පුරවැසි කොලම

‘තෙලෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා’
මේ සිංහල උපහැරණය පසුගිය ජනාධිපතිවරණය දවස්වල දේශපාලන වේදිකාවට ගෙනාවේ එවකට අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ ය. දැන් යළිත් ඒ කොබෙයි කතාව මතක් කරන්නේ පසුගිය ජනාධිපතිවරණය ගැන කතා කරන්නට දෙයක් ඇති නිසා නොවේ. මේ වන විට යූඇන්පී නායකයා පමණක් වන රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂය කොබෙයි මස් කන්නට ඉව අල්ලමින් ඉන්නා නිසා ය. තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් (කිරෙන් බදින්නට බැරි බව වෙන ම කතාවක් වුවත්) කන්නට ලැබෙන්නේ කොබෙයියා ම බව කොබෙයි මස් කන උදවිය පමණක් නොව මස් නොකන උදවිය පවා දන්නා ප්‍රසිද්ධ රහසකි. විපක්ෂයේ උදවිය තෙලෙන් බැදලා නොවේ නම් කිරෙන් උයලා හරි කොබෙයියා කා දමන්නට සැරසෙමින් ඉන්නා බව මේ දවස්වල ඔවුන්ගේ ක්‍රියාකාරකමිවලින් පෙනෙන්නට තිබේ.

ලබන ජූනි 20 දා පැවැත්වීමට දින නියම කර ඇති මහ මැතිවරණය අවලංගු කර ගැනීමේ විපක්ෂයේ මෙහෙයුම දෙවැනි වටයකින් දැන් යළිත් ආරම්භ වී ඇත. දෙවැනි වටයකින් ආරම්භ කරන්නට සිදු වූයේ මුල් වටයේ මෙහෙයුම අසාර්ථක වූ නිසා ය. විපක්ෂය මුල් වටයේ දී උත්සාහ කළේ කොබෙයියා තෙලෙන් බැදගන්නට ය. දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්. සුමන්දිරන් කී අන්දමට උසාවි ගොස් ජනාධිපතිවරයා දණ ගස්වන්නට හැකි වනු ඇතැයි විපක්ෂය බලාපොරෝතු විය. ඒ අතර ම හිටපු කතානායක ලවා පාර්ලිමේන්තුව නැවත කැඳවන්නට හැකි වනු ඇතැයි ද විපක්ෂය විස්වාස කළේ ය. එහෙත් ඒ දෙක ම උපන් ගෙයි ම අකුළා ගන්නට සිදු වූ නිසා මුල් වටයේ මෙහෙයුම සාර්ථක වූයේ නැත.

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවිය හැක්කේ ජනාධිපතිවරයාට පමණි. එය ද හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පමණක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇත. යම් අවස්ථාවක දී කතානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවිය හැකි නමුත් ඒ අවස්ථාව ඇත්තේ කතානායකවරයාට මිසක් හිටපු කතානායකට නොවේ. එහෙත් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවක් කතානායකවරයාට වුව ද නැවත කැඳවිය නොහැකි ය. පාර්ලිමේන්තුව ඒකපාර්ශ්වික ව කැඳවීමට තමා සූදානම් වන බවට පැතිර යන කටකතාව අසත්‍යයක් යැයි හිටපු කතානායක ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ එබැවිනි. මේ නිසා විපක්ෂය බලාපාරොත්තු වූ පරිදි කොබෙයියා තෙලෙන් බැද ගන්නට හැකි වූයේ නැත.
මුල් වටයේ මෙහෙයුමේ දී විපක්ෂය කියා සිටියේ මැතිවරණය ජූනි 20 දා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කිරීම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මාර්තු 02 දා නිකුත් කළ ගැසටි නිවේදනය අවලංගු වන බව ය. ඔවුන්ගේ තර්කයට පදනම වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වන අන්දමට මැතිවරණය පැවැත්වීමෙන් අනතුරු ව අලුත් පාර්ලිමේන්තුව ජූනි 02 දාට පෙර කැඳවීමට නොහැකි වීමයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දිනයේ සිට මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා මන්ත්‍රීවරුන් තෝරා ගැනීමත් අලුත් පාර්ලිමේන්තුව රැස්වීමත් කළ යුතු වේ. මාර්තු 02 දා පාර්ලිමේන්තුව විසුරුවා හළ දිනයේ සිට මාස තුනක් සම්පූර්ණ වන්නේ ජූනි 02 දාට ය. එහෙත් ජූනි 20 දා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කිරීම නිසා ජූනි 02 දාට පෙර අලුත් පාර්ලිමේන්තුව රැස් වීම කෙසේ වත් කළ නොහැකි ය.

ජූනි 02 දාට පෙර අලුත් පාර්ලිමේන්තුව රැස්වීමට නොහැකි බැවින් මාර්තු 02 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය අවලංගු වන බවට ඉදිරිපත් කළ තර්කය පිටුපස තිබුණේ වෙනත් අරමුණකි. ඒ අන් කිසිවක් නොව ජූනි 20 දා පැවැත්වීමට දින නියම කර ඇති පාර්ලිමේන්තු මැතිවරණය අවලංගු කරවා ගැනීමයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය අවලංගු වන බව කීමෙන් අදහස් වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොවූ බව කීමයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොවූයේ නම් පැවැති පාර්ලිමේන්තුව සක්‍රීය වන්නේ ය. සක්‍රීය පාර්ලිමේන්තුවක් පවතින්නේ නම් හා එය විසුරුවා හැරීමක් සිදු නොවූයේ නම් මැතිවරණයක් පැවැත්වීමට හේතුවක් පැනනඟින්නේ නැත. විපක්ෂයේ මෙහෙයුම පිටුපස තිබූ සැබෑ අරමුණ එය බව සිතිය හැකි ය.

මුල් වටය අසාර්ථක වීමෙන් පසු ව විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් දෙවැනි වටය ආරම්භ කරන ලද්දේ ය. ජවිපෙ හැර පසුගිය පාර්ලිමේන්තුවෙහි නියෝජනය වූ සියලු පක්ෂවල නායකයන් මේ ලිපියට අත්සන් කර තිබිණි. බැලූ බැල්මට මෙය ඉතා ම සද්භාවයෙන් යවන ලද ලිපියක් සේ පෙනේ. කොරෝනා වසංගතය නිසා රටේ ඇති වී තිබෙන අනපේක්ෂිත තත්වය ගැන කරුණු ඉදිරිපත් කරමින් ලියා ඇති මේ ලිපිය මඟින් ඔවුන් කියා සිටින්නේ මේ හදිසි අවස්ථාවේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ‘වගකීමෙන් සහයෝගය දීමට‘ විපක්ෂය සූදානම් බවයි. වසංගතයේ ව්‍යාප්තිය ඉදිරි සති කිහිපය තුළ පාලනය කිරීමට නොහැකි වුව හොත් රටේ දැනට පවතින මහජන සෞඛ්‍යය අර්බුදයට අමතර ව, ආර්ථික, සමාජයීය, දේශපාලන ක්ෂේත්‍රවල ද අර්බුද ඇති විය හැකි යැයි ද ඔවුහු අනතුරු අඟවා සිටිති. රටේ සාමාන්‍ය කටයුතු පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය මුදල් අනුමත කර ගැනීම සඳහාත් පවතින අර්බුදකාරී තත්වයෙන් රට ගොඩගැනීම සඳහාත් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වගකීමෙන් සහයෝගය දීමට තමන් සූදානම් බව වැඩි දුරටත් එහි දැක්වේ.

මේ ලිපිය අවසන් කර ඇත්තේ ජනාධිපතිවරයාට විකල්ප යෝජනා දෙකක් ඉදිරිපත් කරමිනි. එයින් පළමු වැනි යෝජනාව මෙසේ ය.
‘මෙම පසුබිම තුළ අප ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මෙම තීරණාත්මක අවස්ථාවේ දී අප සද්භාවයෙන් ඉදිරිපත් කරන ‘වගකීමෙන් සහයෝගය දීමේ‘ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 2020 මාර්තු 02 දින නිකුත් කළ නියෝගය ආපසු කැඳවන ලෙසයි…‘

ඔවුන් ඉදිරිපත් කරන දෙවැනි යෝජනාව මෙසේ ය.
‘පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආපසු කැඳවීම නොකරන්නේ නම්, එයට විකල්ප ක්‍රියා මාර්ගයක් ලෙස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (7) ව්‍යවස්ථාව ප්‍රකාර ව ඇති බලතල අනුව අඩු තරමින් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලා සිටිමු.
ඉතා ම අහිංසක යෝජනා දෙකකි. ඒ අහිංසක බව වඩාත් කැපී පෙනෙන්නේ දෙවැනි යෝජනාවේ අග කොටස කියවන විට ය. ඒ මෙසේ ය.
‘…‘වගකීමෙන් සහයෝගය දීමේ‘ මෙම යෝජනාව අප ඉදිරිපත් කරන්නේ අවංක චේතනාවෙන් පමණක් බවට අප ජනාධිපතිතුමාට සහ මුළු රටට ම සහතික වන අතර, අප එසේ කරන්නේ කිසි දු සැඟවුණු න්‍යාය පත්‍රයක් නොමැති ව සහ රටේත් ජනතාවගේත් උපරිම සුභසිද්ධිය අරභයා බව ප්‍රකාශ කරන්නෙමු.‘

විපක්ෂයේ නායකයන් සද්භාවයේන් ඉදිරිපත් කරන බව කියන මේ යෝජනා දෙක කියවන විට ජනාධිපතිවරයාගේ දෑසට කඳුළක් නැඟුණා දැයි කිව නොහැකි නමුත් විපක්ෂය ගැන බඩේ ගින්දරක් නම් ඇති වූවාට සැක නැත. විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ මේ යෝජනා එතරම් ම අහිංසක ය. ප්‍රජාතන්ත්‍රවාදී ය. විශිෂ්ට ය. එහෙත් විපක්ෂයේ නායකයන් ඒ අවසාන වාක්‍යයෙන් අවධාරණය කරන්නට උත්සාහ කරන්නේ කුමක් ද? ‘මෙම යෝජනාව අප ඉදිරිපත් කරන්නේ අවංක චේතනාවෙන් පමණක් බවට…‘ සහ ‘ කිසි දු සැඟවුණු න්‍යාය පත්‍රයක් නොමැති ව සහ රටේත් ජනතාවගේත් උපරිම සුභසිද්ධිය අරභයා බව…‘ ඔවුහු කියති. එසේ කියන්නට ඔවුන්ට සිදු වන්නේ ඇයි? ඔවුන් මෙතෙක් කල් එසේ කටයුතු නොකළ බව ඔවුන් ම පිළිගන්නා නිසා නොවේ ද? ප්‍රශ්නය ඇත්තේ එතැනයි.

විපක්ෂය දැන් කියන ‘වගකීමෙන් සහයෝගය දීම‘ සැකයෙන් තොර ව පීළිගත නොහැකි ය. ඊට සාධක වශයෙන් දැක්විය හැකි ඉතා ම මෑත උදාහරණයක් තිබේ. පසුගිය නොවැම්බර් 11 දා ජනාධිපතිවරණය පවත්වන විට 2020 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවෙන් අයවැයක් සම්මත කර තිබුණේ නැත. එවකට පැවැති ආණ්ඩුව ඒ වෙනුවට 2020 අප්‍රේල් 30 දා දක්වා රජයේ වියදම් වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පමණක් සම්මත කර ගෙන තිබිණි. ජනාධිපතිවරණයෙන් පොහොට්ටුවේ අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂ ජය ගැනීමෙන් පසු ව ජනාධිපතිවරණයකින් පසු සාමාන්‍යෙයන් සිදු වන පරිදි අලුත් ආණ්ඩුවක් පිහිටුවන ලදී. එහෙත් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඒ ආණ්ඩුවට තිබුණේ නැත. එබැවින් අයවැයක් ඉදිරිපත් කර එය සම්මත කර ගැනීම ගැන විස්වාසයක් අලුත් ආණ්ඩුවට නොවී ය. පාර්ලිමේන්තුවේ දී අයවැය ලේඛනය පරාජයට පත් වුව හොත් ආණ්ඩුව පවත්වා ගෙන යෑමට නොහැකි ය. එවිට සිදු විය හැක්කේ එකී සුළුතර ආණ්ඩුව බිඳ වැටී බහුතර බලය ඇති කණ්ඩායමට ආණ්ඩුවක් පිහිටුවීමට නැවත අවස්ථාවක් ලැබීම ය.
ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වූයේ තමාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවසර ලැබෙන පළමු අවස්ථාවේ දී ම පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යෑමයි. එය අපේක්ෂා කළ යුත්තක් සේ ම ජනාධිපතිවරණයේ දී ප්‍රකාශ වූ ජනමතය අනුව කළ යුත්තක් ව තිබූණකි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන්නට පෙර ආණ්ඩුව පසුගිය ආණ්ඩුව සම්මත කර ගෙන තිබූ අතුරු සම්මත ගිණුමට සංශෝධනයක් ගෙන ඒමට සූදානම් විය. එහෙත් ආණ්ඩුව ඒ සඳහා සිය අභිලාෂය ප්‍රකාශ කළ පළමු අවස්ථාවේ දී ම විපක්ෂයෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. අත්‍යවශ්‍ය වූ වියදම් වෙනුවෙන් මුදල් අනුමත කර ගැනීම සඳහා ඉදිරිපත් කරන සංශෝධන යෝජනාවට විපක්ෂය සහයෝගය දෙනු ඇතැයි ආණ්ඩුව කල්පනා කළ බව පෙනේ. (මේ වන විට කොවිඩ් වසංගතයේ අනතුර පැමිණෙමින් තිබුණු බව ද සැලකිය යුතු ය.) එහෙත් ආණ්ඩුව අපේක්ෂා කරන්නට ඇතැයි සිතිය හැකි සහයෝගය විපක්ෂයෙන් ලැබුණේ නැත. ආණ්ඩුවට සංශොධන යොජනාව අකුළා ගැනීමට සිදු විය.

මෙවැනි තත්වයක් යටතේ විපක්ෂයේ පක්ෂ නායකයන් ‘වගකීමෙන් සහයෝගය‘ දීමට අවංක චේතනාවෙන් ඉදිරිපත් කරන බව කියන යෝජනාව කෙතරම් අවංක විය හැකි ද යන සැකය ඇති වීම නොවැළැක්විය හැකි ය. විපක්ෂයේ පක්ෂ නායකයන් ජනාධිපතිවරයාට යැවූ ලිපිය සැබැවින් ම අවංක චේනාවෙන් යවන ලද්දක් ම වන්නට ඉඩ ඇතත් ඔවුන්ගේ මෑතකාලීන පැටිකිරිය ඒ අවංකභාවය පිළිගැනීමට ඉඩ නොදෙයි. මෙය අපේ රටේ දේශපාලන සංස්කෘතියේ ප්‍රශ්නයකි. විපක්ෂයේ සිටින විට ආණ්ඩුවේ සෑම ක්‍රියාවකට ම එරෙහි වීම අපේ රටේ දේශපාලනයේ ඓන්ද්‍රීය ලක්ෂණයකි. මේවා දියුණු දේශපාලන සංස්කෘතියක් ඇති කර ගැනීම සඳහා බාධා කරන කාරණා ය.

විපක්ෂයේ පක්ෂ නායකයන් ජනාධිපතිවරයාට ලිපියක් යවා ආපසු හැරෙන්නටත් කලින් ඔවුන් ආණ්ඩුවේ සිටි අන්තිම කාලයේ මුදල් ඇමැතිවරයා ව සිටි මංගල සමරවීර ද ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවුවේ ය. ඒ ලියුම විපක්ෂයේ නායකයන් ජනාධිපතිවරයාට යැවූ ලියුම වැනි අහිංසක ලියුමක් නොවේ. සැබැවින් ම නම් මංගලගේ ලියුම සැලකිය යුත්තේ නිල නොවන තර්ජනයක් ලෙසිනි. ඔහු ද තම ලිපියෙන් කියා සිටින්නේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසයි. එසේ නොකරන්නේ නම් සිදු විය හැකි දේ ඔහු කියන්නේ තර්ජනාංගුලිය දික් කරමිනි.
මංගල තම ලිපියේ මෙසේ කියයි.

‘…2019 ඔක්තෝම්බර් 23 දින සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිළිව සඳහන් පරිදි 2020 අප්‍රේල් 30 දිනෙන් පසුව රාජ්‍ය වියදම් දැරීම පිළිබඳව ජනපති ප්‍රමූඛ රජයට නීත්‍යනුකූල අවකාශයක් නොමැති බව අවධාරණය කරමි.‘
ඔහු තම ලිපිය අවසානයේ මෙසේ කියයි.

‘…ජනාධිපති, අග්‍රාමාත්‍ය ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා පාර්ලිමෙන්තු මැති ඇමතිවරු මෙන්ම භාණ්ඩාගාරයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා ජනරජයේආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ නොකර ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී ඇත. එය කඩ කරන ඔනෑම පුද්ගලයෙකු අභියාචනාධිකරණය විසින් වරදකරු කරනු ලැබු විට එම විධිවිධාන කඩකරමින් ක්‍රියා කරන කවර වූව ද තැනැත්තෙකු අභියාචනාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට :-
(ආ) අවුරුදු හතක් නොඉක්මවන කාලයක් සඳහා ප්‍රජා අයිතිය අහිමිවීමට යටත් වන අතර
(ආ) පවුලේ අයගේ ජීවිකා වෘත්තිය පවත්වාගෙන යාම පිණිස අවශ්‍යයයි අධිකරණ ආඥාවක් මගින් තීරණය කරනු ලබන දේපල හැර, ඔහුගේ චංචල සහ නිශ්චල දේපල රාජසන්තක වන්නේය.

මංගල මේ ලිපියෙන් කරන්නේ අන් කිසිවක් නොවේ. රාජ්‍ය නිලධාරීන් බිය වැද්දීමයි. ආණ්ඩුවට පාර්ලිමේන්තුව නැවත කැඳවීමකින් තොර ව මුදල් සම්පානය කර ගැනීමට සහාය වුව හොත් එසේ කරන රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රජා අයිතිය අහිමි කළ හැකි යැයි ඔහු කියන්නේ විපක්ෂයේ පක්ෂ නායකයන් ජනාධිපතිවරයාට අවංක ව යෝජනා කරන බව කියන ‘වගකීමෙන් සහයෝගය‘ දීමට ද? මංගලගේ ලිපියෙන් පෙන්වා දෙන්නේ විපක්ෂයේ පක්ෂ නායකයන් කියන පරිදි සැඟවුණු න්‍යාය පත්‍ර නැති බව ද?
කාරණය ඉතා පැහැදිලි ය.

විපක්ෂය මේ උත්සාහ කරන්නේ ජනාධිපතිවරයා බිත්තියට ම හේත්තු කිරීමට ය. අන් කිසිවක් නොවේ. නොවැම්බර් 11 දා ලක්ෂ 69කට අධික ජනතාව විසින් ප්‍රකාශ කරන ලද ජනවරම එරෙහි ව විපක්ෂය දියත් කර තිබෙන මෙහෙයුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැත. විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමට තමා අදහස් නොකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම ආශ්‍රෙයන් පැනනැඟුණු මේ තත්වය ඔහු සහ ඔහුගේ ආණ්ඩුව කෙසේ කළමනාකරණය කර ගනු ඇත් ද යන්න තව මත් පැහැදිලි නැත. අගමැතිවරයා විසින් පැවැති පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් 225 දෙනා මුණගැසීමට තීරණය කර ඇත්තේ තත්වය මෙසේ තිබිය දී ය.

රටේත් ජනතාවගේත් සුබසිද්ධිය උදෙසා පාර්ලිමේන්තුවේ 225 දෙනා කටයුතු නොකරන බවට සමාජයෙන් බරපතළ චෝදනාවක් එල්ල වෙමින් තිබිය දී සහ 225 ම එපා යනුවෙන් මතයක් සමාජගත වී තිබිය දී පැවැත්වෙන මේ හමුව අනාගතය උදෙසා වන තීරණාත්මක හමුවක් විය හැකි බව නම් දැනට කිව හැකි ය.

Dharma Sri Kariyawasam



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More