බෞද්ධයන්ට වෙසක් පුන් පොහෝ දින තරම් වටිනා දිනයක් නොමැති බව කීම අතිශෝක්තියක් නොවේ. තථාගතයන්ගේ උපත බුදුවීම, පරිනිර්වාණය යන තෙමඟුල යෙදී ඇත්තේ මෙදිනටය. එබැවින් එම දින සකල ලෝකවාසීන් විසින් මහත්සේ සැමරිය යුතුය. ඒ සැමරීම ආමිස පූජාවෙන් හා ප්‍රතිපත්ති පූජාවෙන් කළ හැකිය. සැරසිලි, මල් පහන්, දද, කොඩි ආදියෙන් පිදීම ආමිස පූජාවයි. ඒ ආමිස පූජාවෙන් පුදනවා සේම ඊටත් වඩා ප්‍රතිපත්ති පූජාවෙන් පිදීම අතිශයින්ම උතුම්ය. ප්‍රතිපත්ති පූජාව යනු ධර්මානුකූලව ධර්මයෙන් පිදීමය. තථාගත දේශනාවද එයමය. ඒ බව නඛෝ ආනන්ද එත්තාවතා තථාගතෝ සක්කතෝ වා හෝති ගරුකතෝවා, මානිතෝවා, පූජිතෝවා, අපචිතෝ වා, යෝ ඛෝ ආනන්ද භික්ඛුවා භික්ඛුහිවා, උපාසකෝවා උපාසිකාවා ධම්මානුධම්ම පටිපන්නෝ විහරති සාමිචිපටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරුකරෝති මානේති පූජේති පරමාය පූජාය යනුවෙන් දක්වා ඇත.
තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන අවස්ථාවේ මල්ල රජදරුවන්ගේ සල් වනයෙහි අකාලයට පිපුණු සල්ගස්වල මල් බුදු සිරුර මත පතිත විය. දිව මදාරා මල් හා සඳුන් සුණු අහසින් පතිත වන්නට විය. දිව්‍ය තූර්ය නාදයෝ වැයෙන්ට පටන් ගති. දිව්‍ය සංගීතයෝ නාද වන්නට විය. එම අවස්ථාවේ ආනන්ද හිමියන් අමතන බුදුරජාණන් වහන්සේ ආනන්දය, මෙපමණ පූජාවකින් මා සත්කාර කරන ලද්දේ හෝ ගරුකාර කරන ලද්දේ හෝ සිතින් බුහුමන් කරන ලද්දේ හෝ පුදන ලද්දේ නොවෙති. උපස්ථාන කිරීමකින් පමණකින් පුදන ලද්දේ නොවෙති. යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් උපාසකයෙක් හෝ උපාසිකාවක් ලෝකෝත්තර ධර්මයට අනු ධර්ම වූ පූර්ව භාග ප්‍රතිපත්තියට පැමිණ වාසය කරයි ද හෙතෙම තථාගතයන් වහන්සේට සත්කාර ගරුකාර කරන්නෙක් වන බවත්, සිතින් බුහුමන් කරන්නෙකු වන බවත් එයම උත්තම පූජාවෙන් පුදන්නෙක් වේ යනුවෙන් දේශනා කළ සේක. මෙය අනද හිමියන් උදෙසා පමණක් නොව සිවු පිරිසටම දේශනා කළ දෙයකි.
වෙසක් පුන් පොහෝ දින ආමිස පූජා තුළින් බුද්ධාලම්භන පී‍්‍රතිය උපදව ගැනීමට හා ධාර්මික විනෝදයක් ලබා ගැනීමට කටයුතු කළාට වරදක් නැත. ඒවා තුළින් පුණ්‍ය කටයුතු සිදුවන බව රහසක් නොවේ.
තථාගතයන් වහන්සේගේ අන්තිම මොහොතේ වුවද භික්ෂූන් වහන්සේ ප්‍රධාන අවශේෂ ශ්‍රාවකයන්ට දේශනා කළ අවවාදය නම් හන්දදානි භික්ඛවේ, ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදේථ යනුවෙනි. එනම් මහණෙනි මම දැන් නුඹලාව ආමන්ත්‍රණය කරමි. සංස්කාරයෝ අනිත්‍ය ස්වභාව කොට ඇත්තාහ. අප්‍රමාදයෙන් යුතුව (සසරමින් එතෙර වීමට* වීර්ය වඩව. හෙවත් මහණ පූරණය කළ යුතුය යනුවෙනි. පන්සාලිස් වසක් දෙසූ යම් ධර්මයක් ඇද්ද යම් අවවාදයක් ඇද්ද ඒ සියල්ලම අප්‍රමාදයට යටත්ය. එබැවින් අප්‍රමාදයෙන් යුතුව කුසල ධර්මයන් පූරණය කිරීමටත්, අකුසල ධර්මයන් ප්රහාණයටත් කටයුතු කරන ලෙසය. කුසල දහම් වැඞීමම අප්‍රමාදය බවත් අකුසල දහම් වැඞීම ප්‍රමාදයට මූලය බවත් යේ කේචි කුසල ධම්මා සබ්බේ තේ අප්පමාද මූලකා යන්නෙන් පැහැදිලි වේ. යමෙක් දස අකුසල කර්මයන්හි නියුක්තව වාසය කිරීම යනු ප්‍රමාදයෙන් වාසය කිරීම බවත්, ප්රාණගාතාදි අකුසලයන්ගෙන් වෙන්වීම් ආදී කුසල කර්මයන්ගෙන් නියුක්තව වාසය කිරීම අප්‍රමාදය හෙවත් නිවනට මග ලෙසත් දේශනා කොට ඇති බව ‘අප්පමාදෝ අමතපදං’ යන්නෙන් පැහැදිලි වේ. එබැවින් බෞද්ධ වන අප සැම බුද්ධානුශාසනයට ගරු කරමින් අප්‍රමාදයෙන් යුතුව කුසල ධර්මයෙහි නියුක්තවී බුදුන් වහන්සේට කරන උත්තම පූජා පවත්වා පුදන්නන් බවට පත්විය යුතුය.
වෙසක් පොහෝ දිනය තුළ වුවද අසංවර වූ ඇඳුමින් සැරසී ශ්‍රද්ධා භක්තියෙන් තොරව විහාරස්ථානවලට එන පිරිස් අධිකය. සිත, කය, වචනය සංවර කර ගන්නවාට වඩා තුන් දොර අසංවර කර ගන්නා අයුරු දැක ගත හැකිය. පුරා වසරක් පුරාම ඉඳුරන් පිනවීමට අවශ්‍ය සුභාරම්මණයන් ගන්නා අතර මෙවැනි දිනයකදී හෝ ඉදුරන් සංවර කර ගැනීමට උනන්දු නොවීම ඛේදජනකය. මෙයින් අදහස් කරන්නේ වෙසක් සැරසිලි, තොරන්, දන්සල් පුද පූජා ආදී ආමිස පූජාවන් ප්‍රතික්ෂේප කිරීම නොව ඒවා අවබෝධයෙන් අර්ථවත්ව සිදු කළ යුතු බවය. එම ආමිස පුද පූජා තුළින් බුද්ධාලම්භන පී‍්‍රතිය උපදවා ගැනීමට හා ධාර්මික විනෝදයක් ලබාගැනීමට කටයුතු කලාට වරදක් නැත. ඒවා තුළින් පුණ්‍ය කටයුතු සිදුවන බව රහසක් නොවේ. පින්කම්ද අවශ්‍යය. ඒ පුණ්‍ය කර්මයන් සසර ජීවිතයට වැදගත් වේ. බුදුන් වහන්සේ දැඩිසේ අවධාරණය කළේ ආමිස පූජාවලට වඩා ප්‍රතිපත්ති පූජාවය. ඒ ප්‍රතිපත්ති පූජාවම සසරින් එතෙරවීමට උපකාරී වන බව දන්නා නිසයි එයට අවධානය යොමු කළේ.
ඇලිකේවෙල සීලානන්ද නායක ස්වාමින් වහන්සේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...