පුරවැසි කොලම

රට කරවන 20 මෙන්න

September 4, 2020 5:52 am | Lanka Lead News

*ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු සභාව වෙයි

*කැබිනට් මණ්ඩලයේ සීමා ඉවතට

*කොමිෂන් සභා 4 ක් අහෝසියි

*කොමිෂන් සභාවලට සාමාජිකයන් නම් කිරීමේ බලය ජනපතිට

සාමාන්‍ය ජනතාව අතර විශාල කතාබහක් නොමැති වුද, මේ දිනවල දේශපාලනඥයන් අතර මෙන්ම ජනමාධ්‍යවලද වැඩිපුරම කතාබහට ලක්වන මාතෘකාවක් වී ඇත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමය.

19 අහෝසි කිරීම පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී ද වත්මන් ආණ්ඩු පාර්ශ්වය ශපත කර ජනතාවට ලබාදුන් පොරොන්දුවකි. ජනතාව ආණ්ඩුවට මෙවර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (පාර්ලිමේන්තුවේ ආසන 150 ක) බලයක් ලබා දී ඇත. (ආණ්ඩුවට සහාය දක්වන සියලුම මන්ත්‍රීවරුන් එක්කොට ගත් කල) ආණ්ඩුව පවසන්නේ තමන් ජනතාවට ලබාදුන් පොරොන්දු අතුරින් ‘19 අහෝසි කිරීම’ට ප්‍රමුඛත්වය ලබා දෙමින් කඩිනමින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන බවයි.

ඒ අනුව දැන් ආණ්ඩුව 19 වැනි සංශෝධනය පරිච්චින්න කිරීම වෙනුවෙන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත රැගෙනවිත් තිබේ. පෙරේදා (2 වැනිදා) රැස් වූ කැබිනට් මණ්ඩලයට අධිකරණ ඇමැතිවරයා විසින් එම කෙටුම්පත ඉදිරිපත් කළ අතර, ඊට ඇමැතිවරු ඒකමතිකව අනුමැතිය ලබා දුන්හ. එම අනුමැතියෙන් අනතුරුව කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා මුද්‍රණය කිරීම සඳහා ඊයේ (3 වැනිදා) රජයේ මුද්‍රණාලය වෙත යොමු කෙරිණි.

දැන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර ඒ වෙනුවට 20 වැනි සංශෝධනය ගෙන ඒමට ආණ්ඩුව කෙටුම්පත් කර ඇත්තේ කුමන සංශෝධනද? ඒ පිළිබඳ අවධානය යොමුකරන විට පුළුල් ලෙස අවධානය යොමු වන්නේ 19 යටතේ සම්පාදනය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ එමගින් ක්‍රියාත්මක කොමිෂන් සභාවන්ය. දැන් 20 ඔස්සේ මූලිකවම 19න් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව’ යනුවෙන් නම්කළ එම සභාව ‘පාර්ලිමේන්තු සභාව’ යනුවෙන් අලුතින් නාමකරණය කර තිබේ. ඉන් අනතුරුව 19 යටතේ ස්ථාපනය කර තිබූ කොමිෂන් සභා 11 අතුරින් හතරක් ඉවත් කරමින් 20 යටතේ කොමිෂන් සභා හතක් පමණක් නැවත ස්ථාපනය කර ඇත. 20න් ඉවත්කර ඇත්තේ විගණනසේවා, ජාතික ප්‍රසම්පාදන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන හා රාජ්‍ය සභා යන කොමිෂන් සභා හතරයි. ඒ අනුව 20 යටතේ පවතින්නේ මැතිවරණ, රාජ්‍ය සේවා, ජාතික පොලිස්, ශ්‍රී ලංකා මානව හිමිකම්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන, මුදල් හා සීමා නිර්ණය යන කොමිෂන් සභා 07 පමණි.

20 මගින් උක්ත කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත්කිරීමේ ක්‍රමවේදය සංශෝධනයට ලක්කර ඇත. 19 යටතේ මෙම කොමිෂන් සභාවල ධුරයන් වෙනුවෙන් නාමකරණය සඳහා ජනාධිපතිවරයාට අභිමතය පැවැති නමුත්, එම නම් අනුමත කිරීමේ බලය පැවැතියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටයි. 20 මගින් එම නම් කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා වෙත ලබා දී ඇත. කෙසේ වෙතත් මෙම පත් කිරීම්වලදී ජනාධිපතිවරයා විසින් අගමැති, කථානායක, විපක්ෂ නායක, අගමැතිගේ නාමිකයකු සහ විපක්ෂ නායකගේ නාමිකයකු යන පිරිසගෙන් සමන්විත ‘පාර්ලිමේන්තු සභාවේ’ නිරීක්ෂණ ඉල්ලා සිටිය යුතුය.

එසේම පාර්ලිමේන්තු සභාව සඳහා අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වන දිනයේ සිට සතියක කාලයක් ඇතුළත සිය නියෝජිතයන් නම් නොකළහොත් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තමන්ට අභිමත මන්ත්‍රීවරු දෙදෙනකු නම් කිරීමට කථානායකවරයාට බලය ලබාදී තිබේ. ජනාධිපතිවරයා එසේ නිරීක්ෂණ ඉල්ලා ඇති අවස්ථාවක දින හතක කාලයක් ඇතුළත එකී නිරීක්ෂණ ලබා නොදුනහොත් වහාම කොමිෂන් සභා සඳහා පත්කිරීම් සිදුකිරීම ජනාධිපතිවරයා විසින් සිදුකළ යුතු බවද 20 වැනි සංශෝධනයේ සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තිය යටතේ මීට පෙර ජනාධිපතිවරයා විසින් නිල තත්ත්වය මත කරන ලද හෝ නොකර පැහැර හැරි’ කටයුත්තක් වෙනුවෙන් නීතිපතිවරයාට විරුද්ධව (126 වගන්තිය යටතේ) ‘ඉල්ලීමක් කිරීමට’ පැවැති හැකියාව 20 වැනි සංශෝධනයෙන් ඉවත් කර, ජනාධිපතිවරයාට එරෙහිව නඩුපැවරීමේ ප්‍රතිපාදනය සංශෝධනයට ලක්කර තිබේ.

එසේම මීට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාගේ නිර්දේශ මත පත් කිරීම් සිදුකළ අග්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ විනිසුරුවන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන්, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන්වරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා පත්කිරීම මින් ඉදිරියට 20 යටතේ පත් කරීමට බලය ලබාදී ඇත්තේ ජනාධිපතිවරයාටය.

19 වැනි සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට, අමාත්‍යවරුන්ගේ විෂයයන් සහ කාර්යයන් තීරණය කිරීමේදී ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාගේ නිශ්චය කිරීම (අනුමැතිය) ලබාගත යුතුය, යන වගන්තිය 44(2) ඇතුළත් කර තිබුණද 20 වැනි කෙටුම්පත යටතේ අගමැතිවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි සලකන අවස්ථාවේදී පමණක් ජනාධිපතිවරයා අගමැතිවරයා විමසිය යුතුය. එසේම 20 යටතේ ජනාධිපතිවරයාට ඇමැතිවරුන් සතු යම් විෂයක් හෝ කාර්යයක් තමාට පවරාගත හැකි අතර ඇමැතිවරයකුට පවරනු නොලැබූ විෂයක් හෝ කාර්යයක් තමා භාරයේ තබාගත හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(1) (අ) සහ (ආ) වගන්ති යටතේ දැනට සඳහන්ව ඇති ආකාරයට අමාත්‍ය මණ්ඩලයේ මුළු ඇමැතිවරු සංඛ්‍යාව 30 නොඉක්මවිය යුතු අතර, කැබිනට් නොවන ඇමැතිවරුන්ගේ සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 40 නොඉක්මවිය යුතුය. 20 වැනි සංශෝධන කෙටුම්පතින් එම වගන්තිය ඉවත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 56(1) අනු ව්‍යවස්ථාවේ දැනට සඳහන් වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් රාජ්‍ය සේවයේ නිලධරයන්ගේ පත්කිරීම් ස්ථානමාරු ඇතුළු විෂයයන් පාලනය කිරීමටද කොමිසම විසින් නිශ්චය කළ යුතුය. 20 වැනි සංශෝධනය ඔස්සේ එම කාර්තව්‍ය අමාත්‍ය මණ්ඩලයට පවරා ඇත. එලෙසින් 57(1) අනු ව්‍යවස්ථාවේ පැවැති කොමිෂන් සභාවේ නියමයන්ද අමාත්‍ය මණ්ඩලයේ නියමයන් ලෙස 20 වැනි සංශෝධනය මගින් වෙනස් කර තිබේ.

19 වැනි සංශෝධනය යටතේ හඳුන්වා දුන් ප්‍රතිපාදනවලට අනුව (70(1) ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමේ බලය පැවැතියේ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හතරකුත් මාස හයක් ගතවී‍මෙන් අනතුරුවය. එහෙත් 20 මගින් පාර්ලිමේන්තුවට වසරක් (මාස 12ක්) ගතවීමෙන් අනතුරුව අසීමිත අවස්ථාව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ලබාදී ඇත.

20 වැනි සංශෝධන කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 වැනි ව්‍යවස්ථාව සංශෝධනයට ලක්කරමින් පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන පනත් කෙටුම්පතක් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ජනමත විචාරණයක් වෙනුවෙන් මහජනතාව වෙත ඉදිරිපත් කිරීමේ බලයද ලබාදී ඇත. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 සංශෝධනය මගින් එක්කළ එහි 91 (XIII) අනුවගන්තියේ සටහන් වූ ‘‘වෙනත් රටක පුරවැසියකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියකු’’ (ද්විත්ව පුරවැසියකු) හට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වීමේ නුසුදුසුකම 20 වැනි කෙටුම්පත මගින් ඉවත්කර තිබේ. ඒ අනුව ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තුවට තේරීපත්වීමට නොහැකියාව අහෝසි කිරීමට යෝජනා වී ඇත.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා පුරවැසියකු සපුරා තිබිය යුතු වයස් සීමාව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව (92 (අ) ඡේදය අනුව) තිස්පහක් විය. 20 වැනි සංශෝධනය මගින් එම වයස් සීමා තිහ යනුවෙන් වෙනස් කර තිබේ.

මැතිවරණයක් පවතින කාලසීමාවේදී මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයට යටත් කොට පැවැති රාජ්‍ය මාධ්‍ය ආයතන පිළිබඳ සඳහන් කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 (ආ) වගන්තිය 20 වැනි සංශෝධනය මගින් වඩාත් පුළුල්කර ඇත. ඒ අනුව දැන් 104 (අ) වගන්තිය යටතේ සියලුම ගුවන්විදුලි, රූපවාහිනී හෝ ප්‍රවෘත්ති පත්‍ර ආයතනවල හිමිකරුවන් හෝ ප්‍රකාශකයන් මැතිවරණ කොමිෂන් සභාවේ උපමානවලට යටත් කොට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වැනි සංශෝධනය මගින් මෙතෙක් ඉවත් කර තිබූ 122 වගන්තිය නව ප්‍රතිපාදන සහිතව නැවත හඳුන්වා දී තිබේ. ඒ අනුව ‘ජාතියේ හිත සුව පිණිස’ වහා අවශ්‍ය වන්නා වූ පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන්නේද යන්න නිශ්චය කිරීම වෙනුවෙන් අගවිනිසුරුවරයා වෙත ‍(‍ශ්‍රේෂ්ඨාධිකරණයට) යොමු කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට ලබාදී ඇත. අදාළ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය කැඳවනු ලැබ පැය 24ක් ඇතුළත ජනාධිපතිවරයාට හෝ කථානායකවරයාට පමණක් දැනුම්දිය යුතු බවද 122 (ඇ) ව්‍යවස්ථාව මගින් දක්වා ඇත.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දුන් තොරතුරු දැන ගැනීමේ පනත, ජනාධිපතිවරයාට දෙවරකට වඩා ජනාධිපතිවරණයට තරග කළ නොහැකිවීම සහ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර පහකට සීමා කිරීම පමණක් 20 වැනි සංශෝධන කෙටුම්පතට ඇතුළත් කර තිබීමද විශේෂත්වයකි.

Aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More