පුරවැසි කොලම

කොරෝනා වසංගතය ගෝලීය මට්ටමින් සමනය කර ගැනීම සඳහා තවත් මාස 6 ක් පමණ ගත විය හැකි බවට විවිධ වසංගත රොග විද්‍යාඥයින් විසින් සංඛ්‍යානමය ආකෘති යොදා ගනිමින් අනාවැකි පළ කොට ඇත. ඒ අතර ස්වාධීන යැයි පෙන්වන ආර්ථික විද්‍යාඥයින් මෙන්ම මූල්‍ය අරමුදල වැනි ආයතන නියෝජනය කරන පාර්ශවීය යැයි කියන විද්වතුන්ද එක් පොදු මතයක් ඉදිරිපත් කරති. ඒ 1930 ඇතිවූ මහා ගෝලීය ආර්ථික අවපාතයට පසුව එන දරුණුතම ආර්ථික අවපාතයකට ලෝක වැසියාට මුහුණ දීමට සිදුවන බවය. එසේ නම් කොරෝනා පාලනයේ දිගුවක් ලෙස ආර්ථික අවපාතය පාලනය කිරීමේ හෝ ඊට මුහුණදීමේ ක්‍රියාන්විතය දියත් කිරීමට ලෝකයේ සෑම රාජ්‍යයකටම සිදුවනු ඇත. නමුත් කොරෝනා වසංගතය පැන නැගීමට පෙර යුරෝපයේ බලවත් බැංකු කිහිපයක විශ්ලේෂකයින් විසින් අනතුරු අඟවා තිබුණේ යුරෝපයේ සහ ඇමරිකාවේ මූල්‍ය වෙළඳපළ බරපතල කඩා වැටීමකට ලක් විය හැකි බවය. එසේ නම් කොරෝනා වසංගතය එම රටවලට ආශිර්වාදයක් වූ බව පිළිගැනීමට සිදුවේ. එනම් බලවත් රටවල් පමණක් ඇද වැටීම වෙනුවට සමස්ථ ලෝකයම ඇද වැටීම මඟින් එම බලවතුන්ගේ ස්ථානය යම් පමණකට ආරක්ෂා වීමය.

කෙසේ වෙතත් දැන් බලවතුන් මෙන්ම දුබලයින්ද වසංගතයෙන් පසුව නැවත නැගී සිටීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පෙනේ. ලෝකයේ බලවත් විනිමය ඒකක සහිත රටවල් මුදල් අච්චු ගසමින් සහ තම අතිරික්ත අරමුදල් අර්ථිකයට පොම්ප කරමින් ආර්ථිකය නැවත උද්දීපනය කිරීමට පියවර ගනිති. යම් රටවල් දළ දේශීය නිෂ්පාදනය තුල රාජ්‍යයේ කොටස වැඩි කිරීම මඟින් ආර්ථිකය උද්දීපනය කිරීම සඳහා සෑම පුරවැසියෙකුටම විශේෂ දීමනාවක් ගෙවීම පිළිබඳව පවා සාකච්ඡා කරමින් සිටිති. ශ්‍රී ලංකාවද යම් ප්‍රමාණයකට මහ බැංකුවට ණය වෙමින් හෙවත් මුදල් අච්චු ගසමින් සමාජයේ දුබල ස්ථර වලට ජිවිතාධාර ලබා දීම මඟින් සුභසාධනය සහ ආර්ථිකය උද්දීපනය කිරීම යන අරමුණු දෙකම ඉටු කර ගැනීමට උත්සහා කරන බව පෙනේ. එහි කිසිඳු වරදක් නැති බව ලෝක පරිමාවෙන් ඔප්පු කෙරෙමින් ඇත. ආර්ථිකය දරුණු අවපාත තත්වයක පවතින විට සහ පරිභෝජනය පහළ මට්ටමක පවතින විට මුදල් අච්චු ගැසීම මඟින් උද්දමනයක් ඇති නොවන බවට සරල ආර්ථික න්‍යායක්ද ඉදිරිපත් කළ හැක.
ඉතිහාසයේ ප්‍රථම වතාවට දැන් තිබෙන දේ හෙවත් අප රටක් ලෙස දැනුවත්ව හෝ නොදැනුවත්ව අනුගමනය කරන ආර්ථික මොඩලය වෙනස් විය යුතු බවට ප්‍රභල මහජන මතයක් රට තුළ ගොඩනැගෙමින් ඇත. වසර 30 ක යුද්ධයේ ජයග්‍රහණයෙන් පසුව පවා එතෙක් කළ නොහැකි වූ දේ කෙසේ හෝ කිරීම සඳහා උනන්දුවක් ඇති වූවා මිස ආර්ථික මොඩලයේ මහා වෙනසක් අවශ්‍ය බවට ප්‍රභල සමාජ මනෝභාවයක් ගොඩ නැගුණේ නැත. ජාතියක් ලෙස අප එදා ලැබුණු මනරම් අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් එතෙක් පැමිණි ගමන වෙනස් කිරීමට හෝ හැරවුමකට ලක් කිරීමට අසමත් වීම වෙනම කරුණකි. එනම් මහා ලේ ගංගාවකින් එගොඩ වීමෙන්  පසුව අප ජාතියක් ලෙස ලේ තැවරුණු ඇඳුම් උනාදමා අළුත් ඇඳුම් ඇඳ ගෙන පරණ පාරේ පරණ විදිහටම ගමන් කළ බව සත්‍යයකි. එදා ජාතියක් ලෙස අපට ඒ අවස්ථාව අහිමි වන්නේ බන්කිමූන්ගේ කඩා වැදීමේ සිට විවිධ ජාත්‍යන්තර බලවේග අප විසින් නිවැරදි මඟ තේරීම සිදු නොකරන බව සහතික කර ගැනීම හෙවත් මඟ වැරදවීම සඳහා ක්‍රියාත්මක වූ බැවිනි. ඊට රාජ්‍යය අභ්‍යන්තරයේ යම් පිරිස් ද දායක වූ බව පිළිගැනීමට සිදුවේ.‍
ශ්‍රී ලංකාව වැනි භූ දේශපාලන වශයෙන් සහ යුදමය වශයෙන් ඉතා වැදගත් මර්මස්ථානයක පිහිටි රටක් එසේම ස්වාධීනව නැගී සිටීම සඳහා අවශ්‍ය බොහෝ ස්වාභාවික පූර්ව කොන්දේසි සපුරා ඇති රටක් ස්වාධීනව නැගී සිටීම හෙවත් පරාධිත නොවන ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගීම වැළැක්වීම සඳහා බොහෝ බලවතුන් ක්‍රියාත්මක වනු ඇත. එනම් මඟ කියාදීමේ නාමයෙන් මඟ වැරදවීම සඳහා මතුපිටින් පෙනෙනවාට වඩා බොහෝ බලවත් ක්‍රියාන්විතයක් දියත් වන බවට සැකයක් නැත. ඊට අදාළව “ පාත් ෆයින්ඩර් ” වැනි සංවිධානවල ක්‍රියාකාරීත්වය තුලින් ප්‍රබල සාක්ෂි ලැබේ. එම සංවිධානය විසින් ජනාධිපතිතුමාට භාර දී ඇති “ පශ්චාත් කොරෝනා 19: නව ආර්ථික දැක්ම ” නමින් හඳුන්වා දී ඇති ආර්ථික වැඩ පිළිවෙළ මඟින් ඉතා පැහැදිළිව ඉල්ලා සිටින්නේ යම් දේශපාලන දර්ශනයක් මත පිහිටා ආර්ථික උපාය මාර්ග තේරීම නොකරන ලෙසය. දේශපාලන දර්ශනයක් හෝ දැක්මක් නොමැතිව ආර්ථික උපාය මාර්ග තෝරන්නේ කෙසේ දැයි ඔවුන් විසින් පැහැදිළි කොට නැත. එම නිර්දේශ තුල ඊනියා නව ලිබරල් විද්වතුන් විසින් පසගිය වසර 30-40ක කාලයක් තිස්සේ ලබා දුන් එහෙත් අසාර්ථක උපදෙස් මිස අන් කිසිඳු නව උපාය මාර්ගික ප්‍රවේශයක් දක්නට නැත.
ඒ අනුව පවතින අභියෝගයට සාපේක්ෂව උපාය මාර්ගික වශයෙන් ප්‍රතිඵලදායක තීන්දු තිරණ ගැනීම වැළැක්වීම සඳහා විවිධ තාක්ෂණික මානසික බාධක පැනවීමට මෙන්ම විවිධ ලේබල් ඇලවීම මඟින් විශාල “ නිශේධාත්මක ඝෝෂාවක් ” ඇති කිරීමට යම් පිරිස් ක්‍රියාත්මක වන බව පෙන්. පළමුවෙන්ම නැවත නැගී සිටීම සඳහා ශක්තිමත් පදනමක දෙපා තැබීම අවශ්‍ය වේ. පදනම ශක්තිමත් නොමැති නම් පළමු ප්‍රමුඛතාවය හිමිවිය යුත්තේ පදනම ශක්තිමත් කිරීම සඳහාය. ඒ අනුව නැවත නැගී සිටීම යනු පදනම ශක්තිමත් කිරීම ලෙස අර්ථ දැක්වීමද වරදක් නොවේ. ඊට හේතුව ශක්තිමත් පදනමක් නොමැතිව, එසේ නැතහොත් පවතින දුර්වල පදනම මත නව ඉඟි කිරීමක් කළ නොහැකි වීමය. මග වරදන විවිධ උපදේශකයින් එසේ කළ හැකි යැයි කීවද ශක්තිමත් පදනමක් නොමැති උපරි ව්‍යුහයක් ඉතා කෙටිකලකින් කඩා වැටෙන බවට සැකයක් නැත. වෙනත් වචන වලින් කියනවා නම් වලකින් ගොඩ ඒම සඳහා ශක්තිමත් කඹයක් අවශ්‍ය වන අතර එම කඹය ශක්තිමත් කණුවක හෝ ගසක ගැට ගැසීමද අවශ්‍ය වේ. ජාතියක් ලෙස අපට ලැබි ඇති මනරම් අවස්ථාව හෙවත් පොදු මහජනයාගේ ධනාත්මක මනෝභාවය භාවිත කරමින් වලෙන් ගොඩ ඒම සඳහා ගනු ලබන උත්සහාය වැළැක්වීම සඳහා ශක්තිමත් යැයි පෙනෙන විවිධ දිරච්ච කඹ ආණ්ඩුවට දිගු කරන විවිධ පිරිස් සිටිති. පාත් ෆයින්ඩර් ආයතනය අතරින් ඉදිරියෙන්ම සිටින බව පැහැදිළිව පෙනේ.
එසේ ලණු දෙන අය අතරින් යම් පිරිස්  දිර්ඝ කාලයක් නව ලිබරල් “ වඳ පෙති ” පානය කිරීම නිසා සරුභාවය අහිමි කරගත් ඊනියා ස්වාධීන විද්වතුන් යැයි හඳුන්වා ගන්නා පිරිසකි. උදාහරණයක් ලෙස ඔවුනට අනුව ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය රුපියල් ට්‍රිලියන 15 කි. එහෙත් කෘෂිකර්මාන්තයේ දායකත්වය ට්‍රිලියන 1 කි. ඒ නිසා කෘෂි කර්මාන්තය මුල් කර ගෙන ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම මඟින් බහුතර ජනතාවට ආර්ථික අවස්ථා ලැබෙන ශක්තිමත් පදනමක් දමා ගැනීම හෝ ආහාර සුරක්ෂිතතාව රටේ ආර්ථික ශක්තිය මනින ප්‍රධාන නිර්ණායකයක් ලෙස පිළිගැනීම යනු විකාර කථාවකි. එවැනි තර්ක මඟ වරදවීමේදී ඉතා දියුණු තාක්ෂණික මෙවලම ලෙස යොදා ගැනේ. ඔවුන්ට අනුව මූලික උපාය මාර්ගික හැරවුමක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ මෙතෙක් පැමිණි මාවත ඔස්සේ වැඩි වේගයකින් ගමන් කළ හැකි ආකාරය සොයා ගැනීමය. එනම් බසයේ බෝඩ් ලෑල්ල පමණක් වෙනස් කොට පරණ පාරෙම වේගයකින් ගමන් කළ හැකි ක්‍රමයක් සො ගැනීමය. එසේ නැතහොත් පරණ වයින් අළුත් බෝතලයකට දමා අලෙවි කරන ආකාරය සොයා ගැනීමය.
එසේ මඟ වැරැද්ද වීම සඳහා හෙවත් නිවැරදි පාරට හැරවීම වැළැක්වීම සඳහා තවත් පිරිසක් බසයේ මෙන්ම මාර්ගයේද විවිධ බෝඩ් ලෑලි අලවති. ඔවුන් නැවත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමයේ පැවති ආරක්ෂණවාදයේ යම් වැරදි ප්‍රවේශයක් හුවා දක්වමින් නව ගමන එවැනි ගමනක් නොවිය යුතු බව කියති. ඒ අතර විවිධ ලේබල් පිළිබඳව අතිශයෝක්තියෙන් නව සංවාදයක් කෘතිම ලෙස ආරම්භ කිරීමට උත්සහා කරති. උදාහරණයක් ලෙස දැන් රටට අවශ්‍ය වන්නේ සංවෘත ආර්ථිකයක්ද යනුවෙන්ද ප්‍රශ්ණ කරති. එනම් පවතින ඊනියා විවෘත ආර්ථිකය වෙනුවට සංවෘත ආර්ථිකයක් ආදේශ කරනවාද යනුවෙන් මහජනයා අතර ව්‍යාජ සංවාදයක් ඇති කිරීමට පමණක් නොව යම් පිරිස් අතර භීතියක් ඇති කිරීමට ද උත්සහා කරති. මේ සියළු ව්‍යාජ සංවාද මඟින් සිදුවන්නේ අප මුහුණ දෙන සැබෑ අභියෝගය කුමක්ද යන්න පිළිබඳ සංවාදය සහ ඊට මුහුණු දීමේදී අප විසින් නිවැරදි කරගත යුතු දේ කුමක්ද යන්න පිළිබඳව සංවාදය යටපත් වීමය. මෙම ක්‍රියාවලිය තුල ඇමරිකානු අන්තවාදී ආගමික කල්ලියකට ගොදුරු වී නව භාර්යාවන් නිසා ආගම වෙනස් කර ගත් විද්වතුන් යැයි කියා ගන්නා පිරිසක් ප්‍රබල භූමිකාවක් ඉටු කරන බවද පෙනේ.
මෙම තත්වය තුල අප ජාතියක් ලෙස ඉදිරිපත් කරන විසඳුම කුමක් වුවත් අප මුහුණදෙන අභියෝගයේ තරම හෝ නිවැරදිබව වටහා ගැනීමට තිබෙන අවස්ථාව මඟ හැරී යයි. ඒ අතර ආණ්ඩුවේ පිරිස් ගෙවතු වගාව ප්‍රචලිත කිරීම සඳහා කොළඹදී පැකට් කරන ඇට බෙදා දීම වැනි සරල ක්‍රියා මාර්ග මඟින් අභියෝගයේ බරපතලකම හෑල්ලුවට ලක් කරති. මේ වන විට ලෝකයේ බොහෝ රටවල් ආරක්ෂනවාදී විමට එනම් තම රටේ නිෂ්පාදන ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාවය ලබා දෙමින් සිටින තත්වයක් තුල අපනයන වෙළඳපළ අවස්ථා සීමා වනු ඇත. ගෝලීය මට්ටමින් ඉල්ලුම අඩුවීම සහ බිඳ වැටුණු සැපයුම් දාම ප්‍රකෘතිමත් කිරීම සඳහා යම් කාලයක් ගතවන බැවින් එම තත්වය තවදුරටත් වර්ධනය වනු ඇත. එවැනි තත්වයක් තුල අපනයනය ඉහළ දැමීම සඳහා පියවර ගත යුතු බවට සැමදා දේශණාකරන මන්ත්‍රණයේ වලංගු භාවය තවදුරටත් අභියෝගයට ලක් වේ.
ඊට අමතරව සංචාරක කර්මාන්තයේ කඩා වැටීමට මුහුණදීම සඳහා නව සංචාරක අලෙවිකරණ ක්‍රියාවලියක අවශ්‍යතාවය මෙන්ම නව තත්වයන් යටතේ නව විදේශ ආයෝජන දිරිමත් කිරීම ගැනද සංවාද මතු වේ. තායිලන්තය හෝ මැලේසියාව වැනි රටවල් කරමින් සිටි දේ අපට කළ නොහැකි වූයේ කුමක් නිසාද යන ප්‍රශ්ණයට සෘජු පිළිතුරු නොමැතිව නව වෙනස්කම් ගැන කථා කිරීම විහිළුවකි. එහෙත් එදා කළ නොහැකි වූ දේ කිරීමට තව දුරටත් උත්සහා කිරීම වරදක් නොවේ. වරදක් සිදුවන්නේ නැවත නැගී සිටීමේ උපාය මාර්ගික ප්‍රවේශය තුළ ඊට  ප්‍රමුඛතාවය දීම මඟිනි. ඊට අමතරව නැවත නැගී සිටිය හැක්කේ නව නිපැයුම් හෝ නව සොගැනීම් වෙළඳපළට ඉදිරිපත් කිරීම මඟින් බවට ද යම් පිරිස් සද්භාවයෙන් මත පළකරති. නැවත නැගී සිටීමේ ක්‍රියාවලිය තුල ඊට යම් ප්‍රමුඛතාවයක් හිමිවිය යුතු බවට විවාදයක් නැත. එහෙත් අඩු තරමින් දැනට වෙළඳපළට ඉදිරිපත් කරන තැන දක්වා දියුණු කළ දේශය නිෂ්පාදන වලට වෙළඳපළ අවස්ථා හිමිකර දීම සඳහා වැඩ පිළිවෙළක් නොමැති තත්වයක් යටතේ නව සොයා ගැනීම් හුදු මාධ්‍ය සංදර්ශණ බවට පත්වී ඇත. උදාහරණයක් ලෙස රජයේ මිලදී ගැනීම් මාර්ගෝපදේශණ ලේඛන වලට අනුව රජයේ මිලදී ගැනීම් වලදී දේශීය නිෂ්පාදන වලට 20% ක ඉහළ මිලක් ලබාදිය හැක. එහෙත් මිලදී ගැනීමේ ප්‍රමිතීන් පැනවීමේදී අදාළ ආයතන ආනයනික නිෂ්පාදන වලට පක්ෂපාතී වන ලෙස ක්‍රියාකරති. නමුත් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හෝ වෙනත් ආයතනයක් මඟින් භාවිතයට සුදුසු බවට සහතිකයක් ලබාදීම හරහා එම ප්‍රශ්ණය විසඳිමට උත්සහායක් ගන්නේ නැත.
කෙසේ වෙතත් මෙතෙක් පැමිණි ගමන තුල එනම් දැනට පවතින ආර්ථික මොඩලය තුල කළ නොහැකි වූ දේ කිරීමට වඩාත් කැපවීමෙන් උත්සහා කිරීම මඟින් පමණක් වලෙන් ගොඩ ඒමට හැකියාවක් නොමැති බව දැන්වත් පිළිගත යතුය. එසේනම් දැන් ආර්ථිකයේ පදනම ශක්තිමත් කිරීම සඳහා ජාතික ආර්ථික උපායමාර්ගික ප්‍රවේශය කුමක්ද යන්න පිළිබඳව විවෘත මහජන සංවාදයක් ඇති කිරීමද ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම එය වැදගත් වන්නේ මේ අවස්ථාවේදී පාර වැරැද්දවීමේ මහා ක්‍රියාන්විතයක් දියත්වන බැවිනි. ජපානය වැනි සංවර්ධිත රටවල් දෙවන ලෝක යුද්ධයෙන් පසුව අද පවතින ආර්ථික උපරිව්‍යුහය ඉදිකිරීම සඳහා යොදාගත් පදනම හෙවත් අත්තිවාරම කුමක්දැයි අධ්‍යනය කිරීම මඟින් එම සංවාදය පෝෂණය කළ හැක. එම රටවල අද දැකගත හැකි නාගරික ඉදිකිරීම් සහ යටිතල පහසුකම් මුල්කරගත් වෙළඳපළ ආර්ථිකය හෙවත් උපරි ව්‍යුහය ගොඩ නගන්නේ ශක්තිමත් කෘෂිකාර්මික නිෂ්පාදන ආර්ථිකය නම් වූ අත්තිවාරමක් මතය. නමුත් දැන් අත්තිවාරම පොලොව යට තිබෙන බැවින් එය පෙනෙන්නේ නැත. ඒ නිසා අද එම රටවල් දෙස බලන බොහෝ නව ලිබරල් විද්වතුන් සිතන්නේ ඔවුන් දකින උපරි ව්‍යුහය ආර්ථිකයේ පදනම ලෙසය. එම වරද නිවැරදි කළ හැක්කේ 1950 දශකයේදී ඔවුන් ගොඩ නැගූ අත්තිවාරම හෙවත් පදනමට මුල් වූ ආර්ථික දැක්ම වටහා ගැනීටමෙනි. එනම් එදා පැවති මොඩලයේ හැඩ රුව සහ අංගෝපාංග හඳුනා ගැනීමෙනි. එම මොඩලයේ මූලික ලක්ෂණය අනුව එය බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩ ප්‍රස්ථා සලසන සහ දේශීය නිෂ්පාදන, විශේෂයෙන්ම කෘෂි කාර්මික, ධීවර සහ සුළු සහ මධ්‍යම කර්මාන්ත අංශ දිරිගන්වන සහ ආහාර සුරක්ෂිතතාවයට ප්‍රමුඛස්ථානය ලබාදෙන මොඩලයකි. අද පවා ජපානයේ ආර්ථිකයට 50% දායකත්වයක් ලබා දෙන්නේ සුළු සහ මධ්‍යම කර්මාන්ත පද්ධතිය මඟිනි. නමුත්අප රටේ එම ප්‍රතිශතය 20% තරම් අඩු අගයකි.
එම මොඩලය ගොඩ නැගීම සඳහා ඔවුන් විසින් යොදා ගන්නා ප්‍රධාන න්‍යායාත්මක මෙවලම ආරක්ෂණ වාදයයි. එනම් දේශීය නිෂ්පාදන ආර්ථිකය, විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාවයට අදාළ කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතිය සහ ළදරු කර්මාන්ත පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ආනයන සීමා කිරීමය. ඒ සඳහා ඔවුන් බදු සහ බදු නොවන බාධක රාශියක් යොදා ගනු ලැබීය. ආහාර සුරක්ෂිතතාවයට බලපාන ආහාර ආනයනය සීමා කිරීම සඳහා ජපානය විසින් මෑත කාලීනව පවා ඉතා  ඉහළ ආනයන බදු පනවා ඇත. ආර්ථිකයේ පදනම ශක්තිමත් කර ගැනීම විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සහ බහුතරයක් ජනතාව ආර්ථික ඉඩ ප්‍රස්ථා සැලසීම මඟින් දේහපාලන ස්ථාවර කාචය ද තහවුරු වේ. ඒ අනුව කොරෝනා වසංගතයෙන් පසුව නැගී සිටීමේ කාලය තුල දේශපාලන ස්ථාවරභාවය සඳහාද එම ප්‍රවේශය වැදගත් වේ. ඊට අමතරව ලෝකයේ සෙසු රටවල් මෙම අර්බුදයට මුහුණදීම සඳහා ආරක්ෂණ වාදී වීමේදී ආහාර අපනයනය සීමා කිරීම සහ ආනයන සීමා කිරීම යන ක්‍රියාවලි දෙකක් එකවිට දියත් කරන බැවින් ඊට මුහුණදීම සඳහා ද එම ප්‍රවේශය ඉතා වැදගත් වේ.
ඊට අමතරව ආර්ථිකයේ පදනම ශක්තිමත් කරගැනීමේ උවමනාව තුල අප මුහුණ දෙන මූලික අභියෝගවලට ද පිළිතුරු සොයාගත යුතු වේ. ඒ අනුව ඊට අදාලව දස වැදෑරුම් ප්‍රවේශයක් යෝජනා කළ හැක. පලමුවැන්න ආරක්ෂණ වාදී මූලධර්මය යටතේ දේශීය ආහාර නිෂ්පාදනය වර්ධනය කිරීම මුල් කර ගෙන ආනයනික ආහාර අධෛර්යමත් කිරීමේ ක්‍රමානුකූල ක්‍රියාවලිය තුල වෙළඳපළ මිල විකෘතීන් නිවැරදි කිරීමය. එනම් උදාහරණ ලෙස තිරිඟු පිටි, කිරි පිටි, ෆාම් තෙල් වැනි බහුලව ආනයනය කරන ආහාර අධෛර්යමත් කිරීම සඳහා බදු පැනවීමය. එහිදී විකල්ප දේශීය ආහාර මිලට වඩා 10% ඉහළ මිලක් ආනයනික ආහාර සඳහා නියම වන ලෙස බදු පැනවිය යුතු අතර එම බදු අරමුදල් දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය දිරි ගැන්වීම සහ අඩු ආදායම් ලාබීන්ට අහාර සහනාධාර ලබා දීම සඳහා පමණක් යොදා ගත යුතුය. ඒ මඟින් විදේශ විනිමය ඉතිරිකර ගැනීමද අරමුණු කෙරේ. එසේම කෙටි කාලීනව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ, විශේෂයෙන්ම වාහන සහ සුපෝගභෝගී භාණ්ඩ ආනයනය සීමා කිරීම මඟින් විදේශ විනිමය ඉතිරිකර ගැනීම සහ වෙළඳ හිඟය අවම කර ගැනීමද ඊට සමගාමීව සිදුකළ  යුතුය. දෙවැන්න අප රට සතු මිරිදිය සහ මහා සාගරය ආශ්‍රිත මත්ස්‍ය නිෂ්පාදන විභවය උපරිම ධාරිතාවයෙන් ප්‍රයෝජනයට ගැනීම සඳහා අදාළ සියළු රාජ්‍ය ආයතන එක් යාන්ත්‍රණයක් තුල මධ්‍ය ගත කොට පුද්ගලික අං දෙවැන්න අප රට සතු මිරිදිය සහ මහා සාගරය ආශ්‍රිත මත්ස්‍ය නිෂ්පාදන විභවය උපරිම ධාරිතාවයෙන් ප්‍රයෝජනයට ගැනීම සඳහා අදාළ සියළු රාජ්‍ය ආයතන එක් යාන්ත්‍රණයක් තුල මධ්‍ය ගත කොට පුද්ගලික අංශයද දිරිමත් කරන ජාතික වැඩ පිළිවෙලක් දියත් කිරීමය. ඒ සඳහා යාත්‍රා නිෂ්පාදනය දිරි ගැන්විමද ඊට අයත් වේ. ඒ තුළ ශ්‍රී ලංකාවේ සාගර සම්පත් විදේශ සමාගම් විසින් සූරා කෑම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුය.
තුන් වැන්න රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 20%ක මට්ටමේ පවතින කුඩා සහ මධ්‍යම පරිමාන කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන  50% දක්වා වැඩි කිරීම සඳහා දේශීය වෙළඳපළ අවස්ථා නිර්මාණය කිරීමය. විශේෂයෙන්ම රජයේ මිලදී ගැනීම් වලදී අවස්ථා පුළුල් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ පරිපාලන ක්‍රියාමාර්ග ගැනීමය. හතර වැන්න අපනයන කඩා වැටීමට මුහුණදීම සඳහා භාණ්ඩ සහ වෙළඳපළ විවිධාංගීකරණය කිරීම ඉලක්කය කරමින් මහා පරිමාන අපනයන කර්මාන්තකරුවන්ට ණය පොලී, සහන, බදු සහන සහ පර්යේෂණ සහ සංවර්ධන පිරිවැය මෙන්ම ප්‍රචාරණ පිරිවැය සඳහා සහනාධාර ලබා දීමය. පස් වැන්න බැංකු සහ මූල්‍ය ආයතන පමණක් ලාභ ලබන මූල්‍ය වෙළඳපළ ව්‍යුහය සහ සංස්කාතිය තුල බරපතල වෙනස් කම් සිදු කිරීම මඟින් ප්‍රාග්ධන සැපයුම කාර්යක්ෂම කිරීමය. සයවැන්න ග්‍රාමීය ආර්ථිකය තුල ආර්ථික ඉඩ ප්‍රස්ථා වර්ධනය කිරිම සඳහා ප්‍රබල බාධකයන්ව පවතින ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය මඟින් පවත්වාගෙන යන මුල්‍ය වහල්භාවය අහෝසි කිරීම සඳහා රාජ්‍ය බැංකු යාන්ත්‍රණයක් හඳුන්වාදීමය. හත්වැන්න ග්‍රාමීය ආර්ථිකය උද්දීපනය කිරීම සහ ආනයන විකල්ප නිෂ්පාදන දිරි ගැන්වීම සඳහා තෝරාගත් කෘෂි සහ වැවිලි නිෂ්පාදන ක්ෂේත්‍රවල මහා පරිමාන ව්‍යාපෘති ප්‍රමාණයක් හඳුනා ගැනීම සහ ක්‍රියාත්මක කිරීමය. උදාහරණයක් ලෙස රාජ්‍ය – පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති ලෙස සීනි කර්මාන්තශාලා 04 නැවත සම්පූර්ණයෙන්ම පණගැන්වීම සලකා බැලිය හැක.
 අට වැන්න ආරක්ෂක හමුදා සතු සම්පත් සහ පිරිස් බලය යොදා ගනිමින් යටිතල පහසුකම් පද්ධතිය ශක්තිමත් කිරීමය. එනම් රටේ පවතින 30,000 කට අධික කුඩා වැව් සහ අමුණු සියල්ල එකක් නෑර ප්‍රතිසංස්කරණය කොට ජාතික මට්ටමින් කෘෂි පරිසර පද්ධති ශක්තිමත් කිරීමය. ඊට අමතරව සත්ත්ව අභිජනනය මෙන්ම බීජ සහ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන ගොවිපළ පද්ධතියක් සහ ආදර්ශ ගොවිපළ පද්ධතියක් නිර්මාණය කිරීමේ වගකීමද ආරක්ෂක හමුදාවට භාර දිය හැක. ඒ ආශ්‍රිතව වසංගත තත්වය නිසා දෙස් විදෙස් රැකියා අහිමිවන පිරිස් වලට නව රැකියා අවස්ථා සහ පුහුණුව ලබා දීමද ඉලක්ක කළ හැක. නවවැන්න පුද්ගලික අංශය සමඟ තරඟකාරීව වෙළඳපළ තුල රාජ්‍ය මැදිහත්වීම සහතික කිරීම සඳහා සමූපකාර පදනම යටතේ ජාතික ආයතන පද්ධතියක් පිහිටුවීමය. විශේෂයෙන්ම කෘෂි, සත්ත්ව සහ මතස්‍ය නිෂ්පාදන වෙළඳපළ තුල මිලදී ගැනීම විකිණීම සහ සකස් කිරීම මඟින් කල් තබා ගැනීම යන සමස්ථ ක්‍රියාවලියට එම ආයතන පද්ධතිය දායක විය යුතුය.
 දසවැන්න නව නිෂ්පාදන ආර්ථික මොඩලයට සරිලන පරිභෝජන සංස්කෘතියක් රට තුල දිරිගැන්වීම සඳහා විශේෂයෙන්ම පාසල් සහ රාජ්‍ය ආයතන මුල්කරගෙන අධ්‍යාපන සහ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමය. ඒ තුල නැවත නැගී සිටීමේ ක්‍රියාවලියට අවශ්‍ය මහජන සහයෝගයද වර්ධනය වේ.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More