එකිනෙකට වෙනස් යැයි පෙනෙන ආර්ථික ප‍්‍රතිපත්ති අනුගමනය කළ ආණ්ඩු දෙකක් නියෝජනය කළ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාගේ නම 2002, 2006, 2009 වසර වලදී අර්ථික ප‍්‍රතිපත්ති වලට අදාළ සමාජ සංවාද වලදී ප‍්‍රභලව අසන්නට ලැබුණි. දැන් වෙනස්ම තත්වයක් යටතේ එතුමා විසින් නායකත්වය ලබාදෙන ප‍්‍රභල රාජ්‍ය නොවන සංවිධානයක් වන ” පාත් ෆයින්ඩර් ” නම් වූ සංවිධානය මුල් කර ගෙන එතුමාගේ නම නැවත සමාජයේ දැඩි කථාබහට හෙවත් විරෝධයට ලක් වෙමින් ඇත. ඊට හේතුව ඇමරිකානු අරමුදල් වලින් නඩත්තු වන බවට චෝදනාවට පාත‍්‍රව තිබෙන එම සංවිධානය විසින් කොවිඞ් – 19 වසංගතයෙන් පසුව ශ‍්‍රී ලංකාව ආර්ථික වශයෙන් නැවත නඟා සිටුවීම සඳහා වන උපාය මාර්ගික සැලසුම අපේ‍්‍රල් මස අගදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දෙන බවට ප‍්‍රවෘත්ති පළවීමය. එහෙත් අදාළ කර්තව්‍ය ජනාධිපතිතුමා විසින් මිලින්ද මොරගොඩ මහතාට බාර දුන්නාද එසේ නැතහොත් ඔහු විසින් ඉතා සූක්ෂමව ජනාධිපතිතුමාට බලපෑම් කරනවාද යන්න පැහැදිළි නැත.
කෙසේ වෙතත් මිලින්ද මොරගොඩ මහතා විසින් එම සැලසුම් සකස් කිරීම සඳහා කුලියට ගෙන ඇති පිරිස දෙස බැලීමේදී මහජන මනසේ විරෝධයට අමතරව හාස්‍යක්ද උපදින බවට සැකයක් නැත. ඊට හේතුව එම ඊනියා විද්වතුන් විසින් මෙතෙක් ඉදිරිපත් කළ නව ලිබරල් වෙළඳපළ ආර්ථික මොඩලය අද වන විට ”හොම්බෙන්” ගමන් කරමින් තිබෙන බව සාමාන්‍ය ජනතාවට වුවද තේරුම්ගත හැකි වීමය. කොරෝනා වසංගත තත්වය නිසා, ඒ වන විටත් බොහෝ ජාත්‍යන්තර විද්වතුන් විසින් අනතුරු ඇඟවූ ආකාරයට ගෝලීය ආර්ථික අවපාතය තවදුරටත් වර්ධනය වනවා මිස එම ඇද වැටීම වසංගත තත්වය නිසා සිදුවන්නක් නොවන බව ඉතා පැහැදිලිය. නාගරික ඉදිකිරීම් සහ අධි පරිභෝජනය මත වර්ධනය කෙරෙමින් පැවති ගෝලීය ආර්ථිකය දැන් එහි උච්ච ස්ථානයේ සිට පහතට කඩා වැටීම ආරම්භ වී ඇති බව බොහෝ විද්වතුන් සාක්ෂි සහිතව තහවුරු කරයි.
ඒ නිසා ආර්ථික ක‍්‍රියාවලිය තුළ ප‍්‍රායෝගික අත්දැකීම් නොමැති විශ්ව විද්‍යාලවල පැරණි සටහන් කියවමින් දේශණ පවත්වා ප‍්‍රශ්ණ පත‍්‍ර බලන එම ඊනියා විද්වතුන්ට වර්තමාන අර්බුදයට විසඳුම් ඉදිරිපත් කළ හැකි යැයි සිතීම අන්ධයින්ගෙන් පාර ඇසීම වැනි අඳ බාල ක‍්‍රියාවක් බව ඉතා පැහැදිළිය. ඔවුන් මෙතෙක් නිර්දේශ කළ ආර්ථික මොඩලය පදනම් වූ නව ලිබරල් නිදහස් වෙළඳපළ න්‍යායන් අද වන විට වඳ බැස ඇති තත්වයක් තුළ ඔවුන් තුළ නව දරුවෙකු හෙවත් නව මොඩලයකට උපත දීමට තරම් සැබෑ විද්වත් සරුභාවයක් නැත. එහෙත් බලවත් රාජ්‍ය නොවන සංවිධාන හරහා ඔවුනට ව්‍යාජ විද්වත් භාවයක් ආරෝපණය වී ඇත. බොහෝ විට මහජනයා නොමග යැවීම සඳහා ඔවුන්ගේ නම් ලැයිස්තුව ප‍්‍රසිද්ධ කළද රට නැවත ආගාදයට තල්ලූ කරන ඊනියා නැගී සිටීමේ සැලසුම සැබැවින්ම සකස් කරන්නේ පාත් ෆයින්ඩර් ආයතනයට මඟ පෙන්වන ” වෙරිට් රිසර්ච්, ඇඩවොකාටා සහ හෙරිටේජ් ෆවුන්ඬේෂන්” වැනි බලවත් ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධාන ජාලය විසින් බවට මේවා ගැන තතු දන්නා අයට නම් සැකයක් නැත.
මිලින්ද මොරගොඩ නම් වූ පුද්ගල චරිතය එම බලවත් ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ න්‍යාය පත‍්‍රයට කෙතරම් සමීපද යන්න ”විකිලික්ස්” එළිදරව්වකින් පැහැදිළි වේ. එසේ එළිදරව් වූ ශ‍්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති ඇෂ්ලි විල්ස් විසින් 2003/05/29 දින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවන ලද කේබල් පණිවිඩයක මෙසේ සඳහන් වේ.
”මිලින්ද මොරගොඩ සෘජුව අවධානය යොමු කරන්නේ ඇමරිකාව සහ ඉන්දියාව සමග සබඳතා වර්ධනය කිරීමටය. ඉතා හොඳින් සන්නිවේදනය කරන බුද්ධිමත් පුද්ගලයෙකු වන ඔහු ඒ වැඬේට කදිමට ගැලපේ. ඇමරිකානු පුරවැසියෙකු වන ඔහු වොෂින්ටනයේ ඉපදී ඇති අතර ඇමරිකානු කාන්තාවක් විවාහ කොට ගෙන සිටින ශ‍්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියෙකි. ඔහු ”හෙරිටේජ් ෆවුන්ඬේෂන්” නමු වූ ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයේ වැඩ කරන කාලයේ සිට ඇමරිකාව සමඟ ඉතා හොඳ සබඳතා පවත්වා ගත්තෙකි. ඔහු ඇමරිකාවේ බලවත්කම ඉතා හොඳින් තේරුම්ගෙන සිටින සහ ශ‍්‍රී ලංකාව ඊට අනුව කළයුතු යැයි සිතන අයෙකි. ”
ආර්ථික ප‍්‍රතිපත්ති හැදීම සඳහා උපදෙස් දීමේ නාමයෙන් ඇමරිකාව විසින් ප‍්‍රචලිත කරන ගෝලීය ආර්ථික මොඩලයේ තවත් දැති රෝදයක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීමේ ක‍්‍රියාවලිය විවිධ ක‍්‍රමවේද හරහා ශ‍්‍රී ලංකාව තුළ තහවුරු කිරීම සඳහා ඉතා ප‍්‍රභල මැදිහත්වීමක් කරනු ලබන සංවිධානය ”පාත් ෆයින්ඩර්” බවට කිසිඳු සැකයක් නැත. එම සංවිධාන විවිධ නිලනාම යටතේ ඉතා බලවත් වර්තමාන රාජ්‍ය නිලධාරීන් සහ විශ‍්‍රාමික ඉහළ හමුදා නිලධාරීන් පවා තම ග‍්‍රහණයට ගැනීමට සමත් වී ඇත. එම සංවිධානය තමා චීනය සමඟ ද ගනුදෙනු කරන බව පෙන්වීමට විවිධ චීන මිත‍්‍ර සංගම් පවා තම උපක‍්‍රම වලට ගොදුරු කොට ගෙන ඇත. එම ක‍්‍රියාවලියේ එක්තරා උච්චස්ථානයක් වන්නේ ඔවුන් විසින් 2015 දි ජනතා විමුක්ති පෙරමුණද ඊට සම්බන්ධකර ගැනීමය. ඒ අනුව එම සංවිධානය විසින් සකස් කරන ලද ” ඉදිරි ගමන සලකුණු කිරීම: සැමට සෞභාග්‍යය” නම් වූ ආර්ථික වැඩ පිළිවෙලක් මැයි මාසයේදී එනම් පාර්ලිමේන්තු මැතිවරණයට පෙර එම පක්ෂයට උත්සවාකාරයෙන් බාර දෙනු ලැබීය.
රටේ ආර්ථික වර්ධනය වැඩි කිරීම නම් වූ සීනි තවරා ඉදිරිපත් කරන යල් පැන ගිය පරාධීන ආර්ථික සංවර්ධන උපාය මාර්ග ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්ටන් සිල්වා මහතාගේ උගුරින් පහලට පවා තල්ලූ කිරීමට පාත් ෆයින්ඩර් සමත් විය. ඒ අනුව ටිල්ටන් සිල්වා මහතා එම උත්සවය අවස්ථාවේදී ප‍්‍රකාශ කරනු ලැබුවේ තමා ඒ ආකාරයට ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට අදාළ ප‍්‍රතිපත්ති පිළිබඳ සංවාදය පාත් ෆයින්ඩර් සමඟ ඉදිරියට ගෙනයාමට සූදානම් බවය. නමුත් එම සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරන තොරතුරු අනුව ඔවුන්ගේ ප‍්‍රතිපත්ති වල කිසිදු නව ප‍්‍රවේශයක් නැත. ඒවා මගින්් ඉදිරිපත් කරන්නේ වසර 30 – 40 ක් තිස්සේ පතුරු ගැසූ අපනයන සංවර්ධනය සහ විවිධාංගීකරණය, විදේශ ආයෝජන සඳහා පහසුකම් සැලසිම, සර්ව ආර්ථික සාධක නැවත සකස් කිරීම සහ රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාව සහ ඵලදායිතාවය වැඩි කිරීම වැනි සංකල්පීය ප‍්‍රතිපත්තීමය යෝජනාය. පසුගිය දශක ගණනාවක් එම ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීමෙන් පසුව අපේක්ෂිත ප‍්‍රතිඵල නොලැබීම පිළිබඳව පැහැදිළි කිරීමක් හෝ නව ආර්ථික මොඩලයක් පිළිබඳව පර්යේෂණාත්මකව උපාය මාර්ගික ප‍්‍රවේශයක් ඔවුන් විසින් ඉදිරිපත් කරන්නේ නැත.
කෙසේ වෙතත් ඒ ආකාරයට කඩා වැටෙන ආර්ථිකයට යළි පණදෙන මැජික් පොල්ලක් අත තිබෙන බව කියන මිලින්ද මොරගොඩ මහතා අමාත්‍යවරයෙකුව සිටියදී ආර්ථික සංවර්ධන උපායමාර්ග තේරූ ආකාරය වටහා ගැනීම මගින් ඔහු විසින් ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට නියමිත ප‍්‍රතිපත්තිවල හරය හෙවත් පදනම පිළිඳව පූර්ව අවබෝධයක් ලබා ගත හැක. එම ප‍්‍රතිපත්ති වල සැබෑ උපායමාර්ගික අරමුණු එළිදරව් වුවහොත් ඒ පිළිබඳව පසුව අදහස් ඉදිරිපත් කළ හැක. එහිදී ප‍්‍රකාශිත සංකල්පීය ප‍්‍රතිපත්තිමය යෝජනා සහ අප‍්‍රකාශිත සැබෑ උපාය මාර්ගික ප‍්‍රවේශය අහසට පොළොව මෙන් පරස්පර විය හැකි බව මිලින්ද මොරගොඩ මහතාගේ ආර්ථික කළමණාකරණයට අදාළව 2009 දී ශ්‍රෙෂ්ඨාධිකරණය මෙසේ සඳහන් කොට ඇත. එවකට ආර්ථික ප‍්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වූ මිලින්ද මොරගොඩ මහතා (2001 – 2004) සහ ඔහු යටතේ වූ ”පර්ක් ” ආයතනයේ ප‍්‍රධානියා සහ ඔහුගේ නියෝග ක‍්‍රියාත්මක කළ භාණ්ඩාගාර නිලධාරීන් විසින් ඉතා වැදගත් රාජ්‍ය ආයතන විකුණා දැමීමේ දී ක‍්‍රියාකළ ආකාරය පිළිබඳව තමාගේ හෘද සාක්ෂිය කම්පා වූ බව විනිසුරු තුමන්ලා තම තීන්දුව ප‍්‍රකාශකරමින් අවධාරණය කොට ඇත.
එසේ ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලාගේ හදවත් කම්පා වන්නේ එවකට ජනාධිපති උපදේශක ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින්් අධිකරණයේ අවධානයට ලක් කළ දූෂිත ගනුදෙනු දෙකක් පිළිබඳව පමණි. 1994 සිට විකුණා දැමුණු රාජ්‍ය ආයතන 98 කට අදාළ දූෂණ පිළිබඳ අධිකරණයට පෙත්සම් ඉදිරිපත් වූවා නම් එතුමන්ලාගේ හදවත් නතරවීමට පවා ඉඩ තිබුණි. ” පර්ක් ” ආයතනය හරහා සිදුකළ රාජ්‍ය ආයතන විකුණා දැමීමේ ක‍්‍රියාවලිය ඒ තරමට දූෂිත ක‍්‍රියාවක් වූ බව රහසක් නොවේ. එසේ රාජ්‍ය ආයතන පුද්ගලික අංශයට විකුණා දමන ප‍්‍රතිපත්තිය අනුගමනය කරනු ලබන්නේ වෙනත් අරමුණු සඳහා බව සැබෑය. දූෂණය සහ වංචාව එම ක‍්‍රියාවලියේ අතුරු ඵලයක් පමණි. එහිදී මිලින්ද මොරගොඩ මහතා විසින් නිර්දේශ කළ උපාය මාර්ගය වූයේ රාජ්‍ය ආයතන කුණු කොල්ලයට පුද්ගලික අංශයට විකුණා දැමීම මගින්් ආර්ථිකය වර්ධනය කිරීමය.
කෙසේ වෙතත් මිලින්ද මොරගොඩ මහත්මයාලා යෝජනා කරන ආර්ථික වර්ධන වේගය වැඩි කිරීමේ උපාය මාර්ග තුළ දූෂණ වංචා වලට ප‍්‍රධාන තැනක් හිමිවන බව අධිකරණයේ අවධානයට ලක් වූ මහා පරිමාණ දූෂීත ගනුදෙනු දෙකක් වන වරායේ නැව් වලට තෙල් ලබා දීමේ මහා ලාභදායි ව්‍යාපාරය හෙවත් බන්කරින් ව්‍යාපාරය සහ ශ‍්‍රී ලංකාවේ රක්ෂණ වෙළඳපළ තුළ ප‍්‍රමුඛතයා වූ රක්ෂණ සංස්ථාව විකුණා දැමීමේ ක‍්‍රියාවලිය තුළින් පැහැදිළි වේ. එම ගනුදෙනු වලදී ජාත්‍යන්තරව පිළිගත් සියළු දූෂිත ක‍්‍රියා සිදුවූ බව අධිකරණයේදී ඔප්පු විය. උදාහරණ ලෙස රාජ්‍ය දේපළ විකුණා දැමීමට පෙර බරපතල ලෙස වටිනාකම අවතක්සේරු කිරීම, එම විකිණීම නිසා රජයට ලැබෙමින් තිබූ ආදායම් අහිමි වීම, මිලදී ගන්නා පුද්ගලික පාර්ශව රජයේ ප‍්‍රභලයන් සමඟ සබඳතා පැවැත්විම සහ පොදු මහජන දේපල පුද්ගලික අයිතියට නතු කිරීම ආදී සියළු අවශ්‍ය ක‍්‍රියා එම ගනුදෙනු වලදී දක්නට ලැබුණි. ඒ සියල්ල සිදුවූයේ එදා අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාගේ මගපෙන්වීම යටතේ බව අධිකරණයේදී ඔප්පු විය. ඔහු විසින් එම තීන්දු ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය නිසි පරිදි ලබා ගෙන නොතිබූ බව අධිකරණයේදී ඔප්පු විය. ඔහුගේ තීන්දු නීතියට පටහැනි බව එහිදි ප‍්‍රකාශයට පත්විය.
එම ක‍්‍රියාවලිය තුළ එල්.එම්.එල් නම් වූ රජයට අයත් බන්කරින් ව්‍යාපාරයේ නියුක්ත වූ සමාගම අවතක්සේරු කිරීම සඳහා එම වගකීම රජයේ තක්සේරුකරුට ලබා නොදී පුද්ගලික බැංකුවකට ලබා දුණි. ඒ මගින්් ආයතනයේ වටිනාකම 50% කින් අව තක්සේරු කළ අතර අමාත්‍ය මණ්ඩල තීන්දුවට පටහැනිව අමාත්‍යවරුන් නොමග යවමින් රාජ්‍ය ආයතනය මිලදී ගත් පුද්ගලික සමාගමට වෙළඳපළ ඒකාධිකාරිය පමණක් නොව බදු නිදහස් තත්වය සහ වරායෙන් නොමිලයේ ඉඩමක්ද ලබා දුණි. ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණා දැමීමේදී අමාත්‍ය වරයා විසින් බලයලත් කමිටුවක් පිහිටුවා එහි සභාපති වූ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් එන්. පරමනාදන් මහතා ටෙන්ඩර් මණ්ඩලයට පවා පත් කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ අවසර නොමැතිවය. 28/2/2002 අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවෙන් ඔහු දැනුම් දෙන්නේ ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට කළමණාකරණ සහ තාක්ෂණික දැනුම නොමැති නිසා පුද්ගලික අංශය සමඟ තරඟ කිරීමට හැකියාව නොමැති බවය. එහෙත් සත්‍ය තත්වය නම් ඊට පෙර වසරේදී ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙළඳපළේ නායකයා වූ බව සහ ඇ.ඩො මිලියන 10 ක ලාභයක් ලැබූ බව සහ රජයට ඇ.ඩො මිලියන 3.5 ක බදු ගෙවූ බවය.
එසේ ශ්‍රෙෂ්ඨාධිකරණයේ විභාග වූ අංක 158/2007 දරණ මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව අනුව මිලින්ද මොරගොඩ මහතා අමාත්‍යවරයෙකු ලෙස එම දූෂිත ගනුදෙනුවට වගකිව යුතු බව ඔප්පු විය. ඒ අනුව ගනුදෙනු අවලංගු කළද එතනින් ඔබ්බට අමාත්‍යවරයාට විරුද්ධව අපරාධ නිතිය යටතේ සහ පොදු දේපල පනත යටතේ කටයුතු කිරීමේ වගකීම නිතිපතිවරයාට පැවරිණි. කෙසේ වෙතත් 2006 දී පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව විසින් මෙම දූෂිත ගනුදෙනු පිළිබඳ විභාග කොට 2007 දී වාර්තාවක් නිකුත් කළද එවකට පැවති රජයේ පාර්ශවයෙන් වැරදි කරුවන්ට එරෙහිව කිසිඳු ක‍්‍රියාමාර්ගයක් නොගැනුනි.
2009 දී නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කළ පසුව වැරදිකරු විසින් දේශපාලන පැතිමාරුවක් සිදු කොට නව ඇමතිකමක් ලබා ගන්නට යෙදුණි. ඔහුට ලැබුණේ ඔහුට විරුද්ධ නඩු දැමීමට අදාළව ක‍්‍රියාත්මක විය යුතු ආයතන පද්ධතිය අයත්වන අමාත්‍යංශය එනම් අධිකරණ සහ අධිකරණ ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයයි. එය කාගේ දෛවයේ සරදමක් දැයි පැහැදිළි නැත.
මෙම සමස්ථ කථාව තුළ වැදගත් වන සාධකය වන්නේ එම දූෂිත පුද්ගලිකරන ක‍්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව යන ආයතනවල අධීක්ෂණය සහ මූල්‍ය සහය මත සිදුවීමය. ඉහත සඳහන් කළ නඩුවේ එක් වගඋත්තරකරුවෙකු වූ හිටපු මුදල් අමාත්‍ය කේ.එන් චොක්සි මහතා 2003 වසරේ මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරන ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය. ඔහුට මුදල් ඇමතිකම ලැබෙන්නේ ඊට පෙර ”හිල්ටන් හෝටල් දූෂණය” නම් වූ ප‍්‍රසිද්ධ දූෂිත ගනුදෙනු පිළිබඳව ඔහු ජනාධිපති කොමිසමකින් වරදකරුවෙකු බවට පත්කොට සිටීදීය. මිලින්ද මොරගොඩ මහත්තයාලගේ කථාව, ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියාව යන සියල්ල ගරා වැටෙන දූෂිත ගෝලීය නව ලිබරල් ආර්ථික මොඩලයේ උවමනාවන් නියෝජනය කරන බව ඉතා පැහැදිළිව ඔප්පු වී ඇත. එවැනි තත්වයක් තුළ ඔහුගේ ප‍්‍රතිපත්ති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවිශේෂි ජනවරම තුළ නියෝජනය වන්නේ කෙසේ දැයි පැහැදිළි නැත.
දැන් පළමුවෙන්ම අවශ්‍ය වන්නේ ඊනියා ආර්ථික වර්ධනය නම් වූ රළු දර්ශකය පසුපස පමණක් හඹා යන ණය මත පදනම් වූ නාගරික ඉදිකිරීම් මුල්කර ගත් අධිපරිභෝජන වාදී ආර්ථික මොඩලයට තව දුරටත් ඉදිරියට ගමන් කළ නොහැකි බව පිළිගැනීමය. දෙවනුව එම අසාර්ථක නව යටත් විජිතවාදී මොඩලය වෙනුවට බහුතර ජනතාවට ආර්ථික ඉඩ ප‍්‍රස්ථා සලසන දේශීය නිශ්පාදන ආර්ථික මොඩලයක් ආදේශ කිරීමය. පැන නගිමින් පවතින ගෝලීය ආර්ථික අවපාතයට මුහුණු දෙමින් 69 ලක්ෂයකගේ අපේක්ෂාවලට සාධාරණය ඉටු කළ හැක්කේ ඒ මගින් පමණි. එනම් පාත් ෆයින්ඩර් ලාගේ ගොඩ වෙදකම් වෙනුවට ප‍්‍රශ්ණය මුලට ගොස් විසඳුම් සෙවීමෙන් පමණි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...