පුරවැසි කොලම

අපේ‍්‍රල් මස 20 දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය මඟින් සහල් සඳහා පනවන ලද පාලන මිල පිළිබඳ ගොවි සංවිධානවල සහ කුඩා සහ මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තකරුවන්ගේ බලවත් විරෝධය එල්ල වී ඇත. ඊට අදාළව මැයි මස 5 දින අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජී.කේ.එස්.එල්. රාජදාස මහතා විසින් කැඳවන ලද රැුස්වීමකදී කිසිදු හේතුවක් නිසා පනවා ඇති මිල සූත‍්‍රය වෙනස් නොකරන බව එතුමා විසින් අවධාරණයෙන් සඳහන් කළ බව කුඩා සහ මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තකරුවන්ගේ සංවිධානයක් විසින් එළිදරව් කොට තිබුණි. ඒ අතර එම මිල සූත‍්‍රය හෙවත් පාලන මිල පැනවීමට අදාළ ගණනය කිරීම් සිදු කිරීමේදී ඒ සඳහා දැනුම සහ අධිකාරී බලයක් සහිත පශ්චාත් අස්වනු තාක්ෂණ ආයතනයේ හෝ වී අලෙවි මණ්ඩලයේ අදහස් විමසා නොමැති බවද එළිදරව් වී ඇත. එහෙත් පසුගිය දිනවල පාන්පිටි ආනයනකරුවන්ට කි.ග‍්‍රෑම් 1 කට රු. 28 ක බදු සහනයක් ලබාදීමේදී රේගු ආඥාපනත, විශේෂ පාරිභෝජන බදු පනත සහ ආනයන අපනයන පනත යන නීතිමය රාමු 03 ක් යටතේ අදාළ ආයතන මැදිහත්ව ඉතා කල්පනාකාරීව එම තීන්දුව ගනු ලැබීය.

p14 2

එසේ නම් රටේ ආහාර සුරක්ෂිතතාවයට, ග‍්‍රාමීය ආර්ථිකයට, ගොවියාගේ ජීවන තත්ත්වයට මෙන්ම කුඩා සහ මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තකරුවන්ගේ පැවැත්මට දැඩි බලපෑමක් ඇති කරන තීන්දුවක් නිලධාරීන් කිහිපදෙනෙකුගේ අනුකම්පාවට යටත් කිරීම සාධාරණීකරණය කරන්නේ කෙසේද? විශේෂයෙන්ම පාලන මිලක් නොතිබූ තත්ත්වයක් යටතේ මෙන්ම වෙළෙඳුන්ට රිංගා යා හැකි ආකාරයට අර්ධ පාලන මිලක් පනවා ඇති තත්ත්වයක් යටතේ පවා සහල් මිල යම් නිශ්චිත මිලකට අඩු කරනු යනුවෙන් ප‍්‍රබල මහජන ඉල්ලීමක් නොතිබිණි. එමෙන්ම කැකුළු සහල්වලට පාලන මිලක් නොමැතිව සෙසු සහල්වලට පමණක් මිල නියම කරන ලද තත්ත්වයක් යටතේ සහල් මිල රු. 110 ක සාමාන්‍ය අගයක් දක්වා වැඩි විය. එහෙත් එය නිවැරදි කිරීම සඳහා ප‍්‍රබල මහජන හඬක් පැන නැගුණේ නැත.

එසේ වුවත් වී ගොවිතැන ආරක්ෂා කිරීම සහ වී ගොවියා දිරිමත් කිරීම සඳහා වී සඳහා අවම සහතික මිලක් නියම කළ යුතු බවට විවිධ පාර්ශ්වවලින් ප‍්‍රබල හඬක් මතුවිය. ඒ අනුව වී කි.ග‍්‍රෑම් 1 ක් සඳහා රු. 50 ක අවම සහතික මිලක් නියම විය. එය ගොවි ජනතාවගේ බලවත් ප‍්‍රසාදයට හේතු වූ අතර පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා වූ උනන්දුව තුළින් එය සමාජය තුළ ප‍්‍රකට විය. එම ක‍්‍රියාවලිය තුළ සහල් කි.ග‍්‍රෑම් 1 ක සිල්ලර මිල රු. 100 ක් විය හැකි බවට සමාජ සම්මතයක් ද තහවුරු විය. සහල් කි.ග‍්‍රෑම් 1 ක් 8 දෙනෙකුට ආහාරයට ගත හැකි අතර ඒ අනුව එක වේලක් සඳහා එක් පුද්ගලයකු සහල් පිරිවැය රු. 12.50 කි. බුලත් විටක් සඳහා රු. 30 ක් ගෙවන සහ සිගරට්ටුවක් සඳහා එම මුදල මෙන් දෙගුණයකුත් ගෙවන සමාජයක එම ඒක පුද්ගල පිරිවැය රු. 11.50 දක්වා රු. 1 කින් අඩු කරන ලෙස සටන් පාඨයක් බිහිවිය හැකිද? එසේ නම් රු. 98 මට්ටමේ තිබූ සහල් පාලන මිල තව රුපියල් 13 කින් අඩුකළ යුතු යැයි ඉල්ලන්නේ කවුද? එවැනි ඉල්ලීමක් තිබේ නම් එහි සැබෑ අරමුණ කුමක්ද?

වෙළෙඳපළ තුළ යථාර්ථවාදී නොවන පාලන මිලක් හෙවත් නිෂ්පාදන වියදම පියවාගත නොහැකි මිලක් පැනවීමේ අරමුණ පාරිභෝගිකයාගේ දැවෙන ප‍්‍රශ්නයක් විසඳීම නොවේ නම් ඒ මඟින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? දිනකට රුපියලක හෝ දෙකක සහනයක් ලබාදීම මඟින් පාරිභෝගිකයා සතුටු කළ හැකි යැයි බත් කන අයෙකුට කල්පනා කළ හැකිද? කෙසේ වෙතත් යථාර්ථවාදී නොවන පාලන මිලක් පැනවීම මඟින් වෙළෙඳපළ තුළ හුස්ම හිර කළ විට ඔක්සිජන් නැතිව පණ අදින ගොවීන් සහ සහල් කර්මාන්තකරුවන් විසින් නඟන කෙඳිරිලි හඬට එම අත්තනෝමතික තීන්දු ගන්නා නිලධාරීන් විසින් සවන් නොදෙන බව දැන් පැහැදිලිව පෙනේ. කවුරු කිව්වත් පාලන මිල වෙනස් නොකරන බවට ගොවීන්ට සහ කර්මාන්තකරුවන්ට උස් හඬින් තර්ජනය කරන අයට කෙඳිරිලි හඬවල් ඇසෙන්නේ නැති බව පැහැදිලිය. පනවා ඇති පාලන මිලට සහල් දුන්නොත් තමා බංකොලොත් වන බවට කුඩා සහ මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තකරුවන් විසින් කෙඳිරිලි හඬ නගන විට මෙම නිලධාරීන් උස් හඬින් කියන්නේ ” එහෙම නම් වී මිල 44 ට බස්සනවා ” යනුවෙනි.

ගොවියාට ගෙවන සහතික මිල රු. 6 කින් අඩුකොට ප‍්‍රශ්නය විසඳන ලෙස මෝල් හිමියන්ට උපදෙස් දෙන විට දැනටමත් ණය බරින් පිඩාවට පත්ව සිටින රටේ ජනගහණයෙන් 25% කට වැඩි ගොවි ජනතාව පිළිබඳව ඔවුන්ගේ ආකල්පය පිළිබිඹු වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 ලක්ෂයේ ජනවරම තුළ නියෝජනය වන අති බහුතරයක් වූ ගොවි ජනතාවගේ ප‍්‍රධාන අපේක්ෂාවක් වූයේ වී සඳහා රු. 50 ක සහතික මිලක් ලබා ගැනීමය. ජනාධිපතිතුමා විසින් එම අපේක්ෂාව ඉටු කරනු ලැබීය. එසේ නම් දැන් එතුමාගේ තීන්දුව ක‍්‍රියාත්මක කළ නොහැකි ආකාරයට සහල් වෙළෙඳපළේ ගෙල මිරිකන්නේ කුමන පිරිසක්ද? ඔවුන් කවුරු වුවත් ජනවරමට හිස නොනමන පිරිසක් බව නම් පැහැදිලිය. එසේ නොමැති නම් ඔවුන් ඉදිරි මැතිවරණයේදී ගොවි ජනතාවගේ තීන්දු වෙනස් කිරීමට කුමන්ත‍්‍රණය කරන පිරිසක් විය යුතුය.

කෙසේ වෙතත් දැන් මාස් කන්නයේ වී මිලදී ගැනීම අවසන් වී ඇති බැවින් ගොවියා ප‍්‍රශ්නයට මුහුණ දෙන්නේ ඊළඟ කන්නයේදී හෙවත් මැතිවරණයෙන් පසුව බවට ඔවුන්ට තර්ක කළ හැකිය. එහෙත් ගොවීන් අතර බත් කන මිනිසුනගේ ප‍්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බැවින් පවතින සහල් පාල මිල යටතේ ඊළඟ කන්නයේදී ඔවුන්ට වී කිලෝවකට රු. 40 ක් වත් ලබා ගැනීම අසීරු වන බව තේරුම් ගැනීම අමාරු නැත. එසේම මෙම කන්නයේදී ගොවීන්ට සහතික මිල ගෙවීමට මුල් වූ පිරිස එනම් මෙ. ටොන් ලක්ෂ 30 කට අධික අස්වැන්නෙන් 50% කට වැඩි ප‍්‍රමාණයක් මිලදී ගත් කුඩා සහ මධ්‍යම පරිමාණ සහල් මෝල් පද්ධතිය බිඳ වැටුණහොත් ඊළඟ කන්නයේදී සිදුවන දේ තේරුම් ගැනීමට ද ගොවියාට හැකියාව ඇත. මෙම කන්නයේදී ආරක්ෂක හමුදා ඇතුළු රජයේ යාන්ත‍්‍රණ මඟින් මිලදී ගනු ලැබුවේ සමස්ත අස්වැන්නෙන් 2% ටත් අඩු ප‍්‍රමාණයකි. රජයේ දායකත්වයේ අඩුපාඩුව සමනය වී ගොවියාට රු. 50 ක සහතික මිල ගෙවිය හැකි වූයේ කුඩා සහ මධ්‍යම පරිමාණ මෝල්වල මැදිහත්වීම නිසාය. මහා මෝල් හිමියන්ගේ ඒකාධිකාරිය යටතේ සැම විටම ගොවියාගේ කේවල් කිරීමේ බලය බිඳ වැටුණු බව සහ වී මිල පහත වැටුණු බව ප‍්‍රත්‍යක්ෂ කරුණකි.

දැන් කුඩා සහ මධ්‍යම පරිමාණ මෝල් හිමියන් රු. 50 බැගින් වී මිලදී ගෙන අවසානය. ”සහල් මිල වෙනස් කළ නොහැකියි. උඹලා වී මිල පහත දමා පල්ලා” යන උත්තරයට ඔවුන් කැමති වනු ඇතැයි උපකල්පනය කළද දැන් එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කළ නොහැක. ඊට අමතරව එසේ සහතික මිලට වී මිලදී ගැනීම සඳහා ඔවුන් විසින් ලබාගෙන ඇති ණය පහසුකම්වල පොලිය ද ඔවුන්ගේ පිරිවැයට එකතු වනු ඇත. එම අවශේෂ පිරිවැය, විශේෂයෙන්ම ඔවුන් විසින් යන්ත‍්‍ර සූත‍්‍ර සඳහා වැය කළ ප‍්‍රාග්ධනයේ ක්ෂය වීම නොසලකා හැරිය ද සහතික මිලට වී මිලදී ගතහොත් නිලධාරීන් කියන මිලට සහල් ලබාදිය නොහැකි බවට රජයේ මෙන්ම බාහිර විද්වතුන් විසින් ගණන් හිලව් ඉදිරිපත් කොට ඇත. සහල් කි.ග‍්‍රෑම් 1 ක් නිපදවීම සඳහා දළ වශයෙන් වී කි.ග‍්‍රෑම් 1.6 ක් අවශ්‍ය වේ. ඒ අනුව වී සඳහා රු. 50 ක සහතික මිලක් ගෙවන්නේ නම් සහල් කි.ග‍්‍රෑම් 1 ක් සඳහා වී මිලදී ගැනීමේ පිරිවැය රු. 80 කි.

සහල් කර්මාන්තකරුවන් සියලූම ශිල්ප යොදා උපරිම කාර්යක්ෂමතාවයට ළඟා වුවද සහල් කි.ග‍්‍රෑම් 1 ක් නිපදවීමේ කර්මාන්ත පිරිවැය අවම වශයෙන් කි.ග‍්‍රෑම් 1 කට රු. 10කි. ඒ අනුව කැකුළු සහල් කි.ග‍්‍රෑම් 1 ක තොග මිල රු. 90 ක් වේ. එවිට කැකුළු සහල්වල සිල්ලර පාලන මිල අවම වශයෙන් රු. 95 ක මට්ටමේ පැවතිය යුතුය. එවැනි තත්ත්වයක් තුළ නිලධාරීන් කියන ආකාරයට රු. 85කට කැකුළු සහල් ලබා දෙන්නේ කෙසේද? එසේ නම් තැම්බූ නාඩු කි.ග‍්‍රෑම් 1 ක් රුපියල් 100 ක් සහ සම්බා කි.ග‍්‍රෑම් එකක් අවම වශයෙන් රු. 105 ක් ලෙස නියම කිරීම ගොවියාට, මෝල් හිමියා සහ පාරිභෝගිකයා යන පාර්ශ්ව ත‍්‍රිත්වයටම අංක ගණිතමය වශයෙන් සාධාරණ වේ. එහිදී කිරී සම්බා සඳහා පාලන මිලක් පැනවීම ද වැදගත් වේ. ඒ අනුව එම මිල රු. 115 ක් විය හැක. මෙවර සහල් වෙළෙඳපළේ මිල විකෘතිය සඳහා මහා මෝල් හිමියන්ගේ සහය ලැබෙන්නේ ”කීරි සම්බා රහස” නිසාය. මහා මෝල් හිමියන් පෙර කන්නයේදී කිරි සම්බා වී තොග විශාල වශයෙන් රැුස්කරගෙන තිබෙන බැවින් සහ අපේ‍්‍රල් 20 ගැසට් නිවේදනය මඟින් කීරි සම්බා සඳහා රු. 125ක ඉතා ඉහළ පාලන මිලක් නියම කොට ඇති බැවින් ඔවුන්ගේ පාඩුව සමනය වේ.

නමුත් කුඩා සහ මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන්ට එවැනි වාසියක් නොමැති බැවින් ඔවුන්ට සිදුවන්නේ විඳගනිමින් තම දේපළ බැංකුවට සින්න වන දෙස බලා සිටීමය. එසේ නැතහොත් ආණ්ඩුව විසින් ලබා දෙන ණය තවදුරටත් ලබා ගනිමින් ණය උගුලක හිරවී තම දරු මුණුපුරු පරම්පරාවම විපතට ඇද දැමීමය. පසුගිය වසර 20 ක පමණ කාලය තුළ 5000 ක් පමණ වූ කුඩා සහ මධ්‍යම පරිමාණ සහල් මෝල් ප‍්‍රමාණය 2000 ක් දක්වා අඩුවූයේ දීර්ඝකාලීනව සහල් වෙළෙඳපළ තුළ පවතින මිල විකෘතියට පින්සිදු වන්නටය. ඒ අනුව අපේ‍්‍රල් 20 ගැසට්ටුව යනු මිනී පෙට්ටියේ අවසන් ඇණය ලෙස හැඳින්වීම වරදක් නොවේ.

මහා මෝල් හිමියන් මෙම විකෘතියට මුහුණ දෙන්නේ මහා පරිමාණ ක‍්‍රියාන්විතය නිසා ලැබෙන ආර්ථික වාසිය නිසාය. ඊට අමතරව අස්වනු නෙළන සමයේදී ඇතිවන සාපේක්ෂ අතිරික්තය නිසා ගොවියාගේ කේවල් කිරීමේ බලය බිඳ වැටීම තුළ අඩු මිලට මහා පරිමාණයෙන් වී මිලදී ගැනීමට ඇති හැකියාව සහ වී තොග පවත්වා ගැනීමට ඇති හැකියාව නිසාය. මෙවර මිල පාලන ක‍්‍රමවේදය තුළ ඉහත සඳහන් කළ ආකාරයට කීරි සම්බා වාසිය නිසා එම තත්ත්වය තවදුරටත් තහවුරු වේ. ඊට අමතරව වී මිලදී ගැනීම සඳහා පහසුවෙන් මහා පරිමාණයෙන් ණය ලබා ගැනීමට ඇති හැකියාව ද මහා පරිමාණ මෝල් හිමියන්ගේ වාසියට හේතු වී ඇත. ඔවුන්ගේ පැත්තෙන් ගත් විට කුඩා සහ මධ්‍යම පරිමාණ මෝල් පද්ධතියේ බිඳ වැටීම තම ඒකාධිකාරිය තහවුරු කර ගැනීමේදී උපාය මාර්ගික සාධකයක් බවට පත් වේ. එහෙත් මහා මෝල් හිමියන් සැලසුම් සහගතව එවැන්නක් සිදු කරන බව පිළිගත නොහැක. ඊට අමතරව සහල් මාෆියාවක් පිළිබඳව භීතිය මවන්නේ තිරිඟු පිටි මාෆියාව විසින් තම කූට ක‍්‍රියාපිළිවෙත ආවරණය කිරීමට බව තේරුම් ගැනීම අමාරු නැත.

තිරිඟු පිටි මාෆියාවේ අවසන් අරමුණ තිරිඟු පිටි වෙළෙඳපළ පුළුල් කිරීමට අමතරව වෙනත් හස්තයක් හරහා මහා පරිමාණ වශයෙන් සහල් වෙළෙඳපළ ද අත්පත් කර ගැනීමය. ඒ සඳහා පළමු වටයේදී කුඩා සහ මධ්‍යම පරිමාණ මෝල් පද්ධතිය බිඳ වැට්ටවිය යුතුය. ඉන් පසුව දෙවන වටයේදී මහා මෝල්වල ප‍්‍රතිරූපය බිඳ දමන අතර ඔවුන්ගේ පැවැත්ම අනතුරට ලක් කිරීම ද තිරිඟු පිටි මාෆියාවේ උපාය මාර්ගික උවමනාවකි. සහල් වෙළෙඳපළ මහා මෝල් කිහිපයක ඒකාධිකාරියක් බවට පත් වූ පසුව වැඩි මිලක් ගෙවා එම ඒකාධිකාරිය අත්පත්කර ගැනීම යනු ඔවුන්ගේ මූලික උපාය මාර්ගික ප‍්‍රවේශයක් බවට ඉතා පැහැදිලි අත්දැකීම් ලෝකය පුරා දැක ගත හැක. ඒ අනුව තිරිඟු පිටි මාෆියාව තවමත් සිටින්නේ පළමු අදියරේ බවට විවාදයක් නැත. එහෙත් ආණ්ඩුවක් ලවා කුඩා සහ මධ්‍යම පරිමාණ මෝල් පද්ධතියේ හුස්ම හිර කිරීම සඳහා ඉතා සරල මිල පාලන ක‍්‍රමවේදයක් යොදා ගැනීමට හැකිවීම ඔවුන්ගේ ප‍්‍රබල ජයග‍්‍රහණයකි.

මෙම කුමන්ත‍්‍රණය පරාජය කළ හැක්කේ ගොවීන් සහ කුඩා සහ මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් පමණක් නොව සමස්ත සමාජය දේශීය සහල් වෙළෙඳපළ ආරක්ෂා කර

ගැනීමේ උපාය මාර්ගික ප‍්‍රවේශය පිළිබඳව සංවේදී වීමෙනි. පළමුවෙන්ම ආහාර සුරක්ෂිතතාවයට අදාළ වෙළෙඳපළ කාර්යක්ෂමතාව සහ තුලනය පවත්වා ගැනීම සඳහා කුඩා සහ මධ්‍යම පරිමාණ සහල් කර්මාන්ත පද්ධතිය මෙන්ම කුඩා පරිමාණ සහල් සකස්කිරීමේ සහ සිල්ලරට විකිණීමේ ව්‍යාපාරික අවස්ථා පුළුල් වන ආකාරයට සහල් සඳහා පාලන මිලක් පැනවිය යුතුය. එම මිල තුළ ගොවියාට වී සඳහා සහතික මිල ගෙවීමේ අවකාශය ඇති කිරීම මූලික කොන්දේසියකි. දෙවනුව මහා පරිමාණ මෝල් පද්ධතිය ද ආරක්ෂා කළ යුතු අතර ඔවුන්ගේ වෙළෙඳපළ 50% මට්ටමේ පවත්වා ගැනීම සඳහා කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් දිරිමත් කිරීමේ ” සහන පැකේජයක්” රජය විසින් ඉදිරිපත් කළ යුතුය. රජය විසින් රටේ වී නිෂ්පාදනයෙන් අවම වශයෙන් 5%ක් ආරක්ෂණ තොගයක් ලෙස මිලදී ගැනීම සහ ඒවා ක‍්‍රමානුකූලව කුඩා සහ මධ්‍යම පරිමාණ මෝල් වෙත ලබා දීම ද ඊට අයත් වේ. ඊට අමතරව සහල්වල සහ සහල් පිටි වල ගුණාත්මක මට්ටම වැඩි කිරීමේ සහ තොග පවත්වාගෙන යෑමේ ජාතික වගකීම මහා මෝල් වෙත පැවරිය යුතුය. මේ සියල්ල නිසි ලෙස උපායමාර්ගිකව කළමනාකරණය කිරීම සඳහා ආහාර සුරක්ෂිතතා පනත නමින් නව නීතිමය රාමුවක් ද අවශ්‍ය වනු ඇත. රටේ ජාතික ආරක්ෂාව තරමටම වැදගත් වන ආහාර සුරක්ෂිතතාවයට එරෙහිව දියත් වන බහුවිධ කුමන්ත‍්‍රණ පරාජය කළ හැක්කේ මහජනයා මෙම උපාය මාර්ගික ප‍්‍රවේශය පිළිබඳව දැනුවත් වීම සහ ඒ සඳහා පෙනී සිටීම මගිනි.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More