බෞද්ධ සාහිත්‍යය පිළිබඳව යම්කිසි අවබෝධයක් තිබෙන කෙනෙකුට විශාලා මහනුවර එකල බුදුන් සමය තුළ ඇති වූ දුර්භික්ෂය සහ ඒ සම`ගින් ප‍්‍රජාව තුළ ජනිත වූවා වූ තුන් බිය වර්තමානයේ ජීවත්වන අපටද අත්විඳීමට සිදු වීම සහ එහි එම අතීත සිද්ධිය යථාර්ථයක් බවට පත්වී තිබීම කවුරුත් අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. වර්තමානයේ ගෝලීය වශයෙන් සියලූ ප‍්‍රජාවන් මුහුණ දී තිබෙන මෙම කොරෝනා වසංගත තත්ත්වය දෛවයේ සරදමක්ද යන්න පිළිබඳවත් අප තුළ පැනන`ගින ගැටලූවකි.
මෙය දෛවයේ සරදමක් නම් ඒ සඳහා වගකිව යුත්තේ අපමය. මෙම තත්ත්වය මෙයට වසර 2500 කට පමණ පෙර සිට ආයුර්වේදීය වෛද්‍ය ශාස්ත‍්‍රය තුළ ජනපදොධ්වංසය නමින් සාකච්ඡුාවට බඳුන් වී තිබිණ. පුද්ගලයා විසින් ඇතිකරනු ලබන පරිසර දූෂණය මෙම තත්ත්වයට මූලික කාරණය වන අතර මෙම පරිසර දූෂණය නිසා මේ විශ්වය තුළ ජීවත් වන සත්ත්වයාගේ පමණක් නොව එහි වර්ධනය වන වෘක්ෂලතා ආදියෙහිත් විකෘතිතා රාශියක් ඇතිවෙමින් එම විකෘතිතා පුද්ගලයාගේ සෞඛ්‍යයට තර්ජනයක් ඇතිකරන බව පුරාණ සෘෂිවරුන් පොත්පත්වල ලියා තබා ඇත.
මෙම පරිසර දූෂණය කෙරෙහි බලපාන විපරිත සහ අස්වාභාවික මානව චර්යාවන් පරිසර හිතකාමී අයුරින් සකසා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ආයුර්වේදය තුළ හොඳ හැටි පැහැදිලි කර තිබේ.
කොවිඞ් 19 වෛරසය වර්තමාන ප‍්‍රජාව තුළ වින කිරීමට පටන්ගත් එක් වෛරසයක් පමණක් බවත් මෙවැනි වූ වසංගත තත්ත්වයන් ඇති කරන තවත් වෛරස සහ බැක්ටීරියාවන් රාශියක් ඇතිවිය හැකි බවටත් මේවා ක‍්‍රියාත්මක වීම ප‍්‍රමාද වීමට හේතුව ග්ලැසියර් අයිස් තට්ටු මත සැ`ගවී තිබෙන නිසා බවත් ගෝලීය උණුසුම්කරණය නිසා අයිස් තට්ටු දියවීමත් සම`ග මේවා ක‍්‍රියාත්මක වීමට නියමිත බවත් තතු දත් විද්‍යාඥයින් පුරෝකථනය කර තිබේ.
මෙවැනි වසංගත සීග‍්‍රයෙන් පැතිරීමට තවත් එක් මූලික කරුණක් හැටියට පුද්ගලයා තුළ තිබිය යුතු විනය, හික්මීම සහ ආකල්පමය සංවර්ධනයෙහි ගැටලූ සඳහන් කළ හැක. ආයුර්වේදයේ මේ පිළිබඳව ආචාර රසායනය නමින් සඳහන් වී ඇත. මේ යටතේ ඇති ආචාර ධර්ම අනුගමනය කරන පුද්ගලයාට ඖෂධමය ද්‍රව්‍යමය රසායන සියල්ලෙන්ම හොඳ ප‍්‍රතිඵල ලබාගත හැකි බව සඳහන් වෙයි. ආචාර රසායනයෙහි සඳහන් නියමයන් කිහිපයක් නම්, සත්‍යවාදී වීම, නීතිගරුක වීම, මධ්‍යපාන, සාධාරණත්වය ආධ්‍යාත්මික සංවර්ධනයෙහි උත්සුකවීම, ඇස් කන් නාසාදී ඉන්ද්‍රිය දමනය සහ ඉවසීමය.
ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කළේ නම් මෙම කොරෝනා වෛරසය පැතිරීමේ තත්ත්වය මෙයට වඩා අපට පාලනය කර ගැනීමට හැකිවනු නොවේද?
මෙය එක්තරා විධියකට පුද්ගලයා තුළ සීලය පිරිහීමක් හැටියටත් පෙන්වා දීමට පුලූවන. සීලය යනු පංච සීලයවත්, අෂ්ඨාංගික සීලයවත්, දස සීලයවත් පමණක් නොව තමා තුළ ඇති කරගන්නා වූ විනයානුකූලභාවය මෙයට අදාළ වේ.
මෙම වෛරසයෙහි ගෝලීය ව්‍යාප්තිය පිළිබඳ ඛේදජනක තත්ත්වයක් පවතින බව පෙනේ. පුද්ගලයා කෙතරම් බුද්ධිමත් වුවත් එම බුද්ධිය වැරදි ක‍්‍රියාවන්හි යෙදවීම ප‍්‍රඥාපරාද නමින් ආයුර්වේදයේ සඳහන්ව තිබේ. පුද්ගලයා අධර්මානුකූල වීම මෙයට මූලික හේතුවය. වෙනත් අයුරකින් සඳහන් කරනවා නම් පුද්ගලයා කායික, වාචසික සහ මානසික වශයෙන් සිදු කරන්නා වූ වැරදි ක‍්‍රියාවන් මින් අදහස් කෙරේ. සත්ත්ව ඝාතනය, පරදාර සේවනය, සොරකම ඉන් කිහිපයක් ලෙසින් සඳහන් කළ හැකිය.
මෙවැනි රෝග පැතිරීමේ තීව‍්‍රතාව අඩු වැඩි කරන ඍතු සහ ක‍්‍රම පිළිබඳවත් ආයුර්වේදයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. මෙවැනි වසංගත තත්ත්වයන් පුද්ගලයා පිට කරන හුස්ම තුළින්, ආසාදිතයන් ගේ ඇඳුම් ස්පර්ශය, රෝගියා සම`ග මෛථුනයේ යෙදීමෙන්, ආහාර සම`ග ස්පර්ශයෙන් පැතිරෙන බව පැහැදිලිව සඳහන්ව තිබේ.
අපේ සාම්ප‍්‍රදායික සමාජය දෙස නැවත හැරී බැලීමේදී පාරම්පරික ඥානය තුළින් අප වෙත සම්පේ‍්‍රෂණය කර දෙනු ලැබුවා වූ මෙවැනි රෝග මර්දනය කරගැනීම සඳහා ගත යුතු ක‍්‍රියා මාර්ග අපට අලූත් දෙයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. අම්මා වරුන්ගේ ලෙඩ, දෙවියන්ගේ ලෙඩ යන සංකල්පයන් තුළින් පුරාතන සමාජය තුළ ජීවත් වුණු මිනිසුන්ගේ මනස තුළ ආකල්පමය විනයක් මනාව ජනිත වී තිබුණි.
මෙවැනි වූ තත්ත්වයකදී ඔවුන් විසින් අනුගමනය කළ යුතු වත් පිළිවෙත් පිළිබඳ මෙතුළින් ඔවුන් තුළට කාවැදී තිබුණි. මේවා ක‍්‍රියාත්මක කිරීමට නීතියක් අවශ්‍යව තිබුණේ නැත. ස්වයං නිරෝධායන සංකල්පයේ මූලාරම්භය අපේ පාරම්පරික සමාජය යැයි කිවයුතුය.
එම ස්වයං නිරෝධායන පිළිවෙතට අනුගත වීමේ මානසිකත්වය ඔවුන්ට සංස්කෘතිකව අනුගතව තිබූ දෙයක් වැනිය. අවාසනාවකට එම සංස්කෘතිය අප තුළින් ගිලිහී ගොසින් යැයි කීමේ වරදක් නැත. එයට කිවහැකි හොඳම උදාහරණය නම් වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වයේදී නිරෝධායනය සඳහා සමාජය විසින් දැක්වූ ප‍්‍රතිරෝධයයි.
අතීතයේදී මෙවැනි රෝගියෙක් සිටි නිවෙසක එහි රූ එළි දැක්වීමේ සංඥාව කොහොඹ කොළ ඉත්තක් සම`ග දෙහි ගෙඩි කිහිපයක් ගෙමිදුලේ එල්ලා තැබීමෙන් එම අවදානම බාහිරයට පෙන්නුවා පමණක් නොව විෂබීජ පැතිරවීමෙන් වළක්වා ගැනීමේ ක‍්‍රමවේදයක් හැටියටත් ඔවුහු මෙය යොදා ගනු ලැබූහ. මෙයින් පැහැදිලි වන්නේ අප පාරම්පරික ජනතාව තුළ මෙවැනි වසංගත රෝග වැළදීම පිළිබඳ සහ ඒවා කළමනාකරණය කර ගැනීම පිළිබඳ පෘථුල දැනුම් සම්භාරයක් තිබූ බවයි.
විශේෂයෙන් ආයුර්වේදය සහ දේශීය හෙළ වෙදකම තුළ අවධාරණය කරන කරුණක් වන්නේ රෝග නිවාරණය පිළිබඳ වැඩි අවධානයක් යොදා තිබීමයි. රෝග වැළදීමෙන් පසු ඒවාට ප‍්‍රතිකාර කිරීම පිළිබඳ මෙන්ම රෝග වැළදීමට පෙර ඒ සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ පුද්ගලයා මෙලොවට බිහිවූ මොහොතේ සිට කළ යුතු නොකළ යුතු දෑ පිළිබඳව වැඩි බරක් යොදා සඳහන් කර තිබේ.
මෙහි වැදගත් අංශයක් ලෙස දරුවකු මෙලොවට බිහිවූ දා පටන් දරුවාට රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව ඇති කිරීමට එසේ නැතිනම් ප‍්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීම පිළිබඳ උපායන් යොදා ගැනීම අප වෙදකම තුළ දැකිය හැකි විශේෂ අංගයකි. මෙන්න මෙතැනදී තමයි කුඩා දරුවාට රත කල්කය දීමේ පදනම ගොඩනැෙ`ගන්නේ. කුඩා දරුවන් වසංගත රෝගවලින් ආරක්ෂා කර ගැනීමට තමයි කහ කෑල්ලක් අතේ බඳින්නේ. පෙරුම්කායම් භාවිතය පිළිබඳ අදහස ඉදිරියට එන්නේ.
උණ සෙම්ප‍්‍රතිශ්‍යාව හැදුනම රෝගය යටපත් කරන්න ප‍්‍රතිජීවක ඖෂධ ගන්නවා වෙනුවට ශරීරයට ඇතුළු වන වෛරස් සහ බැක්ටීරියා පලවා හැරීමට හැකි වන පරිදි ශාරීරික ප‍්‍රතිශක්තිය වර්ධනය වන්නා වූ ඉ`ගුරු, කොත්තමල්ලි භාවිතයට පුරුදු වෙලා හිටියේ.
ඒ විතරක් නෙමෙයි, අප ගන්නා ආහාර වගේම ගන්නා වේලාවත් ප‍්‍රතිශක්තිකරණය වර්ධනය වීමේ ප‍්‍රබල සාධකයක්. වේලාවට ආහාර නොගැනීමෙන් ශරීරය තුළ ජීවත්වන්නා වූ ජීව විද්‍යාත්මක ක‍්‍රියාවලිය දුර්වල තත්ත්වයට පත්වනවා මෙන්ම මෙම ආහාර දිරවීමේ ශක්තියට තමයි අග්නිය කියලා කියන්නේ. මෙම අග්නිය දුර්වල වී නම් අප ගන්නා ආහාර අරම නමැති තත්ත්වයට පත්වෙනවා. ඒ කියන්නේ ආහාරවල නොපැසුණු, නොමේරූ තත්ත්වයයි. මෙම තත්ත්වය විෂක් හැටියටයි, ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. මේ නිසා අප ගන්නා ආහාරවලින් ශරීරය තුළ නිපදවන්නා වූ පෝෂණීය කොටස් වන සප්තධාතූන් නිර්මාණය වීම අඩපණ වෙනවා. මේ නිසා ශරීර ප‍්‍රතිශක්තිය හා සම්බන්ධ ඕජෝ ධාතුව නිෂ්පාදනය වීම දුර්වල තත්ත්වයට පත්වෙනවා. එහෙම වීනම් අපට හැමදාම ලෙඩ, බෙහෙත්වලින් තමයි යැපෙන්න වෙන්නේ.
දැන්වත් මේ පිළිබඳව සිතා බලන්න. අප ගන්නා කෘත‍්‍රිම ආහාරවලින් ඈත්වීසාම්ප‍්‍රදායික ආහාර රටාවකට හුරුවීමට උත්සාහයක් ගන්න.
මේ සඳහා දිය හැකි හොඳම උදාහරණයක් කියන්නම්. එකල ජීවත්වූ අපේ මුතුන් මිත්තන් විසින් අහස උසට ගොඩනැගූ දාගැබ්, මහ සයුර පරයන දැවැන්ත වාරි කර්මාන්ත, වැව් සහ තවත් බොහෝ දැවැන්ත කර්මාන්තයන් ඔවුන්ගේ දෑතේ සවියෙන් නිම කර තිබුණු බව අප කවුරුත් දන්නා කරුණක්. මේ නිසාම තමයි, මුළු ලෝකයටම බත සපයන පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලිය අපට ලැබුණේ.
මෙතැනදී අප කාටත් නොසිතුණු දෙයක් නම් මෙවැනි විශ්වකර්ම නිර්මාණ කිරීමට ඔවුන් සතුව තිබුණු කායික සහ මානසික නිර්මාණ ශක්තිය ඔවුන්ට ලැබුණේ කෙසේද යන කාරණාව.
එදා ඔවුන්ට පිටරටින් ගෙන්වු එන්නත්, ඖෂධ ලැබුණේ නැහැ. කිරිපිටි වර්ග තිබුණේ නැහැ. නවීන පන්නයේ මෙවලම් තිබුණේ නැහැ. නමුත් ඔවුන් පාරම්පරිකව උරුම කර ගන්නා ලද දේශීය දැනුම් සම්භාරයක් ඔවුන් සතුව තිබුණා. අපේ සෞඛ්‍යය පිළිබඳ දේශීය අනන්‍යතාව එයයි. අපේ සනීපාරක්ෂාව පිළිබඳ ජාතික උරුමයත් එයයි. එහි දර්ශනය සහ පදනම අපේ වෙදකමයි.
අතීත සමාජය තුළ වැදගත් භූමිකාවක් නිරූපණය කළේ ගමේ වෙදමහතායි. අපි නැවතත් ගවේෂණය කරමින් සොයා යන්නේ එතැනට බව පෙනෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...