පුරවැසි කොලම

බොර තෙල් මිල වාර්තා ගත ලෙස පහළ වැටීමත් සමග ම ලංකාවට අවශ්‍ය කරන ඉන්ධන ගබඩා කර ගැනීම පිළිබඳව සමාජය තුළ කතිකාවතක් ගොඩ නැගී ඇත .මේ සම්බන්ධයෙන් වඩාත් කතාබහට ලක් වී ඇත්තේ චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳව ය.චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඉතිහාසය වර්තමානය හා එහි අනාගතය පිළිබඳව කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් සහ වගකීමක් ඇත්තේ ඛනිජ තෙල් වෘත්තීය සමිති ව්‍යාපාරයට බව මතක් කළ යුතු ව ඇත. 2003 වසර දක්වා ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව සතුව තිබූ අක්කර 800 ක භූමි භාගයක පැතිරී තිබූ ටැංකි අනූ නමයක් සහ ලෝකයේ දෙවෙනි ස්වභාවික වරාය ආශ්‍රිත ව ඉන්ධන ගොඩබෑමට පහසුකම් ඇති ජැටිය සමග මෙම ටැංකි සංකීර්ණ ය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඉන්දියන් ඔයිල් සමාගම ට අවුරුදු තිස් පහක් සඳහා බදු දෙන ලදී .වසරකට එක් ටැංකියක් සඳහා ඩොලර් දහස බැගින් ටැංකි අනූ නමයට ඩොලර් 99000 ක් සහ අනෙකුත් පහසුකම් සදහා ඩොලර් 100000 ලංකා ආණ්ඩුවට ගෙවීමට එකග වී ඇත.

ඒ අනුව් 2003 වසරේ සිට අද දක්වා මෙම ටැංකි සංකීර්ණයේ පහල කොටසේ ඇති ටැංකි 15 පමණක් ඉන්දියන් ඔයිල් සමාගම පාවිච්චි කරනු ලබන අතර ඉතිරි ඉහල කොටසේ ඇති ටැංකි 84 භාවිතාවට නොගෙන දිරාපත් වන්නට ඉඩහැර ඇත.

ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගම ට අවශ්‍යතාවයක් තිබුණත් නැතත් චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණයේම අයිතිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඉන්දියාව ට ලබා දී ඇත.

මේ කාල වකවානුව තුළ ලංකාවේ යුද්ධය පැවති කාල සීමාවේදී උතුරු සහ නැගෙනහිර පළාත් වල හමුදාව ට ,පොලිසියට සහ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය කරන ඉන්ධන සැපයීම ගොඩබිම හරහා සිදු කිරීමට නොහැකි වූ බැවින් එය සිදු කරන ලද්දේ නැව් මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීමෙනි .ත්‍රිකුණාමල වරායට පැමිණෙන නැව් සඳහා ඉන්ධන සැපයීම කරනු ලැබුවේ චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය මගිනි .එම ඉන්ධන සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්දියන් ඔයිල් සමාගම ට මුදල් ලබා දුන්නද, චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය භාවිතා කිරීම වෙනුවෙන් මෙහෙයුම් ගාස්තු ලෙස රුපියල් මිලියන 945 ක,මුදලක් ඉන්ධන වල මිල ට අමතරව ගෙවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවිය .මේ කාලය තුළ දී චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය බදු දීම තුළින් ලංකා ආණ්ඩුවට ලැබුණ බදු මුදල රුපියල් මිලියන 60කට වඩා අඩු අගයක් ගනී.මේ අනුව මෙම ටැංකි සංකීර්ණය ඉන්දියන් ඔයිල් සමාගමට ලබා දීම තුලින් රාජ්‍ය මුදල් අව භාවිතා කර ඇත.

ඉන් පසු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ලෙස කටයුතු කළ චන්දිම වීරක්කොඩි මහතා 2016 මැයි මස කැබිනට් පත්‍රිකාවක් යොමු කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අවශ්‍යතාවය වෙනුවෙන් චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණ යෙන් ටැංකි පහළොවක් ලබා ගැනීමට අනුමැතිය ලබා ගත්තද එය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

මෙසේ ලබාගන්නා ටැංකි 15 අලුත්වැඩියා කිරීම සඳහා ඩොලර් මිලියන 10ක මුදලක් වැයවන බව සංස්ථාවේ ඉංජිනේරු මහතුන් ඇස්තමේන්තු කළ අතර එම මුදල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැරීමට හැකි බව පාලනාධිකාරිය පෙන්වා දී තිබුණි.

එසේ අනුමත කර තිබූ කැබිනට් පත්‍රිකාව නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවලංගු කොට අලුතින් කැබිනට් පත්‍රිකාවක්2018.08.07 දින ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හරහා කැබිනට් මණ්ඩලයට යොමු කරන ලදී .
මෙම කැබිනට් පත්‍රිකාව මුලින් චන්දිම වීරක්කොඩි මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට හාත් පසින් වෙනස් වූවකි.

එ නම් දැනට indian ඉන්දියන් ඔයිල් සමාගම භාවිතා කරනු ලබන ටැංකි 15 තවත් අවුරුදු අනූ නමයකට බදු දීමටත් ඉතිරි ටැංකි 84 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම ඒකාබද්ධව පිහිටනු ලබන සමාගමක් මගින් අලුත් වැඩියා කර එයින් ටැංකි පහළොවක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අවශ්‍යතාවය වෙනුවෙන් බදු දීමටත් ඉතිරි ටැංකි හැට නමය පිහිටවනු ලබන එකාබද්ධ සමාගම මගින් පවත්වාගෙන යාමටත් මෙම කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ලබාගෙන ඇත.

මෙම කැබිනට් පත්‍රිකාව බල රහිත කරන ලෙස ඛනිජ තෙල් සමිති එකමුතුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ 2018 /219 යන නඩු අංකය යටතේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරනු ලැබූ අතර එම නඩුව තවමත් විභාග වෙමින් පවතී.

මූලික වශයෙන් මෙම කැබිනට් පත්‍රිකාවට ඛනිජ තෙල් සමිති එකමුතුව ලෙස අපි විරුද්ධ වීමට කරුණු කිහිපයක් ඇත.

එනම් 2003 වසරේඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව මුළු ටැංකි සංකීර්ණය ම තවත් අවුරුදු දාහතකින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයිති වීමට නියමිතය.එසේ තිබිය දී තවත් අවුරුදු 99 සදහා සම්පූර්ණයෙන්ම ටැංකි 15ක් ඉන්දියාවට ලබාදීම හා ඉතිරි ටැංකි 84 සදහාත් ඒකාබද්ධ සමාගමක් පිහිටුවීමත්,එම සමාගම මගින් බදු මුද්ලට ඛනිජ තෙල් සංස්ථාවේ අවශ්‍ය තාවයට ටැංකි 15 ක් ලබාදීම කොතරම් රටට අවාසිදායක ද?

මෙම මූලික අයිතිවාසිකම් නඩුව හා වෘත්තීය සමිති අරගලය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසාන කාලය තුලින් ටැංකි සංකීර්ණය බේරාගැනීමට හැකිවීම අපි හැම දෙනාගේම වාසනාවකි.

දැනට රටේ අවශ්‍යතාවය වෙනුවෙන් ටැංකි 24 ක් ලබාගැනීමේ ව්‍යාපෘතිය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආරම්භ කර ඇත.

අපේ රටේ වටිනාම ජාතික සම්පතක් වන මෙම ටැංකි සංකීර්ණය වැදගත් වන්නේ ඇයි.

1)ලෝකයේ ස්වාභාවික වරායන් වලින් ප්‍රදානම වරායවල් 5 අතර පිහිටි ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ස්ථාපිත කර ඇති බැවින් එවකට දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍යයන් බලාපොරොත්තු වූ ආරක්ෂාව ලැබුනු ඉහලම ස්ථානය මෙය වීම.

2)ගොඩබිම සිට මීටර් 1000 පමණ ඉතාමත් ආසන්න දුරකින් ඉන්ධන ගොඩ බෑම සදහා භාවිතා කරන ජැටිය පිහිටීම නිසා ඉතා පහසුවෙන් හා අඩු පිරිවැයකින් ඉන්ධන ගොඩ බෑම සහ ඉන්ධන ආපසු පිරවීමට හැකි වීම.

කොලඹ වරාය සහ මුතුරාජවෙල පිහිටි ඉන්ධන ගොඩබෑම සදහා භාවිතා කරන බෝයාවන් ගොඩබිම සිට කිලෝමීටර 6 පමණ දුරකින් පිහිටා ඇති නිසා ඒ සදහා භාවිතා කරන නල පද්ධති,පාවෙන බෝයාවන්.පාවෙන නල,ආරක්ෂාව,සදහා නඩත්තුව වෙනුවෙන් අධික වියදමක් දැරීමට සිදුවීම.ස්වාභාවික ඇතිවන විපත් වලින් සිදුවන බලපෑම.

මේ සදහා යන වියදම් ඉන්ධන මිලට එකතු වීම.

3) කොලඹ වයායේ සිට ඉන්ධන නැවක් ගොඩ බෑම සදහා භාවිතා කරන නල පද්ධතිය වසර 60 ත් වඩා පැරණි වීම නිසා ඉතාමත් අඩු වේගයකින් ඉන්ධන ගොඩබෑම නිසා නැවක් ගොඩබෑමට දින 7 ක් ගතවුවත් මෙම ස්ථානයෙන් දින 2 ක් තුල ගොඩ බෑමට හැකි වීම නිසා වැයවන නැවි අධි භාරය (damage ) නොමැතිවීම නිසා ඉන්ධන මිලට වන බලපෑම අවම කර ගැනීමට හැකි වීම.

4) වසරකට 8% ත් -10% අතර වේගයකින් වැඩිවන ලංකාවේ ඉන්ධන පරිභෝජනය අනුව දැනට ඛනිජ තෙල් සංස්ථාව භාවිතා කරන සියලූම ටැංකි වල ධාරිතාවයෙන් සති දෙකකට පමණ කාලයකට පමණක් ඉන්ධන ප්‍රමාණවත් වීම තුල ‍ඉන්ධන නැවක් ප්‍රමාද වුවහොත් ඉන්ධන හිගයක් ඇතිවීම.

ටැංකි 99 කින් සමන් විත චීන වරාය තෙල් ටැංකි භාවිතා කිරීමට හැකි වුව හොත් මාස දෙකක කාලයකට ඉන්ධන ගබඩා කිරීමට හැකි වීම.(කොලොන්නාව නිමාව මුතුරාජ පර්යන්තය සහ සපුගස්කන්ද පර්යන්තය තුළ ඇති ටැංකිවල දැනට ඉන්ධන ගබඩා කළ හැකි ප්‍රමාණය ටොන් ලක්ෂ 5 කි.

එහෙත් මෙම ටැංකි සංකීර්ණය තුළ පමණක් ඉන්ධන ටොන් ලක්ෂ දහයක් 10 ක් ගබඩා කිරීමේ පහසුකම් ඇත )

මාසයක කාලයක් සදහා ඉන්ධන ගබඩා කිරීමට අවශ්‍ය වන ටැංකි 20 ක් කොලඹ ප්‍රදේශයෙන් ඉදිකල හොත් ඇ.ඩො. මිලියන 1500 ක් මේ සදහා වැයකිරීමට සිදුවීම.

5) උතුරු නැගෙනහිර පලාත් සදහා අවශ්‍ය ඉන්ධන බෙදාහැරීම සදහා මෙම ටැංකි සංකීර්ණය භාවිතා කල හොත් වසරකට රු.මි.1500 ක් ඉතිරි කර ගැනීමට හැකි වීම සහ කොලඹ නගරයේ වාහන තද බදය අවම කර ගැනීමට හැකිවීම.

6) මෙම ටැංකි සංකීර්ණය භාවිතා කොට ඉතා අඩු පිරිවැයකින් නැව් සදහා ඉන්ධන ලබාදීමට හැකි වීම තුල විශාල විදෙස් විනිමයක් උපයා ගැනීමට හැකිවීම.

7) ටැංකි 99 ඇති බැවින් ලෝක වෙලද පොලේ ඉන්ධන මිල අඩුවන අවස්ථාවලදී ඉන්ධන ගබඩා කර ගැනීමෙන් අමතර ලාභයක් උපයා ගැනීමට හැකිවීම තුල එම රටේ පාරිභෝගිකයාට එහි වාසිය ලබාදීමට හැකිවීම.

(Wp)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More