පුරවැසි කොලම

උසස් අධ්‍යාපන අවස්ථා සොයා ශ්‍රී ලාංකීය සිසුන් විශාල සංඛ්‍යාවක් වාර්ෂිකව විදේශ ගතවන බව නොරසකි. එසේ වුවද එම සංඛ්‍යාවන් සම්බන්ධයෙන් නිවැරදි දත්ත සොයා ගැනීමට නොහැකි වීම​ පැහැදිලි ගැටලුවකි. නිවැරදි දත්ත නොමැති නිසා විදේශීය අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව කොපමණ මුදල් ප්‍රමාණයක් පිටරටට ඇදී යන්නේද​ සම්බන්ධයෙන් ද විශ්වසනීය තොරතුරු නැත​. එසේ වුවද ලොව පුරා පැතිරීගිය කොරෝනා තත්ත්වය හමුවේ විදේශීය රටවල අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් නැවත ගෙන්වා ගැනීමට ඉල්ලීම් දසදෙසෙන් ගලා එන්නට වීමත් සමග සැබෑ තත්ත්වය පිළිබඳ යම් වැටහීමක් සියලු දෙනාටම ලැබෙමින් පවතී.

රාජ්‍ය විශ්වවිද්‍යාලවට සිසුන් බඳවා ගනු ලබන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහාය. ඒ උසස් පෙළ ප්‍රතිඵල අනුවය. උසස් පෙළ විෂය නිර්දේශය දිස්ත්‍රික්ක අනුව, ජනගහනය සහ ජන පදනම හෝ ඒ ඒ දිස්ත්‍රික්කවල ඇති පහසුකම් අනුව වෙනස් වන්නක් නොවේ. උසස් පෙළ විභාගය ද එසේමය. එසේ වුවද එම ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේ දී කුසලතාව, දිස්ත්‍රික් පදනම, අඩු පහසුකම් සහිත දිස්ත්‍රික්ක ආදී නිර්ණායකයන් කිහිපයක් භාවිතයට ගැනීම මෙන්ම දිගින් දිගටම ඒවා ක්‍රියාත්මක කිරීම කෙතරම් සුදුසු දැයි සලකා බැලීම වටී. මේ සම්බන්ධයෙන් යම් අදහසක් ලබා ගැනීම සඳහා නිදසුනක් ලෙස​ 2017/18 අධ්‍යයන වර්ෂය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සලකා බලමු​. උක්ත වර්ෂය සඳහා වෛද්‍ය​ විද්‍යාලවලට බඳවා ගත් සමස්ත සිසුන් සංඛ්‍යාව 1484 කි. ඉන් වැඩිම අවස්ථා සංඛ්‍යාවක් හිමිවී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයටය​. ඒ අවස්ථා 268 කි. එනම් සමස්තයෙන් 18% ක් එම දිස්ත්‍රික්කයට ලැබී තිබිණ​. අඩුම අවස්ථා සංඛ්‍යාව එනම් අවස්ථා 4ක් හිමිවී තිබුණේ මුලතිව් දිස්ත්‍රික්කයටය​. එය 0.27% ක් තරම් අඩු ප්‍රතිශතයකි. උතුරේ අනෙක් පහසුකම් අඩු දිස්ත්‍රික්ක වන මන්නාරම​, කිලිනොච්චි සහ වව්නියා සඳහා ලැබී තිබූ අවස්ථා සංඛ්‍යාව පිළිවෙළින් 6, 10 සහ 14 කි.

 

පොළොන්නරුවට අවස්ථා 20 ක් සහ මොනරාගලට අවස්ථා 24 ක් ලැබී තිබිණි. උක්ත වර්ෂයේ ඉංජිනේරු පාඨමාලා සඳහා ලැබී තිබූ අවස්ථා සැලකුව ද මෙම තත්ත්වයේ විශේෂ වෙනසක් නැත​. එම වර්ෂයේ ඉංජිනේරු පාඨමාලා සඳහා උපාධි අපේක්‍ෂකයන් 1752 ක් බඳවා ගෙන තිබුණි. වැඩිම සංඛ්‍යාව එනම් අවස්ථා 277 ක් කොළඹට හිමි වී තිබූ අතර එය සමස්තයෙන් 15.8% කි. අඩුම සංඛ්‍යාව එනම් අවස්ථා 6ක් මුලතිව්වලට ලැබී තිබිණි. එය 0.34% ක් තරම් අඩු ප්‍රතිශතයකි. මන්නාරම​, කිලිනොච්චි හා වව්නියා දිස්ත්‍රික්කවලට පිළිවෙළින් අවස්ථා 7, 11 සහ 11ක් බැගින් ලැබී තිබිණි. පොළොන්නරුවට අවස්ථා 24 කුත්, මොනරාගලට 29කුත් ලැබී තිබිණි. මෙම අවස්ථාවල බෙදීයාම කෙතරම් තර්කානුකූල සහ සාධාරණ දැයි විමසා බැලීමට මත්තෙන් කලා විෂය ධාරාව තුළ උක්ත බෙදී යාම ද සැලකිල්ලට ගත යුතුය​.

උක්ත වර්ෂය සඳහා කලා විෂය ධාරාවන් ඔස්සේ (විශේෂ පාඨමාලා කිහිපයක් හැරෙන්න​) බඳවා ගත් සමස්ත සිසුන් සංඛ්‍යාව 6821 කි. කොළඹ දිස්ත්‍රික්කයට ලැබී තිබූ අවස්ථා සංඛ්‍යාව 324 කි. එනම් 4.75% කි. අඩුම අවස්ථා සංඛ්‍යාව එනම් අවස්ථා 34 ක් හිමි වී තිබුණේ වව්නියා දිස්ත්‍රික්කයටය​. කෙසේ වෙතත් එය 0.5% තරම් ප්‍රතිශතයකි. මන්නාරමට අවස්ථා 64 ක් හිමි වී තිබූ අතර එය 0.9% ක් තරම් ඉහළ අගයකි. පොළොන්නරුවට අවස්ථා 108 (1.6 %)ක් හා මොනරාගලට අවස්ථා 164 (2.4%) ක් ලැබී තිබිණි. කලා විෂය ධාරාව සඳහා කොළඹට 4.75% අවස්ථා ලබාදෙන විට මොනරාගලට 2.4 % වෙන් කිරීම සාධාරණ බෙදී යෑමකැයි යමෙකුට තර්ක කළ හැකිය​. එසේ වුව ද එම සාධාරණය වෛද්‍ය​, ඉංජිනේරු වැනි පාඨමාලා සඳහා නොලැබී යාම පැහැදිලි කරන්නේ කෙසේද​? වෛද්‍ය​​, ඉංජිනේරු පමණක් නොව අනෙකුත් ජනප්‍රිය යැයි සැලකෙන පාඨමාලා සඳහා වූ බෙදී යාමද විශේෂ වෙනසක් නොපෙන්වයි. පරිගණක විද්‍යාව සඳහා එම වසරේ බඳවා ගන්නා ලද සමස්ත සිසුන් සංඛ්‍යාව 451 කි. ඉන් අවස්ථා 100 ක්ම කොළඹ දිස්ත්‍රික්කයට හිමි වී තිබුණි. මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ලැබී තිබුණේ අවස්ථා එකක් පමණක් බැගින් පමණි. කොළඹ හැරුනු විට වැඩිම අවස්ථා සංඛ්‍යාව හිමිවී තිබුණේ මාතර දිස්ත්‍රික්කයට වන අතර එය 39 කි. කළමනාකරණ පාඨමාලා සඳහා බඳවාගත් සමස්ත සිසුන් සංඛ්‍යාව 4411 ක් වූ අතර ඉන් 739 ක්ම කොළඹ දිස්ත්‍රික්කයට ලැබී තිබිණි. මුලතිව්, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක සඳහා පිළිවෙළින් අවස්ථා 15, 19 සහ 20 බැගින් ලැබී තිබිණි.

මෙලෙසින් පාඨමාලා සඳහා අවස්ථා බෙදීයාම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ හැක්කේ එහිදී භාවිතයට ගැනෙන පදනම සැලකිල්ලට ගැනීමෙනි. වඩාත් පැහැදිලි අදහසක් ලබාගැනීම සඳහා ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේ ඉතිහාසය සම්බන්ධයෙන් ද යම් අධ්‍යයනයක් කිරීම වටී. විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී යොදාගත් ක්‍රමවේදය කාලානුරූපීව වෙනස් වූ ආකාරය හඳුනා ගත හැක. ලංකාවේ ප්‍රථම විශ්වවිද්‍යාලය වු University of Ceylon සඳහා සිසුන් තෝරා ගැනීමට ඇතුළත්වීමේ විභාගයක් පැවති අතර එයට සහභාගි වූ අපේක්ෂකයන් සංඛ්‍යාවත්, ඔවුන් ගේ ප්‍රතිඵලත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලය තුළ තමන් ගේ වියදම් දරා ගැනීමට ඇති හැකියාවත් වැනි නිර්ණායක සලකා බලන ලදී. වර්ෂ 1953 පමණ වන විට අපේක්‍ෂකයන් සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීමද අනිවාර්ය කර තිබිණි. එතැන් සිට වර්ෂ 1964 දක්වා පැවති ක්‍රමවේදය වූයේ ඒ ඒ විශ්වවිද්‍යාලය මගින් පැවැත්වූ මූලික සුදුසුකම් සපුරාලීමේ තරග විභාගයයි. ඉන් පසු අවම වයස සීමාවක් එනම් අපේක්ෂකයාගේ වයස අවුරුදු 17 ඉක්මවා තිබීම ද අනිවාර්ය කරන ලදී. 1968/69 පමණ වන විට උසස් පෙළ විභාගයෙන් ලබාගන්නා ලකුණු පදනම් කරගන්නා ලදී. එම කාලයේ දී විද්‍යා විෂය ධාරාව සඳහා ප්‍රායෝගික පරීක්ෂණයක් ද විය.

 

වර්ෂ 1971 පමණ වන විට හඳුන්වාදුන් විභාගයට පෙනී සිටි මාධ්‍ය සැලකිල්ලට ගැනීමේ ක්‍රමවේදය දැඩි ලෙස විවේචනයට ලක් වූවකි. නිදහස් අධ්‍යාපනය හඳුන්වා දී වසර 30 කට පසු එනම් වර්ෂ 1978 දී අඩු පහසුකම් සහිත දිස්ත්‍රික්ක හඳුනාගෙන විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සමස්ත සිසුන් සංඛ්‍යාවෙන් 15% ක් එම දිස්ත්‍රික්ක සඳහා වෙන් කරන ලදී. සමස්ත ලංකා කුසලතාව මත 30% කුත්, දිස්ත්‍රික් කුසලතාවය මත 55% කුත් ලෙස සිසුන් බඳවා ගන්නා ලදී. වර්ෂ 2001 දී Z ලකුණ භාවිතය ආරම්භ කර අද දක්වාම ක්‍රියාත්මකව පවතී. දැනට පවතින ක්‍රමවේදය අනුව​ කලා විෂය ධාරාව සඳහා සම්පූර්ණයෙන්ම බඳවා ගැනීම සිදුකරන්නේ සමස්ත ලංකා කුසලතාව පදනම් කර-ගෙනය. එනම් උසස් පෙළ එම විෂය ධාරාවෙන් වැඩිම Z අගය සහිත සිසුන්ට සරසවි වරම් හිමිවේ. එසේ වුවද ඒ ඒ දිස්ත්‍රික්කයට ලැබෙන ​ අවස්ථා සංඛ්‍යාව 1993/94 අධ්‍යයන වර්ෂය හෝ 2002/03 වර්ෂය යන දෙකෙන් වැඩි අගයක් ලැබී තිබූ වර්ෂයේ අදාළ සංඛ්‍යාවට වඩා අඩු නොවීමට කටයුතු කරනු ලැබේ. විද්‍යා විෂය ධාරාව සඳහා බඳවා ගැනීමේදී කුසලතා පදනම මත 40%ක් බඳවා ගනු ලැබේ. තවත් 55%ක් දිස්ත්‍රික් ජනගහන පදනම මත බඳවා ගන්නා අතර ඉතිරි 5% හිමිව ඇත්තේ දුර්වල අධ්‍යාපන පහසුකම් සහිත දිස්ත්‍රික්ක සඳහාය​. මෙම බඳවා ගැනීමේ ක්‍රමවේදය දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුගමනය කරන ක්‍රමවේදයයි.

2017/18 අධ්‍යයන වර්ෂයේ දී වෛද්‍ය​ විද්‍යාව සඳහා කොළඹට ලැබී තිබූ අවස්ථා 268 න් 178ක්ම කුසලතා පදනම මත ලැබුණු අවස්ථාය​. එය 66%ක් තරම් ඉහළ ප්‍රතිශතයකි. මුලතිව් සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක සඳහා කුසලතා පදනම අනුව කිසිඳු අවස්ථාවක් ලැබී නොතිබිණි. මන්නාරමට​, මොනරාගලට සහ කිලිනොච්චියට අවස්ථා 1, 2 සහ 4 බැගින් කුසලතා පදනම අනුව ලැබී තිබිණි. ඉංජිනේරු පාඨමාලා සඳහා කොළඹට ලැබුණු අවස්ථා 295 න් 181 ක්ම කුසලතා පදනම අනුවයි. එය 61% ක් තරම් ඉහළ ප්‍රතිශතයකි. මුලතිව්, මන්නාරම​, වව්නියාව සහ පොළොන්නරුව සඳහා කුසලතා පදනම අනුව අවස්ථා එක බැගින් ලැබී තිබූ අතර පොළොන්නරුවේ එය​ 3.8 % ක් තරම් අඩු අගයක්ය​.

එසේ වුවද කලා විෂය ධාරාව සලකන විට මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය​. වව්නියා, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම​, පොළොන්නරුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට කලා විෂය ධාරාව ඔස්සේ කුසලතව මත ලැබී තිබූ අවස්ථා සංඛ්‍යාව පිළිවෙළින් 42, 51, 55, 72, 127 හා 184 කි. ඒවා ඒ ඒ දිස්ත්‍රික්කවලට ලැබී තිබූ මුළු අවස්ථා සංඛ්‍යාවේ ප්‍රතිශතයන් ලෙස ගත් කළ පිළිවෙළින් 73%, 82%, 78%, .88%, 91% සහ 94% තරම් ඉහළ අගයන් ය​. මෙමගින් ගම්‍ය වන්නේ මෙම දිස්ත්‍රික්කවල දරුවන් කලා විෂයන් සඳහා වැඩි දක්‍ෂතාවයක් දක්වන බව හෝ විද්‍යා විෂය ධාරාවන් සඳහා අඩු දක්‍ෂතාවයක් පෙන්වන බවද? නැත​. කිසිසේත්ම නැත​. මෙමගින් පැහැදිලි වන්නේ නිදහස් අධ්‍යාපනයේ ඇති විශමතාවයයි. සම්පත් බෙදීයෑමේ ඇති විශමතාවයයි. සරලව කිවහොත් රාජ්‍ය ප්‍රතිපත්තිවල ඇති දුර්වලතාවයයි. නිදහස් අධ්‍යාපනය හඳුන්වා දී වසර 70 කට පසුවත්, අධ්‍යාපනය සම්බන්ධයෙන් අඩු පහසුකම් සහිත දිස්ත්‍රික්ක රට තුළ පැවතීම කනගාටුවට කාරණයක් නොවන්නේ ද​? වරප්‍රසාද​, මුදල් හදල් යන සීමාවන්ගෙන් තොරව සැමට එක හා සමාන අධ්‍යාපනයක් ලබාදීම සඳහා වූ කන්නන්ගර චින්තනය ඵලදරා ඇත්ද​? කොළඹට කිරි, ගමට කැකිරි ප්‍රතිපත්තිය තවමත් ක්‍රියාත්මක නොවන්නේ ද​?

කුසලතා පදනම ක්‍රියාත්මක කිරීමේදී, විද්‍යා විෂය ධාරාව තුළ කොළඹ වැනි දියුණු යටිතල පහසුකම් සහිත දිස්ත්‍රික්කවල දරුවන්ට වැඩි අවස්ථා ප්‍රමාණයක් ලැබෙන බව පැහැදිලිය​. කුසලතාව සහිත දරුවන්ට තමන් ජීවත්වන දිස්ත්‍රික්කය නොසලකා අවස්ථා ලබා දීම කළ යුත්තකි. එසේ වුවද සැබවින්ම විය යුතුව ඇත්තේ සෑම දරුවකුටම කුසලතාව ලබා ගැනීමට සමාන අවස්ථා ලබා දීමයි. සැබෑ කන්නන්ගර චින්තනය ද එයයි. සමාන පහසුකම් සපයාදීමේ දී කලින් කලට පත්වන රජයයන් යම් යම් උත්සාහ දැරුවද සමස්තයක් වශයෙන් ගත් කළ එමගින් ලැබූ ප්‍රමාණාත්මක වර්ධනයක් නැත.

තෝරාගැනීමේ දී භාවිත වන ක්‍රමවේදය මෙන්ම අවධානය යොමු කළ යුතු අනෙක් කාරණය​ වන්නේ තෝරාගන්නා සිසුන් සංඛ්‍යාවයි. උසස් පෙළ විභාගය සඳහා සිසුන් 325,000 ක් පමණ පෙනී සිටින විට ඉන් 180,000 ක් පමණ විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් සපුරා ගැනීම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභයක් නම් සුදුසුකම් සපුරණ සිසුන් 180,000 න් 5/6 කටම එනම් සිසුන් 150,000 කටම සරසවිවලට ඇතුළුවීමේ අවස්ථාව නොලැබීම විග්‍රහ කරන්නේ කෙසේද​? මේ සම්බන්ධයෙන් වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ ඉතිහාසය මදක් අධ්‍යයනය කළ යුතුය​.

වර්ෂ 1931 යනු කන්නන්ගර නිදහස් අධ්‍යාපනය හඳුන්වාදීම වෙනුවෙන් තම ප්‍රථම පියවර තැබූ වසරයි. ඒ වන විට ලංකාවේ පාසල් අධ්‍යාපන පද්ධතිය යම් මට්ටමකට ස්ථාපිතව පැවතිය ද අප සතු විශ්වවිද්‍යාල නොතිබිණි. එසේ වුවද​ විශ්වවිද්‍යාල කොලීජියන් පැවතිනි. එම කොලීජියන්වල ද අධ්‍යාපනය ලැබූ සමස්ත සිසුන් සංඛ්‍යාව 400 ක් තරම් සුළු පිරිසකි. වර්ෂ 1947 එනම් නිදහස් අධ්‍යාපනය හඳුන්වාදුන් වසර වන විට විශ්වවිද්‍යාල කොලීජියන්වල සිටි සිසුන් සංඛ්‍යාව 1554 ක් තරම් විය. නිදහස් අධ්‍යාපනයත් සමගම රට තුළ විශ්වවිද්‍යාල ද බිහිවූ අතර 1954 වනවිට වාර්ෂිකව සිසුන් 500 ක් තරම් පිරිසක් සරසවිවලට බඳවා ගැනිණ​. එම සංඛ්‍යාව සරසවිවලට සුදුසුකම් සැපිරූ සංඛ්‍යාවෙන් 1/3 ක් පමණ ඉහළ අගයක් වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය​. අද වන විට විශ්වවිද්‍යාලවලට බඳවා ගනු ලබන්නේ සුදුසුකම් සපුරාලන සිසුන් ගෙන් 1/6 ක් පමණක් වන බැවිනි. ඒ අනුව සිසුන් 180,000 ක් පමණ සුදුසුකම් ලබන විට බඳවා ගනු ලබන්නේ 30,000 ක් පමණකි. ඉතිරි 150,000 ටම විකල්ප කරා යොමුවීමට සිදු වී ඇත​. එම විකල්ප අතර උසස් අධ්‍යාපන අවස්ථා සොයා විදේශ ගතවීම​, දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළු වීම හෝ උසස් අධ්‍යාපනය අතහැර දැමීම ප්‍රධාන තැනක් ගනී. එම කවර විකල්පය හෝ පහසුවෙන් ගත හැකි එකක් නොවන බව නම් මනාව පැහැදිලිය​. එසේ හෙයින් නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ කොතැනට දැයි ප්‍රශ්න කරන තත්ත්වයක් අදවන විට උදා වී ඇත​.

විශේෂයෙන්ම වසර 13 ක පාසල් අධ්‍යාපනය සාර්ථකව නිමකර අතිශය තරගකාරී උසස් පෙළ විභාගයෙන් සමත් දරුවන් 150,000 කට පමණ වාර්ෂිකව සරසවි වරම් අහිමි වීම ජාතියේ ඛේදවාචකයක් නොවේද​? උසස් අධ්‍යාපන අවස්ථා සොයා විදේශ ගතවන දරුවන් වෙනුවෙන් වාර්ෂිකව වැයවන අතිවිශාල මුදල් ප්‍රමාණය රට තුළම රඳවා ගත නොහැකිද​? වාර්ෂිකව දරුවන් 150,000 කට සරසවි වරම් නොමැති විටෙක ඇතැම් සේවාවල හිඟයක් ඇතැයි පැවසීමත්, එම හිඟය පියවා ගැනීමට විශ්‍රාම ගැනීමේ වයස් සීමාවන් ඉහළ නැංවීමත් අතීසාරයට අමුඩ ගැසීම් වැනි පිළියම් නොවේද​? වෛද්‍යවරුන් සම්බන්ධයෙන් නම් මෙම හිඟය හාස්‍ය දනවන සුලුය​. මන්ද මීට වසර කිහිපයකට කලින් සයිටම් විරෝධී අරගලයේ යෙදී සිටි බොහොමයක් දෙනා කෙස් පැළෙන තර්ක සහ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් කියා සිටියේ මේ රටට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වෛද්‍යවරුන් සිටිනා බවයි. වසර දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත එදා අතිරික්තය අද හිඟයක් දක්වා වෙනස් වූයේ කෙසේ දැයි ජනතාවට​ පැහැදිලි කළ යුතුව ඇත​. මේ සියල්ලෙන් පැහැදිලි වන සත්‍යය වන්නේ පටු න්‍යාය පත්‍රවලින් මිදී විසඳිය යුතු ජාතික ප්‍රශ්නයක් අප අබිමුඛයේ ඇති බවයි. එනම් උසස් අධ්‍යාපනයේ අවස්ථා ප්‍රසාරණය කිරීමත්, සැමට එක සේ කුසලතා ලබා ගත හැකි පාසල් අධ්‍යාපන පද්ධතියක් රට තුළ ස්ථාපනය කිරීමත්ය​. එය ජනාධිපතිවරයා සහ නව රජය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් ද වන්නේය​.

වසර 13 ක පාසල් අධ්‍යාපනය සාර්ථකව නිමකර අතිශය තරගකාරී උසස් පෙළ විභාගයෙන් සමත් දරුවන් 150,000 කට පමණ වාර්ෂිකව සරසවි වරම් අහිමි වීම ජාතියේ ඛේදවාචකයක් නොවේද​? උසස් අධ්‍යාපන අවස්ථා සොයා විදේශ ගතවන දරුවන් වෙනුවෙන් වාර්ෂිකව වැයවන අතිවිශාල මුදල් ප්‍රමාණය රට තුළම රඳවා ගත නොහැකිද​?

Aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More