පුරවැසි කොලම

පසුගිය ජනාධිපතිවරණයේ දී මෙම රජයටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ලැබුණු ජනවරමේ ප්‍රබල සාධකයක් වූයේ එම්.සී.සී ගිවිසුමයි. ඒ අනුව එම්.සී.සී. ගිවිසුම ඉරා දැමීම මෙම ආණ්ඩුවට ඡන්දය දුන් බහුතර ජනතාවගේ අභිලාෂය වූ බවට අමුතුවෙන් කිව යුතු නැත. එමෙන් ම එම්.සීසී. ගිවිසුම මෙතෙක් අත්සන් කොට නැති නිසා එම ගිවිසුමෙන් ඉවත් වීම රජයට සහ කැබිනට් මණ්ඩලයට ඒ තරම් අපහසු කාර්යයක් වන්නේ ද නැත. එමෙන් ම එම්.සී.සී. ගිවිසුමෙන් ඉවත් වීම සඳහා තම පූර්ණ සහාය ලබා දෙන බවට විපක්ෂය ද මේ වන විට පවසා ඇත. ඒ අනුව අවශ්‍ය නම් එම්.සී.සී ගිවිසුම සම්බන්ධ ක්‍රියාවලියෙන් ඉවත් වීමට රජයට කිසිදු බාධාවක් නැත.

කෙසේ වුවත් මේ වන විට රජය සිදු කොට ඇත්තේ සිය ජනවරම අනුව යමින් එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් සෘජු ස්ථාවරයකට නොයා මේ ගිවිසුම පිළිබඳ සොයාබැලීමට කමිටුවක් පත් කිරීමයි. මෙම කමිටුවේ ප්‍රධානත්වය දැරුවේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් වන අතර ඩී.ඒ. ජයවීර, නාලක ජයවීර ඇතුළු පිරිසක් එහි සාමාජිකයෝ වශයෙන් කටයුතු කළහ. එසේ වුවත් බරපතළ අඩුපාඩු සහ දුස්තොරතුරු සහිතව ඉදිරිපත් වී ඇති එම වාර්තාව නිසා එම්.සී.සී හා බැඳුණු සමස්ත ක්‍රියාවලිය ම අනවශ්‍ය පරිදි සංකීර්ණ වී තිබේ.

දැන් මම සදොස් වාර්තාව කැබිනට් මණ්ඩලය විසින් අධ්‍යයනය කොට තීරණයක් ගත යුතු ය. මේ සඳහා බොහෝ දුරට නව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් අතුරෙන් පිරිසක් තෝරා ගෙන කමිටුවක් පත් කෙරෙනු ඇත. මෙය අනවශ්‍ය පරිදි ‘කෙහෙල් පැළය’ වටේ යාමක් මිස වෙනත් කිසිවක් නොවේ.

මෙම වාර්තාවේ ඇති මූලික ගටලුකාරී තැනක් වන්නේ පසුගිය සමයේ මෙම වැඩසටහන සඳහා ඩොලර් මිලියන 10ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා දුන් බවත් එම මුදල්වලට සිදු වූ දෙයක් සොයා ගත නොහැකි බවටත් දැක්වෙන සඳහනයි. මෙය මුළුමනින් ම අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශයකි. එම්.සී.සී. ගිවිසුමට අදාළ මූලික කටයුතු සඳහා ඩොලර් මිලියන 10ක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් මුලින් එකඟතාවක් තිබුණත් 2018 ඔක්තෝබර් මාසයේ උද්ගත වූ දේශපාලන ව්‍යාකූලත්වය සහ ඉන් අනතුරුව රටේ පැවති තත්ත්වය මත ඒ කිසිවක් සිදු වූයේ නැත. මේ අනුව ගුණරුවන් කමිටු වාර්තාවේ අඩංගු ඉහත කරුණ මුළුමනින් ම දුස්තොරතුරකි. ඒ බව ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයද ට්විටර් පණිවිඩයක් හරහා තහවුරු කොට ඇති අතර මෙම වාර්තාව සැපයූවන් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

මෙබඳු දුස්තොරතුරක් සිය වාර්තාවට එක් කිරීම මගින් ගුණරුවන් කමිටුව පෙන්නුම් කර ඇත්තේ ඔවුන් මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විධිමත් අධ්‍යනයක් සිදු නොකොට මෙම වාර්තාව සකසා ඇති බවයි. නො එසේ නම් මෙම කරුණ පිළිබඳ සත්‍ය වසං කොට මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බවයි. මේ දෙකෙන් කුමක් සිදුවුවත් එහි අවසන් ප්‍රතිඵලය වන්නේ මෙරට තීරණ ගැනීමේ ඉහළම බල අධිකාරය වෙත වැරදි තොරතුරු ලබා දීම ය.

එමෙන් ම මෙම ගිවිසුම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව විසින් 2018 ඔක්තෝබර් මාසයේ ලබා දෙන ලද නිරීක්ෂණ සහිත ලිපියක් මේ වන විට ප්‍රසිද්ධියට පත් වී ඇත. එම ලිපියෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පවසා ඇත්තේ එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම හෝ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් නීතිය ප්‍රකාරව කිසිදු බාධාවක් නැති බවයි.

එසේ ම MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කොට ඇති ශ්‍රී ලාංකීය නියෝජිතායතනය ලාභ නොලබන සමාගමක් ලෙස ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සුදුසු බව ද එම ලිපියේ සඳහන් වේ. වසර දෙකකට පමණ පෙර ලබා දුන් එම නිර්දේශ ඇතුළත් ලිපිය වැදගත් වන්නේ ඒ සම්බන්ධයෙන් කිසිදු සඳහනක් ගුණරුවන් කමිටු වාර්තාවේ නොමැති නිසා ය. මෙම කරුණ පිළිබඳ අධ්‍යයනය කළ කමිටුව මෙම නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් නිර්දේශ ඇතුළත් ලිපිය ලැබී නැතැයි සිතිය නොහැක.

මෙම වාර්තාවේ අඩංගු වූ තවත් කරුණක් වන්නේ එම්.සී.සී. ව්‍යාපෘතිය යටතේ ඉඩම් සම්බන්ධ වැඩසටහන් ක්‍රියාත්මක වූ පීරූ, උගන්ඩාව සහ සියෙරා ලියොන් වැනි රටවල බලවත් ගැටලු මතු වූ බවයි. එහෙත් අප කළ සොයාබැලීම්වලින් අනාවරණය වූයේ මෙම රටවල්වල එම්.සී.සී. ආධාර යටතේ ඉඩම් සම්බන්ධ වැඩසටහන් ක්‍රියාත්මක නොවූ බවයි, මෙය ද විද්වත් කමිටු වාර්තාවේ නිර්දේශ පිළිබඳ බරපතළ සැක සංකා මතු කරවන තැනකි.

ගුණරුවන් මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටු වාර්තාවේ නිරන්තරයෙන් උත්සාහ දරා ඇත්තේ එම්.සී.සී. ගිවිසුම ඇක්සා සහ සෝෆා යන ගිවිසුම් සමග සම්බන්ධ කරළීමට ය. මෙම ගිවිසුම මගින් ඉතා ම පහැදිලි ලෙස තහවුරු කර ඇති කාරණයක් වන්නේ එම්.සී.සී. ගිවිසුම කිසිදු ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ නැති බවට ය. එමෙන් ම මේ යටතේ තානාපති මුක්තිය හිමි වන්නේ එම්.සී.සී. කාර්ය මණ්ඩලයේ සේවය කරන ඉහළම ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් දෙදෙනකුට පමණකි. වෙනත් කිසිවකුට එබඳු මුක්තියක් හිමිවන්නේ නැත. ඒ අනුව මෙමගින් ඇමරිකානු හමුදා සමාජිකයන්ට තානාපති මුක්තිය හිමිවන බවට ගෙන යන ප්‍රචාරය මුළුමනින් ම පදනම් විරහිත එකකි.

මෙහිදී සලකා බැලිය යුතු තවත් කරුණක් වන්නේ මෙම ගිවිසුම යටතේ විදේශික සමාගම්වලට මෙරට ඉඩම් කොල්ලකා ගැනීමට ඉඩ සැලසේ ද යන්න ද පුළුල්ව විමසා බැලිය යුතු කාරණයකි. ශ්‍රී ලංකාවේ ඉඩම් පිළිබඳ නීති ඉතා ශක්තිමත් වන අතර විදේශිකයන්ට සිතැඟි පරිදි මෙරට ඉඩම් මිලදී ගත නොහැක. මේ සියලු කටයුතු සිදු වන්නේ එම්.සී.සී. කාර්යාලය හරහා නොව ගිවිසුම මගින් යෝජිත දේශීය නියෝජිතායතනය හරහා ය.

එමෙන් ම ඉඩම් අමාත්‍යාංශය, මිනුම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ICTA) මේ සියලු කටයුතු සෘජුව මෙහෙයවයි. ශ්‍රී ලංකාවේ ඉඩම් සම්බන්ධ ව්‍යාපෘතිවල සියලු තොරතුරුවල සියලු හිමිකාරිත්වය දරන්නේ ඉඩම් අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ රාජ්‍ය ආයතන වන අතර විදෙස් පාර්ශ්වයන්ට ඒ සම්බන්ධයෙන් මැදිහත් විය හැකි ඉඩක් ගිවිසුම හරහා දක්නට නොලැබේ.

එම්.සී.සී. නිසා මහත් ආන්දෝලනයකට තුඩු දුන් ත්‍රිකුණාමලය සහ කොළඹ අතර ආර්ථික කොරිඩෝව ඇමරිකාවේ නිර්මිතයක් නොව ශ්‍රී ලංකා රජයේ ම සංකල්පයකි. මෙය 1980 දශකයේ සිට විවිධ රජයන් යටතේ වර්ධනය වූ සංකල්පයක් වන අතර මෙය එම්.සී.සී වැඩසටහන සඳහා යෝජනා කරන ලද්දේ ද මෙරට රජය විසිනි. එමනිසා මෙය ඇමරිකා එක්සත් ජනපදයේ වුවමනාවට සකස් කරන ලද ‘කොරිඩෝවක්’ ය යන්න ජනතාව නොමග යැවීමට උත්සාහ කිරීමකි.

කෙසේ වුව ද එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් වත්මන් රජය පසුගිය රජයේ ඉදිරිපත් කළ මතයත් ඒ සඳහා ලැබුණු ජනවරමත් ඉතා ම පැහැදිලිය. එම ජනවරම මත පදනම් ව මෙම ගිවිසුම සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගැනීම වෙනම එකකි. එහෙත් මේ සිදු වන්නේ දුස්තොරතුරුවලින් පිරි ඊනියා විද්වත් වාර්තාවක් හරහා මෙම එම්.සී.සී. හා සම්බන්ධ ක්‍රියාවලිය අනවශ්‍ය ලෙස සංකීර්ණ කිරීමකි. එමෙන්ම පසුගිය රජය විසින් ගන්නා ලද යම් යම් තීරණ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මත පදනම් වූ වැරදි චිත්‍රයක් මවා පෑමේ දේශපාලන ව්‍යාපෘතියක් ද ඒ තුළ ඇති බව පැහැදිලි ය.

එමනිසා රජය දැන් නොපමාව සිදු කළ යුත්තේ එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් තමන්ගේ සෘජු ස්ථාවරය නොපමාව ජනතාවට හෙළිදරව් කිරීම ය. කොරෝනා අර්බුදයෙන් පසු රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන මේ අවස්ථාවේ රජය මෙම ඇ.ඩො. මිලියන 500කට ආසන්න ප්‍රදානය ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ බව නොසඟවා ජනතාවට හෙළිදරව් කළ යුතු ය. ඊනියා විද්වත් වාර්තා හරහා දුස්තොරතුරු සමාජගත කිරීම හරහා තවත් කල්මැරීම නිසා සිදුවන්නේ මේ ප්‍රශ්නය තව තවත් අවුල් සහගත වීම පමණකි.

Aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More