සමගි ජන බලවේගය ජාතිවාදී දේශපාලන පක්ෂවල බළල් අතක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සුවිශේෂි තත්වයකි. එතුමා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කරනු ලබන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් උතුරු ප්‍රදේශයේදී කරන ලද ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් බව පෙනේ. එහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශකොට ඇත්තේ තමා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවය. එම ව්‍යවස්ථා සංශෝධනය බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට කාර්යක්ෂමව ක්‍රියාත්මක නොවන්නේ ඊට එරෙහිව ඒ තුළට පනවා ඇති ව්‍යවස්ථාමය බාධක නිසා බව රහසක් නොවේ. ටී.එන්.ඒ පක්ෂය ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග විසින් යුද්ධය පැවති කාලයේදී පවා ඉල්ලා සිටිනු ලැබුවේ එම ව්‍යවස්ථාමය බාධක ඉවත් කරන සංශෝධනයක් මඟින් දේශපාලන විසඳුමක් ලබාදෙන ලෙසය.
පසුගිය යහපාලන රජය විසින් පත්කරන ලද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ටී.එන්.ඒ පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනා තුළින් ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටිනු ලැබුවේ එම ව්‍යවස්ථාමය බාධක ඉවත් කරන ලෙසය. ඊට අමතරව ඔවුන් විසින් 13 වැනි සංශෝධනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එනම් පරිධිය ශක්තිමත් කිරීමට අමතරව මධ්‍ය දුර්වල කිරීම සඳහා ප්‍රධාන වශයෙන් අමතර යෝජනා දෙකක් ඉදිරිපත් කරනු ලැබීය. ඉන් පළමු වැන්න පාර්ලිමෙන්තුවට ඉහළින් සෙනේට් සභාවක් පිහිටුවීම මඟින් පාර්ලිමේන්තුව මඟින් ගනු ලබන යම් තීරණ අභියෝගයට ලක්කිරීමට ඉඩ සැලැස්වීමය. දෙවැන්න විධායකය හෝ ව්‍යවස්ථාදායකය විසින් පළාත් බලයට එරෙහිව තින්දු ගනු ලැබුවහොත් ඒවා අභියෝගයට ලක් කිරීම සඳහා ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවීමය. ඊට ඊනියා “ ස්වාධීන ” නම් වූ විශේෂණ පදයද යොදා ඇත.
කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා විසින් පළාත් සභා කාර්යක්ෂම කිරීම සඳහා ඉවත් කිරීමට එකඟතාවය පළකරන ව්‍යවස්ථාමය බාධක මූලික වශයෙන් 05 ක් හඳුනාගෙන ඇත. පළමු වැන්න සමගාමී බලතල ලැයිස්තුව ඉවත් කිරීමය. ඒ මඟින් මධ්‍යම රජය සහ පළාත් ආණ්ඩුව අතර මහජන පරමාධිපත්‍ය බෙදා වෙන්කෙරෙන බව පිළිගත හැකි ආකාරයට බලය බෙදීම නිශ්චිතව වෙන්කොට දැක්වීම සිදු වේ. දෙවැන්න මධ්‍ය රජය පමණක් සතුවන ජාතික ප්‍රතිපත්ති හැදීමේ බලය පළාත් ආණ්ඩුවලටද ලබා දීමය. ඒ මඟින් බලතල බෙදීම තවදුරටත් තහවුරු වේ. තුන්වැන්න මුදල් බලය හෙවත් භාණ්ඩාගාරයක් පවත්වාගෙන යාමේ බලය පලාත් ආණ්ඩු වලට ලබා දීමය. හතරවැන්න පළාත් ඉඩම් පරිහරණ බලය පළාත් ආණ්ඩු වලට පැවරීමය. එවිට පළාත් ඉඩම් ප්‍රතිපත්තියක් යටතේ එම ඉඩම් පරිහරණය කිරීමේ බලය පළාත් ආණ්ඩු වලට ලැබෙන අතර මධ්‍යම රජයට යම් ඉඩමක් අවශ්‍ය වේ නම් එය පළාත් ආණ්ඩුවේ අනුකම්පාව යටතේ ලබා ගැනීමට සිදු වේ. එහිදී ඉඩම් අන්සතු කිරීමේ බලය ජනාධිපතිවරයා යටතේ තිබුණද ඉඩම් බෙදාදීමේ සහ පරිහරණය කිරීමේ බලය පළාත ආණ්ඩු යටතට පත් වේ.
පස්වැන්න හෙවත් ඉතා බරපතලම සංශෝධනය ලෙස හඳුනාගත හැක්කේ ආණ්ඩුකාරවරයා පලාත් මහා ඇමතිගේ අනුකම්පාව යටතට පත් කිරීමය. එනම් මහ ඇමතිවරයාගේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයා පත් කිරීම සඳහා ප්‍රතිපාදන පැනවිමය. එවිට ඉඩම් ප්‍රඥාප්ති, පොලිස් ප්‍රඥප්ති ආදිය සම්මත කරන විට ඒවා නැවැත්වීමට ආණ්ඩුකාරවරයා ක්‍රියා නොකරන බව සහතික වේ. ඉඩම් සහ පොලිස් බලතල දැනටමත් ඉතා විස්තීර්ණ ලෙස පළාත්වලට බෙදා ඇති බැවින් අදාළ ප්‍රඥාප්ති සම්මත කළ සැනින් එම බලතල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය ආවරණය ලැබේ. එවිට මධ්‍යම රජය විසින් එම නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට එරෙහිව බාධක පැනවුවහොත් එය ජාත්‍යන්තර අධිකරණය මඟින් බේරාගැනිමට අවස්ථාව නිර්මාණය වේ.
උදාහරණයක් ලෙස පොලිස් බලතල ක්‍රියාත්මක කිරීමට පළාත් ආණ්ඩුවක් විසින් උත්සහා කිරීමේදී මධ්‍යම රජය ඊට බාදා එල්ල කළ හොත් මහජනයා වීදි බහින තත්වයක් නිර්මාණය කිරීමට අවස්ථාව සැලසේ. ආර්. සම්බන්ධන් මහතා 2012 මැයි 25 දින මඩකළපුවේදී ඉලංකෛයි තමිල් අරසු කච්චි පක්ෂයේ සමුළුව අමතමින් සිදුකළ ප්‍රකාශය වැදගත් වන්නේ ඉන් පසුව සිදු විය හැකි දේ තේරුම් ගැනීම සඳහාය. එහිදී ඔහු සඳහන් කරන්නේ තමා ඊළාම් අරමුණ අතහැර නොමැති බව සහ එම අරමුණට ලඟාවීම සඳහා යොදාගන්නා උපාය මාර්ගය වෙනස් කරන බවය. එනම් යුද්ධය වෙනුවට අවිහිංසාවාදී ගාන්ධිවාදී විදි සටන් යොදා ගන්නා බවය. එම අවස්ථාවේදී ජාත්‍යන්තර ප්‍රජාව උදව් කළ යුතු බවද ඔහු විසින් අවධාරණය කරනු ලැබීය. එම නව උපාය මාර්ගික සැලසුමට අනුව එසේ වීදි බහින ජනතාව සහ ආරක්ෂක හමුදා සමඟ ගැටුමක් නිර්මාණය කළ යුතුය. එවිට මළමිනී ප්‍රමාණයක් එක්රැස්වීම සමඟ ජාත්‍යන්තර මැදිහත් වීමට පාර කැපෙනු ඇත.
කොසෝවෝ බෙදා වෙන්කිරීමේදී ගරිල්ලන් විසින්ම මරා දැමුණු සිවිල් වැසියන් 800 කගේ මළ කඳන් යොදා ගනිමින් සර්බියාවට ගුවන් ප්‍රහාර එල්ල කිරිමට නේටෝ සංවිධානය කටයුතු කළේ ය. නමුත් ශ්‍රී ලංකාවේදී ඊනියා ඊළම තුළ එතරම් මළකඳන් අවශ්‍ය නොවිය හැක. ඊට හේතුව අඬන්නට ඇහැට අනින තෙක් බලා සිටින අසල්වැසියන් ඇතුළු රටවල් රාශියක් තිබීමය. නැගෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමට අදාළව ජාත්‍යන්තර අධිකරණය හමුවේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පෘතුගාලය නඩුවේ තීන්දුව අනුව එවැනි ජාත්‍යන්තර මැදිහත්වීම් සාධාරණීකරණය කළ හැක. එම නඩු තීන්දුවට අනුව යම් භූ ගෝලීය ප්‍රදේශයක ජනතාවට පරමාධිපත්‍යයේ බලය බෙදී යන ආකාරයට ස්වයං පාලන බලතල බෙදා ඇති විටෙක එම බලතල ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය ඉඩ නොදෙන්නේ නම් එම ජනතාවට වෙන්වීමේ අයිතිය ඇත. ඉහත සඳහන් කළ ව්‍යවස්ථාමය බාධක 05 ඉවත් කළ විට පරමාධිපත්‍ය බලය බෙදීයන ආකාරයට එනම් පළාත සහ මධ්‍යම රජය අතර නිශ්චිතව බෙදීයන බලතල ලබාදුන් විට එම නඩු තීන්දුව මඟින් විග්‍රහ කෙරෙන පුර්ව කොන්දේසිය සම්පූර්ණ වේ.
ඒ අනුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත්ව හෝ නොදැනුවත්ව දායකත්වය දක්වන ක්‍රියාවලියේ භයානකකම පැහැදිළි වේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉහත සඳහන් කළ ආකාරයට ජාතිවාදී බලවේගවල බළල් අතක් නොවන ලෙස ඔහුට අවවාද කිරීමේ වැදගත්කමද ඒ මඟින් පැහැදිළි වේ. අන්තවාදී කුඩා කල්ලි කණ්ඩායම් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණ ඇතැයි කියන ජාතිවාදී බලවේග යටත් කර ගන්නා ආකාරය සහ එම බලවේග විසින් අවසානයේදී ඡන්ද පොදියක් පෙන්වා රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ යටත් කිරීමේ ක්‍රියාවලිය මහින්ද රාජපක්ෂ මහතා විසින් තම මාධ්‍ය නිවේදනය මඟින් ඉතා විචිත්‍රවත් ලෙස පැහැදිළි කොට තිබුණි. එහෙත් එම ප්‍රකාශයෙන් පසුවද සජිත් ප්‍රේමදාස මහතා විසින් තමා පළාත්සභා සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටින බවට නැවත වටයකින් තම ස්ථාවරය තහවුරු කරනු ලැබීය. ඔහුගේ දේශපාලන ස්ථාවරය ඔහු විසින් ඊට පෙර ඉතා ප්‍රභල සහ බරපතල ලෙස තම මැතිවරණ ප්‍රකාශණය මඟින්ද පැහැදිළි කොට තිබුණි.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශණය මඟින් ඉහත සඳහන් කළ ආකාරයට 13 ට එරෙහිව පවතින බාධක ඉවත් කිරීමට අමතරව ව්‍යවස්ථා අධිකරණයක් මඟින් 13 වැනි සංශෝධනය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවට පමණක් නොව ව්‍යවස්ථාවේ ඒකීය වගන්තිය පවා වෙනස් කළ යුතු බවට අවධාරණය කොට ඇත. ඒ අනුව පැහැදිළි වන්නේ ඔහු තම පියාගේ අඩිපාරේ යමින් පටු දේශපාලන වාසි තකා බෙදුම්වාදී ජාතිවාදී බලවේග වලට කප්පම් ලබාදීමට කිසිඳු පැකිලීමකින් තොරව ඉදිරිපත්වන බවය. සමහරවිට ඔහු කෙටිකාලීන දේශපාලන වාසි දෙස පමණක් බලන බැවින් දිර්ඝ කාලීන අනර්ථය නොදකිවා විය හැක. ඒ නිසා ඔහු නොදැනුවත්ව එම භයානක ක්‍රීඩාවේ නියලී සිටින බවට ද තර්කයක් මතු කළ හැක. ඔහු තම පියා වන හිටපු අගමැති ආර්. ප්‍රේමදාස මහතා විසින් තමාගේ ජනාධිපති සිහිනය සැබෑ කර ගැනීම සඳහා යෝජනා කළ ව්‍යවස්ථා සංශෝධන ත්‍රිත්වයකින් ජාතිවාදී බෙදුම්වාදී බලවේග සතුටු කළ ආකාරය සමහරවිට නොදන්නවා විය හැක.
ආර්. ප්‍රේමදාස අගමැතිතුමා 1988 දී ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරාගන්නා බව සහතික වූ පසුව ඔහුගේ මැදිහත් වීම සහ ජාතිවාදී බෙදුම්වාදී පක්ෂවල උවමනාව මත ඉදිරිපත් කළ 14, 15, 16 යන ව්‍යවස්ථා සංශෝධන ත්‍රිත්වය මඟින් සිදුකළ වෙනස්කම් වලින් එම බලවේග බරපතල ලෙස ශක්තිමත් විය. ඒ ආකාරයට 14 වැනි සංශෝධනය මඟින් මනාප අනුව තේරීපත් වන මන්ත්‍රීවරයා පත් කිරීමේ බලය පක්ෂ ලේකම්වරුන්ට පවරනු ලැබීය. ඊට අමතරව 15 වැනි සංශෝධනය මඟින් පක්ෂයක් විසින් ජයග්‍රහණය සඳහා ලබාගත යුතු අවම ඡන්ද ප්‍රතිශතය 12.5% සිට 5% දක්වා අඩු කරනු ලැබිය. එම සංශෝධන දෙක මඟින් මුස්ලිම් කොන්ග්‍රසය සතුටු කිරීමට ඔහු සමත් විය. ඊට අමතරව 16 වැනි සංශෝධනය මඟින් දෙමළ භාෂාව සමස්ථ ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය භාෂාවක් බවට පත් කළද උතුරු සහ නැගෙනහිර පළාත්වල සිංහල භාෂාව රාජ්‍ය භාෂාවක් නොවන බවට තාක්ෂණික අවුලක් හදනු ලැබීය. ඒ නිසා දැන් ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක රාජ්‍ය ලේකනයක් දෙමළ පුරවැසියෙකුට දෙමළ භාෂාවෙන් ලබාගත හැකි වුවත් උතුරේ සිංහල පුරවැසියෙකුට එසේ රාජ්‍ය ලේකනයක සිංහල භාෂාවෙන් ලබා ගැනීමට නිතියෙන් ඉඩක් නැත.
කෙසේ වෙතත් 1987 දී බෙදුම්වාදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේදී ප්‍රේමදාස මහතා ඊට විරුද්ධ විය. ඊට හේතුව 13 වැනි සංශෝධනයට එරෙහිව ප්‍රභල ජනමතයක් පැන නැගීම විය හැක. ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාද අභ්‍යන්තරකාරිකව ඊට විරුද්ධ වූ බව රහසක් නොවේ. ඔහු මධ්‍යගත ශක්තිමත් ධනපති රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටි පාලකයෙකු මිස පළාත්වලට බලය බෙදීමට එකඟ වූ අයෙකු නොවේ. ඉන්දියාවේ දැඩි බලපෑම මත ඔහු ඊට යටත් වුවද රටේ පැන නැගුණු විරෝධය යොදා ගනිමින් ඊට එරෙහිව ව්‍යවස්ථා බාධක ප්‍රමාණයක් පනවනු ලැබීය. එසේ නොවුනානම් යුදමය කේවල් කිරීමේ ක්‍රියාවලිය තුලදීම ව්‍යවස්ථානුකූලව රට බෙදීමට ඉඩක් විවෘතව තිබුණි. අවසානයේදී ආර්. ප්‍රේමදාස මහතා බලයට පත් වූ පසුව එක් පැත්තකින් බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට ආයුධ ලබාදෙන අතර බෙදුම්වාදයට එරෙහිවූවන්ට එරෙහිව මහා භීෂණයක් මුදාහරිනු ලැබීය.
රණසිංහ ප්‍රේමදාස මහතාට තමා විසින් සිදු කළ වරදට තම ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. සජිත් ප්‍රේමදාස මහතා බලයට පත් නොවූ බැවින් ඔහුට එවැනි ඉරණමක් අත්විමට ඉඩක් නැතත් ඔහුගේ වැරදි ප්‍රතිපත්ති නිසා ජනාධිපතිවරණයේදී පරාජයෙන් වන්දි ගෙවීමට සිදු විය. ඔහු විසින් බෙදුම්වාදී, ජාතිවාදී සහ ආගම්වාදී බලවේග සමඟ ඇතිකරගත් සන්ධානය තුළින් ඇතිවිය හැකි අනතුර රටේ බහුතර ජනයා විසින් අවබෝධ කර ගැනීම නිසා එහුට එම පරාජය අත්විය. එහෙත් ඔහු තම පරාජයෙන් පාඩම් ඉගෙන ගන්නා බවක් පෙනෙන්නට නැත. නැවත වටයකින් මැතිවරණයක් අභියස සිට ජාතිවාදී, ආගම්වාදී බලවේග සතුටු කිරීමට යාම නිසා ඔහුට නැවත වටයකින් බරපතල වන්දියක් ගෙවීමට සිදුවිය හැක. ඒ පිළිබඳ රටේ බහුතර ජනතාව කණගාටු නොවනු ඇත. නමුත් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මැතිවරණයෙන් ලබාගන්නා ප්‍රතිඵල අනුව බෙදුම්වාදීන්ගේ උපාය මාර්ගික සැලසුම් වෙනස් වන්නේ නැත.
බෙදුම්වාදී බලවේග වලට තම මාර්ග සිතියම ඔස්සේ ජයග්‍රහණය සඳහා අවසන් සැතපුම් කීපය පසුකළ හැක්කේ ඉහත සඳහන් කළ ආකාරයට කෙසේ හෝ බලයට පත් වන ආණ්ඩුවක් කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා පොළඹවා ගැනීම මඟිනි. දැන් 19 වැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීමේ උවමනාව යොදා ගනිමින් ඒ සමඟම 13 වැනි සංශෝධනයේ බාධක ඉවත් කරන ව්‍යවස්ථා සංශෝධන කිහිපය කූඨ ලෙස ඉදිරිපත් කිරීමේ ඉඩක් ඇත. ඔවුන්ට ඒකීය වචනය හෝ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය හෝ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ සැබෑ උවමනාවක් නැත. එම ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ එසේම තිබියදී 13 වැනි සංශෝධනයේ බාධක ඉවත් කර ගැනීම ඔවුන්ගේ මූලික අරමුණ වූවත් මහජනයා නොමඟ යැවීම සඳහා එවැනි බරපතල සංශෝධන අවශ්‍ය බවට මතවාදයක් ඔවුන් විසින් ගොඩනගන බව පෙනේ. එය සරල වෘත්තීය සමිති න්‍යායක් බව පිළිගත හැක. එනම් විශාල දෙයක් ඉල්ලා අත්‍යවශ්‍ය කුඩා දේට එකඟවීමයි. එවිට ඊට විරුද්ධ වන පාර්ශවයට ද ජයග්‍රහණයක් ලැබූ බවට ව්‍යාජ සතුටක් ලැබිය හැක.
ඒ අනුව යම් දේශපාලන පක්ෂ බෙදුම්වාදින්ගේ ව්‍යාජ සටන් පාඨ වල එල්ලීම ඉතා බරපතල උපාය මාර්ගික වරදක් වනු ඇත. එනම් ඒකීය වචනය වෙනස් කිරීමට යෝජනා කිරීම බරපතල වරදක් ලෙස හුවා දැක්වූ විට එම ඉල්ලීම අතහැරීම මඟින් මහජනයා තුළ ව්‍යාජ සුභවාදී මතයක් ගොඩ නැගිය හැක. ඒ තුළ බෙදුම්වාදීන්ට අත්‍යවශ්‍ය සුළු සංශෝධන ප්‍රමාණය සම්මත කර ගැනීමේ ඉඩ ලැබේ. ඒවා කෙටුම්පතට ඇතුල් කිරීමට හෝ අවශ්‍ය වන්නේ නැත. එදා 19 වැනි සංශෝධනයේදී සිදු කළ ආකාරයට එම සංශෝධන කිහිපය ඉතා සූක්ෂමව පාර්ලිමේන්තු විවාදයේ කාරක සභා අවස්ථාවේදී ඇතුල් කළ හැක. නව ආණ්ඩුවට විශේෂ බහුතර බලය ලබා ගැනීමට සිදු වන්නේ බෙදුම්වාදී ජාතිවාදී බලවේග වල අනුකම්පාවට යටත්ව නම් එම අනතුර ඉතා බරපතල වනු ඇත.
වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...