විදේශ පුවත්

එදා දකුණු අප්‍රිකාවේ ‘ජාතියේ මව‘ යනුවෙන් හැඳින්වූ විනී මඩිකිසෙලා – මැන්ඩෙලා වයස අවුරුදු 81 දී ලොවෙන් සමුගෙන ගියාය. දකුණු අප්‍රිකාවේ ශ්‍රේෂ්ඨ වර්ණභේදවිරෝධී නායක නෙල්සන් මැන්ඩෙලාගේ දික්කසාද බිරිඳ ඇයයි.

දකුණු අප්‍රිකාවෙන් වර්ණභේද වාදය තුරන් කළ නායකයා සහ රටේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිතයේ අමතක කළ නොහැකි කාන්තාව වූයේ ඇයයි. පුරා 38 වසරක් ඔවුහු පවුල් කෑහ. ඒ කාලය තුළ එකට සිරබත් ද කෑහ. දකුණු අප්‍රිකාව දශක තුනක් තිස්සේ ගෙන ගිය වර්ණභේදවාදයට එරෙහි සටනේ සංකේතය මැන්ඩෙලා යුවළ විය. නමුත් සිය දේශපාලන අභිමතාර්ථයන් සහ බලකාමය නිසා අවසාන කාලයේ, විශේෂයෙන්ම නෙල්සන් මැන්ඩෙලාගෙන් දික්කසාද වීමෙන් පසු ඇගේ දීප්තිය බලා සිටියදී වියැකුණේය. නමුත් මැන්ඩෙලාගේ ජීවිතයේ අසීරුතම කාලයේදී ඔහු සමගම සිටි අයෝමය බලවේගය ඇය වූ බවට වන ඓතිහාසික සත්‍යය වළ දැමිය නොහැක. එනිසාම අදටත් ඇය අවිවාදයෙන් හැඳින්වෙන්නේ ‘ඇන්ටි ඇපාතයිඩ් කැම්පේනර්‘ (anti-apartheid campaigner) හෙවත් ‘වර්ණභේද වාදයට විරුද්ධව සටන් කළ තැනැත්තියක‘ වශයෙනි. නෙල්සන් මැන්ඩෙලා රොබින් දූපතේ ගෙවා දැමූ දීර්ඝ වර්ෂ ගණනාව තුළ ඔහුව නියෝජනය කරමින් වර්ණභේදවාදයට එරෙහි අරගලය රට තුළ ජීවමාන කළ ‘එළියේ වීරයා‘ විනී මැන්ඩෙලා ය.

එනිසාම ඇයට අවසන් බුහුමන් දැක්වූ සහ ශෝක ප්‍රකාශ කළ අය වූයේ දකුණු අප්‍රිකානු නායකයන් ය. දකුණු අප්‍රිකානු නායක සිරිල් රැම්පෝසා සහ නොබෙල් ත්‍යාග ලාභී ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරු තැන ඒ අතර මුලින්ම වූහ. ජොහැන්නස්බර්ග් නුවර ස්වේතෝ හි පිහිටා තිබූ ඇගේ නිවස වෙත මේ වන විට ඇයට අවසන් බුහුමන් දැක්වීම සඳහා මහ සෙනගක් ඇදී එති.

දිගු කලක් තිස්සේ ඇය අසනීපයෙන් සිටියාය. මේ වසරේ මේ මාස 4ම ඇය ගෙවා දමා තිබුණේ නිතර නිතර රෝහල් ගත වෙමිනි.

නොමසාමෝ විනි‍ෆ්‍රෙඩ් සැන්කියේ මඩිකිසෙලා (Nomzamo Winifred Zanyiwe Madikizela) යනුවෙන් ස්වෙතෝ හි ගමක උපන් විනී, 1959 වසරේ ජොහැන්නස්බර්ග් නුවර වෙත පැමිණෙන්නේ ‘සමාජ වැඩ‘ විෂය ඉගෙන ගැනීමට ය. පසුව ඇය හෙදියක් බවට පත්ව දකුණු අප්‍රිකානු සෞඛ්‍ය සේවයට බැඳුණු පළමු කළු ජාතික කාන්තාව බවට පත්වූවාය. ඇය ඇලෙක්සැන්ඩ්‍රා නුවර ළදරු මරණ අනුපාතිකය ඉහළ යාම පිළිබඳ කදිම පර්යේෂණයක් ද ඒ දිනවල කළාය. අප්‍රිකානු ජාතික කොංග්‍රසය සහ දේශපාලනය ගැන ඇය උනන්දු වන්නට පටන් ගත් පසු ඇයට මැන්ඩෙලා හමුවන්නට අවස්ථාව ලැබිණි.

‘මඩීබා‘ යන අන්වර්ථ නාමයෙන් එවකට හැඳින්වුණු තරුණ මැන්ඩෙලා, විනීව මුලින්ම දුටුවේ බස්නැවතුම්පොළකදී ය. එය ‘දුටුවනම- පළමු බැල්මෙන්ම ඇති වූ ආදරයක්‘ බව මඩීබා අවස්ථා ගණනාවකදී පවසා තිබේ. විනී අවිවාදයෙන්ම ‘සිත්කළු කළු යුවතියක‘ වූවාය. අවසානයේ 1958 වසරේදී ජොහැන්නස්බර්ග් නුවරදී ඇය මඩීබා සමග අතිනත ගත්තාය.

මැන්ඩෙලා තෝරාගෙන තිබූ මාර්ගය වූයේ අවෛරයෙන් වෛරය සන්සිඳීමයි. දකුණු අප්‍රිකාව වර්ණ භේද වාදයෙන් මුදා ගන්නා විට ලේ වැගිරීම අවම කිරීම පිණිස මැන්ඩෙලා ජනතාවගේ ඔළු හැදුවේය. සියවස් ගණනක අයුක්තිය සහ අසාධාරණය වෙනුවෙන් ලෙයට ලෙයින් පළි ගැනීමට සිතා සිටි නොදැමුණු දකුණු අප්‍රිකානුවන්ට නෙල්සන් මැන්ඩෙලාගේ පෞරුෂය හමුවේ වෛරය හකුළා ගන්නට සිදුවිය. අවසානයේ සුදු පාලකයෝ කල්ලන්ට පාලනය ලබා දී යන්නට ගියහ.

මඩීබා මහා පුරුෂයෙක් වුවත්…

එයට සාපේක්ෂව විනී මැන්ඩෙලා පිට පාරේ ගියාය. ඇයට නෙල්සන්ගේ සාධු ගති රිස්සුවේ නැත. ජන ආකර්ෂණය තිබෙන්නේ කැකෑරෙන ලේ වලට යැයි ඇය සිතුවා වන්නට පුළුවන. ඇය ආවේගශීලී වූවාය. විටෙක දැඩි සේ ප්‍රචණ්ඩකාරී වූවාය. බලකාමයෙන් උමතු වූවාය.1963 වසරේ සුප්‍රකට රිවෝනියා නඩුවෙන් පසු මැන්ඩෙලා රොබින් දූපතේ සිරකරුවෙකු බවට පත්වූ පසු වර්ණභේදවාදයට එරෙහි සටන ඇය සියතට ගත්තාය. විටින් විට ඇයව අත්අඩංගුවට ගෙන ‘හුදෙකලා රැඳවුම් භාරයේ තැබීමට සුදු ජාතිකයන් ක්‍රියා කළේ එසේ කරනන්ට කාරණා ද තිබූ නිසා ය.

ටයර් මාල සහ පෙට්‍රල් සෑය

1986 වසරේදී ඇය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළාය. “With our boxes of matches and our necklaces we shall liberate this country.” ‘‘අපේ ගිනිකූරු පෙට්ටි සහ ‘නෙක්ලසස්‘ සමග අපි මේ රටට විමුක්තිය ලබාදෙන්නෙමු..“

ඉහත ප්‍රකාශයේදී විනී ‘නෙක්ලසස්‘ යනුවෙන් හැඳින්වූයේ මාල නොව මාල මෙන් ගෙළ වටා දමන ටයර් ය. 80 දශකය වන විට, විනී මැන්ඩෙලා සිරබත් කන විට ඇය මැන්ඩෙලා මෙන් ‘හොඳින්‘ නොව ‘නරකින්‘ වර්ණ භේදවාදය තුරන්කිරීමට ඉටාගෙන සිටියාය. ඇගේ හැසිරීම ක්‍රම ක්‍රමයෙන් ප්‍රචණ්ඩකාරී විය. ‘ගෙළ වටා ටයර් සහ පෙට්‍රල් දමා ගිනි තබා සුදු ජාතික පොලිස් භටයන්, පොලිසියට තොරතුරු ලබාදෙන්නන් සහ සුදු ජාතික ආණ්ඩුවේ ‘ජාතික පක්ෂය‘ට සහාය දෙන්නන් මරා දැමීම ඇගේ ප්‍රියතම මර්දන උපක්‍රමයක් විය. එසේ කිරීම හැඳින්වූයේ ‘නෙක්ලසින්‘ යනුවෙනි.

ඇය ‘මැන්ඩෙලා එක්සත් පාපන්දු සමාජය‘ යනුවෙන් හැඳින්වුණු ආරක්ෂක වළල්ල සමග එක්ව, එහි සිටි පක්ෂපාතී කළු ජාතිකයන් සමග එක්ව විවිධ අපරාධවල නියැළුණු බවට සාක්ෂි තිබේ. පැහැරගෙන යාම්, වධහිංසා, ඝාතන ද එම ලැයිස්තුවට අයත් ය. ස්ටොම්පී මොයෙකෙට්සි නමැති ගැටවරයා ඝාතනය සම්බන්ධයෙන් ද කෙළින්ම චෝදනා එල්ල වූයේ විනී මැන්ඩෙලා හට ය.

අවසානයේ මැන්ඩෙලා 1990 වසරේ සිර ගෙදරින් මිදුණේය. 1992 වසරේ ඇගෙන් වෙන්වුණේය. ඔවුන් දෙදෙනා යන්නේ දෙමගක බවට ඔහුට තවදුරටත් සාක්ෂි අවශ්‍ය වූයේ නැත. 1996 වසරේදී ඇය සමග තිබූ නෛතික සම්බන්ධය දික්කසාදයෙන් අවසන් කර දමා තෙවැනි විවාහය වෙත පියනැගුවේය. නමුත් විනී, නෙල්සන්ගේ අවසන් මොහොත වන තෙක්ම ඔහුගේ හොඳ මිතුරියක ලෙස කල් ගත කළාය. 1998 වසරේදී නෙල්සන් මැන්ඩෙලා සිය 80 වැනි උපන් දිනය සමරද්දී ඔහු වටා ළඳුන් දෙදෙනෙකු සිටිනු දැකගත හැකි විය. එක් අයෙක් වූයේ විනීගෙන් පසු ඔහුගේ තෙවැනි බිරිඳ බවට පත්වූ ග්‍රාකා මකෙල් ය. අනෙක් තැනැත්තිය විනී ය. මකෙල් සිය මිතුරු මිතුරියන් සමග තමන් සහ විනී පිළිබඳ විස්තර කළේ මෙසේ ය. ‘මඩිබාගේ භාර්යාවො දෙන්නා…“ (“Madiba’s two wives”)

මැන්ඩෙලා බලයට පත්වීමෙන් අනතුරුව සුදු ජාතිකයන්ගේ පාලන සමයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ විමර්ශනය කිරීම සහ ඒවා සටහන් කර තැබීම සඳහා සුප්‍රකට ‘සත්‍ය හා සංහිඳියා කොමිසම‘ පත්කළේය. එහිදී හෙළිදරව් වූයේ සුදු ජාතිකයන් විසින් කළු ජාතිකයන්ට කළ අපරාධ පිළිබඳ පමණක් නොවේ. ඔහුගේම දික්කසාද බිරිඳ වූ විනී මැන්ඩෙලා 80 දශකයේදී සිදුකළ විවිධ ගණයේ අපරාධ පිළිබඳ තොරතුරු රැසක් ද එයින් හෙළිදරව් වූයේය. සත්‍ය හා සංහිඳියා කොමිසමට දණ්ඩන බලයක් තිබුණේ නැත. එයින් මූලික වශයෙන්ම අරමුණු කළේ ‘සිදුවූ දේ ඇති සැටියෙන් සොයාගෙන වළලා දමා තිබූ සත්‍යය ගොඩ ගැනීමයි. එනිසා විනීට දඬුවම් ලැබුණේද නැත. නමුත් අවසානයේ 2003 වර්ෂයේ විනී මැන්ඩෙලා සොරකම සහ වංචාව පිළිබඳ නඩුවකින් වරදකාරිය බවට පත්වූවාය. සක්‍රිය දේශපාලනයෙන් ද බොහෝ දුරට ඉවත් වන්නට ඇයට සිදුවිය.

එදා මඩීබා නොහොත් නෙල්සන් මැන්ඩෙලා 1992 වසරේ දී තමන් විනීගෙන් වෙන් වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ මෙසේ ද කියමිනි.

“My love for her remains undiminished.”

‘‘ඈ කෙරෙහි මගේ ආලය කිසිදා වියැකී යන්නේ නැහැ..“

ඇගේ මඩීබා එසේ කීවත් මනුෂයෙකු වශයෙන් ඇගේ ප්‍රභාව වියැකී යමින් තිබිණි.

ඊයේ (02) දිනයේ සිදුවූ ඇගේ මරණය පිළිබඳ පුවතට අදාළව රොයිටර්ස් පුවත්සේවය ලිපියක් පළ කරමින් ශීර්ෂපාඨයේදී ඇයව මෙසේ හඳුන්වා දෙයි. ‘‘Winnie Mandela, a flawed heroine“

‘‘විනී මැන්ඩෙලා – කැළැල් සහිත වීරවරියක්‘‘

– ක්‍රිෂාන්ති රාජපක්ෂ-



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More