ඡන්ද දායකයන් එක්කෝටි හැටදෙලක්ෂ හැටතුන් දහස් අටසිය අසූපහක් (16,263,885) අද දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන දොළොස්දහස් නවසිය අසූ පහකදී (12, 985) සිය ඡන්දය භාවිත කිරීමට නියමිතය. ඒ ඉදිරි වසර පහක කාලයක් සඳහා රටේ පාලනය භාරදීම සඳහා තමන්ගේ නියෝජිතයන් තෝරා ගැනීම සඳහාය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියන ආකාරයට මෙරට ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් සියයට අසූවක් පමණ අද ඡන්දය භාවිත කරනු ඇත. කොරෝනා වසංගත තත්ත්වය හේතුකොටගෙන මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම අඩුවෙනු ඇතැයි සැකයක් තිබුණත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රකාශය ඒ සැකය තුනී කරන්නට හේතු වේ.
ඡන්දය ප්‍රකාශ කරන්නට යෑම ජීවිතය හා මරණය අතර සටනක්ව තිබූ කාලයක්ද අපේ මැතිවරණ ඉතිහාසයේ තිබේ. ඡන්ද පොළ නිලධාරින් හා ඡන්ද දායකයන්ද පලවා හැර ඡන්ද පෙට්ටි පිරවූ, ඡන්ද පෙට්ටි පැහැරගෙන ගිය කාලයක් ද තිබිණ. මේ නිසා ඒ යුගයේ මැතිවරණයකදී ආරක්ෂාවට ගන්නා ක්‍රියාමාර්ග ප්‍රධාන මාතෘකාවක් විය. දැන් මැතිවරණවල ආරක්ෂාවට පොලිසිය හා හමුදාව යොදවන්නේ සිරිතක් ලෙසය. එහෙත් මෙවර මැතිවරණයේදී පොලිස් හා හමුදා ආරක්ෂාවට අමතරව සෞඛ්‍ය ආරක්ෂාවටද නිලධාරින් යෙදවීමට සිදුව තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව අද පැවැත්වෙන මැතිවරණයේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය සේවකයන් අටදහසක් යොදවා ඇත. මේ නිසා මැතිවරණ කොමිසම පවසන්නේ ඡන්ද මධ්‍යස්ථාන තමන්ගේ නිවසටද වඩා සෞඛ්‍යාරක්ෂිත බවය. මේ අනුව ඡන්ද මධ්‍යස්ථානයකට යෑම නිසා කොරෝනා ආසාදිතයකු වනු ඇතැයි කිසිවකු බියක් ඇතිකරගත යුතු නැත.
දකුණු කොරියාව හා සිංගප්පූරුව වැනි රටවල් මැතිවරණ පැවැත්වූයේ එම රටවල කොරෝනා වසංගතය ඉතා තදින් පැතිර යමින් තිබියදීය. මේ නිසා කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇති තත්ත්වයක් යටතේ ඡන්දය පැවැත්වීමෙන් කොරෝනා ව්‍යාප්ත වනු ඇතැයි යමකු කල්පනා කරන්නේ නම් එය සැලකිය හැක්කේ අනියත බියක් ලෙසය. ජනතාව අතර මේ අනියත බිය පතුරවන්නේ ඡන්ද දායකයා ඡන්ද මධ්‍යස්ථානයට යෑම වළක්වා ගැනීමට අවශ්‍ය අය විය හැකි බවද සැලකිල්ලට ලක් කළ යුතු කාරණයකි.
කෙසේ වුවත් අද ඡන්ද ප්‍රකාශ කිරීම සියයට අසූවක ප්‍රතිශතයක් වනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විශ්වාසය පළ කළ ද මේ සංඛ්‍යාවේ අඩුවැඩිවීමක් සිදුවිය හැකිය. එසේ වුවත් පාර්ලිමේන්තුවට තෝරා ගන්නා 225 සංඛ්‍යාවේ නම් අඩුවීමක් සිදු වන්නේ නැත. එසේ වුවත් තමන් තෝරා ගන්නා අපේක්ෂකයාට ලබාදෙන ඡන්ද ප්‍රමාණය වැඩි වූ තරමට ඡන්දදායකයා කෙරෙහි ඔහුගේ වගකීමේ බරද වැඩිවනු ඇත.
බොහෝ ඡන්දදායකයන් දේශපාලනය හා ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් උකටලී වන්නට එක් හේතුවක් වන්නේ ඡන්දයකින් පසු ජනතා නියෝජිතයන් ජනතාව අමතක කරන්නේය යන කාරණයයි. මේ චෝදනාවේ ඇත්තක් තිබෙන නමුත් ඊට ඡන්දදායකයාද වගකිව යුතු බව අපගේ අදහසය. ඡන්දදායකයකු ලෙස තමන්ගේ වගකීම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු අවසන් යැයි බොහෝ ඡන්දදායකයන් කල්පනා කිරීම නිසාය.
මෙවර මැතිවරණයේ සිට හෝ මේ තත්ත්වය වෙනස් කළ හැකි නම් එය මෙරට දේශපාලන සංස්කෘතියේ සුබදායී වෙනසකට හේතුවක් වනු ඇත. මැතිවරණයේදී සෑම කෙනකුම ඡන්දය ප්‍රකාශ කිරීම එහි ආරම්භක පියවරකි.
මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ බාධා රාශියකට මුහුණ දීමෙන් අනතුරුවය. මෙය මෙරට ඉතිහාසයේ දෙවරක් කල් දැමුණු එකම මැතිවරණයයි. මේ කල් දැමීම නිසා මාස හතරකට වැඩි කාලයක් රටට පාර්ලිමේන්තුවක් තිබුණේ ද නැත. කොරෝනා අවදානම නිසා මැතිවරණයේ වියදම ඉහළ ගොස් තිබේ. ජනතාව ඡන්දය ප්‍රකාශ කරන්නට එන්නේ කොරෝනා නිසා තමන්ගේ ආදායම අඩු වී ව්‍යාපාරවලට පාඩු සිදු වී, තම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇනහිට තිබෙන තත්ත්වයකදීය. ඇතැම් ඡන්දදායකයකුගේ ලේ ඥාතීන් කොරෝනා නිසා විදේශයක සිරවී සිටිනවා හෝ මෙරට නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිටින්නට සිදුව තිබෙන තත්ත්වයක් තුළ විය හැකිය.
මේ නිසා මෙවර මැතිවරණයේදී තේරී පත්වන ජනතා නියෝජිතයන් වෙනදාටත් වඩා තම ඡන්දදායකයාගේ ඡන්දයට වටිනාකමක් ලබා දීමට කටයුතු කළ යුතුව තිබේ. රටේ පවතින තත්ත්වය නිසා හෝ ජනතා නියෝජිතයන් තමන්ගේ ඡන්දදායකයා ගැන වගකීමෙන් කල්පනා කරන්නට පටන් ගතහොත් එයද රටේ දේශපාලන සංස්කෘතියේ යහපත් වෙනසක ආරම්භයක් වනු නියතය.
එසේ නොවුණද අද ඔබ භාවිත කරන ඡන්දය අපතේ ගියේ යැයි කනගාටු වන්නට ඔබට සිදු නොවේ. තවත් වසර පහකින් ඔබට යළිත් අවස්ථාවක් උදාවන බැවිනි. පොතේ හැටියට ඒ අවස්ථාව උදාවන්නේ වසර පහකින් වුවත්, ඇතැම් විටෙක ඊට පෙර ඒ අවස්ථාව උදාවීමටද ඉඩ තිබේ.
අද ඔබ භාවිත කරන්නේ එතරම් බලයක් ඇති ඔබේ ඡන්ද අයිතියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...