ගව ඝාතන විරොධී දේශපාලන සටන් පාඨය සහ ගවමස් ආහාරයට ගැනීම අධෛර්යමත් කිරීම හෝ පොදුවේ මාංශ භක්ෂණයට එරෙහිවීම අතර විශාල වෙනසක් ඇත. එම සටන් පාඨය බොහෝ විට ආගම දේශපාලන අවියක් ලෙස යොදා ගත් අන්තවාදි පිරිස් විසින් ඉහළට ඔසවන ලද්දකි. පසුගිය කාලයේදි භික්ෂූන් වහන්සේ නමක් යොදාගනිමින් ගව ඝාතනය තහනම්කරන ලෙසට බල කරමින් සියදිවි නසාගැනිමට සලස්වා රජයට එරෙහිව බෞද්ධ විරෝධයක් ඇවිලවිමට ගනු ලැබු උත්සහාය එවැනි එක් අවස්ථාවකි. ධර්මපාල තුමා පවා ” ගව මස් නොකනු ” යන සටන් පාඨය යොදා ගනු ලැබුවේ ගවමස් බුදින සහ මත්පැන් පානය කරන කරන බටහිර සංස්කෘතිය පිටුදැකිම සඳහා මිස ආගමික අන්තවාදී ප්‍රවනතාවයක් ලෙස නොවේ. ගවයා පූජනීය වස්තුවක් වන ඉන්දියාවේ පවා ගව ඝාතනය තහනම් කිරිම සඳහා නීති පනවා නැත.
නමුත් කිරි දෙනුන් මැරිම වැලැක්වීම සඳහා බලවත් නීති ඉන්දියාවට වඩා අප යොදා ගන්නා බව සත්‍යයකි. ඉන්දියාවේ ගවයින් රංචු පිටින් පාකිස්ථානයට සහ බංගලාදේශයට දේශ සිමා හරහා මස් පිණිස දක්කාගෙන යාමට එරෙහිව ඔවුන් පියවර ගන්නේ නැත. ඊට හේතුව ආර්ථික හේතු මත අතිරික්ත සතුන්ට වෙළඳපළ වටිනාකමක් ලබා ගැනිමට උවමනාවිමය. කිරි ගැනිමට නොහැකි සතුන්, පිරිමි සතුන් සහ මසට ගත හැකි ලෙඩ සහිත සතුන් මරණය තෙක් නඩත්තු කළ හොත් ගොවියාට කිරි ගොවිතැන පවත්වා ගත නොහැක. කිරි ගොවිතැන පවතින්නේ කිරි ආදායම සහ අතිරික්ත සතුන් මසට විකිණීම යන ප්‍රධාන අංග දෙක මතය.
කෙසේ වෙතත් ධාන්‍ය සහිත සාන්ද්‍ර ආහාර මඟින් ගවමස් කර්මාන්තයක් පවත්වා ගෙන යාම පිළිබඳව ලෝකයේ බලවත් විරෝධයක් ඇත. එහිදි ගව මස් කි.ග්‍රෑම් එකක් නිපදවීම සඳහා ධාන්‍ය කි.ග්‍රෑම් 8 ක් වැය වේ. ඒ අතර කුකුල් මස් කි.ග්‍රෑම් එකක් සඳහා ධාන්‍ය කි.ග්‍රෑම් 4 ක් වැයවේ. ලෝකයේ වනාන්තර වැඩි වශයෙන් විනාශ වන්නේ සහ පස සෝදා ගෙන යාම නිසා පසට හානි සිදු වන්නේ පධාන වශයෙන් මිනිසුන්ගේ මස් කැමේ පෙරේතකම නිසා බව අද ලෝක ආහාර සංවිධානය ද පිළිගනී. ස්භාවිකව පවතින තණකොළ සහ කෘෂි අපද්‍රව්‍යය ප්‍රධානවශයෙන් ආහාරයට ගන්නා සතුන් මඟින් එපමණ පරිසර විනාශයක් සිදු නොවේ. නමුත් මසට ගත හැකි ඵලදායි නොවන සතුන් මරණය තෙක් නඩත්තු කිරම මඟින් ඵලදායි සතුන්ට තිබෙන ආහාර ප්‍රමාණය අඩු වේ. එසේවුවත් අප රටේ සහ ඉන්දියාවේ ඉඩ කඩ සහිත ඉඩම් වල වයසක කිරි දෙනුන්ට සත්කාර කරමින් නඩත්තු කිරීම සුලභ තත්වයකි. එය සංස්කෘතික වශයෙන් උසස් ක්‍රියාවක් මිස නිතිය මඟින් පොළඹවන්නක් නොවේ. ගොවියාට කිරි වලින් ඉහළ ආදායමක් ලැබේනම් කිරි දුන් සතුන් වයසට ගිය විට උන් නොමරා මරණය තෙක් නඬත්තු කිරීම ආර්ථික වශයෙන් ගැටලුවක් නොවේ.
ඊට අමතරව ලෝකයේ ආහාර සුරක්ෂිතතාවය රැකෙන්නේ තෝරාගත් ආහාර කිහිපයක තොගය වැඩි කිරීමෙන් නොවේ. එසේ කිරීම බෙහෝවිට පරිසරයටද හානිකර විය හැක. ආහාර සුරක්ෂිතතාවය රැකෙන්නේ ආහාර විවිධත්වය තුළිනි. මිනිසාට ආහාරයට ගත නොහැකි සහ නොදිරවන තණකොළ ඒවා දිරවන මැෂිමකට ලබා දි ඒ මඟින් කිරි ලබා ගෙන බිම සහ කෑම මෙන්ම ඵලදායි නොවන සතුන්ගෙන් මස් ලබා ගැනිමද ආහාර සුරක්ෂිතතාවයට වැදගත් වේ. එහෙත් ඉහත සඳහන් කළ ආකාරයට ධානය බහුලව කවා මස් නිපදවිම මඟින් ආහාර සුරක්ෂිතතාවය අනතුරට වැටෙයි. එසේම අධික මස් කැම මඟින් මහජන සෞඛ්‍යය ද අනතුරට වැටෙන බව රහසක් නොවේ.
නමුත් අශිෂ්ඨ ලෙස ගවයින් මැරිම, කිරි දෙනුන් මැරීම, මස් ගාත කොකුවල එල්ලා අශෝබන ලෙස විකිණිම, දරුවන්ට ව්‍යාජ පෝෂණ හේතු මත අධික ලෙස මස් කැමට පෙළඹවීම, ලෙඩ සතුන් මරා විකිණීම, බිලි පූජා සඳහා සතුන් මැරීම ආදිය වැළැක්විය යුතුය. ඵලදායි සතුන් මැරිම වැළැක්විම කිරි ආර්ථිකය දියුණු කිරිම සඳහා වන අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි. නමුත් අද කොළඹ නගර සභාව යටතේ පවා දිනකට සිය ගණනක් වටිනා කිරි දෙනුන් සහ මි හරක් මස් පිණිස ඝාතනය කෙරෙන බව රහසක් නොවේ. දැනටමත් අප රටේ එය නිති විරෝධී වේ. එය නැවැත්වීම සඳහා අවශ්‍ය වන්නේ මහජනයා දැනුවත් කිරිම සහ යම් පරිපාලන ක්‍රියාමාර්ග ගැනිමය. විශේෂයෙන්ම එම මස් ජාවාරම පිටුපස සිටින දේශපාලන බලවතුන් මැඩපැවැත්විමය.
කෙසේ වෙතත් කිරි ගොවිතැන දියුණු කිරිම සඳහා අත්‍යවශ්‍යය පූර්ව කොන්දේසියක් වන කිරි දෙනුන් සහ කුඩා ගැහැණු සතුන් මැරීම වැලැක්වීම නීතියෙන් පමණක් කළ නොහැක. එවිට ගොවියාට ගැටළු වලට මුහුණ දීමට සිදුවේ. විශේෂයෙන්ම ඒ මඟින් ගවමස් වෙළඳුන්ට ගොවියා ගසා කෑමට ඉඩ ලැබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල කිරි ගොවිතැන වැදගත් වන්නේ ගොවියාගේ ආදායම් මට්ටම වැඩි කිරීම සඳහාය. ඊට අමතරව කිරි කෑම සහ බිම මඟින් රටේ ආහාර තොගය වැඩි වීම නිසා රටේ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා වේ. ශ්‍රී ලංකාවේ ගොවීන්ගේ 75% කට හිමිවන්නේ අක්කර දෙකකට අඩු ගොවිබිම් ප්‍රමාණයකි. ඒ නිසා ඔවුන්ගේ ආදායම් වැඩි කළ හැක්කේ බෝග වගාව සමඟ කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීමෙනි. ඊට අමතරව කිරිගොවිතැන ඒ මඟින් ගොවියා කාබනික වගා ක්‍රම වලට පුරුදුවන අතර ගෙවතු වගාවට ගොම යොදා ගැනිම නිසා මඟින් වස විෂ නැති ආහාර තොගය ද වැඩිවේ. ඒ මඟින් රසායනික පොහොර භාවිතය ද අඩුකර ගත හැකි අතර පස සංරක්ෂණය කෙරෙන ගොවිතැන් ක්‍රම වලට ගොවියා පුරුදු වේ.
ඉහත සඳහන් කළ පරිධි කිරි ගොවියා විසින් කිරි දෙනුන් මසට විකිණීම හෝ එම සතුන් මැරීම නිතිය මගින් තහනම් කිරිමෙන් පමණක් ගව ගාතනය වැළැක්විය නොහැක. ඊට හේතුව දුප්පත් ගොවින්ට හදිසි මුදල් අවශ්‍යතාවයකදී විකිණීම සඳහා ඇති එකම දේපළ ගවයා විමය. ඒ නිසා ඵලදායි සතුන් මසට විකිණිම වැළැක්වීම සඳහා ඉතා දියුණු ක්‍රමවේදයක් යොදා ගත හැක. එය හඳුන්වන්නේ ” මුදා ගැනීම ” හෙවත් Salvage යනුවෙනි. එහිදි රජය සහ බොහෝ විට වෙනත් වාණිජ ක්‍රියාකාරකම් වල නියුක්ත ස්වේච්ඡා සංවිධාන විසින් විශාල ගොවිපළවල් යොදා ගනිමින් විකුණන ඔනෑම ගවයෙක් බර අනුව නියමිත මිලකට මිලදි ගනු ලැබේ. ඉන්පසු ඵලදායි සතුන් වෙන්කොට ඵලදායි නොවන නිරෝගි සතුන් පමණක් බලපත්‍රයක් යටතේ ගව ඝාතනාගාර වලට නිකුත් කෙරෙයි. එහිදි ඵලදායි සතුන් නැවත මිලදි ගත් මිලටම වෙනත් ගොවියෙකුට විකිණිම, කිරි ගැනීම හෝ අභිජනනය සඳහා යොදා ගැනිම සිදු වේ. ඒ අනුව ගව ඝාතනය අවම කළ හැක්කේ කිරි ආර්ථිකය දියුණු කිරිම මඟින් බව පැහැදිළි වේ.
නමුත් ශ්‍රී ලංකාවේ කිරි ආර්ථිකය දියුණු කිරීමට එරෙහිව පවතින ප්‍රධාන බාධක කිහිපයක් ඇත. ඒවා මෙසේ හඳුනා ගත හැක. පළමු වැන්න ආනයනික කිරි පිටි වලට බදු සහන ලබා දීම, ෆාම් තෙල් සහිත බාලකිරි ආනයනයට ඉඩ දීම, එම බාල කිරි පිටි දියකර දියරකිරි ලෙස විකිණීමට සහ යෝගට් හැදීමට ඉඩදිම මෙන්ම ආහාර පනත උල්ලංගනය කරමින් ආනයනික කිරි පිටි අයුතු ලෙස ප්‍රචලිත කිරිමය. දෙවැන්න රජයේ විශාල ගොවිපළ මඟින් ආදර්ශ කිරි ගව අභිජනන සහ කිරි නිෂ්පාදන ව්‍යාපෘති දියත් නොකිරීමය. එදා බණ්ඩාරනායක මැතිණිය විසින් පශු සම්පත් මණ්ඩලය පිහිටුවන්නේ කිරි ගවයින් අභිජනනය කොට ගොවින්ට ලබා දිමේ මූලික අවශ්‍යතාවය ඉටුකිරිම සඳහාය.
එසේ ජාතික කිරිගව ව්‍යාපෘතියක් දියත් කොට ශ්‍රී ලංකාවට ආවේණික කිරි ගවයෙකු නිර්මාණය කිරීම සහ එම සතුන් බෝ කොට ගොවීන්ට ලබා දීම යන මූලික අවශ්‍යතාවය ඉටුනොකර එය යටපත් කිරිම සඳහා පිටරටින් ලෙඩ ගවයින් ආනයනය කිරම බලවත් වරදකි. ඒ මඟින් න්‍යායාත්මකව සත්‍යවශයෙන්ම කළයුතු දේ යටපත් වූ අතර රු. මිලියන. 12,000 ක පමන රාජ්‍ය මුදල් නාස්ති විය. ඊට අමතරව පිටරට ලෙඩ ලංකාවට පැමිණීම පමණක් නොව එම සතුන් මිලදී ගත් ගොවීන් ණයකාරයින් වි අමාරුවේ වැටිම ද සිදුවිය. ඊට අමතරව අපගේ ගව පට්ටිය තුළ ක්‍රමයෙන් අවම කළ යුතු යුරෝපිය සම්භවය සහිත සතුන්ගේ ජාන සංයුතියද ඒ මඟින් වර්ධනය වේ. යුරෝපීය ජාන සහිත සතුන් නිපදවන කිරිවල A1 පෝෂණය අධික නිසා සෙම් අමාරු ඇතුළු සෞඛ්‍ය ගැටළු රාශියක් මතුවේ. නමුත් දේශීය සතුන්ගේ A2 නැමැති ” හොඳ ප්‍රෝටීනය බහුලව ඇත. “.
කිරි පිටි කර්මාන්තශාලා ප්‍රමානය අඩු බැවින් නිපදවන ඕනෑම කිරි තොගයක් මිලදි ගැනීමේ හැකියාව නොමැතිවීම තුන්වන බාධකය ලෙස හඳුනා ගත හැක. ඒ මඟින් අමු කිරි මිල පහත වැටෙන අතර ගොවියා කිරි ගොවිතැන වර්ධනය කිරීමට මැළි වේ. අප රටේ ගව රංචුව ලක්ෂ 15 ක් වුවත් ඉන් කිරි ගන්නේ ලක්ෂ 3 කටත් අඩු සතුන් ප්‍රමාණයකිනි. කිරි ගව පාලනයට උනන්දුව ඇතිවන්නේ සහ සතුන් හොඳින් බලාගන්නේ කිරි වලට හොඳ මිලක් ලැබේ නම් පමණි. සතුන් හොඳින් බලා ගන්නේ නම් විශේෂයෙන්ම රාත්‍රියට ඉතිරිවන තරමට තණකොළ සහ වතුර ලබා දෙන්නේ නම් කිරි නිෂ්පාදනය දෙගුණයක් කල හැකි බව ( දැනට සිටින සතුන්ගෙන් පමණක් ) පර්යේෂණ මඟින් ඔප්පු වි ඇත.
ඊට අමතරව කිරි ආර්ථිකය දියුණු කිරීම සහ අශිෂ්ඨ ලෙස ගව ඝාතනය කිරිම වැළැක්විම මෙන්ම ගව මස් ආහාරයට ගැනිම ඓතිහාසික ආහාර පුරුද්දක් බවට පත් වි ඇත. බෞද්ධ සහ හින්දු නොවන ආගම් අදහන ජන කොටස් වලට සාධාරනය ඉටු කිරිම සඳහා කල යුතු දේ මෙසේ හඳුනාගත හැක. ඉටු කිරිම ආර්ථිකයේ ඉල්ලුම සහ සැපයුම් යන පති දෙක තුළ කල යුතු මැදිහත් වීම් ලෙස ඒවා වෙන්වශයෙන් හඳුනාගත හැක.
එහිදි ඉල්ලුම් පැත්තෙන් කළ යුතු මැදිහත් වීම් හතක් හඳුනාගත හැක. පළමු වැන්න ආනයනික කිරි පිටි සඳහා මිල සුත්‍රයක් හඳුන්වා දිම සහ එහි පදනම් මිල ලෙස දේශිය නිෂ්පාදන පිරිවැය යොදා ගැනිම මඟින් දැනට දේශිය කිරි පිටි වලට වඩා අඩු මිලට විදේශීය බාල කිරිපිටි විකුණමින් වෙළඳපොළ විකෘතිකොට දේශිය කිරි කර්මාන්තයට කරනු ලබන විනාශය වැළැක්විමය. දෙවැන්න ආනයන බදු පැන විම මඟින් ෆාම් තෙල් අඩංගු ආනයනික බාල කිරි පිටි වර්ග අඩු මිලට විකිණීම වැළැක්වීම සහ එම කිරි පිටි දියකර දියරකිරි සහ යෝගට් සැදිම වැළැක්වීම සඳහා ආනයනික කිරිපිටි වලට සෙස් බද්දක් පැනවිමය. ( ආනයන අධෛර්ය කිරිමේ බද්දක් ) මහින්ද රාජපක්ෂ රජය විසින් පනවා තිබූ කිරිපිටි කි.ග්‍රෑම් 1 කට රු. 225 ක් වූ බද්ද පසුගිය රජය විසින් රු. 2 ක දක්වා රු. 223 කින් අඩු කරනු ලැබිය. ඒ වෙනුවට වැට් බද්දක් පැනවු බව කියන නමුත් එම බදු සහන මඟින් රජයට සිදු වු පාඩුව රු. මිලියන 10,000 ඉක්මවයි. තැන් වැන්න අමු කිරි සඳහා ඉහළ සහතික මිළක් ලබා දීමය.
හතර වැන්න ෆාම් තෙල් මිශකළ කිරි පිටි ආනයනය වැළැක්විමය. මේදය පුරවන ලද කිරිපිටි නමින් හඳුන්වන එම කිරි පිටි සෞඛ්‍යයට බරපතල තර්ජනයක් වුවත් අද රටට සම්පුර්ණයෙන්ම ආනයනය කරන්නේ ඒවාය. පස්වැන්න කිරිපිටි පුචලිත කිරිම සඳහා අයුතු ලෙස දැන්විම් ප්‍රචාරණය කිරිම වැළැක්විමය. හය වැන්න ආනයනික කිරිපිටි දියකර යෝගට් සහ දියරකිරි හැදිම නිතියෙන්ම වැළැක්විමය. හත්වැන්න ආනයනික කිරිපිටි වල ප්‍රමිතිය පරික්ෂා කිරිමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතා නිවැරදි කිරිමය. අට වැන්න මේදය රහිත කිරිපිටි ආනයනය නැවැත්වීම මඟින් රට බටර් වලින් ස්වයං පෝෂිත කිරීමය.
කිරි ආර්ථිකයේ සැපයුම පැත්තෙන් කළ යුතු දේ මෙසේ ක්‍රියාමාර්ග අටක් ලෙස දැක්විය හැකිය. පළමු වැන්න පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු අක්කර ලක්ෂයකට ආසන්න රට පුරා පවතින ගොවිපල යොදා ගනිමින් කිරි ගව අභිජනන ජාතික ව්‍යාපෘතියක් ආරම්භකොට ගොවින්ට වසු පැටවු ලබා දිමය. ඒ සඳහා ආනයනික කිරිපිටි වලට පනවන බදු ආදායම් යෙදවිය හැක. දෙවැන්න එම මණ්ඩලය සතු ගොවිපල යොදා ගනිමින් මරනයට කැපවන සතුන් මිලදි ගැනිම හෙවත් Salvage වැඩසටහනක් ආරම්භ කිරිමය. පෞද්ගලික අංශය ද රජයේ අධීක්ෂණය යටතේ ඒ සඳහා දිරිමත් කල හැක. තුන් වැන්න ගව ඝාතන ක්‍රමවේද, විශේසයෙන්ම ඊට අදාළ සොයා බැලිමේ ක්‍රමවේද විදිමත් කිරීම මඟින් පවතින නීතියට අනුව නීති විරෝධී ගව ගඝාතන වැලැක්වීමටය. හතර වැන්න කිරි නිස්පාදනය වැඩි කිරිම සඳහා නිපදවන ඕනැම කිරි ප්‍රමානයක් මිලදි ගතහැති ආකාරයට කිරි සකස් කිරිමේ කර්මාන්ත ජාලයක් පිහිටු විමය. රට පුරා කිරි කර්මාන්ත ශාලා 05 ක් පමණ අවශ්‍ය වුවත් දැනට පවතින්නේ 02 කි. ඒ නිසා තව 03 ක් පිහිටුවිම සඳහා පුද්ගලික අංශය පෙළඹවිය යුතුය. කිරි ලීටර් ලක්ෂ 2 ක් දිනකට සකස් කළ හැකි කරමාන්ත ශාලාවක් පිහිටුවිම සඳහා වැය වන්නේ රු. මිලියන 2000 කට අඩු මුදලකි. එනම් වසරකට විදේශිය කිරිපිටි සමාගම් වලට ලබා දෙන සහනාධාරවලින් පහෙන් එකකි.
පස්වැන්න පශු වෛද්‍ය සේවා ගොවියාට හිතකර ලෙස වෙනස් කිරිම සහ සතුන් රැකබලා ගැනීමට අදාළව ගොවින් විධිමත්ව පුහුණු කිරීමය. හය වැන්න රජයේ සියළුම ගොවිපළ වල ආදර්ශ කිරි ගොවිපළ ආරම්භ කිරිම සහ කිරි ගොවි සමිති සමඟ සබඳතා ජාලයක් ගොඩ නගා ගැනිමය. හත්වැන්න තරුණ ගොවි සමාජ හරහා කිරි ගොවිපල පිහිටුවිම සඳහා ඉඩම් අයිතිය රජය සතුව තිබියදි ඉඩම් කොමිෂම සතු ඉඩම් නිදහස් කිරීම සහ පොල්වතු හිමියන් කිරි ගොවිතැනට පෙළඹවීම සඳහා සහනාධාර සහ වෙනත් දිරිගැන්විම් ලබා දිමය. අටවැන්න අමු කිරි වලට සහතික මිලක් ලබා දිම යන කොන්දේසියට යටත්ව රජය මඟින් කිරි ගොවි සමූපාකාර සමිති පිහිටුවිම සහ ඒවාට ආධාර ලබා දිමය. එම සමුපකාර වලට ගොවින්ගේ සුභසාධනය සහ ණය දිම ආදී අවශ්‍යතාවන්ද ඉටු කල හැක.
– වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...