මෙරට ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙක අතර මෑතක් වනතුරුම රැඳී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවනුයේ අද වැනි දිනකය. එනම් සැප්තැම්බර් 02 වැනිදාකය. අදට එම පක්ෂයට වයස අවුරුදු 69ක් සපිරේ. ගෙවුනු දශක 7කට ආසන්න කාලයේ මෙරට දේශපාලන වංශ කථාවේ අටලෝ දහමට සාක්ෂියක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුන්කල් භූමිකාව පිළිබඳව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සමගින් කළ සාකච්ඡාව මෙසේ විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවුරුදු 69 ක් සම්පූර්ණ වෙන මොහොතේ ඒ වෙනුවෙන් සංවත්සර උත්සවයක් පැවැත්වෙන පාටක් නෑ. ඇයි ඒ?
ඇත්තෙන් ම කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක, අපි මේ පාර සංවත්සරය උත්සවාකාරයෙන් සැමරීමක් කරන්නෙ නෑ. නමුත්, ඒ වෙනුවෙන් ආශිර්වාදාත්මක පින්කම් මාලාවක් පවත්වන්න සූදානම් කරලා තියෙනවා. පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ පින්කම් මාලාවේ ප්‍රධාන පිංකම කරන්නේ බෙල්ලන්විල රජමහා විහාරයේ. ඊට සමගාමීව කතෝලික පල්ලි, ඉස්ලාම් පල්ලි සහ හින්දු දේවස්ථානවලත්, තවත් බෞද්ධ වෙහෙර විහාර ගණනාවකත් ආගමික වැඩසටහන් ගණනාවක් ම පැවැත්වෙනවා. අපේ පක්ෂයේ සභාපති, ලේකම් ඇතුළු සියලුම නායකකාරකාදීනුත්, දිස්ත්‍රික් සහ ආසන සංවිධායකයිනුත්, මේ දවස්වල ඒ පින්කම් මාලාවේ කටයුතු සූදානම් කරමින් ඉන්නවා.
පක්ෂයේ මීළඟ මහා සම්මේලනය පැවැත්වෙන්නෙ කොයි කාලෙ ද?
තවමත් දින වකවානු තීරණය කරලා නෑ. විශේෂයෙන් ම වර්තමානයේ පවතින කොවිඩ් වසංගත අවදානම පහ වුණායින් පස්සෙ තමයි, මහ සම්මේලනය කැඳවන්න වෙන්නෙත්. ඒ වගේ ම ඒ වෙනුවෙන් මධ්‍යම කාරක සභාවත් තීරණයක් ගතයුතු ව තියෙනවා. කොහොම වුණත් ළඟදි නම්, මහා සම්මේලනයක් පැවැත්වෙන එකක් නැහැ.
අවුරුදු 69 ක් තිස්සෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආ මග දෙස ආපසු හැරී බැලීමක් කරනවා නම්…?
1951 අගෝස්තු මාසෙ 21 වැනිදා ලංකාදීප පත්තරේ දැන්වීමක් දාලා තමයි, ඒ අවුරුද්දෙම සැප්තැම්බර් 2 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන්නෙ. එදා 10,000 කට වඩා වැඩි පිරිසක් කොළඹ නගර ශාලාවට රැස්වෙලා තියෙන බවට ඉතිහාසය සාක්ෂි දරනවා. ඉන් අනතුරුව මැතිවරණවලට මුහුණ දෙමින්, ඒවායින් සමහරක් ඒවා ඉහළින් ජයගත්තා. ඒ වගේම පරාජය ලැබූ අවස්ථා ධෛර්යවන්තව විඳදරා ගත්තා.
ඒ වගේම නිදහස් පක්ෂය විසින් නායකත්වය දුන් සෑම ආණ්ඩු කාලයක් තුළ ම මේ රටේ ජනතාව වෙනුවෙන් විශාල වූ කාර්යභාරයන් රැසක්ම කරලා තියෙනවා. නිදහසින් පස්සෙ ශ්‍රී ලංකා ආර්ථිකයට මානවවාදී මුහුණුවරක් දුන්නෙ අපි. ඒ වගේම ලංකාව සමාජවාදී ලෝකයට යා කළෙත් අපි. අධ්‍යාපනය පැත්තෙන් ගත්තම, ‘ස්වභාෂා අධ්‍යයනය’ පටන්ගත්තෙ අපි. පිරිවෙන් අධ්‍යාපනයත් නගාසිටෙව්වා. කුඹුරු පනත ගෙනැවිත්, අඳ ගොවියාගේ අයිතිය සුරක්ෂිත කළා. 56 කම්කරු ඇමැතිවරයා වුණු ඉලංගරත්නගේ මගපෙන්විම යටතේ ‘අර්ථසාධක අරමුදල’ ආරම්භ කිරීමත් නිදහස් පක්ෂ ආණ්ඩුවකින් සිද්ධ වුණු ඓතිහාසික කාර්යභාරයක්. අදටත් මේක අපේ පෞද්ගලික ආංශයේ සේවක සේවිකාවන්ට විශාල හයියක්. බස් ජනසතු කරමින්, පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කරන්නෙත් අපේ ආණ්ඩුවකින්.
ඊට අමතරව, නාමික නිදහසින් පසුවත් ලංකාව තුළ ක්‍රියාත්මක වුණු බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ආදිය ඉවත් කරලා, ලංකාවට පූර්ණ ස්වෛරී නිදහස දිනා දුන්නෙත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ ආණ්ඩුවකින්. ඒ වගේම 70 දශකයේ ලංකාවේ ආරම්භ වුණු, ටයර්, වානේ, යකඩ, ලෝහ, කඩදාසි, තුනී ලෑලි වගේ කර්මාන්ත ඇරඹෙන්නෙත් අපේ පක්ෂ ආණ්ඩුවක් යටතේ. මේ කාලයේ පෞද්ගලික අංශයත් රජයේ අනුග්‍රහය යටතේ ස්කූටර්, ට්‍රැක්ටර් රථ ආදියත් නිෂ්පාදනය කරන්න පටන්ගන්නවා.
1977 න් පස්සෙ අවුරුදු 17 ක් එක දිගට ලංකාව පාලනය වෙන්නෙ, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින්. මේ කාලයේ එ.ජා.ප. ආණ්ඩුව ජ.වි.පෙ. කැරැල්ලේ දෙවැනි අදියරට සහභාගී වූ තරුණ තරුණියන් කෙරෙහි විශාල භීෂණයක් මුදාහරිනවා. ඒ වගේ ම නිදහස් පක්ෂ නායිකාවගේ ‘ප්‍රජා අයිතිය’ පවා අහෝසි කරනවා. නිසි කාලයේ මැතිවරණ ප්‍රකාශයට පත්කිරීම් පවා කල් දමමින්, ඒකාධිපතිවාදයක් කරා රට අරගෙන යනවා. මේ කාලයේ අපේ පක්ෂයත් විශාල පසුබෑමකට ලක්වෙනවා. නමුත් ඉන් පස්සෙ අපි නැවත 1994 දී බලයට පත්වෙලා, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රිපාල සිරිසේන යන ජනාධිපතිවරුනුත් එක්ක ඉදිරියට ආවා.
නමුත් මේ පක්ෂය 2016 වසරේ දී දෙකට කැඩෙනවා. ‘බණ්ඩාරනායක ප්‍රතිපත්ති’ මත ඉදිරියට ආ පක්ෂයට එ.ජා.ප. හිතවාදී ‘සිරිසේන ප්‍රතිපත්ති’ ඔරොත්තු දුන්නෙ නෑ…
ඓතිහාසික වශයෙන් අපේ පක්ෂය, කැඩුණු වැටුණු අවස්ථා ඕනෑ තරම් තිබුණා. මේ අතරෙ පක්ෂ මහ ලේකම්වරයා ම පක්ෂය හැර ගිය අවස්ථා කිහිපයක්ම තිබුණා. 2015 වන විට ආණ්ඩු බලයේ හිටපු අපේ පක්ෂයේ ම පිරිසකට තිබුණු දූෂණ අක්‍රමිකතා චෝදනා නිසා විශාල ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණු බව, හැමෝටම මතක ඇති. ඒ වගේම ඊට එරෙහිව විශාල මහජන රැල්ලකුත් නැගුණා. ඇත්ත වශයෙන්ම මෛත්‍රිපාල සිරිසේන කළේ, ඒ රැල්ලත් එක්ක එකතු වුණු එක විතරයි. එහෙම නැතුව එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඇතුළට කාවැද්දුවේ නැහැ.
කොහොම වුණත්, ඡන්දෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් ‘ජාතික ආණ්ඩුවක්‘ හැදුවා. ඒකට එකඟ විය නොහැකි පිරිසක් පක්ෂය හැර ගිහින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදුවා. නමුත් දැන් අපි ආයෙත් එකට වැඩ කරනවා.
ඔබ කියන විදියට, දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක ‘එකට’ වැඩකරනවා. ඒ වුණත් ඉතිං ‘දෙගොල්ලො’ අතරෙ ප්‍රශ්න නැත්තෙම නැහැ නේ ද?
ඔබ කියන එක හරි. ප්‍රශ්න තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු.
ඇත්තටම, මේ කියන ‘එකට වැඩ කිරීමේ’ එකඟතාව අපි දෙගොල්ලො අතරෙ ඇතිවෙන්නෙ, පහුගිය 2020 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන. අපි පක්ෂයක් හැටියට පොදු ජන එක්සත් පෙරමුණත් එක්කත්, ජනාධිපති අපේක්ෂකයා වුණු ගෝඨාභය රාජපක්ෂ එක්කත් වෙන වෙනම ගිවිසුම් අත්සන් කළා. නමුත් දැන් අපිට හිතල බලන්න වෙනවා, ඒ ගිවිසුම්වල තිබුණු දේවල් ඒ විදියටම වෙනවද කියලා.
මහ මැතිවරණයට ඉදිරිපත් වෙන අපේ අපේක්ෂකයන්ට, පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගෙන්, නොයෙක් විවේචන ආවා. ඒ අයට ‘‘ඡන්දෙ දෙන්න එපා’’ කියන කාරණය ප්‍රසිද්ධියෙ ම කිව්වා. ඒත් අපි ඒවා ඉවසගෙන ඡන්දෙ කටයුතු කළා. ඡන්දෙ දිනුවයින් පස්සෙ, දෙන්න පොරොන්දු වෙලා හිටපු ‘ඇමැති තනතුරු’ දුන්නෙත් නෑ. ඒ වගේම ‘ජාතික ලැයිස්තුව’ හරහා පත් කර යැවිය යුතුව තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මග ඇරියා. ඉතිං මම නං කියන්නේ අපි දැන් ඒ ‘ගිවිසුම්’ සමාලෝචනය කරන එක හොඳයි.
ඒ කියන්නෙ, එවැනි ‘ගිවිසුම් සමාලෝචනයකින්‘ පස්සෙ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ‘ආණ්ඩුව‘ හැර ගිහින්, විපක්ෂයට එකතු වෙයි ද?
මම එවැන්නක් අදහස් කළේ නැහැ. නමුත් ‘ගිවිසුම් සමාලෝචනයකින්’ හරි නිවැරදි තක්සේරුවකට එන එක හොඳයි. නමුත් මොනම හේතුවක් හින්දවත්, අපි මේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ අනෙක් කණ්ඩායම් එක්ක එකට හිටගන්නෙ නම් නෑ.
පහුගිය මහ මැතිවරණ ප්‍රතිඵලය දිහා බැලුවම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යාපනෙන් මන්ත්‍රීවරයෙක් ලැබෙනවා.පක්ෂය ඒ පැත්තෙ බොහොම ජනප්‍රියයි වගේ.?
ඔව්. ඒක අද ඊයෙ ලැබුණු ජනප්‍රියත්වයක් නෙවෙයි. 1982 ජනාධිපතිවරණෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ඉදිරිපත් වුණු හෙක්ටර් කොබ්බෑකඩුවටත් යාපනෙන් අති විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. මැතිනිගෙ කාලෙ, එතුමියත් බොහොම ජනප්‍රියයි, යාපනේ. අද ‘අංගජන් රාමනාදන්’ දක්වා ම ඒ ඡන්ද පදනම ඒ විදියට ම පවත්වාගෙන එන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකි වෙලා තියෙන බව 2020 ප්‍රතිඵලයෙනුත් පේනවා. ඒ ගැන ඇත්තට ම සතුටුයි.
මේ දවස්වල එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ ‘නායකත්වය’ පිළිබඳ ලොකු ගැටුමක් තියෙන බව අපිට පේනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘නායකත්ව ප්‍රශ්න’ නැද්ද.? එහෙමත් නැත්නම්, ඒ ප්‍රශ්න පිටතට පේන්නෙ නැද්ද.?
ඇත්තෙන් ම අපේ පක්ෂය ඇතුළෙ, ඒ විදියෙ ‘නායකත්ව අර්බුදයක්’ නම් නැහැ. වත්මන් නායකයා සුදුසු කාලයේ ඉවත් වුණායින් පස්සෙ නව නායකයෙක් පත්කරගැනීම සාමාන්‍ය පරිද්දෙන් සිද්ධවෙයි. කොහොමටත් අපේ පක්ෂ නායකත්වය දැන් ‘පවුල් උරුමයකට’ ලියැවිච්චි එකක් නෙවෙයි නෙ. චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් පස්සෙ, මහින්ද රාජපක්ෂ ට නායක්වය පැවරුණා. දැන් ඒ නායකත්වය දරන්නෙ, සඟ – වෙද – ගුරු – ගොවි – කම්කරු කියන පංච මහා බලවේගයට අයත් වූ ‘ගොවියෙකුගෙ’ පුතෙක්. ඒ කියන්නෙ මෛත්‍රිපාල සිරිසේන. ඉන් පසුවටත් සුදුසු කාලයේ සුදුසු නායකයෙක් පත්වෙයි.
ඒ කියන්නෙ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ‘චන්ද්‍රිකා’ට හෝ ‘බණ්ඩාරනායක පවුල් උරුමය’ අරගෙන එන කිසිම කෙනකුට ඉඩක් නැහැ කියන එක ද?
එහෙම ඉඩක් ගන්න තිබුණු අවසන් අවස්ථාවත් එතුමිය විසින් ම නැති කරගත්තා. ඒ පහුගිය ජනාධිපතිවරණෙ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය පළ කළ අපේක්ෂකයාගේ විරුද්ධවාදියාට පක්ෂ වීම තුළින්. ඡන්ද ප්‍රතිඵල බැලුවම වුණත් පේනවා අත්තනගල්ලෙ පාක්ෂිකයන්වත්, එතුමිය එක්ක නැති බව. මම හිතන්නෙ ඇය අවස්ථා ගණනාවකදි පක්ෂයට ද්‍රෝහි වෙලා, පක්ෂය හැර ගිහින් තියෙනවා. එතුමියට පක්ෂය එක්ක තිබුණු සම්බන්ධය නැතිකරගත්තෙ ඇය විසින් ම යි.
වත්මන් ආණ්ඩුව 20 වැනි ව්‍යස්ථා සංශෝධනය ගෙන ඒමට සැරසෙනව. 2015 යහපාලන ආණ්ඩුව කාලෙ 19 වැනි සංශෝධනය ගෙන එන්න විශාල කාර්යභාරයක් කරපු ශ්‍රීල.නි.ප.ය 20 වැනි සංශෝධනයට සහය පල කරනව ද? නැත්නම් විරුද්ධ වෙනව ද?
අපි යෝජනා කරන්නෙ, 19 වැනි සංශෝධනය හරහා ගෙන ආ ‘තොරතුරු දැනගැනීමේ අයිතිය’, ‘ස්වාධීන කොමිෂන් සභා’ ආදිය හොඳ දේවල්. නමුත් ව්‍යවස්ථාමය වශයෙන් ඒ හරහා විශාල අර්බුද රාශියකුත් ඇති කරලා තිබෙන බව අපි පිළිගන්නවා. ඒ හින්දා 19 වැනි සංශෝධනයෙන් ඇති කළ යහපත ඉතුරු කරලා අයහපත ඉවත් කරන්න සහයෝගය පල කරන්නයි, ශ්‍රී ල.නි.ප.ය තීරණය කරලා තියෙන්නෙ.
ව්‍යවස්ථා සංශෝධනයකින් හරි නව ව්‍යවස්ථාවකින් හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයාට දේශපාලන බල ධුරාවලියේ ‘විශේෂ තනතුරක්’ හදල දෙන්න යනවා කියල ‘රාවයක්‘ යනවා. ඒක ඇත්ත ද.?
එවැන්නක් ගැන නං අපි තාම දන්නෙ නෑ.
සුරේඛා සමරසේන
Aruna
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...