මේක මම ලියන්න හිතුවේ අද හුඟක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන්. ඒ ප්‍රශ්නය තමයි ඇයි සෝවියට් දේශය කඩා වැටුණේ කියලා. එක එක්කෙනා නොයෙකුත් හේතු කියනවා, විශේෂයෙන්ම ඒ රටට පය ගහපු නැති කට්ටියක් මේක ගැන නොයෙකුත් අදහස් දක්වනවා. මම මේ රටේ අවුරුදු අටක් හිටියා, මගේ නෝනා අවුරුදු 12ක්, මේ ඉන්න කාලෙ තමයි මේ මහ දැවැන්ත ක්‍රමය කඩාගෙන වැටුණේ. කාටත් තේරෙන විදිහට සරල භාෂාවෙන් මම දැක්ක දේ මම කියන්නම්. මේක මම දැක්ක සහ අත්විඳපු දේ මිසක් වෙන කාගෙවත් අදහසක් නෙමෙයි.
සෝවියට් දේශය හැදිල තිබුනෙ ප්‍රාන්ත රාජ්‍ය 15කින්, ඒකෙන් ප්‍රධාන තැනක් ගත්තේ රුසියාව. ලෙනින්ගෙ කාලේ ඉඳලා ඉතිහාසයට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක හැදිච්ච හැටි ගැන කියන්න, නමුත් ඔක්තෝම්බර් විප්ලවය වෙන අවස්ථාව වෙනකොට රුසියාව අන්ත දුප්පත් රටක්. ජීවන මට්ටම, අධ්‍යාපන මට්ටම සහ අනිකුත් සමාජ සාධක හුඟක් පහළ මට්ටමින් තිබුණේ. මේ කාරණාව මුල් කරගෙන තමයි ලෙනින්ලා 1917 විප්ලවය කරේ, ඒගොල්ලන්ගෙ පලවෙනි පස් අවුරුදු සැලැස්ම, දෙවෙනි, තුන්වෙනි විතර වෙනකොට ඒගොල්ලො හිටිය දුප්පත්කමෙන් හුඟාක් ඈත් වුණා, රටේ මිනිස්සුන්ට ඇතිවෙන්න කන්න බොන්න තිබුනා, සාක්ෂරතාවය සියයට අනූව පැන්නා, ප්‍රධාන අරමුණක් වුන මුළු රටටම විදුලි බලය කියන එකේ සෑහෙන ප්‍රමාණයක් ඒගොල්ලො ළඟා කර ගත්තා. ලෙනින්ගෙ ප්‍රධාන දැක්මක් තිබුණා සෝවියට් හැම ුරවැසියෙකුටම අධ්‍යාපනය දිය යුතුයි කියන එක, ඒගොල්ලො ඒකටත් සෑහෙන්න වැඩ කටයුතු කරා.
අවාසනාවකට 1941 මේගොල්ලෝ දෙවන ලෝක යුද්ධයත් එක්ක පැටලෙනවා, රටේ සංවර්ධනය කෙසේ වෙතත් මිලියන විසි හතක් ( සංඛ්‍යාලේඛන අනුව එහෙම උනාට මිලියන 30ක් කියලත් කියනවා ) මේ යුද්ධෙන් මැරුණා. රටේ ශ්‍රම බලකාය තමයි මේ විදිහට නැති වෙලා ගියේ. ඒත් ඒ ගොල්ලෝ අතාරින්නෙ නැතුව හැටේ දශකය වෙනකොට ලෝකේ අනිත් රටවල් වලට වඩා ඉදිරියෙන් හිටියා. ඒ කාලේ රුසියාවේ නිෂ්පාදිත දේවලුත් බටහිර සමාජයේ නිෂ්පාදනය කරපු දේවලුත් සංසන්දනය කරලා බැලුවම ඒක හොඳට පේනවා. 1917 එහි කන්න වත් නැතුව හිටිය ජාතියක් 1961 එකේ මුලින්ම මිනිහෙක්ව අභ්‍යවකාශයටත් යවනවා. මේකත් එක්කම තමයි මේ ගොල්ලන්ගේ පසුබෑම පටන් ගන්නේ, ඒගොල්ලො මම දකින විදියට අධිතක්සේරුවකට ගියා.
හැටේ දශකයේ අන්තිම හරියෙ සාමාන්‍යය ජනතාව වෙනුවෙන් නිෂ්පාදනය කරපු දේවල් 70 දශකයේ මුල් භාගයේ වෙනසක් නැතුව එහෙමම තිබුණා. පාරිභෝගික භාණ්ඩ වල තත්වය සහ ඒවා ව ල ක්‍රියාකාරිත්වය ඉහළට නංවන්න තිබුන අවශ්‍යතාව ක්‍රමයෙන් නැති වෙලා ගියා, ඒකට ප්‍රධාන හේතුවක් වුණේ තරඟකාරීත්වයක් නැති එක. එහෙ තිබිච්ච හැම කර්මාන්තශාලාවකටම මධ්‍යම රජයෙන් තමයි ප්‍රතිපාදන වෙන් කළේ, බඩු හැදුවත් නැතත්, ලාභ ගත්තත් නැතත්, ඊළඟ අවුරුද්දේත් ඒ කර්මාන්තශාලාවට මූල්‍යමය ප්‍රතිපාදන වෙන් වුණා. ඔන්න කඩාවැටීමට හේතුව. රූපවාහිනියක් හදන කර්මාන්ත ශාලාවක් ඊළඟ අවුරුද්දේ එකම හැදුවා, අනිකුත් දේවලුත් එහෙම්මමයි. ලෝකේ අනිත් රටවල් ටික තරගකාරිත්වයත් එක්ක ඉදිරියට යනකොට මේගොල්ලො අනිත් කට්ටියට වැඩිය වේගයෙන් ඉස්සරහට ඇවිල්ල එක තැනක නැවතුනා, රේස් එක පරදින්න ගත්තා.
පාරිභෝගික භාණ්ඩ වලට ඔය කලදසාව ගියාට සීතල යුද්ධයත් එක්ක යුධ තාක්ෂණයයි අභ්‍යවකාශ තාක්ෂණයෙන් උපරිමයටම ගියා. ලෝකයේ ආයුධ අතින් සුපිරි බලවතෙක් වෙන්නත් හැකියාව තිබුණා. ලෝකෙ වටේ කැරකෙන සැටලයිට් එකකින් ලෝකෙ ඕනෙම තැනකට මිසයිලයක් යවන්න හැකියාව තිබුන සෝවියට් දේශයේ 1985 විතර වෙනකන් දුරස්ථපාලකයකින් වැඩ කරන ටීවී එකක් මිනිස්සු අතරට ආවෙ නෑ. මෙන්න මේ ප්‍රශ්නයත් එක්ක තමයි මිනිසුන්ගේ කලකිරීමක් ඇති වෙන්න පටන් ගත්තේ. නිකීටා ක්රූශොෆ් ගෙන් පස්සේ බිහිවුණු නායකයෝ සෝවියට් දේශීය ඇත්තටම වලපල්ලට ඇදලා දැම්මා. මිනිස්සුන්ට කාලා බීලා ඇඳලා කරලා නිදහසේ ඉන්න තිබුණා, තිබුන එකම ප්‍රශ්නය තමයි මේ තාක්ෂණයත් එක්ක දියුණු වෙච්ච පාරිභෝගික භාණ්ඩ මිනිසුන් අතරේ නොතිබුණු එක, ඒක සුළුවට තකන්න පුළුවන් දෙයක් නෙමෙයි ඇත්තටම මිනිස්සු අතරේ දැඩි කලකිරීමක් ඇති වෙන්න ගත්තා.
ඉහත කිව්ව කාරණයට අමතරව තව විශේෂ දෙයක් තිබුනා මම දැක්ක, ඒක තමයි උඩ දුවපු නිලධාරිවාදය. මේක මම ලෝකේ වෙන කොහෙවත් දැකලා නැති තරමටම තදින්ම රුසියාවේ තිබුණා. ඒක කර්මාන්ත ශාලාවේ, ගොවිපොළේ, පාසලේ, විශ්වවිද්‍යාලයේ සහ හැම තැනකම දකින්න තිබිච්ච ප්‍රධාන දෙයක්. අපේ රටෙත් මේක හුඟක් තැන්වල තියෙනවා නීති පද්ධතියකට සහ පොඩි රාමුවකට හිර වෙලා ගොඩක් දේවල් බ්ලොක් වෙන තැන් මම මෙහේ තදින්ම අත්විඳලා තියෙනව නමුත් එක රුසියාවේ මීට වැඩිය හුඟක් තදින් තිබුණා. ඔය ප්‍රජාතන්ත්‍රිකයි කියලා ලොකුවට කෑගහන රටවලත් නිලධාරි වාදය තදින් තියෙනවා හැබැයි ඒක යම්කිසි තරමකට පාලනය වෙලා තියෙනවා ඒ ගොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව හින්දා, නමුත් අවාසනාවකට සෝවියට් දේශීයේ ඒක පාලනය කරන්න කවුරුත් හිටියේ නෑ.
මම අවස්ථා කීපයක චීනයේ ගිහිල්ලා තියෙනවා රාජකාරි මට්ටමේ ගනුදෙනු සඳහා, ඒ වගේම තනි කොමිනියුස්ට් පක්ෂයෙන් පාලනය වෙන වියට්නාමයෙත් ගිහින් තියෙනවා. ඒ රටවලත් තාම සර්වබලධාරියා ඒ රටේ කොමිනියුස්ට් පක්ෂය, නමුත් ඒගොල්ලො කාලයත් එක්ක තමන්ගේ ගමන වෙනස් කළා, සෝවියට් දේශයට ඒක කරගන්න බැරි වුණා. 1983දී මිහායෙල් ගොර්බචොෆ් බලයට ඇවිල්ලා මේක ප්‍රතිව්‍යුහගත කරන්න උත්සාහයක් ගත්තා, ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි අන්තිමේදී අසූව දශකය අවසානයේ රට බංකොලොත්භාවයට පත්වුණේ.
මගේ ලිපියේ ප්‍රධාන අරමුණ උනේ සෝවියට් දේශයේ කඩා වැටීමට ප්‍රධාන හේතුව වුණේ සමාජවාදය වත්, ඒ මිනිස්සුන්ට වැඩ බැරි කම වත් නෙමෙයි කියන එක පැහැදිලි කරන්න. සමාජවාදය හින්දා 1960 විතරවෙනකොට ඉහළම තලයකට ආපු රට කඩාගෙන වැටිලා විනාස උනේ ඒ රට පාලනය කරපු මිනිසුන්ගේ වැරැද්දක් හින්දා මිසක් ලෙනින්ගේ වත් කාල්මාක්ස්ගේ වත් ෆෙඩ්රික් එංගල්ස්ගෙ වත් වැරද්දක් හින්දා නෙමෙයි. මෙතනදි කෙනෙකුට කියන්න පුළුවන් සමාජවාදය තමයි ඒ වගේ නායකයෝ පත්කළේ හා රට ඒ වගේ අකාර්යක්ෂමතාව එකට යොමු කළේ කියලා, එතනදි මට අහන්ඩ තියෙන ප්‍රශ්නය තමයි එහෙනම් චීනය කොහොමද ඉස්සරහට ගියෙ කියලා.
මේක දිහා විවෘතව බැලුවොත් තේරෙයි, අද ලංකාවේ ටොයියො බයියොයි කියලා දෙපැත්තට බෙදිලා මරාගන්න වගේ මේක දිහා එක පැත්තක වෙලා බැලුවොතින් කෙනෙකුට හොඳ විතරක් පේන්න පුළුවන් තව කෙනෙකුට නරක විතරක් පේන්න පුළුවන්, මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක හොඳ නරක දෙකම මිශ්‍ර වෙච්ච ක්‍රමයක්, මිනිසුන්ට හුඟක් යහපත උදා කරලා දෙන්න හැදුව ක්‍රමයක් නමුත් නායකයො කාලා දැම්මා. කෙසේ වෙතත් මේ මහා ක්‍රමය කඩා වැටුනට ඒකත් එක්ක ඇතිවෙච්ච හුඟක් දේවල් වල රතිලාභ අද රුසියාවේ මෙන්ම අනිකුත් ප්‍රාන්ත විදිහට තිබුණු රාජ්‍ය වලත් මිනිසුන් භුක්ති විදිනවා. ඉන් ප්‍රධානම දෙයක් තමයි සෝවියට් දේශය හදපු සෞඛ්‍යය ක්ෂේත්‍රය. අද පවතින මේ කොරෝනා වසංගතය රුසියාව තුළ ව්‍යාප්ත වීම හා මුහුණ දෙන මරණ සංඛ්‍යාව දිහා බැලුවම ඒක හොඳට පේනවා. අදට තියන දත්ත අනුව රුසියාව රටක් විදිහට අසාදිතයන්ගෙන් දෙවැනි හෝ තුන්වැනි තැනට පත්වෙලා ඉන්නවා, නමුත් මරණ සංඛ්‍යාව සියයට එකකට වඩා අඩු ප්‍රමාණයක පවත්වාගෙන යන්න ඒ ගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා. දින කිහිපයකට කලින් රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ ගැන විශේෂ ප්‍රකාශයක් කරලා තිබුණා, ඔහු කියලා තිබුණා සෝවියට් දේශය කඩාවැටුණා ට ත් එක්ක ගොඩනැගුණු සෞඛ්‍ය ක්ෂේත්‍රයට පින් සිදු වෙන්නට අපිට මේ කොරෝනා වසංගතයට මුහුණ දෙන්නට පුළුවන් වුණා කියලා.
සෝවියට් ආභාෂයත් එක්ක මේ රටවල ජනතාව භුක්ති විඳින අනිත් වරප්‍රසාදය තමයි සෝවියට් දේශීය බිහි කළ අධ්‍යාපන ක්‍රමය. අද රුසියානුවන් සියලු අලුත් සොයා ගැනීම් නිර්මාණයන් හා අනෙකුත් දේ කරන්නේ සෝවියට් දේශීය තුලින් බිහි වෙච්ච ධ්‍යාපන රටාවත් එක්ක. ඒකට මුල්ගල් තිබ්බේ ලෙනින්, ඔහු නිතරම කියපු දෙයක් තමයි ඉගෙන ගන්න, දෙවනුවත් ඉගෙනගන්න, තුන්වෙනුව ඉගෙන ගන්න කියලා. කොහු මැරිලා අවුරුදු සීයකට කිට්ටුවෙන වෙලාවෙත් ඒ දැක්ම තුළින් බිහිවුන අධ්‍යාපන රටාවේ සාර්ථක ප්‍රතිඵල රුසියානුවෝ අදටත් භුක්ති විදිනවා. ලෝකයේ කිසිම අධ්‍යාපන ක්‍රමයකට නොදෙවෙනි මේ අධ්‍යාපන ක්‍රමය ඔවුන්ව අනාගතයේ තවත් ඉහලට ඔසවා තබයි.
මෙතනදි තව දෙයක් සුළුවෙන් හරි කියන්න ඕනේ, ඒක තමයි කාල් මාක්ස්ගේ න්‍යාය හැටියට කවදහරි ධනවාදය අවසන් වෙන්නේ සමාජවාදයෙන්. එයා ඒක එයාගෙ ප්‍රාග්ධනය පොතේ හරි ලස්සනට පැහැදිලි කරනවා. ලෝකේ ගල් යුගයේ ඉඳලා වහල් යුගයටත්, වහල් යුගයේ ඉඳලා වැඩවසම් ක්‍රමයටත්, වැඩවසම් ක්‍රමයෙ ඉඳලා ධනවාදයටත්, ධනවාදයේ ඉඳලා සමාජවාදයටත් යන හැටි ලස්සනට විග්‍රහ කළ තියෙනවා. 1917 ලෙනින් රුසියානු විප්ලවය කරන වෙලාව වෙනකොට, ඒ රටේ සමාජ පරිණාමය හරියාකාරව ධනවාදයේ උපරිම තැනකට ඇවිල්ලා තිබුනෙ නැහැ, උපරිම කෙසේ වෙතත් මං හිතන්නේ ධනවාදය පටන් ගත්තා විතරයි. එතනදී ලෙනින් කරපු වැරැද්දක් විදිහට මම දකින්නේ කාල්මාක්ස්ගේ තියරි එකේ තිබිච්ච ධනවාදය හරහා යන්නේ නැතුව රුසියාව සමාජවාදයට තල්ලු කරපු එක, ඒක එදා කාලීන අවශ්‍යතාවයක් ඔයා එක සාර්ථකව කළා නමුත් ඊලඟ පරපුර ඒක රැක ගත්තෙ නෑ. අද ලෝකයේ ස්කැන්ඩිනේවියානු රටවල් දිහා බැලූවාම ඔය කාල්මාක්ස් කියපු න්‍යායයේ සමහර ලක්ෂණ මතු වෙමින් පවතිනවා. ඒ රටවල්වල ඒකපුද්ගල ආදායම හුඟක් ඉහළ මට්ටමක තියෙනවා. එකේ ප්‍රතිඵල විදිහට ඒ මිනිස්සු දැන් ටික ටික සමාජ සුබසාධනය ඉහළ තලයකට ගෙනල්ලා, සමහර රටවල් වල පොදු ප්‍රවාහනය නොමිලේ ලබාදෙනවා, ඊට අමතරව තව හුඟක් සමාජ පහසුකමේ ලබල දෙනව. තේරෙන විදිහට ඒ රටවල් හෙමිහිට ගමන් කරන්නේ ඔය කාල්මාක්ස් කියපු සමාජවාදය කරා.
සටහන – ජගත් ආදිපොල
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
සීයට සීයක්ම නිවැරදි විග්‍රහයක්.අත්දැකීමෙන් කියන්නෙ. перестройка (ප්‍රතිව්‍යුහගතකරණය) කාලෙදි තමයි මගෙත් ශිෂ්‍ය කාලය රුසියාවේ ගෙවිලා ගියේ.
ඔබෙ විග්‍රහ ය නිවැරදි ය කියා සිතන්න. මමත් 1961 සිට 1966 දක්වා මොස්කව් නුවර සිටි කෙනෙක් විදිහට සහ ලැබු අත් දැකීම් අනුව ඔබ දැක්වූ අදහස් නිවැරදියි.