පුරවැසි කොලම

මා අසා ඇති පරිදි මහේල ජයවර්ධන ක්‍රිකට් නායකයාගේ නම තබා ඇත්තේ විශිෂ්ඨ ගීත රචකයකු වූ ප්‍රේමකීර්ති අල්විස් මහතාය.එඩිතර සංවේදී මිනිසෙකු වූ ප්‍රේමකීර්තිගේ  ඇසුරුකළ මහේලගේ පියා තමා ගේ පුතනුවන්ට ඔහු ලවා නමක් යෙදු බව මම අසා ඇත්තෙමි .මහේලගේ නමේ තේරුම මහා හෙළයා යන්නය.

මහා හෙළයා මුළු මහත් ජාතියේම අවධානයට ලක්වුයේ පසුගිය සතියේය .ඒ ව්‍යක්ත ලෙස වැඩකට නොගෙන ඇති අපේ ක්‍රීඩා පිටි සහ තවමත් හිගන තත්වයේ ඇති පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව නොසලකා කඩිමුඩියේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටි ඉදිකිරීමට යෑමට විරෝධය පෑම නිසා පමණක් නොවේ.මහා ලොකු කෙරුමන්ගේ පන්දුවලට දිගට හරහට පහරදෙමින් මෝඩ ලෙස ක්‍රියාත්මක කරන ක්‍රිකට් ආර්ථිකය පිලිබදව ඩොලර් මිලියන වලින් ආර්ථික විද්‍යානුකුලව කෙස් කෙලින් වන තර්ක ඇතුව කල විස්තරය නිසාය.

මහා හෙළයා පැවසුවේ කුමක්ද ? රට අභ්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ කිරීමට ඕනෑ තරම් වැඩ තිබියදී ජාත්‍යන්තර ක්‍රීඩා පිටි ඉදිකරන්නට යන ආචාර්ය බන්දුල ගුනවර්ධනලාගේ වැඩ ගැනය.අභ්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදිව අවශ්‍ය තරමටවත් ක්‍රීඩා නොකරන ජාතියකට දියුණු ක්‍රිකට් ක්‍රීඩාවක් බිහි කල නොහැකිය යන්නය.

ගෘහස්ත ක්‍රීඩාවවත් හරියට නොකරද්දී ජාත්‍යන්තර ක්‍රීඩාපිටි හදන බන්දුල ගුණවර්ධනලා කෘෂිකර්මයේද  ඕනෑ තරම් සිටී .කුඹුරු වල තණකොළ වැවීමටත්, වී වගාව අත්හරීමටත්, අවුරුද්දකට පාන් පිටි කිලෝ හැටක් එක් පුද්ගලයෙකුගේ බඩට  යවා වී අතිරික්තයක් තිබේ යයි කීමටත් ,රටින් පලතුරු ගෙනාවේ නැත්නම් කන්න පලතුරු නෑ කීමටත් ,පිටරට මිල අඩුනම් මෙහෙ වගා කරන්නේ කෙහෙල්මලටද යන්න ඇසීමටත් ,ඇති තරම් ඉඩම් තිබ්යදී කුඹුරු වල අතුරු බෝග වගා කිරීමටත් ,කිරි වලින් ස්වයන්පෝෂිත  වීමට නම් මාස 6න් මියයන හරකුන් ඔස්ට්‍රලියාවෙන් හෝ නවසීලන්තයෙන්  ගෙන ඒමටත් ඔවුන් යෝජනා කර සිටිති.

මහේල ජයවර්ධනලාගේ   අදහස් ඇති කෘෂිකර්මයේ සිටින රටවල් ඕනෑ තරම් තිබේ .වියට්නාමයේ දල ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 300 කට ආසන්නය .තායිලන්තයේ 500ටත්  වැඩිය .ඔවුන් දැන් කාර්මික අපනයනයේ ප්‍රමුඛයෝය.කාර්මික ආර්ථිකයකට  ප්‍රාග්ධනය ගොඩනගාගත්තේ  දශක ගණනක් අභ්‍යාස කර කෘෂි ආර්ථිකයකිනි.ඔවුන් අදටත් ඩොලර් බිලියන 40කට වඩා වාර්ෂික කෘෂි අපනයයක් හිමි රටවල්ය .තායිලන්තයේ සහ වියට්නාමයේ කෘෂි ආර්ථිකය එක් රටක  ඩොලර් බිලියන 50 ක දල ජාතික නිෂ්පාදනයකට හිමිකම් කියයි.දල ජාතික නිෂ්පාදනයේ ඒක පුද්ගල හිමිකාරිත්වය  ඩොලර් 8000කට ආසන්නය .අප රටේ ඩොලර් 5000 කි. ඒකපුද්ගල කෘෂි අපනයන දායකත්වය ඩොලර් 550 ඉක්මවයි .අපගේ 110කි .අපගේ ඒකපුද්ගල කෘෂි ආර්ථිකයේ දායකත්වය ඩොලර්  290කි.වියට්නාමයේ ඩොලර් 500කි. තායිලන්තයේ ඩොලර් 700කි.එනම් එමරටවල්වල ගොවීන් අපට වඩා 5 ගුණයක් සහ 7 ගුණයක් ධනවත්ය . ඇමෙරිකාවට තිරිගු මෙන් එම රටවල්වල කෘෂි ආර්ථිකයේ ප්‍රමුඛ දායකත්වය වී වගාවයි.ගෘහස්ථ සහල් පරිභෝජනය වසරකට කිලෝ ග්‍රෑම් 150-200 අතර වේ .බත් නොවන අතුරු පිෂ්ඨ ජනක ආහාර සඳහාද 80% කට වඩා සහල් දායකත්වය ලබා දෙයි.පාන් පිටි කන්නේ වසරකට කිලෝ 20 කට අඩුවෙන්ය .එහි පාලකයින්,කෘෂි ආර්ථික සැලසුම්කරුවන් සහ වෛද්‍යවරුන් ඊට වඩා කෑමට ඉඩ දෙන්නේ නැත .සහල් කර්මාන්ත කරුවෝ ප්‍රධාන ව්‍යාපාරිකයෝය.සමහර දැවැන්ත සහල් මෝල් යුරෝපයේ නිපදවා සවිකරනුයේ සුද්දන්ය.සුද්දන් ඇතැම් සහල් කර්මාන්තවල සේවකයින්ය.

ඔවුන් එපමණ ජයග්‍රහණ ලැබුවේ දශක ගණනක රටේ ගෘහස්ත ආර්ථිකය ආරක්ෂා කරමින් ලබාගත් පදනම මතිනි.අපනයන ප්‍රමිති තත්වයන්ට ලගා වුයේ ගෘහස්ත වෙලදපොලේ උසස්  පෙළහර පෑමකට ඉඩ දීමෙනි .මහේල ජයවර්ධන කියන ලෙසට පළමුව ගෘහස්ථ තණනිල්ලේ රිසි සේ  ක්‍රිකට් ගසා ජාත්‍යන්තර තත්වයට අවතීර්ණ වීමෙනි.ඒ රටේ  තමන්ට අවශ්‍ය ප්‍රමාණය නිපදවීමට පෙර කුඹුරු වල වෙනත් වගාවන් වගා කිරීමට යෝජනා කරපු ක්‍රිකට් බන්දුල ගුණවර්ධනලා කෘෂි ක්ෂේත්‍රයේ සිටියේ නම් එම රටවල් මෙවැනි තත්වයකට කිසිදා ලගා නොවනු ඇත. එනම් මහේල ජයවර්ධනලා කියන ලෙසට  කෘෂි සටන මෙහෙයය වූ කෘෂි පාලක මණ්ඩලයක් එහි තීරණාත්මක මෙහෙවර සිදුකර ඇත .බන්දුලලාට කිසිදා ඉඩ දී නැත.එහි කෘෂි පාලකයින් ලංකාවේ ක්‍රිකට් පාලක  මණ්ඩලය මෙන් නොවේ.

ශ්‍රී ලංකාවේ වී වගාව දැන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බවට පත්ව ඇත .කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,මහවැලි අධිකාරිය  සහ එහි ලොක්කන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ චරිතය රඟපායි .ඔවුන්ට අවශ්‍යව ඇත්තේ මහේල ජයවර්ධනලා නොව බන්දුල ගුණවර්ධනලාය.ගෘහස්ත නිෂ්පාදනය අවශ්‍ය ප්‍රමාණයට නැතත් කලයුතුදේ අතහැර වෙනත් දේ කර කිරීමට කවුරු හෝ කියන තුරු බලා සිටී. .කියන දේ පැන පැන ඉටු කරනු ලබයි.හොදම උදාහරණය 2016 සිට ක්‍රියාත්මක කරනු ලැබූ වී වගාව අත්හැරීම නැමති මහවැලි අධිකාරිය හරහා ක්‍රියාත්මක කරනු ලැබූ වැඩපිළිවෙලයි .

ඉතිහාසයේ පළමු වතාවට 2015 වර්ෂයේදී අපගේ ගොවීන්  ආසන්න වශයෙන් වී ටොන් ලක්ෂ 50ක් නිෂ්පාදනය කරනු ලැබිණි.ඒ මහ  කන්නයේ ටොන් ලක්ෂ 30ක් සහ යල කන්නයේ ටොන් ලක්ෂ 20ක් ලෙසය.එනම් සහල් ටොන් ලක්ෂ 32කි.එක් පුද්ගලයෙකු සහල් කිලෝග්‍රෑම් එම වසරේ 140ක් පරිභෝජනය කලේ නම් එම නිෂ්පාදනය රට තුලම අවසන් වනු ඇත .එහෙත් කොමිසන් කුට්ටි වලට ගිජු යහපාලන දේශපාලකයින් සහ කෘෂිකර්ම සහ මහවැලි නිලධාරීන් තිරිගු පිටි ආනයන බදු ඉවත්කර තිරිගු පරිභෝජනය ඉහල දමා සහල් පරිභෝජනය වසරකට කිලෝග්‍රෑම් 100-110 දක්වා අඩුකරන ලදී.

.2016 වනවිට වී ගොඩ ගැසිනි .සහල් කර්මාන්ත බංකොලොත් විය.කොමිසන් කුට්ටිවලට වී තොග සත්ව ආහාර වලට විකුණන ලදී .කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වී වගාව අත්හැරීම නමැති වැඩසටහන නිල වශයෙන් ආරම්භකර පාන් පිටි සමාගම හරහා පිටරට ගොවියන්ගේ පැත්ත ගත්තේය .විශිෂ්ට හෙළ බොජුන් සංකල්පයට දායක වූ අධ්‍යක්ෂ ජනරාල්වරයාම යල කන්නයේ වී වගාව අවශ්‍ය නැති බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනු ලැබීය.මහවැලි අධිකාරිය හරහා රජරට වී වගාවට ජලය අත්හිටවනු ලැබීය .2016 වර්ෂයේ අගෝස්තු මස සත්ව ආහාර වලට වී විකුණපු නිලධාරීන් 2016 නොවැම්බර් මාසයේ සිටම සහල් ආනයනය කරන්නට විය.2013 වර්ෂයේදී වසරකට කිලෝ 35ක් වූ තිරිගු පරිභෝජනය කිලෝ 60 දක්වා 2019 වනවිට ඉහල ගියේය .මෝඩම කෘෂිකර්ම නිලධාරීන් සිටින වී වගා කරන දේශය බවට ශ්‍රී ලංකාව පත්විය.අපගේ ගොවීන් දුප්පත් විය .වී වගාවෙන් ලැබිය යුතු ප්‍රතිලාභය ලබාගෙන අතුරු භෝග වගාකිරීමේ ආර්ථික අවස්ථාව අපේ ගොවීන්ට අහිමි කරන ලදී . ටොන් ලක්ෂ 20 අභිබවා යා යුතුව තිබූ  යල කන්නයේ වී අස්වැන්න ටොන් ලක්ෂ 15ට සීමා කිරීමේ පාන් පිටි සමාගමේ කොන්ත්‍රාත්තුව මහවැලි එච් කලාපයේ ක්‍රියාත්මක කරනු ලැබුවේ මහවැලි අධිකාරිය විසිනි. 2011 වර්ෂයේදී බිස්කට් සමාගම් වලට ලැබුණු තිරිගු පිටි තොගමිල කෘෂිකර්ම නිලධාරීන්ගේ පිහිටෙන් තවමත් පවත්වාගැනීමට පාන් පිටි කොම්පැනිය සමත් වී ඇත

ගෝටාභය රාජපක්ෂ මහතා පොරොන්දු වූ ලෙසටම වී කිලෝවේ සහතික මිල බලයට පත්වූ පසු නීතිගත කරන ලදී .ගොවියන් දැන් වී වගාවට ධෛර්යමත්ය .වී වගාව සීමා කිරීමට එරෙහිව  විවෘත සටනකටද  අවතීර්ණ විය .සහල් කර්මාන්තකරුවන් ටොන් ලක්ෂ 33කට වැඩි අස්වැන්නෙන් ටොන් 50,000ක් හැර ඉතුරු සියල්ල මිලදීගැනීමට තරම් එඩිතර විය.මේ දෙකෙහිම ගෞරවය ජනාධිපතිතුමාට හිමිවිය යුතුය. ඒ අතරතුර කොරෝනා සමයේ පාන් පරිභෝජනය පහල ගොස් සහල් පරිභෝජනය ඉහල ගියේය. බෙකෙරි වලින් ආහාර මිලදී ගැනීම අඩුවිය. මැයි මාසයේ සිට යල කන්නයේ වී වගාවට  වෙනදාටත් වඩා උනන්දුව වැඩිවීමට රු 50 වී සහතික මිල සහ සහල්  කර්මාන්තකරුවන්  ලබාදුන් යෝධ දායකත්වය ඉවහල් වී ඇති බව පෙනේ .කොරෝනා උවදුර පැමිණීමට පෙර රටේ මාසික සහල් පරිභෝජනය ටොන් 180,000 කි. එහෙත් කොරෝනා උවදුර සමග මාර්තු මස සිට මේ දක්වා සහල් පරිභෝජනය ඉහල ගොස් ඇති බව වාර්තා වේ .ඇතැම් මහා නගර සභාවල අපද්‍රව්‍ය ලෙස දිනකට එකතුකරන ඉඳුල් ප්‍රමාණයද ඉහල ගොස් ඇති බවට සාක්ෂි ඇත .බෝහෝ විට මේ වන විට සහල් පරිභෝජනය මාසයකට ටොන් 275,000 පමණ වීමට ඉඩ ඇත.එනම් මහා කන්නයේ වී නිෂ්පාදනය වූ ටොන් ලක්ෂ 33  න් ටොන් ලක්ෂ 19-21 අතර ප්‍රමාණයක් මේ වන විට අවසන් වී තිබිය යුත්තේ පසුගිය දෙසැම්බර් වන විට රටේ නාඩු වී අවසන්ව පැවතීම නිසාය.සාමාන්‍ය තත්වය යටතේද  දෙසැම්බර් සහ සිංහල අවුරුදු සමය සහිත අප්‍රේල් දක්වා කාලය ආහාර වෙළද පොලේ උච්ඡ අලෙවි අවධිය ලෙසද සැලකේ .තත්වය එසේනම් මේ මාස 5 දී එක් පුද්ගලයෙකු  වසරකට සහල් කිලෝග්‍රෑම් 155ක පරිභෝජනයක රිද්මයකට පැමිණ තිබීමට ඉඩකඩ තිබේ.ඉතා උනන්දු ගොවි සමාජයක් ,එඩිතර සහල් කර්මාන්තකරුවන් පිරිසක් සහ නිවැරදි පාරිභෝගිකයන් පිරිසක් බිහිව ඇත එය නිවැරදි නම් මෙය ශ්‍රී ලාංකික ආර්ථිකයට විශිෂ්ට තත්වයකි.

පාන් පිටි කොම්පැනිය සහ එයින් කොමිස් කන දේශපාලුවන් සහ කෘෂි මහවැලි නිලධාරීන් පමණක් මෙයට අකමැතිය. .තායිලන්තයේ,මියන්මාරයේ ,කාම්බෝජයේ ,ලාඕසයේ ,වියට්නාමයේ මෙන් ඉහල සහල් පරිභෝජනයක් සහ අවම පාන් පිටි පාරිභෝජනයක් ඇති උවහොත් පාඩු වන්නේ ඔවුන්ට පමණි .ඔවුන් කල යුත්තේ වී වැඩියෝ කියා කෑ ගැසීමය .නැත්නම වෙළද පොළ යාන්ත්‍රනය බිඳ දැමීමය .වී වගාව සීමා කිරීමය .දැන් තුනම එකවර සිදුකිරීමට තටමන බව සිදුවීම්වලින් පෙනේ .

සහල් කර්මාන්ත කරුවන් විසින්වී රු 50 ට මිලදී ගත් පසු ඇති වූ ගොවි ප්‍රබෝදය බිද දැමීමට නම් වී මිල වැට්ටවීම කල යුතුය.එය කිරීමට දැන් වී රු 50ට මිලදී ගත්පසු වී මිල රු 44 කට ගැලපෙන සහල් පාලන මිලක් පනවා ඇත .වී කිලෝව රු 50ක් වේ නම් සහල් විකුණුම් මිල රු 95-98ක් විය යුතු බව පශු අස්වනු තාක්ෂණ ආයතනය පවසයි .රු 10කින් සහල් මිල වෙනස් වන්නේ නම් එක පුද්ගලයෙකුගේ දිනක වියදම ඉහල යන්නේ රු 1.20කිනි.සහල් මිල පහත හෙලීමට කවුරුත් ඉල්ලා සිටියේ නැත .ඉල්ලා සිටියේ පාලන මිල ක්‍රියාත්මක කරන ලෙසත් කැකුළු සහල් වලට පාලන මිලක් පනවන ලෙසත්ය.වී පාලන මිල පැනවීමේදී වී පශු අස්වනු තාක්ෂණික ආයතනයේ අදහස් ලබාගෙන නැත.දැන් වී මෝල් හිරවී නිෂ්පාදනය ඇන හිට ඇත.සිල්ලර කඩවල් හාල් විකිණීම අත්හිටුවා ඇත.තත්වය මෙසේ වුවහොත් ලබන ජුලි මාසයේ යල කන්නයේ වී මිලදී ගැනීමේ  යාන්ත්‍රණය බිද වැටී වී මිල පහත වැටෙනු ඇත.එහි වාසිය පාන් පිටි කොම්පැනියටය .පාන් පිටි කොම්පැනිය කලයුත්තේ වී වැඩියෝ කියා බුරන පිරිසක් බිහිකර ගැනීමය.දැන් එයද සිදුවනු පෙනේ .

රටේ බහුතර සහල් කර්මාන්ත සංවිධාන වල නිල හෝ නිල නොවන අනුශාසකවරයා වන මා දන්නා පරිදි ගොවියන් සහ සහල් කර්මාන්ත කරුවන් අත මේ වනවිට වී ටොන් ලක්ෂ 12-15 ක් අතර ප්‍රමාණයකට වඩා වී ඉතිරිව නැත .පවතින තත්වය යටතේ එය මාස 4ක ඉල්ලුමට පමණක් ප්‍රමාණවත් වේ.මාස 15කට වී ඇති බව කීම තරම් බේගලයක් මම මුළු ජීවිතකාලයටම අසා නැත .එසේ වීමට නම් වී ටොන් ලක්ෂ 60ක් තිබිය යුතුය .ලංකාවේ මෙතෙක් නිෂ්පාදනය වූ ඉහලම ප්‍රමාණය 2015 නිපදවූ ටොන් වී ලක්ෂ 50 ය.කඩාකප්පල් නොවන්නේ නම් මේ වර්ෂයේ එය ටොන් ලක්ෂ 55 අභිබවනු ඇත. ටොන් ලක්ෂ     60ක් තිබීමට නම් වී අලෙවි මණ්ඩලයේ සහ ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා ධාරිතාව මෙන් තවත් 12 ගුණයක ගබඩා රජයේ සහ පුද්ගලික අංශයේ තිබිය යුතුය .පොළොන්නරුවේ ප්‍රධාන මෝල් හිමියන් සතුව ඇත්තේ ටොන් 190,000 ක් බව (කිලෝ ග්‍රෑම් කොටි 19ක් ) බව වී හංගා තිබේ යයි  කියා උඩු බුරන පොලොන්නරුවේම හිටපු මන්ත්‍රී කෙනෙක් කියන්නේ ඒ තියෙන්නේ දවස් 12-15කට රටට අවශ්‍ය වී බව දැන දැනමය. මෙය ඉබේ සිදුවන ක්‍රියාදාමයක් වීමට කිසිසේත්ම ඉඩ නැත .විකෘති පාලන මිලක් පනවා  හාල් මෝල් දඩයම් කිරීමට ආණ්ඩුවේ කාටහරි හොද සංග්‍රහයක් පාන් පිටි කොම්පැනිය සිදුකර තිබිය යුතුමය .

ඉතා උගත් කෘෂිකර්මයේ නිලධාරියෙක් වූ ආචාර්ය සනත් එම් බණ්ඩාර මහතාද මාස 15කට වී ඇති බව දිවයින ඉරිදා පත්තරේ ලිය තිබෙන අයුරු මා කියෙව්වෙමි..උගත් බණ්ඩාරලාගේ ලිඛිත ඉතිහාසය වසර 1600 ක් පැරණි බව මහාචාර්ය සෙනරත් පරණවිතාණයන් ප්‍රකාශකලේ සීගිරි ගලේ බඩ සහ බට නමින් සුන්දර ලලනාවන් ගැන ගී ලියා ඇත්තේ බණ්ඩාර යන නම් ඇති අය බව ලිඛිතවම සදහන් කරමින්ය.තවත් බණ්ඩාර කෙනෙකු වන පී බී ජයසුන්දර ජනාධිපති ලේකම් තුමා රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත පිටු ගණනාවක උපදෙස් පත්‍රිකාවක් යවමින් සීනි ,කිරිපිටි ,ටින්මාළු,පලතුරු,පාම් තෙල්  ඇතුළු වසරකට ඩොලර් මිලියන 2000 ක  ආනයනයන් සීමාකිරීමට විශිෂ්ඨ උපදෙස් පත්‍රිකාවක් යවා තිබේ. ඒ දේශීය නිෂ්පාදනය ඉහල දැමීමේ මුලික පියවර ආනයන සීමාකිරීම බව ආර්ථිකය කඩාවැටුණු පසු හෝ තේරුම්ගෙන ඇති බැවිනි .රජයේ සේවකයින්ගේ මසක වැටුප ආනයන සීමා කර කෘෂිකර්මක්ෂේත්‍රයෙන් තනිවම ලබාගත හැකි බව සමාජ මාධ්‍ය හරහා අප එතුමාට පෙන්වා දුන්නෙමු. එතුමාගේ විශිෂ්ඨ නියෝගයට  අපගේ ගෞරවය පුදකර සිටිමු .එහෙත් පුදුමයකට නම් එහි පාන් පිටි ආනයනය මා පෙර කී රටවල්වල තත්වයට සීමා කිරීමටවත් වචනයක   උපදෙසක් එහි නැත..ආර්ථික  පුනර්ජීවනය පිලිබදව ජනාධිපති කාර්යසාදන කමිටුවෙන් පැනවූ සහල් පාලන මිලේ තිරිගු පිටිවලට අභියෝගයක් එල්ලකල පොල්ගහවෙල ප්‍රදේශය ඇතුළු රට පුරා ඇති සහල් පිටි කර්මාන්තකරුවන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන රටේ 50% ක් පරිභෝජනය වන කැකුළු සහල් සඳහා පාලන මිලක් (යහපාලන ආණ්ඩුවේ වූ  පරිදිම)  නැත.පාන් පිටි කොම්පැනි කොතරම් දක්ෂ දැයි මෙයින් මොනවට පැහැදිලි වේ. හුස්ම හිරවී මැරෙන්නට ආසන්න මොහොතේ පවා පාන් පිටි කොම්පැනිය අත් හැරීමට අපේ අය කැමති නැත .

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය යනු රටේ වැඩියෙන්ම උගතුන් සිටින ක්ෂේත්‍රයයි .කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කොරිඩෝවක මිනිත්තුවක් අවිද්දහොත් ඉහලම උගතුන් හතරක් පහක් ඇගේ හැප්පෙන්නේය. එහෙත් කෘෂිකර්මය බල්ලට වැටී ඇත.එයට අපනයනය තියා රටට අවශ්‍ය ආහාරටිකවත් නිපදවීමට බැරිය .ගොවියෙකුගේ මාසික අදායම රු 16000 ක් යයි කියනු ලැබේ .ඩොලර් මිලියන 2000 ක කෑම පමණක් ආනයනය කරයි.පාම් තෙල්ම ටොන් 250,000ක් ආනයනය කරයි .රටේ පොල් ඉඩම් අක්කර මිලියන 11ක්.පොල් ගස් මිලියන 77ක් තිබිය යුතුය .තිබෙන්නේ මිලියන 40 කි .පාලු හිටවා ගැනීමටත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට මොලයක් නැත්තේ මොලය  පාම් තෙල් කොම්පැනියට විකුණා ඇති නිසාය.රට වටේ එල්ලා ඇත්තේ පිටරට පලතුරුය .අපි වැනි රටවල් ධීවර නිශ්පාදන පමණක් ඩොලර් මිලියන හාර පන්දාහක අපනයනය කරද්දී අපි කන්නේ රටින් එන  ටින් මාලුය .කෘෂිකර්ම ලොක්කන් කරන  කරන ලොකුම වැඩේ එකම ජාතියක ඇට පැකට් ටිකක් තැපැල් කිරීමය .එක ගෙදරක මිරිස් ගස් 25ක් හදා ගත්තොත් අනෙක් නිෂ්පාදනය සමග මුළු අවශ්‍යතාවය සපුරා ගත හැක .එහෙම එකකටවත් මොලයක් නැත.දැන් කුඹුරුවල අතුරු බෝග වගා කිරීමට යෝජනා කරයි.වගා නොකරන ලද මිලියන ගණනක් වූ අක්කර ගණන සංවර්ධනය කිරීමට යෝජනා කිරීමට තරම් මොලයක් නැත.උක් ගස් වැවීමට කැලා කපීමටම ඕනෑ යයි කියයි.ආසියාවේ උගත් කමට සාපේක්ෂව දුර්වලම කෘෂිකර්මය ඇති රට ලංකාවය .

ඉහලම කෘෂිකර්ම උගතුන්   මාස 15කට වී ඇති බව කියන්නේ කාගේ උවමනාවටද , ඔවුන්  ලබාගත් දක්ත කුමක්ද ,අතුරු බෝග වගා කිරීමට කුඹුරු හැර වෙන ඉඩම් නැතිද ,ශ්‍රී ලංකාවට පාන් පිටි වෙනත් වී නිපදවන රටකට වඩා ගේන්නේ නැද්ද ? පාන් පිටි මෙපමණ ගෙන  ගෙන එන තාක්කල් රට සහලින් ස්වයන්පෝෂිතද ?

ඇතැම් නුතන උගත් බණ්ඩාරලා පරණවිතාන කියන  පරපුරේ නොවන බව පෙනේ.කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සැසදීමේදී වෙනසක් නොපෙනේ.

කොමිස් කුට්ටි දේශපාලනයෙන් ගැලවී රට නිවැරදි මගට ගැනීමට ජනාධිපතිතුමා වෙර දරන බව පෙනේ.එතුමාගේ සහ රටේ වාසනාවට ක්‍රිකට් පාලක මණ්ඩලය නැටීමට ගිය නාඩගම මහේල ජයවර්ධනලාගේ පිහිටෙන් නවත්වා ගැනීමට හැකිවිය

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයටද  මහේල ජයවර්ධනලා ඕනෑ කර තිබේ.

අරුණ කාන්ත බණ්ඩාර
කළමණාකාර අධ්‍යක්ෂක
හෙල්දිෆ්ලා කර්මාන්ත ශාලාව

http://www.facebook.com/healthyfla



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More