මාස හයකට ආසන්න කාලයක සිට ලොව පුරා ව්‍යාප්තව යන කොරෝනා වසංගතය නිසා මුළු මහත් ලෝකවාසීන්ටම තමන් නොසිතු විරු අත්දැකීම් රාශියකට මුහුණ දීමට සිදුවිය. එහිදී බොහෝ රටවල් කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා අනුගමනය කළ කි‍්‍රයාමාර්ග වූයේ සම්පූර්ණයෙන්ම සිය රටවල් අ`ගුළු දැමීම (Lock Down) හෝ ඇඳිරිනීතිය කි‍්‍රයාත්මක කිරීම මගින් ජනතාව නිවෙස්වල රඳවා තබා ගැනීමට කටයුතු කිරීමයි. මෙම ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට සෑම රටක්ම අනුගමනය කළ ජනතාව නිවෙස්වලට සීමා කර තැබීමේ කි‍්‍රයා පිළිවෙත නිසා මාස ගණනාවක් යන තුරු සාමාන්‍ය සහ වෘත්තීය ජීවිතයෙන් මිදී සමාජයෙන් දුරස්ව නිවස තුළම ඒකාකාරි ජීවිතයක් ගත කිරීමට සියලූම ලෝක වාසීන්ට සිදු විය. කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා නිවසට වී ආරක්ෂිතව සිටීම සියලූම ජනයාගෙන් මුළු මහත් ලෝකයේම අනාගත පැවැත්ම උදෙසා සිදු කරන සේවාවක් වශයෙන් සලකනු ලැබුව ද සමාජීය සත්ත්වයෙක් වශයෙන් නිතරම සමාජය සම`ග ජීවත් වන මිනිසාට දීර්ඝ කාලයක් සිය නිවස තුළ සමාජයෙන් ඈත්ව නිරෝධායනය වීම එතරම් පහසු කටයුත්තක් නොවු බව අප සියලූ දෙනාම අත්දැකීමෙන් දන්නා කරුණකි. එම අත්දැකීම අප සියලූ දෙනාම පසුගිය මාස කිහිපය තුළ අත්විඳින ලදී. එය අපට නුපුරුදු දෙයකි. මෙලෙස මුළු ලෝකයම අ`ගුළු දමා තිබියදී නිවසට වී ඒකාකාරි ජීවන රටාවක් ගත කිරීමට සිදුවීම නිසා සමාජ සත්ත්වයෙක් වන මිනිසාට ඉන් ඇති විය හැකි මානසික බලපෑම සහ මානසික වශයෙන් ඇති විය හැකි සෞඛ්‍යය ගැටලූ පිළිබඳව බොහෝ කරුණු කාරණා පිළිබඳව විවිධ විද්වතුන්, මනෝ වෛද්‍යවරුන්, මනෝ උපදේශකයන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ අතර කොරෝනා වසංගතය හමුවේ අත්විඳීමට සිදුවිය හැකි තත්ත්වයන්ගේ බලපෑම නිසා ඇති විය හැකි මානසික පීඩාකාරී තත්ත්වයන් සහ මානසික රෝගාබාධයන් පිළිබඳව නව කතිකාවතක් ඇති විය.
එමෙන්ම ජනපි‍්‍රය සුපිරි බොලිවුඞ් නළු සුශන්ත් සින්ග් රාජ්පුත් පසුගිය ජූනි මස 14 වන දින ඔහු ජීවත් වූ මුම්බායිහි පිහිටි සිය නිවසේදී ගෙල වැළලාගෙන මිය යෑම පිළිබඳ සිදුවීම බෙහෝ දෙනාගේ අවධානයට ලක් වූ මාතෘකාවක් විය. මෙතෙක් වාර්තා වී තිබෙන තොරතුරු වලට අනුව ඔහු විසින් සියදිවි නසා ගැනීමට හේතු වී ඇත්තේ දීර්ඝ කාලයක් ඔහු පීඩා විඳි විශාදය (Depression) නම් මානසික රෝගී තත්ත්වය නිසාවෙනි. 34 හැවිරිදි බොලිවුඞ් නළු සුශන්ත් සින්ග් රාජ්පුත්ගේ සියදිවි නසා ගැනීම ඔහු පීඩා විඳි විශාදය නම් මානසික රෝගී තත්ත්වය නිසා ඇති වූ බව සැල වීමත් සම`ග මානසික රෝග පිළිබඳ නැවත සමාජ මාධ්‍ය තුළ කතිකාවතක් ඇති වීමට හේතු විය. එම සිදුවීමත් සම`ග සියලූ දෙනාගේ අවධානය යොමු වූ කාලීන වශයෙන් සාකච්ඡුාවට බඳුන් විය යුතු මානසික රෝග කිහිපයක් පිළිබඳව දැනුවත් කිරීම මෙම ලිපියෙහි අරමුණ වේ.
ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාවට නිවසට කොටු වී කාලය ගත කිරීමට සිදුවීමත් සමග ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති බවත් කාන්තා සහ ළමා හිංසනයන් පිළිබඳව වැඩි වශයෙන් පසුගිය මාස කිහිපය තුළ තොරතුරු වාර්තා විය. බොහෝ රටවල බොහෝ පුද්ගලයන් දැඩි ලෙස මානසික වශයෙන් පීඩාකාරී තත්ත්වයකට ලක් විය. කොරෝනා වසංගත තත්ත්වය තුළ එලෙස මානසික පීඩාකාරී ත්ත්ත්වයකට පත් වීමට බලපෑ හේතු සාධක ගණනාවක් ඇත. එනම්,
* කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසා තමාට වෛරසය ආසාදනය වේ යැයි ඇති බිය
* ජීවිතය පිළිබඳ අවිනිශ්චිත බවකින් පෙළීම
* රැකියාව අහිමි වීම හෝ අහිමි වේ යැයි ඇති බිය සහ ආර්ථීක ගැටලූ (වසංගත තත්ත්වය හමුවේ බොහෝ රටවල පුද්ගලයන්ට සිය රැකියා අහිමි වූ අතර ඇමරිකාවේ මිලියනයකට වඩා ආසන්න පිරිසකට රැකියා අහිමි විය. විදෙස් රැකියා සඳහා වෙනත් රටවලට පිටත්ව ගොස් සිටි ශ‍්‍රමිකයන්ට එම රටවල රැකියා අහිමි වූ අතර නැවත සිය රටවලට පැමිණීමට සිදු විය. එමෙන්ම බොහොමයක් පවුල් ආර්ථීක අපහසුතාවන්ගෙන් පෙළුණු අතර මුලික අවශ්‍යතාවන් පවා ඉටු කර ගැනීමට නොහැකිව අසරණ විය. සංචාරක කර්මාන්තය මුළුමනින්ම අඩාල වීම නිසා ඒ ආශි‍්‍රත රැකියාවන්හි නිරත වූ පුද්ගලයන්ට සිය රැකියා අහිමි වීම නිසා සිය ජීවිත අනාරක්ෂිත තත්ත්වයකට පත් විය. මෙම හේතු සාධක නිසා එවැනි තත්ත්වයන්ට මුහුණ දුන් පුද්ගලයන් මානසික වශයෙන් විශාල පීඩාවකට පත් විය.)
* කෙරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සමාජයෙන් කොන් වීම පිළිබඳව පැවති බිය ( කෙරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් බොහෝ විට සමාජයෙන් දුරස්ථව සිටීම නිසා සමාජයෙන් කොන් වීම පිළිබඳව බියක් ඇති වීම නිසාත් ඒකාකාරි ජීවිතයක් ගත කිරීමට සිදුවීම නිසාත් මානසික වශයෙන් ආතතිමය තත්ත්වයකට පත් විය හැකිය.)
* හදිසියේම සමාජයෙන් දුරස් වීමට සිදු වීම නිසා සමාජ සහ පවුල් සම්බන්ධතා දුරස් වීම සමාජ සම්බන්ධතා බිඳ වැටීම නිසා ඇති වන මානසික බලපෑම
* ඒකාකාරී ජීවිතයක් ගත කිරීමට සිදුවීම නිසා ඇති වන මානසික බලපෑම
* නිරන්තරයෙන්ම නිවසේ රැඳී සිටීමට සිටීම නිසා පවුලේ සමාජිකයන් අතර ඇති වන නුරුස්සන සුළු ස්වභාවය ආදී තත්තත්වයන් පවුල් ප‍්‍රශ්න ඇති වීමට හේතු වීම
* ජීවිතය පිළිබඳ අනාගත අපේක්ෂාවන් බිඳ වැටීම නිසා ඇතිවන මානසික බලපෑම
මානසික රෝගයක් යනු
පුද්ගලයා පීඩාවට පත් කරන මානසික ආබාධයන් ගණනාවකි. මනසක් ඇති ඕනෑම පුද්ගලයෙකුට කුමන හෝ මානසික රෝගයක් වැළඳිය හැකිය. යම්කිසි පුද්ගලයෙක්ගේ චර්යාව සමාජයේ පිළිගත් සාමාන්‍ය චර්යාවන්ට වඩා වෙනස් වූ අසාමාන්‍ය චර්යා ලක්ෂණ පෙන්නුම් කරයි නම්, එම චර්යාවන් මගින් එම පුද්ගලයාගේ සහ ඔහු අවට ජීවත්වන පුද්ගලයන්ගේ ජීවිතවලට බාධාවන් ඇති කරයි නම්, එම පුද්ගලයා මානසික
රෝගයක් සහිත අයෙකු වශයෙන් හැඳින්විය හැකිය. මෙම අසාමාන්‍ය චර්යා ලක්ෂණ ලෙස නිතර අමතක වීම, නිතර අන් පුද්ගලයන්ව සැක කිරීම, නිතර ප‍්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම ආදිය නිදසුන් වශයෙන් දැක්විය හැකිය. මෙවැනි ලක්ෂණ සාමාන්‍යයෙන් සියලූ දෙනාටම තිබෙන අතර එය අසාමාන්‍ය තත්ත්වයක් වන්නේ යම්කිසි පුද්ගලයෙක්ට නිතරම මෙලෙස සිදුවන විටය. එම චර්යාවන් පුද්ගලයාගේ ජීවිතය පවත්වාගෙන යාමට බාධා ඇති කරයි නම් එය අසාමාන්‍ය තත්ත්වයකි. මෙලෙස දීර්ඝ කාලයක් මානසික අබාධයන්ගෙන් පෙළෙන මිනිසුන් සමාජයෙන් කොන් වීම සිදු වේ. එමෙන්ම ඔවුන් මානසික රෝගීන් වශයෙන් (lable stigma) කර සමාජයෙන් වෙන් කරයි. මෙම මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ගේ චර්යාවන් නිසා අනෙක් පුද්ගලයන්ටද බොහෝ පීඩාවන් ගෙන දෙයි. මානසික රෝග වර්ගීකරණයට අනුව ප‍්‍රධාන මානසික රෝග වර්ග දෙකකි. එනම්,
* නියුරෝසියාව (neurosis) මෙම මානසික රෝග එතරම් දරුණු නැත.
* සයිකෝසියාව (psychosis) භින්නෝන්මාදය වැනි දරුණු මානසික රෝගාබාධ මෙම ගණයට අදාළ වේ.
මානසික රෝග ලක්ෂණ
විවිධ මානසික රෝගවල ලක්ෂණ විවිධ වේ. පදනමකින් තොරව අනෙක් පුද්ගලයා හෝ පුද්ගලයන් පිළිබඳව ඇතිවන සැකය සයිකෝසීය රෝග වල ප‍්‍රධාන ලක්ෂණයකි. නිදසුනක් වශයෙන් ස්වාමියා විසින් පදනම් විරහිතව තම භාර්යාවට අනියම් සබඳතාවක් ඇති බවට නිරන්තරයෙන් සැක කිරීම දැක්විය හැකිය. මෙම සැකය නිසා පසුව බොහෝ ගැටලූ ඇති වේ. සයිකෝසීය රෝගවල අනෙක් ප‍්‍රධාන ලක්ෂණය වන්නේ මෙම රෝගීන් නිතරම යථා ලෝකයෙන් මිදී මායාවන් සමග ජීවත් වීමයි. මෙම මායාවන් භ‍්‍රාන්ති හෙවත් Hallucinations වශයෙන්ද හඳුන්වනු ලබයි. නිතර වෙන අයත් සම`ග කතා කිරීම, වෙනත් අය කතා කරනවා මෙන් ඇසීම, වෙනත් රූප පෙනීම, ශරීරය ස්පර්ශ කරනවා මෙන් දැනීම යනාදිය රෝගියාට දැනෙන සහ පෙනෙන මෙම මායාවන්ගේ ස්වභාවයයි. නමුත් සැබැවින්ම එවැනි රූප, ශබ්ද නොමැත. එය රෝගියාගේ මනසේ ඇතිවන මායාවන් පමණයි. මෙවැනි Hallucinations වර්ග පහකි. එනම්,
* රූප – (Visual Hallucinations)
* ශබ්ද – (Auditory Hallucinations)
* සුවඳ – (Smell Hallucinations)
* රස – (Taste Hallucinations)
* ස්පර්ශ – (Touch Hallucinations)
මෙම භ‍්‍රාන්ති නිසා මෙම රෝගීන් ඉතාම අමිහිරි අත්දැකීම්වලට මුහුණ දේ. එය ඉතාම වේදනාකාරීය. Touch Hallucinations නිසා වේදනාකාරී ස්පර්ශයක් ඔවුන්ට දැනුනොත් තමන් විසින් තමන්ගේම ශරීරයට තුවාල සිදු කරගැනීමට, සම කපා ගැනීම වැනි දේවල් සිදු කර ගැනීමට පෙළඹේ. නමුත් සැබෑ ලෝකයේ ඇත්තෙන්ම මෙවැනි දේවල් සිදු නොවෙයි. නමුත් භින්නෝන්මාදය (schizophrenia) වැනි දරුණු සයිකෝසීය මානසික රෝගාබාධයන්ගෙන් පෙළෙන රෝගීන්ට මෙවැනි භ‍්‍රාන්ති ඇති වේ. නමුත් ඔවුන්ට මෙම තත්ත්වය සැබෑ තත්ත්වයක් නොවන බවට අවබෝධ කර ගත නොහැකිය. භින්නෝන්මාදය (schizophrenia ) යනු ලොව ඇති දරුණුම මානසික රෝගයයි. ඔවුන්ට කිසිසේත්ම සැබෑ ලෝකයේ ජීවත් විය නොහැකිය. තමාට රෝගයක් ඇති බවට ඔවුන් පිළිනොගනී. නියුරෝසීය මානසික රෝගවල දී මෙවැනි භ‍්‍රාන්ති හෙවත් මායාවන් නොමැත. භය සහ සාංකාව, අනාගතය පිළිබඳ ඇති පදනම් විරහිත භය නියුරෝසීය මානසික රෝගවල ප‍්‍රධාන ලක්ෂණ වේ. විශාදය (Depression) සහ කාංසාව (Anxiety) නියුරෝසීය ගණයට අයත් මානසික රෝග වේ.
මානසික රෝග ඇති වීමට බලපාන හේතු සාධක
පුද්ගලයෙකුට යම්කිසි මානසික රෝගයක් ඇති වීම සඳහා විවිධ හේතු සාධක බලපායි. එම හේතු පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ රෝගයේ ස්වභාවය අනුව වෙනස් වේ.
ජීව විද්‍යාත්මක හේතු සහ ජාන ම`ගින්
භින්නෝන්මාදය (schizophrenia) සහ විශාදය (Depression) වැනි ඇතැම් මානසික රෝග තත්ත්වයන් ඇති වීම සඳහා ජීව විද්‍යාත්මක හේතු සාධක බලපායි. ජාන මගින් පාරම්පරිකව ඇතැම් මානසික රෝග සම්පේ‍්‍රෂණය වීමේ වැඩි සම්භාවිතාවක් ඇත. පවුලේ සාමාජිකයෙකුට භින්නෝන්මාදය ඇති නම් එම පවුලේ වෙනත් කෙනෙකුට එම රෝගය සෑදීමට ඇති ඉඩකඩ 75% ප‍්‍රතිශතයකි. පවුලේ සාමාජිකයෙකුට විශාදය තිබුණහොත් තවත් සාමාජිකයෙකුට වැළඳීමේ ප‍්‍රතිශතය 4%ක් පමණ වේ. එමනිසා ජාන ම‘ගින් විශාල බලපෑමක් ඇති කරයි. හෝර්මෝන කි‍්‍රයාකාරිත්වයේ ඇතිවන අසමතුලිතතාවය සහ වෙනත් රෝග තත්ත්වයන් නිසා (පිළිකා, HIV වැනි) මානසිකව වන බලපෑම යන හේතු සාධක මේ සඳහා බලපායි.
Postpartum Depression (වැදූගේ සන්නිය ලෙස සිංහලයෙන් හඳුන්වයි) යනු දරු ප‍්‍රසූතියෙන් පසුව කාන්තාවක් ඇති විය හැකි මානසික රෝගී තත්ත්වයකි. මෙය විශාද තත්ත්වයකි. දරු ප‍්‍රසූතියෙන් පසුව කාන්තාවකගේ කායික සහ මානසික වශයෙන් විශාල වෙනස්කම් සිදුවේ. දරු ප‍්‍රසූතියෙන් පසුව කාන්තාවකගේ ශරීරයේ සිදුවන හොර්මෝන කි‍්‍රයාකාරිත්වයේ වෙනස්කම් සහ අසමතුලිතතාවයන් Postpartum Depression ඇති වීම සඳහා ප‍්‍රධාන වශයෙන් බලපායි. එමනිසා දරු ප‍්‍රසූතියෙන් පසුව මවගේ චර්යාවේ විශාල වෙනස්කම් දැකිය හැකිය. තම දරුවාට මව්කිරි දීම ප‍්‍රතික්ෂේප කිරීම, සිය දිවි නසා ගැනීමට උත්සහා කිරීම, දරුවා මරණයට පත් කිරීමට තැත් කිරීම වැනි දරුණු කි‍්‍රයාවන් සිදු කිරීමට Postpartum Depression තත්ත්වයට මුහුණ දුන් මවක් යොමු වේ. ස්නායු දෙකක් අතර සම්බන්ධතාවය ඇති කරන ස්ථානය වන Synapse තුළ අන්තර්ගත වන Neuro Transmitter නම් රසායනික ද්‍රව්‍යයේ අඩු වැඩි වීම මත විශාදය රෝගී තත්ත්වය පාලනය වීම සිදු වේ. විශාදය ඇති අයෙකුගේ රෝගී තත්ත්වය වැඩි වීමට Neuro Transmitter නම් රසායනික ද්‍රව්‍ය අඩු වීම බෙහෙවින් බලපායි. Neuro Transmitter නම් රසායනික ද්‍රව්‍ය වැඩියෙන් ස‍්‍රාවය වීම විශාදය අඩු වීමට හේතු වේ. භින්නෝනමාදයේදී Neuro Transmitter වැඩි වශයෙන් ස‍්‍රාවය වීම සහ Dopamine අඩුවෙන් ස‍්‍රාවය වීම රෝගය වැඩිවීමට බලපායි. මේ ආකාරයෙන් ජීව විද්‍යාත්මකව ශරීරයේ සිදුවන වෙනස්කම් මානසික රෝග ඇති වීමට බෙහෙවින් බලපෑම් ඇති කරයි.
මත් ද්‍රව්‍යවලට සහ මත් පැන්වලට ඇබ්බැහි වීම
ඇතැම් මනෝවිද්‍යාඥයන් සඳහන් කරනු ලබන්නේ මත් ද්‍රව්‍ය සහ මත් පැන්වලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට මානසික රෝග වැළදීමේ සම්භාවිතාව වැඩි බවයි. එමෙන්ම මානසික පීඩාවන්ගෙන් පෙළෙන ඇතැම් පුද්ගලයන් එකී අසහනකාරී තත්ත්වයන්ගෙන් මිදීමට මත් පැන් සහ මත් ද්‍රව්‍යවලට යොමුවන ප‍්‍රවණතාවයක්ද දැකිය හැකිය. මත් ද්‍ර‍්‍රව්‍යවලට අධික ලෙස ඇබ්බැහි වීම නිසා මනසට සහ මතකයට විශාල හානියක් සිදුවෙයි. එම නිසා මානසික ආබාධ ඇති වීමේ ප‍්‍රවණතාවයක් ඇත.
හදිසි අනතුරු නිසා ඇති වන මානසික කම්පනයන්
අනපේක්ෂිත ලෙස රිය අනතුරු, සුනාමි, ගං වතුර වැනි ස්වභාවික විපත් සහ යුද්ධ වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වූ පුද්ගලයන්ට ඇතිවන මානසික කම්පනය නිසා එහි බලපෑමෙන් මානසික රෝග ඇති වීමේ සම්භාවිතාවක් ඇත. එවැනි අත්දැකීම්වලට මුහුණ දුන් පුද්ගලයන් නැවත එවැනි දෙයක් සිදු වෙතැයි නිරන්තරයෙන් බියට පත් වීම, නිතරම එම සිදුවීම මතක් වීම, සිහිනෙන් භය වීම, සමාජයෙන් දුරස් වීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය. දෙවෙනි ලෝක යුද්ධයට සහභාගි වූ සොල්දාදුවන් යුද බිමේ දී මුහුණ දුන් අමිහිරි අත්දැකීම් නිසා මානසික වශයෙන් දැඩි කම්පනයකට මුහුණ දුන් බවත්, එම සිදුවීම් නැවත නැවත මතකයට පැමිණීම නිසා දැඩි ලෙස බියට පත්ව හැසිරුණු බවත් සඳහන් වේ. වියට්නාම යුද්ධයට සහභාගි වූ ඇමෙරිකන් සොල්දාදුවන්ටද මෙලෙස මානසික කම්පනයන් ඇති වූ බවට සඳහන් වේ. මෙම තත්ත්වය War Neurosis වශයෙන් හඳුන්වනු ලබයි. විවිධ රටවල යුද ගැටුම් වැනි අවස්ථාවන්ට මුහුණ දුන් සෙබළුන්ට පමණක් නොව සිවිල් වැසියන්ට ද මෙවැනි මානසික කම්පනකාරි තත්ත්වයන් ඇති වේ. මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීම නිසා ඇතිවන මානසික කම්පනකාරී තත්ත්වයන් නිසා සහ දීර්ඝ කාලීනව එවැනි තත්ත්වයක් පැවතීම නිසා ද මානසික රෝගාබාධයන්ට ගොදුරු වීමේ ප‍්‍රවණතාවක් ඇත. මීට අමතරව ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය, දරිද්‍රතාව සහ මන්දපෝෂණය වැනි බෙහොමයක් හේතු සාධක මානසික ආබාධයන් ඇති වීම සඳහා බලපාන බවට මනෝ වෛද්‍යවරුන් පෙන්වා දෙනු ලබයි. කෙරෝනා වසංගත තත්ත්වය නිසා මුහුණ දීමට සිදු වූ අනපේක්ෂිත සමාජ, ආර්ථීක ගැටලූ සහ හදිසි වාතාවරණය නිසා පුද්ගලයන් මානසික වශයෙන් පීඩාවට සහ ආතතියට ලක් වූ ආකාරය වත්මන් නිදසුන් මගින් අපට පැහැදිලි වේ.
මෙලෙස මානසික රෝගයන්ගෙන් පෙළෙන
රෝගියෙකු හඳුනා ගැනීම සඳහා වෛද්‍යවරයෙකු ප‍්‍රධාන ක‍්‍රමවේද තුනක් අනුගමනය කරනු ලබයි. පළමු පියවර වන්නේ රෝග ඉතිහාසය පරීක්ෂා කිරීමයි. එහිදී රෝගියාගේ පවුල් පසුබිම, පවුලේ අයගේ තොරතුරු, රෝගය වැළඳුණු කාලය, මීට පෙර එම පවුලේ වෙනත් අයෙකුට එම රෝගය වැළඳී තිබුණා ද යන්න තොරතුරු සොයා බැලීම මෙහිදී සිදු කරයි. දෙවන පියවර වන්නේ රෝගියාගේ ස්නායු පරීක්ෂණ වැනි ශාරීරික පරීක්ෂාවන් සිදු කිරීමයි. තුන්වන පියවර වන්නේ රෝගියාගේ මානසික රෝගි තත්ත්වය පරීක්ෂා කරමින් මානසික රෝගී තත්ත්වයක් ඇත් ද යන්න විනිශ්චය කිරීමයි. මානසික රෝගයක් හඳුනා ගැනීම සඳහා මෙම පියවර තුනම අනුගමනය කිරීමෙන් අවසාන නිගමනයකට එළඹිය යුතුය.
International Classification Of Diseases (ICD)
International Classification Of Diseases (ICD) යනු ලෝකයේ ඇති කායික සහ මානසික රෝග හඳුනා ගැනීම සඳහා ලෝක සෞඛ්‍යය සංවිධානයේ මූලිකත්වයෙන් ඇති කරගත් සම්මුතියකි. මෙහි ලෝකයේ මෙතෙක් සොයාගත් සෑම රෝගයක් පිළිබඳවම විස්තර කොට ඇත. ලෝකයේ ඕනම රටකට මෙම වර්ගීකරණය වැදගත් වේ. බෙහෝ වෛද්‍යවරුන් රෝග පිළිබඳ හඳුනා ගැනීම සඳහා මෙම වර්ගීකරණය භාවිත කරනු ලබයි. මෙම වර්ගීකරණය ලෝකයේ සෑම රටකම රෝග හඳුනා ගැනීම සඳහා භාවිත කරනු ලබයි. ICDල පස්වන පරිච්ෙඡ්දයේ මානසික රෝග පිළිබඳව විස්තර කොට ඇත. එහි ප‍්‍රධාන කාණ්ඩ 10 ක් යටතේ මානසික රෝග වර්ගීකරණය කොට ඇත.
Diagnostic and Statistical Manual of Mental Disorders (DSM)
Diagnostic and Statistical Manual of Mental Disorders (DSM) යනු American Psychological Association (APA)මගින් හඳුන්වා දී තිබෙන මානසික රෝග පිළිබඳ පමණක් විස්තර කරනු ලබන වර්ගීකරණයකි. මනෝවිද්‍යා උපදේශනය මුලින්ම ප‍්‍රචලිත වූයේ ඇමරිකාවේය. මෙම මානසික රෝග පිළිබඳ වර්ගීකරණය භාවිත කරනු ලබන්නේ ඇමරිකාවේ පමණයි. ICD සෑම රෝගයක් පිළිබඳවම විස්තර කළ DSM මගින් විස්තර කරනු ලබනනේ මානසික රෝග පිළිබඳව පමණයි. මානසික රෝග පිළිබඳ මෙම ප‍්‍රධාන වර්ගීකරණයන්ට අමතරව ඇතැම් රටවල් ඔවුන්ට ආවේණික වූ වර්ගීකරණයන් භාවිත කරනු ලබයි. Chinese Classification of Mental Disorders (CCMD) යනු චීනයට පමණක් ආවේණික වූ මානසික රෝග පිළිබඳව විස්තර කර තිබෙන මානසික රෝග වර්ගීකරණයයි. නිදසුනක් වශයෙන් Koro යනු චීනයේ ඇති මානසික රෝගයකි. එහිදී එම රෝගී තත්ත්වය ඇති පුද්ගලයන් බියට පත්ව, ප‍්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙන අතර පසුව සිදු වූ සියල්ල අමතක වීම මෙම මානසික රෝගයේ ස්වභාවයයි. මෙලෙස මෙම වර්ගීකරණය මගින් චීනයට පමණක් ආවේණික වූ මානසික රෝග පිළිබඳව විස්තර කරයි.
ලබන සතියට…..
කේ.ජී. හර්ෂණී එරන්දිකා කුමාරි
පර්යේෂණ සහකාර
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...