පුරවැසි කොලම

ලලිතසිරි ගුණරුවන් කමිටුව එම්සීසී ගිවිසුම පිළිබඳ තම වාර්තාව ජනාධිපතිතුමාට භාර දුන්නා. එයින් කියැවෙන්නේ ගිවිසුම අප කෙරෙහි පතළ වූ කරුණාවෙන් කෙටුම්පත් කරන ලද්දක් නොවන බවයි. ඒ කමිටුවේ සාමාජිකයන්ගෙන් මා දන්නේ ගුණරුවන් පමණයි.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ මා උගන්වන කාලයේ විද්‍යා පීඨයේ සිසුවකුව සිටියා. පසුව ඔහු ආර්ථික විද්‍යාව වෙත ඇදී ගොස් තිබෙනවා. එය කවදා කෙසේ සිදු වූයේ දැයි මා දන්නේ නැහැ. ඔහු සිසුවකු ලෙස දේශපාලනික ක්‍රියාකරුවකු ලෙස සිටි බවක් මට මතක නැහැ. ඉන්නත් ඇති. ගවේෂකයෝ රැස්වීම්වලට සහභාගි වෙන්න ඇති කියා මා හිතනවා. ශිෂ්‍යයකු ලෙස දෙතුන් වතාවක් මා හමු වී තියෙන බවක් මතකයි. මා හිතන විධියට ඔහු කණ්ඩායමක සාමාජිකයකු වීමට වඩා තනිවම කටයුතු කිරීමට කැමති වූ පුද්ගලයෙක්.

එකල කොළඹ විශ්වවිද්‍යාලයේ සිටිය සිසුන් සමහරු මා දැරූ අදහස්වලට විරුද්ධ වුණා. තවත් සමහරු ඒ අදහස්වලට කැමති වුණා. එසේ කැමති වූ අයට ශිෂ්‍ය සභාවල යම් ශක්තියක් තිබුණා. එහෙත් අද වන විට එකල මා දැරූ අදහස් සමග එකඟ වූ බොහෝ දෙනකු මට විරුද්ධව වැඩ කරනවා. ඔවුන්ට ජාතිකත්වයක් නැහැ කියා මා කියන්නේ නැහැ. එහෙත් විවිධ කරුණු සම්බන්ධයෙන් ඔවුන් මට කැමති නැහැ. බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කීම, විජයට පෙර මෙරට යක්‍ෂ නාග ආදී ගෝත්‍රිකයන් වාසය කළ බව පැවසීම, රනිල් එළවා මහින්ද අගමැති කිරීමට මෛත්‍රිපාල සිරිසේනට ශක්තිය දිය යුතු යැයි කීම, නාථ දෙවියන් සහ වෙනත් අදෘශ්‍යමාන බලවේග මගින් දැනුම ලබා ගැනීමට හැකි බව පැවසීම හා කටයුතු කිරීම, ගුණදාස අමරසේකරගේ ජාතික චින්තනය, සමාජවාදය හා ජාතිකත්වය එකතු කිරීම ඇතුළු ඇතැම් අදහස්වලට විරුද්ධවීම ආදියට ඒ ඒ අය කැමති නැහැ. ඔවුන් සමහරු සංවිධානාත්මකව ජනමාධ්‍ය යොදා ගනිමින් මා ජාතික ව්‍යාපාරයෙන් ඉවත් කිරීමට කටයුතු කරනවා.

ගුණරුවන් ඉන්නේ කොතැනක දැයි මා දන්නේ නැහැ. එහෙත් ඔහුට ජාතිකත්වයක් නම් තියෙනවා. ඔහු හා කණ්ඩායම එම්සීසී ගිවිසුම හොඳින් අධ්‍යයනය කර ඇති බවත් පේනවා. ඔහු මේ ගැන ජනමාධ්‍යයෙන් ප්‍රකාශ කළ කරුණු අනුව නම් ඉතා පැහැදිලිව ගිවිසුම රටට අවැඩදායකයි. රටේ ජාතිකත්වයක් ඇති අය මුල සිටම දැරුවේ ඒ මතයයි. එහෙත් ගුණරුවන් වාර්තාවෙන් ගිවිසුමට විරුද්ධ මතයක් පළවුණත් අප විමසිල්ලෙන් ඉන්න ඕන.

ගිවිසුම සංශෝධනය කිරීමට යෝජනා ගෙනේවි. අපට අවාසි කොන්දේසි ඉවත් කිරීමට කටයුතු කරාවි. වෙනත් වගන්ති ගෙනේවි. ඒ වගන්තිත් අපට අහිතකර වෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩියි. මේ සියල්ල කෙරෙන්නේ බෙදුම්වාදී රාමුවක බවත් අමතක කරන්න බැහැ. අප දෙමළ ත්‍රස්තවාදය පරාජය කළත් තවම මේ රාමුවෙන් ගැලවීමට නොහැකි වී තියෙනවා. ඒ බටහිර රටවල් බෙදුම්වාදය වෙනුවෙන් කාලයක් තිස්සේ වැඩ කරන නිසා.

මේ රාමුවෙන් ගැලවීමට තරමක කාලයක් ගන්න ඉඩ තියෙනවා. එයට අමතරව බටහිර ක්‍රිස්තියානි අධිපතිවාදී සංස්ථාපනයද තියෙනවා. ඒ කෙසේ වුවත් ගුණරුවන් දැක්වූ අදහස් අගය කළ යුතු වෙනවා.

ගුණරුවන් වාර්තාව පිළිබඳව එතරම් අවධානයට ලක් නොවූ කරුණු දෙකක් තියෙනවා. එකක් ඒ වාර්තාව සිංහලෙන් පළ වී තිබීම. වෙනත් කමිටු කොමිසම් වාර්තා ඉංග්‍රීසියෙන් පමණක් නිකුත් වෙලා ටිකක් කල් ගිහින් සිංහලට පරිවර්තනය කෙරෙනවා. වාර්තාව සිංහලෙන් පළ කිරීම පිළිබඳ සභාපතිතුමාටත් සෙසු සාමාජික මහතුන්ටත් අපේ ප්‍රණාමය පළ කරන්න ඕන. මෙය පුදුම තත්ත්වයක්. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වී අවුරුදු හැටහතරකට පස්සෙත් අපි වාර්තාවක් සිංහලෙන් පළකිරීම පිළිබඳව ප්‍රණාමය පළ කරනවා.

මෙහිදී මියන්මාරය ගැනත් වචනයක් නොකියාම බැහැ. මියන්මාරයේ විදේශ අමාත්‍යාංශය අපටත් අනෙක් තානාපති කාර්යාලවලටත් ලිපි යවන්නේ මියන්මාර භාෂාවෙන්. ඒ ලිපි පරිවර්තනය කිරීමට අපට පරිවර්තයකු අවශ්‍ය වනවා. ඔවුන් අපට ඉංග්‍රීසියෙන් ලිපි එවන්නේ නැහැ. එහෙත් අපේ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය අපට ලිපි එවන්නේ ඉංග්‍රීසියෙන්! මා පසුගිය සතියේ තීරණයක් ගත්තා මා විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයට යවන ලිපි සිංහලෙන් යැවීමට.

මට මෙහිදී මතක් වෙනවා මා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති වීමෙන් පසුව එහි වැඩ කටයුතු සිංහලෙන් කිරීමටත් රැස්වීම් වාර්තා සිංහලෙන් ලිවීමටත් ගත් තීරණය. එයට ඇතැම් ආචාර්යවරුන් විරුද්ධ වුණා. ඒත් ප්‍රසිද්ධියේ කිසිවක් කීවේ නැහැ. ඔවුන්ට වඩා පුළුවන් සිංහලද ඉංග්‍රීසිද කියන්න මා දන්නේ නැහැ. එහෙත් ඒ බොහොමයක් උසස් පෙළ පරීක්‍ෂණයට සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි අය. ඔවුන්ට සිංහල බැරි වන්න හේතුවක් නැහැ. මා පීඨාධිපති ධුර කාලය අවසන් වී සේවය නිමවා පැමිණීමෙන් පසු ඔවුන් නැවතත් ඉංග්‍රීසියෙන් වාර්තා ලියනවා!

ගුණරුවන් වාර්තාවේ සඳහන් තවත් වැදගත් කරුණක් වන්නේ එහි සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලියේ ඉතිහාසය පිළිබඳ කියන කොටස. අදාළ ප්‍රදාන ලබා ගැනීම සඳහා ලංකාව සුදුසු බව ආණ්ඩුවට දන්වා තිබෙන්නේ 2004 පෙබරවාරි 11 වැනි දින. එහෙත් වාර්තාවට අනුව රජය ඒ ගැන ප්‍රතිචාරයක් දැක්වූ බවට ලේඛන නැහැ. එසේ වුවත් 2004 දෙසැම්බර් 29 වැනි දින ඇමරිකානු තානාපති කාර්යාල සටහන්වලට අනුව එවකට ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වා තියෙනවා. ලංකාවේ ඒ ලේඛන අස්ථානගත වූයේ කෙසේද යන ප්‍රශ්නය පැන නගිනවා.

ඉන්පසුව 2005 නව රජය බලයට පත් වීමෙන් පසුවද 2005 දෙසැම්බර් 08 හා 2006 දෙසැම්බර් 07 දින දරන ලිපිවලින් එම්සීසී ආයතනය මේ ගැන රජයේ අවධානයට නැවත යොමු කෙරුණ ද 2015 වන තුරු ප්‍රතිචාරයක් දක්වා නැහැ. 2015 අගෝස්තු මස පත් වූ රනිල් සුමන්තිරන් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් එම්සීසී ආයතනය සමග ක්‍රියා කිරීමට පටන් ගෙන තියෙනවා. 2015 දෙසැම්බර් 16 වැනි දින සිට 2018 ඔක්තෝබර් 5 පමණ දක්වා වූ ක්‍රියාකාරකම් ගුණරුවන් වාර්තාවේ 2 සිට 5 දක්වා පිටුවල සඳහන් වෙනවා. මා ඒ දීර්ඝ විස්තරය මෙහි කරන්නේ නැහැ.

මේ විස්තරයේ අවසාන වශයෙන් කියැවෙන්නේ 2018 වසරේ අග සංයුක්ත ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබූ බවත් 2018 ඔක්තෝබර් 1 සිට 5 දක්වා වොෂිංටන්හි ඒ පිළිබඳ අවසන් රැස්වීම් තිබූ බවත්. යම් විධියකින් රනිල් 2018 වසර අග දක්වා බලයෙහි සිටියේ නම් ගිවිසුම අත්සන් කරන බව ඉතා පැහැදිලියි. අප රනිල් අගමැති කමෙන් ඉවත් කළ යුතු යැයි කීවේ මේ විස්තර කිසිවක් දැනගෙන නොවෙයි. ඔහුගේ ප්‍රතිපත්ති මොනවාද කියා දත් නිසාත් ඔහු රටට විනාශයක් මිස යහපතක් ගෙන දෙන්නකු නොවන බව දත් නිසාත්.

රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමට හැකියාව තිබුණේ මෛත්‍රිපාල සිරිසේනට පමණයි. ඔහු ශ්‍රීලනි පක්‍ෂයෙන් ඉවත් වී හංසයාගෙන් ජනාධිපති ධුරයට තරග කිරීම තදබල වරදක්. එහෙත් ඔහු එසේ කිරීමටත් හේතුවක් තිබුණා. මට මේ අවස්ථාවේ තුවාල පාරන්න අවශ්‍ය නැහැ. මෛත්‍රිපාල ජනාධිපති වූ දිනම ඔහුට විරුද්ධත්වය පළ කර මා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකත්වයෙන් අස්වුණා. එහෙත් මැතිවරණයක් පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් නැති අවස්ථාවක රනිල් ඉවත් කර මහින්ද අගමැති කිරීමේ හැකියාව තිබූ එකම පුද්ගලයා සිරිසේන.

අප රනිල් ඉවත් කර මහින්ද අගමැති කිරීමට මෛත්‍රිපාල සිරිසේනට ශක්තිය ලබා දිය යුතු යැයි කීවේ ඒ නිසා. එහෙත් ජාතිකවාදීන් සියලු දෙනාම පාහේ එයට විරුද්ධ වුණා. ඔවුන් මට සිරිජාතිකවාදියා කියා නමක් ද පටබැන්දා. ශක්තිය ලබාදෙන්න මෛත්‍රිපාලට මයිලෝ පොවන්න ඇතැම් ජාතිකවාදීන්ට අවශ්‍ය වුණා. එහෙත් 2018 ඔක්තෝබර් 26 වැනිදා මහින්ද අගමැති නොකරන්න ගුණරුවන් වාර්තාවක් අවශ්‍ය වන්නේ නැහැ.

මා මෙය ලියන්නේ ගෞරවයක් අපේක්‍ෂාවෙන් නොවෙයි. ජාතිකවාදීන් මට කෙසේවත් ගෞරවයක් ලබා නොදෙන බව මා දන්නවා. ජාතික යැයි කියන ජනමාධ්‍යයෙහි මට ලැබුණු ඉඩකඩ මා දන්නවා. ජාතික ව්‍යාපාරය යන අතත් මට තේරෙනවා. ඒ සකර්බර්ග් වම්මුන් හිතන පැත්තකට නොවෙයි. මෙරට සිංහල ජාතිකත්වය දැන් තහවුරු වී අවසන්. මා මේ වන විට ජාතික ව්‍යාපාරයේ ඇති නැති ගානයි. ජාතික ව්‍යාපාරයෙන් මුළුමනින්ම නැති වුවත් සෑහෙන ප්‍රමාණයකට මා ඉවත් කෙරී තිබෙනවා. ඒ කෙසේ වුවත් ගිවිසුම අත්සන් කිරීම වැළැක්වීමට මගෙන් සුළුවෙන් හරි ආධාරයක් වී ඇත්නම් මා සතුටු වෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More