කොවිඩ් වෛරසය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට පැතිර යෑම නිසා මේ වන විට මුළු රටම භීතියට පත්ව තිබේ.
දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ වැඩිපුරම රෝගීන් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. මේ නිසා වඩාත් අසරණව ඇත්තේ කොළඹ හා ආසන්න මහල් නිවාසවල පදිංචිකරුවන්ය. මහල් නිවාස ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන් හමු වීමත් සමග එම නිවාස සංකීර්ණ හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්හ.
පර්චස් කිහිපයක පිහිටි මහල් නිවාසවලට කොටු වූ දහස් ගණනකට දින ගණනන් එක දිගට නිවසෙහි රැඳී සිටීමට සිදු වීම නිසා ඔවුහු දැඩි මානසික ආතතිතයකට ලක්ව සිටිති.
ඉකුත් අප්‍රේල් 03දා පොලිසියේ සංගීත කණ්ඩායම් මරදානේ මහල් නිවාස අසලට ගොස් සංගීත ආස්වාදය ලබා දෙන්නේ එහි ජනතාව ආතතියෙන් මුදා ගැනීමේ අරමුණ පෙරදැරිවය. පොලිසිය ඇරැඹූ එම උදාර කාර්යයට දායක වන්නට ත්‍රිවිධ හමුදා සංගීත කණ්ඩායම් ද එක්වන්නේ අප්‍රේල් 05දා පටන්ය.
ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා සිදු කළ එම සත්සර මෙහෙයුම අලුත් අවුරුදු දිනවල පවා පැවතිණි. අලුත් අවුරුද්දට තම දරුමල්ලන් සමග විනෝද වීම වෙනුවට ඔවුන් කළේ මහල් නිවාසවලට ගොස් ඔවුන්ගේ දෙසවන් පිනවීමය.
එවන් කැපකිරීමක් කරමින් පැවැත් වූ සංගීත සංදර්ශන හදිසියේම නතර කර දමන්නට සිදුවන්නේ කටුනායක ගුවන් කඳවුරේ කෝප්‍රල්වරයකුට කොවිඩ් වැලඳී ඇතැයි හෙළිවීමත් සමගය.
ඒ වන විටත් වැලිසර කඳවුරේ නිවාඩු ගිය නාවික සෙබළුන්ටත් කොවිඩ් ආසාදනය වී තිබූ බව ප්‍රදේශ කිහිපයකදී වාර්තා වී තිබුණි.
මහල් නිවාසවල සංගීත සංදර්ශන සඳහා එක් වූ නාවික හමුදා සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකුට කොරෝනා වැලඳී ඇතැයි ප්‍රචාරය වන්නේ මේ අතරේදීය.
අප්‍රේල් 12දා එක්තරා රූපවාහිනි නාලිකාවක අවුරුදු වැඩසටහනකට ත්‍රිවිධ හමුදාවේ සංගීත කණ්ඩායම් ගෙන්වා තිබුණේය. එයට නාවික හමුදා සාමාජිකයන් දෙදෙනාද එක්වී සිටියෙන් ගුවන් හමුදාවෙන් ගිය දෙදෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ කරන ලෙස ගුවන් හමුදා මූලස්ථානයෙන් උපදෙස් ලැබිණි.
මේ වන විට ගුවන් හමුදාවේ සංගීත කණ්ඩායම් ඇතුළුව පිටත රාජකාරි සඳහා ගිය හැට එක්දෙනාම කඳවුරේ වෙනමම තැනක සිටි නිසා ඔවුන්ට කඳවුර තුළ ගමන් බිමන් ද සීමා කෙරිණි.
රූපවාහිනී වැඩසටහනට ගිය කෝප්‍රල්වරයා හා කෝප්රල්වරිය පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කරන්නේ අප්‍රේල් 25දාය. එම පරීක්ෂණ වාර්තාව අනුව ගුවන් හමුදා කෝප්රල් දිසානායකට කොවිඩ් වැලඳී ඇතැයි පළමු වාර්තාවෙන් හෙළි වීමත් සමග ඔහුට වහාම අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවා තිබිණි.
නාවික හමුදාවේ වැලිසර කඳවුර ඒ වන විටත් හුදෙකලා කර තිබූ අතර ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගමන් බිමන් සීමා කර කෝප්‍රල්වරයා සමග සිටි 61 දෙනාම පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කෙරිණි.
ආසාදිතයකු ලෙස වාර්තා වූ ගුවන් හමුදා කෝප්රල්වරයාවත් අයි.ඩී.එච්. රෝහලේ කොවිඩ් ආසාදනය වී ඇතුළු කළ නාවික සෙබළුන් අටදෙනකු හා යුද හමුදා කපිතාන්වරයා රැඳී සිටි වාට්ටුවේම රඳවනු ලැබීය.
ගුවන් හමුදා කෝප්රල් දිසානායකට අයි.ඩී.එච්. රෝහලේ දී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් වැලඳී නැතැයි දින හතකරට පසු (29) හෙළිවන්නේ දෛවයේ සරදමට මෙනි. පසුදින (30) තවත් පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුව ඔහුට වෛරසය වැලඳී නැතයි යළිත් සනාථ වන්නේ වෛද්‍ය පරීක්ෂණ වාර්තා රටේ ආන්දෝලනයක් ඇති කරමිනි.
කොවිඩ් ආසාදිතයකු නොවන ඔහු ආසාදිතයකු බවට පත්වන්නේ පළමු පරීක්ෂණ වාර්තාවෙනි. ඉන් ඔහුට ආසාදිතයන් සමග එකම වාට්ටුවේ දින හතරක් රැඳී ඉන්නටද සිදු විය.
මැයි 01 දා වන විට අයි.ඩී.එච්. රෝහලේ ඔහුගේ ප්‍රතිකාර අවසන් කර ගුවන්පුර ගුවන් හමුදා රෝහලට මාරු කරන්නේ තවත් දින දාහතරක ස්වයං නිරෝධායන කාල සීමාවකට යටත්වය.
වෛද්‍ය වාර්තාවේ සදොස් බව නිසා කොවිඩ් වෛරසය මැඬලීමේ හමුදා මෙහෙයුම්වලට එක් වූ කෝප්රල් දිසානායකට සිදු වූයේ වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමක් බඳු වැඩකි.
කොවිඩ් වැලඳී ඇතැයි වාර්තා වීමත් සමග ඔහුගේ බිරිය හා දරුවා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කරන්නේ සෞඛ්‍ය අංශවල නිර්දේශ මතය. රෝහලට දරුවා රැගෙන ගිය රණවිරු බිරියට රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු අවලාද නගමින් කුඩම්මාගේ සැලකිලි දක්වන්නේ නොසිතූ ලෙසින්ය.
‘‘තමුසෙලා ගෙවල් ගානේ ගිහිල්ලා ලෙඩ බෝ කරගෙන ඇවිල්ලා අපිට වදදෙනවා. යැයි රෝහල් කාර්ය මණ්ඩලයේ ඇතැමෙකු පවසා තිබේ.
‘‘මගේ මහත්තයා රටට වැඩ කරන්න ගිහිල්ලා මිසක් ගෙවල් ගානේ ගිහිල්ලා මේවා හැදුනේ නැහැ. යනුවෙන් ඔවුන්ට පිළිතුරු දීමට රණවිරු බිරිය ද අමතක නොකළාය.
නිවාඩු ලබා ගිය සෙබළුන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සිදු වූ කෙනෙහිලිකම් ගුවන් හමුදා කෝප්‍රල්වරයාගේ පවුලටත් සිය ගමේ දී අත්විඳින්නට සිදු විණි.
පළමු වාර්තාවෙන් කොවිඩ් වැලඳී ඇතැයි වාර්තා වීමත් සමග කෑගල්ල වට්ටොගම පිහිටි කෝප්‍රල්වරයාගේ ගමට ගොස් ඒ පිළිබඳ දැනුවත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබිණි. පොලිසිය ග්‍රාමසේවක හා වගකිවයුත්තන් දැනුවත් කළ සැණින් මුළු ගමම කලබලයට පත්වූයේ ගුවන් හමුදා කෝප්‍රල්වරයාගේ පවුල්වල අයද වරදක් කළවුන් සේ සිතාය.
ගම්වලට ගොස් සිය ලොරියෙන් එළවළු විකුණූ වික්රමනායකව ගමට ගෙන්වා ගැනීමට ද ඇතැමුන් බියවූයේ ඔහු ගුවන් හමුදා කෝප්‍රල්වරයාගේ නිවෙසටත් එළවළු විකුණා තිබූ නිසාය. ගම් තුන හතරක එළවළු විකුණූ වික්‍රමනායක කෙරෙහිද ගම්මුන් හෙළුවේ සැකමුසු බැල්මකි.
අසනීප වන්නට කලින් දින ගුවන් හමුදා කෝප්‍රල්වරයා උදෑසනම තම නිවෙසට පැමිණ ගිය බව ඇතැම් ගම්මුන් පුන පුනා කියන්නට වූයේ අනුමානයක් මත පිහිටමිනි.
මුළු ගමක් එක් වී රණවිරු පවුල කොන් කර දමන්නට වෙර දරද්දී එම විරුවා ආසාදනය වූයේ නම් එසේ වූයේත් කොවිඩ් වසංගතයෙන් රට මුදවා ගැනීමට රණවිරුවන් සිදු කළ මෙහෙයුමේ දී බව තේරුම් ගන්නට ඒ කිසිවකුත් සංවේදී වූයේ නැත.
ගම්මුන් රණවිරු පවුල ගැන සැකයෙන් බලද්දී කෝප්‍රල්වරයාගේ මව හා සොහොයුරා පන්සලට ගෙන්වා බුදු මැදුරේ මල් ආසනය මත අත තබා දිවුරුම් ගන්නට ගමේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට සිදු විය.
නෙළුන්දෙණිය, මාම්පිට වලගම්බා පුරාණ ගල්ලෙන් රජමහා විහාරයේ යටිගල්ඔලුවේ විමලරතන විහාරාධිපති හිමියන්ට එසේ කරන්නට සිදුවන්නෙත් ගම්වාසීන්ගේ අනියත සැකය දුරලනු පිණිසය.
ගමේ කට්ටිය මේ පවුලේ අය ගැන සැකකරන්න ගත්තා. එයට හේතුව වූයේ කොළඹ සංගීතේ ඉවර වෙලා ගුවන් හමුදාවේ දරුවා ගමට ඇවිත් ගියා කියලා. ගමේ අය රාවයක් යවලා තිබුණු නිසා. ග්‍රාමසේවක ඇතුළු නිලධාරීනුත් බය වෙලා හිටියේ.
ගමේ මිනිස්සු මේ පවුල කොන් කරන එක නවත්තන්න මම ඒ පවුලේ අම්මවයි, දරුවවයි පන්සලට ගෙන්නගෙන බුදුන් වැඳලා මල් අසානය ළඟට ගිහින් ඒ දරුවා ගමට ආවේ නැහැ කියලා කියන්න කිව්වා. ඒකෙන් ගමේ කට්ටියගේ සැකය දුරු කරලා මේ පවුල කොන්කරන එක නැවැත්තුවා.’‘ යැයි විහාරාධිපති හිමියන් අප කළ විමසුමක දී පැවසූහ.
යම් හෙයකින් මෙම රණවිරුවාට කොවිඩ් වැලඳුනා නම් මේ වන විට ඔවුනට ගමේ වසන්නටත් බැරි තරම් වාතාවරණයක් නිර්මාණය වීමට හොඳටම ඉඩ තිබුණි.
සමාජය පුරා දුර්මත පතුරන්නන් මෙන්ම සෑම සිදුවීමක් දෙසම වැරැදි ඇසකින් බලන පිරිස මේ රටේ හිඟ නැති බව අපිට මේ සිදුවීමෙන් පසක් කර දුනි.
හලාවත රණවිරුවකුගේ නිවෙසක් ඉදිරිපිට මල් වඩමක් තබන්නට තරම් නිවටයන් තවම මේ රටේ සිටින්නේ එම නිසාය. උතුරු මැද පළාතේ පන්සලකට වතුර ගන්නට ගිය නාවික පවුලකට මග අවහිර කළේ එවැනිම පිරිසකි. වැලිසර කඳවුරේ සෙබළුන්ට අවශ්‍ය බෙහෙත් වර්ග සොයා උතුරු මැද පළාතට ගිය වාහන හරවා යවන්නට වෙරදැරූවන් පවා සිටි බව තහවුරු විය.
රණවිරුවන් පමණක් නොව කොවිඩ් වැලඳුණු තමාගේ අසල්වැසියා, හිතමිතුරා පවා අමතක කර පවුල් පිටින් කොන් කරන නූගතුන් මේ සමාජය තුළ හිස ඔසවා සිටීම කනගාටුවට කරුණකි.
Aruna
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...