පුරවැසි කොලම

ඖෂධ මාෆියාව

July 7, 2020 4:30 pm | Lanka Lead News

ආයුධ වෙළඳාම හැරුණු කොට ලොව ලාභදායීම ව්‍යාපාරය ඖෂධ වෙළඳාම බව නොරහසකි. මෙයින් ලැබෙන අධික ලාභය නිසා ඖෂධ ව්‍යාපාරය මේ වන විට මාෆියාවක් බවට පත්ව තිබේ. මේ වන විට අපේ රටේ ඖෂධ මිල ජනතාවට දරා ගත නොහැකි තරමට ඉහළ නැග තිබේ. එසේම රට තුළ ඖෂධ හිඟයක්ද ඇතිවෙමින් පවතින අතර ඇතැම්විට මෙය තවදුරටත් ඖෂධ මිල ඉහළ දමා ගැනීමේ ඖෂධ මාෆියාවේ උපක‍්‍රමයක් වීමටද ඉඩ තිබේ.

අද වන විට අපේ රටේ වෛද්‍යවරුන්ගේ සිට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ  ඉහළ නිලධාරීන් ඖෂධ මාෆියාව විසින් ගිලගෙන ඇති අතර එම නිසා මෙය සමාජයේ බරපතළ ගැටලූවක් වී තිබේ. ඒ නිසාම මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග පෙත්තක් රුපියල් හතර පහ හය දහය වශයෙන් ඉහළ යද්දී තවත් ඖෂධ වර්ග රුපියල් තිහ, හතළිහ පනහ ආදී වශයෙන් ඉහළ ගොස් තිබේ. වේදනා නාශක, විටමින් සහ කැල්සියම් වර්ග, අධි රුධිර පීඩන ඖෂධ, දිලීර නාශක ඖෂධ  මෙලෙස වැඩි වශයෙන් මිල වැඩි කර තිබේ.

කොරෝනා කාලය ඖෂධ සමාගම් වලට රජ ම`ගුල් සමයක්වූ බව පැවසේ. රුපියල් පහට සාමාන්‍යයෙන් සපයන බෙහෙත් පෙත්තක් මේ කාලයේ හදිසි මිලදී ගැනීම් ලෙස රුපියල් හත්සියයටත් වැඩි මිලට සපයා තිබූ බව සඳහන්ය. කොරෝනා ඇඳුම සාමාන්‍ය වෙළඳපොළේ රුපියල් හත් අටසියයක් වෙද්දී සෞඛ්‍ය අමාත්‍යංශයට එය ඖෂධ සමාගම් විසින් සපයා තිබුණේ රුපියල් තුන්දහසක පමණ මුදලකටය. මේවායෙන් මුදල් ගැරූ පාර්ශව ගැන රජය පරීක්ෂණ පැවැත්විය යුතුව තිබේ.

පසුගිය කාලයේ විවිධ ඖෂධ වර්ග සියයක් පමණ මිල පාලනයට යටත් කරන ලදී. එහෙත් මේ වන විට එම ඖෂධ වර්ගද ඇතුළු සමස්ත ඖෂධ මිල ඉහළ ගොස් ඇත්තේ කිසිදු පාලනයකින් තොරව බව පෙනේ. මීට හේතුවී ඇත්තේ ඒ සම්බන්ධයෙන් බලධාරීන් නිසි නියාමනයක් සිදු නොකිරීම බව අපගේ අදහසයි.

ඖෂධ නියම කරන විට එය ඖෂධීය නාමයෙන් කළ යුතු බවට නීතියක් ගෙන එන ලෙස අප විසින් පාලකයන්ට බල කළේ වරක් දෙවරක් නොවේ. එහෙත් තවමත් එය ක‍්‍රියාත්මක නොවේ. එම නිසා අද වන විට ඇතැම් ¥ෂිත වෛද්‍යවරු මේ ඖෂධ මාෆියාවත් සමග එක්ව බඩපිණුම් ගසති. සත ගණනට මිලදී ගත හැකි ඖෂධ වෙළඳ නාම වලින් එමෙන් කීප ගුණයක් වැඩි මිලට ජනතාවට අලෙවි කරන්නට අවස්ථාව සලසන්නේ මේ ¥ෂිත වෛද්‍යවරුන් විසිනි.

අද වන විට අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සිටින බොහෝ දෙනා පැය අට සේවය නොකරති. ඇතැම් වෛද්‍යවරු රාජකාරී කාලය තුළ සිටින්නේ එක්කෝ තමන්ගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ හෝ පුද්ගලික රෝහලකය. ඇතැම් ප‍්‍රධාන රෝහල්වල බාහිර ප‍්‍රතිකාර අංශයේ සිටින වෛද්‍යවරු තිස් දෙනාගෙන් වරකට රාජකාරී කරන්නේ හතර පස් දෙනෙකි. සෙසු පිරිස් පුද්ගලික සේවයේය. මේ නිසා රෝගීන්ට දිගු පෝලිම්ය. මේ පෝලිමේ සිටින්නට බැරි නිසා ජනතාව වැඩිපුර යන්නේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වෙතය. මේවා වහාම රජය විසින් පාලනය කළ යුතුව තිබේ. රාජකාරී කාලය තුළ පුද්ගලික රෝහල්වල සැත්කම් පවා සිදු කරන රජයේ වෛද්‍යවරු බොහෝය. පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැටලීම් ඒකකයෙන්  පුද්ගලික රෝහලක් වටලද්දී පිළිකා වෛද්‍ය විශේෂඥයකු එම රෝහලේ දුම් බටය දිගේ පහළට බැස පැනදිවූ ආකාරය දැක ගත හැකි විය.

අපේ රටේ රජයේ රෝහලකින් සැත්කම් කරව ගන්නට විශාල කාලයක් පොරොත්තු ලේඛනවල සිටින්නට සිදුව තිබේ. මේ වන විට රජයේ රෝහල්වල ඇත්තේ ලොව නවීනතම යන්ත‍්‍ර සූත‍්‍රයන්ය. එහෙත් මේවා යොදා ගෙන  රජයේ රෝහල් වල ප‍්‍රතිකාර කෙරෙන්නේ පැය අටක් පමණි. එහෙත් පුද්ගලික  අංශයේ මේවා පැය 24 ම වැඩය. මේවා බොහෝ විට  වසර පහක වගකීම ඇති යන්ත‍්‍ර නිසා සේවා මුර ක‍්‍රමයට වෛද්‍යවරුන් යොදවන්නේ නම් රජයේ රෝහල්වල සැත්කම් සඳහා ඇති පෝලිම් සියල්ල නැති කළ හැකිය. එහෙත් එවිට පුද්ගලික රෝහල්වලට කිසිවකු සැත්කම් වලට යන්නේ නැත. එවිට පාඩුව එම රෝහල් වලට හා ඒවායේ තම රාජකාරී කාලයෙන් පසු සේවය කරන වෛද්‍යවරුන්ටය. රෝහල් පරිපාලනයේ සිටින්නේ ද වෛද්‍යවරුන්ය. එම නිසා මෙය වෙනස් කරන්නට මේ කිසිවකු ඉඩ දෙන්නේද  නැත.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මෙවැනි ප‍්‍රශ්න බොහෝය. ඇතැම් විශේෂඥ වෛද්‍යවරු රෝගියකු චැනල් කරන්නට රුපියල් හයදහස , හත් දහස හෝ හත් දහස් පන්සියයක් ගනිති. මේවා සඳහා වහාම මිල නියාමනයක් කළ යුතුව තිබේ.

පුද්ගලික රෝහල්වල ගාස්තු සම්බන්ධයෙන් මිල නියාමනය තවමත් ක‍්‍රියාත්මක නොවේ. සැත්කම් ගාස්තු හා වෛද්‍යවරුන්ගේ ගාස්තු සම්බන්ධයෙන්ද මිල නියාමනයක් අවශ්‍යවේ. එසේම ශ‍්‍රීලංකාවට ඖෂධයක් හෝ උපකරණයක් ගෙන්වන විට ඖෂධ නියාමන අධිකාරියේ ඇතැම් ¥ෂිතයන් ඒවා ලියාපදිංචියට බොහෝ කල් ගනිති. එසේම ලියාපදිංචි කරන්නටද ගතමනා ගනිති. අවසානයේ  මේ සියල්ලේ බර දරන්නට සිදුවන්නේ අහිංසක ජනතාවටය.

සිය ව්‍යාපාරය රැක ගැනීම සඳහා මේ ඖෂධ මාෆියාකරුවන්  ඕනෑම දෙයක් කරති. ඖෂධ මාෆියාවට වැට බැඳීම සඳහා බොහෝ රටවල් ප‍්‍රතිපත්තිමය තීරණ ගෙන ඇතත් තවමත් අපේ රටේ ඒ සඳහා ඇති නීතිරීති ප‍්‍රමාණවත් නොවේ. ඒ වෙනුවෙන් අපේ රටට ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍යව තිබේ. ඒ සඳහා නිසි ක‍්‍රමවේදයක්ද  අවශ්‍යව තිබේ. විශේෂයෙන්ම ඩොලරයේ අගය මේ දිනවල නොවෙනස්ව පවතින බැවින් ඖෂධ ආනයනයට වැය වන වියදම පදනම් කරගත් මිලක් නියමකර ඖෂධ සමාගම්වල අසීමිත ලාභය පාලනය කරන්නට රජය වහාම පියවර ගත යුතුව තිබේ.

දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More