පුරවැසි කොලම

කොරෝනා වසංගතය හමුවේ, සමාජ මාධ්‍ය ජාලා තුළ වර්ගවාදී, ජාතිවාදී සහ වෛරී ප‍්‍රකාශ පැතිරීම බහුල වීමද තවත් කනගාටුදායක ප‍්‍රවණතාවක් වන්නේය. පසුගිය සති කිහිපය තුළ, පදනම් විරහිත චීන විරෝධී වෛරී ප‍්‍රකාශ හා තොරතුරු සමාජ මාධ්‍යයන්හි බහුල ලෙස පැතිරීමද තවත් කනගාටුදායක ප‍්‍රවණතාවක් වන්නේය. නිදසුනක් ලෙස, කොවිඞ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් කැනඩාවේ අවන්හලක සේවය කරනා බවට සමාජ මාධ්‍ය ජාල තුළ පළවූ ප‍්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍යයයක් වන්නේය. මෙම චීන විරෝධී බොරු ප‍්‍රචාරය හේතුවෙන් එකී අවන්හලේ දෛනික ආදායම 80%කින් පහත වැටුණේය. තවත් එවැනිම චීන විරෝධී අන්තර්ජාල වෛරී ක‍්‍රියාකාරකමක් පසුගියදා කැනඩාවේ ටොරොන්ටෝ ප‍්‍රදේශයෙන් වාර්තා වූයේය. මෑතකදී චීනයේ සංචාරය කළ දෙමව්පියන්ගේ දරුවන් පාසලට පැමිණීම තහනම් කරන ලෙස ඉල්ලා, ටොරොන්ටෝ වැසියන් 8000 ක් පමණ අන්තර්ජාල පෙත්සමකට අත්සන් තැබූ බවක් වාර්තා වූයේය. මෙවැනි ක‍්‍රියාකාරකම් සයිබර් අවකාශය තුළ පැතිරෙන භයානක වෛරස ලෙස සැලකිය හැකි අතර, ඉහත කී පරිදි, මේ වන විට එක්තරා අන්දමක ගෝලීය සයිබර් වසංගතයක් පැතිරෙමින් තිබෙන්නේය.

පසුගිය මැයි 30 වන සෙනසුරාදා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවි සයිබර් ප‍්‍රහාරයකට ලක්වූ අතර, ඊට පසුදිනම ඒවා යථා තත්ත්වයට පත්කරනු ලැබීය. හැකර්වරුන්ගේ නැතහොත් සයිබර් මංකොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට නතු වූ එම වෙබ් අඩවිවල එල්ටීටීඊ ධජය ප‍්‍රදර්ශනය කොට තිබුණු හෙයින්, මෙය එල්ටීටීඊ හිතවාදී පිරිසක් විසින් දියත් කරන ලද සයිබර් ප‍්‍රහාරයක් ලෙස සැලකෙන්නේය. මීට කලින්ද කිහිප වතාවක්ම ලාංකේය රජයේ ආයතනවල වෙබ් අඩවි කොටි සංවිධානයේ සයිබර් ප‍්‍රහාරයන්ට ලක්වී ඇත්තේය. දෙමළ ඊළාම් සයිබර් බළකාය නමින් හඳුන්වාගත් කණ්ඩායමක් විසින් 2014 සිට විටින් විට සයිබර් ප‍්‍රහාර එල්ල කළ අතර, 2019 දී කුවේට් තානාපති කාර්යාල වෙබ් අඩවියද ඇතුළුව, ලාංකේය වෙබ් අඩවි 55 කට ප‍්‍රහාර එල්ල වූයේය. කොවිඞ්-19 වෛරසය මර්දනය කිරීමෙහිලා පෙරමුණ ගෙන සිටින ආරෝග්‍යශාලා, සෞඛ්‍ය අංශවල විවිධ ආයතන වැනි වෙබ් අඩවිවලට සයිබර් ප‍්‍රහාර එල්ලවීමේ තර්ජනයක් ඇති බවට ඉන්ටර්පෝල් ආයතනය අනතුරු ඇඟවීමක් කළේ පසුගිය අපේ‍්‍රල් මුල් සතියේදීමය. එලෙස සයිබර් ප‍්‍රහාර එල්ල විය හැකි රටවල් හැටියට ඉන්ටර්පෝල් ආයතනය ඉදිරිපත් කොට තිබුණු ලැයිස්තුවේ ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබීම අපගේ විශේෂ අවධානය යොමුවිය යුතු කරුණක් වන්නේය.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ලෝකය පුරා සයිබර් ප‍්‍රහාර වැඩි වී ඇතැයි වාර්තා වන අතර, එය එක්තරා අන්දමක ”සයිබර් වසංගතයක’’ තත්ත්වයකට පත්ව ඇත්තේය. වත්මන් කොරෝනා වසංගත සමයේ සමාජ මාධ්‍ය මෙන්ම අන්තර්ජාලය භාවිත කිරීම සීග‍්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර, ඒ නිසාම සමහර සමාජ මාධ්‍ය ජාලාවල ආරක්‍ෂිතභාවය හීන වී ඇත්තේය. මෙම වාතාවරණය, අන්තර්ජාලයේ නිරතුරුව සැරිසරන සයිබර් හොරුන්ට, සයිබර් මංකොල්ලකරුවන්ට අනගි අවස්ථාවක් වී ඇත්තේය. මෙම වාතාවරණය තුළ, ජනතාවගේ පෞද්ගලික තොරතුරු වැඩි වැඩියෙන් සොරා ගැනීමට සයිබර් මංකොල්ලකරුවන් ඉදිරිපත් වන බවක් දක්නට ඇත්තේය. විශේෂයෙන්, ඇතැම් පුද්ගලයන්ගේ අපරික්‍ෂාකාරී සමාජ මාධ්‍ය භාවිතය, සයිබර් මංකොල්ලකරුවෝ කිසියම් කාල පරාසයක් තුළ අඛණ්ඩව නිරීක්‍ෂණය ලක්කරති. අනතුරුව, අවස්ථාවක් උදා වූ විගස අදාළ පුද්ගලයාගේ හෝ ආයතනයේ තොරතුරු සොරා ගනිති.

මෙයාකාරයට, අන්තර්ජාලය නැතහොත් සයිබර් අවකාශය තුළ විවිධ නීති විරෝධී ක‍්‍රියාවන්හි නිරත වන උදවිය, අපට එදිනෙදා ජීවිතයේදී හමුවන, අපට හුරුපුරුදු සොරුන්ට, මංකොල්ලකරුවන්ට, කප්පම්කරුවන්ට, ස්ත‍්‍රී දූෂකයන්ට බොහෝ දුරට සමාන වෙති. වෙනසකට ඇත්තේ තාක්‍ෂණය (අන්තර්ජාලය) මත පදනම් වූ අලූත් ක‍්‍රමවේද භාවිත කිරීම පමණය. උදාහරණයක් ලෙස, මේ වන විට අන්තර්ජාලය හරහා ස්ත‍්‍රී දූෂණයන්හි හා ළමා අපයෝජනයන්හි නිරත වන ප‍්‍රමාණය විශාල ලෙස වැඩි වී ඇත්තේය. එලෙසම, අන්තර්ජාලය තුළ ක‍්‍රියාත්මක වන සයිබර් කප්පම්කරුවන්ගේ ප‍්‍රමාණයද විශාල ලෙස වැඩි වී ඇත්තේය.

fea8 2ඒ සඳහාම විශේෂයෙන් සකස් කරන ලද පරිගණක මෘදුකාංග හරහා අදාළ ආයතනයේ වෙබ් අඩවිය තම ග‍්‍රහණයට නතුකර ගන්නා සයිබර් කප්පම්කරුවෝ, වෙබ් අඩවිය නැවත යථා තත්ත්වයට පත්කිරීමට කප්පම් මුදලක් ඉල්ලා සිටිති. මෙම ක‍්‍රියාවලිය, ධනවත් පවුලක දරුවෙකු පැහැරගෙන ගොස්, ආපසු පණ පිටින් බාරදීමට කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමට සමාන වන්නේය.

පසුගිය වසර කිහිපය තුළ සයිබර් කප්පම්කරුවන් විසින් විවිධ රටවල ක‍්‍රියාත්මක බහුජාතික සමාගම්වල වෙබ් අඩවි සිය ග‍්‍රහණයට ගෙන (පැහැරගෙන) කප්පම් ලබාගත් අවස්ථා බොහොමයක් ඇත්තේය. එවැනි සයිබර් ප‍්‍රහාරයන්ගෙන් පසුව ස්වකීය වෙබ් අඩවිය ප‍්‍රතිසංස්කරණය කිරීමට විශාල මුදලක් වැය කරනු වෙනුවට කප්පම ගෙවීම වාසිදායක යැයි සිතූ ඇතැම් සමාගම් මුදල් ගෙවා වෙබ් අඩවිය නිදහස් කරගත්හ. මෙහිදී, සයිබර් කප්පම්කරුවන් විසින් අදාළ වෙබ් අඩවිය සිය ග‍්‍රහණයට නතුකරගෙන සිටින දින කිහිපය තුළ එහි සියලූ තොරතුරු පිටපත් කරගැනීමේ අවදානමක්ද ඇත්තේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා තොරතුරු තොරතුරු තාක්‍ෂණ සංගමයේ සභාපති රජීව් මැතිව් මෙසේ පවසන්නේය: ”බොහෝ සමාජ මාධ්‍ය ජාලාවල දක්නට ලැබෙන සමහර ‘සම්බන්ධතා’ (ලින්ක්) තුළ රහසින් ඔත්තු බලන පරිගණක මෘදුකාංග අඩංගු වන්නේය. ඒ මගින් ඔබගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමට සයිබර් අපරාධකරුවන්ට අවස්ථාව ලැබෙන්නේය. කොරෝනා වසංගතය හමුවේ බොහෝ දෙනකු නිවෙස්වලට කොටු වී සිටින හෙයින් අන්තර්ජාලය භාවිතය විශාල ලෙස වැඩි වී ඇත්තේය. ඒ නිසාම තත්ත්වය තවත් බරපතළ වී, සයිබර් ප‍්‍රහාරයන්ට ලක්වීමේ ඉඩකඩද වැඩි වී ඇත්තේය.’’

යටකී පරිදි, කොවිඞ්-19 වසංගතය හමුවේ මුළු ලෝකය පුරාම අන්තර්ජාල භාවිතය විශාල ලෙස වැඩි වී තිබෙනතර, ශ්‍රී ලංකාවේද එවැනිම තත්ත්වයක් දක්නට ලැබෙන්නේය. අනෙක් අතට, කොරෝනා වසංගතය බඳු අර්බුදකාරී වාතාවරණයන් තුළ ජනතාව තොරතුරු පිපාසයෙන් පෙළීම පුදුමයට කරුණක් නොවන්නේය. ගතවූ පැය විසිහතර තුළ අලූතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන කීයද, මුළු රෝගීන්ගේ ගණන කීයද, සුවය ලැබූ රෝගීන් ගණන කීයද, මේ වන විට පීසීආර් පරීක්‍ෂණ කීයක් පවත්වා තිබේද වැනි ප‍්‍රශ්න, පසුගිය දිනවල ලාංකේය ජනතාවට නිරන්තරයෙන් වධ දුන්නේය. ජනතාව එම දැවෙන ප‍්‍රශ්නවලට ඉක්මන් පිළිතුරු අපේක්‍ෂා කළද, හදිසි පිළිතුරු ලබාදීමේ හැකියාවක් අදාළ බලධාරීන්ට නැත්තේය. මෙවැනි තොරතුරු නිල වශයෙන් ඉදිරිපත් කිරීමට පෙරාතුව, තමන්ට ලැබෙන දත්ත හා තොරතුරු තහවුරු කරගෙන, නිසි ලෙස විශ්ලේෂණය කොට, නිවැරදි විද්‍යාත්මක නිගමනවලට එළැඹීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීම වන්නේය. ජනතාවට අවශ්‍ය තොරතුරු ලබාදිය හැක්කේ එවන් සංකීර්ණ ක‍්‍රියාදාමයකට පසුවය. ආර්ථික විද්‍යා පාරිභාෂිතයෙන් කියතොත්, ජනතාවගේ පැත්තෙන් මතුවන තොරතුරු ඉල්ලූමට සරිලන සැපයුමක් කරන්නට සෞඛ්‍ය බලධාරීන්ට නොහැකිය.

මෙවන් පසුබිමක් තුළ ඇතිවන තොරතුරු හිඩැස පිරවීමට සමාජ මාධ්‍ය ජාලා ඉදිරිපත් වන අතර, සාමාන්‍ය ජනතාවද එවැනි තොරතුරු ප‍්‍රභවයන් කෙරෙහි නිතැතින්ම යොමුවෙති. මෙවන් පසුබිමක් තුළ, තහවුරු නොකරන ලද සහ සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරු සාමාන්‍ය ජනතාව අතර වේගයෙන් පැතිර යන්නේය. නිදසුනක් ලෙස, පසුගිය මාර්තු 11 දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඞ්-19 අර්බුදය ගෝලීය වසංගතයක් බවට ප‍්‍රකාශයට පත්කොට පැය කිහිපයක් ගතවීමට මත්තෙන්, ඇමෙරිකානුවන් මිලියන 20 කට වැඩි පිරිසක් සමාජ මාධ්‍ය තුළ කොරෝනා වසංගතය පිළිබඳව කිසියම් හෝ සටහනක් තබා ඇති බව වාර්තා වන්නේය. සමාජ මාධ්‍ය ජාලා තුළ තොරතුරු පැතිරීමේ වේගය ගැන දළ අදහසක් ලබාගැනීමට මෙය අපූරු උදාහරණයක් වන්නේය. කොරෝනා වසංගතයට සමගාමීව (අසත්‍ය) තොරතුරු වසංගතයක්ද පැතිරෙමින් තිබෙන්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ මෙම පසුබිම තුළය.

කොරෝනා වසංගතය හමුවේ, සමාජ මාධ්‍ය ජාලා තුළ වර්ගවාදී, ජාතිවාදී සහ වෛරී ප‍්‍රකාශ පැතිරීම බහුල වීමද තවත් කනගාටුදායක ප‍්‍රවණතාවක් වන්නේය. පසුගිය සති කිහිපය තුළ, පදනම් විරහිත චීන විරෝධී වෛරී ප‍්‍රකාශ හා තොරතුරු සමාජ මාධ්‍යයන්හි බහුල ලෙස පැතිරීමද තවත් කනගාටුදායක ප‍්‍රවණතාවක් වන්නේය. නිදසුනක් ලෙස, කොවිඞ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් කැනඩාවේ අවන්හලක සේවය කරනා බවට සමාජ මාධ්‍ය ජාල තුළ පළවූ ප‍්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍යයයක් වන්නේය. මෙම චීන විරෝධී බොරු ප‍්‍රචාරය හේතුවෙන් එකී අවන්හලේ දෛනික ආදායම 80%කින් පහත වැටුණේය. තවත් එවැනිම චීන විරෝධී අන්තර්ජාල වෛරී ක‍්‍රියාකාරකමක් පසුගියදා කැනඩාවේ ටොරොන්ටෝ ප‍්‍රදේශයෙන් වාර්තා වූයේය. මෑතකදී චීනයේ සංචාරය කළ දෙමව්පියන්ගේ දරුවන් පාසලට පැමිණීම තහනම් කරන ලෙස ඉල්ලා, ටොරොන්ටෝ වැසියන් 8000 ක් පමණ අන්තර්ජාල පෙත්සමකට අත්සන් තැබූ බවක් වාර්තා වූයේය. මෙවැනි ක‍්‍රියාකාරකම් සයිබර් අවකාශය තුළ පැතිරෙන භයානක වෛරස ලෙස සැලකිය හැකි අතර, ඉහත කී පරිදි, මේ වන විට එක්තරා අන්දමක ගෝලීය සයිබර් වසංගතයක් පැතිරෙමින් තිබෙන්නේය.

මේ අනුව බලනා විට, පසුගිය කාලය තුළ එක් පැත්තකින් සයිබර් අපරාධකරුවන්ගේ ක‍්‍රියාකාරකම් වැඩි වී තිබෙනාතර, තවත් පැත්තකින් සමාජ මාධ්‍ය අවභාවිතයද වැඩි වී ඇත්තේය. සමාජ මාධ්‍ය ජාල තුළ අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය මෙන්ම ජාතිවාදී සහ වර්ගවාදී ප‍්‍රකාශ ප‍්‍රචාරණයද වැඩි වී ඇත්තේය. සමස්ත ලෝකයම, සමස්ත මානව වර්ගයාම සමාජ මාධ්‍ය ජාලා භාවිතය පිළිබඳව යළි සලකා බැලිය යුතුව ඇතැයි අප අවධාරණය කරන්නේ මෙම පසුබිම තුළය. පරමාණු බලශක්තිය මිනිස් වර්ගයාගේ සුබසිද්ධිය උදෙසා පමණක්ම යොදාගනු වෙනුවට මිනිසාගේ විනාශය උදෙසාද භාවිත කළාක් මෙන්, සමාජ මාධ්‍ය ජාලද මිනිසාගේ විනාශය උදෙසා භාවිත කළ යුතු නැතැයි අප අවධාරණය කරන්නේ මෙම පසුබිම තුළය. අලි මදිවාට හරක් කියන්නාක් මෙන්, කොරෝනා වසංගතය මදිවාට (අසත්‍ය) තොරතුරු වසංගතයක්ද අපට අවශ්‍ය නොවන්නේය. ගෝලීය කොරෝනා වසංගතය මදිවාට ගෝලීය සයිබර් වසංගතයක්ද අපට අවශ්‍ය නොවන්නේය.

මහාචාර්ය  ජයන්ත ලාල් රත්නසේකර
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More