අගෝස්තු 18 වැනිදා මාලි රාජ්‍යයේ කාටි නගරයේ පිහිටි සවුන්ඩියාටා කෙයිටා හමුදා කඳවුරෙන් ආරම්භ වූ රාජ්‍ය විරෝධී කැරැල්ල ඉන් අනතුරුව එරට අග නගරයට ව්‍යාප්ත විය. ජනාධිපති ඊබ්‍රහිම් බවුබකර් කෙයිටා, ඔහුගේ අගමැතිවරයා, සිවිල් වැසියෝ රැසක් සහ නිලධාරීහු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ. තමන් අත්අඩංගුවට පත් වූ දිනයේ සවස් භාගයේ කාති හමුදා කඳවුරේ සිට එරට ජාතික රූපවාහිනියෙන් ජනතාව ඇමැතූ ජනාධිපති කෙයිටා ජාතික සභාව විසුරුවා හැරිය බවත් තමන් තනතුරෙන් ඉවත් වූ බවත් කීවේය. බොහෝ විචාරකයන්ගේ මතය වන්නේ 2020 ජූනි මස ආරම්භ වූ සමාජ දේශපාලන අර්බුදය මුහුකුරා යාමෙන් මාලි දේශය පසුබෑමට ලක් වී තිබිණි.
දේශප්‍රේමී ජූනි 05 ව්‍යාපාරය ජනාධිපති කෙයිටාට එරෙහිව කලින් සිටම විරෝධතා මෙහෙයවූ අතර තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස උද්ඝෝෂණය කළේය. එහෙත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට මෙසේ ඔහුව බලයෙන් ඉවත් කිරීමට ජනතා විමුක්තිය සඳහා වූ ජාතික කමිටුව සහ හමුදා ජුන්ටාව ගත් ක්‍රියාමාර්ගය කිසිම කලාපීය සංවිධානයක් වත්, අන්තර්ජාතික ප්‍රජාවවත් අනුමත නොකළහ. මේ නිසා මාලි රාජ්‍යයට දේශපාලනික, සමාජ සහ ආර්ථික ප්‍රතිවිපාක අත් විඳීමටත් බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාව ඇතුළු අන්තර්ජාතික ප්‍රජාව සමඟ කටයුතු සිදු කිරීමට බාධා මතු වීමත් තම පරිපාලනය සිදු කරගෙන යාමට බාධාත් දැනටමත් සිදු වී ඇත.
හිටපු නයිජීරියානු ජනාධිපති ජොනතන් ගුඩ්ලක්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් හමුදා ජුන්ටාව සහ ජනතා විමුක්තිය සඳහා වන ජාතික කමිටුව සමඟ සාම සාකච්ඡා පැවැත්වීය. මෙහිදී සිවිල් ජනතාවට කඩිනමින් පාලන බලය ලබා දෙන ලෙස ඔවුහු ජුන්ටාවෙන් ඉල්ලා සිටියෝය. එසේම මාස 12ක ඇතුළත මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන මෙන් ගුඩ්ලක්ගේ නියෝජිත පිරිස වැඩිදුරටත් ඉල්ලා සිටියේය. මේ පරිපාලන ව්‍යුහයට නායකත්වය ලබා දිය යුත්තේ පිළිගත් සිවිල් පුද්ගලයකු බවත් ජනාධිපතිවරයාට ඉහළින් හමුදා අංශයක් නොපැවැතිය යුතු බවත් ජාත්‍යන්තර මැදිහත්කරුවෝ මෙහිදී වැඩිදුරටත් කියා සිටියෝය. කැරැල්ල ඇති වී දින 2ක් ගත වන විට මාලි දේශයට පැනැවූ ආර්ථික සම්බාධක බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාව සමඟ පැවැති මේ සාකච්ඡාවල තීරණ ක්‍රියාත්මක කිරීමත් සමඟ ක්‍රමයෙන් ඉවත් කිරීමට නියමිතය.
එහෙත් මාලි දේශය දැන් පාලනය කරන හමුදා ජුන්ටාව ඉල්ලා සිටින්නේ මාලි රාජ්‍යයේ පදනම නිරීක්ෂණය කර බැලීමට හමුදාවේ මූලිකත්වයෙන් යුතු සංක්‍රාන්ති ආණ්ඩුවක් වසර තුනක කාලයකට පවත්වාගෙන යාමට ය. එසේම බලයෙන් පහකළ හිටපු ජනාධිපතිවරයාට ආපසු තම නිවසට යාමටත් අවශ්‍ය නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට විදේශගත වීමටත් ඉඩ සැලසිය හැකි බව ජුන්ටාව පවසා තිබේ. සංක්‍රාන්ති කටයුත්ත හමුදාවට හිමි විය යුතු බවට ඔවුන්ගෙන් ඉල්ලීමක් පැමිණ ඇත. එම නායකයා රටේ නායකයා ද වේ. එසේම සමස්ථ ආණ්ඩුවේ නායකත්වය ද හමුදාවට හිමි විය යුතු යැයි ජුන්ටාව යෝජනා කරයි. ජුන්ටාවේ මේ ඉල්ලීම් නිසා මාලි දේශයට සාමය කැඳවාගෙන ඒමේ ව්‍යායාමය ස්ථාවර කිරීම අපහසු වී එය තවදුරටත් කල් ඇදෙන තත්ත්වයකට පත් වී ඇත. මේ නිසා සමස්ථ කලාපයේ විශාල සමාජාර්ථික ගැටලු මතු වී තිබෙන අතර තත්ත්වය නරක අතට හැරෙමින් පවතියි. අනිත් අතට ප්‍රජාව අතර ගැටුම් ඇති වී තිබෙන අතර ඒවා යාබද නයිජර් සහ බුර්කිනෝ ෆසෝ රාජ්‍යවලට ද ව්‍යාප්ත වී ඇත. අර්බුද අතර අර්බුද මතුවෙමින් පවතියි.
මේ අතර බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාව සමඟ සාම සාකච්ඡා බිඳ වැටීමෙන් අනතුරුව සමස්ථ උප මහාද්වීපයම හමුදා කුමන්ත්‍රණය හෙළා දුටු අතර සියලුම ගොඩබිම් සහ ගුවන් සබඳතා නතර කොට දේශසීමා වසා දැමීමට පියවර යෙදිණි. ඉන් අනතුරුව ජුන්ටාව සහ ජනතා විමුක්තිය සඳහා වන ජාතික කමිටුව වසරක කාලයක් පාලනය සිදු කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට සහ මහා මැතිවරණයක් පැවැත්වීමට තීරණයක් ගත්තේය. මේ තීරණය මාලි සඳහා කිසිසේත්ම ගැළපෙන්නේ නැත. එසේම මාලි වටා දේශ සීමාවේ පිහිටි කෝටේ අයිවරි, ගිනියා, නයිජර් සහ බුර්කිනෝ ෆසෝ සහ බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාවට අයත් සාමාජිකත්වය දරණ සමස්ථ රටවල්වලට මේ යෝජනා ගැළපෙන්නේ නැත.
අභිජනන කටයුතුවල ප්‍රවීණතාවක් දක්වන මාලි රාජ්‍යය අයිවරි කෝස්ට්, සෙනගාලය සහ තවත් රටවල් රැසකට මාංශ සැපයීමේ නිරත වේ. භූමිය හරහා ප්‍රවාහන සේවා සපයන සමාගම් සහ ව්‍යාපාරිකයින් මේ වසා දැමීම් නිසා අසීරුතාවලට පත් වී සිටිති. එසේම මාලි රාජ්‍යයේ නිපැයුම් අපනයනය කිරීමට පහසුකම් සපයා ඩොලර් බිලියන ගණන් ඉපැයූ යාබද රටවල්වලට ද මේ සම්බාධකවල බලපෑම දැඩි ලෙස දැනී තිබේ.
කෙසේ වෙතත් කැරැල්ල සිදු වී සති දෙකක් ගත වී යන විටත් එරට ත්‍රස්තවාදය තවමත් අඩු වී නොමැත. පසුගිය සතියේ මාලි සොල්දාදුවෝ පිරිසක් මධ්‍යම මාලි ප්‍රදේශයේ කෝනා හිදී ජිහාඩ්වාදීන්ගේ ප්‍රහාරයකට ලක් වූහ. එයින් මාලි හමුදා භටයින් සිවුදෙනකු පමණ මියගිය බව වාර්තා විය. පාලකයන් වෙනස් වුවත් ත්‍රස්තවාදයට එරෙහි සටන නතර වූයේ නැත. හමුදා මෙහෙයුම්වල වෙනසක් ඇති නොවීය. අගෝස්තු 18 වැනිදා කැරැල්ලෙන් අනතුරුව ආරක්ෂක ඇමැති ජෙනරාල් ඩහිරෝ ඩෙම්බල් ඇතුළු ජෙනරාල්වරු රැසක් සිරගත කොට තිබීමෙන් අණදීමේ ක්‍රියාවලිය ඇණ හිටියේය.
සාම සාකච්ඡා වඩාත් නරක අතට හැරෙන්නට පටන්ගත් විට, ජනාධිපතිවරයා බලයෙන් පහකළ 18 වැනිදා සන්නද්ධ හමුදාවේ සාමාන්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත්කර සිටි බ්‍රිගේඩියර් ජෙනරාල් ඕමාර් ඩියරා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් ද අත්අඩංගුවට ගැනිණි. වැඩි දිනයක් ගතවන්නට පෙර ඔහුව නිදහස් කොට මාලි හමුදාවේ ප්‍රධානියා බවට පත් කෙරිණි. දැන් ඔහු මාලි යුද යන්ත්‍රය මුවහත් කරමින් ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් ශක්තිමත් කරමින් සිටියි. එසේම ජනතාව ගලවා ගැනීමේ ජාතික කමිටුවේ නායක කර්නල් අස්සිමි ගොයිටා විසින් හමුදා යාන්ත්‍රණය නිසි පරිදි පවත්වාගෙන යාමට මාලි හමුදාවේ නව පත්වීම් රැසක් ද සිදු කළේය.
පසුගිය සඳුදා පැවැති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කමිටු රැස්වීමේ දී මාලි රාජ්‍යයට පැනවූ සම්බාධක තවත් වසරකින් දීර්ඝ කිරීමට තීරණය කෙරිණි. තවද මේ ගැන ප්‍රශ්නය ගැන පරීක්ෂා කර බැලීමට පිහිට වූ විද්වත් කමිටුවේ කාර්ය භාරය ද තවදුරටත් දීර්ඝ කිරීමට ද නියම කෙරිණි.
Dinamina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...