පුරවැසි කොලම

විග්නේෂ්වරන් – ගජන් පොන්නම්බලම් සහ ද්‍රවිඩ සන්ධානය තම බෙදුම්වාදී මෙහෙයුම අත්හැර නැත. පාර්ලිමේන්තු මංගල සැසියේදී විග්නේෂ්වරන් ස්වයං පාලනය ඉල්ලා ඇත. ඊට සමානව යමින් පොන්නම්බලම් ශ‍්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කර ඇති බවත් යුද අපරාධ සිදුකළ බවත් පවසා ඇත.

එහෙත් කොටි සංවිධානය යුද අපරාධ සිදුකළ බව මේ කිසිවෙක් ප‍්‍රකාශ කර නැත.

උතුරු පලාත් සභාවේ හිටපු මහ ඇමැති ලෙස කටයුතු කළ විග්නේශ්වරන්ට යහපාලන රජය සමයේ හිතූ අයුරින් කි‍්‍රයාකිරීමට ඉඩ ලැබුණි.

එම සමයේ කැනඩාවේ සිටින බෙදුම්වාදීන්වූ නේතන් ශාන්, රාධිකා සිතා සබෙයියන්, ගැරි ආනන්ද සංගරීද තමිල්නාඩුවේ කොටි හිතවාදියකුවූ තොල් තිරුමාවලන්ද උතුරට පැමිණියහ. යාපනයට පැමිණි කැනඩා මන්ත‍්‍රී ගැරී ආනන්ද සංගරී ශ‍්‍රී ලංකාව හමුදාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කළ යුතු බව ප‍්‍රසිද්ධියේ පවසනු ලැබීය.

එසේම විග්නේෂ්වරන්ද ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව අන්තර්ජාතික පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව දක්වමින් යෝජනාවක්ද සම්මත කර එය ජිනීවා යැවීමට කි‍්‍රයා කළේය.

මේ හැර ඔහු ඉඩම් සහ පොලිස් බලතලද ඉල්ලා තිබුණි. මෙරට ඉතිහාසය වෙනස් කිරීමට උත්සාහ කළ විග්නේෂ්වරන් මහාවංශය බොරුවක් බවද පැවසුවේය.

ඊට අමතරව ඔහු උතුරේ හමුදා ස්මාරක ඉවත්කළ යුතු බවද පවසා තිබුණි.

එසේම බටහිර තානාපතිවරු උතුරට පැමිණි අවස්ථාවේ විග්නේෂ්වරන් පැවසුවේ උතුරේ හමුදාව ස්ථාපිත වී සිටීමයි.

කුරුඳුවත්තේ සිට ද්‍රවිඩ සන්ධානය හරහා උතුරට ගොස් මහ ඇමැතිධුරයට පත්වූ විග්නේෂ්වරන් ගතවූ කාලය මුළුල්ලේ කි‍්‍රයාකළේ ස්වයංපාලනය, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සහ ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමටයි.

උතුරු පළාත් සභාවට ජාතික ආරක්‍ෂාව ගැන කි‍්‍රයාකිරීමට අවසරයක් නැතත් ඔහු ඊටද සෘජුව මැදිහත් විය. එහෙත් යහපාලන රජය සංහිඳියාවට මුවාවී විග්නේෂ්වරන්ට ඕනෑම මෙහෙයුමක් දියත් කිරීමට ඉඩදුන්නේය.

මෙයට සමානව යමින් පොන්නම්බලම්ද අනුගමනය කළේ ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහි පිළිවෙතකි.

ඔහු කීපවරක්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණියේය. එහිදී ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව ප‍්‍රචාරක පත‍්‍රිකා බෙදාහරිනු ලැබීය.

එසේම ශ‍්‍රී ලංකා හමුදාව මානව හිමිකම් උල්ලංඝණය කරන බව දක්වමින් අත්සන් ලක්‍ෂයක් ලබාගැනීමේ මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

ජිනීවාහිදී මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා ඔහු විදේශ රාජ්‍ය නොවන සංවිධානයක කාලසීමාවද ලබාගැනීමට කි‍්‍රයාකළේය.

මෙවන් පසුබිමක් මැද ස්වයංපාලනය හෙවත් රට දෙකඩ කිරීමේ මෙහෙයුම ඉදිරියටත් කි‍්‍රයාත්මක වේ.

එය අදහස් ප‍්‍රකාශ කිරීමක් නොවේ. මේ අයුරින් රුසියාව තුළ බෙදුම්වාදී ප‍්‍රකාශ කිරීමට ඉඩ ලැබේද?

මෙවන් තත්ත්වයක් මැද ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රීවරු කොළඹ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බැග්ලේ හමුවීමට ගොස් 13 වැනි සංශෝධනය දිගටම කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉන්දීය මහ කොමසාරිස්වරයා ඊට දැක්වූ ප‍්‍රතිචාරය ඔහුගේ ටුවිටර් අඩවියේ සඳහන් විය.

ශ‍්‍රී ලංකාවේ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක විය යුතුයි යන ස්ථාවරය වෙනස් වී නැත යැයි එහි දැක්විණි.

එහෙත් යහපාලන රජය පලාත් සභාවල මැතිවරණ පැවැත්වීම දිගින් දිගටම කල්දමද්දී ඉන්දීය රජය ඊට බලපෑම් කළේ නැත.

මෙම 13 වැනි සංශෝධනය ශ‍්‍රී ලංකාව මත බලහත්කාරයෙන් පැටවීමට කි‍්‍රයාකළේ හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධිය. මේ සඳහා ජනතා අනුමැතියක් හිමිවූයේ නැත.

මේ තත්ත්වය මත ඉන්දීය මහකොමසාරිස්ගේ මේ ප‍්‍රකාශය වියනා සම්මුතිය උල්ලංඝණය කිරීමකි.

එම 13 වැනි සංශෝධනය අහෝසි කළ යුතු යයි රියර් අද්මිරාල් සරත් වීරසේකර රජයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

එම පුවත දිවයින ඉරිදා සංග‍්‍රහයේ පලවීමක් සමඟම ඇතැම් පාර්ශව දැඩි කලබලයට පත්වී එවන් යෝජනාවක් කළේ දැයි විමසා ඇත.

මෙම 13 වැනි සංශෝධනය අහෝසි කළ යුතුයි යන ස්ථාවරයේ ජාතික සංවිධාන ඒකාබද්ධ කමිටුවේ සම සභාපතිවරුන්වූ කර්නල් අනිල් අමරසේකර, විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කොටකදෙනියද සිටී.

ඉන්දියාව විසින් මෙරටට යොමුකළ 13 වැනි සංශෝධනය පිළිබඳව රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසුවේ පසුගිය කාලය තුළ පළාත් සභා ඇමැතිවරුන් 10 ක් පත්වූවත් කිසිදු ක්‍ෂේත‍්‍රයක් දියුණුවී නැති බවයි.

එසේම ඉන්දීය මහකොමසාරිස්වරයා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කළ යුතු බවට කර ඇති ප‍්‍රකාශය ඔහු ප‍්‍රතික්‍ෂේප කළේය.

රටේ කටයුතු ගැන තීරණ ගන්නේ නායකයා මිස පිටස්තර පාර්ශව නොවේ යයි ඔහු සෘජුව පැවසුවේය.

මේ තත්ත්වය මැද පළාත් සභා සුදු අලියා ගැන මතුව ඇති බරපතල ප‍්‍රශ්නය රජය හමුවේ පවතී.

එවැනි විටෙක අපේ ස්වාධීනත්වය ඉන්දියාවට පාවාදිය යුතුද? වඩමාරච්චි මෙහෙයුම නතර කර ප‍්‍රභාකරන් බේරා ගත්තේ ඉන්දියාව බව අප අමතක නොකළ යුතුයි.

එවන් පසුබිමක් මැද විග්නේෂ්වරන් – ගජන් පොන්නම්බලම් සහ ද්‍රවිඩ සන්ධානය එකම බෝට්ටුවේ පිරිසකි. 13 වැනි සංශෝධනය පෙඩරල් ක‍්‍රමයේ එක් අංගයක් බවද අමතක නොකළ යුතුයි.

එක්සත් ජාතීන්ගේ අධීක්‍ෂණය යටතේ උතුරු

නැගෙනහිර ජනමත විචාරණයක් පැවැත්විය යුතු යයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනටමත් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

විග්නේෂ්වරන්, ගජන් සහ ද්‍රවිඩ සන්ධානය පසුපස කොටි ඩයස්පෝරාව සිටින බව රජය සිහිපත් කළ යුතු වේ. ඊට අමතරව බටහිර තානාපති කාර්යාල, රාජ්‍ය නොවන සංවිධානද දායක වී සිටී.

මෙවන් තත්ත්වයක් මැද ඉදිරියේදී ශ‍්‍රී ලංකාවට බටහිර බලපෑම් එල්ලවීමට ඉඩ ඇත. දහමටත් ඉන්දියාව දක්වා ඇත්තේ ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රශ්න වලට විසදුම් ලබාදිය යුතු බවයි.

එසේම ඇමරිකානු එම්. සී. සී, සෝෆා සහ ඇක්සා ගිවිසුම් රජය හමුවේ පමණි.

මේ හැර පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන්

200 ක් අත්අඩංගුවට ගෙන ඇතත් එවන් අන්තවාදීන් 1000 ක් මෙරට සිටින බවට බුද්ධි වාර්තාවකින් හෙලිවී තිබේ.

එවන් වාතාවරණයක් යටතේ උතුරේ විවිධ ස්ථාන වලින් අවි ආයුධ හමුවේ.

මේ අතර පසුගිය යහපාලන රජය තහනම අහෝසි කළ විදෙස්ගත කොටි හිතවාදී සංවිධාන සහ කි‍්‍රයාකාරීහු රැුසක් ශ‍්‍රී ලංකාවට එරෙහිව කි‍්‍රයාකරති.

ස්වයංපාලනය පසුබිමේ සිටින්නේ මොවුන්ය. ස්විට්සර්ලන්තය කොටි සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් නොවන බවට ප‍්‍රකාශ කිරීමද තවත් බරපතල ප‍්‍රශ්නයකි.

ඒ නිසා යළි අරමුදල් එකතු කිරීමට ඔවුන්ට හැකිවී ඇත. ඇමරිකාවේ සිට කි‍්‍රයාත්මක වන රටින් පිටත ඊලම් ආණ්ඩුවක්ද ස්වයංපාලන ඉල්ලීමේ තවත් පාර්ශවයකි.

ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවට කැටලන් බෙදුම්වාදීන් කීපදෙනකු පත්වීමෙන් පසු බෙදුම්වාදී හඬ තම පාර්ලිමේන්තුවේ රැුව්දුන්නේය. මේ නිසා කැටලන් බෙදුම්වාදී හඬ නතර කිරීමට ස්පාඤ්ඤ අධිකරණයට සිදුවිය.

මෙය ශ‍්‍රී ලංකාවට පාඩමකි.

ස්පාඤ්ඤ ප‍්‍රාන්තයක්වූ කැටලන්හි පාර්ලිමේන්තුව වෙනම රටක් බවට ප‍්‍රකාශ කිරීමක් සමඟම ස්පාඤ්ඤ රජය බෙදුම්වාදීන්ට එරෙහිව දැඩි පියවර ගනු ලැබීය.

කැටලන් බෙදුම්වාදීන් මෑතකදී ශ‍්‍රී ලංකාවේ ඊලම් ද්‍රවිඩ ජනතාවට සහය පලකරන බවද දක්වා තිබුණි.

මෙවන් පසුබිමක් මැද උතුරේ ස්වයංපාලන ඉල්ලීම් මර්දනය කිරීමට රජය නොපමාව කි‍්‍රයාකළ යුතුයි.

මේ අතර පාර්ලිමේන්තු මුල්දිනයේම විග්නේෂ්වරන් කළ ස්වයංපාලන කතාව වැනි ප‍්‍රකාශ යළි ප‍්‍රකාශ නොකිරීම සඳහා ස්ථාවර නියෝග සංශෝධනය කළ යුතු බව රාජ්‍ය ඇමැති සරත් වීරසේකර පවසනු ලැබීය.

එවන් ප‍්‍රකාශ හැන්සාඞ් වාර්තාවෙන් ඉවත්කළ යුතු යැයිද ඔහු කියා සිටියේය.

එහෙත් පත්කල මන්ත‍්‍රී හා අධිකරණ ඇමැති අලි සබ්රි කතාවක් හැන්සාඞ් ගතවූ පමණින් එය නීත්‍යානුකූල නොවන බවත් මන්ත‍්‍රීවරුන්ට අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතියට බාධා නොකළ යුතු බව පවසනු ලැබීය.

එසේ වූවත් විග්නේෂ්වරන්ගේ ස්වයංපාලන කතාව කොටි ඩයස්පෝරාව ලොව පුරා ප‍්‍රචාරය කරනු ලැබීය.

විග්නේශ්වරන් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් ස්වයං පාලනය ඉල්ලා සිටි බව කොටි වෙබ් අඩවි තවදුරටත් දක්වා තිබුණි.

ඔහු පාර්ලිමේන්තුව අමතමින් ලොව පැරණිම භාෂාව ද්‍රවිඩ භාෂාව බවත් ශ‍්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවා දෙමළ ජාතිකයන් බවත් තවදුරටත් පවසා තිබුණි.

ඔහුගේ අතීතය ආවර්ජනය කළහොත් ප‍්‍රභාකරන්ට එරෙහිව පවරා තිබූ නඩුව විභාග කිරීමෙන්ද ඉවත්වූ බව අවධාරණයට ලක්කළ යුතුයි.

කොටි ඩයස්පෝරාවේ මතය වූ ඊලම් දේශය බිහිකිරීම සහ පිළිවෙතට කුර්දි පී. කේ. කේ. ත‍්‍රස්ත සංවිධානයද සහය දක්වා තිබේ.

බි‍්‍රතාන්‍ය විරුද්ධ පක්‍ෂ දේශපාලකයකු වූ ජෙරමි කොර්බින් පවා ද්‍රවිඩයන්ට ස්වයංපාලනය හිමිවිය යුතු බව වරක් පවසා තිබුණි.

මේ හැර ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට ස්වංපාලනය දිය යුතු යයි දැක්වෙන ඉල්ලීම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙතද ඉදිරිපත් වී ඇත.

ප‍්‍රංශ කොටි ඩයස්පෝරාවට සම්බන්ධ භාරති සංවිධානය එය ඉදිරිපත් කර තිබේ.

මේ නිසා විග්නේෂ්වරන් ස්වයංපාලනය ගැන කළ ප‍්‍රකාශය නිකම්ම අදහස් ප‍්‍රකාශ කිරීමක් නොවේ. එය ජාත්‍යන්තරයට ගෙන යාමක් වේ.

දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More