සමාජ – ආර්ථික සංවර්ධනය පිළිබඳ සංවාදයේ දී අප රට සතු සම්පත් පිළිබඳව ජාතියක් වශයෙන් අපි සැම විටෙකම සැලකිලිමත් වෙමු. එමෙන්ම, මේ ගැන කරනු ලබන සාකච්ඡාව සන්සන්දනාත්මකව සිදු කිරීම සඳහා වෙනත් රටවල් සතු සම්පත් ගැන ද අපි අපගේ අවධානය යොමු කරමු. අප සතු සම්පත් පිළිබඳව විදේශිකයන් දකින්නේ මොන විදිහට ද? මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අප මුණ ගැසුණේ ලුං-හුවා ආයතනයේ ප්‍රධානි මහාචාර්ය හව් වෙයිමින් මහතායි. සිංහල භාෂාව සහ ථෙරවාද බුදුදහම පිළිබඳ ප්‍රවීණයකු වන ඔහු චීනය හා බැඳුණු කටයුතුවල දී රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙහිම උපදේශකවරයකු වශයෙන් ද කටයුතු කරයි.
” චීනයේ ශිෂුඅන්පන්නා ප්‍රදේශයත් ථෙරවාද කලාපයට අයිතියි. ඒ ප්‍රදේශයේ ඉන්න බෞද්ධයෝ ශ්‍රී ලංකාව ගැන හිතන්නේ ඉතා ඉහළ, උත්තරීතර ශුද්ධ භූමියක් විදිහට. ඉතින් ථෙරවාද කලාපයේ මහගෙදර වැඩවලට ඒ හරහා උදව් ලබා ගන්න පුළුවන්. චීනය ලෝකය පුරා ක්‍රියාත්මක කරන “තීරුවක් සහ මාවතක්” කියන වැඩසටහන හරහාත් මේ වැඩට උදව් ලබා ගන්න පුළුවන් ”
සිංහල භාෂාව ගැන ඔබට තියෙන ඇගැයීම කුමක් ද?
සිංහල කියන්නේ ලෝකයේ පාවිච්චි වෙන පැරැණිම භාෂාවලින් එකක්. පාලි සහ සංස්කෘත භාෂාවලින් මූලිකවත් දෙමළ සහ වෙනත් භාෂාවලින් පසුවත් සිංහල භාෂාව පෝෂණය වෙලා තියෙනවා. ඉතින් සිංහල කියන්නේ අදහස් ප්‍රකාශන ශක්තියෙන් ඉතාමත් ඉහළ භාෂාවක්. ඊට අමතරව බුදුදහමින් උකහා ගත්ත අදහස්වලිනුත් චින්තනයෙනුත් සිංහල භාෂාව පෝෂණය වෙලා තියෙනවා. ඒ හින්දා සාමාන්‍ය තර්ක බුද්ධියෙන් පැහැදිලි කරන්න අමාරු ඉතාමත් සියුම් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවත් සිංහල භාෂාව උරුම කරගෙන තියෙනවා.
අපේ රටේ බුදුදහම ඔබ දකින්නේ මොන විදිහට ද?
හුඟක් අය කියනවා ශ්‍රී ලංකාව සතු ප්‍රධානම සම්පත තේ කියලා. තවත් සමහරු කියනවා ඒ සම්පත මැණික් කියලා. තව තව ගොඩක් දේවල්වල වටිනාකම ගැන කියන අය ඉන්නවා. ඒත් ශ්‍රී ලංකාව සතු අනර්ඝතම සම්පත විදිහට මම දකින්නේ ථෙරවාද බුද්ධාගම. මෙතෙන් දී බුද්ධාගම කියන එකෙන් මම අදහස් කරන්නේ ධර්මය විතරක් නෙවෙයි. බුදුදහම මුල් කරගෙන ඇති කරගෙන තියෙන බෞද්ධ සංස්කෘතිය, ශාසනයට අයිති විහාර – පිරිවෙන් ඇතුළු ආයතන පද්ධතිය, සිංහල භාෂාව, සාහිත්‍යය වගේ ගොඩක් දේවල් මේ යටතේ සලකන්න පුළුවන්. ඉතින් ථෙරවාද බුද්ධාගම ගැන දැනට වඩා ඇගැයීමක් ශ්‍රී ලාංකිකයන්ට තියෙන්න ඕන කියලා මම හිතනවා.
බුදුදහමට චීනයේ තියෙන තැන මොකක්ද?
චීන සංස්කෘතිය නිර්මාණය වෙන්න මුල් වෙච්ච ප්‍රධාන චින්තන ධාරා තුනෙන් එකක් තමයි බුද්ධාගම. කොන්ෆියුසියස්, තාඕ චින්තනවලට තියෙන ඇගැයීම ම අපි බුද්ධාගමටත් ලබා දෙනවා. බුද්ධාගම අයින් කරපු සිංහල සංස්කෘතියක් ගැන හිතන්න බෑ වගේම බුද්ධාගම අයින් කරපු චීන සංස්කෘතියක් ගැන හිතන්නත් බෑ. අපේ භාෂාව, සාහිත්‍ය, සංස්කෘතික පුරුදු, ජාතික උත්සව වගේ ගොඩක් දේවල් පෝෂණය කරගන්න බුද්ධාගම උදව් වෙලා තියෙනවා. ඒ වගේම, බෞද්ධ සංස්කෘතිය පෝෂණය කරන්නත් චීන ජාතිකයෝ දායක වෙලා තියෙනවා. අපි ඒ ගැන ආඩම්බර වෙනවා.
ලංකාව සහ චීනය අතර සම්බන්ධතා තහවුරු වෙන්නත් බුද්ධාගම හේතු වෙලා තියෙනවා නේද?
ඔව්.ෆාශියැන් හාමුදුරුවෝ ලංකාවට වැඩම කළේ බුද්ධාගම හින්දා. උන්වහන්සේ ලංකාවේ ඉඳලා ආපහු චීනයට වැඩම කරලා අවුරුදු විස්සක් ගතවෙන්නත් කලින් චීනයේ භික්‍ෂුණී සම්ප්‍රදාය ඇති කරන්න සිංහල භික්‍ෂූණීන්වහන්සේලා මුල් වෙලා තියෙනවා. ඒ සේවය සම්බන්ධයෙන් චීන බෞද්ධයෝ සිංහලයන්ට ණය ගැතියි. අපි අදටත් ඒ සේවය අගය කරනවා ඊට පස්සේ අවුරුදු දෙසීයක් ඇතුළත ඉන්දියාවට වැඩම කරපු හියුං ත්සාං ස්වාමීන්වහන්සේට ඕන වුණෙත් ලංකාවට ඇවිල්ලා ඉගෙන ගන්න. ඒ කාලයේ චීන ජාතිකයෝ ලංකාවට කිව්වේ “සිංහ දේශය” කියලා. මකර සංකල්පයෙන් වුණත් චීන – ලංකා සම්බන්ධය තහවුරු කරන්න පුළුවන්.
කොහොමද මකර සංකල්පයෙන් ඒ සබදතාව තහවුරු වෙන්නේ…
මකර සංකල්පය තියෙන්නේ චීනයේ විතරක් නෙවෙයිනේ. ලංකාවේ හැම බෞද්ධ විහාරයකම මකර රූපය තියෙනවා. පරණ නටබුන්වලත් තියෙනවා. පන්සලකට ඇතුළු වෙන්නේ මකර තොරණින්. බුදුපිළිමය තැන්පත් කරලා තියෙන්නෙත් මකර තොරණ ඇතුළේ. බටහිර මකරා කියන්නේ නපුරේ සංකේතයක්. ඒත් චීනයේ, ලංකාවේ මකරා කියන්නේ උතුම්, කාරුණික සත්ත්වයෙක්. චීනය “මකර දේශය” වුණත් ලංකාව “සිංහ දේශය” වුණත් අපේ රටවල් දෙකේම සිංහයාටත් මකරාටත් ඉහළින් සලකලා තියෙනවා. ඒ හරහාත් අපේ සංස්කෘතික සම්බන්ධය තහවුරු වෙනවා.
චීනයේ ථෙරවාද බුද්ධාගමට තැනක් තියෙනවා ද?
තියෙනවා. චීනය තමයි ප්‍රධාන බෞද්ධ සම්ප්‍රදායන් තුනම ජීවමානව තියෙන රට. චීනයේ යුන්නාන් පළාතේ ථෙරවාද බුද්ධාගම පිළිපදින විශාල පිරිසක් ජීවත් වෙනවා. මගේ ආචාර්ය උපාධි පර්යේෂණයේ දී මම අධ්‍යයනය කළෙත් චීන ථෙරවාද බුද්ධාගම ගැන. ඒ පර්‌යේෂණ නිබන්ධනය “චීන ථෙරවාද බුද්ධාගම” කියන නමින්ම මම පළ කළා. චීනයේ පිළිගන්න ථෙරවාද බුද්ධාගමේ මහ ගෙදර විදිහට අපි සලකන්නේ ශ්‍රී ලංකාව. චීනයට ථෙරවාද බෞද්ධ උරුමය ලැබුණේ ශ්‍රී ලංකාවෙන්. පරාක්‍රමබාහු මහ රජතුමාගේ කාලය වෙද්දිත් අග්නිදිග ආසියාවට ලංකාවෙන් ථෙරවාද සම්ප්‍රදාය පැතිරිලා තිබුණා. මුල් කාලේ තිබුණු සම්ප්‍රදාය “ලංකා ශාසනය” කියලා හඳුන්වලා තියෙන්නේ. පස්සේ කාලෙක (විශේෂයෙන්ම ජයවර්ධනපුර යුගයේ දී) අග්නිදිග ආසියාතික කලාපය හරහා චීනයට ලැබුණු සම්ප්‍රදායට “සිංහල ශාසනය” කියලා කියනවා. මේ ගැන විස්තරයක් අපි පළ කරපු “රත්තවනාරාම වංශ කතාව” පොතේ තියෙනවා. ඉතින් ලංකාව කියන්නේ ථෙරවාද සම්ප්‍රදායේ මහ ගෙදර. මේ සම්ප්‍රදාය පැතිරිච්ච ප්‍රදේශය මකරෙක්ගෙන් සංකේතවත් කරනවා නම් ලංකාව කියන්නේ ඒ මකරාගේ ඔළුව. චීනයේ යුන්නාන් පළාත කියන්නේ ඒ මකරාගේ වලිගය. චීනයේ අපි මේ කතාව නිතරම කියනවා.
මේ විදිහට පිළිගන්නේ බුද්ධ ධර්මය විතර ද?
බුදුදහම විතරක් නෙවෙයි. ඒ හා බැඳිච්ච සංස්කෘතික සම්ප්‍රදායයන් ගොඩක් අපි බෙදා හදාගෙන තියෙනවා. ලංකාවේ අලුත් අවුරුද්ද සමරන අප්‍රේල් 13 – 14 කියන දවස්වලම තමයි යුන්නාන් පළාතේ ඉන්න ථෙරවාද බෞද්ධයොත් අලුත් අවුරුද්ද සමරන්නේ. චීනයේ බහුතරයක් මිනිස්සු සමරන්නේ සාම්ප්‍රදායික චීන අවුරුද්ද. ඒත් යුන්නානයේ විතරක් නෙවෙයි ථෙරවාද කලාපයේ තියෙන හැම රටකම ලංකාවේ වගේම අප්‍රේල් 13 – 14 දවස්වල අලුත් අවුරුද්ද සමරනවා.
ථෙරවාද කලාපය කියලා ඔබ අදහස් කරන්නේ මොකක්ද?
ථෙරවාද කලාපය කියලා මම අදහස් කරන්නේ ශ්‍රී ලංකාව මුල් කරගෙන ථෙරවාද සම්ප්‍රදාය පැතිරිලා තියෙන රටවල් සහ ප්‍රදේශ. ශ්‍රී ලංකාවට අමතරව මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය කියන රටවල්, ඒ වගේම චීනයේ යුන්නාන් පළාතේ ශිෂුඅන්පන්නා ප්‍රදේශය, දකුණු වියට්නාමය, බංග්ලාදේශයේ චිතගොං ප්‍රදේශය, සිංගප්පූරුවේ සහ මැලේසියාවේ යම් ආකාරයක නියෝජනයක් මේ කලාපයට ඇතුළත් කරන්න පුළුවන්. මේ කලාපයට අයිති වෙන තැන්වල සිංහල මහා විහාර සම්ප්‍රදාය විසින් පිළිගන්න අටුවා සහිත ත්‍රිපිටකය, ඒ ආශ්‍රිත චාරිත්‍ර වාරිත්‍ර සහ වෙනත් සංස්කෘතික දේවල් බෙදා හදාගෙන තියෙනවා. ඉතින් මේ කලාපයේ ඉන්න අයට ලංකාව මුල් කරගෙන එකතු වෙන්න පුළුවන්.
ඒ කියන්නේ කලාපීය සංවිධානයක් විදිහට ද?
දේශපාලනිකව හරි වෙනත් විදිහකට හරි සංවිධානගත කිරීමක් ගැන අදහසක් මට නෑ. ඒත් කලාපයේ අය සමානව බෙදා හදා ගන්න කාරණා මුල් කරගෙන එකතු වෙලා යම් යම් කටයුතු කරන්න පුළුවන් කියලා මම හිතනවා. බෞද්ධ අධ්‍යාපනය කියන කාරණය ගැන හිතන්න. ඈත අතීතයේ ඉඳලාම ලෝකය පුරාම ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් විදිහට. ෆාශියැන් හාමුදුරුවෝ අභයගිරියට වැඩම කළේ ඇයි? හියුං ත්සාං හාමුදුරුවෝ ලංකාවට වැඩම කරන්න උත්සාහ කළේ ඇයි? මේ හැම දේකටම මුල් වුණේ ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය. විද්‍යෝදය, විද්‍යාලංකාර කියන මහ පිරිවෙන්වලිනුත් ඒ සේවය වුණා.
අදටත් ඒ පිළිගැනීම තියෙනවා ද?
ඔව්. අදටත් ථෙරවාද කලාපයෙන්, ඒ වගේම චීනය ඇතුළු වෙනත් රටවල්වලින් ස්වාමින්වහන්සේලා, වෙනත් ශිෂ්‍යයෝ ලංකාවට එනවා. ථෙරවාද, මහායාන භේදයක් නැතුව විශාල පිරිසක් ලංකාවේ ඉගෙන ගන්නවා. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් බෞද්ධ අධ්‍යයන ආයතනය, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය, පල්ලේකැලේ බෞද්ධ අධ්‍යාපන ආයතනය වගේ තැන් විශාල ප්‍රමාණයක මේ කටයුතු සිද්ධ වෙනවා. ථෙරවාද කලාපයේ මහගෙදර විදිහට වැඩ කරන්න පුළුවන් නම් ශ්‍රී ලංකාව බෞද්ධ අධ්‍යාපනයේ ජාත්‍යන්තර මූලස්ථානය බවට පත් කරන එක හරිම ලේසි වැඩක්.
කලාපයක් විදිහට තව කරන්න පුළුවන් වැඩ මොනවා ද?
ශ්‍රී ලංකාව තමයි අඛණ්ඩව දීර්ඝතම බෞද්ධ ඉතිහාසයක් තියෙන රට. මේ දීර්ඝ ඉතිහාසය තුළ සිංහල මිනිස්සු බුද්ධ ශාසනය වෙනුවෙන් මහ පුදුමාකාර නිර්මාණ ඉදි කරලා තියෙනවා. රුවන්වැලි මහා සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය, ලෝවාමහාපාය, ගල්විහාරය කියන්නේ ඉතාමත් උතුම් නිර්මාණ. ඊට අමතරව ශ්‍රී මහා බෝධින්වහන්සේ, දළදා මාළිගාව, ශ්‍රී පාදස්ථානය වගේ ශුද්ධ භූමි ලංකාවේ තියෙනවා. ලෝකයේ ලොකුම බලවතා වෙන ඇමරිකාවටවත් මෙහෙම තැන් තියෙනවා ද? ඉතින් මේ ස්ථාන මුල් කර ගත්ත බෞද්ධ වන්දනා වැඩසටහන් පටන් ගන්න ලංකාවට පුළුවන්. ථෙරවාද කලාපයේ පැතිරිලා ඉන්න බෞද්ධයෝ මේ වැඩසටහන්වලට සම්බන්ධ කරගන්න පුළුවන්.
ඔබ කියන්නේ බෞද්ධ සංචාරක කටයුතු ගැන ද?
මේකට බෞද්ධ සංචාරක කටයුතුත් ඇතුළත්. ඒ වගේම වන්දනා ගමන්, භාවනා වැඩසටහන්, වෙනත් පූජා උත්සව, බෞද්ධ සංස්කෘතික උත්සව, බෞද්ධ කලා සහ සංගීත වැඩසටහන්, බෞද්ධ සාහිත්‍ය උත්සව, බෞද්ධ චිත්‍රපට ප්‍රදර්ශන වගේ දේවල් ජාතන්තර මට්ටමින් පවත්වන්න ලංකාවට පුළුවන්. අභයගිරිය කියන්නේ ෆාශියැන් හාමුදුරුවෝ වැඩ හිටිය තැන. ඒ වගේ පූජනීය තැනක සජීවි විදිහට ආගමික වැඩසටහන් සංවිධානය කරන්න පුළුවන් නම් චීන ස්වාමීන්වහන්සේලා, උපාසක උපාසිකාවෝ ලක්‍ෂ ගණනින් ඒවාට සම්බන්ධ වෙයි කියලා මම හිතනවා. ටිකට් එකක් අරගෙන නටබුන් බලන්න එන අය නම් එච්චර නෑ.
තව මොනවා ද කරන්න පුළුවන්?
බෞද්ධ අධ්‍යාපන කටයුතු ගැනම හිතන්න. ලංකාව බෞද්ධ අධ්‍යාපනයේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය වෙද්දි ඒක මුල් කරගෙන කරන බෞද්ධ පර්‌යේෂණ කටයුතුත් වැඩි වෙනවා. ඉතින් ඒ පර්‌යේෂණවල ප්‍රතිඵල ලෝකයට කියන ජාත්‍යන්තර බෞද්ධ පර්‌යේෂණ සඟරා වුණත් ලංකාවට පළ කරන්න පුළුවන්. ඒ වගේ සඟරා ලෝක මට්ටමින් වුණත් පළ කරන්න පුළුවන් උගත්තු, මහාචාර්යවරු, පඬිවරු විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා.
බෞද්ධ කටයුතුවලට අමතරව වෙන මොනවා ද කරන්න පුළුවන්?
ශ්‍රී ලංකාවට තියෙන තවත් සුවිශේෂි සම්පතක් තමයි සිංහල වෙදකම. මේක ඉතාමත් දියුණු වෛද්‍ය ක්‍රමයක් කියලා මම මගේ පුද්ගලික අත්දැකීම්වලින්ම දන්නවා. සිංහල වෙදකමට ථෙරවාද බුද්ධාගමෙන් ලැබෙන විශාල දායකත්වයකුත් තියෙනවා. ඒත් මේ වෙදකමට ප්‍රමාණවත් පිළිගැනීමක් ලංකාවේ නෑ. චීනයේ සාම්ප්‍රදායික චීන වෙදකමටත්, අනෙකුත් ජනවර්ගවල වෙදකම්වලටත් ලබාදීලා තියෙන ප්‍රමුඛතාව දිහා බලලා ලංකාවට යමක් ඉගෙන ගන්න පුළුවන්. යුන්නාන් පළාතේ වෙද පොත් ත්‍රිපිටකය, අටුවා වගේ ධර්ම ග්‍රන්ථත් එක්ක සම මට්ටමින් තියලා තියෙනවා. එහෙම කරනවා නම් ලෝකයම සුවපත් කරන, ඒ හරහා විශාල විදිහට ආදායම් උපයන රටක් බවට ලංකාව පත් කරන්න පුළුවන්.
මේ වැඩවලට චීනයෙන් ලබාගන්න පුළුවන් උදව්
මොනවා ද?
මම කලින් පැහැදිලි කරපු විදිහට චීනයේ ශිෂුඅන්පන්නා ප්‍රදේශයත් ථෙරවාද කලාපයට අයිතියි. ඒ ප්‍රදේශයේ ඉන්න බෞද්ධයෝ ශ්‍රී ලංකාව ගැන හිතන්නේ ඉතා ඉහළ, උත්තරීතර ශුද්ධ භූමියක් විදිහට. ඉතින් ථෙරවාද කලාපයේ මහගෙදර වැඩවලට ඒ හරහා උදව් ලබා ගන්න පුළුවන්. චීනය ලෝකය පුරා ක්‍රියාත්මක කරන “තීරුවක් සහ මාවතක්” කියන වැඩසටහන හරහාත් මේ වැඩට උදව් ලබා ගන්න පුළුවන්.
කොමියුනිස්ට් රටක් විදිහට චීනය ආගමික වැඩවලට උදව් කරයි ද?
මේ හරහා කලා, සංස්කෘතික වැඩ විශාල ප්‍රමාණයක් කරන්න පුළුවන් කියලා මම කලින් කිව්වා. ඒවා ථෙරවාද බුදුදහම එක්ක බැඳුණු සමාජ – ආර්ථික කටයුතු. ඉතින් ඒ වගේ වැඩවලට උදව් කරන එකට ඔය වගේ කරුණු කොහොමටත් බලපාන්නේ නෑ. අනිත් අතට ලංකාවේ ශාසනික කටයුතුවලට චීනයෙන් දැනටත් උදව් උපකාර ලැබිලා තියෙනවා. දළදා මාළිගාව පිටුපස හදලා තියෙන ලෝක බෞද්ධ කෞතුකාගාරයට චීනය දායක වෙලා තියෙන විදිහ ගැන හිතන්න. මේ කටයුතුවලට චීනයේ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙන් අනුබලයක් සහ ආශිර්වාදයක් ලැබෙනවා. ඒ හින්දා ඉතා හොඳ සැලසුමක් යටතේ ක්‍රියාත්මක වෙනවා නම් මේ වැඩට උදව් ලබාගැනීම පිළිබඳ ගැටලුවක් ඇති වෙන්නේ නෑ.
aruna.lk
•සාකච්ඡා කළේ: චමින්ද ඒකනායක
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Attn: චමින්ද ඒකනායක,
චීන ජාතිකයෙක්ගෙන් ඉගෙනගමු, ආචාර්ය හව් වේ මින් – විසිත ලීලාරත්න පිළිසදර සමගින්
https://youtu.be/TvLOTXwKnj4
අග්ග මහා පණ්ඩිත වල්පොල පියනන්ද ස්වාමීන්වහන්සේ – භික්ෂුණී ශාසනය පිළිබඳ සාකච්ඡාවකි
https://youtu.be/kpb_aq3WWXw