අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයද කොරෝනා වසංගතය හේතුවෙන් තවත් එක් දිනක් පමණක් බවට පත්ව තිබේ. පසුගිය වසරේද පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා මැයි දින රැලි සහ සැමරීම් පැවැත්වීමට ඉඩක් ලැබුණේ නැත. මේ නිසා ලෝකයේ මෙන්ම අප රටේද දේශපාලනයේ සුවිශේෂී අවස්ථාවක් වන මැයි දිනය පිට පිටම දෙවන වරටත් සැමරීමේ අවස්ථාව අහිමි වී තිබේ.
සාමාන්‍ය ජන වහරේ මැයි දිනය ලෙස හැඳින්වෙන ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් ඉතිහාසය 19 වැනි සියවසේ අග භාගය දක්වා අතීතයට දිව යන්නකි. එසේ වුවත් අප රටේ මැයි දින සැමරුම් ආරම්භ වී ඇත්තේ 20 වැනි සියවසේ මුල් භාගයේදීය. 1927 මැයි 01 දා සිට මෙරට මැයි දින රැස්වීම් පවත්වා ඇතත් එය පුළුල් බහුජන සහභාගිත්වයෙන් යුත් දේශපාලන ඉසව්වක් බවට පත් වූයේ 1956 දී මැයි දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමෙන් පසුව යැයි කිව හැකිය.
එදා සිට අද දක්වා කිහිප වරක්ම මැයි දින සැමරුම් පැවැත්වීමට බාධා එල්ල වී තිබේ. නමුත් මෙවර හා ඒ අවස්ථා අතර වෙනසක් ඇත. මෙවර මැයි දින සැමරුම් පැවැත්වීමට නොහැකි වී ඇත්තේ ස්වාභාවික හේතුවක් නිසාවෙනි. මීට පෙර සෑම අවස්ථාවකම මැයි දින සැමරුම් පැවැත්වීමට ඇති වූ බාධා ඉබේ ඇති වූ ඒවා නොව ඇති කරන ලද ඒවාය. ඒ සියල්ල දේශපාලනික කාරණාය.
1971 වසරේ මැයි දින රැලි පැවැත්වීමට බාධා වූයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඒ වසරේ අප්‍රේල් මාසයේ ඇති කළ කැරැල්ල හේතුවෙනි. ඉන් පසු 1987 දී එවකට පැවති ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් මැයි පෙළපාලි තහනම් කිරීමට පියවර ගත්තේය. 1996 දී චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවද මැයි දින සැමරුම් තහනම් කළේ ය. 2018 වසරේ දී මෛත්‍රිපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මැයි දින සැමරුම් මැයි 07 දා දක්වා කල් දැමීමට පියවර ගත්තේය. මේ ආකාරයටම වෙසක් උත්සවය මුල් කරගෙන 1967 පැවති එජාප ආණ්ඩුවද මැයි දිනය මැයි දෙවනදාට කල් දැමීමට පියවර ගෙන තිබේ.
අතීතයේ මේ සෑම අවස්ථාවකම කුමන බාධා පැමිණියත්, වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ මැයි දින සැමරුම් පැවැත්වීමෙන් වැළකී සිටියේ නැත. හදිසි නීතිය යටතේ මැයි දින පෙළපාලි තහනම් කර තිබුණත් අවම වශයෙන් මැයි දින සැමරුම් රැස්වීමක් හෝ පැවැත්වීමට දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති පියවර ගත්තේය. 1987 ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව හදිසි නීතිය යටතේ පනවා තිබූ මැයි දින රැස්වීම් තහනම නොතකා නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මැයි දින රැස්වීමට පොලිසිය වෙඩි තැබීමෙන් ජීවිත දෙකක්ද අහිමි විය.
එදා ආණ්ඩුවේ නීතියට පමණක් නොව පොලිස් උණ්ඩවලට පවා බිය නොවී මැයි දින සැමරුම් කළත් මෙදා මැයි දින සැමරුම් අත්හිටුවා ඇත්තේ ආණ්ඩුවේ හෝ පොලිසියේ නියමයකට අනුව නොව ස්වේච්ඡාවෙනි. ඒ කොරෝනා වසංගතය පැතිර යෑම වළක්වා ගැනීමේ අරමුණෙනි.
එසේ වූවත් හදිසි නීතියෙන් මැයි දින සැමරුම් නැවැත්වීමටත් වඩා මෙවර සැමරුම් නොමැති වීම බරපතළය. කොරෝනා වසංගතය හදිසි නීතියටත් වඩා වැඩකරන ජනතාවට අහිතකර ලෙස විනාශකාරී ලෙස බලපෑම් කර ඇති බැවිනි.
කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට ලෝකයේ මෙන්ම අපේ ආර්ථිකයද අඩපණ වී තිබේ. රජයේ මෙන්ම පෞද්ගලික අංශයේද කටයුතු තවමත් මුළුමනින්ම ආරම්භ වී නැත. මේ තත්ත්වය මත බොහෝ දෙනකුගේ වැටුප් කප්පාදු වී ඇති අතර ඇතමකුට මුළුමනින්ම වැටුප් අහිමි වී තිබේ. රාජ්‍ය අංශයේද මේ දිනවල සේවය කරන ඇතැමුන්ටද වෙනදා ලැබෙන අතිකාල දීමනා පවා තවමත් ලැබී නැත. ඉදිරියේදී පෞද්ගලික අංශයේ රැකියා දහස් ගණනක් අහිමි වී යනු ඇත. ඇතැම් හාම්පුතෙකු තම ව්‍යාපාරයේ මෙතක් පැවති පාඩු මකා ගන්නට මෙය අවස්ථාවක් කර ගනිමින් සේවක පඩිනඩි අඩු කරන්නට මෙන්ම සේවක කප්පාදු කරන්නටද ඉඩ තිබේ.
අද වෙනදා මෙන් මැයි දින සැමරුම් පවත්වන්නට නොහැකි වුවත් කම්කරු නායකයන් මේ ගැන කල්පනා කළ යුතුය. වෙනදා නම් වැඩ කරන තම සගයන්ට යම් අසාධාරණයක් වූ විට වෘත්තීය සමිති කරන්නේ උද්ඝෝෂණය කිරීමය. වැඩ වර්ජන කැඳවීමය. එහෙත් මේ අවස්ථාවේ කිසිදු වෘත්තීය සමිතියකට එලෙස කටයුතු කළ හැකි වනු ඇතැයි අප සිතන්නේ නැත. කොරෝනා වසංගතය අප කා විසින් හෝ සිතා මතා ඇතිකරන ලද්දක් නොවන බැවිනි. එසේ වුවත් මේ නිසා අගතියට පත්වන වැඩකරන ජනතාවට කරන්නේ කුමක්දැයි ඔවුන්ට සහනයක් සලසන්නට කරන්නේ කුමක්දැයි වෘත්තීය සමිති කල්පනා කළ යුතුව තිබේ.
එසේ කිරීමට නම් ඔවුන්ට මෙතෙක් අනුගමනය කළ තම රටාව වෙනස් කිරීමට සිදුවනු ඇත. වෘත්තීය සමිති මේ දක්වා තම ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී අවධානය යොමු කළේ තම ඉල්ලීම් දිනා ගන්නේ කෙසේද යන්න ගැන පමණකි. එහෙත් දැන් ඔවුන්ට රටේ තත්ත්වය තම ආයතනයේ තත්ත්වය හා පවතින යථාර්ථය යන වඩා පුළුල් කාරණා ගැන කල්පනා කිරීමට සිදුව ඇත. වෘත්තීය අයිතීන් දිනා ගන්නට නම් රටක් හා ආර්ථිකයක් තිබිය යුතු බැවිනි.
මේ අනුව පෙනී යන්නේ කොරෝනා වසංගතය නිසා අප බොහෝ දෙනකුට කන බොන දේ ගැන පවා වෙනස්ම ආකාරයකට හිතන්නට සිදුව ඇත්තා සේම වෘත්තීය සමිතිවලටත් වෙනස්ම ආකාරයකට හිතන්නට සිදුව ඇති බවය.
වෘත්තීය සමිති සම්බන්ධයෙන් මේ දක්වා අප රටේ පොදු ජනතාව අතර යහපත් ආකල්පයක් තිබුණේ නැත. වෘත්තීය සමිති යනු සියලු දේ අඩපණ කරන දෙයක් බව ඇතමකුගේ අදහසය. වෘත්තීය සමිති නායකයන් තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා වැඩකරන ජනතාව ප්‍රයෝජනයට ගන්නා බව තවත් චෝදනාවකි. ප්‍රබලම චෝදනාව වන්නේ වෘත්තීය සමිති එක් එක් දේශපාලන පක්ෂවලට විකිණී ඇති බවය. වෘත්තීය සමිතිවලට මේ සියලු වැරදි නිවැරදි කර ගැනීමට මේ හොඳ අවස්ථාවකි. වෘත්තීය සමිති ඒ අන්දමට කල්පනා කළහොත් එතෙක් මෙතෙක් පැවති අර්ථාන්විතම මැයි දිනය මේ මැයි දිනය වනු නිසැකය.
Aruna
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...