April 27, 2020 7:22 pm | Lanka Lead News
චීන වෙදකමත් බටහිර වෙදකමත් බෝ වෙන රෝග දිහා බලන්නේ එක විදිහට නෙවෙයි. බටහිර වෙදකම මේ දිහා බලන්නේ ලෙඩ ඇති කරවනවා කියන ක්‍ෂුද්‍ර ජීවීන් මුල් කරගෙන. ඉතින් බැක්ටීරියා, වෛරස්, බොරලියා, ක්ලැමීඩියා, මයික්‍රෝ ප්ලාස්මා, ප්‍රෝටෝසෝවා වගේ ඉවරයක් නැති ක්‍ෂුද්‍ර ජීවීන් වර්ග මුල් කරගෙන බටහිර වෙදකම එක එක ලෙඩ හඳුනා ගන්නවා. මේ දවස්වල අපිට වද දෙන කෝවිඩ්-19 අයිති වෙන්නේ කොරෝනා කියන වෛරස් කුලයට. මේ ගැන නම් දැන් අපි හැමෝම වගේ දන්නවා.
හැබැයි චීන වෙදකම මේ ලෙඩේ දිහා බලන්නේ වෙන විදිහකට. මිනිස්සු කියන්නෙත් මේ ලෝකයේ ම කොටසක්. ඉතින් ලෝකය වෙනස් වෙන විදිහට මිනිස්සුත් වෙනස් වෙන්න ඕන. ඒ වෙනස්කම්වලට මිනිස්සු හැඩ ගැහෙන්න ඕන. සෘතු හතරේ වෙනස බොහොම පැහැදිළිව දැනෙන චීනය වගේ රටක ජීවත්වෙන මිනිස්සුන්ට නිතර නිතර ම ඒ වෙනස්කම් එක්ක හැඩ ගැහෙන්න වෙනවා. ඉතින් චීන වෙදකමේ රෝග විග්‍රහය පදනම් වෙලා තියෙන්නේ මේ කාරණය උඩ.
සෘතු තියෙන්නේ හතරක් වුනාට ඒවාට අදාළ වෙනස්කම් හයක් චීන වෙදකමේ දී සළකා බලනවා. සුළඟ, සීතල, රස්නය, තෙත් බව, වියළි බව සහ ගින්න කියන කාරණා හය තමයි මේකට අදාළ. රස්නය සහ වියළි බව කියන කාරණා දෙක අපිට ටිකක් වෙන් කරලා හිතන්න අමාරුයි. ගිම්හානයේ දී තමයි රස්නය තියෙන්නේ. ඒත් ඒ කාලයේ දී වාතයේ තරමක තෙත් බවක් තියෙනවා. ඒ කාලෙට වහින්නත් පුළුවන්. ඒත් වියළි බව කියලා මෙතැන කියන කාරණය කාන්තාර පරිසරයක තියෙන ගතියට සමාන එකක්. ඒ තත්ත්වය තුළ එහෙම තෙත් බවක් නෑ.
තමන් අවට පරිසරයේ මේ වෙනස්කම් පෙන්නුම් කරද්දි මිනිස්සුත් ඒ එක්ක අනුගත වෙනවා නම් ලෙඩ හැදෙන්නේ නෑ. ඒත් සමහර වෙලාවට මේ වෙනස්කම් ඒවාට අනුගත වෙන්න මිනිස්සුන්ට තියෙන හැකියාවේ සීමාව ඉක්මවන්න පුළුවන්. හැසිරීම්වල නො ගැලපීම් හින්දාත් ඒ පරිසර විපර්යාස එක්ක මිනිස්සුන්ට පෑහෙන්න බැරිවීමේ ඉඩක් තියෙනවා. මේ කාරණා දෙකෙන් මොකක් වුනත් සිද්ද වෙන්නේ මිනිස්සු ලෙඩ වෙන එක. ඉතින් චීන වෙදකමේ දී ලෙඩ හඳුනා ගන්නේ මේ කරුණු හය මුල් කරගෙන.
මේ කියපු කාරණා හය අදාළ වෙන්නේ සාමාන්‍ය ලෙඩ රෝගවලට. ඊට අමතරව තවත් කාරණා දෙකක් ගැන චීන වෙදකමේ සඳහන් වෙනවා. ඒ දෙකෙන් එකක් හැඳින්වෙන්නේ “උණුසුම් විස බව” කියලා. මේක සෘතු විපර්යාසවලට අදාළ නැති විදිහට පරිසර උණුසුම් බවේ ඇතිවෙන අසාමාන්‍ය වෙනස්කමක්. මේ වෙනස්කම හින්දා තද උණ, අධික පිපාස ගතිය වගේ ව්‍යාධි ඇති වෙන්න පුළුවන්. දෙවැනි කාරණය හැඳින්වෙන්නේ “වාතයේ විස බව” කියලා. මේ විස සහිත බව නාසයෙන් සහ කටින් මිනිස් ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. මේ විස සහිත බව මිනිස්සු අතර පැතිරෙන්නත් පුළුවන්. මහා පරිමාණ වසංගත ඇති වෙන්නේ මේ විදිහට ඇති වෙන වාතයේ විස බව හින්දා කියලා තමයි චීන වෙදකමේ කියන්නේ.
දැන් පැතිරෙන කොරෝනාව අදාළ වෙන්නේ වාතයේ විස බව නිසා ඇති වෙන රෝග වර්ගයකට කියලා චීන වෙදකමේ යෙදෙන අය අනුමාන කරනවා. මීට කලින් ඇතිවෙච්ච මහා පරිමාණ වසංගත සෑහෙන ප්‍රමාණයක් මේ කාරණය තුළින් විග්‍රහ කරලා තියෙන හින්දා තමයි මේ අනුමානය ඇති කරගෙන තියෙන්නේ. ඒත් ඒ පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක් තවමත් කෙරිලා නෑ.
මේ ලෙඩවලින් වළකින්න නම් වාතයේ විස සහිත බවට ගොදුරු නොවී ආරක්‍ෂා වෙන්න ඕන. ඒ කියන්නේ නිරෝධායන ක්‍රමත් මේකට අදාළයි. ඊට අමතරව, විස තමන් ළඟට එන එක වළක්වා ගන්න පුළුවන් බෙහෙත් ජාති පොට්ටනියක් විදිහට හදලා ළඟ තියා ගන්න එකත් කරනවා. දෙවැනි විසඳුම තමයි ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගන්න එක. ඒකට අදාළ බෙහෙත් ජාති සෑහෙන ප්‍රමාණයක් තියෙනවා.
කොහොම වුනත් මේ වගේ ලෙඩ දීර්ඝ කාලයක් පවතින්නේ නෑ. ආකාර දෙකකින් මේවා සමනය වෙනවා. බිඳ වැටිච්ච පරිසර සමතුලිත බව කාලයත් එක්ක යථා තත්ත්වයට පත්වීම එක ආකාරයක්. මේ වෙනස්කම්වලට මිනිස්සු අනුගත වෙන එක තමයි දෙවැනි ආකාරය. ඒ විදිහට මිනිසා ඇතුළත් සමස්ත පරිසර පද්ධතිය ආයෙත් තුලනය වුනාම ලෙඩේ දුරුවෙලා යනවා.
චීන වෙදකමට නීතියෙන් ම ප්‍රමුඛ ස්ථානයක් දීලා තියෙනවා. චීනයේ තියෙන සෑම බටහිර රෝහලක ම අනිවාර්යයෙන් ම චීන වෛද්‍ය අංශයක් තියෙන්න ඕන. ඉතින් වෙදකම් දෙක ම එකට කර ගැනීමේ ඉඩ ඒ හින්දා චීන මිනිස්සුන්ට ලැබිලා තියෙනවා. කොරෝනාව පරද්දන වැඩේටත් මේ එකමුතුකම හේතු වුන බවට සැකයක් නෑ. ඉතින් අපේ ඉස්පිරිතාලවල ඉන්න ලෙඩ්ඩුන්ටත් කොත්තමල්ලි කෝප්පයක්, කැඳ කෝප්පයක් දෙන්න පුළුවන් නම් කොරෝනා පරද්දන්න කරන මේ සටනින් ඉක්මනින් ම දිනන්න අපිටත් පුළුවන් වේවි.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති