ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයට හා නව වැනි පාර්ලිමේන්තුව රැස්වීමට දින නියමකර තිබියදී කොවිඩ්-19 වෛරස් බලපෑම රටට එල්ල වීම නිසා මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට නොහැකි බව දැනුම් දුන් මැතිවරණ කොමිෂන් සභාව දැන් එය පැවැත්වීමට අපේක්ෂා කරන්නේ ජූනි මස 20 දිනය.ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබ තෙමසක් ඇතුළත පාර්ලිමේන්තුව රැස් කිරීමට අපොහොසත් වුවහොත් විසුරුවා හරිනු ලැබ තිබෙන පාර්ලිමේන්තුව යළි කැඳවීමට සිදුවන බව විපක්ෂ මන්ත්‍රීවරු පවසති.ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරු පවසන්නේ එලෙස පාර්ලිමේන්තුව යළි රැස්කිරීමේ නියමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව නොමැති බවයි.මේ සම්බන්ධව පවත්නා නීතිමය තත්ත්වය පිළිබඳව ජනාධිපති නීතිඥ මනෝහර ආර් ද සිල්වා මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ……
*මැතිවරණ කොමිෂන් සභාව මහ මැතිවරණය එළඹෙන ජූනි මස 20 දින පැවැත්වීමට තීන්දු කිරීමත් සමඟ පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවට විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ප්‍රකාශ කරනවා.එසේ නොකිරීම යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව හුවා දැක්වීමටද ඔවුන් උත්සහ කරනවා
ජනපතිවරයා ඔහුට ව්‍යවස්ථාව මගින් ලැබී තිබෙන බලතල අනුව තමයි මාර්තු මස 02 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ.පාර්ලිමෙන්තුව විසුරුවා හරින විට මැතිවරණය පවත්වන දිනය දැනුම් දෙන්න ඕන.ඒ වගේම විසුරුවා හැරීම සිදුකළ දිනයේ සිට මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුව රැස්විය යුතුයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5)(අ) කියන වගන්තියේ මේ බව පැහැදිලිව දක්වා තිබෙනවා.ජනපතිවරයා එම වගන්තිය ප්‍රකාරව ගැසට් නිවේදනය ඉතා පැහැදිලිවත් නිවැරදිවත් නිකුත් කළා.මැතිවරණය පැවැත්විය යුතු දිනය ලෙස අප්‍රේල් 25 බවත් නව පාර්ලිමේන්තුව රැස්වන දිනය මැයි 14 ලෙසත් එතුමා දැනුම් දුන්නා.
ඒ සඳහ වන අති විශේෂ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5)(අ) වගන්තියට අනුකූලයි.සුමන්තිරන් ඇතුළු විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කියන්නේ පුදුම කතාවක්.දැන් මේ මහමැතිවරණය පැවැත්විය යුතු බවට තීරණය කර තිබූ අප්‍රේල් 25 දිනය වෙනස් කළේ කවුද? ජනාධිපතිතුමාද?.නැහැ ඒක කළේ මැතිවරණ කොමිසමයි.කොමිසම මගින් ජූනි 20 මැතිවරණය පවත්වන බව දැනට ප්‍රකාශ කර තිබෙනවා.මැතිවරණ කොමිසම කළ දේකට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු වෙන්නේ නැහැ.එතුමා නීතියට අනුකූලව තමයි ගැසට් එක නිකුත් කළේ.පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ සිට මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුව රැස් කරන්න දිනයක්ද සමඟ එය එළිදක්වා තිබෙනවා.නමුත් හදිසි වසංගත රෝග තත්ත්වයක් නිසා කොමිසමට ජනපති ලබාදුන් දිනයේදී මැතිවරණය පවත්වන්න හැකියාවක් ලැබුණේ නැහැ.
ඒක අපි වගේම ව්‍යවස්ථාවෙන්ද අපේක්ෂා නොකළ සිද්ධියක් නිසා ඇතිවූ දෙයක්.අපි හිතමු භූමි කම්පාවක්,ගංවතුරක්,සුනාමියක් ඇවිත් අපිට මැතිවරණය තියන්න බැරි වුණා කියලා.ජනපති ලබාදුන් දිනයේදී මැතිවරණය පැවැත්විය නොහැකි සාධාරණ හේතුවක් තිබෙනවා නම් කොමිසම කරන්නේ ඒ දිනය වෙනුවට වෙනත් දිනයක් ප්‍රකාශයට පත්කරන එකයි.කොමිසමට ඒ සඳහා බලය තිබෙනවා.ඔවුන්ට ඒ බලය හිමිවන්නේ ව්‍යවස්ථාවෙන් නොව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තිය යටතේයි. කොමිසමට අවශ්‍ය නම් මැතිවරණයක් කල් දැමීමට අවකාශ එමඟින් ලබාදී තිබෙනවා.ඒ වගන්තිය යටතේ කියන්නේ නැහැ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දිනයේ සිට මාස තුනක් ඇතුළත දිනයකට කල්දාන්න කියලා.මේ ලබාදී තිබෙන දිනයේදී මැතිවරණය පවත්වන්න නොහැකි නම් තවත් ඈත දිනයක් දෙන්න කොමිසමට පුළුවන්.මේ වසංගත තත්ත්වය හොඳින් පාලනය කරගෙන ඉන්න ඕන ඡන්දය තියන්න.
*ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කළ දිනයට දැන් පාර්ලිමේන්තුව රැස් කිරීමේ හැකියාවක් නැහැ.එවැනි අවස්ථාවක සිදුවන්නේ කුමක්ද ?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(05)(ඇ) වගන්තිය ගත්තොත් ඒකේ කියනවා ජනපතිට පාර්ලිමේන්තුව රැස්වන දිනය වෙනස් කරන්න පුළුවන් කියලා.ඒ වෙනස් කරන්න පුළුවන් කියලා තියෙන්නේ ගංවතුරක්,භූමි කම්පාවක්,සුනාමියක් හෝ මේ වගේ වසංගත තත්ත්වයක් නිසා පාර්ලිමේන්තු මැතිවරණයක් කල්දැමූ අවස්ථාවක නෙවෙයි.එතන කතා කරන්නේ අභිනව පාර්ලිමේන්තුව රැස් කිරීමට දිනය නියම කිරීම ගැනයි.මේ 70(5) වගන්තියේ තියෙනවා උප වගන්ති තුනක් (අ),(ආ),(ඇ) කියලා.මේ තුනේම තියෙන්නේ අභිනව පාර්ලිමේන්තුව සඳහා දින නියම කිරීම සම්බන්ධවයි.
අභිනව පාර්ලිමේන්තුව තියෙන්න නම් මහමැතිවරණයක් තියන්න ඕන.මැතිවරණයක් නොමැතිව අභිනව පාර්ලිමේන්තුවක් ගැන කතා කිරීමේ හැකියාවක් නැහැ.එවැනි පාර්ලිමෙන්තුවක් නැතුව කොහොමද ජනපතිවරයා පාර්ලිමේන්තු දිනය වෙනස් කරන්නේ.මේ දිනය වෙනස් වුණේ ජනාධිපතිගේ වරදක් නිසා නොවෙයි.මැතිවරණ කොමිසම නිවේදනය කළා ජනපති නියම කර තිබූ දිනයට අපිට මැතිවරණය පවත්වන්න බැහැ කියලා.ඒ ගොල්ලෝ කවදා හරි මැතිවරණය පවත්වලා අලුත් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරාපත්කර ගත්තොත් අන්න ඒ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබෙනවා පාර්ලිමේන්තුව කැඳවන්න.ඒ 33(2) (ඇ ) සහ 70(1) වගන්ති යටතේ.ඒ වගන්තිවල පැහැදිලිව දක්වලා තියෙනවා ජනපතිවරයාට පාර්ලිමේන්තුව රැස්කරන්න පුළුවන් කියලා.
අවම වශයෙන් පාර්ලිමේන්තුව වසරකට එක් වතාවක් හෝ රැස් කරන්න ඕන කියලා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නේ.ජනපතිවරයාට ඕන වෙලාවක පාර්ලිමේන්තුව රැස් කරන්න පුළුවන්.මැතිවරණයට දිනයක් නියම කළාම ජනපතිට කියන්න බැහැ උඹලා ඕන දවසක මැතිවරණය තියපල්ලා මම කතා කරන්නේ තව අවුරුදු දෙකකට පස්සේ කියලා.ඒකයි මාස තුන කියලා දලා තියෙන්නේ.මාස තුනක කාලයක් ඒ සඳහා ලබාදී තිබෙන්නෙත් හේතු ඇතිවයි.මැතිවරණයකින් පස්සේ කලබල ඇතිවෙලා ඇඳිරි නීතිය දාන්න වෙන අවස්ථා තිබෙනවා.ඒ වගේ තත්ත්වයදී පාර්ලිමේන්තුව රැස් වීමට නොහැකි වීමේ අවධානමක් මතුවිය හැකියි.මාස තුනක කාලයක් ඇතුළත පාර්ලිමේන්තුව රැස්විය යුතු බව සඳහන්කර තිබෙන්නේ මේ කරුණු සැලකිල්ලට අරගෙනයි.
*එහෙත් මහ මැතිවරණය ජූනි 20 දින දක්වා කල්යෑමත් සමඟ ජනපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු වෙන බව පවසන දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවට තර්කයක්ද ගොඩනගනවා.
ජනාධිපතිතුමාගේ ගැසට් එක අවලංගු වෙන්නේ කොහොමද? ජනපතිවරයා අදාළ ගැසට් නිවේදනය නිකුත් කළේ නිත්‍යානුකූලවයි.මැතිවරණය පැවැත්විය යුතු දිනය ජනපතිවරයා තීරණය කරලා එතුමාම පසුව ඒ දිනය වෙනස් කළේ නැහැ.ඒ දිනයට මැතිවරණය පැවැත්විය නොහැකි බව දන්වමින් දිනය වෙනස් කළේ මැතිවරණ කොමිසමයි.නිත්‍යනුකූල තමන් කළ දෙයක් අවලංගු වන්නේ තමන්ම ඒ නීතිය කැඩුවොත්.මෙතන ජනපතිවරයා විසින් මැතිවරණ දිනය වෙනස් කිරීමක් සිදුකර නොමැති බව අපි තේරුම් ගන්න ඕන.
සුමන්තිරන් මේ ගොඩනගන්න උත්සාහ කරන්නේ මොන තරම් අනුවණ කෙතරම් සදොස් තර්කයක්ද?.මැතිවරණ කොමිසමට මැතිවරණය තියාගන්න බැරි වුණොත් ජනාධිපතිගේ ගැසට් එක අවලංගු වෙන්නේ කොහොමද?.අවලංගු වෙන්න නම් නීති විරෝධි දෙයක් වෙන්න ඕනනේ.නීතියට අනුකූලව කළ ගැසට් නිවේදනයක් කොහොමද නීති විරෝධී වන්නේ.මේක ඇත්තටම අවාසනාවන්ත තත්ත්වයක්. සුමන්තිරන් මහත්තයා ඇයි මේ විදිහේ සම්පූර්ණ අසත්‍යයක් ප්‍රකාශ කරන්නේ.
ජනපතිවරයාගේ ගැසට් එක 70(5)(අ) වගන්තියට අනුකූලනම් කොමිසමට ඡන්දය තියාගන්න නොහැකිවූ නිසා එතුමාගේ නිකුත් කළ ගැසට් නිවේදනයේ නිත්‍යානුකූල භාවයට බලපෑමක් ඇති වීමට කිසිදු හැකියාවක් නොමැති බව සාමාන්‍ය ළදරුවෙකුට වුවත් තේරුම්යන කාරණයක්.එසේ නම් ඒක අවලංගුයි කියා කියන්නේ කොහොමද?.ජනාධිපති ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාකර තිබෙනවා කියන එක පිළිබඳව තර්කයක් නැහැ.මැතිවරණය පවත්වපු දවසක පාර්ලිමේන්තුව කැඳවන්න එක වගන්තියක් නොව වගන්ති දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා.
*එසේ නම් ඇයි ඔවුන් එවැනි තර්කයක් මතුකරන්නේ
මට හිතෙන්නේ මෙතන දේශපාලනික කාරණයක් තිබෙන්නේ.විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුවේ සංයුතිය ගත්තොත් මන්ත්‍රීවරු එහාට මෙහාට ගිය නිසා අද විපක්ෂයට මන්ත්‍රීවරු 130 ක් ඉන්නවා.ආණ්ඩුවට ඉන්නේ 95 යි.ජනාධිපතිවරයා බැඳිලා නැහැ පාර්ලිමේන්තුව කැඳවන්න.අවශ්‍ය නම් කැඳවීමේ හැකියාව එතුමාට තිබෙනවා.මේ පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයාට වැඩක් නැහැ.රටේ යහපත වෙනුවෙන් මුදල් සම්මත කරගන්න ගියාම ඒකට ඉඩ නොදුන් පාර්ලිමේන්තුවක් තිබුණේ.
පාර්ලිමේන්තුව රැස් කරන්න,අපි සම්පූර්ණ සහයෝගය දෙන්නම් කියලා විපක්ෂය කිව්වට කුමන හෝ කාරණයක් නිසා පාර්ලිමේන්තුව රැස් කළොත් මේ අය කරන්නේ කියන දේ නොවෙයි ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.පාර්ලිමේන්තුව රැස්කර ගත්තට පස්සේ ඒ ගොල්ලන්නට ඕන නීතියක් සම්මත කරගන්න පුළුවන්.මොකද බහුතරය ඔවුන් සතුයි.මේ තියෙන පාර්ලිමේන්තු මැතිවරණ නීතිය වෙනස් කළොත් මොකද වෙන්නේ.ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසරණ වෙනවා.ඒ ගොල්ලෝ කලින් කළේ ඒකයි.මේ නිසා අදටත් පළාත් සභා මැතිවරණය පවත්වන්න හැකියාවක් ලැබී නැහැ.
මේ අය පළාත් සභා මැතිවරණ නීතීය වෙනස් කළා.දැන් පළාත් සභා මැතිවරණය තියන්න හැකියාවක් නැහැ.මහ ලොකුවට කතාකරන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අදවන තුරු පළාත් සභා මැතිවරණය තිබ්බේ නැහැනේ.නීතිය වෙනස් කරලා දැන් මට තියාගන්න විදිහක් නැහැ පාර්ලිමේන්තුවෙන්ම තමයි මේක නිවැරදි කරන්න ඕන කියලා සභාපතිවරයා කියනවා.
*ජනපතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ තමන් ජනපති ධූරයට පත්වුව හොත් ලැබෙන පළමු අවස්ථාවේදීම මේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යොමුවන බව නේද?
මේක දූෂිත පාර්ලිමේන්තුවක් කියලා ජනපතිවරණ වේදිකාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා.ජනතාව ඒක අනුමත කළා.බලයට පැමිණ ව්‍යවස්ථාවනේ තමන්ට ලැබී තිබෙන බලතල ප්‍රකාරව එතුමා පාර්ලිමේන්තුව විසුරවමින් ඡන්ද පොරොන්දුවක් ඉෂ්ඨ කළා.මේකේ මහජන නියෝජිතයින්ගේ ක්‍රියාකලාපය හොඳ නැහැ.මට ඡන්දය දෙන්න,අලුත් පාර්ලිමේන්තුවක් සමඟ රට ඉදිරියට ගෙන යමු කියන පණිවුඩය තමයි එතුමා ජනතාවට ලබා දුන්නේ.
එහෙම කියලා ඡන්දය දිනලා ආපු ජනපතිවරයෙක් කොහොමද ඒ දූෂිතයි කියපු පාර්ලිමේන්තුව යළි කැඳවන්නේ.ඒ ගොල්ලෝ හිතනවා නම් ජනාධිපතිතුමා මෝඩයි කියලා ඒක වැරදියි.පළාත් සභා මැතිවරණය නොතියන තැනට නීති ගෙනල්ලා වෙනස් කළ පසුගිය ආණ්ඩුවේ බලය තමයි තාමත් පාර්ලිමේන්තුවේ තියෙන්නේ.එක් පැත්තකින් කුමන හෝ සංශෝධනයක් මේ මැතිවරණ නීතියට ගෙනල්ලා සම්පූර්ණයෙන්ම මැතිවරණය අකර්මණ්‍ය කරන්න පුළුවන්.අනිත් එක තමයි රටට එරෙහි විවිධ යෝජනා සම්මත කරගන්න මේ අයට එමඟින් පසුබිම සකස්කර ගත හැකියි.සුමන්තිරන්,රිෂාඩ් බදියුදීන්,හකීම් කියන මේ දේශද්‍රෝහි කණ්ඩායම දැන් විපක්ෂය තුළ එකට එකතුවෙලා ඉන්නේ.මේ ගොල්ලෝ එකතු වෙලා ඒ අයට අවශ්‍ය යෝජනා සම්මත කර ගන්න ඉඩක් නැහැ කියලා කාටද කියන්න පුළුවන්.
දැන් කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ විශාල ප්‍රසාදයක් ලංකාවට තිබෙන අවස්ථාවක ඒ ප්‍රසාදය නැති වෙන විදිහේ යෝජනා සම්මතකර ගත්තොත් පිටරටින් අපට ණය මුදලක් හෝ ආධාරයක් හෝ දෙන එකක් නැහැ.විපක්ෂය සතුව බහුතරයක් මන්ත්‍රීවරු සිටින නිසා රටේ දේශපාලන අස්ථාවරභාවයක් පවතින බව ජාත්‍යන්තරයට ඒත්තු ගැන්වීමට මේ අය උත්සාහ නොකරාවිද?.වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බලයක් නැහැ කියන මතය ජාත්‍යන්තරයට ගෙනයෑම ඔස්සේ දැනට සාර්ථකව ඉදිරියට යමින් තිබෙන ජනපතිවරයාගේ වැඩපිළිවෙළ අකර්මණ්‍ය කිරීම තමයි මොවුන්ගේ අපේක්ෂාව.ඒ සඳහා ඔවුන්ට කළ හැකිව තිබෙන හොඳම දේ තමයි පාර්ලිමේන්තුව නැවත රැස්කර ගැනීම.
*මේ මොහොතේ ප්‍රමුඛතාව දිය යුත්තේ මැතිවරණයට නොව කොරෝනා මර්දනයටයි.මේ නිසා පාර්ලිමේන්තුව යළි කැඳවා ඒ තුළින් කොරෝනා මර්දනයට ශක්තිය ලබාගන්නා ලෙස විපක්ෂය කියනවා.
මේ අවස්ථාවේ ජනපතිවරයා ප්‍රමුඛතාව ලබාදී තිබෙන්නේ ඒ කාරණයට තමයි.ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු කියන්නේත් පළමුව කොරෝනා වෛරසයෙන් රට මුදාගමු දෙවනුව මහ මැතිවරණය ගැන හිතමු කියලයි.කොරෝනා පිටදමා පාර්ලිමේන්තුව කැඳවීමට මේ අය මෙතරම් උත්සාහ කරන්නේ සැබෑවටම එම අරමුණ නිසාද නැතහොත් වෙනත් කාරණයක් නිසාද කියන එක අපි තේරුම් ගන්න ඕන.කොවිඩ්-19 පාලනය අතින් අපි ජාත්‍යන්තර වශයෙන් පැසසුමට ලක්ව සිටිනවා.පාර්ලිමේන්තුව රැස්කරලා මෙයට වඩා යමක් කරන්න පුළුවන්ද?.මේ රජයට ඉදිරියට යාමට නොහැකි ලෙස පාර්ලිමේන්තුව තමන්ට අවශ්‍ය ලෙස හසුරුවා ගැනීම තමයි සුමන්තිරන් ඇතුළු පිරිසේ අපේක්ෂාව.මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳෙව්වොත් ආණ්ඩුවට අවශ්‍යය නීති පාස් කරලා දෙන්න පුළුවන් කියලා සුමන්තිරන් කියනවා.
මොනවද පාස් කරන්න ඕන නීති.කොරෝනා හොඳ කරන්න පුළුවන්ද නීති පාස් කරලා.අපේ හොඳ සෞඛ්‍ය සේවයක් තිබෙනවා.ඒකට අදාළ නීතියක් තිබෙනවා.වසංගත රෝග පිළිබඳ වෙනම ආඥාපනතක් තියෙනවා.නිරෝධායනට වෙනම පනතක් තියෙනවා.රාජ්‍ය ආරක්ෂාව සඳහා තවත් පනතක් තියෙනවා.මේ පනත් ටික සේරම තියෙත්දී මොකක්ද අඩු කියලා විපක්ෂය රටට කියන්න ඕන.සම්මත කරන්න අපේක්ෂා කරන නව නීති මොනවද කියලා මේ අය රටට කියන්න ඕන.තනිකරම මේක කුමන්ත්‍රණයක්.ඒ අයට ඕන රට ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත්කරන්නයි.රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරන පිටරටින් අපට ආධාරයක් හෝ ගන්න බැරිවෙන මහ තුච්ච,නීච වැඩපිළිවෙළක් මේක.මේ පාර්ලිමේන්තුවෙන් කොහොමද රටට යහපතක් වෙන්නේ.
*කොවිඩ්-19 ආසාධිතයින් විශාල ලෙස දැන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා.මෙම පසුබිම තුළ යළිත් මැතිවරණ දිනය වෙනස්විය හැකියි නේද
නීතිය දෙස අපි බලන්න ඕන ප්‍රායෝගිකවයි.ඡන්දයක් තියන්න නොහැකි නම් ඒක කරන්න බැහැ.දරුණු වසංගත තත්ත්වයක් තිබියදී ඊළඟ දිනය දෙනවා හැර මැතිවරණ කොමිසම වෙන මොනවා කරන්නද?.දැන්ම නව පාර්ලිමේන්තුව රැස්කරන දිනයක් ජනපතිට කියන්න බැහැ.ඒ සඳහා මහ මැතිවරණය පැවැත්විය යුතුයි.කොමිසම මගින් දිනය නැවත වෙනස් කළොත් මොකද වෙන්නේ.සුමන්තිරන් ඇතුළු පිරිස දැන් ව්‍යාජ ලෙස අර්බුදයක් මතුකරන්න උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියක් ඇති කරන්නයි.ජනපති නීති විරෝධීව කටයුතු කරනවා කියලා ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍ය නැති රටක් කියලා කියන්න තමයි මේ අයට ඕන වෙලා තියෙන්නේ.ජනපතිවරයා මේ අවස්ථාවේ රටේ සාමාකාමි බව රැක ගනිමින් කොරෝනා උවදුරින් රට මුදවා ගන්නා කටයුුතු කරමින් සිටින අවස්ථාවක විපක්ෂයේ මන්ත්‍රීවරු මේ විදිහට කටයුතු කිරීම සාදාචාර විරෝධියි.
*කතානායකවරයාට මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාවක් තිබෙනවාද
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(2) වගන්තිය යටතේ කියනවා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවොත් කතානායක ධූරය අහෝසි වෙනවා කියලා.කතානායක ධූරය පවතින්නේ පාර්ලිමේන්තුව තියෙනකල් විතරයි.දැන් කතානායකවරයෙක් නැහැ.ඒ නිසා කලින් පාර්ලිමේන්තුවේ සිටි කතානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාවක් නැහැ.කතානායකවරයාට කටයුතු කරන්න පුළුවන් එකම එක අවස්ථාවයි තියෙන්නේ.ඒ ව්‍යවස්ථා සභාවේ යම් පත්කිරීමක් කරගන්න අවශ්‍ය නම් ඔහුට ඒ කාර්යය සඳහා පමණක් සම්බන්ධ වෙන්න පුළුවන්.කතානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවිය හැකියි කියන කතාව ජනතාව නොමඟ යැවීම සඳහා කරන කරන එකක්.
Dinamina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...