි කර ගත යුතු අලූ‍ත් ආර්ථිකයේ හැඩරුව ගැන ජනාධිපතිවරයාටද අවබෝධයක් ඇති බවයි. මෙහිදී අනෙකුත් ආර්ථික විශේෂඥයන්ගේ අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගතු යුතු වේ. මේ නිසා වැටී ඇති ආර්ථිකය පණ ගන්වා ගත යුතු වුවත් එය කළ යුතු වන්නේ මේ කියන අලූ‍ත් ආර්ථිකයක් ගොඩනැගෙන පරිදිය.නැතහොත් අප නැවත වැටෙන්නේ පරණ තැනටමය. හැමදාම අපට ඇගලූ‍ම් සහ තේ සාම්ප‍්‍රදායික අපනයන වෙළෙදපොල (රටවල්* වෙත අපනයනය කර කර සිටිනවා වෙනුවට මේ වසංගතය සමග ලෝකයේ ඉල්ලූ‍මේ ද සිදු වන වෙනස්කම් ගැන සලකා නව නිෂ්පාදන (උදා – සෞඛ්‍යාරක්ෂිත ඇදුම් * ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කළ හැකි අතර රජය මේ සදහා රටේ නිෂ්පාදකයන්ට සහ අපනයනකරුවන්ට අවශ්‍ය මගපෙන්වීම සහ සහාය ලබා දිය යුතු වේ.පසුගිය කාලයේ සරුංගල් පවා අප විදේශයන්ගෙන් ආනයනය කළේය. මේ නිසා අපට හොදටම නිෂ්පාදනය කරගත හැකි දේවල් අපම නිෂ්පාදනය කර ගත යුතු වේ. එසේම නිෂ්පාදනය කර ගත නොහැකි දේ වූවත් ආනයනය නොකර ආනයන ආදේශන වෙත අපට යොමු විය හැකිය.මේ රටේ ඕනෑ තරම් පළතුරු තිබේ. ඒ නිසා විදේශයන්ගෙන් ඇපල් සහ දොඩම් වැනි දේ අපට සැහෙන කලකට නොගෙන්වා සිටිය හැකිය. මේ නිසා වඩාත් පුළුල් වශයෙන් කිව යුතු වන්නේ අපගේ අපනයන සහ ආනයන ව්‍යුහයේ සැලකිය යුතු වෙනසක් කර ගැනීමට මෙය හොදම අවස්ථාවක් බවයි. මේ සදහා ජනසමාජයේ සැලකිය යුතු ආකල්පමය වෙනසක් ද සිදු විය යුතුය. කොරෝනා වසංගතය හොද දෙයක් නොවන නමුත්, එහි ආර්ථික බලපෑම් ඉතා දරුණු බව සැබෑවක් නමුත් එම අදුරු වලාවෙන් රිදී රේඛාවක් මතු කර ගැනීමට අප උත්සාහ කළ යුතුය. ඒ සදහා වන නව ආර්ථික උපායමාර්ග වෙත අප වහාම යොමුවී මේ අලූ‍ත් ආර්ථිකය ගොඩ නගා ගත යුතු වේ.

ජුනි 20 දිනට දින නියම කළ ඉදිරි මහ මැතිවරණය ගැන යම් කතා බහක් තිබුණත් ඇති මහත් බහුතර මහජනයාට නම් මේ තීරණාත්මක මොහොතේ මැතිවරණ ගැන උනන්දුවක් නැත. එසේම පක්ෂ භේදයෙන් තොරව දේශපාලනඥයන් , මේ දිනවල ජනයාට වහ කදුරු වී තිබේ. මේ දිනවල දේශපාලනඥයන්ගේ මුහුණත්තහඩු රූපවාහිනියෙන් දකින විට මහජනයාගේ නොමද වෛරයට ඔවුන් ලක්වීම ද වැළක්විය නොහැක්කකි. ඇතැම් දේශපාලනඥයන් දිනපතා කුමන හෝ කරුණක් මුල් කර ගනිමින් තම රාජකාරී වගකීම යැයි කියා ගනිමින් මාධ්‍ය හමු පැවැත්වීමට උත්සාහ ගනිමින් සිටී. එහෙත් මේ මොහොතේ අන් සියලූ‍ රාජකාරී වගකීම් වලට වඩා ලොකුම වගකීම වන්නේ මේ වෛරසය ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමයි. ඒ සදහා සාමාන්‍ය මහජනයා පමණක් නොව රජයේ සියලූ‍ ඇමැතිවරුද වත්මන් සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රියාමාර්ග සහ වෛරසය ව්‍යාප්ත වීම වැළක්වීමේ රාජ්‍ය ප‍්‍රතිපත්තියට අනුකුලව ක‍්‍රියා කළ යුතු වේ. මේ කාලයේ දිනපතාම පාහේ මාධ්‍ය හමු තියන අය මේ රාජ්‍ය ප‍්‍රතිපත්තියට එරෙහි හැසිරීමක් ප‍්‍රදර්ශනය කරමින් සිටින අතර සෞඛ්‍ය අවදානමක් ගෙනෙන සහ රජයේ ප‍්‍රසාදයට හානිකර එම කටයුතු ගැන වහාම ජනාධිපතිවරයාගේ අවධානය යොමු වීම ඉතා වැදගත්ය.මේ වසංගත සමයේ සාමාන්‍ය කාලයකදී මෙන් රාජකාරී වගකීම් ඉටු කළ හැකි නම් රජය ඇදිරි නීතිය පනවා නිවසේ සිට වැඩ කරන කාලයක් ප‍්‍රකාශ කර ඇත්තේ ඇයි ? එසේ නම් රජයට ඇදිරි නීතිය ඉවත් කර අනෙකුත් රාජ්‍ය සේවකයන්ට ද තම රාජකාරී වගකීම් ඉටු කිරීමට රාජකාරියට වාර්තා කිරීමට උපදෙස් දිය හැකිය.එහෙත් මේ මොහොතේ වෙනදා මෙන් සුපුරුදු පරිදි රාජකාරී වගකීම් ඉටු කළ හැකි කාලයක් නොවන බව රජයේ ඇතැම් අය තේරුම් ගත යුතුය. රාජකාරී වගකීම යැයි කිව්වත් මේ මාධ්‍ය හමු තියන්නේ අනියම් අයුරින් හෝ ඉදිරි මහ මැතිවරණයට දේශපාලන වාසියක් සලසා ගැනීමට බව මේ දෙස බලා සිටින අයගේ අදහසයි. මෙය වේගයෙන් පැතිර යන ලෝක වසංගත තත්වයකි. මේ නිසා මේ වෙලාවේ ඇත්තවශයෙන්ම රාජකාරී වගකීම විය යුත්තේ අවදානම් ලෙස පිරිස් ඒකරාශී නොවන පරිදි ක‍්‍රියා කිරීමයි.අප කියන මේ දෙය අකුරටම ඉටු කරමින් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ , අගමැති මහින්ද රාජපක්ෂ ,ජනපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ,අත්‍යවශ්‍ය සේවා ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ ,මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඞී ලක්ෂ්මන්, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ඇතුළු බොහෝ දෙනෙක් මාධ්‍යවේදීන් කැදවා පිරිස් ඒකරාශී නොවන පරිදි ජනයාට සන්නිවේදනය කළ යුතු සියලූ‍ දේ ඉතා මැනවින් සිදු කරමින් මහජනය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කරමින් සිටීම අගය කළ යුතු දෙයකි.

ඇත්ත වශයෙන්ම ගිය වසරේ (2019 * පාස්කු ප‍්‍රහාරය එල්ල වුයේද, කොරෝනා වෛරසය පහර දුන්නේ ද යහපාලන රජය යටතේ සිදු වූ කුප‍්‍රකට බැදුම්කර මගඩිය සහ අයහපත් ආර්ථික කළමනාකරණය නිසා බරපතල ලෙස දුර්වලව තිබූ ආර්ථිකයකට බව අප අමතක කල යුතු නැත. එහෙත් මේ කොරෝනා වසංගතය අපට පමණක් ඇති වුවක් නොව මුළු ලෝකයටම විශාල අහිතකර ආර්ථික බලපෑමක් ඇති කර ඇති දෙයකි. මේ නිසා ලෝක ආර්ථිකයට දරුණු ආර්ථික අවපාතයකට මේ වසරේ (2020 * දී මුහුණ දීමට සිදු වනු ඇත. මේ අනුව අපට පැහැදිලි වන්නේ

පසුගිය වසර හතරහමාරේ දී ප‍්‍රධාන වශයෙන් බැදුම්කර මගඩිය ඇතුළු වෙනත් සාධක නිසා වැටී හොදටම දුර්වල වී තිබුණු ආර්ථිකයට පාස්කු ඉරිදා ප‍්‍රහාරය නිසා වූයේ ගහෙන් වැටී සිටි මිනිසාට ගොනා ඇන්නාක් වැනි වැඩකි. එවැනි ආර්ථිකයට මේ කොරෝනා වසංගතය නිසා කවර බලපෑමක් සිදු වනු ඇතිද ? එහෙත් මේ කොරෝනා විපත ඇති විශාල කළු වලාවක් වුවත් මෙහි රිදී රේඛාවක් ද මතු කර ගත හැකිය. මෙනම් මෙය අපේ ආර්ථික උපායමාර්ග වෙනස් කර නව ආර්ථිකයක් ගොඩ නගා

ගැනීමට හොඳ අවස්ථාවකි.මේ කොරෝනා විපතින් පසු ගොඩනගන නව ආර්ථිකයේ හැඩරුව ගැන අපට පුළුල් වශයෙන් සාකච්ජා කල හැකිය. ආනයන තවදුරටත් සීමා කර ගැනීම , ආනයන ආදේශන වෙත වැඩි වශයෙන් යොමු වීම, ලෝක ඉල්ලූ‍මට අනුව නව අපනයන භාණ්ඩ නිෂ්පාදනය කිරීම සහ නව අපනයන වෙළෙදපොළ වෙත යොමු වීම සහ ආහාර සුරක්ෂිතතාව ඇති කර ගැනීම වැනි උපාය මාර්ග වෙත යොමු වෙමින් හැකිතාක් දුරට ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කර ගැනීමට අපට මෙය ඉතා හොද අවස්ථාවකි. ස්වයන්පෝෂිත කියූ පමණින් වැරදි වැටහීම් ඇති කර ගත යුතු නැත.එහි අදහස අපට අවශ්‍ය හැම දෙයක්ම අප විසින් නිපදවා ගත යුතු බව නොවේ. එය කළ හැකි දෙයක් ද නොවේ.වෙනත් රටවල් ද එසේ සිතුවොත් අපට අපේ භාණ්ඩ අපනයන කිරීමට වෙන්නේ ද නැත.මෙහි අර්ථය එය නොවේ. අපට වඩාත්ම හැකියාව ඇති අංශවලින් අපට ස්වයංපෝෂිත විය හැකි බවයි.කොරෝනා වසංගතයෙන් පසු වෙනත් රටවල් ද එවැනි උත්සාහයන් දරනු ඇත.එහෙත් රටක ජනයාට අවශ්‍ය සියලූ‍ දේ ලෝකයෙන් හුදෙකලා වී එම රටටම තනිවම නිපදවා ගත නොහැකිය. වාහන ධාවනය කිරීමට අපට ඉන්ධන ආනයනය කිරීමට සිදු වේ. එය කළ යුතු අතර මේ අවස්ථාවේ ලෝක ඉන්ධන මිල අඩු වීමේ වාසිය ද අප වැනි රටකට නිසි කළමනාකරණයකින් යුතුව යොදා ගත හැකි වේ. වසර විසි එකකට පසු වාර්තාගත ලෙස ලෝක බොරතෙල් මිල අඩු වී තිබේ. ඒ අනුව මේ වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල කොරෝනා වසංගතය නිසා විපතට පත් ජනයාට සහන සැලසීම වෙනුවෙන් මේ වාසිය ද අප ප‍්‍රයෝජනයට ගත යුතුව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More