පුරවැසි කොලම

චීනය හොංකොං දිවයිනේ පාලකයන්ට තවත් ආරක්ෂක බලතල පැවරෙන නීතියක් සම්මත කර ඇති බව බීබීසී වෙත වාර්තා විය.

මතභේදයට තුඩු දී ඇති එම ආරක්ෂක බලතල පැවරීම මගින් හොංකොං දිවයිනේ ජනතාව දැනට භුක්ති විඳින නිදහස යටපත් විය හැකි බවට පවතින බියසැක තවත් ගැඹුරු තත්ත්වයකට පත්වනු ඇතැයි සැළකේ.

සම්මත කරන ලදැයි වාර්තා වෙන නව ආරක්ෂක නීතිය අනුව වෙන්වීම, පවතින පාලනයට හානිකරනු ලැබීම සහ විදේශීය හමුදා සමඟ එක්ව කටයුතු කිරීම සාපරාධී ක්‍රියාවක් බවට පත් කෙරෙනු ඇත. එපමණක් නොව, එම අලුත් නීතිය විරෝධතා ව්‍යාපාර සහ අදහස් පළකිරීමේ නිදහස කෙරෙහිද බලපානු ඇත.

චීනය එවැනි ක්‍රියාමාර්ගයක් ගනු ලබන්නේ හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ පුළුල්වීමක් සහ ගැටුම්කාරී වාතාවරණය වර්ධනය වීමත් සමඟය.

‘ඩිමොසිස්ටෝ’ (Demosisto) හොංකොං ප්‍රජාතන්තවාදී ව්‍යාපාරය ඉහත කී පුවත සැලවීමත් සමඟ ඊට ප්‍රතිචාරය දක්වන ලද්දේ ‘සියලු ක්‍රියාමාර්ග අත්හිටවන ලද බව’ නිවේදනය කරමිනි.

හොංකොං දිවයිනේ ඉතා ඉහළම මට්ටමේ ක්‍රියාධරයකුව සිටි ජොෂුවා වොං (Joshua Wong) එම නිවේදනය නිකුත් කරනු ලැබීමට පෙර ප්‍රකාශයක් කරමින්,තමා ‘ඩිමොසිස්ටෝ’ (Demosisto) ප්‍රජාතන්තවාදී ව්‍යාපාරයෙන් ඉවත්වන බව නිවේදනය කර තිබිණි. ජොෂුවා එම සංවිධානයේ ඉදිරිපෙළ නායකයකු විය.

Police deter pro-democracy protesters from blocking roads in the Mong Kok district of Hong Kong on May 27, 2020

එහෙත් එම ව්‍යාපාරයේ සෙසු ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිකයන් කියා සිටින්නේ අලුත් නීතිය අනුව තමන් අත්අඩංගුවට ගනු ලැබීමේ අනතුරක් එල්ල වී ඇතත්, අද (ජූලි 01) පැවැත්වීමට නියමිත මහා පෙළපාලියට ඔවුන් හවුල්වෙන බවය.

ඉහත සඳහන් ආකාරයේ නීතියක් සම්මත කරන ලද බව චීනය විසින් තවමත් නිල මට්ටමින් තහවුරු කරනු ලැබ නැත. එසේම එවැනි කෙටුම්පතක් හෝ ප්‍රසිද්ධියට පත්කර නැත.එහි තේරුම වන්නේ හොංකොං දූපත්වාසී ජනතාව එවැනි නීතියකට බැඳී සිටීද යන්න තවමත් අපැහැදිලි බවකි. දැනගන්නට ලැබෙන පරිදි නව නීතිය අද (ජූලි 01) පටන් බලපැවැත්වීමට ඉඩකඩ ඇත.

කලින් බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවැති හොංකොං දිවයින 1997 වසරේ දී චීන පාලනයට භාරදෙනු ලැබිණි. එම භාරදීම සිදු කෙරුණු විශේෂ ගිවිසුම අනුව පනස් වසරකට බල පැවැත්වෙන පරිදි එම දිවයිනට විශේෂ නිදහසක් සහතික කරනු ලැබීය.

මෙහි මුලින් සඳහන් කළ නව ආරක්ෂක නීතිය සම්මත කරනු ලැබීම පිළිබඳ පුවත දැනගැනීමත් සමඟ ප්‍රකාශයක් කළ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් එම ක්‍රියාමාර්ගය පිළිබඳව ”බලවත් කණගාටුව” පළකළේය.

“මෙය බරපතල ප්‍රතිවිපාක සහිත ක්‍රියාමාර්ගයක් වනු ඇත,” ඩොමිනික් රාබ් පවසයි.

හොංකොං දූපත සඳහා නව ආරක්ෂක නීතියක් හඳුන්වා දෙන බව බේජිං පාලකයන් විසින් පසුගිය මැයි මාසයේ නිවේදනය කරනු ලැබීමත් සමඟ ඊට එරෙහිව මහජන විරෝධතා රැල්ලක් පැතිර ගියේය. පවතින අස්ථාවරභාවය සහ ව්‍යාකූලත්වය පාලනය කිරීමක් අවශ්‍ය යයි පවසන චීනය අනිත් අතින් දූපතේ නිදහස් පාලනයට අතපොවන බවට එල්ල වන චෝදනා බැහැර කරයි.

අලුත් නීතියෙන් කියන්නේ කුමක්ද?

දූපත සඳහා බලපැවැත්වෙන නව ආරක්ෂක නීතිය චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව විසින් ඒකමතිකව සම්මත කරන ලද බව බීබීසී වෙත දැනගැනීමට ලැබිණි.

නව නීතිය ඊයේ (ජූනි 30) සවස්භාගයේ හොංකොං නීති පොතට ඇතුළත් කෙරෙනු ඇතැයි බලාපොරොත්තු පළවෙමින් තිබුණි. එය සිදුකෙරෙන්නේ දූපත බ්‍රිතාන්‍ය පාලනයෙන් චීනයට භාරදෙනු ලැබීමේ 23 වෙනි සංවත්සරය උදාවට දිනකට පෙරය.හොන්කොන් වාසීන් එම දිනය සමරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින උද්ඝෝෂණ සමඟය.

Chinese flags in Beijing

මධ්‍යම ආණ්ඩුවේ පාලනයට හානි කෙරෙන ඕනෑම ආකාරයේ ක්‍රියාවක්,වෙන්වීමට තැත්කිරීම,ත්‍රස්තවාදය සහ විදේශීය හෝ පිටස්තර බලවේග සමඟ කුමන්ත්‍රණශීලීව හවුල්වීම වැනි සියලු ක්‍රියාවන් නව නීතිය යටතේ සාපරාධී වරදක් ලෙස නීතිගත කෙරෙනු ඇත.

නව නීතිය අනුව හොංකොං හි ජාතික ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් කටයුතු කෙරෙන නව කාර්යාලයක් පිහිටුවනු ලබන අතර, එහි පාසල්වල ජාතික ආරක්ෂාව පිළිබඳ දෙනු ලබන අධ්‍යාපනය පවා අදාළ කාර්යාලය මගින් අධීක්ෂණය කරනු ඇත.

ඊට අතිරේකව, නව නීති බලගැන්වීම සඳහා බේජිං පාලනය විසින් පත්කරනු ලබන උපදේශකයකු සහිත හොංකොං ජාතික ආරක්ෂක කොමිසමක් ද තහවුරු කරනු ලැබීමට නියමිතය.

ජාතික ආරක්ෂාවට අදාළ නඩු විභාග කිරීම සඳහා විනිසකරුවන් පත්කිරීමේ බලය හොංකොං ප්‍රධාන විධායක නිලධාරියාට හෝ නිලධාරිනියට පැවරෙන අතර,එමගින් අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි හානිදායක බවට බියසැක මතුවෙමින් පවතී.

තවත් අවධානය යොමුකළ යුතු කරුණක් වන්නේ,නීතිය අර්ථ නිරූපණය කිරීමේ කාර්යය සම්බන්ධයෙන් බේජිං පාලනයට බලතල පවරා ගනු ලැබීමය.අභිනවයෙන් හඳුන්වා දෙනු ලබන නීතිය සහ දැනට හොංකොං හි බලපැවැත්වෙන නීතිය අතර කිසියම් ගැටුමක් මතුවේනම්, බේජිං නීතියට ප්‍රමුඛස්ථානය ලැබෙනු ඇත.

නව නීතිය ඇතිකරන වෙනස

බොහෝ දෙනෙක් සලකන ආකාරයට නව නීතියත් සමඟ චීනයට අයත් සෙසු කලාපයන්ට සාපේක්ෂව හොංකොං සතුව ඇති නිදහස් අයිතිවාසිකම් යටපත් කිරීමක් සිදුකෙරෙනු ඇත. දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් සීමා පැනවෙනු ඇත.

Tear gas is fired to disperse a protest in Hong Kong in May

1997 වසරේ දූපත යළි චීනයේ පාලනයට භාරදෙන ලද අවස්ථාවේ එම දූපතේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගිවිසගත් කුඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් මූලික නීතිය මගින්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස,විරෝධතා පැවැත්වීමේ අයිතිය සහ සම්පූර්ණයෙන් නිදහස් සහ ශක්තිමත් අධිකරණයක් වැනි සිවිල් නිදහස් අයිතිවාසිකම් රැසක් ප්‍රදානය කරනු ලැබිණි.

මේ අතර තවත් නිදහස් අයිතිවාසිකම් ඉල්ලා සිටින මහජන උද්ඝෝෂණ රැල්ලක් හොංකොං දූපතේ පෙරට යමින් තිබිණි.

චීන පාලනය විසින් පසුගිය වසරේ නීතිගත කිරීමට තැත් කරන ලද ‘චූදිතයන් බේජිං පාලනයට භාරදීමට අවසර ලැබෙන පනත් කෙටුම්පත’ ඊට එරෙහි පුළුල් ප්‍රජාතන්ත්‍රීය ව්‍යාපාරයක් ගොඩ නැගීමට සහ ප්‍රචණ්ඩ විරෝධතා ව්‍යාපාර පැතිර යාමට හේතු වූ අතර, පසුව එම පනත් කෙටුම්පත් ඉවත්කර ගැනීමට පවා සිදුවිය.

අඟහරුවාදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අමතමින් අදහස් දැක්වූ හොංකොං ප්‍රධාන විධායක නිලධාරිනී කැරී ලෑම් ”නව නීතිය බලපැවැත්වෙන අපරාධ ක්‍රියා මොනවාද යන්න පැහැදිළිව නිර්වචනය කෙරෙනු ඇතැයි” සඳහන් කළාය.

ප්‍රධාන විධායක නිලධාරිනී කැරී ලෑම් පවසන පරිදි නව නීතිය බල පැවැත්වෙන්නේ ”කුඩා සුළුතරයකට” පමණි. ”එම නීතිය මගින් හොංකොං දූපතේ ස්වයංපාලිත බලතල යටපත් නොකෙරෙන අතර, බහුවිධ මතවාදයන්ට තමන් ගරුකරන බව ද ඇය කියා සිටියාය.

හොංකොං ප්‍රතිචාරය

දූපත චීන පාලනයට පැවරීමේ සංවත්සර දිනය යෙදෙන අද(ජූලි 01) පැවැත්වීමට කටයුතු යොදා තිබූ මහජන පෙළපාලිය සම්බන්ධයෙන් පනවා ඇති පොලිස් තහනම නොතකා එය ක්‍රියාවට නංවන බව හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ නායක වූ චි-වේ (Wu Chi-wai) කියා සිටියේය.

හොංකොං මහජන අයිතිවාසිකම් පෙරමුණේ ෆිගෝ චෑන් (Figo Chan) ඊට එක්වෙන අතර, ඊට සහභාගි වන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

“නඩු පැවරීමේ අනතුර ගැන අපි දන්නවා. නමුත් හොංකොං බියපත් නොවන බව ප්‍රදර්ශනය කිරීමට අපට අවශ්‍ය නිසා පෙළපාලියේ පෙරමුණ ගන්නා ලෙසයි අප ඉල්ලා සිටින්නේ,” ෆිගෝ චෑන් පැවසීය.

මේ අතර හාර දහසක කැරලි මර්දන භටයන් රැඳවීමට පොලිසිය සැලසුම් කර ඇතැයි දකුණු චීනයේ ‘මෝර්නින් පෝස්ට්’ පුවත්පත වාර්තා කළේය.

මේ අතර ‘ඩිමොසිස්ටෝ’ (Demosisto) හොංකොං ප්‍රජාතන්තවාදී ව්‍යාපාරය පවසන්නේ ” සංවිධානය විසුරුවා හරින අතර සියලු රැස්වීම් නතර කරන” බවය.”එහෙත් අධිකාරීවාදී මර්දනයට එරෙහි සටන දිගටම පෙරට ගෙනයන බවත්, වඩාත් නම්‍යශීලී සහ වෙනත් පෙරමුණු මගින් එම සටන දියත් කරන බවත්” එම සංවිධානය කියා සිටී.

“මෙය ලෝකය කලින් දැනසිටි හොංකොංදිවයිනේ අවසානය,” යයි හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ නායක, වූ චි-වේ පවසයි.

යුරෝපා කවුන්සලයේ සභාපති චාර්ල්ස් මිචෙල් අඟහරුවාදා ප්‍රකාශයක් කරමින්,චීනය ක්‍රියාවට නැංවීමට යන නව නීතියත් සමඟ හොංකොං ස්වයංපාලන අයිතිය බරපතල මට්ටමින් විනාශ කෙරෙන බව සඳහන් කළේය.

“අපි චීනය ගත් පියවර සම්බන්ධයෙන් අතිශය කනස්සල්ලට පත්වෙනවා,” චාර්ල්ස් මිචෙල් පවසයි.

“හොංකොං හි සංචාරය කිරීම අනතුරුදායක,” බවට තායිවානය අනතුරු අඟවයි.

ඇමෙරිකා එක්සත් ජනපදය හොංකොං සමඟ පවත්වන විශේෂ වාණිජ සබඳතා අවසන් කිරීමට වොෂිංටන් පාලනය සඳුදා (ජූනි 29) පියවර ගත්තේය.

චීනය අඟහරුවාදා කියා සිටියේ, එක්සත් ජනපදයට එරෙහිව ‘එකට එක කිරීමක්’ ලෙස ඊට ප්‍රතිචාර දක්වන බවය. එහෙත් එම ක්‍රියාමාර්ගය කුමක්ද? යන්න ඔවුහු සඳහන් නොකළහ.

චීනය ඔවුන්ගේ අලුත් ආරක්ෂක නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගතහොත්, බ්‍රිතාන්‍ය සංක්‍රමණ නීතියේ වෙනසක් සිදුකරමින් හොංකොං දිවයිනේ දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායකට “පුරවැසිභාවය පිරිනැමෙන ක්‍රියාමාර්ගයක්” ප්‍රදානය කරන බව එක්සත් රාජධානිය ඉන් පෙර ප්‍රකාශ කර තිබිණි.

BBC News



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More