ඕගොල්ලන්ට මතකද දන්නැහැ අසූව දශකයේ මුල් අවධියේ චිත්‍රපටයක් පෙන්නුවා සාගරයක් මැද කියලා. ගාමිණී ෆොන්සේකා තමයි ප්‍රධාන චරිතය රඟපෑවේ වෛද්‍යවරයෙක් විදියට, එයාගේ පුතාගේ චරිතයට රඟපෑවේ ආධුනික නළුවෙක් විදිහට සිනමාවට එක් වෙච්ච කමල් අද්දරාරච්චි, මේ චිත්‍රපටියේ කතා වස්තුව උනේ 70 / 77 කාලේ සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුව යටතේ වෙච්ච සිදුවීම් සම්බන්ධ දේවල් ටිකක්. චිත්‍රපටිය හරි ජනප්‍රිය වුණා,. ඒත් ඒක ඊට පස්සේ නැතිවෙලා ගියා, මම හිතන්නේ 83 ජුලි කලබල අතරේ, චිත්රාගාර වලට ගිනිතියපු වෙලාවේ මේක විනාශ වුනා කියලා. කෙසේ වෙතත් මං කියන්න හදන්නේ චිත්‍රපටය ගැන නෙවෙයි ඒකට පසුබිම් වෙච්ච දේවල් ටිකක් සම්බන්ධයෙන්.
මේ දවස්වල හුඟක් අය කතා කරනවා දේශීය ආර්ථිකයක් ගැන, මේ ගැන නොයෙක් ධනාත්මක හා සෘණාත්මක අදහස් පළ වෙනවා. කෙසේ වෙතත් 1970 සමගි හවුල් ආණ්ඩුව යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක කරන්න පටන් ගත්ත වැඩේ නම් ඉතා හොඳ දෙයක්. ඒ වෙනකොටත් ලංකාව හතලිස් අටේ නිදහසෙන් පස්සේ යම් කිසි ස්ථාවරත්වයකට ඇවිල්ලා තිබුණේ, සිරිමාවෝ උත්සාහ කරේ සෝවියට් දේශයේ මොඩල් එක ලංකාව ඇතුලට බස්සවන්න, නමුත් එක සාර්ථක වුණේ නැහැ, ඒහි ප්‍රතිඵලය වුණේ 1977 ජේ ආර් ජයවර්ධනගේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් සහිත විශාල ජයග්‍රහණයක් ලැබීමයි.
ඇත්තටම සිරිමාවෝ කරන්න ගත්ත වැඩේ හොඳද නරකද ? අපිට ගැලපෙනවද නැද්ද ? කියලා කතා කරන්න ගත්තොත් අදහස් විවිධ හින්දා මාස ගණන් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. මම ලියන්න හදන්නේ මේ ගැන මම පෞද්ගලිකව දකින දේ මිසක් දේශපාලන වශයෙන් , හෝ තව කාගේ හරි මතවාදයක් මෙතන තහවුරු කරන්නවත් නෙමෙයි. ඇත්තටම එදා පටන් ගත්ත ක්‍රමය යම්කිසි මට්ටමකින් තව අවුරුදු දහයක්වත් ඉස්සරහට ගියානම් ඒ කියන්නේ එක්දාස් නවසිය අසූ හත විතර වෙනකං වත්, අපි අද මේ ඉන්න දුක්ඛිත තත්ත්වයෙන් ගොඩක් එළියට එන්න උපකාර වෙන්න තිබුණා. මේ කාලය ඇතුලත ලංකාවේ දේශීය නිෂ්පාදන හුඟක් ඉහලට නැඟුණා, කෘෂිකර්මාන්තය ඉහළම තලයකට ආවා, ආචාර්ය අජිත් කොලොන්නේ එක දේශනයක කියනවා මේ කාලෙ තමයි ලංකාවේ ගොවියා ඇත්තටම රජ වුණේ කියලා. හොඳ දේවල් වගේම අඩුපාඩු බොහොමයක් තිබුණා, මේ වගේ දැඩි ක්‍රමයක් සමාජගත කරන්න ගිහාම ඒකට විරුද්ධව බලවේග ඇති වෙන එක නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි මොකද මේක සාමාන්‍යයෙන් උඩුගම් බලා පීනනවා වගේ වැඩක්. ලේසියෙන්ම හා පහසුවෙන් මෙන්ම හොඳම දේ කාල, බීල, ඇඳල ඉන්න තමයි අපේ මිනිස් සිත අපිව තල්ලු කරන්නේ, නමුත් සිරිමාවෝගේ ක්‍රමය යටතේ මිනිසුන්ට හරියට දුක් විඳින්න සිද්ධ වුණා, උදේ පාන්දර පාන් පෝලිම් වලට යන්න සිද්ද වුනා, බූමිතෙල් ගඳ ගහන රෙදිවලින් මහපු ඇඳුම් තමයි අඳින්න උනේ, හාල්පොත තමයි අපේ කාගෙත් ප්‍රධානම පොත උනේ.
අපි කොහොමටත් වැඩිය කැපකිරීම් කරන්න කම්මැලි ජාතියක්, ඒක අපේ ඉතිහාසයේ දිහා හැරිලා බැලුවහම හොඳට පේනවා. ඒක තේරුම් ගන්නෙ නැතුව මේ වගේ ක්‍රමයක් ලංකාවට ඔබන්න හදපු එක සිරිමාවෝ කරපු මෝඩ වැඩක් උනාට අමාරුවෙන් හරි එක කරගත්තනං අද අපි මේ කලාපයේම දියුනුම රට වෙන්න තිබුණා.
මම දැක්කා අද පොඩි වීඩියෝ ක්ලිප් එහෙක රොනී ද මැල් කියනවා ලංකාවේ දියුණුව ඇති වුණේ සිරිමාවෝගේ ආණ්ඩුවෙන් පස්සේ විවෘත ආර්ථිකයත් එක්ක කියලා, ඒක දැක්කට පස්සේ මට හිතුණා අනේ එයා දියුණුව කියලා අර්ථදක්වන්නේ මොකක්ද කියලා. සතපහක්වත් ණයක් නැතුව, 77 ජේ ආර් බාරගත්ත රට, අද බිලියන ගානක ණයකුත් සමග තව කල්ප ගානකට ණය වාරික ගෙවන තැනකට හිර වෙලා. මේකටද එතුමා විවෘත ආර්ථිකයෙන් අපිට ලැබිච්ච දියුණුව කියන්නේ , පුදුමයි දැක්කහමත්.
සෝවියට් දේශය හැරුණ කොට ඒ කාලේ මේ ක්‍රමය පාවිච්චි කරපු රටවල් බහුතරයක් අතරින් ඉන්දියාවත් චීනයත් තමයි මේක දිගටම කරගෙන ආවෙ. ඒගොල්ලෝ ජාතික ප්‍රතිපත්ති හදාගත්තා සංවෘත ආර්ථිකයක් එක්ක ඉස්සරහට යන ගමන් හෙමින් හෙමින් දොරගුළු ඇරලා විවෘත ආර්ථිකය පැත්තටත් යන්න. ඒගොල්ලෝ ඉස්සෙල්ලා තමන්ගෙ කකුල් දෙකෙන් හිටගෙන තමයි දොරවල් ඇරියේ, නමුත් අපේ කට්ටිය බඩ ගාන ගමන් තමයි විවෘත ආර්ථිකයක් කියන එක හඳුන්වලා දෙන්න ගත්තේ, එකේ ප්‍රතිඵලය වුණේ අපි තාමත් බඩ ගගා ඉන්න එක. මම ආර්ථික විද්‍යාඥයකු හෝ විශාරදයෙක් නෙමෙයි, ඒත් මේ ලියන්නේ මං දැකපු දේවල් හා ජීවිතයේ ලබපු දේවල් වලින් ලද අත්දැකීමත් එක්ක.
මම අර ඉස්සෙල්ලා කියපු ෆිල්ම් එකේ එක කෑල්ලක් තියෙනවා ෆිලික්ස් ඩයස්ගේ ගොවිපොලක ඉන්න කුකුළන්ට මයිසූර් පරිප්පු කන්න දානවා. ඒ කාලේ මයිසූර් පරිප්පු කියන එක ලංකාවේ දිව්‍ය භෝජනයක්, චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා වූ ගාමිණි ෆොන්සේකා මහත්තයට පෙන්නන්න ඕන වුණා, මිනිස්සුන්ට වත් කන්න නැති මයිසූර් පරිප්පු ඒ දවස්වල කුකුළන්ට දුන්නා කියලා. 77 මහ මැතිවරණයේ ජේ ආර් ජයවර්ධනගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් තමයි ඇට අටක් දෙනවා කියන එක, එයා ඒව නිකන් නම් දුන්නෙ නෑ හැබැයි එයා දෙන්න ගත්ත පරිප්පු අවුරුදු හතලිහක් ගෙවිලත් අපි තාම කනවා.. තව ඉස්සරහටත් කන්න වෙනවා..
ජගත් ආදිපොල
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...