වී වගාව හෝ ටේ ආහාර සුරක්ෂිතතාවය ගැන කථාකළ යුත්තේ කෘෂිකර්ම විද්වතුන් විසින් පමණක් බවට තහංචි පනවන යම් විද්වතුන්ට පැටලී ඇති තරම කොතැක්දැයි ඔවුන් පුවත්පත් වලට සපයන ලිපි වලින් පමණක් නොව ඔවුන්ගේ උපදෙස් අනුව රජය විසින් සහල් වෙළඳපළ තුළ හදමින් සිටින අවුල් තුලින් ද පැහැදිළි වේ. අප රටේ වී අස්වනු ප්‍රමාණය සහ වී වගා කරන භූමි ප්‍රමාණය වැඩි කිරීම සඳහා මීට වසර 50 කට පමණ පෙර ජීවත් වූ සුවිශේෂි කෘෂි පර්යේෂකයින් පිරිසක් මෙන්ම එදා පැවති බීජ ගොවිපළ පද්ධතිය සහ දියුණු කෘෂි ව්‍යාප්ති සේවයද විශාල කාර්යභාරයක් සිදු කළ බවට විවාදයක් නැත. එහෙත් අද වී වගාව අධෛර්යමත් කිරීමට සහ කුඹුරුවල අතිරේක භෝග වගාකිරීමට කථා කරන කෘෂිකර්ම බලධාරීන් එදා සිටි උසස් පරපුරට අයත් නොවන බව ඔවුන්ගේ ක්‍රියාවෙන් සහ කථාවෙන් ඉතා හොඳින් පැහැදිළි වේ.
අද වන විට බතලගොඩ සහ මහඉලුප්පල්ලම වැනි ඉතා දියුණු තත්වයේ පැවති පර්යේෂණ ආයතන එදා කළ කාර්යභාර්යෙන් අංශු මාත්‍රයක් කළ නොහැකි තත්වයට අකර්මන්‍ය වි ඇත. එපමණක් නොව මහ ඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ ආයතනය හා පේරාදෙණිය උද්‍යානභෝග පර්යේෂණ අයතනය පර්යේෂණ සහයෝගීතාවයේ නාමයෙන් විදේශීය පුද්ගලික ආයතන වලට විකුණා දෑමීමට පවා අද සිටින කෘෂි විද්වතුන්ගේ මැදිහත්වීමෙන් විවිධ උත්සහායන් දියත් විය. ඒවා නැවැත්විය හැකි වූයේ අන් අයට කට අරින්න එපා කියන කෘෂී විද්වතුන්ගේ මැදිහත් වීමෙන් නම් නොවේ. ඒ අතර නව බීජ පනතක් සම්මත කරමින් ගොවියාගේ ඓතිහාසික බීජ අයිතිය උදුරා ගැනීමට විවිධ ආණ්ඩු යටතේ උත්සහා කළේ දේශපාලඥයින් යොදා ගනිමින් නොව කෘෂි විද්වතුන් යොදා ගනිමිනි. එසේ නීතිය පවා වෙනස් කොට බහු ජාතික සම්ගම් වලට බීජ ඒකාධිකාරිය ලබා දීමට උත්සහා කළ විද්වතුන් බොහෝ විට එම කුලී වැඩ වලට දායක වන්නේ විශ්‍රම ගැනීමෙන් පසුව එම සමාගම්වල රැකියාවක් ලබා ගැනීම සඳහා බව රහසක් නොවේ. කෙසේ වෙතත් නිතිය වෙනස් කළ නොහැකි වුවත් එම සමාගම්වල පළමු පරම්පරාවේ දෙමුහුන් බීජ ප්‍රචලිත කරමින් ඔවුන්ගේ ඒකාධිකාරිය තාක්ෂණිකව තහවුරු කිරීමට කෘෂි විද්වතුන් සහ බලධාරීන් දැනටමත් සමත් වි ඇත.
ඊට පෙර ඔවුහු තමා යටතේ පැවති මහා බිජ ගොවිපළ ජාලය අකර්මන්‍ය කොට ඒවා මහා සමාගම් වලට විකුණා දැමීමට කටයුතු කළහ. ඊටත් පෙර පැවති ඉතා දියුණු කෘෂි ව්‍යාප්ති සේවය අහෝසි කොට එම තාක්ෂණික නිලධාරීන් ග්‍රාමසේවකවරුන් බවට පත්කොට දේශීය කෘෂිකර්මාන්තය විනාශ කිරීමේ පළමු වෙඩි මුරය තබන විටත් දැනුමේ ඒකාධිකාරියක් ගැන කථා කරන විද්වත්හු නිහඬව සිටියහ. ඒ ආකාරයට නිදහසින් පසුව ක්‍රමයෙන් දියුණු තත්වයට පත්වූ දේශීය කෘෂි කර්මාන්තය සහ ඊට අදාළ රාජ්‍ය මැදිහත්වීම අවුල් කිරීම සඳහා 80 දශකයේ සිට මහා කුමන්ත්‍රණ පෙළක් දියත් විය. එහෙත් එවා පරාජය කිරීම සඳහා බොහෝ විදවතුන් මැදිහත් නොවූවා පමණක් නොව යම් පිරිස් එම ක්‍රියාවලියට දායක විය. බොහෝවිට මූලික වශයෙන් රටේ ආහාර සුරක්ෂිතතාවයට සහ වී ගොවිතැනට මෙන්ම වී ගොවියාට එරෙහිව දියත් වූ ප්‍රහාරයන් සාධාරණිකරණය කෙරුණේ ඊනියා හරිත විප්ලවයේ මූලධර්මය යොදා ගනිමිනි. උදාහරණයක් ලෙස 90 දශකයේ භාගයේදී “ ධාන්‍යාගාර ව්‍යාපෘතිය ” නමින් ආරම්භ වූ ව්‍යාපෘතියේ ප්‍රකාශිත අරමුණ වූයේ වියළි කලාපයේ කුඹුරු වලින් පමණක් රටේ සහල් අවශ්‍යතාවය නිපදවීමය. නමුත් අප්‍රකාශිත අරමුණ වූයේ තෙත් කලාපයේ වී ගොවිතැන අත්හැරීමය.
එදා ජනතා විමුක්ති පෙරමුණේ කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ කාලයේදී එම ව්‍යපෘතියට ඉදිරියට යාමට ඉඩක් නොදුන් බැවින් එම උත්සහාය ව්‍යවර්ථ විය. ඊට අමතරව යම් විද්වතුන් පරිසක් එදා පළමු පරම්පරාවේ දෙමුහුන් වී වර්ග දේශීයව නිපදවිය යුතු යැයි ව්‍යාජ සටන් පාඨයක් ඉදිරිපත් කරමින් බහු ජාතික සමාගම් වලට තාක්ෂණිකව බීජ ඒකාධිකාරියක් ඇති කරදීමට ගනු ලැබූ උත්සහායද පරාජය කෙරිණි. වී වගාව, වී ගොවියා සහ සහල් කර්මාන්තය අඩාල කොට රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට පත් කිරීම සඳහා විවිධ ණය සහ ආධාර දෙන ආයතන පද්ධතියක් සහ මහා සමාගම් ජාලයක් විසින් දීර්ඝ කාලයක් තිස්සේ දියත් කොට ඇති කුමන්ත්‍රණය සාධාරණීකරණය කෙරෙන්නේ නිෂ්පාදනය වැඩි කිරීමේ නාමයෙනි. බොහෝ කෘෂි විද්වතුන් විසින් ගොවියා තම ආධිපත්‍යයට යටත්ව කටයුතු කළ බවට තහංචි පනවන්නේ එම “ සටන් පාඨය ” ට මුවා වෙමිනි. එහිදී ඔවුහු ආහාර සුරක්ෂිතතාවයට අදාළ මූලධර්ම මෙන්ම ආහාර සංස්කෘතියට අදාළ සාධක සහ කෘෂි පරිසර පද්ධතියේ දිර්ඝ කාලීන පැවැත්මට අදාළ සාධක අමතක කරති.
මෙම ඊනියා කෘෂි විද්වතුන්ට අනුව තමාගේ වගකීම වන්නේ කෙසේ හෝ හොඳින් හෝ නරකින් ආහාර තොගය වැඩි කිරීමය. එහිදී ඔවුහු ආහාර සංස්කෘතිය මඟින් ආහාර වෙළඳපළ මත පමණක් නොව රටේ ආහාර සුරක්ෂිතතාවය මත ඇති කරන බලපෑම සහ කෘෂි පරිසර පද්ධතිවල දිර්ඝ කාලීන පැවැත්මට අදාළ සාධක නොසලකා හරිමින් සත්ත්ව ආහාර නිෂ්පාදනයට අදාළ මූලධර්ම පමණක් සැලකිල්ලට ගනිති. එනම් සතුන්ට දිරවන සෙලියුලෝස් තොගය වැඩි කර ගත යුතු ආකාරයට මිනිසාට දිරවන කාබෝහයිඩ්‍රේට් තොගය වැඩි කරගන්නා ආකාරය ගැන පමණක් කථා කරති. එහිදී ඔවුහු තමා කියන දේ අහන්නේ නැති නම් පිටරට සහල් ආනයනය කොට උඹලා නැත්තටම නැති කරනවා යැයි ගොවියාට තර්ජනය කරති. ඒ මඟින් ඔවුහු සාම්ප්‍රදායානුකූල වී වර්ග හෙවත් දේශීය වී ප්‍රභේද ගොවියා විසින් වගා කිරීම වැළැක්වීම සඳහා බලපෑම් කරති.
එම තර්ජන සාධාරණීකරනය කෙරෙන්නේ වැඩි දියුණු කළ වී වර්ග වෙනුවට දේශීය ප්‍රභේද වගා කිරීම මඟින් රටේ ආහාර තොගය අඩුවන බවට තර්ක කරමිනි. නමුත් එම තර්කය ඉහත සඳහන් කළ ආහාර සුරක්ෂිතතාවයට අදාළ මූලික මූලධර්මයන් වන ප්‍රභේද විවිධත්වය සහ ආහාර විවිධත්වය දිරිමත් කිරීම සහ කෘෂි පරිසර පද්ධති විවිධත්වය ඵලදායිව යොදා ගැනීම යන අවශ්‍යතාවයට පමණක් නොව කෘෂි ආර්ථික විද්‍යාවේ මූලික පිළිගැනීම් වලටද පටහැනි වේ. මහා වාරිමාර්ග ආශ්‍රිතව ගොවීන් පොදු මතයකට අනුව කටයුතු කළ යුතු බව සත්‍යයකි. එහෙත් ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් ලක්ෂ 3 කට ආසන්න කුඩා වාරිමාර්ග ආශ්‍රිත කුඹුරු ඉඩම් සහ වර්ෂාව මඟින් ජලය ලබා ගන්නා කුඹුරු ඉඩම් වල විවිධ වී ප්‍රභේද වගා කිරීමේ ඇති වරද කුමක්ද? ඒ මඟින් එක් පැත්තකින් විශේෂයෙන්ම තෙත් කලාපයේ කෘෂි පරිසර පද්ධති විවිධත්වයට අනුව වී ප්‍රභේද තෝරා ගැනීමේ හැකියාව ලැබේ. අනෙක් පැත්තෙන් විවිධ රසය සහ ගුණය සහිත ආහාර විවිධත්වය ඒ මඟින් දිරිමත් කළ හැක. ආහාර සංස්කෘතිය සහ ආහාර සුරක්ෂිතතාවය අතර පවතින ප්‍රභල සම්බන්ධතාවය ගැඹුරින් හදාරා ඇති පිරිස්වලට ඊට අදාළ විද්‍යාත්මක පදනම තේරුම් ගැනීම අමාරු නැත.
ඊට අමතරව දේශීය වී ප්‍රභේද වගා කිරීමේදී වැඩි දියුණු කළ ප්‍රභේද වගා කිරීමට වඩා යෙදෙවුම් පිරිවැය අඩුවන බව සහ ගොවියාට ලැබෙන ශුද්ධ ලාභය වැඩිවන බවට බොහෝ පර්යේෂණ දත්ත ප්‍රකාශයට පත් වී ඇත. කෙසේ වෙතත් දේශීය වී ප්‍රභේද යම් භූමි ප්‍රමාණයක වගා කිරීම මඟින් රටේ ආහාර තොගය වැඩි කිරීමේ අරමුණට අගතියක් සිදුවන බවට යම් විද්වතුන් විසින් ඉදිරිපත් කරන තර්ක ඔවුන්ගේම වෙනත් තර්ක වලින් බිඳ වැටේ. එනම් දැන් ශ්‍රී ලංකාවේ වී අතිරික්තයක් තිබෙන බැවින් කුඹුරු වල, විශේෂයෙන්ම යල් කන්නයේදී වී වෙනුවට අතිරේක භෝග වගා කළ යුතු බවට ඉදිරිපත් කරන “ අඩු අස්වනු තර්කය ” බිඳ වැටේ. ඊට අමතරව වැඩිදියුණු කළා යැයි කියන නව ප්‍රභේද වල අස්වැන්න සහ බහුලව වචන දේශීය වී ප්‍රභේදවල අස්වැන්න අතර බරපතල වෙනසක්, විශේෂයෙන්ම යෙදවුම් පිරිවැයට සාපේක්ෂව, නොමැති බවට බොහෝ පර්යේෂණ සාක්ෂි ඇත.
උදාහරණයක් ලෙස පසුගිය යල – මහ කන්න දෙකේදීම වැඩි දියුණු කළ වී ප්‍රභේද වලින් ලබාගත් අස්වැන්න පිළිවෙළින් හෙක්ටයාර් ලක්ෂ 03 කට වී.මෙ.ටො මිලියන 1.5 ක් සහ හෙක්ටයාර් ලක්ෂ 06 කට වී.මෙ.ටො මිලියන 03 කි. එනම් දළ වශයෙන් ලබාගෙන ඇති අස්වැන්න අක්කරයට බුසල් 100ට අඩු ප්‍රමාණයකි. එහෙත් “ රන්කහවනු ” නම් දේශීය වී ප්‍රභේදය මඟින් අක්කරයට බුසල් 100 ක්, සුවඳැල් වලින් අක්කරයට බුසල් 60 ක් සහ මඩතවාළු, කුරුළුතුඩු සහ පච්චපෙරුමාල් වැනි වී වර්ග වලින් බුසල් 50 ක අස්වැන්නක් සොභාවික ගොවිතැන් ක්‍රම මඟින් එනම් බාහිර යෙදවුම් අවම මට්ටමක තබාගනිමින් ලබාගත හැකි බව රහසක් නොවේ. කෙසේ වෙතත් මහා ඝෝෂාවක් නගමින් දේශිය වී ප්‍රභේද වගා කරන ගොවීන්ට බැන වැදුනත් 2013 දත්ත අනුව දේශීය වී ප්‍රභේද 11 ක් වගා කිරීම සඳහා යොදාගෙන ඇත්තේ හෙක්ටයාර් 2500 කට අඩු භූමි ප්‍රමාණයකි. එනම් සමස්ථ කුඹුරු ඉඩම් චලිත 0.3% ක පමණ නොසැලකිය හැකි තරම් සුළු භූමි ප්‍රමාණයකි.
ඒ ආකාරයට මහා ඓතිහාසික කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස වර්ධනය වී ඇති ආහාර සුරක්ෂිතතාවයට අදාළ අර්බුදයට හේතුව දේශීය වී ප්‍රභේද වගා කිරීම යැයි ව්‍යාජ තර්ක ඉදිරිපත් කරන පිරිස් තෙත් කලාපයේ විවිධ පරිසර පද්ධති වලදි වැඩි දියුණු කළ වී වර්ග වලට වඩා දේශීය වී ප්‍රභේද වඩා සුදුසු බව ඉතා හොඳින් දනිති. විවිධ පරිසර පද්ධති වලට සහ ප්‍රදේශ වලට සුදුසු බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්ම හඳුනාගෙන ඇති දේශීය ප්‍රභේද 644 ක ප්‍රමාණයකින් දැනට ප්‍රායෝගිකව වගා කෙරෙන්නේ 10-15 අතර ප්‍රමාණයකි. ඒ නිසා ව්‍යාජ තර්ක ඉදිරිපත් කරමින් සැබෑ ප්‍රශ්ණය හඳුනාගැනීමට සහ ඊට විසඳුම ඉදරිපත් කිරීමට බාධා එල්ල කරන විද්වතුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉටු කරන භූමිකාව කුමක්ද? මෙවැනි දීර්ඝ පූර්විකාවක් ලිවීමට සිදු වන්නේ ප්‍රශ්ණයේ මුලට යාම හෙවත් රටේ ආහාර සුරක්ෂිතතාවයට සහ වී වගාවට මෙන්ම වී ගොවියාට සහ සහල් කර්මාන්තකරුවාට එරෙහිව දියත්වන බහුවිධ ප්‍රහාරයන්ගේ විවිධත්වය සහ සූක්ෂම බව පෙන්වා දීමටය.
ඒ සඳහා දීර්ඝ පූර්විකාවේ දැක්වූ ආකාරයට විවිධ පරස්පර මත ඉදිරිපත් කරන විද්වතුන් මෙන්ම ප්‍රතිසංස්කරණ නාමයෙන් රාජ්‍ය මැදිහත්වීම විවිධ ක්‍රමවේද හරහා දුර්වල කළ කෘෂිකර්ම බලධාරීන්ද දායක විය. ඒවා ඉතා සූක්ෂමව ඊනියා විද්වත් පැහැදිළි කිරීම්වල ආවරණය යටතේ සිදුවිය. රටේ ජාතික ආරක්ෂාව තරමට වැදගත් වන ආහාර සුරක්ෂිතතාවය අනතුරට ලක් කිරීමේ ක්‍රියාවලිය මහජනයා නොමඟ යැවීමෙන් තොරව සිදු කළ නොහැක. ඊනියා විද්වතුන්ගේ ප්‍රධාන භූමිකාව ඔවුන්ගේ විද්වත් මතවාද මඟින් මහජනයා නොමඟ යැවීමය. කුඹුරු ගොඩකළ යුතු බවට දේශපාලන නායකයෙකු සෘජු ප්‍රකාශයක් සිදුකළ විට ඊට එරෙහිව ප්‍රභල මහජන මතයක් ගෙඩනැගිණි. නමුත් සහල් අතිරික්තයක් තිබෙන බවට ව්‍යාජ තර්ක ඉදිරිපත් කරමින් එම අවමනාව වෙනත් ආකාරයකට ඉටු කරන විට මහජනයා නිහඬව සිටිති. ආණ්ඩුව විසින් සහල් සහ වී ආරක්ෂණ තොග පවත්වාගෙන යාමේ වගකීම නිසි ලෙස ඉටු නොකර සංඛ්‍යාලේඛ විජ්ජා ඉදිරිපත් කරන විට මහජනයා විසින් ඒවා සත්‍යය යැයි පිළිගනිති. උදාහරණයක් ලෙස ආරක්ෂක හමුදා සහ වී අලෙවි මණ්ඩලය මඟින් වී තොග මෙ. ටො 50,000 ක් වැනි සුළු ප්‍රමාණයක් මිලදී ගත්තද එය කි.ග්‍රෑම් වලින් මිලියන 50 ක් හෝ කෝටි 5 ක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේදී ව්‍යාජ ආරක්ෂණවාදී හැඟීමක් ඇතිවේ.
අමාත්‍යංශ ලේකම්වරු පවා එම වී තොග ගැන අතිශයෝක්තියෙන් ප්‍රකාශ නිකුත් කළ ද එම වී තොගය සෑහෙන්නේ රටේ ජනගහනයට දින 05 කට අවශ්‍ය සහල් සැපයීම සඳහා පමණි. වෙළඳපළ තුළ ගොවියාට වී සඳහා තරඟකාරීව සහතික මිල ගෙවීම සඳහා සහ හදිසි අවස්ථාවක භාවිතයට ගැනීම සඳහා අවම වශයෙන් අස්වැන්නෙන් 5% ක් රජය විසින් මිලදී ගත යුතු බවට සංඛ්‍යාතමය ආකෘති මඟින් තහවුරු කළ හැක. එහෙත් ඉහත සඳහන් කළ ආකාරයට රජය විසින් මිලදි ගනු ලැබුවේ 1.6% ක් පමණි. එනම් මෙ.ටො මිලියන 03 කින් 50,000 ක් පමණි. ආණ්ඩුවේ අඩුපාඩු සමනය කිරීම මඟින් වී මිල ඇද වැටීම වැළැක්විය හැකි වූයේ මෙවර 2000 කට අධික කුඩා මෝල් ප්‍රමාණයක් විසින් වී තොගයෙන් 50% කට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීම නිසාය. ඉතිරිය මහා මෝල් විසින් මිලදී ගත් නමුත් මෙවර 10% කට වැඩි ප්‍රමාණයක් ගොවීන් විසින්ම ගබඩාකොට තබාගන්නා බවටද අනුමාන කළ හැක.
කෙසේ වෙතත් ඉදිරි මාස 15 කට අවශ්‍ය වී තොග පොළොන්නරුව මහා මෝල් සතුව තිබෙන බවට යම් පිරිස් විසින් ව්‍යාජ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්නේ ඉතා මුග්ධ ආකාරයකටය. එය සත්‍යයක් නම් ඔවුන් සතුව වී මෙ.ටො මිලියන 05 පමණ ගබඩා කිරීමේ පහසුකම් තිබිය යුතුය. එනම් රටපුරා රජය සතු ගබඩා පහසුකම් මෙන් සියගුණයකට වැඩි පහසුකම් ඔවුන් සතුව තිබිය යුතුය. එවැනි ව්‍යාජ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීම මඟින් එක් පැත්තකින් රටේ වී අතිරික්තයක් තිබෙන බවටත් ඒ නිසා වී වගාව අධෛර්යමත් කිරීම සාධාරණ බවටත් මතයක් සමාජ ගත කෙරේ. අනෙක් පැත්තෙන් ඒ මඟින් වී මෝල් හිමියන් කෙරෙහි වෛරයක් ඇති කෙරේ. දැන් මෝල් හිමියන් විසින් ගොවියාගෙන් රුපියල් 44 ට වී කිලෝවක් මිලදී ගන්නා බැවින් මෝල් හිමියා විසින් ගොවියා ගසාකන බවට සහ පවතින පාලන මිලට සහල් ලබාදිය හැකිව තිබියදී සහල් සඟවන බවටත් මතයක් හදති. එහෙත් සත්‍යය තත්වය අනුව තෙත වී කමතේදී රු. 44 ට මිලදීගත හොත් වියළීමේදී බර අඩුවීම, වියළීමේ පිරිවැය සහ කමතේ සිට වෙළඳපළට ප්‍රවාහන පිරිවැය එකතු වීම නිසා මෝල්කරුවාට සහ ගොවියාට ගෙවන සහතික මිල වන රු. 50 කට වඩා වැඩි මිලක් දැරීමට සිදුවේ.
දැන් ඒ ආකාරයට සත්‍ය මෝල් කරුවන්ට එරෙහිව ජනතා අප්‍රසාදය ඇතිකරන අතර සහල් පාලන මිල අතාර්තික ලෙස පහත දමා මෝල් හිමියන්ගේ ගෙල සිරකරමින් ඔවුන් බංකොලොත් කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඒ මඟින් ඊළඟ කන්නයේදී වී මිල බරපතල ලෙස කඩා වැටීමේ තත්වයක් නිර්මාණය වේ. ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ මෙවර රු.50 ට වී මිලදී ගත් 2000 කට අධික කුඩා සහ මධ්‍යම පරිමාන මෝල් වැසීයාමේ තර්ජනයකට ලක්වීමය. රු. 50 ට වී මිලදී ගතහොත් දැනට පනවා ඇති පරිදි රු. 85 ට කැකුළු සහල් ලබාදිය නොහැකි බව 8 වැනි ශ්‍රේණියේ අංක ගණිතය දන්නා ඕනෑම බත්කන නිලධාරියෙකුට තේරුම්ගත හැක. එම පාලන මිල ගැසටුව මෝඩ ක්‍රියාවක් නොවේ නම් ආණ්ඩු පෙරළීමේ බරපතල කුමන්ත්‍රණයක් මිස වෙනත් දෙයක් විය නොහැක. කෙසේ වෙතත් පාලන මිල මඟින් ගොවියාගේ සහ මෝල් හිමියාගේ හුස්ම හිර කරන අතර මෝල් වලට කඩා පැන ඔවුන්ට තර්ජනය කිරීම සහ නඩු පැවරීම මඟින් ඔවුන්ගේ යටි බඩට පයින් ගැසීමේ උවමනාව වඩා හොඳින් පැහැදිළි කළ හැක්කේ කුමන්ත්‍රණ න්‍යාය මඟිනි.
ඊට අමතරව පසුගිය දින වල රු. 100 කට අධික මිලකට සහල් මිලදීගත් මහජනයා කිසිඳු අවස්ථාවක රු. 85 කට සහල් මිල නියම කොට සහල් කර්මාන්තය සහ වී වගාව වනසාදමන ලෙස ඉල්ලා සිටියේ නැත. සහල්ක්‍රි. ග්‍රෑම් එකක් 8 දෙනෙකුට ආහාරයට ගත හැකි අතර එම ප්‍රමාණයට පාන් මිලදී ගන්නේ නම් අවම වශයෙන් පාන් ගෙඩි 3 ක් රු. 180 ගෙවා මිලදී ගැනීමට සිදුවන බව මහජනයාට තේරුම් ගැනීම අමාරු නැත. එසේ නම් මරාගෙන මැරෙන ආකාරයට ආණ්ඩුවේ යම් පාර්ශව විසින් ක්‍රියාත්මක කිරීමට උත්සහා කරන පාලන මිල මඟින් අවසාන වශයෙන් වාසි සැලසෙන්නේ කාටද? වී මිල පහත වට්ටවා වී ගොවියා අධෛර්යමත් කරන අතර සහල් කර්මාන්තකරුවා බංකොලොත් කිරීමේ උවමනාව ඇත්තේ තිරිඟු පිටි මාෆියාවට මිස අන් කවරෙකුටද? වර්තමාන රජය විසින් තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා කි.ග්‍රෑම 1 කට රු. 28 ක බදු සහනයක් ලබා දී ඇති අතර පසුගිය රජය තිරිඟු ඇට සඳහා කි.ග්‍රෑම් 1 කට රු 20 ක බදු සහනයක් ලබා දුනි.
ඒ අනුව තිරිඟු පිටි ප්‍රචලිත කරන අතරතුර සහල් කර්මාන්තය බිඳ වට්ටන්නේ කගේ උවමනාවකටදැයි තේරුම් ගැනීම අමාරු නැත. මේ සියල්ල සාධාරණීකරණය කිරීම සඳහා ඉහත සඳහන් කළ ආකාරයට තිරිඟු පිටි මාෆියාවේ කුලී කාරයින් විසින් යොදා ගන්නා දෙවන උපාය මාර්ගික උපාංගය වී අතිරික්ත කථාවක් ගොතමින් වී වගාව අධෛර්යමත් කිරීමය. එහිදී එක් පැත්තකින් පාලන මිල හරහා වී සඳහා සහතික මිල ලබාගත නොහැකි තත්වයක් ඇති කිරීම මඟින් සමස්ථයක් ලෙස ගොවි ජනතාව වී වගාවෙන් ඇත් කිරීමට කටයුතු සැලසේ. අනෙක් පැත්තෙන් තෙත් කලාපයේ වී වගාව වෙනුවට වෙනත් වාණිජ භෝග ප්‍රචලිත කිරීමට අමතරව මහා වාරි මාර්ග ආශ්‍රිතවද විශේෂයෙන්ම යල් කන්නයේදී වතුර ලබා නොදීම මඟින් වී වෙනුවට අතිරේක බෝග වගාවට ගොවියා පොළඹවනු ලැබේ.
එම ක්‍රියාවලිය පිටුපස වී වගාව වෙනුවට සත්ව ආහාර සඳහා සෝයා, බඩ ඉරිඟු වැනි වගාවන් ප්‍රචලිත කරන සමාගම්ද සිටින බව රහසක් නොවේ. එම සමාගම් සහ වාරි නිලධාරීන් අතර ප්‍රභල සබඳතා තිබෙන බවට ගොවීහු චෝදනා කරති. මෙවර කලා වැව ආශ්‍රිතව වාන් දැමීමට ආසන්න වන තරමට වතුර පිරී තිබියදී ඒ වගා කළහොත් පොහොර සහනාධාර සහ ණය ලබානොදෙන බවට ද නිලධාරීන් තර්ජනය කළ බව වාර්තා වේ. මෙම ඊනියා අතිරික්ත කථාව තුල ඒක පුද්ගල තිරිඟු පිටි පරිභෝජනය වැඩි වීම නිසා සහල් පරිභෝජනය අඩුවීම පිළිබඳව ඊනියා විද්වත්හු කථා නොකරති. ඊට අමතව පසුගිය යල සහ මහ කන්න වල මුළු වී අස්වැන්න වූ පිළිවෙළින් මෙ.ටො මිලියන 1.5 සහ මිලියන 3 කි. වාර්ෂිකව අස්වැන්න මෙ.ටො මිලියන 4.5 ක් යනු අතිරික්තයක් නොවන බව ඉතා සරලව පැහැදිළි කළ හැක. ඒක පුද්ගල තිරිඟු පිටි පරිභෝජනය වාර්ෂිකව කි.ග්‍රෑම් 60 සිට 90 දක්වා වැඩි වී තිබියදී පවා වාර්ෂිකව සහල් මෙ.ටො මිලියන 3 ක් සඳහා වී මෙ.ටො මිලියන 4.5 ක් අවශ්‍ය වේ. මීට වසර 20 කට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊනියා ධාන්‍යාගාර ව්‍යාපෘතිය යටතේ සකස්කළ සැලසුම් අනුව ශ්‍රී ලංකාවේ වී අස්වැන්න මෙ.ටො මිලියන 5.5 දක්වා වැඩි කළ යුතුය. ඒ අනුව ඊනියා අතිරික්ත කතාව තිරිඟු පිටි මාෆියාවේ නිර්මාණයක් බව පැහැදිළි වේ.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...