පුරවැසි කොලම

අපේ රටට සර්වජන ඡුන්ද බලය ලැබීමෙන් පසුව, නිදහසේ ඡන්දය පාවිච්චි කොට තමන් කැමති නියෝජිතයා පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය කණපිට පෙරලූනේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගෙනා 1978 ව්‍යවස්ථාවත් සමගය. මෙම ව්‍යවස්ථාව තුළින් බිහිවූ මැතිවරණ ක‍්‍රමය හරහා මනාප ක‍්‍රමය රටට හඳුන්වා දුන්නේ ජනතාවට ඇති ආදරයකට නොවන බව එදා පටන් පැහැදිලි වූ කාරණයකි. එසේම මනාප ක‍්‍රමය හඳුන්වා දුන්නේ සුළු පක්ෂවලට සුළු ජන කොටස්වලට හෝ ස්වාධීන අපේක්ෂකයන්ට පාර්ලිමේන්තුවේ වැඩි නියෝජනයක් ලබා දීමට ද නොවේ.

1947 පටන් පැවැති මැතිවරණවලදී ජයග‍්‍රහණයේ දී සහ පරාජයේදී එජාපය ලබා ගන්නා මුළු ඡන්ද සංඛ්‍යාව මත පාර්ලිමේන්තුවේ බලයක් ලබා ගැනීමට හැකිවේ යැයි යන සිතුවිල්ල මුල්කරගෙන අනුපාත ක‍්‍රමය හඳුන්වා දෙන ලදී. මෙම අනුපාත ක‍්‍රමය නිසා දිස්ත‍්‍රික්ක තුළින් පාර්ලිමේන්තුවට පත් වූයේ ‘මන්ත‍්‍රී පොකුරුය’. මෙම ‘පොකුරු මන්ත‍්‍රීන්ට’ පාර්ලිමේන්තුවේ තමන් නියෝජනය කරන මැතිවරණ කොට්ඨාසයක් හෝ වෙනත් වචනෙකින් කිවහොත් ආසනයක් නොමැති බැවින් ඔවුන් ඡන්ද දායකයාට කෙලින්ම වග කියන තත්ත්වයෙන් මිදී ගොස් ඇත. මේ අනුව ඔවුන් ලැබෙන පාර්ලිමේන්තු වරප‍්‍රසාද සහ වරදාන පමණක් භුක්ති විඳින්නට පටන් ගෙන ඇත. දැනට බොහෝ ස්ථානවල දක්නට ලැබෙන්නේ එය වීම අතිශය කනගාටුදායක තත්ත්වයකි.

මේ දක්වා අනුපාත ක‍්‍රමයට පැවැත් වූ මැතිවරණ සියල්ල මනාප පොරය නිසා කෝටි ගණන් මුදල් විසි කරන බලවතුන් විසින් මෙහෙයවන භයානක හා අශෝභන මැතිවරණයක් බවට පත්ව තිබුණි. පාතාලයට ද ලැබුණේ ඉහළ තැනකි. කටවුට්, බැනර්, රථ පෙළපාලි, දන්සැල්, මත්පැන් මෙන්ම අවි ආයුධ ද මනාප පොරය සඳහා යොදා ගන්නා ලදී. කෙසේ වෙතත් දැනට ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත් වීම හේතුකොටගෙන කිසියම් අන්දමකට මේවා අඩු විය හැකි යැයි පමණක් සිතිය හැකි ය.

මනාප ක‍්‍රම නිසා එක ගෙදර එක පවුල දෙකට බෙදී ගිය අතර එකම පක්ෂයේ අපේක්ෂකයින් එකිනෙකා කපාගන්නවා පෙනෙන්නට තිබුණි. මෙය පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් පත්  කරගන්නා ක‍්‍රමයකට වඩා රටක් රාජ්‍යයක් අල්ලා ගැනීමට කරන සිවිල් යුද්ධයක් හා බොහෝවිට සමාන වන්නට විය. එමෙන්ම,මෙම මනාප යුද්ධය නිසා ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටිය යුතු ජනතා හදගැස්ම හඳුනන බොහෝ පුද්ගලයින්ට පාර්ලිමේන්තුවට තේරී තේරීපත්විය නොහැකි විය. එදා පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටි ජනතාවට සේවය කළ ගුරුවරුන්, වෙදමහත්වරුන්, ගම් සභාපතිවරුන්, ගොවියන්, කම්කරු නායකයන්, උගතුන්, බුද්ධිමතුන් ඇතුළු රටටත් සමාජයට අවශ්‍ය පිළිගත් සමාජ තලයන්හි දැනුමක් තේරුමක් ඇති අය මනාප ක‍්‍රමය සහ දරාගත නොහැකි අධික වියදම නිසා ඡුන්දයකට ඉදිරිපත් නොවන තත්ත්වයට පත්විය. මෙය අප රටට සිදු වූ අතිශය අභාග්‍යසම්පන්න මෙන්ම අවාසනාවන්ත තත්ත්වයක් ද විය. මනාප ක‍්‍රමය නිසා දිස්ත‍්‍රික්කයට පත්වන ‘මන්ත‍්‍රී පොකුරක්’ වෙනුවට ආසනයකට මන්ත‍්‍රීවරයකු පත්කර ගත හැකි මැතිවරණයක් ලබාගැනීමට නව ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව හොඳටම පෙනෙන්නට තිබේ.

මීට අමතරව ආසන්න මට්ටමින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් සුළු පක්ෂවලට සහ ස්වාධීන අපේක්ෂකයින්ට අසාධාරණයක් සිදු වනවා යැයි සමහරුන් ගෙනයන කතා කිසිසේත් පිළිගත නොහැකිය. 1947 පළමුවැනි පාර්ලිමේන්තු මැතිවරණයේ සිට ආසන මට්ටමින් පැවැත්වූ අවසාන මැතිවරණය වූ 1977 මහ මැතිවරණයේ දක්වා වූ කාල වකවානුව තුළ ස්වාධීනව තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත‍්‍රී සංඛ්‍යාව 62ක් විය. ඔවුන් සියලූ දෙනාම ප‍්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් පරදවා පාර්ලිමේන්තුවට පත්විය. එමෙන්ම සුළු පක්ෂවලින් (සුළු පක්ෂ යයි මෙහිදී හඳුන්වන්නේ එක් මැතිවරණයකදී අපේක්ෂකයින් 10 වඩා දේශපාලන පක්ෂ වේ.* අපේක්ෂකයින් 57 අඩුවෙන් ඉදිරිපත් කළ පාර්ලිමේන්තුවට තේරී පත්විය. එමෙන්ම ඉහත කී වකවානුවේදී අතුරු මැතිවරණ 28 පවත්වා ඇති අතර ප‍්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් ම පරදවා ස්වාධීන අපේක්ෂකයන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත.

එමෙන්ම කේවල ක‍්‍රමයට ආසන මට්ටමින් මැතිවරණ පැවැත්වූ සමයේ ඡන්දදායකයා බොහෝ සුදුසු අය පාර්ලිමේන්තුවට පත් කළා සේම බලගතු යැයි සම්මත මන්ත‍්‍රීවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන්, ඇමැතිවරුන්, කථා නායකවරුන් මෙන්ම අගමැතිවරයෙකුද තම ආසනයෙන් පරාජය කොට ගෙදර යවන ලදී. මේ රටේ ප‍්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්.ජයවර්ධන මහතාද කැලණිය ආසනයෙන් පරාජය කොට ගෙදර යැවීමට තරම් අපේ රටේ ඡුන්දදායකයා සමත් විය. එමෙන්ම වරක් අගමැතිවරයකු හා ජනාධිපතිවරයකු වූ රණසිංහ පේ‍්‍රමදාස මහතා ද මැද කොළඹින් පරාජය කිරීමට ඡුන්දදායකයා වගබලා ගත්හ. එපමණක් නොව වාමාංශික දේශපාලන නායකයින් සහ පක්ෂ නායකයින් මැතිවරණයෙන් පරාජය කිරීමට මේ රටේ ඡුන්ද දායකයාට හැකි විය. ආසන මට්ටමින් ඡුන්දයක් පවත්වන විට මන්ත‍්‍රීවරයාට වඩා ඡුන්දදායකයා බලවත් වන්නට වීම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රධාන ලක්ෂණයකි. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සියලූම රටවල ජනයා වැඩි කැමැත්තක් දක්වන්නේ හා විශ්වාසයක් තබන්නේ කේවල ක‍්‍රමයට, ආසන මට්ටමින් ඡුන්ද පවත්වනවාට බව ඔප්පු වී තිබේ. අපේ රටේද ඡුන්දදායකයා මැතිවරණයකදී ඡුන්දය පාවිච්චි කිරීම ඉතා ඉහළ මට්ටමක පවත්වාගෙන යන බව පෙනෙන්නට තිබේ. 1977 පසු ජේ.ආර්. ජයවර්ධන රජය විසින් 1982 පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වා මැතිවරණය වසර 06 කල් දැමීම සඳහා රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ජනමත විචාරණය පවත්වන ලදී. 1982 නොවැම්බර් 22 පැවැත්වූ ලාම්පු කළගෙඩි සෙල්ලම යයි බොහෝ දෙනා හැඳින් වූ මෙම ජනමත විචාරණයෙන් පසුව ප‍්‍රදේශ කිහිපයක පමණක් අතුරු මැතිවරණ කීපයක් පැවැත්විය.

ඉන්පසු 1988 දෙසැම්බර් 19 ජවිපෙ භීෂණ සමයේ පැවැත්වූ ජනපතිවරණයේ සිට 2019 නොවැම්බර් ජනපතිවරණය දක්වා ජනපතිවරණ 08ක් පවත්වා ඇති අතර තමන් කැමති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ජනතාව ඉහළ ප‍්‍රතිශතයකින් ඡුන්දය පාවිච්චි කොට ඇති බව පෙනේ. එමෙන්ම අවසාන වතාවට ආසන මට්ටමින් මැතිවරණය පැවැත් වූ 1977 මහ මැතිවරණයේදී ද ආසන 08ක ඡුන්ද දායකයා සියයට 70 සිට 80 දක්වා ඡුන්දය පාවිච්චි කොට තිබුණ අතර ආසන 131ක ඡුන්දදායකයා සියයට 80 සිට 90 දක්වා ඡුන්දය පාවිච්චි කොට තිබුණ අතර ආසන 21ක ඡුන්ද දායකයා සියයට 90 වඩා ඡුන්දය පාවිච්චි කොට තිබුණි. මෙම සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වන්නේ අපේ රටේ ඡුන්දදායකයා මැතිවරණ සඳහා දක්වන උනන්දුව, උද්යෝගය සහ තමන් කැමති අපේක්ෂකයා තෝරා ගැනීමේ දී, අපේ රට අනික් බොහෝ රටවල්ට වඩා ඉහළ ප‍්‍රතිශතයකින් ඡුන්දය පාවිච්චි කරන බවය. එබැවින් අප රටට වඩාත් සුදුසු වන්නේ ආසනයකට මන්ත‍්‍රීවරයකු තෝරාපත්කර ගත හැකි කේවල ක‍්‍රමයට මන්ත‍්‍රීවරුන් පත් කරගත හැකි ක‍්‍රමයක් බව කිව හැකිය. එමෙන්ම දිස්ත‍්‍රික් ක‍්‍රමයට පැවැත් වූ ප‍්‍රථම මැතිවරණය වූ 1989 මහ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී සංඛ්‍යාව 225 දක්වා වැඩි කළ අතර එම මන්ත‍්‍රී සංඛ්‍යාව එසේ වැඩි කොට දැනට වසර 31ක් ගතව ඇති බැවින්, ජනගහන අනුපාතය අනුව හා අනෙකුත් හේතූන් ද සලකා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී සංඛ්‍යාව වැඩි කිරීම යුක්ති සහගත ය.

රටේ නීති සම්පාදනය කරන ආයතනය වන පාර්ලිමේන්තුවේ වැඩි මහජන නියෝජිතයින් සංඛ්‍යාවක් සිටීම වැදගත් බව කිව යුතුය. කෙසේ වෙතත් එවැනි මන්ත‍්‍රීන් සංඛ්‍යාව වැඩි කළ යුත්තේ මනාප ක‍්‍රමය අහෝසි කොට කේවල ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීමට ව්‍යවස්ථා වෙනස් කිරීමක් කළ පසුවය. අපේ රටේ සියලූ ආගමික නායකයින්, උගත් දේශපාලනඥයින්, බුද්ධිමතුන්, ජාතික සංවිධාන, සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් ඇතුළු රටේ බහුතර ජනතාවක් පසුගිය දශක කිහිපයක් තිස්සේ කියා සිටියේ රටට විනාශයක් වන, භීෂණය රජ කරවන, මෙම විපරිත මනාප ක‍්‍රමය අහෝසි කොට ආසනයකට වගකියන මන්ත‍්‍රීවරයකු පත්වන ක‍්‍රමයට ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙසත්ය.

13 සංශෝධනය සහ පළාත් සභා

13 ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන ආ පළාත් සභාවල ඡුන්දය කල් දමා තිබේ. එයට ප‍්‍රධාන හේතුවක් වශයෙන් උපකල්පනය කළ හැක්කේ එවකට පැවති රජයට පළාත් සභා මැතිවරණය දිනා ගන්නට නොහැකි වීමය. ඊට වඩා වෙනත් සාධාරණ හේතුවක් සිතා ගත නොහැකි වන්නේ ප‍්‍රාදේශීය පාලනය තමන් අතට ගන්නට ඕනෑම දේශපාලන පක්ෂයක් කැමැත්තක් දක්වන බැවිනි. නමුත් මෙම අවස්ථාවේ පළාත් සභා ගැන යමක් පැහැදිලිව කියන්නට සිදු වී තිබේ. පළාත් සභා මේ රටේ ජනතාව ඉල්ලූ දෙයක් නොවේ. එය රට කැබලිවලට කඩා පාලනය කිරීම සඳහා යෙ¥ ක‍්‍රමයකි. සමහර විශාල රටවල මෙය ක‍්‍රියාත්මක වුව ද අප රට වැනි වර්ග සැතපුම් විසිපන්දහසක කුඩා දිවයිනකට මෙවැනි ප‍්‍රාදේශීය පාලන ක‍්‍රමයක් කොහෙත්ම අවශ්‍ය වන්නේ නැත. එමෙන්ම මෙම පළාත් සභා ඉන්දියාව විසින් අපට බලෙන් පැවරූ දෙයකි. එදා අපේ හමුදාව උතුරේ වඩමාරච්චි අල්ලාගත් අවස්ථාවේ කලබල වූ ඉන්දියාව ගුවනින් යාපනයට පරිප්පු දැම්මා ය. එය ස්වාධීන රටක ගුවන් සීමාව උල්ලංඝනය කිරීමක් විය. ඊට පසු ඉන්දියාව සාම හමුදාවක් කියා ලක්ෂ ගණනක ඉන්දියානු හමුදාවක් මේ රටට ගොඩ බස්වන ලදී. මෙය ස්ථිර වශයෙන්ම රටක් ආක‍්‍රමණය කිරීමක් හා සමානය. මේ සිද්ධීන් නිසා කර කියා ගත නොහැකි වූ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයා සමඟ ඊනියා ගිවිසුමකට අත්සන් තැබුවා. එහි භයානක ප‍්‍රතිඵලයක් වශයෙන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පළාත් සභා දුන්නා. පළාත් සභාවල බලතල ක‍්‍රියාත්මක කළහොත් ඉඩම් සහ පොලිස් බලතලත් පළාත් සභාවට දෙන්න වෙනවා. රටේ මුහුදු තීරයෙන් අති බහුතරයක් උතුර සහ නැගෙනහිර පළාත් සභාවල පාලනයට යටත් වෙනවා. මෙය ස්වාධීන ස්වෛරී රාජ්‍යයකට කළ නොහැකි දෙයක්. එම නිසා පළාත් සභා ගෙනා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලරහිත කළ යුතු වෙනවා.

රටක් පාලනය කරන්නට ජනතා ඡුන්දයෙන් පත්වූ විධායක ජනාධිපතිවරයාටත්, පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබන අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයටත්, ඡුන්දයෙන් පත්වූ 225 මන්ත‍්‍රී මණ්ඩලයටත් නොහැකි විය නොහැකිය. එසේ නොහැකි වන්නේ නම් කොහේ හෝ කොතැනක හෝ ලොකු වරදක් තිබිය යුතුය. එනයින් බලන කල පළාත් සභාවකට රටකට කළ හැක්කේ කුමක්ද?

19 සංශෝධනය සහ ස්වාධීන කොමිෂන් සභා

දැනට බොහෝ ප‍්‍රශ්නවලට හේතුවක් වී ඇති ස්වාධීන කොමිෂන් සභා ගැනත් යමක් සඳහන් කළ යුතුය. ස්වාධීන කොමිෂන් සභා පත් කරන්නේ ව්‍යවස්ථා සභාවෙනි. ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් දස දෙනෙකු සිටී. ඔවුන්ගෙන් 7දෙනෙකු කෙලින්ම දේශපාලන පක්ෂ නියෝජනය කරන ක‍්‍රියාකාරී දේශපාලනයේ නිරත පුද්ගලයින් ය. අවාසනාවකට මෙන් එක් අයෙකු මැතිවරණය පැරදී ජාතික ලැයිස්තුව තුළින් පාර්ලිමේන්තුවට පිවිසි අයෙකු ය. ඉතිරි තිදෙනාගෙන් එක් අයෙකු රාජතාන්ත‍්‍රික තනතුරු දැරූ එමෙන්ම දේශපාලන සංවිධානයකට හිතවත්කම් දැක් වූ අයෙකු ය. එමෙන්ම මෙම ස්වාධීන කොමිෂන් සභා සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ කී දෙනෙකුට එම ස්ථාන ලැබුණා ද? එමෙන්ම දැනට පත්කළ සභිකයින් කීදෙනෙක් අයදුම්පත් ඉදිරිපත් කළ අය ද නැත්නම් විධායක සභාවේ බලධාරීන්ගේ අවශ්‍යතාවයට ස්වාධීන කොමිෂන් සභාවල සභිකත්වය ලැබූ අයද යන්න සොයා බැලිය යුතුය. මෙවැනි තත්ත්වයක් යටතේ ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනතාවයක් ඇත්ද යන ප‍්‍රශ්නය අසන්නට සිදු වී තිබේ. ඊළඟට වැදගත් වන තවත් කාරණයක් වන්නේ මහජන ඡුන්දයෙන් පත්වන විධායක ජනාධිපතිවරයාගේ සමහර බලතල පවා අභිබවා යෑමට තරම් හැකි තත්ත්වයක් මෙම කොමිෂන් සභාවලට ලැබී තිබෙන බවය. උදාහරණයක් වශයෙන් පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම ගෙනහැර දැක්විය හැකිය. පත් කරන ලද පොලිස්පතිවරයා ඉවත් කිරීමට රටේ ජනාධිපතිවරයාට නොහැකි වන්නේ නම් ස්වාධීන කොමිෂන් සභාවල පැවැත්ම පිළිබඳව තවදුරටත් කල්පනා කළ යුතුය. මැතිවරණ කොමිසම ද පසුගිය කාලයේ හැසිරුණ ආකාරය ජනතාව අනුමත නොකරන තත්ත්වයක තිබුණ බවද අවධාරණය කළ යුතුව තිබේ. ජනාධිපති සහ පාර්ලිමේන්තුව ක‍්‍රියාත්මක වන රටට මෙම තත්ත්වය කිසිසේත් සුදුසු නොවන බව කිව හැකිය.

නව ව්‍යවස්ථාවක් සහ තුනෙන් දෙකේ බලය

දැනට තිබෙන ව්‍යවස්ථාව සහ එහි සංශෝධන බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට පත් වූ ඒවා බව පෙනෙන්නට තිබේ. එමෙන්ම එය පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරියට ගෙන යෑමට අසීරු වන අන්දමට පිළියෙල කොට සම්මත කොටගත් ව්‍යවස්ථාවක් බව ද කිව හැකිය. එමෙන්ම මෙම ව්‍යවස්ථාව සම්මත කරගත් දිනයේ සිට අද දක්වා එහි ඇති වැදගත්කමක් කියන්නට හැකි කිසිම සංවිධානයක් හෝ දේශපාලනඥයකු පෙනෙන්නට සිටියේ නැත. හුදෙක් දේශපාලන වාසි පතන ඔවුන් ව්‍යවස්ථාවෙන් ප‍්‍රයෝජන සහ වරප‍්‍රසාද ගන්නවා මිස මෙම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තු ක‍්‍රමයට හෝ රටේ ජනතාවට සිදු වූ යහපතක් නම් නැත. මෙම ව්‍යවස්ථාව තවදුරටත් ඉදිරි පරම්පරාවටත් දිය යුතු යැයි බහුතරයක් මේ රටේ ජනතාව විශ්වාස නො කරති. පසුගිය නොවැම්බරයේ පැවැත් වූ ජනාධිපති මැතිවරණයේ ප‍්‍රතිඵලයට අනුව ද පවත්නා ව්‍යවස්ථාව රටේ ජනතාව ප‍්‍රතික්ෂේප කරන බව පෙන්නුම් කරන ප‍්‍රබල සාක්ෂියකි.

තත්ත්වය මෙසේ හෙයින් අපේ රටේ ඡුන්දදායකයා නව ව්‍යවස්ථාවක් බලාපොරොත්තුවෙන් අගෝස්තු මැතිවරණයේදී ඡුන්දය පාවිච්චි කරනු ඇත. කෙසේ වෙතත් ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය ව ඇත. ප‍්‍රධාන දේශපාලන පක්ෂවලින් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඇති එජාපය තුනෙන් දෙකේ බලයක් ඉල්ලන්නේ නැත. ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය ඒ බව සඳහන් වන්නේද නැත. එයින් පැහැදිලි වන්නේ යම් හෙයකින් ඔවුන් දිනා එම ව්‍යවස්ථාව දිගටම ක‍්‍රියාත්මක කරමින් රට මේ ආකාරයෙන්ම ඇදගෙන යෑමට බලාපොරොත්තු වන බවය. සජිත් පේ‍්‍රමදාස මහතාගේ සමගි ජන බලවේගය බලාපොරොත්තු වන්නේ මැතිවරණයෙන් පසුව සිරිකොත අල්ලා ගැනීමටය. එම නිසා ඔවුන්ගෙන් ද නව ව්‍යවස්ථාවක් බලාපොරොත්තු වීම විහිළුවකි.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා තුනෙන් දෙකේ බලයක් ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඇති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් බව පෙනෙන්නට තිබේ. ඒ අනුව ජනතාව එම ඉල්ලීම ඉටු කිරීමට මහත් සේ පෙළඹෙනු ඇතැයි සිතීම සාධාරණය.

සරත් වික‍්‍රමසිංහ
ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ලේකම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More