ආර්ථිකය නරක අඩවියක බව නොදක්වන වියත්හු දුලබය. දසතින්ම වාර්තාවන කරුණු අනුව ආදායම හා වියදම පාලනය කර ගැනීම දුෂ්කර වී තිබේ. එවැනි පසුබිමක නමුත් මානුෂිකත්වය පෙරට පැමිණ ඇත. දුෂ්කරතා තිබෙන අතරවාරයේ ද කුසට ආහාර සහ ලෙඩට බෙහෙත් සපයන පියවර අනිවාර්ය කාරණයක් සේ සලකා ක්‍රියා කරමින් සිටිති. අනෙක් සියලු පැති පැත්තකට තබන ජගත් ප්‍රජාව මිනිසුන් ජීවත් කරවීම පළමු අරමුණ කරගෙන ඇත. ලෝක ආර්ථිකය සසල වන විට ශ්‍රී ලංකාවට සුනාමියකි. කොවිඩ්-19 වයිරසය ඉදිරියේ මෙරට පැවැත්ම ද බරපතළ බව නොසිතන්නට කාරණාවක් නැත. නිෂ්පාදනය ඇනහිට තිබේ. සේවා අංශ අඩාළය. රටට ආදායමක් ගෙන දෙන අංශ ඇවිරී තිබේ. ආනයන අපනයන සීමා වී ඇති අතර එවැනි පසුබිමක කොතැනකින් හෝ යමක් ඉපැයීම හැර අනෙක් මගක් නැත. ආදායම සොයා ගැනීමට ක්‍රමයක් නැති අවස්ථාවක වියදම පාලනය කෙරේ. මැතිවරණ උණුසුම එක පැත්තකින් තිබිය දී සහ ජන සමාජය වයිරසයේ බලපෑමට ලක්ව ඇති අවස්ථාවක මෙරටට ගෙන්වන භාණ්ඩ වර්ග විසි හයක බදු නංවන්නට රජය තීරණය කර ඇත. මෙකී සංශෝධනය අනුව ආනයනික භාණ්ඩ ගණනාවක මිල ඉහළ යන අවදානමක් තිබේ.
ආනයනය තහනම් සහ සමහරකට වැඩි බද්දක්
පසුගිය වසරේ දෙසැම්බර් 05 වැනි දා නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව කළු ගම්ම්රිස්, වියළි පුවක්, කුරුඳු, එනසාල්, ඉඟුරු, කරාබු නැටි, සියඹලා සහ සාදික්කා ඇතුළු දේ ආනයනය තහනම්ය. මෙරට වගා කළ හැකි බෝගවලට අවස්ථාව සැපයීම එක අදහසකි. අපනයනයේ දී ලාංකේය නම් දරා ඇති ඇතැම් කෘෂි නිෂ්පාදනවලට වෙනත් රටවලින් ගෙන්වන, තත්ත්වයෙන් බාල ආනයනික දේ මිශ්‍ර කර ප්‍රති අපනයනය නතර කිරීම අනෙක් අරමුණකි. කෙසේ වෙතත් විනිමය ආරක්ෂා කරගැනීමේ පියවරක් ද මෙහි නොතිබුණා නොවේ.
ඉකුත් මැයි 22 දා රජය නිවේදනය කරන ලද පරිදි මෙරටට ආනයනය කරන ආහාර පාන හා පලතුරු වෙනුවෙන් බදු වැඩි කෙරේ. මාස හයකට මෙම බදු නැංවීම බලපවත්වන බව නිවේදනයෙහි දැක්වේ. ලොකු ලූනු, සුදුලූනු, අර්තාපල්, පරිප්පු, ටින් මාළු, සීනි, කොණ්ඩ කඩල, රතුලූනු, යෝගට්, දොඩම්, ලෙමන් සහ මිදි ඇතුළු දේ වෙනුවෙන් වැඩිපුර බදු පනවා ඇත. සීනි කිලෝවකට මෙතෙක් අය කළ බද්ද රු. 35.00 කි. රටට වසරකට සීනි මෙට්‍රික් ටොන් 590,171 ක් අවශ්‍ය බව දැක්වෙයි. 2019 වසරේදී මෙම අවශ්‍යතාවෙන් සියයට 90.65 ක් ආනයනය කර ඇත. කිලෝවකට රු. පනහ බැගින් ඉදිරි මාස හය තුළ සැලකිය යුතු ආදායමක් උපයා ගත හැකිය. මයිසූර් පරිප්පුවලින් කෙළින්ම අය කරන බද්ද රු. දහයකින් නංවා ඇති අතර 2018 වසරේ මෙරටට ගෙන්වන ලද පරිප්පු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 162,601 කි. යෝගට් වැනි සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය දේ වෙනුවෙන් කිලෝවකට රු. අට සියයක් බදු වැඩි කර ඇති අතර ලෙමන් කිලෝවක් ආනයනයේ දී රු. තුන්සිය පනහක්, දොඩම්වලට කිලෝවකට රු. එකසිය විසි පහක් හා මිදි කිලෝවකට රු. දෙසීයක් බදු නංවා ඇත. අනෙකුත් ආහාර වර්ගවලට ද විවිධ පරාසයන්ගෙන් බදු වැඩි කර ඇති බව දැක්වෙයි. මෙම භාණ්ඩ ආනයනයේ දී රේගුව අදාළ ගාස්තු අය කරන අතර අවසානයේ දී එහි මිල ගෙවන්නේ මෙරට පොදු ජනතාව බව පෙන්වා දිය යුතුව තිබේ.
තාවකාලික සංශෝධනයෙන් නිෂ්පාදන නැංවෙන්නේ නැත
ආනයන තහනම සහ පසුගිය දා කරන ලද බදු වැඩි කිරීම මත රට තුළ නිෂ්පාදනයේ දියුණුවක් අපේක්ෂා කළ නොහැකිය. ඇතැම් ආහාර වර්ගවල වගා රටා වෙනස් වෙන්නට ඉඩ ඇති නමුත් එයින් අත්පත් විය හැකි වාසිය අල්ප බව සඳහන් කළ යුතුය. සීනිවලට පනවන බද්ද පදනම් කරගෙන උක්වගාව ව්‍යාප්ත නොවන අතර ලොකුලූනු, අර්තාපල් සහ සුදු ලූනු පවා මෑත වසර හය හත තුළ එක හා සමාන තොග ආනයනය කරන්නට රටට සිදුවී තිබේ. පරිප්පු, රටඉඳි සහ දොඩම් සම්බන්ධයෙන් තත්ත්වය වෙනස්ය. ඒවා සම්පූර්ණයෙන්ම ආනයන මත යැපේ.
කරුණු සලකා බලන විට මෙම බදු සංශෝධනය සම්පූර්ණයෙන්ම රජයේ ආදායම අරමුණු කරගෙන ගත් තීරණයකි. සියඹලා, වතුර බෝතල් සහ දියලුණු පවා රටට ආනයනය කෙරේ. රට වටා සාගරය මහා සම්පතක් නමුත් මාළු, ටින් මාළු හා කරවල ආනයනයට සෑහෙන විනිමය ප්‍රමාණයක් වාර්ෂිකව වැය කරන බව මහ බැංකු වාර්තා පෙන්වයි. නිසි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවුවහොත් මාළු සහ දියලුණු ආනයනය නතර කළ නොහැකිද? රටට ගෙන්වන ආහාර හා අත්‍යවශ්‍ය නොවන දේ සොයා බලා ඒවා මෙරට නිපදවන්නට පියවර ගැනීම වහා කළ යුතු දෙයකි. එමගින් කෘෂිකර්මය දියුණුවෙයි. ක්ෂේත්‍රයේ නියැළීමෙන් අලුත් වෘත්තීය අවස්ථා ලැබේ. රටට හුරු පුරුදු ගොවිකමට නූතන තාක්ෂණය එකතු වී ඇත. යන්ත්‍ර සුත්‍ර, හරිතාගාර, ජාන තාක්ෂණය සහ පස් රහිත වගා බිම් දක්වා දියුණු වී තිබේ. ලක්ෂ විසි පහක ශ්‍රම බළකායක් කෘෂිකර්මයෙහි නියුතුය. මෙම ජන කොටස නිපදවන දෙය සම්බන්ධයෙන් ප්‍රශ්න තිබේ. පොහොර නොමිලේ සපයන නමුත් අලෙවිය ගැටලුවකි. බෝග වර්ග වෙළෙඳපොළ අවශ්‍යතා අනුව වගා නොකෙරේ. මේවා ගැන සැලකිලිමත් විය යුතුය. රටට අවශ්‍ය ප්‍රමාණයට අල, ලූනු සහ මිරිස් වගා කරගත නොහැකියාව කොපමණ දුබලතාවයක්ද? බදු සංශෝධන රජයේ ආදායම සලකා කරන බව පිළිගත යුතුය. ආනයන පිරිවැය සලකා බලනවිට වගා කළ හැකි දේ වෙනුවෙන් පෙලඹීම අනාගතයේ දී මෙරට ආර්ථිකයට මහා අස්වැසිල්ලක් වනු ඇත.
රජයේ ආදායම නංවා ගත යුතු තරම ගැන අදහසක්
මහ බැංකු වාර්තා පෙන්වා දෙන පරිදි 2019 වසරේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 12.6 දක්වා වැටී තිබේ. කලින් වසරේ එය සියයට 13.4 ක් වශයෙන් සටහන් වී තිබිණි. එය රුපියල් බිලියන 1,920 ක සිට රු. බිලියන 1,890 දක්වා අඩුවීමක් බව දැක්වෙයි. මෙකී ආදායමට ධනය ලැබෙන ක්‍රම අතර විදේශ වෙළෙඳාම ප්‍රධාන තැනක් ගනී. මෙරට ජනතාව ගෙවන බදු වර්ග හැත්තෑ ගණනක් තිබේ. රාජ්‍ය ආදායම රුපියල් සියයක් වන විට එයින් රු. 75.3 ක් වක්‍ර බදු බව සඳහන්ය. මුලින් සඳහන් කරන ලද ආනයනයේ දී අයකරන බදු වර්ග ඇතුළු ජනතාව භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දී බද්දක් ගෙවන බව නොදැන කරන අය කරගැනීම මගින් එම ප්‍රතිශතය උපයයි. සෘජු බදු වශයෙන් ආයතනික හා පුද්ගල ආදායම් බදු සැලකේ. අමතරව අවශේෂ බදු වර්ගයන්ය. වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වහා වැට් බද්ද සංශෝධනය කළ අතර ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කළේය. උපයන විට ගෙවන බදු අනුපාත සංශෝධනය කරන්නට පියවර ගත්තේය. මහ බැංකුව පෙන්වා දෙන පරිදි මෙකී බදු සංශෝධන හෙයින් රජයට 2020 වසරේ දී අහිමි වනු ඇතැයි සලකන මුදල රු. බිලියන 143 කි. වාර්තා පෙන්වා දෙන පරිදි පනස් තුන් දහසක ආයතන ප්‍රමාණයක් වැට් ලියා පදිංචියෙන් නිදහස් වී තිබේ. එය වැට් බද්දට ලියා පදිංචි විය යුතු ආදායම් සීමාව පුළුල් කිරීමේ ප්‍රතිඵලයකි.
වැට් ඇතුළු බදු වෙනස් කර ආදායම අහිමි කරගත් ආණ්ඩුව කොව්ඩ්-19 වයිරසය හමුවේ විපතට පත් ජනී ජනයාට සහන දිය යුතුය. ලබන මාසයේ දී ද රු. පන්දහසක දීමනාවක් ගෙවීමට තීරණය කළහොත් එක පවුලකට රු. පහළොස් දහස බැගින් මාස තුන තුළ ගෙවා තිබේ. වැඩ කරන දින සැහෙන ප්‍රමාණයක් අහිමි විය. වැඩට නොඑන නමුත් වැටුප් ගෙවන්නට සිදුවී ඇත. සෞඛ්‍ය වියදම් ඉහවහා ගොස් ඇති බව සැකයක් නැත. අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් දරන වියදම ශ්‍රී ලංකාව වැනි රටකට උසුලා ගත නොහැකිය. ආයතනික මටට්මින් වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්ද පැත්තකට කළ ආණ්ඩුව එම අවාසිය මග හැර ගන්නට මෙම අවස්ථාවේ දී තාවකාලිකව ආහාර ද්‍රව්‍යවලට බදු පනවන ලද බව නිරීක්ෂණය කළ හැකිය.
කළමනාකරණය කර නොගතහොත් අනතුර තව දුරටත්
රජයේ ආදායම හා වියදම නිසි පරිදි කළමනාකරණය කර නොගතහොත් මෙම බදු සංශෝධන මාස හයකට සීමා නොවනු ඇති බව පෙනේ. වසර 2020 සඳහා අයවැය ලේඛනයක් සම්මත කරගෙන නැත. රජයේ ආදායම ගැන නිසි තක්සේරුවකට බාධාවක් වී තිබේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් රටට එවන විදේශ මුදල් ප්‍රමාණය සියයට විස්සකින් අඩුවනු ඇතැයි සැලකේ. ඇඟලුම් කර්මාන්තයෙන් අහිමිවන ආදායම සුළු පටු නොවේ. සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් නතර වී තිබේ. අකර්මණ්‍ය වී ඇති අංශ පුනරුත්තාපනය වෙනුවෙන් අලුතින් ආයෝජනය කළ යුතු මුදල ගැන මෙතෙක් නිශ්චිත අදහසක් නැත. ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙන පරිදි වසර පුරා කොවිඩ්-19 අවදානම තිබේ. එන්නතක් සොයා ගන්නා තෙක් තත්ත්වය පාලනය කරගත නොහැකිය.
පවතින පසුබිම අනුව තද මූල්‍ය කළමනාකරණයක් අවශ්‍යය. අනවශ්‍ය වියදම් සීමා කිරීම බලවත් අවශ්‍යතාවයකි. මහ මැතිවරණය වෙනුවෙන් කලින් වියදම් වූ ප්‍රමාණයට වඩා දෙගුණයක් හෝ තෙගුණයක් පිරිවැය අවශ්‍ය විය හැකි බව මැතිවරණ කොමිසම කියයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සඳහා මැතිවරණ අවශ්‍ය නමුත් එහි බර දරන්නට ජනතාව සූදානම් ද? එදිනෙදා ජීවත්වීම ප්‍රශ්නයක් වී ඇති අවස්ථාවක අරපිරිමැස්ම ඉතා වැදගත්ය. රාජ්‍ය ආයතනවල අලාභ අවම කරගත යුතු අතර එයින් සැලකිය යුතු සේවයක් සැලසේ. ජනතාව මත බදු බර ඇති නොවන සේ ක්‍රියා කරන්නට නම් දෙස් විදෙස් ණය ගැනීමට සිදුවෙයි. එම ණය පොලිය සමග ආපසු ගෙවන්නේ ද මෙරට පොදු ජනතාව හැර අනෙක් පාර්ශ්වයක් නොවේ. එය තවත් අවදානමකි. තත්ත්වය සමනය නොවුණහොත් තව තවත් බදු හැර අනෙක් යමක් අපේක්ෂා කරන්නට පුළුවන්කමක් නැත.
ජී. කේ. ජී. සරත්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...