පුරවැසි කොලම

 

පසුගිය දිනවල අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 50 වසරක දේශපාලන දිවියට සුභ පැතුම් ලිපියක් යවමින් ටී.එන්.ඒ පක්ෂයේ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් සුවිශේෂී ප්‍රකාශයක් කරනු ලැබීය. එහිදී ඔහු මහින්ද රාජපක්ෂ චරිතය වර්ණනා කිරීම සඳහා ඉතිහාසයේ ඔහු විසින් කිසි දිනෙක භාවිතා නොකළ බවට සඳහන් කළ හැකි ඉතා සුන්දර සහ යහපත් වචන රාශියක් යොදා ගෙන තිබුණි. මහින්ද රාජපක්ෂ මහතාගේ 50 වසරක විචිත්‍රවත් දේශපාලන ගමන විග්‍රහ කිරීම සඳහා ඊට වඩා ප්‍රභල වචන යොදා ගැනීම වරදක් නොවේ. එහෙත් සම්බන්ධන් මහතා ප්‍රමුඛ එදා එල්.ටී.ටී සංවිධානයේ දේශපාලන හස්තය ලෙස ක්‍රියාකළ පිරිස එම වසර 50 න් වසර 30 කට වැඩි කාලයක් මරාගෙන මැරෙන ආකාරයෙන් උත්සහා කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ චරිතය වර්ණනා කිරීමට නොව දේශපාලන වීමෙන් පමණක් නොව භෞතිකවද මිහිපිටින් ඉවත් කිරීමටය. යුද්ධය පැවති කාලයේදී එම දෙවන උවමනාව ඔවුන්ගේ ප්‍රමුඛතම ප්‍රාර්ථනාව වූ බව රහසක් නොවේ.

ඉන්පසුව 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට සහ 2019 දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනය වැලැක්වීම සඳහා ටී.එන්.ඒ පක්ෂය දෙස් විදෙස් සියළු ප්‍රතිගාමී බලවේග සමඟ එකතු විය. ඇත්තවශයෙන්ම 2015 දී මහින්ද රාජපක්ෂ කඳවුර හෙවත් ජාතික වාදී කඳවුර පරාජය කිරීමේ උවමනාව සහ ඔවුන්ගේ බෙදුම්වාදී මාර්ග සිතියම එකට බැඳී තිබූ බවට විවාදයක් නැත. ඒ බව 2013 දී සිංගප්පූරුවේදී ඇති කර ගන්නා ලද සිංගප්පූරු එකඟතාවය නම් වූ ලේඛනය මඟින් පැහැදිළි වේ. මංගල සමරවීර මහතා එම රැස්වීමේදී සුමන්තිරන්, සම්බන්ධන් සහ හකීම් ඇතුළු ඊට සහභාගී වූ මන්ත්‍රීවරු හමුවේ සිදු කළ ප්‍රකාශය “ ටැටිල් නෙට් ” වෙබ් අඩවිය විසින් ප්‍රසිද්ධ කරන ලදි. මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා ඉල්ලන ඖනැම දෙයක් ලබාදීමට සූදානම් බවට ඔහු හිඟන්නෙකු සේ බැගෑපත් වූ බවට ඒ මඟින් එළිදරව් කෙරිණි.

ඒ ආකාරයට ඇති කරගන්නා ලද සිංගප්පූරු එකඟතාවයේ අඩංගු වූ කරුණු 10 ක්ම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ විය. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමේ මූලික අරමුණ වූයේ බෙදුම්වාදී ජාතිවාදී බලවේග වල උවමනාව අනුව පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම බව ඉතා හොඳින් පැහැදිළි වේ. ඇමරිකාව සහ ඉන්දියාව ප්‍රමුඛ බටහිර රටවල ඒජන්තයින් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා විවෘතවම කඳවුරු බඳින්නේ ඒ මූලික අරමුණ ඉටුකර ගැනීම සඳහා හෙවත් වසර 30 කට අධික කාලයක් තිස්සේ ඔවුන් විසින් අනුග්‍රහ දැක්වූ ව්‍යාපෘතිය ජයග්‍රහණයෙන් අවසන් කිරීම සඳහාය. එනම් බෙදුම්වාදී මාර්ග සිතියම ඔස්සේ යුද්ධය යොදා ගනිමින් පැමිණ දුර අවසන් වූ පසුව ඉතිරි සැතපුම් කිහිපය 1987 දී ආරම්භ කළ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම මඟින් තරණය කිරීම සඳහාය. ඉතා සරලව කියන්නේ නම් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සුළු සංශෝධන කිහිපය සම්මත කරගැනීම සඳහාය.

මහින්ද රාජපක්ෂ මහතා විසින් යුද්ධය ජයග්‍රහණයෙන් අවසන් කිරීම හරහා බෙදුම්වාදී මාර්ග සිතියම තාවකාලිකව අකුලනු ලැබුවද එතෙක් පැමිණි ගමන ආපසු හරවන ක්‍රියාවලිය ආරම්භ කිරීමට ඔහුට අවස්ථාව නොලැබුණි. යුද ජයග්‍රහණයෙන් පසුව ලෝකයේ සෑම ජයග්‍රහකයෙකුම සිදු කොට ඇති ආකාරයට පරාජිතයාට සහ ඔවුන් විසින් දුකට පත් කළ ජනතාවට ‘යුක්තිය’ ඉටුකිරීම සඳහා වන ක්‍රියාවලිය ආරම්භ කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථාව ලැබෙන්නේ නැත. එසේ වූවා නම් අද ව්‍යාජ ප්‍රශස්තී ගී ගායනා කරන පිරිස එදා යුද්ධයේදී ලක්ෂ 03 ක් අහිංසක සිවිල් ජනතාව යුද්ධයේදී පළිහක් සේ යොදා ගනිමින් දුකට පත් කිරීමේ යුද අපරාධයට වරදකරුවන්වී සිරගතව සිටිය යුතුය. ඒ ඉආකාරයට එසේ දුකට පත්වූ ජනතාවට යුක්තිය ඉටු කිරීමට නොහැකි වන්නේ යුද්ධය අවසන් වී දින 03 ක් ඇතුළත එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා රටට කඩාපැන ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා යුද අපරාධ සිදු කළ බවට චෝදනා කරමින් සැබෑ චූදිතයින් ගලවා ගැනීම නිසාය. ඒ සමඟම ගැලවුම් කරුවන් චූදිතයින් බවට පත් වූ අතර චූදිතයින් පැමිණිළිකරුවන් බවට නාමකරණය විය. එතැන් පටන් ජයග්‍රාහකයා තමා වරදක් කළ අයෙකු සේ සිතීමට සහ ඊනියා වරද නිවැරදි කිරීම සඳහා ක්‍රියාමාර්ග ගතයුතු බවට පෙළඹවනු ලැබීය.

නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයේ සිටින තුරු සහ ඒ වන විට බලවත්ව සිටි ජාතිකවාදී කඳවුර ඔහුට ආරක්ෂාකරන තත්වයක් තුළ බෙදුම්වාදීන්ට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සිදු කර ගැනීමට නොහැකි විය. මානව හිමිකම් සමුළුව හරහා කුමන ආකාරයට බලපැම් කළද එය ඉටු කර ගත නොහැකි බව බෙදුම්වාදී බලවේග විසින් තීන්දුකරන තත්වයක් තුළ 2015 දක්වා වූ ඔහු පරාජය කිරීමේ මෙහෙයුම ආරම්භ වූ ආකාරය දැන් රහසක් නොවේ. රාජ්‍ය නොවන සංවිධානවල “ ගෝඩ් ආදර් ” කෙනෙකු වූ ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෘප් නම් වූ ප්‍රභල සංවිධානයේ නායක ඇලන් කීනන් 2012 දී ප්‍රකාශ කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ බලයේ සිටිනතුරු දෙමළ ජනතාවගේ “ ප්‍රශ්ණයට ” ව්‍යවස්ථාමය විසඳුමක් ලබාදිය නොහැකි බවය. මහින්ද කඳවුර පිළිබඳ එදා ඔවුන්ගේ තක්සේරුව අනුව 2015 ඔවුන් විසින් දියත් කළ මෙහෙයුම ජයග්‍රහණය කිරීමෙන්  පසුව අදාළ කොන්ත්‍රත්ත්‍රව රනිල් වික්‍රමසිංහ කඳවුරට පවරනු ලැබීය. නමුත් ප්‍රධාන වශයෙන් බැඳුම්කර මගඩිය සහ අගමැති – ජනපති ප්‍රතිවිරෝධතා නිසා ඔවුන්ගේ තක්සේරුව සහ සැළසුම් වැරදුණු අතර නව ව්‍යවස්ථා ක්‍රියාවලිය සහ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය යන දෙකම අසාර්ථක විය.

එපමණක් නොව එදා 2002 දී චන්ද්‍රිකා – රනිල් ගැටුම නිසා සටන් විරාම ගිවිසුම සහ  හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත වූ තාවකාලික ආණ්ඩු මරඋගුල ඇටවීමට නොහැකි වූ ආකාරයටම ඔවුන්ගේ සියළු උත්සහායන් ව්‍යවර්ථ විය. ඒ අනව ක්‍රියාවලිය තවදුරටත් ඇදගෙන යාම සඳහා එනම් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා රනිල් වික්‍රමසිංහ කඳවුර වෙත ඓතිහාසිකව පවරාතිබූ වගකීම ඉටුකිරීම සඳහා එම කඳවුර අසමත් බව දැන් ඕනෑවටත් වඩා හොඳින් ඔප්පු වී ඇත. එනම් රනිල් වික්‍රමසිංහ කඳවුරේ ඓතිහාසික භූමිකාව  අවසන් වී ඇති බව පිළිගැනීමට සිදු වේ. කවුරුන් විසින් එය පිළි නොගත්තද බෙදුම්වාදී බලවේග විසින් එම සත්‍යය කොන්දේසි විරහිතව පිළිගෙන ඇති බව සම්බන්ධන් මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා වර්ණනාකරමින් ලියන ලිපිය තුළින් පමණක් නොව සුමන්තිරන් මහතා විසින් එල්.ටී.ටී ඊ සංවිධානයට එරෙහිව කරනු ලබන යම් ප්‍රකාශ තුළින්ද පැහැදිළි වේ.

ඒ අනුව සම්බන්ධන් මහතා මහින්ද රාජපක්ෂ මහතා අමතමින් කියා සිටින්නේ ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කළ හැක්කේ ඔහු වැනි බලවත් සහ මහජන සහය දිනාගත හැකි නායකයෙකුට පමණක් බවය. ඒ නිසා මැතිවරණ කිහිපයකදී ජන අනුමැතිය ලැබී ඇති බැවින් ඔහු විසින් වහාම නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේ ක්‍රියාවලිය නැවත පටන්ගත යුතු බව සම්බන්ධන් මහතා කියයි. සම්බන්ධන් මහතා අද කියන දේ මිට වසර 14 කට පෙර ඉන්දියානු රෝ ඔත්තු සේවා නිලධාරියෙකු විසින් මෙම ලියුම්කරුට පුද්ගලිකව පවසා ඇත. එම අතිත කථාව දැන් පැන නගිමින් තිබෙන තත්වය තුළ නැවත මතක් කිරීම වැදගත් වේ. එදා 2006 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් පත්කළ සර්ව පාර්ෂික නියෝජිත සමුළුවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරනු ලැබුවේ මෙම ලියුම් කරු විසිනි. හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ නායකත්වයෙන් ඉන්දියාවේදී ඉන්දියානු නිලධාරීන් හමුවී කරනු ලැබූ සාකච්ඡා වලදී යම් නිලධාරීන් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයාගේ “ ඔළුව හැදීමට ” විශේෂ පුද්ගලික මහන්සියක් ගනු ලැබීය. එවැනි පුද්ගලික සාකච්ඡාවකදී එක් උසස් නිලධාරියෙකු අවධානයෙන් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයට ජාතික ගැටළුව විසඳිය නොහැකි බව සහ ජනතා සහය ලබාගෙන අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සිදු කළ හැක්කේ මහින්ද රාජපක්ෂ වැනි ප්‍රභල ජනතා නායකයෙකුට බවය.

දැන් සම්බන්ධන් මහතා විසින් එදා රෝ නිලධාරියා මෙම ලියුම්කරු හමුවේ සිදු කළ පළමු ප්‍රකාශය අවධාරණය නොකළද එම නිලධාරියා දෙවනුව මතු කරන ස්ථාවරය නිවැරදි බව රටටම කියයි. කෙසේ වෙතත් ඊට පෙර ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති පදවියේ අවසන් කාලයේදී එනම් 2014 දී පවා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා විසින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවය. නමුත් 13 වැනි සංශෝධනයට ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් දැනුවත්ව ඇතුල්කරන ලද යම් ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක් නිසා ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ නොහැක. ඒ නිසා සම්බන්ධන් මහතාට මෙන්ම නරේන්ද්‍ර මෝඩි මහතාට ද අවශ්‍ය වන්නේ එම බාධක ඉවත් කරන ව්‍යවස්ථා සංශෝධනයක් මිස නව ව්‍යවස්ථාවක් නොවේ. නමුත් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් රට හමුවට ගෙනවිත් එය සම්මත කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි බව සම්බන්ධන් මහතා මෙන්ම මෝඩි මහතා ද ඉතා හොඳින් දන්නා බවට සැකයක් නැත.

ඒ නිසා විධායක ජනාධිපතික්‍රමය අහෝසිකරන නව ව්‍යවස්ථා කථාවකින් 13 බලවත් කිරීමේ සංශෝධනවල භයානක කම යටපත් කරන බව පැහැදිලිය. ඊට අමතරව ඉන්දියාවේ භූ දේශපාලන උවමනාවන් පිළිබව වන වැරදි තක්සේරුවක් මඟින් සමස්ථ ක්‍රියාවලියේ අවසන් ඵලය පිළිබද ව්‍යාජ සුභවාදී හැගිමක් ඇති කෙරෙන බවද පෙනේ. එනම් ශ්‍රී ලංකාව දෙකඩ කිරීම මගින් ඉන්දියාවේ බෙදුම්වාදය ශක්තිමත් වන බැවින් ඉන්දියාව කිසි දිනෙක ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ විසදුමකට ඉඩ නොදෙන බවය. එහිදී මාරාන්තික සුභ වාදී හැඟීමක්, විශේෂයෙන්ම පැරණි වමේ පක්ෂ විසින් සීතල යුද්ධය කාලයේදී පිළිගත් ස්ථාවරය ඉතාමත් අමනෝඥ ලෙස අද ආදේශ කිරීමට උත්සහා කෙරේ. නමුත් ඉන්දියානු පැසිපික් කලාපයේ ඇමරිකානු භූ දේශපාලන උපාය මාර්ගික උවමනාවන් ඉටු කරන කලාප ඒජන්ත බවට පත්ව සිටින ඉන්දියාවට චිනය විසින් ආවරණය සපයන සමස්ථ ශ්‍රී ලංකාව තම න්‍යාය පත්‍රයට යටත් කර ගැනීමේ හැකියාවක් නැත. ඒ නිසා ඉන්දියාව පෙනී සිටින උපාය මාර්ගය වන්නේ ඇමරිකානු උපාය මාර්ගය අනුව රාජ්‍ය බෙදා වෙන්කොට දුර්වල කිරීම සහ එකිනෙකා මරා ගන්නා රාජ්‍ය දෙකකට තම න්‍යාය පත්‍රයට යටත් කර ගැනීමය.

ඒ අනුව බෙදා වෙන් කෙරෙන උතුරු නැගෙනහිර පලාත හෙවත් දෙමළ ඊළම ආර්ථික සහ ආරක්ෂක ගිවිසුම් මඟින් ඉන්දියාවේ අර්ධ කොලනියක් බවට පත් කෙරෙනු ඇත. එම උපාය මාර්ගික අරමුණ ඉටු කර ගැනීම සඳහා ඉන්දියාව විසින් කළ යුත්තේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා බලපෑම් කිරීම පමණි. සම්බන්ධන්ලා නව ව්‍යවස්ථා ඉල්ලන්නේ ඒ පිළිබඳව අවබෝධයකින් තොරව නොවේ. එම උපාය මාර්ගය පදනම් වන්නේ මහා දෙයක් ඉල්ලා අවමයකට එකඟවීමේ සරල වෘතිය සමිති න්‍යාය මතය. ඔවුනට විධායක ජනපතික්‍රමය ගැටළුවක් නොවේ. ඔවුන් බොහෝ ශක්තිමත් වූයේ එම ක්‍රමය තුළ ඔවුන්ට ලැබුණු ඉහළ කේවල් කිරීමේ බලය දේශපාලන උපාංගයක් ලෙස යොදා ගනිමිනි. ඊට අමතරව 13 වැනි සංශෝධනය ගෙන එන්නේ විධායක ජනාධිපතික්‍රමය එසේම තිබියදී රට බෙදීම සඳහාය. එය කළ නොහැකි වන්නේ ඉහත සඳහන් කළ සුළු ව්‍යවස්ථාමය බාධක නිසාය. එ්වා ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් ඉවත් කළ පසුව බෙදුම්වාදී මාර්ග සිතියම තුළ ඊළම දක්වා වන ගමන විධායක ජනාධිපතිට නතර කළ නොහැක. ඒ මහා බලවත් යැයි කියන විධායක ජනපති ට ඒ  දෙස අසරණව බලා සිටීමට සිදුවන බව අන්තර්ජාතික අධිකරණය විසින් ලබාදුන් නැගෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමට අදාළ නඩු තීන්දුව කියවිමෙන් ඉතා හොඳින් වටහා ගත හැක.

කෙසේ වෙතත් පසු ගිය කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය ජාතික වාදී බලවේග විසින් උදුරා ගැනීම නිසා, එනම් විධායක ජනාධිපති ක්‍රමය සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යන දෙකම නැති නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස අභියෝග කිරීම නිසා බෙදුම්වාදී බලවේග වල උපක්‍රම යම් පමණකට අභියෝගයට ලක් වී ඇත. ඒ අනුව බෙදුම්වාදි පිලේ ප්‍රභල උපදේශකයෙකු වන ආචාර්ය ජෙහාන් පෙරේරා ද අයිස්ලන්ඩ් පුවත් පතට ලියන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය විසඳිම සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවය. එම තත්වය තුළ සම්බන්ධන්ලා මහින්ද රාජපක්ෂ මහතා මුරුංගා අත්තේ තබමින් නව ව්‍යවස්ථාවක් ඉල්ලමින් වටේ කැරකෙන්නේ අවසාන වශයෙන් 13 වන සංශෝධනය බලවත් කරන සුලු ව්‍යවස්ථා සංශෝධනයක්  සඳහා බවට සැකයක් නැත. ඊට ආවරණය සැළසීම සඳහා 19 වැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීම මඟින් විධායක ජනපතික්‍රමය ශක්තිමත් කිරීම සඳහා පෙනී සිටීම මඟින් ජනතාවගෙන් යම් කොටසක් රැවටිය හැක. එසේම ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් ද්විත්ව පුරවැසිභාවය නැමැති බාධකය ඉවත් කිරීම හරහා යම් ඉහළ නායකයින් සතුටු කළ හැක.

ඒ ආදී වශයෙන් වෙනත් කුමන හෝ සංශෝධන සමඟ ගැටගසා 13 වැනි සංශෝධනය බලාත්මක කෙරෙන ඊනියා සුළු සංශෝධන කිහිපයක් පමණක් පාර්ලිමේන්තුවට දක්වා ගෙනයාම ඔවුන්ගේ මූලික අරමුණ වන බවට සැකයක් නැත. එහිදී මහජනයාට පෙන්වන කෙටුපතට පළාත් සභා ක්‍රමය තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ශක්තිමත් කිරීම සහ ජනතාවට සේවා සැපයීම සඳහා පළාත්සභා කාර්යක්ෂම කිරීම නාමයෙන් ඔවුන්ට අවශ්‍ය සංශෝධන වලින් කිහිපයක් පමණක් ඇතුල් කිරීමට ඉඩ ඇත. ඉතිරි බරපතල සංශෝධන කිහිපය පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඇතුල්කළ හැක. ඒ පිළිබඳ ලෝකයේ කිසිඳු රටක කළ නොහැකි විශ්ම කර්ම අත්දැකීමක් 19 වැනි සංශෝධනයේ ව්‍යවස්ථා මක බාස්ලා විසින් ලබාගෙන ඇත. ඒ නිසා කාරක සභා අවස්ථාවේදී සංශෝධන 40 ක් ඇතුල්කළ එම ශිල්පීන්ට සංශෝධන 2 ක් හෝ 3 ක් ඇතුල් කිරීම යනු ඉතා සුළු අභියෝගයකි. ඊට අමතරව පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ කැමැත්ත ලබා ගැනීමේ මෙහෙයුම සුමන්තිරන් මහතා විසින් දැනටමත් ආරම්භකොට ඇත. ඔහු විසින් සජිත් පිලට මෙන්ම රනිල් පිලට ද උපදෙස් දෙන ගැලවුම් කරුවාගේ භූමිකාව අතට ගෙන ඇති අතර රවී කරුණානායක වැනි පිරිස් අනාගත ජාතික ආණ්ඩුවක් පිළිබඳ මන්තරයක් ද ජප කරති.

කෙසේ වෙතත් සම්බන්දන් මහතා විසින් ව්‍යවස්ථා සංශෝධන දුම්රිය රනිල් කඳවුරේ සිට මහින්ද කඳවුර දක්වා හැරවීම සඳහා පීලි මාරු කරන ලිවරයට අත තබා ගෙන සිටියද දුම්රියට ගමන් කළ හැක්කේ මහජනයා විසින් සිග්නල් දැමුවහොත් පමණි. සම්බන්ධන්ලාගේ නව ඊළාම් සැලසුම පරාජය කළ හැක්කේ ඔවුන්ගේ උපාය මාර්ගය හොඳින් කියවා ගැනීම මඟිනි. ඔහු විසින්  ඉලංකෙයි තමිල් අසුරකච්චි පක්ෂය හෙවත් ෆෙඩරල් පක්ෂයේ 14 වැනි සමුළුවේදී එනම් 2012 මැයි 25 දින මඩකලපුවේදී සිදු කළ ප්‍රකාශය නැවත කියවා ගැනීම ඉතා වැදගත් වනු ඇත. එහිදී ඔහු සඳහන් කරන්නේ “ අප ඊළාම් අරමුණ අතහැර නැහැ, නමුත් ඒ කරා ළඟා වන උපාය මාර්ගය වෙනස් කරනවා, එනම් යුද්ධය වෙනුවට ව්‍යවස්ථාමය සහ දේශපාලන ක්‍රියාමාර්ග තෝරනවා. එම අවස්ථාවේදී ජාත්‍යන්තර ප්‍රජාව අපට උදව් කරනු ඇත. ” යනුවෙනි. ඒ නිසා ඔහු අද කථා කරන ව්‍යාජ සුන්දර වචන එම උපාය මාර්ගයට අදාළව සලකා බැලිය යුතුය.

ඒ නිසා අනාගත පාර්ලිමේන්තුව විසින් කැඳවන ව්‍යවස්ථා සංශෝධන සභා හෝ තේරීම් කාරක සභා නැවත වටයකින් බෙදුම්වාදී බලවේග විසින් තම උපාය මාර්ගික උවමනාවන් සඳහා යොදා ගන්නා බවට කිසිඳු සැකයක් නැත. ජනාධිපතිතුමාගේ සෞභයග්‍යයේ දැක්ම අනුව ලබා ගත් ජනවරම අනුව රටට නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් ඒ සඳහා ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් යොදා ගත් ක්‍රමවේදය භාවිතා කළ හැක. ඔහු ව්‍යවස්ථාව සකස් කිරිම භාර දුන්නේ තම සහෝදරයා ප්‍රමුඛ කුඩා විද්වත් කමිටුවකටය. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ අංග සම්පුර්ණ ලියවිල්ලක් ලෙසය. ඒ සඳහා විධායකයට ව්‍යවස්ථාමය සහ දේශපාලන සදාචාරමය බලය ඇත. ජේ.ආර් ජයවර්ධන මහතාගේ 1978 ව්‍යවස්ථාව දිවි හිමියෙන් රැකිය යුතු යැයි කියන පිරිස් වලට එම ක්‍රමයට විරුද්ධ විය නොහැක. ඊට අමතරව එදා 1972 ව්‍යවස්ථාවට විරුද්ධ වි පසුව 1978 ව්‍යවස්ථාවට පක්ෂපාතී වු පිරිස් වලටද එම ක්‍රමවේදයට විරුද්ධ විය නොහැක.

කෙසේ වෙතත් අවසාන වශයෙන් කිව යුත්තේ වඩා සුදුසුම දේශපාලන ක්‍රියාමාර්ගය වන්නේ සම්බන්දන් මහතා විසින් අටවන උගුලට පය නොතබා සිටීම බවය. කොරෝනා වසංගතයෙන් පසු ඇඳ වැටෙන රට නැවත නගා සිටුවන තුරු ව්‍යවස්ථා සංශෝධන කල් දැමීමේ වරදක් නැත. ජනාධිපතිතුමා විසින් ඉතා විශ්ෂ්ඨ ලෙස ගනු ලැබු යම් තීරණ වලින් පෙනී යන්නේ 19 වැනි සංශෝධනය එතුමාට බාධාවක් නොවදන බවය. උතුරේ ජනතාවගේ ප්‍රශ්ණ විසඳීම සඳහා පලාත් සභාවට කළ නොහැකි දේ කිරිමේ හැකියාව තමාට තිබෙන බව ඔහු විසින් ඔප්පු කොට ඇත.

වෛද්‍ය කේ. එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More