කොරෝනා වෛරසය ව්‍යසනයක් වුවත් ඒ නිසා අපට බොහෝ දේ ගැන අලුතෙන් හිතන්නට ප්‍රවේශයන් සලසා දී තිබේ. නිවසේ සිට වැඩ කිරීම ලෝකයට අලුත් සංකල්පයක් නොවුණත්, අපට ඒ ගැන සිතන්නට සිදු වූයේ කොරෝනා නිසාය. නිවසේ සිට වැඩකිරීම සෑම ක්ෂේත්‍රයකටම උපයෝගී කරගත නොහැකි නමුත් එම ක්‍රමය බොහෝමයක් ක්ෂේත්‍රවලදී සේව්‍ය සේවක දෙපාර්ශ්වයටම පහසු හා ලාභදායී වැඩ රටාවකි.
නිවසේ සිට ඉගෙනීම හෝ ඉගැන්වීමද මේ ආකාරයට කොරෝනා ව්‍යසනය නිසා කරළියට පැමිණි ක්‍රමවේදයකි. ලෝකයේ බොහෝ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන මාර්ගගත අධ්‍යාපනය (Online Education) ක්‍රමය භාවිත කරති. බොහෝ විට පශ්චාද් උපාධි හා උපාධි මට්ටමේ ඉගැන්වීම් සඳහා භාවිත කෙරෙන මේ ක්‍රමය මේ වන විට අප රටේ ප්‍රාථමික අධ්‍යාපනයට පවා භාවිත කෙරෙන්නට පටන් ගෙන තිබේ.
පාසල් යළි කවදා විවෘත කළ හැකිදැයි නිශ්චිතව කිව නොහැකි තත්ත්වය තුළ කුමන හෝ ආකාරයකට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑම අගය කළ යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික රූපවාහිනිය ඔස්සේ ඉගැන්වීමේ කටයුතු කරගෙන යන අතර මාර්ගගත (Online) ඉගැන්වීම් සිදු කෙරෙන්නේ පාසල් මට්ටමිනි.
මේ ආකාරයට හෝ ඉගැන්වීම ඉතා වැදගත් නමුත් රටේ සමස්ත ශිෂ්‍ය පරපුරටම මේ ආකාරයට ඉගෙන ගැනීමට අවස්ථාව තිබෙන්නේද යන්න විමසා බැලිය යුතු කාරණයකි. අධ්‍යාපන අමාත්‍යවරයාම කියන අන්දමට මෙරට සිසුන්ගෙන් සියයට හැත්තෑපහකට වැඩි ප්‍රමාණයකට අන්තර්ජාල පහසුකම් නැත. අන්තර්ජාල පහසුකම් තිබෙන ස්ථානවල පවා එම සේවාවේ ගුණාත්මකභාවය නිසා අන්තර්ජාලයෙන් ඉගෙනීමේ අවස්ථාව අහිමිවන සිසු සිසුවියෝ බොහෝ සිටිති.
අධ්‍යාපන අමාත්‍යාංශය, රූපවාහිනිය හරහා අධ්‍යාපන වැඩසටහන් ආරම්භ කරන්නට පියවර ගෙන තිබෙන්නේ මේ නිසා විය හැකිය. එහෙත් රටේ හැම නිවෙසකම රූපවාහිනියක් තිබේද? සබරගමුව පළාතේ ශිෂ්‍ය සංඛ්‍යාව ලක්ෂ හතරක් පමණ වේ. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසන ආකාරයට ඉන් එක්ලක්ෂ පනස්දහසකට අධික ප්‍රමාණයකට රූපවාහිනී, ගුවන්විදුලි, දුරකථන හෝ අන්තර්ජාල පහසුකම් නැත. අනෙකුත් පළාත්වලත් මේ තත්ත්වය මීට වඩා වැඩි වෙනසක් ඇතැයි උපකල්පනය කළ නොහැකිය.
මේ තත්ත්වය මත පෙනී යන්නේ රූපවාහිනියෙන් ඉගැන්වුවත්, අන්තර්ජාලයෙන් ඉගැන්වුවත්, එහිදීද ‘‘කොළඹට කිරි ලැබුණත් ගමට තවමත් ලැබෙන්නේ කැකිරි බවය. කොළඹට කිරි යැයි කීවාට අන්තර්ජාලයෙන් ඉගෙන ගන්නට හෝ උගන්වන්නට පහසුකම් නැති ඕනෑ තරම් පාසල් කොළඹ ද තිබේ.
මේ වන විට ඇතැම් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ද, ගෙවීම් සහිතව හෝ රහිතව අන්තර්ජාලය හරහා ඉගැන්වීම් අරඹා ඇත. ඒ අවස්ථාව ලැබෙන්නේද අන්තර්ජාල පහසුකම් ඇති සිසුන්ට පමණය. මේ අනුව යළි පාසල් ආරම්භ කෙරෙන දිනය වන විට මේ ඇති හැකි පාසල්වල ළමුන් තමන්ගේ දරුවන්ට වඩා බොහෝ දුර ගමන් කර තිබෙනු ඇතැයි යන විස්සෝපය, මේ පහසුකම් නොලබන දරුවන්ගේ දෙමාපියන් පෙළන්නට පටන්ගෙන තිබේ.
ඇත්තෙන්ම රටේ පාසල් අතළොස්සක් මෙන්ම සිසුන් සීමිත පිරිසක් පමණක්, නියමිත විෂය නිර්දේශයන්ගෙන් වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කිරීම ප්‍රශ්නයක් වන්නේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලදීය. එහෙත් එවැනි අසාධාරණයක් සිදු වීමට ඉඩ නොතබන බව අධ්‍යාපන අමාත්‍යවරයා සහතික වී තිබේ. අධ්‍යාපන අමාත්‍යවරයා සිය පොරොන්දුව එලෙසින්ම ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
කෙසේ වෙතත් මෙහිදී අප සැමගේ අවධානය යොමුවිය යුතු කාරණයක් තිබේ. අප තවමත් තාක්ෂණය අතින් කොතරම් දුප්පත්ද යන්නය. කොළඹ දී බැංකු කටයුතු, ව්‍යාපාර කිරීමට පමණක් නොව බොන කෝපි කෝප්පය පවා අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කර ගෙදරටම ගෙන්වා ගත හැකිය. මෙරටින් පමණක් නොව ලෝකයේ ඕනෑම තැනකින් භාණ්ඩ හා සේවා ලබා ගැනීමටද පුළුවන. මේ නිසා කොළඹ යනු ලංකාව බව සිතන අය කල්පනා කරන්නේ අප දැන් තාක්ෂණික වශයෙන් පරිපූර්ණ වී සිටින බවය. එහෙත් යථාර්ථය එය නොවන බව, මාර්ගගත ඉගැන්වීම (Online Education) මගින්ද සනාථ වී තිබේ. පාසල් සිසුන්ට ටැබ් පරිගණක බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වූයේ නම් මේ අවස්ථාවේ දරුවන්ට ඉගැන්වීමේ ගැටලුවක් මතු නොවන බව හිටපු අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි. එහෙත් අන්තර්ජාල පහසුකම් නොමැතිව ටැබ් නොව ලැප්ටොප් දුන්නත් පලක් නැත. අනෙක් අතට ටැබ් පරිගණක බෙදා දෙන්නට සූදානම් වූයේ උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට පමණකි. එසේම ඒ වැඩසටහන ක්‍රියාත්මක නොවූයේ එම වැඩසටහනේ ප්‍රශ්නයක් නිසා නොව ඒ හරහා විශාල මුදලක් සොරා කෑමේ සූදානමක් නිසාය. එසේ නොවූයේ නම් එම ටැබ් ව්‍යාපෘතිය අද සිසුන්ගේ අවශ්‍යතාව යම් පමණකට හෝ සපුරාලන්නට හේතු වන්නට ඉඩ තිබිණි.
කෙසේ වෙතත් මේ අවස්ථාවේ අප කළ යුත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම නොව අතීතයේ සිදු වූ වැරදි, පාඩමකට ගෙන අනාගතය සැලසුම් කිරීමය. ඒ අනුව අපට කියන්නට ඇත්තේ මෙම කොරෝනා ව්‍යසනය, වසංගතයක් පමණක් නොව අපට ලැබුණු අවස්ථාවක් (Opportunity) ලෙසද සලකා රටේ තාක්ෂණ පහසුකම් වැඩි දියුණු කිරීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතු බවය. එය අධ්‍යාපනයට පමණක් නොව රටේ සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනය පියවර ගණනාවකින් ඉදිරියට ගෙන යන්නට නිසැක හේතුවක් වනු නොඅනුමානය.
Aruna
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...