මීළඟ පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරුන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ලබන අගෝස්තු 5 වැනි බදාදා පැවැත්වීමට නියමිත අතර, එහිදී මැතිවරණ බල ප‍්‍රදේශ (දිස්ත‍්‍රික්ක) 22ක් සඳහා මහජන නියෝජිතයන් 196 දෙනෙකු තෝරා පත්කර ගැනීමට නියමිතව ඇත්තේය. ඊට අමතරව, 1988දී හඳුන්වා දුන් 14 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව, ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් 29 දෙනෙකු ද තෝරා පත්කර ගැනීමට නියමිතව ඇත්තේය. කලින් ක‍්‍රියාත්මක වූ සාපේක්‍ෂ වශයෙන් කුඩා වූ මැතිවරණ කොට්ඨාශ ක‍්‍රමය වෙනුවට 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් පරිපාලන දිස්ත‍්‍රික්කයක් තරම් වූ විශාල ප‍්‍රදේශයක් මැතිවරණ බල ප‍්‍රදේශයක් බවට පත්වීම හේතුවෙන්, තමන්ගේ ප‍්‍රදේශයට ගැලපෙන මන්ත‍්‍රීවරයෙකු තෝරා ගැනීමේදී දැඩි අසීරුතාවයකට මුහුණපෑමට ඡන්දදායකයන්ට සිදුවූයේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මහජන නියෝජිතයා (මන්ත‍්‍රීවරයා) අදාළ ප‍්‍රදේශයේ ජනතාවගෙන් (ඡන්දදායකයන් ගෙන්) දුරස්වීමේ ප‍්‍රවණතාවයක් ඇතිවූයේය. මන්ත‍්‍රීවරයාගේ පැත්තෙන් සලකා බලනා විට, දිස්ත‍්‍රික්කයක් තරම් වූ විශාල ප‍්‍රදේශයක මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නිරතවීම අසීරු කාර්යයක් වුවද, අනෙක් අතට, අදාළ ප‍්‍රදේශයේ ජනතාවගේ ගැටළුවලින් මඟහැර යාමේ අවස්ථාවක් ද මන්ත‍්‍රීවරයාට හිමි වූයේය.
මෙයාකාරයේ ගැටළු සහගත සංකීර්ණ පසුබිමක් තුළ, තම ප‍්‍රදේශයේ අවශ්‍යතා සහ ගැටළු වෙනුවෙන් පෙනී සිටීමට සුදුසු මන්ත‍්‍රීවරයෙකු තෝරාගැනීම පිළිබඳ ජනතා උනන්දුව හීන වී ගිය අතර, ආවාට ගියාට කතිරය ගැසීමේ පුරුද්දක් ඡන්දදායකයන් තුළ ඇතිවූයේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ කාර්යයභාරය කෙසේ විය යුතුද, ඒ සඳහා මන්ත‍්‍රීවරයෙකුට තිබිය යුතු සුදුසුකම් හා නිපුණතා මොනවාද වැනි වැදගත් කරුණු වෙනුවට වෙනත් අවශේෂ කරුණු කෙරෙහි අවධානය යොමුකිරීමේ පුරුද්දක් ඡන්දදායකයන් තුළ ඇතිවූයේය. නිසි ඇගයීමකින් පසුව හොඳහැටි සිතාබලා කතිරය ගසනු වෙනුවට, රැල්ලට හසුවී ඡුන්දය දීමේ ප‍්‍රවණතාවයක් ඇතිවූයේය. පාර්ලිමේන්තු මැතිවරණයකදී කතිරය ගැසීමට පෙරාතුව, පාර්ලිමේන්තුවේ කාර්යයභාරය කුමක්ද, මන්ත‍්‍රීවරයෙකුගේ කාර්යයභාරය කුමක් විය යුතු ද වැනි කරුණු කෙරෙහි නිසි අවධානයක් යොමුකළහොත්, මැතිවරණයෙන් පසුව පසුතැවිලි වීමට ඡුන්දදායකයන්ට සිදු නොවන්නේය.
පාර්ලිමේන්තුවේ කාර්යයභාරය වටහා ගැනීමේදී, පළමුකොටම, පාර්ලිමේන්තුව(Parliament) නමැති ඉංග‍්‍රීසි වචනයේ මූලාරම්භය පිළිබඳව දළ අදහසක් හෝ ලබා තිබීම ප‍්‍රයෝජනවත් වන්නේය. Parliament නමැති ඉංග‍්‍රීසි වදන, ”පාලර්” (Parler) නමැති ප‍්‍රංශ වචනයෙන් බිඳී ආවක් වන අතර, එම ප‍්‍රංශ වචනයේ තේරම කතාබහ කිරීම, සාකච්ඡා කිරීම යන්නයි. ඒ අනුව, පාර්ලිමේන්තුව යනු සාකච්ඡුා කරන ස්ථානයක් වන්නේය. එක්තරා කාලයකදී ලාංකේය පාර්ලිමේන්තුව ”රාජ්‍ය මන්ත‍්‍රණ සභාව” නමින් හඳුන්වනු ලැබූ අතර, ”මන්ත‍්‍රණය” යන සංස්කෘත වචනයේ තේරම ද සාකච්ඡා කිරීම යන්නයි. ඒ අනුව බලනා විට, ඉංග‍්‍රීසියෙන් මෙන්ම සිංහලෙන් ද පාර්ලිමේන්තුව යනු සාකච්ඡුා කරන ස්ථානයකි. එපමණක් නොව, මන්ත‍්‍රීවරයා යන වචනය බිඳී ආ ඇත්තේද මන්ත‍්‍රණය යන සංස්කෘත වදනින් ම වන අතර, ඒ අනුව, මන්ත‍්‍රීවරයා යනු සාකච්ඡුා කරන්නෙක් වන්නේය.
ලන්ඩන් ආර්ථික විද්‍යා කොලීජියේ දේශපාලන විද්‍යාව හා රාජ්‍ය පාලනය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස වසර පනහකට වැඩි කාලයක් සේවය කළ, සම්මානිත මහාචාර්ය ජෝර්ජ් ජෝන්ස් (1938-2017), පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ පර්යේෂණ පැවැත්වූ අයෙකි. මහාචාර්ය ජෝර්ජ් ජෝන්ස්ගේ අදහස අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගෙන් ඉටුවිය යුතු ප‍්‍රධාන කාර්යයන් අතර, විවිධ විෂයයන් අරභයා පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයන්ට සහභාගී වීම, සමාජාර්ථික හා දේශපාලනමය කරුණු සම්බන්ධයෙන් ස්වකීය මතය ඉදිරිපත් කිරීම හා ඒ ගැන ජනතාව දැනුවත් කිරීම මුල් තැනට එන්නේය. අනෙක් අතට, නීති සම්පාදනය, මූල්‍ය කටයුතු ඇතුළු රජයේ සියලූ කාර්යයන් අධීක්‍ෂණය කිරීම, රටට වැදගත් විෂයයන් සම්බන්ධයෙන් විවාද කිරීම යන කරුණු පාර්ලිමේන්තුවක ප‍්‍රධාන කාර්යයන් බව මහාචාර්ය ජෝර්ජ් ජෝන්ස් පෙන්වා දෙන්නේය. එංගලන්තයේ පමණක් නොව, පාර්ලිමේන්තු ක‍්‍රමය ක‍්‍රියාත්මක වන ලෝකයේ හැම රටකම පාහේ පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන රාජකාරි හැටියට සැලකෙන්නේ ඉහත කී කාර්යයන්ය. උදාහරණයක් ලෙස, නවසීලන්ත පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන කාර්යයන් ලෙස ගැනෙන්නේ, නව නීති සම්පාදනය හා පවත්නා නීති සංශෝධනය කිරීම, රජයේ මුදල් භාවිතය අධීක්‍ෂණය හා වැය ශීර්ෂ අනුමත කිරීම, රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීමේදී වගවීම් ක‍්‍රියාවලිය සහතික කිරීම, පොදු ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම යන කටයුතුය.
ප‍්‍රවීණ ලාංකේය දේශපාලනඥයෙකු වන, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් ඩිව් ගුණසේකර මහතා ද පසුගියදා පෙන්වා දී තිබුණේ පාර්ලිමේන්තුවක් තුළ සිටිය යුත්තේ ප‍්‍රතිපත්ති සම්පාදනය, නීති සම්පාදනය, මූල්‍ය අධීක්‍ෂණය සහ ජනතා (අදහස්) නියෝජනය කළ හැකි මන්ත‍්‍රීවරුන් බවය. මීට අමතරව, ලාංකේය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා වන චර්යාධර්ම සංග‍්‍රහයක්, 2018 මාර්තු 7 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද බව බොහෝ දෙනෙක් නොදනිති. සෑම මන්තී‍්‍රවරයෙකුම සිය බලතල ක‍්‍රියාත්මක කිරීමේදී, කාර්ය කිරීමේදී සහ කර්තව්‍ය ඉටුකිරීමේදී පොදුවේ ජාතියේ යහපත සහ විශේෂයෙන් සිය ඡුන්දදායකයන්ගේ යහපත පිණිස ක‍්‍රියා කළ යුතු බව, එම චර්යාධර්ම සංග‍්‍රහයේ 5 වැනි වගන්තියේ සඳහන් වන්නේය.
අන්තර් පාර්ලිමේන්තු සංගමය (Inter Parliamentary Union – IPU) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැසටහන එක්ව, ජගත් පාර්ලිමේන්තු වාර්තාව (Global Parliamentary Report – GPR) නමින් වූ වාර්තාවක් සකස් කරනු ලබන අතර, මෑතකදී එම වාර්තාව සඳහා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ ප‍්‍රධාන කාර්යය කුමක්ද යන මැයින් අන්තර්ජාතික සමීක්‍ෂණයක් දියත් කරනු ලැබීය. එම සමීක්‍ෂණයට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් 52.3%ක පිරිසක් සිය ප‍්‍රධාන රාජකාරිය ලෙස සලකන්නේ, නීති සම්පාදනය බව අනාවරණය වූයේය. ඒ අතරින් 17.2%ක පිරිසක්, රජයේ කටයුතු අධීක්‍ෂණය තම වැදගත්ම කාර්යය හැටියට සලකන බවත්, 12.5%ක පිරිසක් ජනතා අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට මුල්තැන දෙන බවත් අනාවරණය වූයේය. කෙසේ වුවද, මෙම සමීක්‍ෂණයට සහභාගී වූ ඡුන්දදායකයන්ගේ ප‍්‍රතිචාරය මීට වඩා වෙනස් වූ අතර, ඡුන්දදායකයන් 36.4%ක අදහස වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ ප‍්‍රධාන කාර්යය ජනතා අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම බවය.
නීති සම්පාදනය මන්ත‍්‍රීවරයෙකුගේ මූලික රාජකාරිය බව ඡුන්දදායකයන් 20.2%ක පිරිසක් පිළිගන්නා බවත්, රජයේ කටයුතු අධීක්‍ෂණයට ප‍්‍රමුඛතාවය දිය යුතු බව 16.2%ක පිරිසක් පිළිගන්නා බවත් සමීක්‍ෂණ ප‍්‍රතිඵල අනුව අනාවරණය වූයේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ ප‍්‍රධාන කාර්යය පිළිබඳව, මන්ත‍්‍රීවරුන් හා ඡුන්දදායකයන් දරනා අදහස් එකිනෙකට වෙනස් බව මෙම සමීක්‍ෂණ ප‍්‍රතිඵල යළිත් වතාවක් තහවුරු කරන්නේය. මෙම ලක්‍ෂණය ලාංකේය දේශපාලනයට පමණක් සුවිශේෂී වූවක් නොව ලෝකයේ බොහෝ රටවලට පොදු වූවක් බව, මෙම සමීක්‍ෂණ ප‍්‍රතිඵල පෙන්වා දෙන්නේය. මෙයාකාරයට, එකිනෙකාගේ ප‍්‍රමුඛතාවයන් වෙනස් වුවද, පාර්ලිමේන්තුවෙන් ඉටුවිය යුතු කාර්යයන් හරිහැටි ඉටුකර ගැනීම සඳහා තෝරා පත්කර ගන්නා මන්ත‍්‍රීවරුන් සතුව තිබිය යුතු විශේෂ නිපුණතා කිහිපයක් ම ඇත්තේය. සංවිධාන හැකියාව, සාකච්ඡා මගින් සම්මුතිවලට එළැඹීමේ හැකියාව, විශ්ලේෂණ හැකියාව, ගැටළු විසඳීමේ හැකියාව, සන්නිවේදන හැකියාව යන නිපුණතා ඒ අතුරින් මුල් තැනට එන්නේය.
ස්වකීය මැතිවරණ කොට්ඨාශය තුළ පමණක් නොව පොදුවේ සමාජය තුළ විවිධ කණ්ඩායම් ඒකරාශී කොට (සංවිධානය කොට* විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු සතුව තිබිය යුතුය. එම කටයුත්තේදී, විවිධ පිරිස් සමඟ සාකච්ඡා කොට සම්මුතීන්ට එළැඹීමේ හැකියාවක් ද තිබිය යුතුය. විශ්ලේෂණය සහ ගැටළු විසඳීම, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු සතුව තිබිය යුතු තවත් වැදගත් නිපුණතා දෙකක් වන්නේය. තමන්ට ලැබෙන දත්ත හා තොරතුරු විශ්ලේෂණය කොට නිවැරදි නිගමනවලට එළැඹීමේ හැකියාව මන්ත‍්‍රීවරයෙකු සතුව තිබිය යුතුය. එමෙන්ම, සමාජය තුළ පවත්නා නා නා ප‍්‍රකාර ගැටළුවලට විසඳුම් ලබාදීමේ හැකියාවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු සතුව තිබිය යුතුය. හුදු පොතේ ගුරෙකු නොවී, විවිධ සමාජයීය ගැටළුවලට අලූත් ආකාරයේ විසඳුම් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට හැකි විය යුතුය. විසිඑක්වෙනි සියවසේ සාර්ථක පුද්ගලයෙකු වීමට නම් ඕනෑම අයෙකුට තිබිය යුතු අත්‍යවශ්‍ය නිපුණතාවයක් වන සන්නිවේදන හැකියාව, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට ද අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ඉහත කී පරිදි, වචනයේ අර්ථයෙන්ම පාර්ලිමේන්තුව යනු කතාබහ කරන, සාකච්ඡා කරන ස්ථානයක් වන හෙයින්, එහි සාමාජිකයන්ට ඉහළ මට්ටමේ සන්නිවේදන හැකියාවක් තිබිය යුතු බව අමුතුවෙන් කිවයුතු නැත්තේය.
මේ අනුව බලනා විට, ලබන අගෝස්තු 5 වැනිදා කතිරය ගසන්නට පෙරාතුව මෙම කරුණු හැමෙකක්ම කෙරෙහි අවධානය යොමු නොකළහොත්, ඉහත කී පරිදි, ඡුන්දදායකයන්ට මැතිවරණයෙන් පසුව පසුතැවිලි වීමට සිදුවනු ඇත්තේය. මීළඟ පාර්ලිමේන්තුවට පත්වන 225 දෙනා ම ඉහත කී සියලූ නිපුණතාවලින් හෙබි දක්‍ෂයන් වනු ඇතැයි අපේක්‍ෂා කිරීම (ප‍්‍රාර්ථනා කිරීම) බොළඳ මිථ්‍යාවක් බව ඇත්තක් වුවද, අඩුම තරමින්, මෙබඳු හැකියාවන් ඇති කිහිප දෙනෙකු හෝ මීළඟ පාර්ලිමේන්තුවට තෝරා පත්කොට යැවිය හැකිවුවහොත්, ඡුන්දදායකයන් ලෙස අපට සතුටු විය හැකිය. ඔබ කතිරය ගසන පක්‍ෂයේ ලැයිස්තුවේ සිටින, ඉහත කී සුදුසුකම් සපුරාලන අයට පමණක් මනාපය පළකරන්නැයි අප යෝජනා කරන්නේ මෙම පසුබිම තුළය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ කාර්යයභාරය නිසි ලෙස ඉටුකළ හැකි අයට පමණක් මනාපය පළකරන්නැයි අප යෝජනා කරන්නේ මෙම පසුබිම තුළය.
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති
මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...