මිනිසා දෛනිකව ප්ලාස්ටික් ආහාරයට ගනිමින් සිටින බව කිසිවකු පැවසුවහොත් එය පිළිගත හැකිද? එයට අනිවාර්යෙන් ලැබෙන පිළිතුර වනුයේ නැත යන්නයි. එහෙත් මිනිසා සතියකදි ප්ලාස්ටික් මිලිග‍්‍රෑම් 5 ක ප‍්‍රමාණයක් ආහාරයට ගනිමින් සිටියි. කිසිදු ලෙසකින් විශ්වාස කළ නොහැකි වුවද එය සත්‍යයකි. මෙම ප්ලාස්ටික් ප‍්‍රමාණයේ බර සමාන වනුයේ ක්‍රෙඩිට් කාඞ් පතකටය. එ් අනුව මිනිසා සෑම සතියකදීම ක්‍රෙඩිට් කාඞ් පතක ප‍්‍රමාණයේ ප්ලාස්ටික් ප‍්‍රමාණයක් සිය ශරීරයට එක් කර ගනිමින් සිටියි. මෙහි ඇති බරපතළම තත්ත්වය වනුයේ මේ ආකාරයට ප්ලාස්ටික් ශරීරගත වනුයේ නොදැනුවත්වම වීමයි.
ලෝක වනජීවි අරමුදල හා එංගලන්තයේ නිව්කාසල් විශ්වවිද්‍යාලය එක්ව සිදු කරන ලද පර්යේෂණයකින් මෙම කරුණ තහවුරුව තිබේ. මේ ආකාරයට විවිධ ක‍්‍රම මගින් මිනිසාගේ ශරීරයට එක් වන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් අංශුය. විශාල ප්ලාස්ටික් මිලී මීටර් එකත් පහත් අතර ප‍්‍රමාණයේ අංශු බවට පත්වීම හරහා මෙම මයික්‍රෝ ප්ලාස්ටික් නිර්මාණය වේ. 2000 වර්ෂයේ සිට ලොව ප්ලාස්ටික් නිෂ්පාදනය සීග‍්‍ර ලෙස ඉහළ ගියේය. මේවා බාහිර පරිසරයේදී කුඩා අංශු බවට පත්වන අතර එ්වා ඉන් පසු යළි දිරීමකට ලක් වන්නේ නැත. ඉන් පසුව එ්වා පරිසරයේ පවතිනුයේ මෙම අංශු වශයෙනි.
මිනිස් ශරීරයට අධික ලෙස මයික්‍රෝ ප්ලාස්ටික් ලැබෙන ප‍්‍රභවය බවට පත්ව ඇත්තේ පානීය ජලයයි. මේ අනුව බෝතල් කළ පානීය ජලයේ, නළ ජලයේ මෙන්ම පොළව මතුපිට ඇති ජලයේ හා භූගත ජලයේ තිබීමද මෙම ප්ලාස්ටික් අංශු හමුව ඇති බව අදාළ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. මේ අනුව ඇමරිකාවේ ජලය මිලිලීටර් 500 ක ප‍්‍රමාණයක පවතින මයික්‍රෝ ප්ලාස්ටික් අංශු ප‍්‍රමාණය 4.8 කි, ලෙබනනයේ ද ජලය මිලීලීටර් 500 අදාළ අංශු 4.8 ක් පවතී. යුරෝපයේ හා ඉන්දුනීසියාවේ මෙම ප‍්‍රමාණය පවතිනුයේ 1.9 ක අගයකය. පානීය ජලයට අමතරව ලූණු, බියර් හා මත්ස්‍යයින් හරහාද ශරීරයට මයික්‍රෝ ප්ලාස්ටික් ඇතුළු වීම සිදුවේ.
2000 වර්ෂයේ සිට ලොව ප්ලාස්ටික් නිෂ්පාදනය සීග‍්‍ර ලෙස ඉහළ ගියේය.
එලෙසම අදාළ සමීක්ෂණයට අනුව වැඩි වශයෙන් මයික්‍රෝ ප්ලාස්ටික් අංශු ඇත්තේ මුහුදෙහිය. අද වන විට සමුදුර ලොව විසල්ම කසළ රඳවනය බබට පත්ව තිබේ. අත්ලන්තික් සාගරයේ පමණක් වර්ග කිලෝමීටරයක ප‍්‍රමාණයක ඇති ප්ලාස්ටික් කැබලි ප‍්‍රමාණය 40,000 ක් පමණ වේ. ලොව අන් මුහුදු කලාප වල තත්ත්වයද මෙයට සමානය. මෙහි අවසන් ප‍්‍රතිඵලය මුහුදු ජලයේ මයික්‍රෝ ප්ලාස්ටික් අංශු බහුල වීමයි.
මයික්‍රෝ ප්ලාස්ටික් අංශු අවට පරිසරයේ ඇති විෂ ද්‍රව්‍ය සීග‍්‍රයෙන් අවශෝෂණය කර ගනී. මෙය අතිශය භයානක කාරණයකි. මන්ද මිනිස් ශරීරයට මෙම අංශු එක් වන්නේ එම විෂත් සමගින්මය. මේවා බොහෝ විට පිළිකා කාරක වේ. එලෙසම මෙම අංශු සමගින් විවිධ වූ බැක්ටීරියා මෙන්ම වෛරස්ද ශරීරගත වීමේ අවදානමක් පවතී. ලෝක වනජීවි භාරයේ අධ්‍යක්ෂ ජනරාල් මාර්කෝ ලැම්බස්ටිනි පවසන්නේ මෙම තත්ත්වය ගෝලීය අර්බුදයක් ලෙස සලකා ලොව සියලූ රජයන් එක්ව පියවර ගත යුතු කාරණයක් බවයි.
මයික්‍රෝ ප්ලාස්ටික් අර්බුදය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මතුවන තවත්
ගැටලූවක් වන්නේ ඇතැම් නිෂ්පාදන සඳහා එ්වායේ නිෂ්පාදකයන් මෙම අංශු හිතාමතා එක් කිරීමයි. දත් බෙහෙත්, තොල් ආලේපන, මුහුණේ අලේප කරන විවිධ වූ ක‍්‍රීම් වර්ග, පැම්පස්, වැනි නිෂ්පාදන සඳහා මෙම අංශූ එකතු කිරීම බහුලව සිදුවේ. එ් අනුව ඒවා මගින්ද මයික්‍රෝ ප්ලාස්ටික් අංශූ මිනිසාගේ ශරීරයට එක් වේ.
දත් බෙහෙත්, තොල් ආලේපන, ක‍්‍රීම් වර්ග වැනි දැ භාවිතයෙන් පසුව සේදීමේදී ජලය මගින් පොළවට එක්වන මෙම අංශු ඉන් පසුව ඇළ ෙදාල ගංගා හරහා අවසානයේ නවතිනුවේ මුහුදෙහිය. පසුව එ්වා මුහුදු ආහාර මාර්ගයෙන් යළිත් මිනිසාගේ ශරීරයට එක් වේ.
මයික්‍රෝ ප්ලාස්ටික් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ශ‍්‍රී ලංකාවේ තත්ත්වයද ලොව අන් රවටල් හා සමානකමින් යුතුය. මෙරට අවට මුහුදේ මෙන්ම රට තුළ ඇති ජලයේද මයික්‍රෝ ප්ලාස්ටික් බහුලය. විශේෂයෙන් මෙරට බීමට ගන්නා ජලයේද මෙම අංශු පවතින බව සමුද්‍රීය පරිසර අධිකාරිය සඳහන් කර සිටියි.
මෙම අධිකාරිය මගින් 2019 වර්ෂයේ සතියක කාලයක් පුරා 9000 ක සහභාගිත්වයෙන් විශේෂ සංගණනයක් මෙරට වෙරළබඩ ආශ‍්‍රිතව සිදු කරන ලදි. මෙම සංගණනයට ලක් වූ ප‍්‍රදේශය කිලෝ මීටර් 98 කි. මෙහිදී සොයා ගත් එක් කරුණුක් වූයේ සතියකදී වෙරළබඩ පරිසර පද්ධතියට එක්වන ප්ලාස්ටික් ප‍්‍රමාණය කිලේ ග‍්‍රෑම් 36,000 ක් බවයි. මෙහිදී එක්රැුස් කර ඇති නොදිරන ලද ප්ලාස්ටික් කැබලි ප‍්‍රමාණය 392,697 කි. මෙම ප‍්‍රමාණය සතියකට ලක්ෂ 6 ක් පමණ වේ.
වසරකට මෙම පරිසර පද්ධතියට එක්වන ප්ලාස්ටික් හා පොලිතීන් ප‍්‍රමාණය කිලේග‍්‍රෑම් 32,947,031 කි. එලෙසම අප රටේ දෛනික කසළ ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 10,000 ක් පමණ වේ. ඉන් මෙටි‍්‍රක් ටොන් 700 ක් පමණම වන්නේ පොලිතීන් හා ප්ලාස්ටික්ය. මේ අතරින් ප‍්‍රතිචක‍්‍රීකරණයට ලක් වන්නේ මෙටි‍්‍රක් ටොන් 90-95 අතර ප‍්‍රමාණයකි. ඉතිරිය සියල්ල මුදාහැරෙනුයේ බාහිර පරිසරයටය.
එ් අනුව දෛනිකව ගංගා හරහා මුහුදට එක්වන ප්ලාස්ටික් හා පොලීතීන් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 90 ක් පමණ වේ. මීට අමතරව දෛනිකව පරිසරයේ රැුඳී පවතින ප්ලාස්ටික් හා පොලිතීන් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 500 ක් පමණ වේ. මේවා දිරාපත් වීමට වසර 200-1000 අතර කාලපරාසයක් ගතවන අතර එහිදීද සිදුවනුයේ මයික්‍රෝ ප්ලාස්ටික් අංශු නිර්මාණය වීම පමණි.
ලබුගම, කලටුවාව, මහවැලි, කැලණි හා කළු අප රටේ ප‍්‍රධාන වශයෙන් පානීය ජලය සපයන මූලාශ‍්‍ර වේ. තවමත් මේවා ආශ‍්‍රිතව මයික්‍රෝ ප්ලාස්ටික් අංශු පිළිබඳව පර්යේෂණ සිදු කර නොමැත. එලෙසම මෙම අංශු ජලය පිරිපහදු කිරීමේදී ඉවත් වන්නේද නැත.
මේ සියල්ල සලකා බලන කල මිනිසා සතියකට ප්ලාස්ටික් කැබලි 1669 ක් පමණ ආහාරයට ගනිමින් සිටියි. මයික්‍රෝ ප්ලාස්ටික් අංශු පිළිබඳව නෛතික ක‍්‍රියාමාර්ගයක් ගැනීමට මේ වන විට කල් එළැඹ තිබේ. පසුගිය ජනවාරි මස පළමුවැනි දින සිට මයික්‍රෝ ප්ලාස්ටික් තහනම් කිරීමට ඉන්දියාවද පියවර ගෙන තිබුණි. දැනට අප රටේ පවතින නීති රාමුව යටතේ මේ සඳහා පියවර ගත හැකි බැව් නීතිවේදීන්ද පෙන්වා දෙයි. එබැවින් දැන් සිදු කළ යුත්තේ මෙම නොපෙනෙන මාරයාට තිත තැබීමට අවැසි සියලූ පියවර ගැනීමට කටයුතු ආරම්භ කිරීමයි.
නයනකේෂී විජේකෝන්.
සංස්කරණය – ජගත් කණහැරආරච්චි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...