පුරවැසි කොලම

 

දිවයින වැනි නිදහස් පුවත්පතක පළ වන ඕනෑම ලිපියකට පිළිතුරු සැපයීමේ අයිතියක් ඕනෑම පාඨකයෙකුට තිබෙන බව සහ පුවත්පත විසින් ඊට ඉඩ සලසන බවට විවාදයක් නැත. එහෙත් එම අවස්ථාව භාවිතා කරමින් එසේ පිළිතුරු සැපයීමේදී කරුණු සහිතව පොදු මහජන ප්‍රශ්නයක ඇතුලාන්තය විග්‍රහ කිරීම හෝ අවධානයට ලක් කිරීම වෙනුවට ද්වේශ සහගතව පුද්ගලයාට පහරදීම සුදුසු නොවේ. ඒ නිසා එවැනි පහරදීම් මුල්කරගත් පිළිතුරු ලිපියකට නැවත පිළිතුර දීම නිෂ්ඵල ක්‍රියාවකි. මෙම ලියුම්කරු මීට පෙර ‘’ තිරුගු පිටි මාෆියාව ගොයම කන විට සහල් මාෆියාවනම් වූ මුව හමට තඩි බෑම” යන ලිපිය ලියනු ලැබුවේ ඊට පෙර විමුක්ති වීදියබණ්ඩාර නම් මහතකුගේ ලිපියට පිළිතුරු ලෙස නොවේ. එහිදී සදහන් කෙරුනේ එම ලිපියේ කරුණු මල්කරගෙන උක්ත ලිපිය ලියන බවය. මෙම ලිපිය කිසිසේත්ම පිළිතුරු ලිපියක් නොවන අතර, ඒ වෙනුවට සහල් වෙළඳපල තුල පවතින මිල විකෘතියේ බලපෑම සඟවන  ආණ්ඩුවට උපදෙස් දෙන ආර්ථික ඝාතක රාජ්‍ය නිලධාරීන්ගේ භූමිකාව පිළිබඳව මහජනයාට අවබෝධය ලබා දීම පිණිස සහල් වෙළඳපල තුල පැන නැගී ඇති නව ගැටළුවක් පිලිබඳව අදහස් දැක්වීම සුදුසුයැයි මෙම ලිපිකරු කල්පනා කරයි.

ජාතික ආරක්ෂාව තරමටම වැදගත් වන රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට පත් කරන දුෂ්ඨ ක්‍රියාවක් එළිදරව් කිරීම සහ ඊට හේතුවන ආර්ථික සහ වෙළඳපළ සාධක පිළිබඳව රජය සහ මහජනයා දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණ වේ. පොහොර සහනාධාරය ආදී රාජ්‍ය අනුග්‍රහය යටතේ රටේ මිනිසුන්ට ආහාරයට ගැනීම සඳහා නිෂ්පාදනය කරන වී තොගයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සත්ව ආහාර ලෙස බහු ජාතික මහා සමාගමක් විසින් මිලදී ගැනීමේ මානව විරෝධී ක්‍රියාවලිය මේ වන විට රටට එළිදරව් වී ඇත. එහෙත් අප රටේ ආහාර සුරක්ෂිතතාවයට අදාළව නීතියක් නොතිබීම නිසා සහ පාරිභෝගික අධිකාරී පනතේ දුර්වලතා නිසා ඊට එරෙහිව නිසි පියවර ගැනීම දුෂ්කර වී ඇත. මහා සමාගම් විසින් සිදු කරන රාජ්‍ය නිලධාරීන් මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිසා එම දුෂ්කර තත්වය තවදුරටත් වර්ධනය වී ඇත. එම නිසා මෙම දුෂ්ඨ ක්‍රියාවලිය ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇත.

රටේ ජනතාවට මාස 02ක කාලයකට අවශ්‍ය සහල් ප්‍රමාණයක් එනම් දළ වශයෙන් මෙ.ටො ලක්ෂ 3 කට අධික ප්‍රමාණයක් සත්ව ආහාර ලෙස සහල් වෙළඳපළින් ඉවත් කිරීම නිසා මෙම වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී රටේ සහල් හිඟයක් ඇතිවීමට බොහෝ ඉඩ කඩ ඇත. කෙසේ වෙතත් කොරෝනා වසංගතයෙන් පසුව තිරිඟු පිටි ආහාර පරිභෝජනය නැවත වටයකින් ඉහළ යමින් පවතින තත්වයක් තුළ සහල් වෙළඳපළ තුළ සිදුවන ඉල්ලුම සංකෝචනය වීම නිසා එම සහල් හිඟය බරපතල දේශපාලන ප්‍රශ්ණයක් ලෙස මතු නොවීමදටද ඉඩ ඇත. මීට පෙර පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී රජය විසින් මිලදී ගත් මෙ.ටො ලක්ෂ 2 කට ආසන්න වී තොගයක් මිනිස් ආහාරයට නුසුදුසු බව පවසමින් සත්ව ආහාර නිෂ්පාදනය කරන තිරිඟු පිටි සමාගමට විකුණා දැමූ බවට චෝදනා එල්ල විය. එසේ කි.ග්‍රෑම් 1 ක් රු. 44 ට මිලදී ගත් වී රු. 28 බැගින් එම සමාගමට විකුණා දැමීම මඟින් රජයට රු. මිලියන 4000 ක පමණ පාඩුවක් සිදුකළ බවට වගකිව යුත්තන්ට චෝදනා එල්ල විය. එසේ සහල් හෝ වී තොග මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්වන ආකාරයට ගබඩා කර තබාගනිමින් සත්ව ආහාර ලෙස විකිණීම යනු ලාභදායි ව්‍යාපාරයක් බව රහසක් නොවේ.

දේශපාලන අනුග්‍රහය යටතේ රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරන එම ක්‍රියාවලිය අල්ලස් හා දූෂණ පනත යටතේ පවා දඬුවම් කළ හැකි වරදකි. නමුත් ඒ රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට ලක් කිරීම නිසා නොව රජයට පාඩු සිදු කිරීම සහ ඒ තුළ කොමිස් ගැනීම යන වැරදි නිසාය. යම් රටවල ආහාර සුරක්ෂිතතාවයට එරෙහිව සිදු කරන වැරදි වලට බරපතල දඬුවම් ලැබේ. එහෙත් අප රටේ ඒ සඳහා නීතියක් නොමැති බැවින් පවතින නීතියේ සිදුරු වලින් රිංගා යමින් රටේ ආහාර තොගයෙන් සැලකියයුතු ප්‍රමාණයක් සත්ව ආහාර බවට පරිවර්ථනය කිරීමේ දුෂ්ඨ මානව විරෝධී ව්‍යාපාරය ලාභදායි ලෙස පවත්වාගෙන යාමට හැකි වී ඇත. මිට පෙර එම ව්‍යාපාරය ලාභදායි වූයේ රජයේ අරමුදල් යොදවා මිලදී ගන්නා වී තොග සත්ව ආහාර බවට පරිවර්ථනය කොට රජයට හෙවත් මහජනයාට පාඩු සිදු කරමින් අඩු මිලට විකිණීම නිසාය. නමුත් අද වන විට එම දුෂ්ඨ ව්‍යාපාරය නීත්‍යානුකූලව ලාභලබන ව්‍යාපාරයක් ලෙස පෞද්ගලික අංශය විසින් පවත්වාගෙන යාමට හැකි වී ඇත. එනම් නැවුම් වී තොග සහල් බවට පත් කොට සත්ත්ව ආහාර සමාගම් වලට ලාභදායි ආකාරයට විකිණිමට හැකි වී ඇත. එවැනි වෙළඳපළ තත්වයක් ඇති වන්නේ කෙසේ දැයි මහජනයා මවිතයට පත්විය හැක.

නමුත් එවැනි තත්වයකට පහසුකම් සලසන වෙළඳපළ සහ ආර්ථික සාධක අහඹු ලෙස හෝ ඉබේ පහළ වි නැත. එම තත්වය රජය විසින් ගනු ලැබූ යම් ප්‍රතිපත්තිමය තීන්දු නිසා පැන නැගී ඇති බව පැහැදිළිව ඔප්පු කළ හැකිය. පළමු වැන්න බඩ ඉරිඟු ආනයනය දේශීය නිෂ්පාදන සැළසුමකින් තොරව සීමා කිරීමය. එම නිසා බඩ ඉරිඟු වලට විකල්පයක් ලෙස සහල් භාවිතා කිරීම දිරි ගැන්වී ඇත. දේශීය නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා අනයන අධෛර්යමත් කළ යුතු බවට කිසිඳු විවාදයක් නැත. එම ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය ඉතා ඉහළින් අගය කළ යුතුය. නමුත් ඒ සඳහා යොදා ගත යුතු උපාංගය තහනම් කිරීම නම් නොවේ. එසේ අහඹු ලෙස යම් නිෂ්පාදනයක ආනයනය තහනම් කළ විට රජය නිර්භයව ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවක් මතුපිටින් පෙනෙයි. එහෙත් එය දිර්ඝ කාලීනව වලංගු වන උපාංගයක් හෝ ක්‍රමවේදයක් නොවේ. එසේ යම් ද්‍රව්‍යයක ආනයනය සම්පුර්ණයෙන්ම තහනම් කළ පමණින් දේශීය නිෂ්පාදනය වර්ධනය වන බවට උපකල්පනය කළ ද ප්‍රායෝගිකව ඊට වෙනස් දේ සිදු විය හැකිය. එක් පැත්තකින් එම ද්‍රව්‍ය ඉහළ මිලක් සහිත සහ කුඩා ප්‍රමාණයෙන් ආනයනය කරන ද්‍රව්‍යයක් නම් ඒවා නීති විරෝධී ක්‍රමවේද මඟින් රට තුළට ගෙන ඒම ලාභදායි ව්‍යාපාරයක් බවට පත් වේ.කහ ආනයනය තහනම් කිරීමෙන් පසුව උද්ගත වී ඇති තත්වය ඊට හොඳම උදාහරණයකි.

අනෙක් පැත්තෙන් තහනමක් දීර්ඝකාලීනව පවත්වාගත නොහැකි බැවින්, විශේෂයෙන්ම අපේක්ෂිත පරිදි දේශීය නිෂ්පාදනය යම් කාලයක් තුළ වර්ධනය නොවන තත්වයක් යටතේ එම තහනම සූක්ෂම ලෙස ලිහිල් කිරීම සිදු විය හැක. එසේ තහනම ලිහිල් කිරීම තහනම් කිරීම තරම් මහජන අවධානයට ලක් වන්නේ නැත. උදාහරණයක් ලෙස මාස 6 ක ණයවර යටතේ ආනයනයට ඉඩ දීම වැනි වෙනසක් මඟින් යම් තෝරාගත් ව්‍යාපාරිකයින්ට අවස්ථාව ලබාදීමේ හැකියාව ලැබේ. එම ක්‍රමවේදය යම් නිලධාරීන් සමඟ එක්ව කූඨ ආනයනකහරුවන් පිරිසක් විසින් පසුගිය දින වල ඉතා හොඳින් අත්හදා බලා ඇත. උදාහරණයක් ලෙස පාවහන්, ෆාම්තෙල් වැනි ද්‍රව්‍ය ආනයනයට පනවා තිබූ සීමා කිරීම් විවිධ කොන්දේසි යටතේ හොර රහසේම ඉවත් කොට ව්‍යාපාරිකයින් පිරිසකට අවස්ථාව ලබාදී ඇත. ඒ නිසා අනයනය තහනම් කිරීම මඟින් දැන් ඉතා ලාභදායි ව්‍යාපාරික අවස්ථා නිර්මාණය වී ඇත. මේ වන තුරු බඩ ඉරිඟු සඳහා පනවා තිබූ සීමා කම් ඉවත් කොට නොමැති බැවින් අර්ධ ලෙස සකස් කළ සහල් වලට සත්ව ආහාර ලෙස නව වෙළඳපළක් විවෘත වී ඇත.

ඒ නිසා දේශීය නිෂ්පාදනය දිරි ගැන්වීම සඳහා යම් ආනයනික නිෂ්පාදනයක් අධෛර්යමත් කිරීම සඳහා තහනම් කිරීම නම් වූ උපාංගය කිසි සේත්ම සුදුසු නොවන බව පැහැදිළි වේ. ඒ මඟින් එක් පැත්තකින් නව විකෘති වෙළඳපළක් නිර්මාණය වේ. අනෙක් පැත්තෙන් එය දීර්ඝකාලීනව ස්ථාවර ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තම නිෂ්පාදන ක්‍රියාවලියන් වෙනස් කිරීමට නිෂ්පාදකයාට ලබා දෙන දිරි ගැන්වීමක් නොවේ. ඒ මඟින් අනාගත වෙළඳපළ තත්වය තක්සේරු කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නැත. ඉට අමතරව ඒ මගින් ආර්ථික ඝාතක නිලධාරීන්ට ජාවාරම් කරුවන් එක්ව රජය සහ මහජනයා ගොනාට ඇන්දවීමට අවස්ථාව නිර්මාණය වේ. ඒ නිසා දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය දිරි ගැන්වීම සඳහා වඩා නිවැරදි ආරක්ෂණවාදී ප්‍රතිපත්තිමය උපාංගය වන්නේ ආනයන ‘’කෝටා’’ ක්‍රමයක් හඳුන්වා දීම සහ අධෛර්යමත් කිරීමේ ආනයන බද්දක් පැනවීමය. එවිට දේශීය නිෂ්පාදකයාට ඉහළ මිලක් ලැබෙන අතර මිලදී ගන්නාට දේශීය නිෂ්පාදන මිලදී ගැනීම ලාභදායි වේ. ඒ අතර දේශීය නිෂ්පාදනය වැඩි වන තෙක් අන්තර් කාලය තුළ අදාළ ද්‍රව්‍යයේ හිඟයක් ඇති නොවන බැවින් වෙළඳපොළ තුල විකෘතියක් ඇති වන්නේද නැත. ඒ නිසා වෙළඳපළ විකෘතියක් ඇති කරන තහනම් කිරීමේ ප්‍රතිපත්තිය යම් කූඨ නිලධාරීන්ගේ වැරදි උපදේශයක් බව පිළිගැනීමට සිදු වේ.

ප්‍රශ්නයේ මුලට යන්නේනම්, ගොවියාගේ පැත්තෙන් ගත් විට වී සඳහා රු. 50 ක සහතික මිලක් පැනවීමද සාධාරණ නොවේ. වී සඳහා වන සහතික මිල රු. 55 ක් දක්වා ඉහළ දැමුවහොත් ඊට සාපේක්ෂව සහල් මිල ඉහළ දැමීමේ වෙළඳපළ අවකාශය ඇත. වී මිල රු. 50 ක් වන විට සහල් කි.ග්‍රෑම් 1 ක් සකස් කිරීමේ පිරිවැය රු. 98 ක් බවට ඉන්ජිනේරු විමල් ජයවර්ධන මහතා විසින් සාක්ෂි සහිතව ගනන් හිලව් ඉදිරිපත් කොට ඇත. එම පිරිවැයට යන්ත්‍ර සූත්‍ර වල ක්ෂය වීමද ඇතුළත් වේ. බොහෝ විද්වතුන් සහල් සකස් කිරීමේ පිරිවැය ගණනය කර පෙන්වීමේදී යන්ත්‍රසූත්‍ර වල පිරිවැය සැලකිල්ලට ගන්නේ නැත. කෙසේ වෙතත් එම පිරිවැය ගණනය කිරිම අනුව වී මිල රු. 55 කළහොත් සහල් කි.ග්‍රෑම් 1 ක නිෂ්පාදන වියදම දළ වශයෙන් රු. 105 ක් පමණ වේ. ඊට වෙළඳුන්ගේ ලාභය ආදිය එකතු කළ විට කැකුළු සහල් කි.ග්‍රෑම් 1 ක් රු. 110 ට නියම කළ හොත් ගොවියාට සහ සහල් කර්මාන්තකරුවා යන දෙදෙනාටම සාධාරණය ඉටුකළ හැකි වේ. ඒ අනුව සහල් මිල වැඩි වීම එක වේලකට රු. 2 කි. වී  ගොවියා සහ ගොවිතැන රැක ගැනීම, සහ විශේෂයෙන්ම මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තකරුවාට සාධාරණය ඉටු කිරීම මෙන්ම රටේ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම යන බහු විධ හේතු මත එම රු. 2 කින් මිල වැඩි වීම සාධාරණීකරණය කළ නොහැකිද? පාන් ගෙඩියක් රු. 60 ක් වන විට පෙති පාන් ගෙඩියකට රු. 40 ක් වැඩිපුර එනම් රු. 100 ක්, ගෙවීමට නිර්ලෝභී වන බත්කන මිනිසුන්ට එම අවශ්‍යතාවය තේරුම් කර දීම ගෝඨාභය රාජපක්ෂයන් වැනි ජනාධිපතිවරයෙකුට අපහසු දෙයක් විය නොහැක. ඒ ආකාරයට සහල් සඳහා සාධාරණ මිලක් පැනවීම මගින් සහල් වෙලදපල තුල පවතින මිල විකෘතිය නිවරදි කරන්නේනම් සත්ව ආහාර සඳහා නැවුම් සහල් විකිණීමේ විකෘතියද නිවැරදි වේ. එනම් එම වාණිජ ක්‍රියාකාරකම ලාභදායී නොවන බැවින් එය ඉබේම නතරවේ.

නමුත් අප රටේ බුද්ධ ‘’භෝගය’’ ලෙස හඳුන්වන සහල් නිෂ්පාදන සහ අළෙවි කරන ක්‍රියාවලියට බත් කන මිනිසුන් සිටින රටේ සිදු වී ඇති වින්නැහිය ඉතා ඛේදජනකය. අප රටේ වී සහ සහල් වෙළඳපළ තුළ පවතින සියලුවිකෘතීන් සාධාරණීකරණය කෙරෙන්නේ ඊනියා සහල් මාෆියාව නම් වූ මුව හමට තඩි බෑම මඟිනි. එහිදී සැබෑ ලෙසම සහල් කර්මාන්තයට සහ රටේ ආහාර සුරක්ෂිතතාවයට වින කටින්නේ එසේ නැතහොත් ගොයම කන්නේ තිරිඟු පිටි මාෆියාව විසින් බව මහජනයාමහජනයා පමණක් නොව පත්තර වලට ලිපි ලියන විද්වතුන් පවා තේරුම් ගන්නේ නැත.  ඒ තුළ ආර්ථික ඝාතක නිලධාරීන් අතලොස්සකට තිරිඟු පිටි මාෆියාවේ උවමනාවන් ඉටු කිරීමේ හැකියාව ලැබී ඇත. මෙම තිරිඟු පිටි මාෆියාව කෙතරම් බලවත්ද යත් ඔවුන් විසින් ඉහත සඳහන් කළ ආකාරයට බඩ ඉරිඟු වලට විකල්පයක් ලෙස  සත්ව ආහාර සඳහා නැවුම් සහල් මිලදී  ගන්නා සමාගමට තිරිඟු ඇට කි.ග්‍රෑම් 1 ක් සඳහා රුපියල් 20 ක බදු සහනයක් පසුගිය රජයෙන් ලබා ගන්නා අතර එම සමාගමේ ඒකාධිකාරිය බිඳීමේ නාමයෙන් තිරිඟු පිටි ආනයනය කරන සමාගම් වලට කි.ග්‍රෑම් 1 කට රු. 28 ක බදු සහනයක් වර්තමාන රජයෙන් ලබා ගැනීමටද සමත් විය. නමුත් ඒ ආකාරයට තිරිගු පිටි සමාගම් වලට සහ මහා පරිමාණ බේකරි හිමියන්ට කි.ග්‍රෑ 1 කට රු . 20 කට වැඩි බදු සහනයක් මහජන බදු මුදලින් ලබා දෙන විට නිහඩව සිටින අප රටේ විද්වත්හු වී ගොවියාට වී සඳහා සාධාරණ මිලක් ගෙවීම සහ සහල් කර්මාන්තය දියුණු කිරීම මුල් කරගෙන සහල් මිල රු. 5 කින් වැඩි කිරීමට යෝජනා කරන විට බලවත් ලෙස කෝපයට පත් වෙති. සහල් මාෆියාවක් පිළිබඳ භීතියක් මවමින් අප රටේ සැබවින්ම සිදු කරනු  ලබන්නේ ගොවියාගේ ගෙල සිර කිරීමය. සහල් මිල අනුව ගොවියාට වී සඳහා ගෙවන මිල තීරණය වේ. අප රටේ මිනිසුන් ගොවියා වහල් භාවයේ තබා ගනිමින් ඔහුගේ අස්වැන්න උදුරා ගන්නා බව පැවසීම වරදක් නොවේ. ඒ අර්ථයෙන් ගත් විට අප ආහාරයට ගන්නේ දහඩිය කදුළු පමණක් නොව ලේ තැවරුණු සහල් බව කණගාටුවෙන් පැවසිය යුතුය.

අප රටේ බදු සහන ලබාගනිමින් තිරිඟු පිටි ප්‍රචලිත කිරීම නිසා තිරිඟු පිටි පරිභෝජනය වසර කිහිපයක් තුළ 30% කින් පමණ වැඩි වී ඇත. අංක ගණිතය දන්නා අයට ඒ බව රේගුවේ ආනයන දත්ත සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පිරික්සීමෙන්  වටහා ගත හැක. එම තත්වය මඟින්ද සහල් වෙළඳපළ තුළ පීඩනයක් හෙවත් විකෘතියක් ඇති වේ. ඒ මඟින් සහල් පරිභෝජනය අඩු වී වෙළඳපළ තුළ සාපේක්ෂ අතිරික්තයක් ඇති වේ. ඒ තුළ විශේෂයෙන්ම සහල් පිටි වලට තිරිඟු පිටි සමඟ තරඟ කිරීමට නොහැකි වීම නිසා සහල් පිටි කර්මාන්තය සහමුලින්ම බිඳ වැටී ඇත. ඊට අමතරව තිරිඟු පිටි සමාගම් විසින් බේකරි හිමියන්ට ලබා දෙන සහන හෙවත් ඔවුන්  රජයෙන් හෙවත් මහජනයාගෙන්  ලබා ගන්නා සහනයෙන් කොටසක් ලබා දීම නිසා තිරිඟු පිටි ආහාර ප්‍රචලිත කිරීමේ ක්‍රියාවලිය ඉතා බලවත් සහ ලාභදායි වී ඇත. ඒ තුල පාසල් දරුවන් ඉතා බරපතල ලෙස  තිරිඟු පිටි ආහාර සංස්කෘතියකට පුරුදු වෙමින් ඇත. ඒ මගින්  අනාගතයේදී රටක් ලෙස මුහුණ දීමට සිදුවන මහජන සෞඛ්‍ය වන්දිය කොතෙක් දැයි සිතාගැනීමටවත් නොහැකි වනු ඇත. එම සමස්ථ ක්‍රියාවලි ය තුලද සහල් ඉල්ලුම සංකෝචනය වීම නිසා වී මිල මෙන්ම සහල් මිලද පහත වැටීමේ ප්‍රවණතාවයක් ඇතිවේ. එම තත්වය මගින් ඇති කරන වෙළඳපල මිල විකෘතිය නිසා ද නැවුම් සහල් සත්ව ආහාර ලෙස විකිණීම සහල් ලෙස විකිණීමට වඩා  ලාභදායී වේ.

ඒ අනුව ඊනියා සහල් මාෆියාව සහ සැබෑ ලෙසම තිරිගු පිටි මාෆියාව  පිළිබඳ කථිකාව මෙන්ම නැවුම් සහල් සත්ව ආහාර ලෙස  මිලදී ගැනීම,අස්වනු නෙළන සමයේ ඇතිවන ඊනියා  සාපේක්ෂ අතිරික්තය නිසා ගබඩා පහසුකම් මදි වීම  මෙන්ම කුඩා සහ මධ්‍යම පරිමාන සහල් මෝල් වැසී යාම ඇතුළු බහු විධ ප්‍රකාශනයන් එකම ගැටළුවක් සමග බැඳී ඇති බව පැහැදිලිව පෙනී යයි. ඒ සහල් සහ තිරිඟු පිටි වෙළඳපළ තුළ පවතින මිල විකෘතියයි. එක්පැත්තකින් එම මිල විකෘතිය නිවැරදි කළ හැක්කේ විදේශීයව සහනාධාර මඟින් මිල අඩු කොට අප රටට ප්‍රතාපනය කරන තිරිඟු පිටි වලට අප රටේ නැවත වටයකින් සහනාධාර දීම වහා නැවැත්විම මඟින් එනම් පළමුව තිරිඟු ඇට වලට ලබා දුන් රු. 20 ක බදු සහනය සහ තිරිඟු පිටි වලට ලබා දුන් රු. 28 ක බදු සහනය අහෝසි කිරීම හෙවත් නැවත පැනවීම මඟිනි. මීට පෙර එසේ මහා පරිමාන බදු සහන ලබාදුන්නද පාන් හෝ කෙටි කෑම මිල අඩු වූයේ නැත. එම නිසා සහන අහෝසි කළ විටද මිල වෙනස් වීමට හැකියාවක් නැත.

අනෙක් පැත්තෙන් මිල විකෘතිය නිවැරදි කළ හැක්කේ සහල් වලට සාධාරණ අවම මිලක් පැනවීම මඟිනි. එනම් අවම වශයෙන් කැකුළු සහල් වල කි.ග්‍රෑම් 1 ක මිල රු. 100 සහ 110 අතර වන මිලක් පැනවීම මඟිනි. සහල් මිල රු . 110 ක්වේනම් වී සඳහා ගොවියාට ගෙවන සහතික  මිල රු 55 ක් දක්වා වැඩි කළ හැක. ඒ මඟින් ගොවි පවුල් ලක්ෂ 10 ක සහ සහල් කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාර සහ රැකියාවල නියුක්ත තවත් පවුල් ලක්ෂ 2 කට ආසන්න ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ ජිවිත වෙනස් වනු ඇත. එසේම සහල් සහ  සහල් පිටි ආශ්‍රිත ආහාර කර්මාන්තයේ නව රැකියා ලක්ෂ ගණනක් බිහිවනු ඇත. ඊට අමතරව රටේ ආහාර සුරක්ෂිතතාවය සහ මහජන සෞඛ්‍ය අනතුරට වැටීම වැළැක්විය හැක. ඒ සියල්ල කළ හැක්කේ ආර්ථික ඝාතක නිලධාරීන්ගේ උපදෙස් පිළිගැනීම ගැනීම වෙනුවට මෙම මහා පින්තූරය දෙස විචක්ෂණශීලීව බැලීම මඟිනි. එහිදී තිරිඟු පිටි මිල ඉහළ යාම නිසා වතුකම්කරුවන් ඇතුළු අඩු ආදායම් ලාභීන්ට සිදුවන අගතිය සමනය කිරීම සඳහා තිරිඟු පිටි බදු මඟින් රජයට ලැබීමට නියමිත රු. මිලියන 30,000 ක බදු අරමුදල් යොදා ගනිමින් සහන ලබා දිය හැක.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More