සැඟවුණු වෙඩික්කරුවෝ නොනවත්වා වෙඩි තබමින් සිටිය ද අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සිය සේනාව සඳහා වෙඩි තබන්නට අණ දෙනවා වෙනුවට, තත්ත්වය පාලනය කිරීම සඳහා උත්සාහ ගැන්වීමට අණ කර තිබුණි. මරාගෙන මැරෙන ත්රස්තවාදියා, තමා සැඟවී සිටින ස්ථානය නිරාවරණය කරමින් ප්‍රහාර එල්ල කරන විට, පෙරළා ඔහුගේ ක්ෂේත්රඵලයට ඇතුල් නොවී, ඒ පිළිබඳව අවබෝධයක් ඇතිව කටයුතු කිරීම සුදුසු බව, පූර්ව ආදර්ශයන් මතකයට නගාගත් ජෙනරාල්වරයා, තීරණය කළේය.
හාත්පස අඳුර පැතිරී ඇති බැවින්, ඉදිරිය පිළිබඳ පැහැදිලි දසුන් ලබා ගැනීම හමුදාවට අසීරු විය. මෙවන් මොහොතක භාවිතයට ගැනීම සඳහා, දහවල් සේ රාත්‍රිය දැකීමට හැකි දුරදක්නයන් හමුදාව සතුය. එසේ වුවත්, සන්ධ්‍යාවේ නිවසක් පරීක්ෂා කිරීම සඳහා පැමිණි මේ ගමනේදී, හමු වූ ත්‍රස්තවාදී හරඹය සඳහා හමුදාවට එබඳු සූදානමක් නොවීය. අඳුරේ වුවද ත්රස්තවාදියා අත නොහැර, තම අත ඇති බලයෙන්, සතුරා යටපත් කිරීම සඳහා අභ්‍යාස ලබා තිබූ හමුදාවෝ, ත්‍රස්තවාදියාගේ බල සීමාව වට කරන්නට පටන් ගත්හ. පහළොවක් – විස්සක් පමණ වූ බළගණය අවට යොදමින් හමුදාව, හැකි උපරිම අයුරින්, අවට වට කරන්නට වූහ.
සන්නිවේදන උපකරණ මාර්ගයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අවට සිටි හමුදා පිරිස් කැඳවීම සඳහා මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ පියවර ගන්නේ මේ අතරේය. එම පිරිස් පැමිණෙන තෙක් ඊට කිලෝ මීටර් පහළොවකට පමණ දුරින් තිබූ, මල්වත්තේ පිහිටි සිය මුලස්ථානයේ සිටි, කොමාන්ඩෝ සහ විශේෂ කාර්ය බලකා, ලූතිනන් කර්නල්වරු දෙදෙනා අමතා, හැකි ඉක්මනින්, සිටින භට පිරිස් ප්‍රමාණයක් රැගෙන එන ලෙස මේජර් ජෙනරාල් මුදලිගේ අණ කළේය.
අතිරේක බල ඇණිය ද ළඟා වෙන්නට පටන් ගත් අතර, ඒ සමග ඔවුන් ද වළල්ලක් ආකාරයෙන් ගම්මානය වටා යොදවන්නට මේජර් ජෙනරාල්වරයා තීරණය කළේය. මාර්ග බාධක දමමින් සහ යුනිකෝන් රථ ගෙන්වා අවට දැඩි ලෙස ආරක්ෂා කිරීම, අණදෙන නිලධාරියාගේ පළමු උපාය විය. මෙවන් ගම් මැද්දකදී දරුණු ප්‍රහාරයකට යා නොහැකිය. එසේම එවැනි බුරුලක් මගින් සතුරා පැන ගැනීම සඳහා ඇති ශක්‍යතාව ද බිඳ දැමිය යුතුය. මේ නිසා සැන්ඞ්විච් ආකෘතියක් ආකාරයෙන්, සතුරා කේන්ද්‍ර කර, වට කර ගත් මුරකාවලේ පරිධිය කුඩා කර ගනිමින්, සතුරා පමණක් ග්‍රහණයට නතු කර ගැනීම මේජර් ජෙනරාල් මුදලිගේ ගේ උපාය විය.
ඒ සමගම, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ අමතා විස්තර ලබා ගෙන තිබුණි. තමා විසින් පාලනයක් ඇතිව, මෙහෙයුම කරගෙන යන බව යුද හමුදාපතිවරයාට දැන්වීමෙන් අනතුරුව, මේජර් ජෙනරාල්වරයා, අමතන ලද්දේ, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාය.
නවතම තත්ත්වය විමසන ලද, සටන් බිමේ කෘතහස්ත නිලධාරියා, ප්‍රථමයෙන්ම හමුදාව ස්ථාන ගත කර ඇති ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් ලබාගෙන ”මහින්ද… ඔයා ඉන්නේ කොහේද…?’ යැයි විමසන්නට විය. ”සර්, මමත් ඉන්නේ ෆ්රන්ට් එකේ…’ යැයි පවසනවාත් සමග සිය ගැඹුරු ස්වරයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විමසා සිටියේ, ”මහින්ද… හෙල්මට් දාගෙන, බොඩි ආමර් ඇඳගෙන ද ඉන්නේ… යන තැනක හෙල්මට්, ජැකට් දාගෙන යනවා…’ කියාය. ඇසින් දුටුවෙකු පවසනවා සේ, යුද බිමේ අතිශය පළපුරුදු, සිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඒ බව විමසන විටම, මේජර් ජෙනරාල් මුදලිගේ සිය ශරීරය දෙස නිතැතින්ම බලන්නට විය. කඩිමුඩියේ, ඒ සියල්ලම අමතක වී තිබූ අතර, වහ වහා සිය ජීප් රථයේ ඇති බොඩි ආමරය සහ හෙල්මටය පැළඳ ගනිමින්ම, සිය ජ්‍යෙෂ්ඨයාගේ උපදෙස් ලබා ගත් මේජර් ජෙනරාල්වරයා, යළිත් සටනට පිවිසියේය.
මේ වන විට අතිරේක බලඇණි ද සටනට පිවිස සිටියහ. ගම්මානයම හමුදාව විසින් වට කර තිබුණ ද ප්‍රබල ප්‍රහාරයක් සඳහා යොමු නොවූ නිශ්චිත කර ගත් ඉලක්කය සඳහා පමණක් ප්‍රහාර එල්ල කිරීමට මේජර් ජෙනරාල් මුදලිගේ තවමත් අණ දෙමින් සිටියේය. හතර වටින්ම හමුදාව යොදා සිටි බැවින් පැවති අඳුරේ හමුදාවේ එකිනෙකා අතර ද නොදැනීම වෙඩි හුවමාරු වීමේ අවකාශයක් මෙවැනි, සීමිත ප්‍රදේශයකදී ඇති විය හැකිය. එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා තව තවත් ඉලක්කය වෙත සමීප වීමේ අභියෝගය හමුදාවට තිබුණි. තවමත් නොනවත්වාම එක් ත්‍රස්තවාදියකු හතර අතට වෙඩි තබමින් සිටියේය.
එම ඉලක්කය බලා, අවට නිවාසයන්හි වහලට ද හමුදාවෝ මේ වන විට නැග සිටියහ. වහල දිගේ බඩගාමින් සිටි එක් හමුදා භටයෙකු, නිවාස අතර තිබූ පාරේ සිට වෙඩි තබනා ත්රස්තවාදියා පැහැදිලිව දර්ශනය කර ගන්නට මේ වන විට සමත්ව තිබුණි. අතිශය ඉවසීමෙන් යුක්තව, වහල දිගේම පැමිණි භටයා, මොහොතකින් වෙඩි තබන ත්රස්තවාදියා ඉදිරියට ඉහළ සිට පනින ලද්දේම වෙඩි තබාගෙනය. ඒ සමග, ත්රස්තවාදියා තිගැස්සී ගිය අතර, එම විරාමයෙන්ම කෙහෙල් කඳක් සේ ත්‍රස්තයා බිම ඇදගෙන වැටුණේය.
සයින්දමරුදු හි සිද්ධ වන්නේ කුමක්දැයි රටම විමසිලිමත්ව සිටියදී ස්වර්ණවාහිනී නාලිකාවේ දේශපාලන සංවාදයක් පැවැත්වෙමින් තිබුණි. ඒ සඳහා විපක්ෂය වෙනුවෙන් සහභාගී වී සිටි ඒකාබද්ධ විපක්ෂයේ, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත, සජීවී ලෙසම සඳහන් කරන ලද්දේ, මේ වන විට සයින්දමරුදු හි වෙඩි තබා ගැනීමක් සිදුවෙන බවත්, එම සටනින් ඒ වන විටත් හමුදාවේ එකොලොස් දෙනෙකු මිය ගොස් ඇති බවත්ය.
ත්‍රස්තවාදින් සමග සටන් කරන අතරේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්රමුඛ සියලූ දෙනාම, මෙම පුවත පිළිබඳව විමසීම සඳහා මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ අමතන්නට වූහ. නොනවත්වා නාද වන ජංගම දුරකතනයට පිළිතුරු ලබා දෙමින්, මේජර් ජෙනරාල්වරයා විසින් අදාළ පුවත මුළුමනින්ම අසත්‍යයක් බව තහවුරු කළේය. සටන් බිම සඳහා නායකත්වය ලබාදීමට අමතරව විපක්ෂයේ මන්ත්‍රීවරයා විසින් අවුලන ලද ගින්න සඳහා ද මේජර් ජෙනරාල් මුදලිගේට පිළිතුරු ලබාදීමට සිදුව තිබුණි.
ත්රස්තවාදීන් සැඟවී සිටි නිවසේ වහල ද පුපුරා යමින් විශාල පිපිරුමක් සිදු විය. මොහොතක් ගත විය. තවත් එවැනිම පිපිරුම් දෙකක් ඇතිවී, විශාල ගින්නකින් ත්රස්තවාදීන් සැඟවී සිටි ප්‍රදේශය වැසී යන්නට විය. අවසාන පිපිරුම් හඬත් සමග ත්රස්තවාදීන් සිටි ප්‍රදේශයේ වෙඩි හඬ නෑසී ගියේය.
සියලූ ආරක්ෂක වළලූ තර කරමින් මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, විශේෂ කාර්ය බළකායේ කලාප අණදෙන නිලධාරි පොලිස් අධිකාරී අතුල රත්නායක ඇතුළු පිරිස ත්‍රස්තවාදී නිවස්නය දෙසට ගමන් කළහ. වෙඩි තැබීම ආරම්භ කළ ත්රස්තවාදියා සිය අවිය සමගම නිවස්නය ඉදිරිපිට පාරේ වැටී සිටියේය. තවත් මහත දෙහත ත්‍රස්තවාදියකු සිය අවිය සමග වත්ත ඇතුලේ, ගේ අසලම මැරී වැටී සිටිනවා ආරක්ෂක අංශ නිරීක්ෂණය කළහ.
ඒ සමගම මෙහෙයුම් කටයුතු එදිනට නවතා දමා, උදෑසන වන තෙක් අවට ආරක්ෂාව තර කරන්නට මේජර් ජෙනරාල්වරයා තීරණය කළේය. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමග මෙහෙයුමේ මෙතෙක් තත්ත්වය සහ ඉදිරිය පිළිබඳව මහින්ද මුදලිගේ විසින් දැනුවත් කළ අතර ‘මහින්ද මේ රෑ ඔහේ අතපත ගාන්න යන්නේ නැතුව, හෙට උදෙන්ම ඔය වැඬේ පටන් ගන්න. දැන් ඔක්කොම ඔයාට කොන්ට්‍රෝල් නිසා, ආරක්ෂාව තර කරන්න…’ යනුවෙන් ඊළාම් යුද්ධයේ මහ සෙන්පතියා, සිය මේජර් ජෙනරාල්වරයා වෙත උපදෙස් ලබා දුන්නේය.
පාන්දර හිරු එළිය පතිත වෙනවාත් සමගම, හමුදාවට දැකිය හැකි වූයේ, ත්රස්තයන් රැඳී සිටි නිවසේ වහලය මත තුවක්කුවක් අත දරා මැරී සිටි ත්රස්තාවාදියකුගේ මළ සිරුරය. වෑන් රථය ද සෝදිසි කර ගත් හමුදාව, අවට සියලූ ආරක්ෂාව තහවුරු කර ගනිමින් ත්රස්තයන් රැඳී සිටි නිවසට ඇතුල් වූහ. මිනී ගණනාවක් පසු කරමින් සහ මියැදුණු ත්රස්තයන්ගේ ඇඟ මත වැටී තිබූ, ආයුධ එකතු කර ගනිමින් හමුදාව සමගම මේජර් ජෙනරාල් මුදලිගේ ද නිවසට ඇතුල් වූහ. ”සර්… බොඞීස් බර ගණනාවක් තියෙනවා. සමහරු කෑලි කෑලි… තව සමහර බොඩිස් පිච්චිලා…’ ඉදිරි පෙළ සෝදිසි කරනා සෙබළු විසින් මේජර් ජෙනරාල්වරයා වෙත දැනුම් දුන්නේය.
මනුෂ්‍ය දෑසකට දැකිය නොහැකි පරිදි මිනිස් සිරුරු සතර අතේ කැබලි වී විසිර තිබුණි. මස් වැදිලි නොමැති තැනක් ගෙදර සහ ඒ අවට නොතිබුණි. අවසාන මොහොතේ, හමුදාව මට්ටු කිරීමට නොහැකි වග දැනගත් ත්රස්තයෝ, තමන් සතුව තිබූ බෝම්බ පුපුරුවාගෙන, සමූහයක් ලෙස මියයෑමට ගත් තීන්දුවේ ප්‍රතිපලය පසුදා උදෑසන දිස්වූයේ එසේය.
කුඩා නිවස තුළ සම්පූර්ණ සෝදිසිය සිදු කරන අතරේ, නිවස වටින් ගොස් කාමර සෝදිසි කිරීමට, මේ වන විට සෙබළු කටයුතු යොදමින් සිටියහ. ඒ සමගම මේජර් ජෙනරාල්වරයා වෙත පැමිණි සෙබළෙක් පවසා සිටියේ ”සර්… එහා කාමරයක කට්ටියක් ඉන්නවා වගේ, වටින් ආවොත් පේනවා…’ කියාය. ඒ සමග මේජර් ජෙනරාල් මුදලිගේ, එම කාමරයට, ජනේලයෙන් සිය දෑස යොමු කළේය. පුටු සැටියක් වැනි යමකට මුවා වූ කාන්තාවක්, මේජර් ජෙනරාල්වරයා සමග ඇහැට ඇහැ ගැටෙන්නේ, මේ මොහොතේය. වික්ෂිප්ත දෑසින් යුතුව ඇය, ජෙනරාල්වරයා වෙත සංඥාවක් ලබා දුන්නාය.
ගැහෙමින් එසවුණු ඇයගේ අතක්, මදක් මීට මොලවා මුව වෙත කිට්ටු කරමින්, වතුර ලබා දෙන ලෙස, ඇය විසින් හස්ත සංඥාවෙන්, ආයාචනා කර සිටියාය. ඇයගේ සංඥාවට සිත යොමු කරන අතරේම, මේජර් ජෙනරාල් මුදලිගේ දුටුවේ, දෑස් මානාගෙන, තමා දෙස බලා සිටින කුඩා දරුවෙකි.
මියගිය දහසය දෙනෙකුගේ සුන්බුන් වූ සිරුරු හමුදාව විසින් සොයා ගැනීමත් සමග මෙහෙයුම් කටයුතු අවසන් විය. ජීවත්ව සිට තමන් විසින් බේරා ගන්නා ලද්දේ, සහරාන්ගේ භාර්යාව වන අබ්දුල් කාදර් පාතිමා කාදල් පාතිමා සහ ඔහුගේ සිව් හැවිරිදි දියණිය බව හමුදාව දැන ගන්නේ පැයකට පමණ පසුවය.
නිවස්නය සෝදිසි කළ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විසින් මරාගෙන මැරෙන මුස්ලිම් කාන්තාවන් ලවා විහාරස්ථානවලට පහරදීමේ සැලැස්මක සියලූ තොරතුරු අනාවරණය කරගන්නා ලදී.
පන්සල්වලට ප්‍රහාර එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන කාන්තාවන් යොදා ගැනීම සහරාන් කල්ලියේ උපාය විය. විහාරස්ථානවලට යෑම සඳහා සුදු ඇඳුම් අවශ්‍ය විය. ඒ වෙනුවෙන් මේවා මිලදී ගෙන ඇත්තේ ගිරිඋල්ල ජයසුමන ටෙක්ස්ටයිල් ආයතනයෙනි. මුස්ලිම් කාන්තාවන් විසින් රුපියල් 29000ක පමණ කාන්තා සුදු ඇඳුම් කට්ටල 09 ක් සහ යට ඇඳුම් ඇතුළු රෙදිපිළි සිය ප්‍රහාරය සඳහා මිලදීගෙන තිබුණි. මෙම කාන්තාවන් මහත සිරුරුවලින් යුත් නිසාත්, බෝම්බ බැඳගෙනයෑමට ඉඩ අවශ්‍ය නිසාත් ඒ වෙනුවෙන් විශාල ප්‍රමාණයේ සායවල් සහ හැට්ට මිලදී ගෙන තිබුණි. මෙම මිලදී ගත් ඇඳුම් ඇඳ, සහරාන් කල්ලියේ කාන්තාවන් විහාරස්ථානවලට ගොස් ඇත්තේ සිය ප්‍රහාරය සඳහා පෙරහුරුවක් ලබා ගැනීමටය.
සයින්දමරුදු ත්‍රස්ත නිවස්නයේ බෑගයක තිබී මෙම කාන්තා ඇඳුම් යුගල 05ක් රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයා ගත්තේය. අන්තවාදී මුස්ලිම් කාන්තාවන් 09 දෙනෙකු විහාරස්ථානවලට යවා එකවර ප්‍රහාර එල්ල කිරීම සඳහා වූ සැලසුම ආරක්ෂක අංශ වෙත හෙළි වන්නේ මේ අනුවය. රට පුරා ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන රැසක් ඉලක්ක කර 2019 වසරේ වෙසක් උත්සවය ලෙයින් සැමරීම සදහා ත්රස්තයෝ යෙදූ උපාය එසේ හෙළිවිය.
(මැයි 10 දිවයින ඉරිදා සංග්‍රහයට මනෝජ් අබයදීර ලියූ ලිපියෙන් උපුටා සකස් කෙරිනි.)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...