පසුගිය කාලය තුළ ලාංකීය දේශපාලනය තුළ හරවත් සංවාදයක් සඳහා පැවති පුංචි හෝ ඉඩකඩ කුණු කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. මතවාද සංවාද වෙනුවට අවලාද සහ ඕපාදූප කෙබ්බ ජවිපෙ දේශපාලන භාවිතාව බවට පත්විය. අනුර කුමාරගේ අංග චලනය කෙබ්බ මුද්‍රාව ලෙස සන්නාම ගතවන තරමට ජවිපෙ බොරුව තම ජීවිකාව කර ගත්හ. දේශපාලන චරිතවලට කතන්දර හදමින් ව්‍යාජ සංඛ්‍යා ලේඛන මගින් ඔවුන් වපුරන ලද බොරුව විසින්ම අද ඔවුන් ගිලගෙන තිබේ. ජවිපෙට එරෙහිවන අනෙක් ඕනෑම පුද්ගලයකු වහලකු ලෙස හෙළා දකින මානසික ප්‍රචණ්ඩත්වය 88-89 යුගයේ සන්නද්ධ ප්‍රචණ්ඩත්වයට නොදෙවෙනි වේ. නායකයන් විසින් ගොඩනගන ලද බොරු, පාක්ෂිකයන් විසින් තලු මරමින් රස විඳින කුජීතයන්ගේ එකමුතුව බවට ජවිපෙ පත්ව තිබේ. අනෙක් අතට ජවිපෙ විසින් කොටියා එන බව කියමින් මුලා කිරීම මත, අද ඔවුන් විසින් කියනු ලබන කිසිදු දෙයක් නොපිළිගන්නා තත්ත්වයට ජනතාව පත්ව ඇත.
රටේ ප්‍රතිපත්ති තීරණය කිරීමට, මාධ්‍ය තුළ මේ සා බේගල් ඇද බෑමට ජවිපෙට අයිතියක් ඇද්ද? පසුගිය කාලයේදි මැතිවරණවලින් පරාජයට පත්වු සමහර දේශපාලන චරිත, දේශපාලනයෙන් සමුගත යුතුයැයි ජවිපෙ විසින් අභියෝග කරන ලදී. 1969 වසරෙ සිට 50 වසරක දේශපාලනයෙන් ලැබූ ජයග්‍රහණයක් නැති, ජවිපෙ සමස්තයක් වශයෙන් දේශපාලන වශයෙන් විසුරුවා හැරිය යුතුය. ඇත්ත වශයෙන් ජවිපෙ විසින් හංගන ප්‍රධාන කාරණාවක් වන්නේ මේ වනවිට කිසිදු නියෝජිත ආයතනයක නොසිටිය යුතු ව්‍යාපාරයක් ලෙස ජනතාව ජවිපෙ ප්‍රතික්ෂේප කර ඇති බවයි. බොහෝ දෙනා විශ්ලේෂණය නොකරන 2018 පළාත් පාලන මැතිවරණයේදි ජවිපෙ විසින් ආසන 434 ක් දිනාගෙන තිබේ. ඉන් මැතිවරණ කොට්ඨාසයකට තරග වැදී ජයග්‍රහණය ලබා ඇත්තේ එක් අසුනක් පමණි. ඉතිරි මන්ත්‍රිධුර 433ක් ම ලබාගෙන ඇත්තේ ලැයිස්තුවේ බෝනස් එකට පින්සිදුවන්නය. 2020දී ගමේ පාලනය ඉල්ලා සිටි ජවිපෙ, ලැයිස්තුව නිසා යම් තම් පණ නල රැකගෙන තිබේ. පළාත් පාලන මට්ටමේදීත් ලැයිස්තුවක් මත යැපෙන සුළුතරයකට රාජ්‍යයේ ප්‍රතිපත්ති තීරණය කිරීමට ඉඩ හැරීම නකුට විසින් බල්ලා හැසිරවීම නොව මැක්කෙකුට බල්ලා හැසිරවීමට ඉඩ දීමකි.
88/89 යුගයේ මනුෂ්‍ය ජීවිතවල වටිනාකම බින්දුවට ඇද දමමින් එජාපය සමග එක්ව ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට ජවිපෙ දැක්වූ දායකත්වය ඓතිහාසිකය. ඔවුන්ගේ පාක්ෂිකයාට පුරුදු කරන ලද ගිරා පෝතක උත්තරය, විවේචකයන් තවමත් අසූඅට කාලයට හිරවී සිටින බවයි. එදා මුලින්ම ඡන්දය දැමීමට යන දහ දෙනාගේ ඇඟිලි කපන බවට තර්ජන කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස ප්‍රජාතන්ත්‍රවාදය උදුරා ගත් ජවිපෙ අද ඉතාම ස්මාර්ට් අකාරයට එයම කරමින් සිටියි. ජවිපෙ විසින් පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ 20 වන සංශෝධන නඩුවේදිත් විජාතික බලවේග සමග ඔවුන්ගේ හැංගි හෝරා දේශපාලනයේ කූඨාප්‍රාප්තිය වු යහාපාලන රජයේ 19 සංශෝධන නඩුවේදීත් ඉතාම පැහැදිලිව, ජවිපෙ විසින් ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට දරන ලද වෑයම හඳුනාගෙන තිබේ. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබෙන්නේ එම සංශෝධනය මගින් ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමට ජනතාවට ඇති සර්වජන ඡන්ද අයිතිය ඉවත් කිරීමට මෙම සංශෝධනයෙන් යෝජනා වන බවයි.
2018 ඔක්තෝම්බරයේ පවා සිදු වූයේ විධායකය සහ ව්‍යාවස්ථාදායකය අතර ගැටුමකින් රට අරාජික තත්ත්වයකට පත්වීමයි. එයට පැවති හොඳම විසඳුම වුයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් මගින් නව ජනවරමකට ඉඩ සැලසීමයි. ජවිපෙ විසින් රජය මැතිවරණයකට යෑම සම්පූර්ණයෙන් කඩාකප්පල් කරනු ලැබුයේ මැතිවරණයට හා ඡන්ද අයිතියට 88/89 දි තිබූ භීතිකාව තවත් තහවුරු කිරීමෙනී.
යහපාලන ආණ්ඩුව බලයට පත් කිරිමට ජවිපෙ විශාල කාර්‍යභාරයක් ඉටු කරන ලදී. එහෙත් ඒ වෙනුවෙන් පෙනී සිටීමට, එය තම පාක්ෂිකයා ඉදිරියේ සාධාරණීකරණය කර ගැනීමට ජවිපෙ නායකයන්ට දේශපාලන පෞරුෂයක් නොවීය. යහපාලන රජය බලයට පත් වු පසු ජවිපෙ වියරු හැසිරීම සහ පළිගැනීම සඳහා පැවති දෘඩතර ආශාව ජාතික විධායක සභාව නමින් චන්ද්‍රිකා කුමාරතුංග, මංගල සමරවීරලාගෙ සහයෙන් අටවා ගත් ව්‍යවස්ථා විරෝධි ව්‍යුහය භාවිත කළේය. සාමාන්‍ය ජනතාවට පැමිණිල්ලක් කිරීමට අයිතියක් නොතිබූ බරපතළ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට (FCID) දෛනිකව බලපෑම් කළ එවකට අරලිය ගහ මන්දිරයේ කිචන් කැබිනෙට්ටුවේ ප්‍රධාන චරිතයක් ජවිපෙ නියෝජනය කළහ. තමන්ගේම බලයක් නොලැබී, ජවිපෙ ප්‍රදර්ශනය කළ දේශපාලන උද්දච්චකම හා වියරුව කිසි දිනක ඔවුනට තනි බලයක් ලබා නොදියයුත්තේ ඇයි දැයි පැහැදිලි කරයි.
ජවිපෙට අනුබද්ධ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය කීර්ති විජයබාහුගේ එක් තුණ්ඩු කෑල්ලකින් රටම අක්‍රීය කිරීම භීෂණ සමයේ සාමාන්‍ය අත්දැකීමකි. පාර්ලිමේන්තුවේ තුණ්ඩු කැබලිවලින් හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඉවත් කිරීම මහින්ද ගේ ආණ්ඩුව ශිරාණි බන්ඩාරනායක ඉවත් කිරීමට එහා ගිය කළු පැල්ලමකි.
මහජනතාවගේ ඇස්වලට වැලි ගසා ජවිපෙ විසින් ප්‍රජාත්‍රන්ත්‍රවාදය හා පාර්ලිමේන්තුව අමු අමුවේ මංකොල්ල කෑ අවස්ථාවක් ලෙස පළාත් සභා මැතිවරණ සංශෝධන කෙටුම්පත් දැක්විය හැකිය. එය එක් පිටුවක ලියවුනු වගන්ති පහක කෙටි කෙටුම්පතකි. ඉන් වගන්ති දෙකක් කෙටුම්පත හඳුන්වාදීම සහා භාෂා ප්‍රමුඛතාව පිළිබඳව සඳහන් වන අතර කෙටුම්පතේ හරය වගන්ති තුනකට සීමා වී ඇත. කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුල් කර ගැසට් පත්‍රයේ පළ කරන්නේ එම කෙටුම්පත පිළිබඳ මහජනයාට සංවාදයක් ඇති කිරීමටත් එහි ව්‍යවස්ථානූකුලබව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ප්‍රශ්න කිරීමටත් අවස්ථාව ලබාදීමටයි. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නිර්දේශවලට පටහැනි මුල් කෙටුම්පතේ හරයට සපුරා පටහැනි පනතක් කාරක සභා අවස්ථාවේදී සම්මත කර නොගැනීම ලෝක පාර්ලිමේන්තු සම්ප්‍රදායයි. ඒ සම්ප්‍රදායට පයින් ගසමින් සිය අභිලාෂයන් කෙසේ හෝ මුදුන්පත් කරගනිමින් මුල් කෙටුම්පතට සම්පූර්ණ වෙනස් කෙටුම්පතක් සම්මත කර ගැනුණි. අවසානයේදී 2017 අංක 17 දරන පනතේ වගන්ති 27කි. පිටු 44කි. එදා පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ ජවිපෙ පාර්ලිමේන්තු සම්ප්‍රදායය වෙනුවෙන් පැවති ජනතා විශ්වාසයට එල්ල කළේ ඊට නොදෙවනි මරු පහරකි.
මේ අවස්ථාවේ මෙන්ම 20 වන සංශෝධනය ගෙන ඒමෙන් ද ජවිපෙ සූදානම් වූයේ දියාරු පාර්ලිමේන්තුවක බහුතරයේ අත්අඩංගුවට පත් විධායක අගමැතිවරයෙක් නිර්මාණය කර රට දේශපාලනික වශයෙන් අස්ථාවර කර අරාජික තත්ත්වයකට පත් කිරීමයි. ජාතික ප්‍රශ්නයට අපේ විසඳුම කෘතියේ රෝහණ විජේවීර ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත්තේ දෙමළ කොටි සංවිධානය ශ්‍රී ලංකාව දුර්වල කිරීම මගින් එහි අභ්‍යන්තරයට අත පෙවීම සඳහා යොදා ගනු ලබන ඉන්දියානු ව්‍යාප්තවාදයේ සහ ඇමරිකන් වුවමනාවක ප්‍රතිපලයක් බවයි. අදවන විට ජවිපෙ නිරතව සිටින්නේ විජේවීර පෙන්වා දුන් අස්ථාවර රාජ්‍යය නිර්මාණය කිරීමයි. අස්ථාවර රටක් පැවතීම ජවිපෙට දේශපාලන දුක සහ වෛරය විකිණීමට තෝතැත්නකි. එදා උනුත් එකයි මුනුත් එකයි කියු ජවිපෙ අද තේමා පාඨය “අස්ථාවර රටක්, ප්‍රශ්න ගොඩක්- ජවිපෙට තැනක්” බවට පත්ව ඇත.
මාක්ස්වාදය මතු පිටින් අතගාමින් ආගම අබින් යැයි කියමින් ලාංකීය සංස්කෘතියට වෛරය කිරීම ජවිපෙ භාවිතාවකි. විශ්වවිද්‍යාල තුළ භික්ෂුව මහපාරේ උද්ඝෝෂණවලට ඇද දමමින් අනෙකුත් භික්ෂුන්ගේ සිල්වත්බව ප්‍රශ්න කරති. අලුත් පරපුර සහ මෙරට සංස්කෘතිය එහි අක්මුල් නොදැන හෑල්ලුවට ලක් කරන කලාකරුවන් සුළුතරයක් සමග අනාගාමික ඊනියා විද්‍යාත්මක භූතවාදය පතුරවමින් සිටිති. උතුරු නැගෙනහිර වෙන් කිරීම වැනි ජාතිකවාදී ස්ථාවරයක සිටි ජවිපෙ පසුගිය කාලය තුළ තමන්ගේ පාර්ශ්වකරුවන් වූ දෙමළ ජාතික සංවිධානයේ උසි ගැන්වීම් මගින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජාතික උරුමය වනසා දෑමීමට හෝ සිංහලයාට එරෙහිව කරන ලද වාර්ගික ශුද්ධකරණය පිළිබඳව කිසිදු හඬක් නොනගන ලදී.
මේ වන විට පාර්ලීමේන්තුවත්, මන්ත්‍රීවරු 225ත් පක්ෂ දේශපාලනයත් ජනතාව අතර බරපතළ අප්‍රසාදයකට පත්ව තිබේ. එසේ වුවද අවම වශයෙන් ප්‍රධාන ධාරාවෙන් විතැන් වන ඡන්ද පදනම ආකර්ෂණය කර ගැනීමට නොහැකිවීම ජවිපෙ උපාය මාර්ගික දුර්වලතාවකි. ඒ පිළිබඳව සාධනීය සංවාදයක් ගොඩනැගිය යුත්තේ පාක්ෂිකයා සමග නොව, ජවිපෙට ආකර්ෂණය නොවූ ඡන්දදායකයා සමගයි. පාක්ෂිකයා පිනවන සුරංගනා කතාවල මුලාවීමෙන් එදා වේල පිනවා ගන්න පක්ෂයක් වීමෙන් විකල්ප බලවේගයක් ලෙස ජවිපෙන් රටට කළ හැකිව තිබු මෙහෙවර අහෝසි වී තිබේ.
•නීනීඥ නුවන් බැල්ලන්තුඩාව
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...