පුරවැසි කොලම

පසුගිය මැයි 25 වැනිදා ඇමෙරිකාවේ මිනසෝටා ප‍්‍රාන්තයේ මිනිඇපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියකුගේ කෲර ක‍්‍රියාකාරකමක් හේතුවෙන් ජොර්ජ් ෆ්ලොයිඞ් නම් ඇමරිකානු කළු ජාතිකයාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. මෙම සිදුවීම තනි සිදුවීමකට වඩා කළු ජාතිකයන් ඉලක්ක කරගත් අපරාධ මාලාවක තවත් එක් පරිච්ෙඡ්දයක් විය. තම ජීවිතය අයැදිමින්, ෆ්ලොයිඞ් හුස්ම පොදක් ඉල්ලා සිටින රූප දර්ශන මාධ්‍යයට අනාවරණය වීමත් සමග මෙම ඝාතනයට එරෙහිව ඇමෙරිකානුවන් විරෝධය පළ කිරීමට පටන්ගෙන ඇති අතර එය අද ඇමෙරිකාවේ පමණක් නොව ලෝකය පුරා ජීවත් වන කළු ජාතිකයින් ඇතුළු අනෙකුත් සුළු ජාතීන්ගේ ජීවිත වෙනුවෙන් සමාජ සාධාරණත්වය හා සමානාත්මතාව ඉල්ලා සිටින මහා උද්ඝෝෂණ රැල්ලක් බවට පරිවර්තනය වී ඇත.

ඇමෙරිකාව තුළ වර්ණභේදවාදය

ඇමෙරිකාව තුළ වර්ණභේදවාදය පිළිබඳ ගැටලූව ඇමරිකානු යටත්විජිතකරණය දක්වා ඈතට දිව යන්නකි. ඇමරිකානු වර්ණභේදවාදය මූලාරම්භය ගැන කතා කරන විට වහල් සේවය මෙන්ම ස්වදේශික රතු ඉන්දියානුවන්ගෙන්

ඉඩම් අත්පත් කරගැනීම පිළිබඳව ද සඳහන් කළ යුතුය. වසර 1507 දී ඉතාලි දේශ ගවේශකයකු වන ඇමරිගෝ ද වෙස්පුචි බටහිර ඉන්දිය කොදෙව් ¥පත්වලට පැමිණීමෙන් පසු ඇරඹී යටත්විජිතකරණය පවත්වා ගෙන යෑමට අවශ්‍ය ශ‍්‍රම බලකායක අවශ්‍යතාව 16 වන ශතවර්ෂය අවසාන වන විට පැන නැගිණි. ඒ සඳහා බටහිරි අප‍්‍රිකානු ප‍්‍රදේශවලින් ශක්තිමත් කළු ජාතිකයින්ව මිනිස් ජාවාරම්කරුවන් විසින් බලහත්කාරයෙන් වහල් සේවකයන් ලෙස ඇමෙරිකානු මහාද්වීපය වෙත රැුගෙන එනු ලැබීය. එම වහල් වෙළෙඳාම 19 වන ශත වර්ෂය වන තෙක් පැවැතිණි.

1865 වසරේ දී ඇමරිකානු සිවිල් යුද්ධය අවසන් වනතුරුම වහල් සේවය ඇමරිකානු සමාජය හා ආර්ථිකය තුළ නීතිගතව පැවැතුණි. නමුත්, ඇමෙරිකාවේ 16 වැනි ජනාධිපතිවරයා වූ ඒබ‍්‍රහම් ලින්කන්ගේ නායකත්වයෙන් සිවිල් යුද්ධය ජයගත් ෆෙඩරල්වාදීන් විසින් ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය නීතිගත කිරීමට සමත් වීමත් සමගම වහල් සේවයේ අවසානය උදා විය. ඉහත 13 වන සංශෝධනයෙහි සංක්ෂිප්ත අදහස වනුයේ, ”නිසි ලෙස වරදකරු කරනු ලැබ ඇති අපරාධ සඳහා දඬුවමක් හැරෙන්නට වහල්භාවය හෝ ස්වේච්ඡුා සේවයක් එක්සත් ජනපදය තුළ හෝ එහි අධිකරණ බලයට යටත් වන කිසිදු ස්ථානයක් නොපවතී” යන්න වේ.

ඉන් නොනැවතිනු ව්‍යවස්ථාදායකය ඇමෙරිකානු පුරවැසිභාවය යුරෝපීයන් නොවන අයට ලබාදීම හා සමස්ත ඇමරිකානු පුරවැසියන් වෙත ඡුන්ද අයිතිය ලබාදීම යන පුළුල් සමාජ ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාකාරකම් පිළිවෙළින් 14 වන හා 15 වන සංශෝධන තුළින් ඇමරිකානු ව්‍යවස්ථාවට අන්තර්ගත කිරීමට 1870 වනවිට හැකි විය. ඉහත සඳහන් ව්‍යවස්ථා සංශෝධන ත‍්‍රිත්වය ඇමරිකානුවන්ගේ සිවිල් හා නීතිමය අයිතීන් ශක්තිමත් කිරීමට හේතු විය.

සිවිල් ක‍්‍රියාකාරීන්

කළු ජාතිකයන් සම්බන්ධව තිබූ වහල් සේවයේ බැඳීම් හා වහල් වෙළෙඳාම 1865 වසරේදී අවසන් වුවත් සමාජය තුළින් එම අමිහිරි මානව හැසිරීම් හා දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස සැලකීම අවසන් නොවූ බව වර්තමාන සිදුවීම් තුළින් පවා පිළිබිඹු වේ. නමුත් කළු ජාතිකයන් හට වන්නා වූ අසාධාරණයන් නිවැරදි කිරීමට විවිධ කාලසීමාවන් හි ඇමෙරිකාව තුළ ශ්‍රේෂ්ඨ චරිත විශාල ප‍්‍රමාණයක් බිහි විය. ඔවුන්ගේ අපරිමිත කැප කිරීම් හා උත්සාහයන් හේතු කොටගෙන කාලානුරූපව පැවැති තත්ත්වයන් සැලකිය යුතු ලෙස නිවැරදි කරමින් සමාජ ආකල්ප ශෝධනයක් සිදුකිරීමට ඔවුන්ට හැකි විය. 19 වැනි හා 20 වැනි සියවස්වල එසේ තමගේ රට තුළ සමාජ විමුක්තිය ඇති කිරීම සඳහා කටයුතු කළ බොහෝමයක් අතරින් පුද්ගලයන් දෙදෙනකු ගැන මේ ලිපිය තුළින් කෙටියෙන් සඳහන් කරමු.

පළමුව, 18 වන ශත වර්ෂය තුළ කළු ජාතිකයන් හට සමානාත්මතාවය ඇති කිරීමට ඉමහත් මෙහෙයක් සිදු කළ ෆෙඩි‍්‍රරික් ඩග්ලස් නම් මානවවාදියා ගැන සඳහන් කරමු. ෆෙඩි‍්‍රරික් තම කුඩා කල සිටම කටුක වහල් සේවය අතිශය දුෂ්කරතා අත්විඳි අතර නව යොවුන් වියේදී ඉන් පලාගොස් නිදහස් ජීවිතයක් අත් කර ගැනීමට සමත් විය. ක‍්‍රමානුකූල අධ්‍යාපනයක් නොලද මුත් ඔහු ස්වොත්සාහයෙන් ඉගෙනුම ලබා ගැනීමට තරම් ධෛර්යවන්ත විය. ඒ තුළින් ලබාගත් දැනුම උපයෝගී කරගෙන කළු ජාතිකයන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි අතර ඔවුන් සඳහා පුවත්පත් කිහිපයක් ඇරඹීමට ද ඔහු කටයුතු කළේය. ෆෙඩි‍්‍රරික් තම කටුක ජීවිත කතාව ස්වයං චරිතාපදාන තුනක් යටතේ ප‍්‍රකාශයට පත්කරන ලදී. එතුළින් අමෙරිකාව තුළ කළු ජාතිකයන්ගේ වහල් ජීවිතයන්හි කටුකත්වය මුළු ලෝකයටම හඬගා කීවේය. එසේම 1872 වසරේදී පැවැති ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා එරට ප‍්‍රථම වතාවට ඉදිරිපත් වූ කාන්තාව වන වික්ටෝරියා වුඞ්හුල්ගේ උප ජනාධිපති සගයා ලෙස ඉදිරිපත්වීමට ද ඔහුට අවස්ථාව හිමිවිය.

දෙවැනි චරිතය වන්නේ මාටින් ලූතර් කිං ය. මාටින් ලූතර් කිං ඉන්දියානු නිදහස් සටන තුළ මහත්මා ගාන්ධි ගෙනගිය අවිහිංසාවාදී ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් 1960 දශකය තෙක් දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සැලකු කළු ජාතිකයන් හට සමානාත්මතාව ඇතිකර දීම සඳහා දැවැන්ත සේවාවක් සිදුකරන ලදී. වාර්ගික අසමානතාවය, දුගීබව හා රැුකියා වියුක්තිය දුරුකිරීමට ඔහු ඇමෙරිකාව පුරා පාගමන්, විරෝධතා ව්‍යාපාර හා වැඩවර්ජන මෙහෙයවන ලදී. එම අවස්ථාවන්හි පැවැති මහජන රැුස්වීම් අමතමින් ඔහු විසින් කරනු ලැබූ දේශනයන් ලොව පුරා ඇගයීමට ලක්විය. ඔහු සතුව චතුර කථිකත්වය වගේම ඉවසිලිවන්ත බව හේතුකොටගෙන අසිමිත ජනතා ආකර්ෂණය කර ගැනීමට ඔහුට හැකිවිය. 1963 වසරේදී සංවිධානය කරන ලද වොෂිංටන් වෙත පාගමන අවසානයේ දී ඔහු විසින් සිදුකරන ලද ”මට සිහිනයක් තියෙනවා” නම් තේමාවෙන් ආලෝකමත් වූ දේශනය වර්තමාන සමාජ ක‍්‍රියාකාරිකයන්ට පවා අභිපේ‍්‍රරණයක් ගෙන දෙන අතිවිශිෂ්ට දේශනයක් බව බොහෝ දෙනා පිළිගන්නා කරුණකි. එම තේමා පාඨය 2008 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී බැරැුක් ඔබාමා තම ඡුන්ද සටන සඳහා ද යොදාගන්නා ලදී. මාටින් ලූතර් කිං ගෙන් සිදු වූ සේවය අගයමින් 1964දී ඔහුට නොබෙල් සාම ත්‍යාගය හිමි විය. නමුත්, අවාසනාවන්ත ලෙස 39 වැනි වියේදී මාටින් ලූතර් කිං, සුදු ජාතිකයකුගේ වෙඩි උණ්ඩයකට බිලිව 1968 වසරේ දී මෙලොවින් සමුගත්තේය.

කළු ජාතිකයන් දෙදෙනකු ගැන පමණක් සඳහන් කළත්, වර්ණභේදවාදය තුරන් කිරීම සඳහා සුදු කළු හෝ ජාතිකත්ව බේදයකින් තොරව බොහෝ දෙනෙක් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන ලද බව ඇමරිකානු ඉතිහාසය දෙස බලන කල ඕනෑකමින් සඳහන් කළ යුතු කරුණකි. ඔවුන් සියලූදෙනා සිදු කළ අපරිමිත මෙහෙය තවදුරටත් ඉදිරියට රැුගෙන යා යුතු බව වර්තමාන සිදුවීම් තුළින් අප හට සනාථ වේ.

ඇමරිකානු පොලිසිය තුළ තිබෙන්නා වූ දුර්වලතා

ඇමරිකාව තුළ නීතිය බලාත්මක කිරීම මූලික වශයෙන් ක‍්‍රියාත්මක වන්නේ පොලිස් ආයතන හරහාය. ඇමරිකාව තුළ එකිනෙකාගෙන් ස්වාධීන වූ පොලිස් ආයතන 17,985ක් ඇත. ඒවාට නගර පොලිස් දෙපාර්තමේන්තු, ප‍්‍රාන්ත ෂෙරිෆ් කාර්යාල, ප‍්‍රාන්ත පොලිස් / අධිවේගී මුර සංචාර සහ ෆෙඩරල් නීති බලාත්මක කිරීමේ ආයතන ඇතුළත් වේ. පෙර පැවැසූ පරිදි එකිනෙකාගෙන් ස්වාධීන වූ පාලන ව්‍යුහයක් සහිත වීම තුළ දැඩි ලෙස පොලිස් ක‍්‍රියාකාරීත්වය ප‍්‍රාදේශීයකරණයට ලක්ව ඇත. ඒ හේතුවෙන් නිලධාරීන් බඳවා ගැනීමේ සිට පොදු හර පද්ධතියක් පවත්වාගෙන යෑම දක්වා කටයුතු එක් පොදු ආකාරයකට තම ආයතන ව්‍යුහය තුළ පවත්වා ගෙන යෑමට ඇමරිකානු පොලිසියට අපහසුව පවතින බව දක්නට ඇත. ඒ තුළ නිලධාරීවාදය මෙන්ම සුදු ජාතිකයන් කෙරෙහි විශේෂිත අයුරින් සැලකීම නිරන්තරව වාර්තා වන බවට වොෂින්ටන් පෝස්ට් වෙබ් අඩවිය දක්වා සිටී. තවද නිලධාරින්ගේ වර්ණභේදවාදී ක‍්‍රියාවන් පිළිබඳව නිසියාකාරව විනය ක‍්‍රියාමාර්ග නොගැනීම තුළ එවැනි සමාජ විරෝධී ක‍්‍රියාවන් සාමාන්‍යකරණය වීම එය උත්සන්න කරන බව තවදුරටත් ඔවුන් දක්වා සිටී. එවැනි වටපිටාවක් තුළ කළු ජාතිකයන් ඉලක්ක කරමින් මර්දනකාරී ක‍්‍රියාවන් පොලිසිය අතින් නිරතුරුව සිදු වූ බව, පසුගිය දශකයක කාලය තුළ සිදු වූ අමානුෂික ඝාතනයන් දෙස බැලීමේ දි දක්නට හැකිය.

එසේ වුවද, ඇමරිකානු පොලිසියට පැවරී ඇති රාජකාරියේ ලොව අනිකුත් නීතිය බලාත්මක කරන ආයතනයනට වඩා සපුරා බැ?රුම් බව අප තේරුම් ගත යුතුය. විශේෂයෙන්ම, සුදු, ලතින් හා ආසියානු ජාතිකයන් සිටින ප‍්‍රදේශවලට වඩා කළු ජාතිකයන් බහුලව සිටින ප‍්‍රදේශ බොහෝවිට දුගීබවෙන් මිරිකෙමින් සිටින බව ඇමරිකානු ආර්ථික දත්ත වාර්තා නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි. ඒ හේතුවෙන් එම ප‍්‍රදේශ තුළ රැුකියා වියුක්තිය හා මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ගොස් තිබේ. මේ නිසා මෙවැනි ප‍්‍රාන්තවල නීති විරෝධි කටයුතු ඉහළ මට්ටමක පවතින අතර ඒ හා සම්බන්ධිත අපරාධ සිදුවීම් නිරන්තරව පොලිසිය වෙත වාර්තා වෙමින් තිබේ. එවැනි තත්ත්වයක් තුළ පොලිස් නිලධාරීන්ට ද කටයුතු කිරීමට සිදුව ඇත්තේ දැඩි මානසික පීඩනයක් හා ආතතියක් ඇතිවය.

තවද, ඇමෙරිකානු ව්‍යවස්ථාවේ 2 වන සංශෝධනය මගින් සාමාන්‍ය ජනතාවට තම ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවි දැරීමට ලබාදී ඇති අයිතිය පොලිස් නිලධාරීන් හට තවත් අමතර අවදානමක් ගොඩන`ගා ඇත. එම ආයුධ දැරීමේ අයිතිය හේතුවෙන් ලොව ඉහළම ගිනිඅවි භාවිතයක් සහිත රට බවට ඇමෙරිකාව පත්ව ඇත. අමෙරිකාව තුළ කිසියම් ගෘහස්ථ ගැටුමකදී වුවද ගිනි අවියක් පුද්ගලයකුගේ අතින් ක‍්‍රියාත්මක වීමට ගතවන්නේ ඉතා කෙටි කාලයකි. ඇමෙරිකානු සමාජය තුළ මෙම දෙවන සංශෝධන ඉවත්කිරීම පිළිබඳව කතිකාව කලින් කලට සිදුවන්නා වූ සමූහ අපරාධ හා ඝාතන සිදුවීම් සමග කරළියට එනමුත් අවි ආයුධ නිපදවන්නන්ගේ පොළඹවීම මත දේශපාලකයන්ට හා පොදු මහජනතාවට හට සෑබෑ විසඳුමකට පැමිණීම ඉතා අපහසුව පවතින බව දක්නට ඇත.

මෙම තත්ත්වය තුළ පොලිසියට නීතීය හා සාමය රැුක ගැනීමේදී යෙදවිය යුතු අවම බලය පිළිබඳ ධර්මතාවන් වෙනස්වීම නිතැතින්ම සිදුවිය හැක. එනම් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේදී නිලධාරීන් තම ස්වයං ආරක්ෂාව පිළිබඳව දැඩි සැලකිල්ලක් ගනිමින් සැකකරුවා මෙල්ල කිරීමට යෑම දැක්විය හැක.

කෙසේ වෙතත්, එවැනි සිදුවීම් පොලිස් නිලධාරීන් අතින් සිදුවීම කිසි ලෙසකින් සාධාරණීකරණය කිරීමට නොහැකි වනුයේ එය මිනිසකුගේ ජීවිතය හා මරණය පිළිබඳ කරුණක් නිසාය. එසේම පවත්නා ගැටලූ නිරාකරණය සඳහා නිසි ක‍්‍රමවේදයන් හඳුන්වා දීමේ හැකියාවක් ඇමෙරිකාව වැනි භෞතික දියුණුවේ අගතැන්පත් රටකට තිබිය යුතු හෙයිනි.

ඇමෙරිකානු දේශපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය

ඉදිරියේදී පැවැත්වීමට නියමිත 59 වැනි ජනාධිපතිවරණයත් සමග ඇමරිකානු දේශපාලනය පිළිබඳව වූ තීරණාත්මක වසරක් බවට 2020 වසර පත්ව ඇත. සුදු ජාතිකයන්ගේ බහුතර ඡුන්ද බලයෙන් බලයට පත් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා වන වර්තමාන ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට මෙම අර්බුදය සෘණාත්මකව බලපානු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති. පසුගිය දිනෙක උද්ඝෝෂකයන් මර්දනය කිරීමට හමුදා බලය යෙදවිය යුතු බවට ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළත් ආරක්ෂක ලේකම්වරයා එය ප‍්‍රතික්ෂේප කිරීම ඔහු ලත් දේශපාලන පරාජයක් බවට පත් විය. එසේම සමාජ ජාල ඔස්සේ විටින් විට ඔහු නිකුත් කරනු ලබන පණිවිඩ ප‍්‍රශ්නය සමනය කරනවා වෙනුවට තවදුරටත් උත්සන්න කරනවා යැයි මධ්‍යස්ථ මතධාරී ඇමරිකානුවෝ ප‍්‍රකාශ කරති.

සමාජ විරෝධතාවයන් ගැන සැලකීමේදී විශේෂ සිදුවීමක් 2016 වසරේදී සිදුවිය. ඒ ඇමරිකානු පාපන්දු ලීගයේ ක‍්‍රීඩකයකු වූ කොලින් කෙපර්නික් නම් කළු ජාතිකයා තරග ආරම්භයට ප‍්‍රථම ඇමරිකානු ජාතික ගීය ගායනා කිරීමේ දී දණ ගසා හිඳ ගනිමින් විරෝධය පෑවේ කළු ජාතිකයනට පොලිසිය වෙතින් සිදුවන්නා වූ අකටයුතුකම්වලට එරෙහිව වේ. තනිව ඔහු විසින් ඇරඹි එම විරෝධයට පසුව බොහෝ දෙනා එක්වුවත් ඇමරිකානු සමාජය තුළ දෝෂ දර්ශනයට ලක්වීමට වැඩි කලක් ගත නොවූයේ ජාතික ගීයට අපහාස කරන බව දක්වමිනි. එම ප‍්‍රතිවිරෝධය හමුවේ ඔහුගේ ක‍්‍රීඩා කොන්ත‍්‍රාත්තුව පවා අහිමි වූ අතර අවසානයේ එම ක‍්‍රීඩකයාට ක‍්‍රීඩාවෙන් සමු ගැනීමට සිදු විය. නමුත් අද වන විට නැවත ඔහු ඇමෙරිකානුවන් අතර වීරයකු බවට පත්ව සිටී. ඒ තමන් වෙත ලැබෙන මුල්‍ය වාසි හා කීර්තිය පසෙක දමමින් තනිව සමාජ අසාධාරණයන් වෙනුවෙන් විරෝධය දැක්වීම නිසාය.

එසේම අද දවස වන විට ඇමෙරිකාව තුළ කළු ජාතිකයන් සමග එක්ව බොහෝ සුදු හා අනෙකුත් ජාතිකයන් විරෝධතාවන්ට සහභාගි වෙන්නේ තම ජීවිතය ගැන පවා නොතකමින් සමාජ සාධාරණත්වය වෙනුවෙනි. ඒ ඔවුන්ගේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සමානාත්මතාවයෙන් යුතු සමාජයක් බවට පත් කිරීම සඳහාය.

අවසාන වශයෙන්

තොරතුරු තාක්ෂණයේ ශීඝ‍්‍ර දියුණුවත් සමඟ මුළු ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත් වෙමින් තිබේ. තාක්ෂණයේ දියුණුවත් සමග විශ්ව ගම්මානය බිහිවුවද එම ගම්මාන තුළ ජීවත්වන සුළුතර ජනතාවට එල්ලවන පීඩාවල අඩුවක් නම් නොමැත. නමුත් එම විශ්ව ගම්මානයේ තාක්ෂණය විසින්ම එම පීඩිතයන්ගේ හඬ ලෝකයට ගෙන යෑමට යෝධ බලයක් හා අවකාශයක් විවර කර දී තිබේ. එම අවකාශය තුළ ඇමෙරිකානු ජනයා තම රටේ පීඩිතයන්ගේ අයිතිවාසිකම් රැුක ගැනීමට පෙරට පැමිණෙමින් සිටිති. දැනටමත් ගෝලීය දේශපාලනයේ කැළඹීමක් ඇති කර තිබේ. එමගින් දේශපාලන පෙරළි සිදුවේද? අපි බලා සිටිමු.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More