පුරවැසි කොලම

අගෝස්තු 5 මහ මැතිවරණයේ සැබෑ සටන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය අතරය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය තවමත් ලබා නොතිබුණත් මහ මැතිවරණ ව්‍යාපාරයට අගමැති මහින්ද රාජපක්ෂ සමග නායකත්වය දෙන ගෝඨාභය රාජපක්ෂ මුහුණ දෙන අභියෝග අතර තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීම අතිදුෂ්කර දේශපාලන පිම්මකි. එම පෙරමුණේ ප‍්‍රධාන අරමුණ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලය හරහා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ජනාධිපතිවරයාට පූර්ණ විධායක බලය හිමි ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමයි.

භූමියේ තත්ත්වය අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට පැහැදිලි ජයග‍්‍රහණයක් ලබා ගැනීමට අවස්ථාව ඇත. නමුත් තුනෙන් දෙකක් ලබා ගැනීමට අවස්ථාවක් නැත. කොවිඞ් වසංගතය නොවන්නට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ‍්‍රල් 25 පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය නිසැකයෙන්ම ජයග‍්‍රහණය කර හමාරය. නමුත් තුනෙන් දෙකක බලය හිමිකර ගැනීම එදත් නොහැකිය. තුනෙන් දෙකක බලය සිහිනයක් පමණක් බව තව දින කීපයකින් ඔප්පු වනු ඇත. එවැනි තත්ත්වයක් තුළ ජයග‍්‍රාහී පක්ෂය සහ ප‍්‍රධාන විපක්ෂය මුහුණ දෙන අභියෝග මොනවාද? පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂවල වගකීම් මොනවාද?

අනාගත පාර්ලිමේන්තුවේ කාර්යභාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙර අවසන්වරට තුනෙන් දෙකක බලයෙන් 2015 දී සම්මත කර ගත්තේ 19 වැනි සංශෝධනය බව මතක් කර ගත යුතුය. එදා එම පනත සම්මත කර ගැනීමට නායකත්වය දුන් මෛත‍්‍රිපාල සිරිසේන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකි. ‘අති නවීන පොලොන්නරුවක් බිහි කරන්නට දස අවුරුදු සැලැස්මක් ඇති මිනිසා’ ලෙස තමන්ගේ මහමැතිවරණය ව්‍යාපාරය මෙහෙය වූ හිටපු ජනාධිපතිවරයා ශ‍්‍රීලනිප නායකයා ලෙස පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත මුහුණ දෙන අභියෝග මොනවාද?

මහින්ද රාජපක්ෂ පරාජය වූ 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් පසුව පත්වූ සුළුතර එජාප ආණ්ඩුවට (රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් ක‍්‍රියාත්මක එම පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත‍්‍රීවරු 50 ක් වත් සිටියේ නැත.) 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට අත එසවූ මන්ත‍්‍රීවරු (කොළඹ පොහොට්ටු අපේක්ෂක රියර් අද්මිරාල් සරත් වීරසේකර හැර) එම සංශෝධනය අහෝසි කිරීමට ජන වරමක් පැතීම ඇත්ත වශයෙන්ම දෛවයේ සරදමකි. එම සංශෝධනයට එරෙහිව තම ඡන්දය පාවිච්චි කළ වීරසේකර මන්ත‍්‍රීවරයකුගේ සැබෑ වගකීම පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය කර්තව්‍යක් බව සනාථ කළේය.

මෛත‍්‍රිපාල සිරිසේන මහින්ද රාජපක්ෂ පරාජය කර 2015 දී පිහිටු වූ යහපාලන රජය ශ‍්‍රී ලංකාව උඩු යටිකුරු කළේය. නමුත් වර්තමාන අරාජික තත්ත්වය ඇති කිරීමට ජූනියස් රිචඞ් ජයවර්ධන ජනාධිපතිවරයා 1978 ස්ථාපිත කළ ව්‍යවස්ථාව හේතු වූ බව අප තේරුම් ගත යුතුය. අඩු වැඩි වශයෙන් ඉන් පසු ජනාධිපති ධුර හෙබවූ සියලූම නායකයින් මෙම තත්ත්වයට වගකිව යුතුය. වර්තමාන ජනාධිපතිවරයාට මෙම තක්සේරුව අදාළ නැත. මෙම සතියේ පත්වන පාර්ලිමේන්තුවේ පස් අවුරුදු ක‍්‍රියාකලාපය මත එතුමා සම්බන්ධයෙන් ජනතාව තීරණය කරනු ඇත.

සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රියාදාමය මෙන්ම මැතිවරණ ක‍්‍රියාවලිය පූර්ණ විමසුමකට ලක් කිරීමට අවශ්‍යය. පත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ අධීක්ෂණය යටතේ අවශ්‍ය වෙනස්කම් කළ හැකිය. මැතිවරණ ක‍්‍රියාවලිය දූෂිතය. එජාපයෙන් කොළඹට තරග කරන ඕෂල හේරත් මැතිවරණ කොමිසම සමග මෑතකදී ඇතිකර ගත් ඉහළම උසාවිය දක්වා ගිය ගැටුම සියලූම දේශපාලන පක්ෂවල අවධානයට යොමුවිය යුතුය. එජාපයෙන් කැඞීගිය කණ්ඩායම ‘සමගි ජන බලවේගය’ ලෙස මැතිවරණ කොමිසමේ පිළිගැනීම 2020 පෙබරවාරි 10 දින ලබා ගැනීම හේරත් අභියෝගයට ලක්කළේය. ඉහළම උසාවියේ තීරණය තමන්ට එරෙහිව ලබා දුන් අවස්ථාවේ එජාප අපේක්ෂකයා අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.

ජනාධිපති මාධ්‍ය අංශයේ දෙවැනියා සහ නව මාධ්‍ය අංශයේ ප‍්‍රධානියා ලෙස (2015 මාර්තු සිට ඔක්තෝබර් දක්වා) සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් (2016 පෙබරවාරි සිට 2017 ඔක්තෝබර් දක්වා) කටයුතු කළ හේරත් පවසන්නේ ‘අපේ ජාතික පෙරමුණ’ ‘සමගි ජන බලවේගය’ ලෙස නම සහ තනතුරු වෙනස් කළ ආකාරය නීත්‍යානුකුල නොවන බවයි. නමුත් ජුලි 22 මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සෙසු සාමාජිකයින් දෙදෙනා සමගි ජන බලවේගය පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර (ජාතික ලැයිස්තුව) දන්වා සිටියේ සමස්ත ක‍්‍රියාවලිය නීත්‍යානුකුලව සිදුකර ඇති බවයි.

මෙහිදී ඉතාමත් වැදගත් කාරණය වන්නේ මැතිවරණ කොමිසම නිකුත් කරන ලද මෙම ලිපිය ජුලි 17 දින සියලූම දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවකදී එම කොමිසම ගත් ස්ථාවරයක් ජනතාව දැනුවත් කිරීමට කළ උත්සාහයකි.

මෙහිදී ඉතාමත් වැදගත් කාරණය වන්නේ මැතිවරණ කොමිසම නිකුත් කරන ලද මෙම ලිපිය ජුලි 17 දින සියලූම දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් මැතිවරණ කොමිසමේ පැවති සාකච්ජාවකදී එම කොමිසම ගත් ස්ථාවරයක් ජනතාව දැනුවත් කිරීමට කළ උත්සාහයකි.

නව පක්ෂයක් ලියාපදිංචි කිරීමට අවස්ථාවක් නැති අවස්ථාවක ලියාපදිංචි කර ඇති පක්ෂයක නම වෙනස් කර නව නායකත්වයක් පත් කිරීමට ඉඩ සැලසීම විමසා බැලිය යුතුය. පවතින තත්ත්වය තුළ ‘සමගි ජන බලවේගයට’ මෙවර මැතිවරණයේදී කිසිදු අවහිරතාවයක් සිදු නොවිය යුතුය. නමුත් නව පාර්ලිමේන්තුව පත්වීමෙන් පසුව සියලූම මැතිසබය නියෝජනය කරන පක්ෂවල එකඟත්වයෙන් පක්ෂ ලියාපදිංචි කිරීම මෙතුවක් කල් කළ අසික්කිත ක‍්‍රමවේදය වෙනස් කළ යුතුය. ‘අපේ ජාතික පෙරමුණ’ සභාපති කලක් එවකට ජනරාල් සරත් ෆොන්සේකා ළඟින්ම සිටි සේනක ද සිල්වාය. එම පක්ෂයේ ලේකම් ඩයනා ගමගේය. ‘අපේ ජාතික පෙරමුණ’ සහ ‘සමගි ජන බලවේගය’ අතර ගිවිසුම අනුව ඩයනා ගමගේ නව පක්ෂයේ ජාතික ලැයිස්තුවේය.

නව පක්ෂයක් ලියාපදිංචි කිරීමට නිසියාකාර ක‍්‍රමවේදයක් තිබෙනවා නම් අනවශ්‍ය ප‍්‍රශ්න ඇති වන්නේ නැත. මැතිවරණ කොමසාරිස්ට හෝ මැතිවරණ කොමිසමට සුදුසු ක‍්‍රමවේදයක් සකස් කිරීමේ වුවමනාවක් නැත. එසේ තිබෙනවා නම්, සැබෑ දේශපාලන අවශ්‍යතාවයක් ඇති කණ්ඩායමකට ලියාපදිංචි පක්ෂ පස්සේ යෑමට සිදුවන්නේ නැත. ‘අපේ ජාතික පෙරමුණ’ සහ ‘සමගි ජන බලවේගය’ අතර ‘ගනුදෙනුව’ හුදෙකලා සිදුවීමක් නොවේ.

මැතිවරණ කොමිසම ජුලි 22 දින රංජිත් මද්දුම බණ්ඩාරට යැවූ ලිපියේ මෙලෙස සඳහන් විය: ”මෙම පක්ෂයේ (අපේ ජාතික පෙරමුණ) සහ තවත් පක්ෂවල නම්, ලිපින, තනතුරු ආදිය වෙනස්වීම පිළිබඳව කොමිසන් සභා පත‍්‍රිකාවක් 2020.02.18 දින කොමිසන් සභාවේ නීති අංශය ඉදිරිපත් කර තිබූ අතර එකී නිර්දේශ/නිරීක්ෂණ 2020.02.19/20 කොමිෂන් සභා රැස්වීමකදී අනුමත කර තිබේ.”

මෙම තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගය ප‍්‍රකාශකයකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මෙම ලියුම්කරු සමග පැවසුවේ පක්ෂවල නම් සහ තනතුරු දරන පුද්ගලයින් මාරු කිරීම කාලයක් තිස්සේ සිදුවන ක‍්‍රියාවලියක් බවත් එම ක‍්‍රියාදාමයේ කිසිදු වරදක් නොමැති බවත්ය.

කලක් සිවිල් ක‍්‍රියාකාරිකයකු ලෙස මැතිවරණ නිරීක්ෂණය කරන කැෆේ සංවිධානයේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂක වූ තෙන්නකෝන් පෙන්නා දුන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ මෙන්ම මෛත‍්‍රිපාල සිරිසේනද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ලියාපදිංචි කර තිබූ පක්ෂ නම් සහ තනතුරු වෙනස් කිරීමෙන් බවයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග රාජගිරියේ දේවස්ථානයක එජාප නායකත්වයේ අනුමැතිය ඇතිව ගැටලූව නිරාකරණය කරගැනීමට හමුවීම අදහාගත නොහැක. කොමිසමේ අනෙකුත් සාමාජිකයින් මෙම හමුවීම පිළිබඳව දැනුවත්වී සිටියාද? හේරත් සමග කටයුතු කරන කවුරුත් ප‍්‍රවේසම් විය යුතුය. රාජගිරියේ රහස් කතාවේ හඬපට ඔහු අන්තර්ජාලයට මුදාහැර ඇත. එහි හේරත්ගේ, දේශප‍්‍රියගේ සහ කොළඹ එජාප ලැයිස්තුවේ නායක රවී කරුණානායකගේ දෙබස් අඩංගුය. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මෙන්ම හේරත් ද රහස් කතා හඬපට ගබඩාවක අයිතිකරුවකු බව පැහැදිලිය. හේරත්ව එජාප ලැයිස්තුවට ගැනීමට යෝජනා කළ පුද්ගලයා හෝ කණ්ඩායම අනිවාර්යෙන්ම අර්බුදයකය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිබඳව විමසා බැලිය යුත්තේ දැනට ක‍්‍රියාත්මක ක‍්‍රමය සැලකිල්ලට ගනිමිනි. මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයේදී ලැබූ පරාජයත් සමග ශ‍්‍රීලනිපයෙන් වෙන්වූ කණ්ඩායම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්තේය. නිසි ක‍්‍රමවේදයක් නොමැතිකමින් සමස්ත ක‍්‍රියාවලියම දූෂිත වී ඇත. ‘රාජාලියා’ ලාංඡනය හිමි පක්ෂයේ ලේකම් ආරියවංශ දිසානායක 2019 ජුලි මාසයේදී මෙම ලියුම්කරු කළ විමසීමකදී පැවසුවේ තම පක්ෂය රුපියල් මිලියන 20-30 අතර මුදලකට ‘විකුණා’ දැමීමට අවස්ථාව තිබූ බවයි. පක්ෂ ‘විකුණා’ දැමීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති බව දිසානායක පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය වෙනස් කිරීමට කිසිදු පක්ෂයකට, මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්වලට හෝ මැතිවරණ කොමසාරිස්/මැතිවරණ කොමිසමට නැත.

ශ‍්‍රී ලංකාවේ ලියාපදිංචි පක්ෂ 70 පමණ තිබේ. ‘සමගි ජන බලවේග’ ලෙස නම් කළ ‘අපේ ජාතික පෙරමුණ’ කිසිදු අවස්ථාවක පළාත් පාලන, ප‍්‍රාදේශීය සභා හෝ පාර්ලිමේන්තුව නියෝජනය කර නැත. එම පක්ෂයේ සභාපති සේනක ද සිල්වා හෝ එහි ලේකම් ඩයනා ගමගේ පළාත් පාලන, ප‍්‍රාදේශීය සභා හෝ පාර්ලිමේන්තුව කිසිදා නියෝජනය කර නැත. නමුත් දෙපාර්ශ්වය අතර ගිවිසුම් ගතවීම තුළ ඩයනා ගමගේට ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයක් ලබා ගැනීමේ අවස්ථාව ඇත. ‘අපේ ජාතික පෙරමුණ’ මෙන්ම ලියාපදිංචිය ලබා ඇති බොහෝ පක්ෂ කිසිදු තලයක ජනතා නියෝජනයක් කර නැත. නමුත් හදිසි දේශපාලන සුළි කුණාටු ඇතිවන අවස්ථාවලදී, පක්ෂයේ නම වෙනස් කිරීමට හෝ පක්ෂය ඒ ආකාරයෙන්ම වෙනත් පක්ෂයකට හෝ කණ්ඩායමක අණසකට පවරා තම අවශ්‍යතාවන් ඉටු කර ගැනීමේ අවස්ථාව ඇත.

මෙම තත්ත්වය පැහැදිලි කිරීමට දිය හැකි සුදුසුම උදාහරණය එජාප ප‍්‍රමුඛ දේශපාලන බලවේගය ජනරාල් සරත් ෆෝන්සේකා 2010 ජනාධිපතිවරණයේදී ‘හංසයා’ ලාංඡනය දරන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමයි. එම පක්ෂයෙන් අවම වශයෙන් කිසිදා පළාත් පාලන නියෝජිතයකු පත්වී නැත. නමුත් ජනාධිපතිවරණ සටනට ත‍්‍රස්තවාදය පරාජය කළ සෙන්පතියා ඉදිරිපත් කළේ ‘හංසයා‘ ලාංඡනයෙනි. ඇත්ත වශයෙන්ම ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක අපූරු ක‍්‍රමයකි. පාසල් මලල ක‍්‍රීඩා ඉසව්වකට සහභාගි වී නොමැති දරුවකු ආසියානු ක‍්‍රීඩා උළෙලට ශ‍්‍රී ලංකාව නියෝජනය කරනවා වැනිය. ‘හංසයා’ 2010 ජනාධිපතිවරණයේදී ඡන්ද මිලියන 1.8 කින් පරාජය විය. ප‍්‍රශ්නයක් නැත. ඊට පසුව පැවති 2015 ජනාධිපතිවරණයේදී මෛත‍්‍රිපාල සිරිසේන ‘හංසයා’ ලාංඡනය හරහා ජනාධිපතිවරණය ජය ගත්තේය. නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ සභාපති ශලීල මුණසිංහ ලිට්රෝ ගෑස් ව්‍යාපාරයේ සභාපති ලෙස පත්වීම ලැබිය. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය ලෙස ශර්මිලා පෙරේරාට පත්වීම ලැබිණි.

සිංගප්පූරු ජාතිකයකු ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස පත්කළ යහපාලන රජයට ‘හංසයා’ ලාංඡනය හිමි පක්ෂයේ නායකත්වයට එලෙස සැලකීම සාමාන්‍ය දෙයකි.

තායිවානයේ බැංකුවකින් රුපියල් කෝටි ගණනාවක් වටිනා විදේශීය මුදල් අයථා ලෙස සොරකම් කර ගෙන මුණසිංහ ලිට්රෝ තනතුර අහිමි කර ගත්තේය. ඒ 2017 වසරේදීය. ඒ වනවිට මහ බැංකුව මංකොල්ල කා හමාරය.

බැලූ බැලූ අත ශ‍්‍රී ලංකා දේශපාලනයේ පෙනෙන්නේ දූෂණය, වංචාව සහ අක‍්‍රමිකතා බව පැවසීමට සිදුවීම අවාසනාවකි. නාම යෝජනා ලබා ගැනීමේ කාරියේ සිට සමස්ත ක‍්‍රියාවලියම අවලස්සනය. සුභ මොහොතින් නාමයෝජනා අත්සන් කර සර්ව ආගමික වතාවත්වලින් වැඩ ආරම්භ කරන අප සියලූම දේශපාලන පක්ෂ වංචාව, දූෂණය සහ අක‍්‍රමිකතා හරහා ආර්ථිකය දුර්වල කර ඇත. බොරුව රජ කරවීමට රුසියෝය. මෙවර මැතිවරණ ව්‍යාපාරය නැවත නැවතත් ජනතාවට මතක් කර දෙන්නේ කිසිදු පක්ෂයක් අවංක නොවන බවය. ජනතාව මුලා කිරීම හරහා තම පක්ෂයේ හෝ කණ්ඩායමේ අවශ්‍යතා ඉටු කර ගැනීම එකම අරමුණයි. බටහිර, චීන සහ ඉන්දීය බලවේග කොළොඹ පිනුම් ගසන්නේ අප දේශපාලන ක‍්‍රමය තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරවීමට ඔවුන්ට හැකි බව ප‍්‍රත්‍යක්ෂ නිසාය.

‘හංසයා’ නැවතත් 2019 ජනාධිපතිවරණයේදී කරළියට පැමිණෙන්නේ සජිත් පේ‍්‍රමදාස ඉදිරිපත් වන පක්ෂය ලෙසය. අවම ලෙස පළාත් පාලන නියෝජනයක් පවා නොතිබුණු පක්ෂයක් ජනාධිපතිවරණ තුනකට ප‍්‍රධාන අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමම පුදුමයක් නොවන්නේද? මෙවැනි විකාර තත්ත්වයක් ඇති පාර්ලිමේන්තු ක‍්‍රමය ක‍්‍රියාත්මක රටක් තිබේද? ලියාපදිංචි පක්ෂ අවභාවිතාව සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගන්නා බව නොපෙනේ. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ඇති අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සාරංග අලහප්පෙරුම සමග මෑතකදී කළ සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ නව පක්ෂයක් ලියාපදිංචි කිරීමට අවස්ථාවක් නොමැති වීම හේතුවෙන් තම කණ්ඩායමට ‘අපේ ජන බල පක්ෂය’ හරහා අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට සිදු වූ බවයි. පක්ෂයක් ලියාපදිංචි කිරීමට නිසි ක‍්‍රමවේදයක් සකස් කළ යුතුය. මැතිවරණ කොමිසම මෙම අවශ්‍යතාවය පිළිබඳව නිසි ක‍්‍රියාමාර්ගයක් ගත යුතුය.

‘අපේ ජන බල පක්ෂය’ කොළඹ, කුරුණෑගල, මොනරාගල සහ කළුතරට ඉදිරිපත් කළ නාමයෝජනා ප‍්‍රතික්ෂේප විය. එම පක්ෂය අධිකරණ ක‍්‍රියාමාර්ගයක් හරහා අදාළ නාම යෝජනා ප‍්‍රතික්ෂේප වීම වැළැක්වීමට ගත උත්සාහය අසාර්ථක විය. කුරුණෑගල නාම යෝජනා ප‍්‍රතික්ෂේප වීම හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අගෝස්තු 5 මහ මැතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව අහිමි විය. කොළඹ නාම යෝජනා ප‍්‍රතික්ෂේප වීම හේතුවෙන් 2004 අපේ‍්‍රල් පාර්ලිමේන්තු මහ මැතිවරණයෙදී ජාතික හෙළ උරුමය හරහා අසුනක් හිමිකර ගත් පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන්ට තරග කිරීමේ අවස්ථාව අහිමි විය. වෛද්‍ය සාරංග අලහප්පෙරුම තමන් සේවය කළ අංගොඩ මානසික රෝහලෙන් ඉවත් වූයේ පාර්ලිමේන්තු අසුනක් සඳහා තරග කිරීමටය. අලහප්පෙරුම පැවසුවේ තමන්ගේම පක්ෂයක් ලියාපදිංචි කිරීමට අවස්ථාව නොමැතිවීම සහ, ‘අපේ ජන බල පක්ෂය’ හරහා කොළඹට, කුරුණෑගලට, කළුතරට සහ මොනරාගලට ඉදිරිපත් කළ නාමයෝජනා එම වගකීම දැරූ පුද්ගලයා අතින් සිදු වූ ‘අතපසුවීමක්’ හේතුවෙන් ප‍්‍රතික්ෂේප වීම පිළිබඳව බලවත් කනගාටුවක් ඇති බවයි.

‘අපේ ජන බල පක්ෂය’ කළ අතපසුවීමක් හේතුවෙන් නාම යෝජනා ප‍්‍රතික්ෂේප වීම සහ එජාප කොළඹ අපේක්ෂක හේරත් ‘සමගි ජන බලවේගය’ ලියාපදිංචි කළ ආකාරය පිළිබඳව මතු කළ බරපතළ ගැටලූව නැවත නැවතත් අපට අවධාරණය කරන්නේ පවතින ක‍්‍රමවේදයේ තිබෙන දුර්වලතාය.

නීතිය අකුරට ක‍්‍රියාත්මක වන රටක අතපසු වීමක් හේතුවෙන් නාම යෝජනා ප‍්‍රතික්ෂේප වීම තේරුම් ගත හැකිය. විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ එම ප‍්‍රතික්ෂේපිත නාම යෝජනා සියල්ලේම එම අතපසුවිම සිදු වී තිබීමයි. කෙසේ වෙතත් මහබැංකුව දෙවරක් කොල්ල කෑ (2015, 2016), ත‍්‍රස්තවාදය පරාජය කළ ආරක්ෂක හමුදා බටහිර බලවතුන්ට ජිනීවා ලියවිල්ල හරහා පාවා දුන් (2015), ජනතාව ප‍්‍රතික්ෂේප කළ අපේක්ෂකයින් ජාතික ලැයිස්තුව හරහා හොර පාරෙන් පාර්ලිමේන්තුවට පත්කරන, නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට වගකියන නිලධාරීන් හෙරොයින් පාතාලයට විකුණන, ජාතික ආර්ථිකයට උහුලා ගැනීමට නොහැකි වරප‍්‍රසාද පාර්ලිමේන්තුවට පත්වන පුද්ගලයන්ට ලබා දෙන (නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසන්නේ පාර්ලිමේන්තුව නිකුත් කරන විශේෂ බලපත‍්‍රයක් හරහා ‘සැප’ වාහනයක් ගෙන්වා විකුණා දැමීමට මන්ත‍්‍රීවරුන්ට අවස්ථාව දීමෙන් 2015 පත්වූ මහජන නියෝජිතයින් රුපියල් බිලියන 7 රජයට අහිමි කළ බවයි.) උසාවියෙන් වරදකරු ලෙස තීරණය කරන පුද්ගලයින්ට ජනාධිපති සමාව දෙන (ජනාධිපති සිරිසේන පූජ්‍ය ඥානසාර හිමියන්ට 2019 මැයි ජනාධිපති සමාව ලබා දුන්නේය. නීතියෙන් එම බලය ජනාධිපතිවරයාට හිමිය. තම 19 හැවිරිදි පෙම්වතිය 2005 ගෙල සිරකර මරා දැමීමට වරදකරු වූ ජූඞ් ශර්මන්ත ජයමහට ද එම ජනාධිපතිවරයා 2019 නොවැම්බර් ජනාධිපතිවරණයට සතියකට පෙර සමාව දුන්නේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, මිනීමැරීමේ චෝදනාවට වරදකරු වූ මිල්රෝයි ප‍්‍රනාන්දු හිටපු ඇමැතිවරයාගේ බිරිඳට ජනාධිපති සමාව දුන්නේය.) රටක තත්ත්වය අවාසනාවන්තය.

කුමාරතුංග ජනාධිපතිවරියගේ සමයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හේතුවෙන් මන්ත‍්‍රී ධුරය අහිමි වූ වෛද්‍ය රාජිත සේනාරත්න ජාතික ලැයිස්තුව හරහා නැවතත් පාර්ලිමේන්තුවට පත්කිරීමෙන් එජාප නායක වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුව හෑල්ලූ කළේය. මෙවර මහමැතිවරණයේ තාත්තයි පුතයි (චතුර) දෙදෙනාම සජිත් පේ‍්‍රමදාසගේ පිලේය.

යහපාලනය නායකත්වය ජනාධිපති සිරිසේන සහ අගමැති වික‍්‍රමසිංහය. එම දෙපලම එදා සිදුවීම්වලට වගකිව යුතුය. කෙසේ වෙතත් යහපාලනය යමපාලනය ලෙස හැඳින්වූ පොහොට්ටු කණ්ඩායම යහපාලනයේ කොටස්කරුවන් වූ ශ‍්‍රීලනිපය සමග මහමැතිවරණයට ගිවිසුම්ගත විය. ශ‍්‍රීලනිප නායක හිටපු ජනාධිපතිවරයා පොහොට්ටුවෙන් පොලොන්නරුවට තරග කරයි.

කරුණා අම්මාන් ශ‍්‍රීලනිපයේ ඉහළ තනතුරකට පත්කළ දේශපාලන ව්‍යුහයක් තුළ ඕනෑම එකක් විය හැකිය. ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට කරුණා අම්මාන් ආරක්ෂක හමුදාවට ප‍්‍රබල දායකත්වයක් ලබා දුන්නේය. නමුත් ඔහුව ජාතික ලැයිස්තුව අපයෝජනය කර පාර්ලිමේන්තුවට පත්කිරීම අනවශ්‍ය. එක්සත් ජනතා නිදහස් සන්ධානය හිටපු ත‍්‍රස්තවාදී නායකයාව 2008 ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු ලෙස පත්කර මාස කීපයකට පසුව ඇමති ධුරයක් දුනි. කරුණා මෑතකදී නැගෙනහිර පළාතේ මහමැතිවරණ

රැස්වීමකදී ප‍්‍රකාශ කළේ තමන් උතුරේ සටනකදී හමුදා සෙබළුන් 3,000 මරා දැමූ බවයි. කරුණා තීක්ෂණ ලෙස ගොඩබිම සටන් මෙහෙයවූ නායකයෙකි. ඔහුගේ නායකත්වය යටතේ හමුදාවට හානි සිදු විය. නමුත් කරුණාට මතක් කර දිය යුත්තේ ඔහු ප‍්‍රභාකරන් නන්දිකඩාල් හිදී 2009 මැයි 19 දින මරා දැමූ විට ගුවනින් ගොස් තම හිටපු නායකයාගේ මිනිය හඳුනා ගත් තැනැත්තා බවයි. එය මතකයේ තිබෙන ද්‍රවිඩ ජාතිකයකු කරුණාට තම ඡන්දය දෙන්නේ නැත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ තරගයටය. එහෙව් රටක දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව රටේ ව්‍යවස්ථාව සමග ගැලපෙනවාද කියා බැලීම හෝ සැසඳීම විහිළුවකි. කොවිඞ් වසංගතය ශ‍්‍රී ලංකාවට පහර දීමට පෙර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මෙම ලියුම්කරු සහාභාගි වූ මාධ්‍ය හමුවකදී පැවසුවේ තම කොමිසම පක්ෂ ව්‍යවස්ථා රටේ ව්‍යවස්ථාව සමග ගැලපෙනවාද කියා විමසා බලන බවයි. කරුණා තරග කරන්නේ වෙනම ම පක්ෂයකිනි. මැතිවරණ කොමිසමට කරුණා තරග කරන පක්ෂයේ ව්‍යවස්ථාව රටේ ව්‍යවස්ථාවට ගැලපෙනවා ද කියා විමසා බැලිය හැකිය.

ව්‍යවස්ථාව අමු අමුවේම කඩ කරන රටක සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අගෝස්තු මහමැතිවරණය පැවැත්වෙන බවට පැවසීම මුසාවකි. ව්‍යවස්ථාව අනුගමනය කරන රටක් සුරක්ෂිතය.

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More