Uncategorized

සමස්ත ලෝකවාසී ජනයාහට කෝවිඩ් – 19 පිළිබඳ දැන් යම් අස්වැසිල්ලක් ලැබී ඇත. එයට හේතුව අසාදිතයන් සංඛ්‍යාව සහ මියයන්නන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩුව යෑමත්ය. අද වන විට මෙම වසංගතය ආසාදනය වූ ලෝක මානව ප්‍රජාව මිලියන 4.7 සීමාවේ පවතින අතර මියගොස් ඇති සංඛ්‍යාව ලක්‍ෂ 3 ආසන්නයේම පවතී. ශ්‍රී ලංකාව තුළ ආසාදිතයන් සංඛ්‍යාව මැයි මස 16 වන විට 960 දක්වා වැඩි වී ඇති අතර ඊයේ දිනයේ දී එයට එක් වී ඇත්තේ 25 දෙනකු පමණි. මේ අනුව අපට දැඩි ආඩම්බරයක් සමස්ත ජාතියක් ලෙස ළඟා වනු ඇත. මෙම තත්ත්වය අපට අත්කර දුන්නේ කවරෙක්ද? ඒ වෙන කෙනකුන් නොව අපගේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා ඔහුගේ අනුගාමිකයන් විසින් සිදු කළ මෙහෙයුමේ ප්‍රතිඵලයකි.

ජනාධිපති ධූරයේ වැඩ භාරගෙන ඉතාමත් කෙටි කලකින්ම ඔහුට සිදුවූයේ තිස් වසරක යුද්ධයෙන් ජයගැනීමට මෙහෙය වූ සංග්‍රාමය ජීවීන් හා අජීවීන් අතර ජීවත් වන අන්වීක්ෂීය ජීවියකු වෙනුවෙන් ක්‍රියාත්මක කර ඔහුගේ අණසක නැවත වතාවක් පතුරවාලීමටය. දැන් එයද ඉතා සාර්ථක යැයි අප සියල්ලටම වැටහෙනු ඇත. නමුත් දැන් රජයක් ලෙස එතුමාට මෙන්ම සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව වන අපටත් නැවත වතාවක් ඉතාමත් නුදුරේදී ස්වභාවික ව්‍යසනයක් සමඟ ඔට්ටු වීමට කාලය එළඹෙනු ඇත. ඒ වෙන කිසිවක් නොව ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර තර්ජනයයි.

ශ්‍රී ලංකාවේ ජල උපයෝජ්‍යතාව

ශ්‍රී ලංකාව ස්වභාවික ජල පද්ධති රාශියකින් පෝෂණය වන භූමියක් වේ. එය අපට ලැබුණු ස්වභාවිකව සම්පත්වලින් වැදගත්ම අවස්ථාවයි. ජලය නොමැතිව කිසිම ජීවියකුට මිහිමඬල මත ජීවත්විය නොහැක. වසර මිලියන 4600ට ප්‍රථම පෘථිවිය සම්භවය වීමත් සමඟම පෘථිවි වායුගෝලයේ තිබූ ජලවාෂ්ප ඝනීභවනයෙන් වර්ෂාව ඇතිවූවත් වසර මිලියන 3500 ක් පමණ වන තෙක් එම වර්ෂා ජලය පෘථිවි පෘෂ්ඨයට ළඟාවූයේ නැත. එයට හේතුව ආරම්භක පෘථිවියේ තිබූ අධික උෂ්ණත්වයයි. නමුත් වසර මිලියන 3500 ක් පමණ වන විට එය ක්‍රමානුකූලව සිසිල් වී වර්ෂා ජලය පොළොව මතට පතිත වී සාගර නිර්මාණය සිදුවිය. එකල පෘථිවි තලයට ඇදහැලුණු එම වර්ෂා ජලයත් සමඟ පෘථිවි වායුගෝලයේ පැවති විවිධ වායු වර්ග සාගර පරිසර පද්ධති තුළට එක්වී සාගර තුළ ඒවා ප්‍රතික්‍රියා කර පෘථිවියේ ප්‍රථම ජීවය ආරම්භ විය. එතැන් පටන් ක්‍රමානුකූලව විවිධ යුගවලදී පෘථිවි තලය මත විවිධ ජීවී ආකාර, සම්භවය හා පරිණාමය සිදුවිය.

ස්වභාවික ගංගා ඇළ දොළ 103 කින් පෝෂණය වන අපගේ ජල පද්ධතීන්ගේ ආරම්භය උස් භූමි තුළින් සිදුවන අතර එය රට පුරා අරිය ලෙස විහිදී සමස්ත භූමි ප්‍රදේශයෙන් 90% ක ප්‍රමාණයක් ආවරණය කරමින් ගලා යයි. ඉන් ප්‍රධානම ගංගා හතර වන මහවැලි, කැලණි, වළවේ හා කළු ගංගාවන් බෞද්ධ අපගේ මුදුන් මල්කඩක් වූ අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපත්ල පිහිටුවා ඇති සමනළ කන්දෙන් ආරම්භ වේ. ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟ මඟින් වියළි කලාපයෙන් හා තෙත් කලාපයෙන් 16% ක භූමි ප්‍රදේශයක් ආවරණය කරනු ලබයි.

දේශගුණය අනුව ශ්‍රීලංකාවේ විවිධ කලාපවලට ලැබෙන වාර්ෂික වර්ෂාපතනය විවිධ වන අතර ඒ ඒ වර්ෂාපතනයන්ට අනුකූල වන පරිදි එම ප්‍රදේශයන් තුළ පරිසර පද්ධති නිර්මාණය වී ඇත. නමුත් මෙසේ කෙතරම් විශාල භූමි ප්‍රදේශයක් ජලය මඟින් පෝෂණය වූවද ශ්‍රීලංකාවේ දිස්ත්‍රික්ක 25 න් 14 කම වෙසෙන ජනයාගෙන් තුනෙන් පංගුවකට බීමට සුදුසු ආරක්‍ෂිත ජලය ලබාගැනීමේ මාර්ගයක් නොමැති බවද අප දැනගත යුතු නොවේද? එසේ නම් අප ජල කළමනාකරණය නිවැරදිව නොකළහොත් අනාගතයේදී අපට කෙබඳු ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත්ද යන්න සිතා බැලිය යුතුය.

ජල අර්බුදය

අනෙකුත් ග්‍රහලෝක සමඟ සසඳන විට පෘථිවි ග්‍රහයා නිල් පැහැයෙන් දිස්වනුයේ එය මත බහුලවම ජලය අඩංගු වන බැවිනි. එනම් එම ජලය සාගර, ගංගා, ඇළදොළ හා ග්ලැසියර්ස් ලෙස හඳුනාගත හැක. නමුත් මේ තරම් විශාල ජලස්කන්ධයක් පෘථිවි ග්‍රහයා මත පැවතුණද, නුදුරු අනාගතයේ දී සමස්ත ලෝකවාසී ජනතාවට පෘථිවිය මත පානීය ජල අර්බුදයක් ඇතිවනු බවට හේතු සාධක පවතී. සජීවීන්ගේ පැවැත්ම සඳහා ජලය අත්‍යාවශ්‍ය සංඝටකයක් වනවා ඇත.

එනම් එම ජීවීන්ගේ අන්තර්ගත ද්‍රව්‍යයන්ගේ වැඩි ප්‍රතිශතයක් අඩංගු වන්නේ ජලයයි. මිනිස් සිරුර තුළ 60% – 80% දක්වාද, භෞමික ශාකවල 50% – 75% දක්වා ද වූ ජල ප්‍රතිශතයක් අඩංගු වනවා ඇත. පෘථිවියේ ඇති සමස්ත ජල ප්‍රමාණයෙන් 97% ක් ම ලවණ 3.3% – 3.5% අඩංගු කරදිය වේ. එය පිරියම් කිරීමකින් තොරව අපට භාවිතයට ගත නොහැක. ඉතිරි 3% න් වැඩි කොටසක් ධ්‍රැවාසන්න ප්‍රදේශයන්ගේ හිම ලෙස පවතී. මේ අනුව මිනිසාට ප්‍රයෝජනයට ගත හැකි වන්නේ ගංගා, ඇළදොළ හා වෙනත් අභ්‍යන්තර ජල සංචායකයන් තුළ ඇති ජලයෙන් 0.003% ක ප්‍රමාණයකි. එම ජලය ද පෘථිවිය මත සමව ව්‍යාප්ත වී නැත.

පහත වගුව මඟින් කාර්මික හා කෘෂිකාර්මික ක්‍රියාවලි සඳහා භාවිත කරන සාමාන්‍යය ජල ප්‍රමාණය දක්වා ඇත.

එම වගුවට අනුව පැහැදිලි වන කරුණක් වන්නේ ජලය මිනිසාගේ පැවැත්ම සඳහා විවිධාකාරයෙන් වැදගත් වන විශේෂ අවශ්‍යතාවයක් බවය. එසේ ප්‍රයෝජනයට ගනු ලබන ජලයේ ගුණාත්මක තත්ත්වයද නිවැ‍රැදිව තිබිය යුතුය. එනම් ජලයේ වර්ණය, ගන්ධය, රසය, උෂ්ණත්වය, ද්‍රාව්‍ය O2, අකාබණික ද්‍රව්‍යය, pH අගය හා BOD (ජෛවිය ඔක්සිජන් ඉල්ලුම) අගය නිවැරදිව පැවතිය යුතුය. සමස්තයක් ලෙස ගත් කළ එක් දිනකට ලීටර 50 ක පමණ ජල ප්‍රමාණයක් මත යැපෙන පුද්ගලයින් සංඛ්‍යාව ලෝක ජනගහනයෙන් බිලියන 3.5 ක් පමණ වේ. නමුත් ලක්‍ෂ සංඛ්‍යාත ජනයාට පිරිසුදු ජලය ලබා ගැනීමට නොහැකි වී විවිධ ලෙඩ රෝගවලට ලක්වී දිනපතා මිය යන්නන් අතිවිශාල සංඛ්‍යාවක් ඇති බවද නොරහසකි. ලෝකයේ එසේ දිනකට මිය යන ළමුන් සංඛ්‍යාව 4,000 ක් පමණ වන අතර එය අපිරිසුදු ජලයෙහි ප්‍රතිඵල වේ. එසේම වර්ෂයකට මිලියන 5 ක පමණ ජනකායක් අනාරක්‍ෂිත ජල පානය නිසා විවිධ ජලාශ්‍රිත රෝගයන්ගෙන් මිය යනු ඇත.

ජල අර්බුදයට හේතු

සංවර්ධනය වන රටවල ශීඝ්‍ර ජනගහන වර්ධනය හා සැලසුම් නොකළ සංවර්ධන ක්‍රියාදාම නිසා මිනිසාට ප්‍රයෝජනයට ගත හැකි පානීය ජල ප්‍රමාණය අඩු වීමෙන් ප්‍රශ්න රැසක් ඉදිරියේදී ඇතිවනු ඇත. ලෝක ජල අර්බුදයට ප්‍රධාන හේතු කිහිපයක් ලෙස,

*භූගත ජලය අනවශ්‍ය ලෙස ප්‍රයෝජනයට ගැනීම නිසා නැවත භූගත ජලය එකතු වීමට ගතවන කාලය වැඩිවීම

*පෘථිවිය මත වන වැස්ම ශීඝ්‍රයෙන් ඉවත්වීම නිසා ස්වභාවික ජල උල්පත් සිදීයෑම

*මලපහ පානීය ජලයට එකතු වීම

*කාර්මික අපසන්ධනයන් මඟින් එකතු වන අපද්‍රව්‍ය හා බැර ලෝහ මඟින් යනාදිය දැක්විය හැක.

මෙම ජල අර්බුදය නිසා මැක්සිකෝව, කොන්ගෝ, පකිස්ථානය, බූතානය, ගානා, නේපාලය හා කාම්බෝදියාව යන රටවල් බහුලවම බෝතල් කළ ජලය පානය කරන රටවල් බවට පත්ව ඇත. පැපුවා නිව්ගිනියාව හා උගන්ඩාව පිරිසුදු ජලය දුලබම රටවල් අතර ප්‍රමුඛස්ථානයක් ගනී.

මේ වන විට අප්‍රිකාවේ ඊසාන දිග කොටසේ ඇති ඉතියෝපියාව දරුණු නියඟයකට ගොදුරු වී ඇත. ඊජිප්තුව හා සූඩානය නයිල් නදිය ප්‍රයෝජනයට ගැනීම නිසා ඉතියෝපියාවට එය හැරවීම සඳහා එම රටවල් දෙක විරෝධතාවයක් දැක්වීමෙන් ඉතියෝපියාවේ ජල අර්බුදයට පිළියම් සොයාගැනීමට නොහැකි වී ඇත. එසේම ඉන්දියාව හා බංග්ලාදේශය අතර ගංගා නම් නදියේ ජල පරිභෝජනයට මතවාද පැවතීම ඉන්දියානු ප්‍රාන්ත දෙකක් අතර හටගත් කෝවරි නදියේ ජල පාරිභෝජනය පිළිබඳ මතවාද, හා නැඟෙනහිර යුරෝපයේ, පෝලන්තයේ ගංගාවලින් 1/3, දැනටමත් ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබීම මෑතකාලීනව මෙම ජල අර්බුදය කෙතරම් දුරට උග්‍ර වී ඇති බවට පැහැදිලි වනු ඇත.

මේ අනුව පැහැදිලි වන්නේ නුදුරු අනාගතයේදී ජල අර්බුදයෙන් පෙළෙන මිනිසා ඔවුනොවුන් අතර ජලය සඳහා කාකොටා ගන්නා දිනය වැඩි ඈතක නොවනු බවය. එයට හේතුව සමස්ත සම්පත් අතර ජල සම්පත මිනිසාගේ අවශ්‍යතාවයන් සපුරාලීමට ප්‍රමාණවත් වුවද ප්‍රයෝගිකව ගත් කළ ඉල්ලුමට සාපේක්‍ෂව ජලය හිඟ සම්පතක් බවට පත්ව පැවැතීම දැක්විය හැක. එසේ නම් මෙම ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමට නම් කවුරුන් හෝ පිරිවැයක් දැරිය යුතුය. අද වන විට එම පිරිවැය රජය විසින් දරනවා ඇත. ඒ සඳහා ජල පාරිභෝජනයට මහජනතාව ලෙස අපද මුදල් වැය කළ යුතුය.

එසේ මුදල් වැය කර වුවද අප එම පානීය ජලය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් අපට වන්නේ උග්‍ර ජල හිඟයකට ඉතාමත්ම ඉක්මනින් මුහුණ දීමටය. ජලය ආර්ථික භාණ්ඩයක් ලෙසද මේ අනුව සැලකිය හැක. සත්‍යය වශයෙන්ම භූගත ජල නිධිවල මායිම් ඒවායේ මතුපිට ජීවත්වන්නන්ගේ පිහිටි දේපළවල මායිම් නොවනු ඇත. ඒ අනුව සලකන විට මෙම භූගත ජලයට අප කාටත් අයිතිවාසිකම් කිව නොහැක. සිදු කළ යුත්තේ එය අරපිරිමැස්මෙන් ප්‍රයෝජනයට ගැනීමය. එයයි අප සෞභාග්‍යයේ දැක්මට දක්වනු ලබන සහයෝගය වන්නේ.

ස්වභාවික ජල කළමනාකරණයේ ඉතිහාසය

ක්‍රි.ව. 1153 දී පරාක්‍රමබාහු රජතුමා විසින් අහසින් වැටෙන එක් ජල බිඳුවක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලායෑමට ඉඩනොදිය යුතුයැයි කරන ලද ප්‍රකාශය එකල පැවති වාරිමාර්ග පද්ධති පිළිබඳ සැලකීමේදී මනාව පැහැදිලි වනු ඇත. අතීතයේ දී ලාංකිකයන් විසින් කෘෂිකාර්මික ජීවන රටාවන් සඳහා කුඩා පරිමාණයේ වාරිමාර්ග පද්ධති ඔවුන්ගේ පෞද්ගලික භූමි භාග ආශ්‍රයෙන් තනා ගැනීමට පෙළඹී ඇත. මුලින්ම මෙම ගොවිතැන් ක්‍රමය වැසි ජලයෙන් ආරම්භ වූ හේන් ගොවිතැන් සංකල්පයක් වන අතර පසුකාලීනව එය කුඩා වාරි මාර්ග දක්වා ව්‍යාප්ත විය. එකල ඇරඹි එම කුඩා වාරිමාර්ග පද්ධතින් පසුව මහා පරිමාණ වාරිමාර්ග යෝජනා ක්‍රම බවට පත් විය.

මූලිකවම මානවයන් දඩයක්කාරයන් හා රැස්කරන්නන් ලෙස දිවි පෙවෙතක් ගෙවුවද පසුකාලීනව ඔවුන් ගල් යුගය තුළ ඉදිරියට ගමන් ගැනීමත් සමඟම ඔවුන්ගේ තාක්‍ෂණික ඥානය වැඩි දියුණු වී නියොලිතිකය හෙවත් නව ශිලා යුගය තුළ ගෘහස්ථකරණය හා කෘෂිකර්මාන්තය ආරම්භ විය. එය ආරම්භයත් සමඟම කිසිම පෞද්ගලික භූමි භාගයකට හිමිකම් නොකී මානවයන් ක්‍රම-ක්‍රමයෙන් තම තමන්ගේ සීමා ලකුණු කරගනිමින් භූමි ප්‍රදේශයන් වෙන්කර ගැනීම ආරම්භ කරන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ වගා භූමින් හරහා යම් සීමා දක්වා ඉතා දුර ප්‍රදේශයන් කරා ජලය ගෙන යෑමේදී මෙම වාරිමාර්ග පද්ධතීන්ගේ ජල බෙදාහැරීම පිළිබඳ දැනුවත් වීමට හා ඒවා නිවැරදි නිරවුල්ව ලබාදීම සඳහා කාර්යක්‍ෂම පාලනයක අවශ්‍යතාවයක් මතු වූ කළ ප්‍රාදේශීය නායකයන්ගේ අවශ්‍යතාවය පැන නැගී ඇත. එහිදී සුක්‍ෂම ජලධාරා පදනම් කරගත් වාරිමාර්ග රටාවලදී රොන්මඩ එකතු වීම වළක්වනු පිණිසත්, අවශ්‍ය ජල ප්‍රමාණය රඳවා ගැනීමටත් දියබෙත්ම පෙදෙස් ඉතා කාර්යක්‍ෂමව පාලනය සඳහාත් එම නායකත්වය වැදගත් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස කුඩා වැව් සංවර්ධනය වීම ආරම්භ විය. එහිදී එකල කාර්යක්‍ෂම, ජල භාවිතයකට ඉඩ සැලසිණි.

එහිදී ජල කළමනාකරණය ඉතා හොඳින් ක්‍රියාත්මක කරවීම සඳහා හෙල්මලු ක්‍රමයට වගා කරනු ලබන කුඹුරුවලට ඉහළ කුඹුරුවලින් පිටාර යන ජලය පහත් බිමේ කුඹුරු සඳහා යළිත් භාවිත කරනු හැකිවන පරිදි එම ජලය පහළින් පිහිටි වැවකට ගලා යෑමට හැකිවන පරිදි සකස් කරන ලදී. එසේම එම වැව්වල වැව් බැම්ම, සොරොව්ව යනාදිය නියමිත ප්‍රමිතිකරණයකට අනුව පාලනය කිරීමෙන් එම ප්‍රදේශයේ සිටින සියලුම ගොවියන්ගේ වගා ජල අවශ්‍යතාවය සඳහා ජලය ලබා දුනි. කලා වැවේ සිට අනුරාධපුර සියලුම වැව්වලට 87 km දුරක් ජලය රැගෙන යෑමට සකසන ලද ජය ගඟ එවැනි වාරි මාර්ග තාක්‍ෂණයේ උපයෝගීතාවයන් යැයි පැවසිය හැක. ශ්‍රීලංකාවේ රජකම් කළ වසභ (ක්‍රි.ව. 67-111), මහසෙන් (ක්‍රි.ව. 276-303), ධාතුසේන (ක්‍රි.ව. 455 – දෙවන අග්බෝ (ක්‍රි.ව. 575-608) යනාදි රජවරුන් එකල අප රට තුළ වැව් හා වාරිමාර්ග රටා රාශියක් ඇති කරවීමට දායක විය.

මහා කන්නය හා යල කන්නය

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය ප්‍රාදේශීයව 9000 mm සිට 5000 mm දක්වා පරාසයක වෙනස් වේ. මැයි මස සිට සැප්තැම්බර් දක්වා නිරිතදිග මෝසම් සුළඟින්ද, නොවැම්බර් සිට මාර්තු දක්වා ඊසාන දිග මෝසම් සුළඟින්ද වැසි ඇති වේ. එසේම අප්‍රේල් – මැයි දක්වාත්, සැප්තැම්බර් ඔක්තෝම්බර් දක්වාත් ඇති වුණ අන්තර් මෝසම් වැසි මඟින්ද අභ්‍යන්තර ජලාශ පිරියෑම සිදුවේ. පෙර රජ කල සිට අද දක්වා අපගේ කෘෂිකාර්මික අවශ්‍යතාවයන් සඳහා අප යොදාගත්තේ මෙම කාල වකවානු තුළදී ඇති වන වැසි ජලයයි. ඒ අනුව අපි කන්න දෙකක් ඉතා හොඳින් අපගේ වී ගොවිතැන හා ඒ ආශ‍්‍රිත වගාවන් සිදුකරනු ලැබීය.

අතීතයේදී අපට මෙම වැසි ජලය වටිනා සම්පතක් විය. එය කිසි විටෙක අපට තර්ජනයක් හෝ පීඩාවක් බවට පත් නොවීය. මන්ද එම වැසි නිසි කලට, නිසි වේලාවට ලැබුණු නමුත් අද වන විට අත්වී ඇති පරිසර දූෂණ තත්ත්වය හමුවේ මෙම වැසි නිසි කලට නිසි වේලාවට නොලැබේ. එසේ ලැබුණද ඒවා අප බලාපොරොත්තු වන ප්‍රමාණය ඉක්මවා ලැබෙනු ඇත. ඒවා ප්‍රධානකොටම කාලගුණික රටාවේ අන්තයන්වල ප්‍රතිඵල වී ඇත. එමඟින් ශ්‍රීලංකාවේ ආර්ථික හා සමාජ ජීවිතය නිරන්තයෙන්ම තර්ජනයට ලක් කරවයි. එකලදී වර්ෂා ජලය බැස යෑමට නියමිත පරිදි සැකසුණු අපගේ වාරි මාර්ග පද්ධතිය වැදගත් මෙහෙයක් ඉටුකරනු ලැබීය.

නමුත් නූතන මානව ක්‍රියාකාරකම් මඟින් අපගේ පැ‍රැණි වාරිමාර්ග පද්ධති විනාශ වී යෑම පහත් බිම් විශාල වශයෙන් ගොඩකිරිම වැනි ක්‍රියාකාරකම් ම‍ඟින් ජලය නිසි ලෙස ගලා යෑමට හා භූගත ජල පද්ධතියට එකතු වීමට නොහැකි වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ජලය භූතලය මත රැඳීමත්, මෝය කට ආශ්‍රිතව දූෂිත ද්‍රව්‍යය ඒකරාශි වීමෙන් ඒවා ඔස්සේ ජලය නිසි ලෙස මුහුදට ගලා නොයෑමත්, නිසා ගංගාවලින් ජලය පිටාර යෑම හෙවත් ගංවතුර තර්ජනයන් ඇතිවනු ඇත. සෑම වර්ෂයකම මෙම තත්ත්වයට අපට මුහුණදීමට සිදුව ඇත. එසේ නම් දැන් අප කුමක් කළ යුතුව ඇත්ද?

එල්නිනෝ (Elnino)

අදින් වසර 50 කට පමණ පෙර විද්‍යාඥයින් විශ්වාස කරන ලද්දේ සාගර සංසරණන් (Ocean Circulation) ස්ථාවරව පවතින බවය. නමුත් නවතම මතය අනුව පැහැදිලි වන්නේ මෙම මූලික සංසරණ ව්‍යුහය යම් ප්‍රමාණයකට ගෝලීය උණුසුම අනුව වෙනස් වන බවය. එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය සාගර වායු සංසරණ රටාව වෙනස්වීමෙන් නැඟෙනහිර දිශාවට (දකුණු ඇමරිකාව දෙසට) ගමන් ගැනීමත් බහුලවම හඳුනාගත හැක. එල්නිනෝ මඟින් දකුණු පැසිපික් ප්‍රදේශයේ ජලයේ උණුසුම් වීම සෑම අවුරුදු 2-7 ත් අතරම සිදුවීම නිසා ලෝකයේ කාලගුණයට බලපෑම් එල්ල වේ. මෙම ක්‍රියාවලිය ප්‍රථමයෙන්ම 1972 – 1973 හා 1982, 1997 යන වර්ෂවලදී ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස පැසිෆික් සාගරය තුළ මත්ස්‍යය නිෂ්පාදනය 1997 දී ඉතාමත්ම දරුණු ලෙස අඩුවිය. එය 1996 මත්ස්‍ය නිෂ්පාදනය සමඟ සසඳන විට 70% ක අඩුවීමකි.

එල්නිනෝ නිසා පැනමා ඇළේ ජල ප්‍රමාණය 25% දක්වා අඩුවීම, උතුරු බ්‍රසීලය අධික නියඟයකට හසුවීම, චිලී රටේ කාන්තාරවල මල් පිපීම, දකුණු බ්‍රසීලයට ගංවතුර තර්ජන, රියෝ ද ජෙනයිරෝ වෙරළ සෝදාගෙන යෑම, දකුණු අප්‍රිකාවේ මිනිසුන් 25% නියඟයෙන් පීඩා විඳීම, ඕස්ට්‍රේලියාවේ බටහිර ප්‍රදේශයට අසාමාන්‍ය වැසි ඇතිවීම, පිලිපීනයේ වී හා පොල් වගාවට තර්ජන ඇතිවීම, සමහර ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යෑම, අඩු වර්ෂාපතනයක් ඇතිවීම හා අධික වර්ෂාපතනයන් ඇතිවීම සිදු වේ. ලංකාවටද මෙම ගෝලීය උණුසුම නිසා ඇතිවන අහිතකර තත්ත්වයන්ට නිරන්තරයෙන්ම මුහුණ දීමට සිදුවනු ඇත.

සෞභාග්‍යයේ දැක්ම හා ජල කළමනාකරණය

එවකට ශ්‍රීලංකාවේ ආරක්‍ෂක ලේකම්ව සිටි ගරු ගෝඨාභය මැතිඳුන් විසින් අධික වර්ෂාව නිසා ඇතිවිය හැකි මෙවන් ජලගැලීම් සඳහා පිළියම් යෙදීමට ආරම්භ කරන ලදැයි පැවසුවහොත් එය නිවැරදිය. ඔහු විසින් එකල ආරම්භ කරන ලද අපගේ ජලාශ පිළිසකර කරවීම, එම ජලාශ පතුල් ශුද්ධ පවිත්‍ර කර එහි ගැඹුර වැඩිකරවීම, හැකිතාක් දුරට ජලාශ ඒකරාශී කර එකිනෙකට සම්බන්ධ කරවීම වැනි ක්‍රියාමාර්ග මඟින් ඇතිවිය හැකි ජල තර්ජනවලට අද අපට යම් ප්‍රමාණයකට මුහුණ දීමට හැකියාව ලැබී ඇත.

එසේම අප විසින් භාවිත කර අපතේ යවනු ලබන අපවිත්‍ර ජලය ද ඉදිරියේ දී පිළිසකර කර නැවතත් වගා භූමි සඳහා යොදා ගැනීමටත්, පාසැල් පද්ධති තුළ එකතු වන එවැනි ජලය එනම්, වැසිකිළි ජලය ද ඇතුළත්ව නිසි කළමනාකරණයක් යටතේ ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් පාසල්වල ගෙවතු වගාවන් පෝෂණය කළ හැක. එසේම වාහන සේවා ස්ථානවලින් අධික ලෙස අපතේ යන ජලය පිළිබඳ ද යම් ක්‍රමානුකූල ප්‍රතිපත්තියක් සැකසිය යුතුව ඇත. සෞභාග්‍යයේ දැක්ම තුළින් අපට තවදුරටත් එම ක්‍රියාවලිවලට අනුගත වෙමින් සශ්‍රීක ශ්‍රීලංකාවක් කරා ළඟාවීමට අපට හැකිවනු ඇත. ඒ සඳහා අප සැවොම එකාවන්ව සෞභාග්‍යයේ දැක්ම සමඟ අත්වැල් බැඳගමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More