පුරවැසි කොලම

කාන්තාවන් මැදපෙරදිග යවා රැගෙන ආ අහිමි වීමට නියමිත විදේශ විනිමය රැගෙන ආ හැක්කේ දේශීය කර්මාන්තකරුවාට පමණයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘‘ශ‍්‍රී ලංකාවේ නිපැයුම් යුගයක්” යන සංකල්පය ඉදිරියට ගෙන එමින් 1977 න් පසුව දේශීය නිෂ්පාදන මත පදනම් වන ආර්ථිකයකට සීරු මාරු වීමට උත්සාහ කරන්නේ කොවිඞ් 19 වසංගතය ලෝකය පුරා පැතිරීම හේතු කොටගෙන ලෝකයේ බොහෝ රටවල් ”දේශීය නිෂ්පාදන” කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇති මොහොතකයි. එවැනි ලෝක තත්ත්වයක් යටතේ ජනාධිපති තුමාගේ මේ ප‍්‍රවේශය යථාර්ථයක් විය හැකිද?

මෙය ඉතාම කාලෝචිත මෙන්ම ගත යුතුම ප‍්‍රවේශයක්. මෙය අද ඊයේ ආපු සංකල්පයක් නොවෙයි. තිස්ස කාරියවසම් මහත්තයා ගොඩනැගුව” සියරට දේ සිරි සැප දේ” කියා පැමිණි සංකල්පයේ නව ප‍්‍රවේශයක් හැටියට ජනාධිපතිතුමාගේ මේ ප‍්‍රවේශය හැඳින්වූවාට කිසි වරදක් නැහැ. එදා එම සංකල්පීය පදනම මත අපි මේ රට ගොඩ නැගුවා නම් රටක් ලෙස අපි ලෝකයේ ඉන්නේ ගොඩක් ඉදිරියෙන්. දේශීය රෙදිපිළි විශේෂයෙන්ම අත්යන්ත‍්‍ර රෙදිපිළි කර්මාන්තය දියුණු වූයේ මෙම සංකල්පය යටතේ. සළුසල වැනි ආයතන දියුණු වූයේ මේ සංකල්පය යටතේ. අවාසනාවකට ඒ ක‍්‍රමවේදය දිගටම රැගෙන යෑමට නොහැකි වූවා. 1977 දී අපි රටක් ලෙස විවෘත ආර්ථිකය කිසිදු සීමාවකින් තොරව කරපින්නා ගත්තයින් පස්සේ රටේ කර්මාන්තවල තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූවා. එයින් සිදු වුණේ ලෝකයේ සෑම රටකම තිබුණු අතිරික්ත භාණ්ඩ විතරක් නොවෙයි පළුදු වූ භාණ්ඩ වගේම භාවිතයෙන් ඉවත් කළ භාණ්ඩ වලින් පවා අපේ රටේ වෙළෙඳ පොළ පිරී ඉතිරී යන්නට පටන් ගත්තා. මෙම භාණ්ඩ අපේ රටට ආවේ ඒවායේ සැබෑ වටිනාකමට වඩා ඉතා අඩු මිලකට. එයින් සිදුවුණේ ලංකාවේ සුළු හා මධ්‍ය කර්මාන්ත විතරක් නොවෙයි මහා කර්මාන්ත පවා වෙළෙඳ පොළ තරගයට මුහුණ දී ගත නොහැකිව වසා දැමීමට සිදු වූවා. මේ හේතුවෙන් 1977 න් පසුව තිබූ කර්මාන්ත වලින් අතලොස්සක් පමණයි 1977 පස්සේ වසර කිහිපයකට පසුව ඉතිරි වූයේ. උදාහරණයක් ලෙස 1977ට පෙර ලංකාවේ තිබුණු අල්පෙනිති හදන කර්මාන්තශාලා එකක්වත් අද නැහැ. අල්පෙනිති අද ඉතාම අඩු මුදලට අද අපේ වෙළෙඳ පොළට එනවා. මෙහිදී සිද්ධ වෙච්ච නරකම දේ තමයි අපේ විශ්වවිද්‍යාල වලින් පිටවුණු ආර්ථික විශේෂඥයෝ යැයි කියා ගන්නා උදවිය ලෝකයේ කොහේ හෝ රටකින් අඩු මුදලට මිලදීගත හැකි භාණ්ඩ රටට ගෙනා යුතු යැයි කියන මුග්ධ සංකල්පයක් ගෙන ආවා. ඒ අනුව තමන්ගේ රටවල කර්මාන්ත දියුණු කර ගත යුතු යැයි හිතන පාලකයෝ සිටි රටවල් අපනයන සඳහා විශාල වශයෙන් දිරි ගන්වන ක‍්‍රමවේද හඳුන්වා දෙමින් අපේ රටේ පහසුවෙන් නිපදවා ගත හැකි භාණ්ඩ ලංකාවට අපනයනය කළා. ඊට සරිලන ”වසල” වෙළෙඳ කුලයකුත් අපේ රටේ අලූතින් නිර්මාණය වුණා. මේ ක‍්‍රියාදාමය ඇතුළේ අපේ රටේ නිපදවා ගත්ත ”යුනික් ”රේඩියෝව ”උපාලි ෆියට්”, ”උපාලි මැස්ඩා” කාර් නැත්තටම නැති වෙලා ගියා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැගෙන තිබෙන මේ පියවර නිවැරැදිව පණ පිහිටුවා ගත්තොත් ”යුනික්” රේඩියෝව වගේ අපේම සන්නාම අලූතින් සිය ගණනක් නිමාණය කර ගත හැකියි.

ජනාධිපති තුමාගේ සංකල්පය කර්මාන්ත ඇමැතිවරයා වන අමාත්‍ය විමල් වීරවංශ මහතා දැඩිව ග‍්‍රහණය කරගෙන සිටින බවක් බැලූ බැල්මට පෙනෙන්නට තිබෙනවා. වාලච්චේන කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීම සුළු හා මධ්‍යම කර්මාන්තකරුවාගේ ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමට වෙනම දිනයක් වෙන් කිරීම ආදිය මගින් ඔහුගේ උනන්දුව පෙන්නට තිබෙනවා. මේ සම්බන්ධව ඔබතුමාගේ අදහස කුමක්ද?

සත්‍යය වශයෙන්ම එතුමා හොඳ ජවයකින් මෙන්ම එළැඹි සිහියෙන් යුතුව ජනාධිපති තුමාගේ ආර්ථිකය සම්බන්ධයෙන් වූ දැක්ම ඉදිරියට ගෙන යෑමට කටයුතු කරනවා. අපේ කුඩා කාලයේදී එක කොළ කැබැල්ලක් පාරේ විසි කරනු ලැබුවේ නැහැ. ඒවා සියල්ල එකතු කර වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාවට අරගෙන යනවා. ඒවා ප‍්‍රතිචක‍්‍රීකරණයට ලක් කර නිපදවන කඩදාසි වලින් තැනූ පොත පත අපි පරිශීලනය කරනු ලැබුවා. ඒ විතරක් නොවෙයි, අපේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ ප‍්‍රශ්න පත‍්‍ර පවා අච්චු ගසා තිබුණේ අපි එකතු කර යැවූ කඩදාසි වලින්. අවාසනාවකට පසුගිය ආණ්ඩුවේ හිටියේ වෙළෙඳ හා කර්මාන්ත ඇමැති වරයෙක්. එතුමා කඩදාසි වෙළෙඳාම පහසු කිරීමට කඩදාසි කර්මාන්තශාලාව යකඩ වලට විකිණීමට තීරණය කර තිබුණා කියායි මට හැඟුනේ. නව කර්මාන්ත ඇමැති ලෙස වාලච්චෙන කඩදාසි කර්මාන්ත ශාලාව නැවත පණ ගන්වන්නට විමල් වීරවංශ ඇමැතිවරයා කටයුතු කිරීමෙන් විද්‍යමාන වන්නේ එතුමාගේ දේශීය කර්මාන්ත සම්බන්ධව තිබෙන දැනුම ඒ කෙරෙහි වන ආදරය මෙන්ම ජනාධිපති තුමාගේ ප‍්‍රවේශය ජයග‍්‍රහණය කරවීම පිණිස වන දැඩි උනන්දුව කියලයි මම හිතන්නේ. ඊළඟට එතුමා කර්මාන්තකරුවන්ට වෙනම දිනයක් වෙන් කිරීමෙන් පැහැදිලියි එතුමා තුළ දේශීය කර්මාන්තකරුවාගේ ගැටලූව සම්බන්ධයෙන් වන දැක්ම. එතුමාට අවබෝධයක් තිබෙනවා රටක ආර්ථික දේහයේ ශක්තිමත්ම වැදගත්ම අංගය වන්නේ සුළු හා මධ්‍යම කර්මාන්ත බව. තවමත් අපේ රටට විශාලම විදේශ විනිමය රැගෙන එන කණ්ඩායම වන්නේ මැදපෙරදිග ගෘහ සේවිකාවන් ලෙස සිය දහදිය මුගුරු පමණක් නොවෙයි තම රුධිරය පවා හෙලන අපේ කාන්තාවන්. දැන් ලෝකය මුහුණ දෙන නව කොවිඞ් 19 වසංගත තත්වය නිසා විදේශ විනිමය රැගෙන එන අපේ කාන්තාවගේ රැකියා අහිමි වීමට නියමිතයි. ඒ අහිමි වන විදේශ විනිමය රැගෙන ඒමට හැකියාව තිබෙන ශක්තිමත්ම කණ්ඩායම අපේ රටේ සුළු හා මධ්‍යම කර්මාන්තකරුවායි. ජපානයේ නිපදවන ටොයෝටා මෝටර් රථ සමාගම මෝටර් රථ නිපදවන්නේ නැහැ. ටොයෝටා සමාගම කරන්නේ කොටස් එකලස් කිරීම පමණයි. මෝටර් රථයේ සියලූ කොටස් සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත කරුවන් විසිනුයි නිපදවන්නේ. අපේ රටේත් සිටිනවා අති විශිෂ්ට ලෙස මෝටර් රථ වල ආසන නිපදවන කර්මාන්ත කරුවන්. ඒ අනුව සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවාගේ ගැටලූ හඳුනා ගැනීමටත් එම ගැටලූ තමන්ගේ ගැටලූ ලෙස සලකා විසඳුම් සෙවීමටත් ආයතන ව්‍යුහයන් සකස් කිරීමටත් විමල් වීරවංශ අමාත්‍යවරයා ගන්නා උත්සාහය ප‍්‍රශංසනීයයි.

රාජ්‍ය නොවන සංවිධාන සහ සමහර විද්වතුන් සහ උගතුන් පවසනවා ආරක්ෂණවාදී ආර්ථික ක‍්‍රමවේදය අත්හළ යුතුය කියා. ඒ වගේම ඔවුන් පවසනවා මේ ආරක්ෂණවාදී ආර්ථික ක‍්‍රමවේද මගින් විදේශීය තත්ත්වයෙන් උසස් නිෂ්පාදන පාරිභෝගිකයාට පරිභෝජනය කිරීමට ඇති අවස්ථාව අහිමි වනවා කියා. ඒ අනුව ආරක්ෂණවාදී ආර්ථික උපාය මාර්ගය අප රට අනුගමනය කිරීම සම්බන්ධව ඔබගේ අදහස කුමක්ද?

පසුගිය ආණ්ඩුවේ අදහස වූවේත් පිටරටින් ලාබෙට ගෙන්වන්න පුළුවන් දේ අපේ රටේ නිෂ්පාදනය නොකළ යුතු බවයි. එම ආණ්ඩුවේ සමහර ඇමැතිවරු ගණන් හිලව් ඇතිව පෙන්වා දුන්නා වී වගා කරන ගොවියාට පොහොර සහනාධාරය වැනි සහනාධාර නිසාත් රජය ලොකු පිරිවැයක් දරන බව. ඒ අනුව ඔවුන්ගේ අදහස වූවේ අවශ්‍ය සහල් පිටරටින් ආනයනය කළ යුතු බවයි. නමුත් ඔවුන්ගේ කීමට ගොවියා ගොවිතැන අතහැර තිබුණා නම් පසුගිය කොවිඞ් 19 වෛරසය පැතිරී යන සමයේ අපේ රට බරපතළ ආහාර අහේනියකට මුහුණ දෙනවා. ඒ අනුව ආරක්ෂණවාදී උපක‍්‍රමයක් අනුගමනය කළ නිසා තමයි අපි ආහාර අහේනියක් නැතිව බේරී සිටියේ. මා පිටරටින් ආනයනය කරන සියලූ දේ ආනයනය නැවැත්විය යුතු යැයි පවසන්නේ නැහැ. මා පවසන්නේ පිටරටින් හොඳ දේ ආනයනය කරන්න. හැබැයි ඒ ආනයනය කරන සියලූ දේ අපේ රටේ නිපදවනවානම් එම නිෂ්පාදන කඩා වැටෙන මට්ටමේ මිලකට ඒවා අපේ වෙළෙඳපොළට එන එක නැවැත්වීමට බදු ඇතුළු වෙනත් බාධක පනවන්න කියන දෙයයි. පිටරට හොඳ නිෂ්පාදන සමග තරගයක් දීමෙන් පමණයි අපේ රටේ නිෂ්පාදන උසස් තත්ත්වයට පත් වන්නේ. උදාහරණයක් විදියට වැසිකිළි පෝච්චිවල ලාංකික නිෂ්පාදනයේ මිල රුපියල් 1200.00 ක් පමණ වෙනවා. නමුත් ඉන්දියාව එවැනි වැසිකිළි පෝච්චියක් අපනයනය කිරීමට නිෂ්පාදනය කරන විට දෙනු ලබන බදු සහන හේතුවෙන් ඉන්දියාවේ නිෂ්පාදිත වැසිකිළි පෝච්චියක් දේශීය වෙළෙඳ පොළේ රුපියල් 900.00කට පමණ අලෙවි වෙනවා. ඉතින් අපි කියන්නේ එවැනි භාණ්ඩ ආනයනය කරන්නේ නම් එවැනි භාණ්ඩ වලට බද්දක් එකතු කර එම බද්ද දේශීය නිෂ්පාදකයා වෙත සෘජුව හෝ වක‍්‍රව ලැබෙන වැඩ පිළිවෙළක් සැකසිය යුතුයි කියායි.

සිරිල් මැතිව් මහතා කර්මාන්ත ඇමැතිවරයාව සිටින කාලයේ ජපන් රටෙන් වතුර මෝටර් 2500ක් නොමිලේ ලබා දීමට හැකි බව දන්වා සිටියා. ඒ වන විටත් ජිනසේන සමාගම තත්ත්වයෙන් උසස් වතුර මෝටර දේශීය වෙළෙඳ පොළට නිකුත් කරමින් හිටියා. සිරිල් මැතිව් ඇමැතිවරයා මේ ප‍්‍රදානය සම්බන්ධයෙන් ජිනසේන සමාගම විමසා සිටියා. ඔවුන් පවසා සිටියා අපේ සමාගම වසරකට වතුර මෝටර 250 ක් පමණ නිෂ්පාදනය කරන බවත් ජපානයේ එම ප‍්‍රදානය බාර ගන්නේ නම් ජිනසේන සමාගම වසර 10 කට වසා දමන බවත් සේවකයන්ගේ වගකීම රජයට භාර ගන්නා ලෙසත් පවසා සිටියා. ඒ අනුව සිරිල් මැතිව් මහතා ඒ ප‍්‍රදානය ප‍්‍රතික්ෂේප කර ඒ වෙනුවට අත් ට‍්‍රැක්ටර් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. අන්න එහෙමයි ආරක්ෂණවාදී ක‍්‍රියා මාර්ග අතීත ඇමැතිවරු අරගෙන තිබෙන්නේ. ඒ අනුව රාජ්‍යය නොවන සංවිධාන වල මෙන්ම ඔබ පවසන ආකාරයේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ එවැනි විනාශකාරී යෝජනා මා තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. දැන් කහ ආනයනය තහනම් කර තිබෙනවා. ඒ නිසාම හැම ගෙදරකම කහ වගා කරනවා. ලබන අවුරුද්ද වෙනකොට අපේ රට කහවලින් ස්වයං පෝෂිත රටක් වේවි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා කහ සම්බන්ධයෙන් ගත් ආරක්ෂණවාදී ක‍්‍රමවේදය නිසයි එවැනි ජයග‍්‍රහණයක් රටට ලැබීමට නියමිතව තිබෙන්නේ.

වෙළෙඳ පොළ ප‍්‍රශ්නය විසඳීමෙන් තොරව වැඩමුළු ණය සහන යටිතල පහසුකම් ආදිය පමණක් දීමෙන් සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවා ආරක්ෂා කර ගත හැකිද?

ඔබ නිවැරදියි වැඩ මුළු ණය සහනාධාර යටිතල පහසුකම් පමණක් දීමෙන් කර්මාන්තකරුවා නගා සිටුවන්නට බැහැ. උදාහරණයක් ලෙස විදුලි බල මණ්ඩලය දැන් භාවිත කරන ඩිජිටල් විදුලි මීටරය ප‍්‍රථමයෙන්ම නිර්මාණය කළේ ශ‍්‍රී ලාංකික නිර්මාණ කරුවෙක්. ඔහු ඔහුගේ නිෂ්පාදනය මිලදී ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා. විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටියා ඔහුගේ සමාගමට වසර දහයක අත්දැකීම් ඇති බවට පෙන්වන ලෙස. ඒවන විට ලෝකයේ කිසිම සමාගමකට ඩිජිටල් විදුලි මීටර නිපදවා වසර දහයක අත්දැකීම් තිබුණේ නැහැ. නමුත් ඔවුන් ලාංකීය නිපැයුම්කරුවා අතහැර විදෙස් සමාගම් වලින් ඩිජිටල් විදුලි මීටර මිලදී ගත්තා අදටත් මිලදී ගන්නවා. අඩුම තරමින් ලාංකීය නිපැයුම්කරුවාගෙන් 0.01%ක් මිලදීගෙන තිබුණා නම් අද අපිට කීර්තිමත් නිෂ්පාදකයෙක් සිටිනවා. නමුත් සිරිල් මැතිව් කර්මාන්ත ඇමැතිවරයාව සිටින කාලයේදී නීතියක් තිබුණා යම්කිසි භාණ්ඩයක් රජය මිලදී ගන්නවානම් දේශීය නිෂ්පාදනයේ මිල විදෙස් නිෂ්පාදනයේ මිලට වඩා 15%කින් වැඩි වුවත් එම භාණ්ඩය මිලදී ගත යුතුයි කියා. ඒ අනුව සියලූ දේට වඩා අපේ රටේ සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවා ඉහළ නැංවීමට ලොකුම මිලදී ගන්නා වන රජය සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවාගේ නිෂ්පාදන අනිවාර්යෙන්ම මිලදී ගත යුතුයි.

2006 වර්ෂයේදී දේශීය නිෂ්පාදන වලට මුල්තැන දිය යුතුය කියා මිලදී ගැනීමේ උපදේශන සංග‍්‍රහයේ සඳහන් වී තිබුණා. නමුත් ප‍්‍රසම්පාදන මාර්ග උපදේශන ලේඛනයේදී එය ඉතා සූක්ෂම ලෙස දියාරු වී තිබුණා. ඒ අනුව ප‍්‍රසම්පාදන මාර්ග උපදේශන ලේඛනය පරිහරණය කරන අදාළ නිලධාරියාට බහුජාතික සමාගම් වල නිෂ්පාදන අලෙවි කරන දේශීය ඒජන්තයන්ගේ කොමිස් වලට වෙනත් වරදාන වලට ලොල්වී දේශීය නිෂ්පාදන මිලදී ගැනීම අතහැර විදේශීය නිෂ්පාදන මිලදී ගන්නා දිශාවට තල්ලූවීම වළක්වනු බැහැ. 2019 වර්ෂයේ නිකුත් වූ නව මාර්ග උපදේශන සංග‍්‍රහයේත් කිසිදු වෙනස්කමක් සිදුවී නැහැ. ඒ අනුව එම තත්ත්වය වෙනස් කිරීමට දේශීය නිෂ්පාදකයන් ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා සමඟ සාකච්ඡා කළා. එතුමා ඒ සම්බන්ධයෙන් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. නමුත් සමහර රාජ්‍යය නිලධාරීන් මේවාට අකුල් හෙළීමට ඉඩ තිබෙනවා. එහෙම වුවහොත් නිපැයුම්කරුවන් ලෙස අපේ හඬ අවදි කරනවා. එපමණක් නොවෙයි මේ වන විට බහු ජාතික සමාගම් අපේ රටේ සිල්ලර වෙළෙඳාමටත් අත ගසා තිබෙනවා. ඔබ දන්නවා ලංකාවේ සෑම නගරයකම ”මාතර බත් කඩ” තිබෙනවා. එහි විකුණන්නේ බත් නමුත් දැන් මැක්ඩොනල්ඞ්ස් වෙළෙඳ ජාලය බත් විකුණන්නට පටන් අරන්. මේවා වහාම තහනම් කළ යුතුයි. අපේ හාලින් අපේ බත් කඬේ විකුණන බත් පිටරට බහු ජාතික සමාගමකට සිල්ලරේ විකුණන්නට ඉඩ දිය යුතු නැහැ.

අවසාන වශයෙන් සුළු හා මධ්‍යම මට්ටමේ කර්මාන්ත කරුවා ඵලදායි ලෙස ජාතික ආර්ථිකයට අවශෝෂණය කිරීමට ඔබ කරන යෝජනා මොනවාද?

මා නැවතත් අවධාරණය කරනවා සුළු හා මධ්‍යම පරිමාණ නිෂ්පාදකයා තමයි දේශීය ආර්ථිකයේ කොඳු නාරටිය. ඔහු ආරක්ෂා කර ගැනීම ජාතියේ වගකීමක්. රටේ වාසනාවට ඉහළම බල අධිකාරිය වුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ තත්ත්වය හොඳින්ම තේරුම් ගෙන තිබෙනවා. ඔහුගේ දැක්ම යථාර්ථයක් කළ හැකි ජව සම්පන්න කර්මාන්තකරුවා දෙස විශ්වාසය තබා ඇති ඇමැතිවරයෙක් අපට ලැබී තිබෙනවා. ඒ අනුව මෙම දෙපළ එකතුවී මා මුලින් සඳහන් කළ කරුණු කෙරෙහි අවධානය යොමු කර තවදුරත් කටයුතු කිරීම කළ යුතු වෙනවා. එතැනින් නොනැවතී වෙළෙඳ පොළේ මිල විකෘතිය ඇති කිරීමට ගෙන ඇති සමහර ක‍්‍රියා මාර්ග කොන්දේසි විරහිතව පරාජය කළ යුතු වෙනවා. එසේම ඒවා වෙනස් කිරීමට බාධා පමුණුවන නිලධාරීන් ඇතුළු සියලූම තරාතිරම්වල පුද්ගලයන් හෙළිදරව් කිරීමත් වැදගත්. බොහෝ උගතුන් සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත නගා සිටුවීමේදී අවධානය යොමු කරන්නේ සැපයුම පිළිබඳ පමණමයි. ඉල්ලූම පිළිබඳව වුවමනාවෙන්ම අවධානය යොමු කිරීම මග හරිනවා. ඒ මගින් කූට වෙළෙඳුන් ඇතිකරන වෙළෙඳපොළ මිල විකෘතිය දෙස නෑසූකන් ඇතිව බලා සිටිනවා. අද මේ වනවිට ෆාම් තෙල් ගෙන්වන වෙළෙඳුන් ඔවුන්ගේ මුදල් බලය යොදා ගෙන හෝ වෙනත් ක‍්‍රම අනුගමනය කර පොල්තෙල් මිලෙහි මිල විකෘතියක් පමණක් නොවෙයි ජනතාවට විෂ කැවීමටත් කටයුතු කර තිබෙනවා. ෆාම් තෙල් සඳහා අනිවාර්යෙන්ම බදු පැනවිය යුතුයි. එසේ කළහොත් පමණයි පොල් තෙල් නිෂ්පාදකයා ආරක්ෂා වෙන්නේ. ආනයනික කිරිපිටි වලටත් එසේම කළ යුතු වෙනවා. මේවාට බදු පැනවීමෙන් අපේ ජනයා පිළිකා ඇතුළු බෝ නොවන රෝග වලින් බේරා ගැනීමටත් හැකියාව ලැබෙනවා. මක් නිසාදයත් ආනයනික කිරි පිටි සහ ෆාම් ඔයිල් යන දෙවර්ගයම බෝ නොවන රෝග ඇතිකරන රෝග කාරක බව අද වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී තිබෙන නිසා. ඒ අනුව මිල විකෘතිය ඇති කිරීම, පිටරටින් ගෙන්වන අපේ රටේ නිපදවා ගත හැකි නිෂ්පාදන වලට ලබා දෙන බදුසහන, බාල අමුද්‍රව්‍ය මිශ‍්‍ර කර නිපදවන භාණ්ඩ, බදු වංචාව ආදිය සඳහා ශක්තිමත් නීති හඳුන්වා දීම කළ යුතු වෙනවා. මේ සඳහා රේගු දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශය පමණක් නොවෙයි දේශීය කර්මාන්තකරුවන්ගෙන් සමන්විත ප‍්‍රමිති මණ්ඩලයක් මේ සඳහා නිර්මාණය කළයුතු වෙනවා. අපේ අසල්වැසි රට වූ ඉන්දියාවෙන් හොඳ ආදර්ශයන් ගත යුතුයි. ටාටා බෙන්ස් බස් රථ ටාටා වූ ආකාරය හීරෝ හොන්ඩා බයිසිකලය හීරෝ වූ ආකාරය, කවසාකි බජාජ් බයිසිකලය බජාජ් වූ ආකාරය සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කළ යුතු වෙනවා. ඊළඟට ඉන්දියාවේ ගිනි පෙට්ටි, ඉටි පන්දම්, ඇඳ ඇතිරිලි ආදිය සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් අතින් පමණක් නිපදවීම තුළ ඉන්දියාව පුරා කර්මාන්තකරුවන් බිහිවීමට කටයුතු කර ඇති ආකාරය හැදෑරිය යුතු වෙනවා. අනිත් අතට ඉන්දියාවේ දියර කිරි කර්මාන්තය ලෝකයේ දියුණුම කිරි කර්මාන්තය බවට පත් කළේ නවසීලන්තයෙන් හෝ ඔස්ටේ‍්‍රලියාවෙන් දෙනුන් ආනයනය කරමින්ද නැතිනම් දේශීය කිරි ගොවියා දේශීය කිරි හරකා භාවිත කරද කියා සොයා බලා සිහි නුවණින් කටයුතු කළ යුතු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා විරුද්ධ වෙද්දී ඉන්දියාවට ඔස්ටේ‍්‍රලියාවෙන් සහ නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි වලට 65%ක් තරම් ඉහළ බදු පනවා ඉන්දියාව ලබාගත් ජයග‍්‍රහණය අපි ආදර්ශයට ගත යුතු වෙනවා. ශ‍්‍රී ලංකාව මෙතරම් දුෂ්කර තත්ත්වයක් යටතේත් බටර් වලින් ස්වයංපෝෂිත කිරීමට ශ‍්‍රී ලාංකීය සමාගම් වලට හැකි වූවා නම් රටට අවශ්‍ය කිරිපිටි සහ යෝගට් දේශීය කිරිගොවියාට නවසීලන්ත හෝ ඔස්ටේ‍්‍රලියානු කිරිදෙනුන් නොමැතිව නිෂ්පාදනය කර ගත හැකි බව ජාතියක් ලෙස අපි අපටම අවධාරණය කර ගත යුතු වෙනවා.

සාකච්ඡා කළේ ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More